Mandaramen Eha – ගිරාතලාන වෑකන්දේ එක් පසෙක කෙළවර වැව තුළට වන්නට හැදී,වැඩී අතුපතර විහිඳ ගිය විසල් තිඹිරි ගසක් වෙයි. කලක් ජලයෙන් යටව තිබූ බවට හදුනා ගත හැකි දැවැන්ත තිඹිරි මුල්, රුක් කලාවන් මෙන් වෑකන්දේ සිට ගස තෙක් පැතිරී උඩට මතුව පෙනේ. කෙතරම් තදින් නියඟය දරා සිටියද, අතු අග හටගත් තිඹිරි ඵල වලින් ගසට අඩුවක් වී නැත. තද දම් පැහැයෙන් යුතු ඉදුණු ගෙඩි සහ කොල පැහැයෙන් යුතු නොමේරූ ගෙඩි වෑකන්දේ සිට බලන්නෙකුට පෙනෙන්නේ වර්ණ දෙකකින් අතු අග විදුලි බුබුළු එල්ලුවාක් මෙනි. දැවැන්ත තිඹිරි මුලක් මත හිඳගෙන දෙකකුල් පද්දමින් වැව් තාවුල්ලට මුහුණලා සිටින්නී තාරුකාය. වෑකන්දේ සිට තිඹිරි මුලක් මතින් සමබරතාව රකිමින් ඇවිද ආ ශාරික තාරුකා අසලින්ම හිඳගත්තේ ඇගේ හිසට සෙමෙන් තට්ටුවක්ද දමමිනි. ආදරණීය සිනාවකින් ශාරිකව පිළිගත් ඈ, අතැති තිඹිරි ගෙඩියක් ඔහු වෙත පෑවාය. හිස දෙපසට සොලවා ඔහු එය අනවශ්‍ය බව හැඟවූයේද තාරුකා මෙන්ම ළංගතු බැල්මකිනි. තාරුකා දෑතින්ම ඉදුණු තිඹිරි ගෙඩිය පතුරු ගසන්නට වූවාය. තාවුල්ලේ සිට හමා ආ සුළං රොදකින් දෙදණ තෙක් වසා උන් තාරුකාගේ ගවොම ඉහළට ඔසවා ඉණ සමීපයේ නතර කෙරීය. වටපිට බැලූ තාරුකා ඇසෙන් එය ශාරිකට පෙන්වීය. තාරුකාගේ ඇස ගිය දෙසට සිය නෙත යැවූ ශාරික එසැ ණින්ම ඉවත බලා ගත්තේය.
“උදව්වක් ඉල්ලපුවාම අහක බලනවද මෝඩයෝ…”
“මොකක්ද දැන් ඉල්ලපු උදව්ව..”
“මේ ගවුම ටිකක් හදන්ඩකෝ අනේ..”
“ඇයි ඔයාට හදාගන්ඩ බැරි..”
“ඒකවත් තේරෙන්නැද්ද නරියෝ..”
“නෑනේ…”
“පේන්නැද්ද..තිඹිරි ගෙඩිය පොතු ගහලා අත් දෙකේම කහට..මේහ්ං……”
තාරුකා කීයේ දෑතම ශාරිකට දක්වාය. ශාරික වරක් වෑකන්ද දෙස බලා ඇඟිලි තුඩුවලින් අල්ලා ගවොම පහලට අදිද්දීම තාරුකා වේගයෙන් දෙපා ගැස්සුවාය. නිරාවරණය වූ වටොරෙහි ස්පර්ෂිත ශාරිකගේ අත ඔහු ක්ෂණයකින් ආපසු ඇදගත්තේය. තාරුකා හඬ නඟා සිනාසෙන්නට වූවාය.
“කරපු උදව්වටද දැන් ඔය උඩ පැන,පැන හිනාවෙන්නෙ..”
“නෑ අනේ..මගේනම් අතේ විතරයි කහට..ඔයාගේ හිතෙත් කහට…”
“නෑ…කිසිම කහටක් නෑ…කකුලෙ අත වැද්දුවෙ ඔයා…”
“බඳින්න ඉන්න කෙල්ලගෙ කකුලෙ අත වැදුනා කියලා හිරි,ඔතප් බිඳෙනවයැ ඉතිං..”
“දැන් මං කිව්වද මට එහෙම එකක් උනා කියලා නෑනේ…”
“ඒ උනාට මං දැක්කා ගවුම් පොටින් අල්ලද්දි ඔයාගේ අත වෙව්ලනවා..”
“එහෙම උනේ ලැජ්ජාවකට,බයකට නෙමෙයි..”
“එහෙනම් මොහොකටද…”
“ගවුම් පොටක් ගැන කියාගෙන ඔයා එන පොට හොඳ නෑ කියලා තේරිලා ඔයා ගැන ඇති උන දුකට…”
තොල් සපා බොරු අමනාපයක් මවාගත් තාරුකා එක් අතක් මිට මොළවා ශාරිකගේ උරහිසට වැරෙන් පහරක් ගැසුවාය. තිඹිරි කහට පැල්ලමක් ශාරිකගේ කමිසයේ සටහන් විය. එය දුටු සැනෙන් දෑස් විසල් කරගත් තාරුකා එක් අතෙකින් මුව වසා ගත්තාය. තොල් මත තැවරුණු තිඹිරි කහට හේතුවෙන් ඈ “තුහ්ං.තුහ්ං.” හඬින් කෙල ගසන්නට වූවාය. දෙදෙනාම එක්ව මඳ වේලාවක් සිනාසුණහ. තවත් තප්පර කිහිපයක නිහැඩියාවක් පැවතින.
“ශාරූ…”
“ම්ම්ම්…”
“මං ඔයාලගෙ ගෙදර ආව දවසෙ තනියම ටිකක් කතා කරන්න ඕනෙ කීවා නේද..”
“හ්ම්හ්..”
“බස්සෙක් වගේ හ්ම්..හ්ම් ගගා ඉන්නැතිව දැන් ඉතිං කතා කරමුකෝ…”
“මට රස්සාවත් හම්බුනා තාරූ…”
තාරුකාගේ වටකුරු දෑස් විසල්ව ශාරික දෙසට හැරින. ඈ යමක් කියන්නට උත්සාහ කළද, දෙතොල් පමණක් සැලෙන වග දුටු ශාරික ඇගේ අතක සිහින් ඇඟිලි තුඩු සෙමෙන් මිරිකා ගත්තේය.
“වැඩි ඈතක නෙමෙයි ළමයෝ…ගල්නෑවෙ..උදේ ගිහින් හවසට එන්න පුළුවන්..”
“මොකක්ද රස්සාව..”
“පොහොර ගබඩාවක ලියන මහත්තයෙක් විදිහට..”
“මගෙ අයියට බංඩාර මුත්තගෙ පිහිටයි..”
“ඒත්..ඔයා ඉන්නෙ දුකෙන්…”
“ඔව්..”
“ඇයි..”
“තුන් තිස් පැයේම ඇහැ ගැටුනේ නැතත්, ඔයා පේන දුරක ඉන්නවා කියන සතුටත් මගෙන් ඈත් වෙන්න යන නිසා..”
“මං යන්නෙ රස්සාවකට තාරූ..දවසක අපි දෙන්නට තනියම ජීවත් වෙන්න..කොහේ ගියත් ඔයා හැම මොහොතෙම මගේ මෙතන ඉන්නවා…”
ශාරික කීයේ තමා අල්වා උන් තාරුකාගේ අත ගෙන ළය මත තබා ගනිමිනි. තිඹිරි මුල් මත රූටා ශාරික වෙතට තල්ලු වී ආ තාරුකා ඔහුගේ පපුව මත හිස හොවා ගත්තාය.
“මෙතනම තියාගෙන ඉන්න මගෙ අයියේ..ඔයා ඇර මට වෙන කවුරුත් නෑ..”
“ඒත් මගේ හිතට ලොකු බයක් දැනෙනවා..”
“කා ගැනද..”
“ඔයා ගැන..”
“හේතුව..”
“නැන්දම්මා, කාලිංගයියා.. ඔයාව මගෙන් ඈත් කරාවිදෝ කියලා හිතෙනවා…”
“අම්මා මට ඔයා එක්ක ඉස්කෝලෙ නැන්දලයි දිහා යන්න එන්නෙපා කියපු නිසාද..”
“ඒකත් එකක්..කාලිංගයියගෙ හැසිරීම ගැනත් මට දැන් බයයි…”
“අම්මගෙ හැසිරීමනම් එදා ඉඳලා ඔහොමනෙ. ඒත් අයියගෙ ඔයා කියන තරම් වෙනසක් මටනම් පේන්නෑ…”
“එයා වෙනස්කම් කරන්නෙ මට..ඔයාව මා එක්ක නොයවන්නෙ ඒක නිසා..”
“අම්මා එහෙම කීව එකේ ලොකු වරදකුත් නෑනේ මගෙ අයියේ.. බඳින්න කලින් එහෙම ගමන් යන එක හරි නෑ කියලා එයාලා හිතනවා ඇති…”
“අඩුම තරමෙ නැන්දම්මට තිබුණා සමන්ති අක්කට හරි අපේ අම්මයි,නංගියි එක්ක ගිහිං එන්න කියන්න…”
“අක්කා යනවට හුඟක්ම විරුද්ධ අයියා…හේතුව ඔයා නෙමේ ලක්මාල් අයියා…”
“කවුරු විරුද්ධ උනත්,හේතුව මොක උනත් මං මයෙ අම්මගෙ ආසාව ඉෂ්ඨ කරන්නෝන තාරූ…”
“ඒත් ඔයා රස්සාවට යන්නෝනෙ..නැන්දම්මව සරලා එක්ක තනියම යවතෑකිද..”
“මං රස්සාවට යන්නෙ ඒ දෙන්නව මේ ගමන එක්කං ගිහිං ඇවිල්ලා තමා තාරු…”
“මං ඔයාගෙන් කාරණයක් අහන්නම්..වරදවා හිතන්නෑ කියලා පොරොන්දු වෙනවනං…”
“හරි දෙයක් ඇහුවොත් මං කවදාවත් වැරදියට හිතන්නෑ…”
“කවුරු වෙනස් උනත්,ඔයාට හැමදාම වෙනස් නොවී ඉන්න පුළුවන් නේද මගෙ අයියේ…”
වෑකන්ද දෙසින් යතුරු පැදියක් එක දිගට නලාව හඬවනු ඇසිණි. තාරුකා වහා ශාරිකගෙන් මිඳුනාය. වෑකන්ද මත යතුරු පැදියේ උන්නේ සුදු මහත්තයාය. ඔහු අත වනා ඔවුනට කතා කළේය. තාරුකාවද කැටුව ශාරික එදෙසට ඇදුනේය.
ලොකු රවුම් වීදුරු බෝතලයකින් අත දමා හුළං විස්කෝතු කිහිපයක් ගත් කුලතුංග මුදළාලි ඒවා ගැන කොලයක ඔතාගෙන කඩෙන් එළියට පැමිණියේය. කඩයේ ඉදිරිපස එල්ලා තිබූ කෙසෙල් කැනෙන් ඇවරියක්ද කපාගෙන දෙකම එක බෑගයකට දැමූ ඔහු, එළියේ බංකුව මත හිඳගෙන දාං අදිනා ජිල්බු සහ මහතුන් අසළට පැමිණ හිටගද්දී ,ජිල්බු අත දිගු කරගෙන නැගිට්ටේය. කුලතුංග මුදළාලි වහා බෑගය පිටුපසට කරගත්තේය.
“දික් කරගෙන නැගිට්ටෙ මෙතන සල්ලි දීලා හිටු ඉස්සරලා..”
“ඕං ඉතිං කුලේ මාමත් විහිළු කරන්ඩ තියාගත්තා…උපන්තේකට කඩේකිං සල්ලි දීලා බඩුවක් ගත්ත එකෙක්ද මේ..මං…”
“හහ්..තෝ හිතුවද පිනට දෙන්න මේක තොගෙ බාප්පොච්චිගෙ කඩේ කියලා බොල…”
“උඔ ඉතිං කාලිංගයියගෙ බාප්පොච්චිද, අප්පච්චිද කියලා මංනම් දන්නෑ…මේවා මට ගේන්න කීවෙ කාලිංගයියනෙ…”
“ගහනවා තොගෙ දත් වහල්ල ගැලවෙන්ඩ..වාචාලයා…”
කුලතුංග මුදළාලි අත ඔසවද්දි ජිල්බු අඩි කිහිපයක් පස්සට පැන්නේය. අනතුරුව ඔලුව කසමින් කතා කළේය.
“උඔ ඉතිං මට ගොරවන්ඩ,පුප්පන්න තියාගත්තෙ..දෙන්ඩ බැරිනං කියාං..මං ගීං කාලිංගයියට කියන්නම්..”
“ඉතිං කියාපිය..තොපිලා ඔක්කෝමගෙ රැස් විහිදෙනවා…අතේ පිච්චිය නැති උනාට…”
“එහෙනම් ඕං මං ගියා ඈං….”
“මෙහෙට වර බොන්ඩිගෙ පුතා..”
යන්නට හැරුන ජිල්බු නැවත කුලතුංග මුදළාලි වෙත ආයේය.
“ඉඳා.. අරගෙන පල මේක..හිතන්ඩෙපා බොගෙ හාමු මහත්තයට බයේ දුන්නය කියලා..සතෙකුට උනත් කන,බොන දෙයක්නෙ…” බෑගය ගත් ජිල්බු වෑකන්දට නැග යන්නට වූයේය.
“තෝ කොහෙද බොල ඔය යන්නෙ..”
“මහ කමතට නොවැ කුලේ මාමා..”
“මේ පිටවානෙන් පැන්නනං අතේ දුරනෙ බොල..”
“මයෙ අම්මේ..උඔ මේ කඩේ මයෙ නමට ලියලා දෙනවා කීවත් මං නෙමේ ඔය පිටවාන පයින්නෙ ආය වංගියක්..”
“ඉතිං තෝ දැන් ඔය පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න තනන්නෙ..ලෝකයගෙ වත්ත මායිමෙන් නේද..”
“පිටවාන පයිනවට වඩා ඒ දුර සනීපයි නොවැ මාමා..”
“තෝ දන්නවයි ඔය වත්ත මායිමේ තියන කොට්ට පුළුං ගහ..”
“මොකෝ මං නොදන්නෙ..තාරුකා අක්ක මහපු තරමක් කොට්ට මැහුවෙ මං ඔය ගහට නැගලා කඩලා දුන්න පුළුං ගෙඩි වලින්නෙ..”
“ආං..ඇත්තද.. එතකොට තෝ දන්නවද ලෝකයගෙ මිනී අළු මුට්ටිය එල්ලලා තිබ්බෙ ඔය ගහේ කියලා…කවුරු හරි ගල් ගහලා ඒක බින්ඳ දවසෙ ඉඳලයි ලොකු බංඩාරිට යකා වැහෙන්නෙ කියලා…”
එය ඇසූ සැනින් ජිල්බු අඩියට දෙකට වෑකන්ද බැස විත් නතර වූයේ කුලතුංග මුදළාලි අසළය. මහතුන් අතින් කට වසාගෙන සිනාසෙන්නට විය. එකෙනෙහිම සුදු මහත්තයාගේ යතුරු පැදියද කඩය අසළ නතර කෙරිණි
.
“තේ එකක් බොන්න පුළුවන්ද මුදළාලි..”
“අපොයි පුළුවනි මහත්තයෝ…”
සුදු මහත්තයා යතුරු පැදිය වෑකන්දේ නවතා කඩය දෙසට පැමිණියේය. කර ලේන්සුවෙන් බංකුව පිස දැමූ කුලතුංග මුදළාලි ඔහුට හිඳ ගැනීමට ඉඩ සැලසුවේ ඉතා ගරු සරු සහිතවය.
“උදේ හදපු හැලප,වණ්ඩු ආප්ප එහෙම තියනවා අපෙ මහත්තයා…ඇන්න එන්ඩද..”
“ඔව්..මොනාහරි කමු.. බඩගින්නකුත් තියනවා..”
මුදළාලි වහ,වහා කඩය තුළට රිංගූ අතර ජිල්බු සෙමෙන් සුදු මහත්තයාට කිට්ටු විය.
“මහත්තයා මේ අහ කෙනෙක්නං වෙන්ඩ බෑ..”
“නෑ මල්ලි..මං ගල්ගමුවෙ..පොඩි ගමනක් ගිහිං එද්දි පාර ටිකක් එහෙ,මෙහෙ උනා…හොඳ වෙලාවට වෑකන්දෙදි නංගි කෙනෙකුයි,මල්ලි කෙනෙකුයි හම්බ උනේ..එයාලා තමා කිව්වෙ මෙතන කඩයක් තියනව කියලා..”
“කෙල්ල ටිකක් ඇහැට කණට පේන පස්ස හොඳට ආරලා ආපු එකියක් නේ..”
“ඔව්…”
“ආහ්ං..අපේ තාරුකක්කා.. කොල්ලා නිකං දෙකට ගයින්ඩ බෑ වගේ මූණ මෙහෙක් කරං නේ හිටියෙ…”
“ඔව්..ඔව්..මල්ලි ඒ දෙන්නව හොඳට දන්නව වගේ..”
“අයියෝ… ඒ අපේ……..”
ජිල්බුගේ කතාව ඉබේම නතර වූයේ කුලතුංග මුදළාලි එතැනට පැමිණි හෙයිනි. අතුල්පතක එලන ළද නෙළුම් කොලයක් මත තැබූ හැලප සහ වණ්ඩු ආප්ප කිහිපයක් ඔහු සුදු මහත්තයාට පිළිගැන්වීය.
“මේ මල්ලිලාටත් දෙන්න මුදළාලි..”
“මුන්ට මොකටෙයි මහත්……..”
කුලතුංග මුදළාලි එසේ කියන පමාවට ජිල්බු අතුල්පතින් හැලපයක් ගෙන අවසන්ය. කුලතුංග මුදළාලි මොහොතක් ජිල්බු දෙස රවාගත්වනම උන්නේය.
“මොකෑ මාමේ උඔ රවන්නෙ..හරියට උඔගෙ අතිං පයිං ගියා වගේ..මහත්තයා නොවැ මේවට ගෙවන්නෙ..”
“හැබෑව..මහත්තයා මේවට ගෙවාවි..හැබැයි කාලියා මෙතෙන්ට ආවොත් හෙම බොට ගෙවන්නෙ අතිං,පයිං තමා…ඕං මං කීවා…”
“ඉතිං උඔ නොවැ මාමා යන්න ගිය මාව අර මිනී අළු කතාවක් කියලා මෙතන තියාගත්තෙ..”
“බොට තනියම යන්න බයනං මේ මහතුවා එක්ක පල..”
“මේකා අකුණු ගහනකොටත් ඇඳපල්ලට රිංගන එකා…ලෝකයා මාම දැක්කොත් හතරගාතෙ දාලා වැටෙයි..”
“එහෙනං කාලියා ඇවිත් එක්ක යනකං හිටු..මයෙ මොකෝ..”
නිහඬව සංවාදයට කන් යොමා සිටි සුදු මහත්තයාගේ මුවට තුනී හසරැල්ලක් නැඟ ආවේය.
ගල්ගමුව – කටුගම්පලගම බස් පාරේ මහ නුගය අසළ සිය මේට් වර්ගයේ යතුරු පැදිය නවතා, ඒ මත නැඟී කාලිංග උන්නේ කිසිවෙකු බලාපොරොත්තුවෙන් මෙනි. ගුණේ බාස් වෙලෙන් පැන ඒ දෙසට ඇවිද ආයේ මේ මොහොතේය.
“බලහංකෝ ගුණේ මාමා.. තාම මේ බස් කට්ට නෑනෙ..”
“අඩමානයක් නෑ.. එහෙනං අදත් ඔය ලදරම එන්නැතුවැති..”
“නෑ..ගල්ගමුවෙන් පිටත් උනාලු..මං මේ මැදින්නෝරුවට ගිහිං යකඩ බඩු කඩේට ටෙලිෆෝං කරලා ආවා විතරයි..එහෙං බඩු ටික බස් එකට පැටෙව්ව කිව්වනෙ..”
“එහෙනං ආය කතා දෙකක් නෑ..මගදි මොනාහරි අකරතැබ්බයක් වෙලා..”
“ඔය ඉතිං..උඔ කිව්වොත් මොකක්හරි කට කැඩිච්ච කතාවක්නෙ කියන්නෙ ගුණේ මාමා..”
“නෑ.. ඉතිං වෙනවට කිව්වා නෙමේ..දන්නවනෙ පුතා ඔය බස් කට්ටෙ සෑම්පලේ..”
“දැන් මේ මාමා කොහෙද යන්නෙ..කොල්ලො ළිඳේ වැඩ නේද…”
“තේ කහට ඩිංගක් ඇන්න එන්නං කියලා ජිල්බුවා ගියා ගියාමයි ඌ තාම නෑනෙ පුතා..”
“ඒකත් එකටම ඕකා කුලයගෙ කඩේ බංකු රත් කර,කර ඇති..හිටපංකෝ මං ඕකගෙ..”
කියා කාලිංග සිය යතුරු පැදියෙන් බිමට පනිනවාත් සමඟම, ජිල්බුවද පිටුපස හිඳුවාගත් සුදු මහත්තයාගේ යතුරු පැදිය පාරේ කෙළවරින් මතු විය.