NovelsMandaramen EhaMandaramen Eha - 13 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 13 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – මහ කමත වෙල් යාය මැද ගැමියන් කිහිප දෙනෙකු සමඟ කිසියම් කාර්යයක නිරත වන කාලිංගය. මිනුම් උපකරණ කිහිපයක් අතින් ගත් තලතුනා වියෙහි ගැමියෙකු ලියදි කිහිපයක් ආවරණය වන පරිදි කවාකාර මායිමක් සළකුණු කරයි. අනෙක් ගැමියන් දෙදෙනා සළකුණු කළ මායිම වටා උල් කරන ලද ලී කැබලි ගසමින් කොහු ලණු අදියි. මේ සියල්ල නිරීක්ෂණය කරමින් පැමිණි කාලිංග තලතුනා වියේ ගැමියා අසළ නතර වූයේය.

“කොහොමෙයි ගුණේ මාමා මේ තැන..මගේ වැඩේට යාදෙයි නේද..”

“කාලිංග පුතා මේ තැනම ඕන කීව නිසා මිසක…….”

“මොකෝ මාමෙ උඔ නිකං අඩමානෙට වචන අතාරින්න තියාගත්තෙ..”

“මට හැක මෙතන ඉන්තේරුවෙන්ම වතුර තියේද කියලයි..”

“උඔත් බඩේ ඉන්න දරුවන්ගෙ හඳහන් ගළපන්න යනවනෙ මාමා…”

“තව යාර පනහක්සීයක් වැව පැත්තට කිට්ටු කරන්ඩ තිබ්බනම් කිරි ගහට ඇන්නැහෙ අඩි දහයෙන් වතුර පුතා..”

“තව යාර පනහක්,සීයක් ගිහින් අනුන්ගෙ ඉඩං හාරන්ඩයැ මාමා..”

“මේ යායෙ කොහෙද පුතා අනුන්ගෙ ඉඩං.. ඔක්කොම පරම්පරාවට අයිති ඒවා නොවැ.. ඇවැස්ස නෑයො වෙච්චි මොනා කරගන්ඩ බැරිද..”

“නෑ ඕනේ නෑ…..වතුර තිබ්බා නැතා.. අඩි දහයට පනහක් කපලා හරි මට වතුර ඕනේ මගේ අප්පච්චිගෙ ඉඩමෙං විතරයි..”

ගැමියා ඉන් එහා වචනයක් හෝ නොපවසා සිය කාර්යයේ නිරත වූයේය. මහ කමතෙන් මතුව තමන් දෙසට පැමිණෙන ශාරික දුටුවද, කාලිංග ඔහු නොදුටුවාක් මෙන් ගැමියන් වෙතම අවධානය යොමා සිටියේය. ශාරික කෙලින්ම විත් නතර වූයේ කාලිංගට මුහුණලාය.

“මං කාලිංගයියව බලන්න ගෙදරටත් ගොඩවෙලා එන ගමන් මේ.. ජිල්බු තමා කීවේ මෙතනය කියලා..”

“ඒ ගොන් වස්සව තේ කහට ඩිංගක් අරං එන්ඩ යවලා දැන් පැය ගාණක්..මොකාගෙ රෙදි අපුල්ලනවද දන්නෑ මෙච්චර වෙලා…”

තමා කියූ දෑ මායිම් නොකොට කාලිංග එසේ පැවසූයෙන් ඇතිවූ අපහසුව මකාගන්නට මෙන් ශාරික ගැමියන් දෙස නෙත් යොමා බැලූයේ බලෙන් මුවට මවාගත් සිනාවකිනි.

“අයියා බර වැඩකට අත ගහලා වගේ..”

“හැමදාම අහසට දත නියවලා වැස්සට ආවඩන්න බැරි හින්දා පොලොවට බර දීලා වතුර ඉල්ලන්ඩ හිතුවා මස්සිනේ..”

“ඔහෝ…..එහෙනම් මේ ළිඳක් කපන්ඩ..”

“ඔව්.. නිකංම ළිඳක් නෙමේ..වගා ළිඳක්..”

“අදහසනං නරක නෑ….ඒත් මේ හරියෙ වතුර තියේද අයියේ..”

“හුනා කියන්නැහැ දැන් ටිහිකට කලින් මාත් ඕකම කිව්වා පුංචි නිළමේ..”

කරමින් සිටි වැඩයද නතර කර තලතුනා වියේ ගැමියා එසේ කියාගෙන ශාරික සහ කාලිංග අසළට පැමිණියේය.

“උඹේ ඔය හූනු සාස්තරේටම අනුව මාමේ.. දැන් ටිහිකට කලින් මං කිව්වා උඔට වැඩේ කෙරෙන්ඩ ඕනෑ කොහොමද කියලා… මං කියන සාස්තරේට වැඩේ කරන්ඩ බැයිනම්.. තරාතිරම අමතකවෙලා මට කුණුහබ්බ කියවෙන්න කලින් උඹේ ඔය ලට්ට,ලොට්ට ටිකයි හැත්ත බුරුත්තයි අරං මෙතනිං තොලොංචි වෙලා පලයං බුදු මාමේ…නිස්කාරණේ මට පව් නොදී..”

ගැමියා ආවාට වැඩි වේගයෙන් ආපසු ගොස් නතර වූයේ අනෙක් ගැමියන් අසළය. තමාතින් වැරදි යමක් කියවුනේය යන හැඟීමෙන් ශාරික කාලිංග වෙත බැලීය.

“කටට ආවට කීවට මං ඒක අහිතකින් කීවා නෙමේ අයියේ..”

“ටිකක් සද්ද,බද්ද දාලා කිව්වට මොකද මාත් ඒ ටික කිව්වෙ කටට ආපු නිසා තමයි මස්සිනේ..”

“කාලිංගයියා මට නොකියන මොනාහරි හිතේ හංගං නේද ඉන්නෙ..”

“මස්සිනේ…මේ කාලිංග බොක්කේ දඩමස් තියාගෙන හක්කෙන් බුදු රැස් පෙන්නන්නෑ….බුදු රැස්නම් බුදුරැස්..දඩමස්නම් දඩමස්.. හරියට මගේ අප්පච්චී වගේ… ඒකයි බොහොම ඉක්මනට එයාට මේ පොළොවට පස් වෙන්න උනේ.. ඒත් බොහොම ඉක්මනටම මම මේ පොළොව හාරලා එයාව යට කරපු මිනිස්සු ගොඩගන්නවා මස්සිනේ..”

“අයිය මොන විදිහට කතාව මගාරින්න හැදුවත් ටික දවසක ඉඳලා මට අයියගේ හැසිරීම් ලොකු අමුත්තක් පේනවා..”

“ඒ අමුත්තේ උඔට ගත යුත්තක් නැත්තං අතෑරලා දාපං මස්සිනේ..”

“එහෙම කරන්න තිබුණා අයියා මගේ ඇවැස්ස මස්සිනා නොවුනනම්..”

කාලිංග ශාරිකගේ කරවටා අත දමාගෙන ගැමියන්ගෙන් මඳක් දුරට ඇවිද ගොස් නතර වූයේය.

“මං උඔ තරම් විභාග පාස් කරලා නෑ….ඒ හින්දා මගෙ මොලේ ටිකක් පොඩියි මස්සිනේ…මේ පොඩි මොලේට තේරෙන දෙයක් මං උඔට කියන්නද…මිනිස්සුන්ගෙ වෙනස්කම්වලට රිදෝගෙන කඩා වැටිලා උඔටයි,මටයි මේ ලෝකෙවත්,මිනිස්සුවත් වෙනස් කරන්න බෑ.. වෙනස්කම් වලට ඉඩදීලා ඉස්සරහට යන්ඩ බලමු….මේ ටික කිව්වෙත් ඇවැස්ස නෑකම ගැන හිතලා තමා මස්සිනේ…”

ඉන් එහා ඔහු සමඟ කතා කිරීම නිෂ්ඵල බව ශාරික හැඳින්නේය. කාලිංග කීවා සේම තමා දැන් ඔහුගේ වෙනස්කම් දරා ගැනීමට සූදානම් විය යුතුයැයි ඔහුට සිතිණි.

තම කුඩා පුතු කවිරූ සෙල්ලම් බඩු කිහිපයක් බදාගෙන මිදුල මැද කරනා අරගලයට නෙත් යොමා සිටි සමන්තීගේ හිත සැණෙන් ඉගිල ගියේ පෙරදා සිය නිවසට පැමිණ ගිය ලක්මාල් සොයාගෙනය. ලක්මාල් කඩුල්ල පනිනවාත් සමඟම සරලා ඔහු එන පෙරමඟට යන්නට සැරසුනාය.

“ඔයා ඔය කොහෙද යන්නෙ නංගී..”

“ඇයි..ඔයා හිතුවද මං එයාව පිළිගන්න යනවා කියලා.. මං යන්නෙ ගෙදර හලෝ..”

“දැන්මම.. මං මෙතන තනියමනෙ අනේ..”

“මදෑ මෙච්චර වෙලා තනි රැක්කා….අරයා ඇවිත් ඔයාගේ පාළු කපයි.”

සමන්තී තවත් යමක් කියන්න පෙර එතැනින් මිදුණු සරලා, අතරමඟදී හමුවූ ලක්මාල්ට සිනහවකින් සංග්‍රහ කළාය. කඩුල්ල පනිනා අතර ඈ නිකමට මෙන් කඩුල්ල අසළ නවතා තිබූ කාරයට එබුණාය. එතුළ හුන් අදීෂ සරලා වෙත හෙලූ බැල්මෙන් සරලාගේ වත ඉබේම බිමට නැඹුරු වූවාය. කාරයේ දොර හැරගෙන එළියට පැමිණි අදීෂ සිනාමුසුව බලා උන්නේ සරලා ඈතට පිය මනින අයුරුය. මඳ දුරක් ගොස් ආපසු හැරී බැලූ සරලා අදීෂව දැක ක්ෂණයකින් ආපිට හැරී එක් අතක් නළලේ ගසා ගත්තාය.

“එකපාරටම ඔයාට මොකද උනේ ලක්මාල්..”

මෙතෙක් වේලා දෙදෙනා අතර පැවැති නිහඬතාවය බින්ඳේ සමන්තී විසිනි.

“එදා රෑ මෙහෙ ඉඳලා යද්දි බයික් එක හැප්පුණා..”

“බංඩාර මුත්තේ..ඒ ඔයාද..සිද්ධිය ආරංචි උනාට හීනෙකින්වත් හිතුවෙ නෑ ඔයා වෙන්න ඇති කියලා..”

“මටත් තාම හිතාගන්න බෑ.. හරියට හීනයක් වගේ තමා..”

“මං ඔයාට කෝල් කරා..”

“මං දන්නවා..”

“ඒ කියන්නෙ හිතාමතාම කතා නොකර හිටියා..”

“ඒ වෙලාවෙ ෆෝන් එක තිබුණෙ මගෙ අතේ නෙවෙයි..අයිය කිව්වම මැදින්නෝරුව හන්දියෙන් කෝල් එකක් ආවා කියලා.. මං හිතුවා ඔයා වෙන්න ඕනෙ කියලා..”

“කතා නොකර කොහොමද අයියා දන්නෙ මැදින්නෝරුව හන්දියෙන් කියලා..”

“නම්බර් එක බලලා අනුමානෙට කියන්න ඇත්තෙ… හරි..හරි.. ඕක ඇති දැන්.. උසාවිය වගේනෙ හරස් ප්‍රශ්න අහන්නෙ… කෝ පුතා..”

“දැන් ටිකකට කලින් නිදාගත්තෙ..”

“අපරාදෙ..වචනයක් කතා කරලා යන්න වාසනාව නැති උනා.. මං මේ ආපහු යන ගමන් සමන්තී..”

“ආපහු යන ගමන් කිව්වෙ..”

“නිවාඩුව ඉවරයි.. කෑම්ප් එකට යන ගමන්..”

සමන්තී මොහොතක් නිරුත්තර වූවාය. වචන ඇහිඳින්නට මෙන් ඈ මුහුණ බිමට නැඹුරු කර සෙලෙව්වාය.

“මට සමාවෙන්න සමන්තී…එදා රෑ මං මෙහෙ ආපු එක වැරදියි..”

“මටත් ඔයාට ඒකමයි කියන්න ඕන උනේ..එදා මං ඔයාට කතා කරපු විදිහත් වැරදියි.. ඒකට සමාව ඉල්ලන්නයි මං ඔයාට ටෙලිෆෝන් කරේ..”

“නිකං බොරුවට ඔයාගේ අයිය එක්ක පැටලෙන්න බැරි නිසයි මට ඒ ගමන එන්න උනේ..”

“මගේ අයිය වැරදි නෑ ලක්මාල්.. ඔයාට නංගී කෙනෙක් හිටියනම් ඔයා ඒක තේරුම් ගනී..”

“නංගි කෙනෙක් නැති උනාට මටත් අයියා කෙනෙක් ඉන්නවනෙ සමන්තී ඒක නිසා තේරුම් ගන්න පුළුවං..”

“වාහනේ ළඟ කවුරු හරි ඉන්නවා නේද..”

“ඕහ්… කතාවෙන් ඒකත් අමතක උනා..”

ලක්මාල් අත්පුඩියක් ගසා අදීෂට කතා කොට අභිනයෙන් යමක් පැවසීය. සමන්තී කුහුලෙන් යුතුව එදෙස බලා උන්නාය. බෑග් මළු කිහිපයක්ද ඔසවාගෙන අදීෂ ඔවුන් වෙත පැමිණියේය.

“මේ මගේ හොඳම යාළුව සමන්තී… නම අදීෂ..වසන්තත් කිට්ටුවෙන්ම ආශ්‍රය කරා.. අදීෂයා මේ තමා……….”

“සමන්තී…. අපේ වස්සගෙ නෝන පොඩ්ඩ..වස්ස වනපු විදිහටම හැඩට ඉන්නවා.. අදනෙ ඉතිං දැක්කෙ…..”

“හෝව් මචං… හෝව්.. මේක උඔගෙයි මගෙයි ගම නෙමෙයි.. වසන්තගේ ගමත් නෙමෙයි.. සමන්තීගේ ගම.. එනකොටම කිව්වනෙ උඔට..”

“සොරි වෙන්ඩෝනැ…අර මොකටද වඩා ලොකුයි කියනවනෙ පුරුද්ද…”

යැයි කියමින් අදීෂ තමා අත තිබූ බෑග් කිහිපය ලක්මාල් අත තැබීය. ලක්මාල් එසැනින්ම ඒවා සමන්තී අත තැබූවද, සමන්තී ඒවා අතට නොගෙන ලක්මාල් දෙස බලා උන්නාය.

“පුතාට ඕන කරන දේවල් ටිකක්..මට ආයෙ මාස කීපයකට එවෙන්නෙත් නෑනෙ සමන්තී..”

“මං මෙහෙම කිව්වට මොකුත් හිතන්නෙපා ලක්මාල්.. ඔයාට හැමදාම මේ දේවල් කරන්න බෑනේ..මාත් කවදාහරි මගේ ජීවිතේ බර තනියම දරාගන්න පුරුදු වෙන්න එපැයි..”

“ඔව්.. ඒක ඇත්ත සමන්තී.. මගේ ජීවිතේ ලොකු කොටසක් වෙලා හිටපු වසන්ත නැති අඩුව මං පුරවගන්නෙ ඔයාගේ පුතාගෙන්.. මගේ ජීවිතේ ලොකුම කොටස වෙනුවෙන් කරන මේ දේවල් ඔයාට ලැජ්ජාවක් වගේනම්.. මේවා ගණන් හදලා තියාගෙන ඔයා කියපු විදිහට ඔයාට ඔයාගේ බර තනියෙන් දරාගන්න පුළුවන් උන දවසට මට ආපහු ගෙවන්න.. එතකං මේ ටික ගන්න..”

“මේ..මේ.. ඔය දෙන්නගෙ ගණුදෙනු පස්සෙ වෙලාවක හිමීට බේරගන්නවද.. මොකද මං ආවෙ උඔව සාලියපුර කෑම්ප් එකට දාලා ආපහු එන්න මචං.. දැන්වත් අපි ආපු ගමන යමුද මගෙ දෙයියෝ..”

අදීෂගේ කතාවට ලක්මාල් මෙන්ම සමන්තීද සිනාසුණහ.

“අම්මා…මේ..”

සිය පුතුගේ හඬින් සමන්තී කල්පනා දැහැනින් මිඳුනාය. නිදිබර දෑසින් ඇඟේ දැවටෙන පුතුද කරපින්නා ගත් ඈ ගෙට වැදුනාය.

සිරිවර්ධන මුදළාලිගේ මොරිස් මයිනර් රථය අරසන් වැව අසළ බන්ධුගේ ගරාජය ඉදිරිපිට නතර කෙරිණි. ගරාජය පිටුපස සිට දිව ආ බන්ධු කාරයේ දොර හැර සිරිවර්ධන මුදළාලිව ගරු සරු සහිතව ඉන් පිටතට ගත්තේය.

“තමුසෙ අද වේලපහම ගරාජ් එක වැහුවයි බන්ධු..”

“අපේ මුදළාලි මේ අහ එනවා කියලා ටෙලිෆෝං කරපු පරක්කුවට කොල්ලො ටික ගෙවල්වලට පිටත් කොරලා මේ බඩකඩෙත්තුව වහලා දැම්මා…”

“මං හන්දා තමුසෙට හරි පාඩුයි නොවැ අයිසෙ..”

“අපේ මුදළාලිට ලාභ පාඩු බලන්න මං මොකෝ එච්චර ලොකු මිනිහෙක්යැ..”

“තමුසෙව මං ලොකු මිනිහෙක් කරලා ගන්නම්කෝ….මං කිව්ව විදිහට වැඩ ටික කරනවකෝ..”

“ආයෙත් අහලා.. මං නොදන්නවායැ අපේ මුදළාලි ගැන..”

“එහෙමනම් ඔය වාහනෙත් පිටිපස්සට වෙන්ඩ දාලා ඇතුලෙ තියන අඩුම,කුඩුම ටිකත් අරං එනවකෝ ආපු වැඩේ කතා කරගන්ඩ.”

“හොඳමයි අපේ මුදළාලි..මං සුටුස් ගාලා එන්නං. ඔහොම පිටිපස්සට යමුකෝ…. මං අපේ මුදළාලිටම කියලා ගිරාතලානෙන් දඩමස් ටිකකුත් ගෙන්නලා හැදුවා ඕං..”

“ගිරාතලානෙන්……”

සිරිවර්ධන මුදළාලි එම වචනය රාව නැංවූ තාලයට මොරිස් මයිනර් රථයට ගොඩවෙන්නට ගිය බන්ධු ආපසු හැරී ඔහු දෙස බැලුවේ කුහුලෙනි.

 

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you