Mandaramen Eha – උස්ගල පුරාණ රාජ මහා විහාරයේ මැද මිඳුල කෙළවරට වන්නට පිහිටි සල්ගස් පේළියේ කඳෙහි පාමුල සිට ඉහළට මල් දරා තිබේ. ඊට සමාන්තරව ඇති පහන් වැටෙහි තෙල් දැවීමෙන් හමන සුවඳත්,සල්මල් සුගන්ධයත් එක්වූ කළ තාරුකාගේ හිතට ගැඹුරු පින් හැඟීමක් නැග ආවාය. ඈ සිය මව ලොකු බංඩාරමැණිකේ දෙසට නෙත් එසවූවාය. ලොකු බංඩාරමැණිකේ පහන් වැටෙහි කෙළවර තෙක් ඒවා තෙල්වලින් පුරවමින් ගොස් අහවරය. තාරුකා වහා පහන් තිර තෙල්වල පොඟවා වැටි සැකසුවාය. මේ මොහොතට ශාරිකත් කැටුව ආවානම් කෙතරම් හොඳදැයි ඇගේ හිත කීවාය. යාන්තම් සුව අතට පැමිණෙන සිය මවගේ සිත ව්‍යාකූල කරන්නට නොහැකිකමෙන් මිස, ශාරිකට මේ ගමනට කතාකරන්නට ඇගේ හිත ඈට කිහිපවර ඇවිටිලි කළාය. ශාරිකගේ දසුනක් පවා එතරම් නුරුස්නා සිය මවගේ අභිමතයට ඉඩදී නිහඬ වූවා හැර, ශාරික නොමැතිව පැමිණි මේ ගමන ගැන ඇගේ හිත ඈට දොස් නැඟුවාය. තාරුකාට සැනසීමකට ඇත්තේ සිය සොහොයුරා කාලිංග හා ශාරික අතර ඇති දැඩි බැඳීම පමණෙකි. එයත් නොවන්නට ඔවුන්ගේ ප්‍රේමය මෙතරම් සැහැල්ලුවෙන් ගලා නොයන්නට ඉඩ තිබිණි. සිය මවද ක්‍රමයෙන් ශාරික කෙරෙහි පැහැදෙනු ඇතැයි යන විශ්වාසයට අවනතව ඈ එය ප්‍රශ්න කරන්නට නොයන්නීය.
“නැන්දේ…”
තාරුකා වහා හැරී බැලුවාය. සේනපුර පොඩි හාමුදුරුවන්ගේ දෙපා නමදින සිය මව දුටු ඈ වහා දිව ගොස් ඇයව අනුගමනය කළාය.
“නැන්දට දැන් සනීපයි නෙව..”
“එහෙමයි අපේ හාමුදුරුවනේ..”
“ඉඩකඩ තියන හැටියට පංසල පැත්තෙ ඇවිත් මලක්,පහනක් පූජා කරන්ඩ…එතකොට ඔය හිතේ තියන සැක,සංකා, දුක් කරදර දුරු වෙලා යාවි…”
“ඒකමයි මං අම්මව පංසල් එක්කාන ආවෙ හාමුදුරුවනේ…”
“කෝ කාලිංගයියා, ශාරිකයියා එහෙම…ගෙවල් පැත්තෙ නැද්ද..”
සේනපුර හිමියන් අසද්දී තාරුකාගේ දෑස් වහා සිය මව නිරීක්ෂණය කළාය. මවගේ මුහුණ තරමක් බැරෑරුම් වනු දැක්මෙන් තාරුකා යමක් කියන්නට සිතුවාය. එහෙත් ඊට පෙරාතුව ලොකු බංඩාරමැණිකේ හඬ අවදි කළාය.
“අපේ උන්දැනම්…උදේම අර හුටු හුටුවෙ නගිනවා යනවා….ආයෙ රෑට රෑ වෙලා එනවා …තම්බලා තියන දෙයක් ගිලිනවා ..බුදියාගන්නවා.. එච්චරයි..”
“හේනක් කුඹුරක් කරන්නවත් කෝ වැහි කඳුලක්වත් වැටෙන පාටක් නෑනෙ නැන්දේ….කාලිංග අයියා කියලා මොනා කරන්නද..”
“වැස්සට දත නියව,නියව ඉඳලා කොහොමෙයි අපේ හාමුදුරුවනේ…අනිත් මිනිස්සුන්ට වාගේ පිනට පහල උන දේපල අපිට නෑනෙ..අත වැනුවොත් තමා අපේ කටත් වැනෙන්නෙ…”
“මං දවසක් දෙන්නත් එක්ක මේ ගැන කතා කරා..”
“දෙන්නත් එක්ක කීවෙ අපෙ හාමුදුරුවනේ”
“ශාරිකයියයි,කාලිංගයියයි එක්ක…”
“එයැයිටනම් ගෙදරට වෙලා බුදියාගත්තත් මොකෝ…..අපුච්චට පිනට ලැබුණ ඉඩකඩම් ටිකෙන් ජීවත් වෙතෑකි…අපේ එකාට මං නැති දවසක මේ කෙල්ලෝ දෙන්නත් එක්ක යන කළ දවස ගැනයි මට බය…”
“ඇවැස්ස නෑකම් කියන්නෙත් ලොකු දේපලක් නැන්දා.. ඒවා හයියට තියනකං බැඳීම් වැඩියි..”
“ඔක්කොම නෑකම් හයියට තිබුණෙ ළමයින්ගෙ අප්පච්චී ජීවතුන් අතර ඉන්නකං විතරයි…එයත් එක්කම මගේ හිතෙන් ඒ නෑදෑකම් ටිකත් දියවෙලා ගියා අපෙ හාමුදුරුවනේ..”
“අම්මා….”
තාරුකාගේ හඬ තරමක් වේගවත්ව නැඟුණාය. සේනපුර හිමියන් තාරුකා වෙත හෙලූ සංසුන්,පින්වන්ත බැල්ම ඇයවද සංසුන් කළාය.
“ලබන මාසේ ලොකු හාමුදුරුවෝ දඹදිව ඉඳලා වඩිනවා…. ඒ ආහම වැහි මාසෙ අල්ලන්නත් එක්ක කිරිහර මංගල්ලෙ තියන්න ඕනෑ..”
“එහෙමයි අපේ හාමුදුරුවනේ..”
සේනපුර හිමියන් පිටව යනවාත් සමඟම ලොකු බංඩාරමැණිකේද පහන් වැට දෙසට ඇවිද ගියාය. තාරුකා සිය මව දෙසත්,සේනපුර හිමියන් යන දෙසත් බලමින් හුන් තැනම බිම හිඳ ගත්තාය.
උද්‍යානයේ සුපුරුදු ස්ථානයට වී පයිප්පය උරමින් සිටින සිරිවර්ධන මුදළාලිගේ මතකය පෙරදා මැදින්නෝරුව හන්දියේ සිදුවූ සිද්ධිය වෙත ඇදී ගියේ නිරායාසයෙනි. තම මොරිස් මයිනර් රථයෙන් බසින්නට සැරසෙද්දිම එහි දොර හරස් කරමින් නතර කළ කාලිංගගේ යතුරු පැදිය දුටු සිරිවර්ධන මුදළාලි තමා පසෙකින් හිඳ උන් සින්නා දෙස බැලීය. සින්නා අනෙක් පසින් දොර හැරගෙන බසින්නට සැරසුනද, සිරිවර්ධන මුදළාලි ඔහු වළකාලීය. ඔහු වීදුරුව පහත් කර කාලිංග දෙස බැලීය.
“බොහොම අපූරුයිනෙ මහත්තයා වාහන එළවන හැටි..”
“ඇයි ඉලංදාරියා….මං අතින් මොකුත් වැරැද්දක් හෙම උනාය..”
“වෙච්ච කෙරිච්ච දේවත් නොතේරෙන තමුන්නැහැලාට…වැරැද්දක් උනත් ඔච්චර තමා ඉතිං..”
“වහෙන් ඔරෝ භාෂාව පැත්තක තියලා අහන්න ඕනෙ කාරණාවට ආවනම්…ඔහේගෙ කාලෙයි, මගෙ කාලෙයි දෙකම ඉතුරුයි නොවැ ඉලංදාරියා..”
“තමුන්නැහැගෙ එළවිල්ලට තව පොඩ්ඩෙන් අර ඉස්කෝල ළමයි ටික යටවෙනවා….දැක්කෙ නැද්ද උන් කැලේට පැනලා බේරුණේ..”
“ඔහෝ….ඒකද කාරණේ…ඔය බයික්කෙක පොඩ්ඩක් පැත්තකට ගත්තනම්…මට බැහැලම ඕකට උත්තරයක් දෙතෑකි..”
කාලිංග යතුරු පැදියේ හිඳගත්වනම දෙපය බිම ගසා එය ඉදිරියට ගත්තේය. රියෙන් බට සිරිවර්ධන මුදළාලි කාලිංග අසලට විත් ඔහුගේ උරයට අතක් තැබුවේය. කුඩා පත්‍රිකා මිටියක්ද අතැතිව පැමිණි සින්නාද ඔහු පිටුපසට වූයේය.
“නඩුවක් දානවනම් අනතුරක් වළක්වා නොගැනීම යටතේ දාන්න පුළුවං…ඒත් ඉලංදාරියා මං අනතුර වලක්කා ගත්තා….උන් ටික පාරේ එහා පැත්තෙ ඉඳලා මෙහා පැත්තට පැනපු වේගෙට උන්ව යට නොකර බේරුවට හරිනම් ඉලංදාරියා මට ස්තූති කරන්ඩෝනෙ…”
කාලිංගට සරදම් හිනාවක් පෑ සිරිවර්ධන මුදළාලි මහ කඩය දෙසට ගමන් කළේය. කිසිවක් කියන්නට මුව හැදූ කාලිංග අත කුඩා පත්‍රිකාවක් තැබූ සින්නාද සිරිවර්ධන මුදළාලි පසුපස ඇදිණි. කාලිංග තමා අත තැබූ පත්‍රිකාව දෙස බැලීය.
ගේට්ටුවෙන් නිවසට ඇතුළු වූ වාහනයක හඬින් සිරිවර්ධන මුදළාලි කල්පනා ලොවෙන් මිදිනි. මිදුලේ නතර කළ වාහනයෙන් බැස්සේ ලක්මාල්ගේ මිතුරා වූ අදීෂය. මොහොතකින් බෑග් කිහිපයක්ද රැගෙන නිවස තුළ සිට පැමිණි ලක්මාල්ද ඊට නැගුණේය. ඔවුන් ගේට්ටුවෙන් පිටව යනතුරු අවධානයෙන් සිටි සිරිවර්ධන මුදළාලි සිය ජංගම දුරකථනය ගෙන එය අංකනය කරන්නට විය.
භාගෙට ඉදිකළ සමන්තීගේ නිවසේ ගඩොල් බිත්තියකට පිටදී කතා බහක උන් සරලා සහ සමන්තී එකවරම හඬනගා සිනාසුණහ.
“පෙනේද පොඩිකමට කරලා තියන වැඩේ…විභාගේ ඉවරවෙච්ච දවසෙම බයික්කෙකේ ජෝඩු දාලා ඇවිත්..”
“ඕකට ගොඩ නොවුණනම් හන්දිය දෙක වෙන්න කෑගහනවා….අක්ක දන්නවනෙ කාලිංගයියගෙ හැටි…”
“ඇත්තටම නංගී…ඔයා බයටද බයික්කෙකට ගොඩ උනේ…”
“බයට ගොඩ උනාට මොකෝ එනකොට හරිම ආදරෙන් ආවා..”
“නෑහ්…එච්චර දේවල් සිද්ධ උනාද අනේ ඔය ටිකට..”
“ඔයාට සමයං…ගොඩ උන වෙලේ ඉඳං කිව්වෙම ඇඟේ ඇලෙන්නැතිව පස්සට වෙලා ඉඳගනිංකෝ කියලා…”
වැරෙන් සරලාට පහරක්ද ගසමින් සමන්තී කොක් හඬලා සිනාසුණාය. සරලා ඇගේ සිනහව දෙස බැලූයේ ආදරණීයවය. සමන්තී එය දුටුවාය.
“මෙයත් එහෙනං පස්සට වෙලා නිකං ඉඳලා නෑ.. ඇඟේ ඇලෙන්න ගිහිං..”
“ඔයාටත් අහු උනා ඉතිං කොනක්…අර වලවල් ගොඩේ කාලිංගයියගේ ලදරමේ ඉඳන් එද්දි බබා වගේ එතෑකිද අනේ…අලිවලකට පතබෑ උන ගමන් මම විසිවෙලා ගිහින් ඇඟේ වදිනවා…..ඒකටත් මේ යකා ගොරවනවා..”
“බිං බස්සා වගේ හිටියට අපේ අයියත් මාර මොළකාරයනෙ…අනුමානයක් නෑ වලවල් හොය,හොය බයික්කෙක දාන්නැති..”
“මටත් ඕකම හිතුණා….ඒක අහන්න ගිහින් වෙච්ච දේ දන්නවද..”
“මං කොහොමෙයි දන්නෙ…දන්න කෙනාම කියමුකෝ බලන්න..”
“උඔ කට පියාගෙන වාඩිවෙලා ආවෙ නැත්තං ඇලට අතෑරල යනවා කිව්වා..”
නැවතත් දෙදෙනා අතරම සිනහවක් පැතිර ගියහ. කුඩා පත්‍රිකාවක එතූ යමක් සරලා සමන්තී අත තැබුවාය.
“මේ මොනාද නංගී..”
“ලෙහලා බලන්න තියන මල්ල ඔබ,ඔබ ඉන්නවනෙ ඉතිං මෙයත් ..”
“බුල්ටෝ…..”
“ඔව්….ඔයාගේ මහ ලොකු අයියගේ තෑගි..”
“ඉතිං මේක මෙහෙ උස්සං ආවෙ මොකටද..”
“ඕක කවීට දෙන්න…බුල්ටෝ කෑහැකිද අනේ….කෙල්ලෙකුට තෑග්ගක්වත් තෝරන්න තේරෙන්නැති මෝඩ මස්සිනා….”
සමන්තී බුල්ටෝ කිහිපය ඔතා තිබූ පත්‍රිකාව කියවන්නට වූවාය.
රැකියා අවස්ථා
*****************
ධාන්‍ය ඇසුරුම් කිරීම සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනේ. සිත් ගන්නා සුලු වැටුප්.
විමසීම්:
සිරිවර්ධන ෆැන්සි හවුස්
කෙලින් වීදිය
ගල්ගමුව.
සමන්තීගේ මුවට ආලෝකමත් සිනහවක් නැගුණාය. සරලා ඇය දෙස බැලූයේ කුහුලෙනි.
“මොකෝ අක්කෙ තනියම හිනාවෙන්නෙ..”
“නෑහ්ං…. මම මේ කල්පනා කරේ අපෙ අයිය ගැන..වෙලාවකට පොඩි එකෙක් ගානයි..”
නිවසේ කඩුල්ලට සමීපව වාහනයක් නතර කෙරිණි. දෙදෙනාගේම අවධානය ඒ දෙසට යොමු වූහ. රියෙන් බැසි ලක්මාල් දුටුවනම සමන්තීගේ දෑස් විමතියෙන් විසල් වූවාය.