More
    NovelsMandaramen EhaMandaramen Eha - 05 මන්දාරමෙන් එහා

    Mandaramen Eha – 05 මන්දාරමෙන් එහා

    -

    spot_img

    උස්ගල පුරාණ රජ මහා විහාරයේ මැද මිදුලට වී ශාරික හාත්පස බැලුවේය. බණ මඩුව දහම් පාසල් දරු,දැරියන්ගෙන් පිරී තිබෙන්නේ අද ඉරිදා දිනයක් බැවිනි. බණ මඩුව හා ආවාස ගෙය අතර මැද පිහිටි පැරණි සියඹලා ගස මැද මිදුලෙන් අඩක් වසා පැතිර තිබේ. එම ගස් සෙවනේද ඩෙස්,බංකු දමා සිසුන් අධ්‍යන කටයුතුවල නියැලෙයි. ශාරිකගේ හිස මත සියුම් රිදීමක් සමඟ යමක් පතිත විය. හිස නඟා ඉහළ බැලූ ඔහු දුටුවේ තිත්ත නෙල්ලි ගසේ ගැට හපමින් අතුපතර දුවන ඉරි ලේනුන් රංචුවකි. උඩ මළුවේ බෝධීන් වහන්සේ දෙසින් ගාථා ස්වරයක් පැතිර එයි. එය සේනපුර පොඩි හාමුදුරුවන්ගේ බව ශාරික හැඳින්නේය.

    “මස්සිනේ..”

    කාලිංග උඩ මළුවේ පිය ගැටපෙළ බසිනා අතරතුර ශාරිකව ඇමතීය. ශාරික ඔහු එන පෙරමඟට ඇදිනි.

    “පොඩි හාමුදුරුවෝ දහම් පාසල ඇරලා එනවය කීවා..”

    “තව ඒ හැටි වෙලාවක් නෑනෙ..ඉඳලම යමු..”

    “මොකෝ දන්නෑ.. හදිසියේ කතාකරේ..”

    “නැන්දම්මා ගැන අහන්ඩ මයෙ හිතේ..”

    “ඉස්පිරිතාලේ නැවැත්තුවාය කියලා දෙහි කපාවිද දන්නෑ..”

    “ලොකු හාමුදුරුවෝ අද පන්සලේ නෑ…හොඳ වෙලාවට..උන්නනම් ආඬපාලී කියනවා..”

    “උන්දැ හිටියනම් මගෙ බල්ලවත් පංසලට අඩිය තියන්නෑ අම්මපා..දේශනා අහලම තිත්ත වෙනවා..”

    “ඔය..ඔය.. ඉතිං..පන්සලට ඇවිදිනුත් පව් පුරෝගන්න හදනවා..”

    යමක් කියන්නට ගිය කාලිංග නිහඬ වූයේ උඩ මළුවේ පියගැට පෙළ බසින දරු දැරියන් දැකීමෙනි. ළමා සාරී වලින් සහ ජාතික ඇදුමින් සැරසුන ළමෝ පිළිවෙලින් තමන් පසුකරනා අයුරු නිරීක්ෂණය කරමින් කාලිංග නෙල්ලි ගසට බර දුන්නේය. කාලිංග සහ ශාරික අසළින් පියමනින යොවුන් වියේ දැරියන් පිරිසක් ඔවුන්ට සිනාසුණහ.

    “අයියලා පංසල් ඇවිත් වගේ..”

    යැයි ඉන් එකියක ඇසූයේ මුකුළු හිනාවක් මුවඟ රඳවාගෙනය. කාලිංග ඇය දෙස බැලූයේ අමනාපය රැඳි දෑසිනි.

    ” නෑ..අපි මේ ඇඟ පත ටිකක් තෙමාගන්න කියලා ආවෙ..උඔ ළග පනිට්ටුවක් තියේනං දීලා පළයංකෝ..”

    “අයියෝ…පනිට්ටුව ළිඳ ළග තියලනෙ ආවෙ..”

    “ආං..ඇත්තද.. පරෙස්සං කොරලා තියාගනින් බොගෙ පනිට්ටුව…මං එන්නං හැන්දැකොරේ වතුර බාන්ඩ..”

    දැරියන් රංචුව කොක් හඬලා සිනාසෙද්දි..කාලිංග ඔවුන්ට එරවීය.

    “අයියේ…අයියේ..”

    කියා ශාරික වැලමිටෙන් කාලිංගට ඇන්නේය. එදෙස බැලූ කාලිංග දුටුවේ තමන් වෙතට එන සේනපුර පොඩි හාමුදුරුවෝය. පෙරමඟට ගිය දෙදෙනාම උන් වහන්සේට නමස්කාර කළහ.

    “සුවපත් වේවා….මං හිතුවෙ දෙන්නා දවල් දානෙන් පස්සෙ ඒවිය කියලා..”

    “ඔබ වහන්සේ දානෙට වඩින්න අපෙ හාමුදුරුවනේ..එතකං අපිට හිටියෑකි..”

    “නෑ ඒකට කාරියක් නෑ….යමු දාන ශාලාව පැත්තට..ගිලන් පස ටිකක් ගන්න ගමන් කතා කරතෑකි..”

    චීවරයේ යට පොට එක් අතකින් ගුලි කොට අල්වාගෙන සේනපුර හිමියන් නෙල්ලි ගස මුලින් පියගැට පෙළ බැස්සේය. ශාරික සහ කාලිංගද උන් වහන්සේ පිටුපස ඇදුනහ.

    “හෑං…එහෙනම් ටක්කෙටම ලොකු බණ්ඩාරී උන්දැට ලෝකයාගෙ දිෂ්ඨිය වැහිලා..”

    යැයි කියාගෙන කඩිමුඩියේ කඩේ ලෑල්ලෙන් නැගිට ගත් මහතුන්ගේ දණ හිස වැදී දාං ලෑල්ල බිම පතිත විය. කුලතුංග මුදළාලි ගෙල එලියට දමා බැලිය.

    “මොකෝ බොලාට මහ සොහොන් දිෂ්ඨිය වැහිලද..යාන්තං අලියා පාගපු කඩ පොඩ්ඩ අටවගත්තා විතරයි..”

    කියාගෙනම ඔහු විත් ගැමියන් අතර නතර විය.

    “මේ ජිල්බුවා කියන්නෙ..කාලියගෙ අම්මට ලෝකයාගෙ දිෂ්ඨිය වැහිලය කියල..”

    “අඩේ මහතුවා….කෙබර ඇද බාන්ඩෙපා…කොයි වෙලේද මං එහෙව් උලව්වක් කිව්වෙ..”

    එසේ කියමින් ජිල්බු මහතුන් වෙතට කඩා පැන්නේය. කුලතුංග මුදළාලි ජිල්බුගේ අතින් ඇද ඔහුව පසෙකට කරවීය.

    “මෙන්න මෙහාට වෙලා හිටු..එල්ලෙන්න යන්නැතුව..හැබෑටම මොකෝ ජිල්බුවෝ උනේ..”

    “ඊයෙ හවහ ලොකු බණ්ඩාරී නැන්දගෙ දත කට පූට්ටු වෙලා ඉස්පිරිතාලෙ ඇන්න ගිහිං ඕං..”

    “හැබෑට…තෝ එවෙලෙ එතන උන්නද..”

    “නෑ.. මට බස් පාරෙදි සමන්ති අක්කයි,තාරුකක්කයි හම්බුණා උන්දැ බලන්න ඉස්පිරිතාලෙ යනවා..”

    “ආ….එතකොට සමන්තියද බොට මේ සංගදිය කීවෙ..”

    “මොන…කොහෙද යන්නෙ කියලා විතරයි අහන්ඩ ලැබුණෙ..තාරුකක්ක පැනපු ගමන් කිව්වෙ නැතෑ බොට මායියෙක් බලන්න යනවය කියලා..”

    කුලතුංග මුදලාලී තොල් සපා කෝපයෙන් හිස ඒ මේ අත ගැසීය.

    “ඈං.. බොල උලමෝ…. දැන් ටිහිකට කලින් තෝ කීව නේද බංඩාරිව දත කට පූට්ටු වෙලා ඉස්පිරිතාලෙ ඇන්න ගියාය කියලා..”

    “ආං…ඒක මට කිව්වෙ අර ටැට්ටර ගුණයා….උගෙ ලෑං මාට්ටරේ පටවලා තමා ඉස්පිරිතාලෙට ඩොක්කලා තියෙන්නෙ..අතරමඟදි ගජරාමෙට හූ තිබ්බලු…ලෝකය මාමගෙ කටහඬමලු ගිරිය යටින් ආවේ…මූණ මේං මෙහෙමලු…”

    ජිල්බු සිද්ධිය රඟ දක්වමින් පවසන අයුරු පිරිස අසා සිටියේ අයාගත් මුවෙන් යුතුවය.

    “පෙනේද මේකා ඇහෙන් දැක්ක ගානට කටේ දිවේ නොගෑවී බින්න කෙලින යස…දුවපිය යන්න මෙතනින් කඩේ මුස්පේන්තු නොකර..”

    කුලතුංග මුදළාලි ජිල්බුට එසේ ගුගුලද්දී,ඔහු අඩියෙන් අඩිය පිටුපසට ගොස් වෑකන්දට ගොඩවූයේය.

    “අඩෝ…. කුලයා…. උඔට බේගල් අහගන්නකං ජිල්බුව රත්තරං ..ඊට පස්සෙ මුස්පේන්තුයි..ඊළග වංගියේ අලියා පාගන්නෙ බොගෙ ඔය වට්ටක්කා ගෙඩියක් වගේ තියන බඩ..අම්මප ඕං කීවා..”

    “ඔහෙ හිටු බොන්ඩිගෙ පුතා මං තොගෙ හතර හන්දි….”

    කියමින් කුලතුංග මුදළාලි ලිප් ගල් අතරින් ගිණි පෙනෙල්ලක් අතට ගත්තේය. ඒ වන විටත් ජිල්බු වෑකන්දේ මගක් දුව ගොස්ය. එතැන් සිට හූවක් තබා උඩ පැන්න ජිල්බු ,සරම ඔසවා පශ්චාත් භාගය මුදළාලිට දැක්වීය.

    සියඹලා ගස් සෙවන යට තබා ගත් බංකුවක සේනපුර හිමියන්,ශාරික සහ කාලිංග කතාබහකය.

    “දැන් ඔය කාලිංගයිය දැක්ක කියන අමුතු චායාවයි..නැන්දගෙ අසනීපෙයි අතර මොකක්ද තියන සම්බන්ධෙ..”

    සේනපුර හිමියන් කාලිංග දෙස බලා ඇසීය.

    “මං ඒක දැකලා තප්පර ගාණක් ගියෙ නෑ.. ගේ ඇතුලෙන් කට්ටිය කෑගැහුවා..”

    “ඔය වෙලාවෙ ශාරිකයියා නැන්ද ගාව නේද උන්නා කීවෙ.”

    “ඔව් අපෙ හාමුදුරුවනේ..මම නැන්දම්මට කතා කරනකොටම අතපය දරදඬු වෙලා,කට ඇරිලා ගැහෙන්න ගත්තා..”

    “අද්භූත බලවේග ලෝකේ නැහැයි කියලා මම කියන්නෙ නෑ.. ඒත් නැන්දගෙ ලෙඩේට මොකක් හරි මානසික බලපෑමක් ඇතියි කියන එකයි මට හිතෙන්නෙ..”

    “අපෙ අම්මා අප්පච්චිගෙ මරණෙ ගැන නිතර දෙවේලේ කම්පා වෙනව අපෙ හාමුදුරුවනේ..”

    “ලොකු මාම අන්තරා උනායින් පස්සෙ නැන්දම්මට මාවත් රුස්සන්නෙ නැතිව ගියා.. මට තාම හිතාගන්න බෑ.. ඒ ඇයි කියලා..”

    ශාරිකගේ කනස්සලු හඬින් සේනපුර හිමියන් උස්ගල වෙත දෑස් යොමා ගත්තේය.

    “ලොකු බණ්ඩාර මාමගෙ මරණෙ සිද්ධ උන ආකාරේ මේ ගමේ කාටවත් අමතක වෙන්නෑ.. ඒක දෑහින් දැකපු නැන්ද කෝම අමතක කරන්නද..”

    “එහෙං සමන්ති දරුවෙක් එක්ක අතරමං වෙලා….මෙහෙං අපෙ අම්මා ලෙඩා දුකා වෙලා….දීග යන්න ළමිස්සියෙක් ගේ ඇතුලෙ..වෙලාවකට මට ඔලුව හැරුණ අතේ යන්න හිතෙනවා..”

    “පවුලෙ මුල් පිරිමියා වෙච්ච කාලිංගයියා ඔහොම කඩං වැටිලා බෑ….දුක් කරදර එනවා,යනවා…මූණ දෙන එක මිසක් පැනලා යන එක හපන්කමක් නෙමෙයි..තමන් හයියට ඉන්න තරමට ඒවාට අපිව හොල්ලන්න බැරිවෙනවා…”

    “දියකරලා පොවන්නැති එක විතරයි අපෙ හාමුදුරුවනේ..උදේ හවා මාත් කියනවා…කොහෙද පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ…කළබල වෙනවා..”

    “ඇවැස්ස මස්සිනාලා මෙහෙම සහයෝගෙන් ඉන්නවා අඩුයි..ඒ අතින් කාලිංගයියා වාසනාවන්තයි..ශාරිකයියා රස්සාවකට කොළඹ යන්න අදහසක් තිබ්බා නේද..මොකද දැන් ඒක..”

    සේනපුර හිමියන්ගේ පැනයෙන් කාලිංග තරමක් නොසන්සුන් වු බව පෙණින. ඔහු ඉක්මන් පිළිතුරක් අපේක්ෂාවෙන් මෙන් ශාරික දෙසම දෑස් දල්වා උන්නේය.

    “චූටිගෙ විභාග වැඩ ඉවර වෙනකං ඒ ගැන තීරණයක් ගන්න බෑ හාමුදුරුවනේ..”

    “මේ වගේ කාරණාවලදී මට කාටවත් බලපෑමක් කරන්න බෑ.. ඒත් මට හිතෙන දේ කියන්නම්…බංඩාර පරම්පරාවට ඉන්න පිරිමි පුරුක් දෙක මේ ගමෙන් පිටමං වෙනවට මේ උස්ගල ආරක්ෂා කරන අයියලාගෙ මී මුත්තො මනාප වෙන එකක් නෑ….ගමේ හැම මිනිහෙක්ටම අතුරු ආන්තරාවකදී වෙනසක් නැතුව පිහිටට එන බංඩාර මුත්තා….පරම්පරාවට අහක බලන්නෑ ශාරිකයියා….ඇවැස්ස නෑකම් හයියට තියෙන්නෙ ළගින් ඉන්නකොට..ඈත් උනාම දැනෙනවා අඩුයි..”

    උස්ගල කොත් කැරැල්ලට දෑස යොමාගෙන සේනපුර හිමියන් කියූ දෑ ශාරික සහ කාලිංග අසා උන්නේ මුහුණු බිමට නැඹුරු කරගෙනය. ශාරික කාලිංගගේ මුහුණ බැලීය. නිතරම ප්‍රතාපවත්ව ඇති මුහුණ මේ මොහොතේ හේබා ගොස්‍ දෑසඟ රතුවෙමින් තිබේ. තව මොහොතකින් කඳුළු උනන්නට සැරසෙන කාලිංගගේ දෑස් මඟහැර ශාරික ඔහුගේ උරයක් දැඩිව මිරිකා ගත්තේය. ඒ හා සමානවම ශාරිකගේ අත මතට කාලිංගගේ අතද වැටිණි. සේනපුර හිමියන් ආලෝකමත් මුහුණෙන් යුතුව නැගී සිටියේය.

    “නැන්ද ගෙදර ආහම අපි සෙත් පිරිතක් කියමු…මොනාහරි අමනුස්ස දෝෂයක් තියේනම් මැකිලා යන්නත් එක්ක…මං යනවා ආවාස ගේ පැත්තට..”

    දෙදෙනා එක්ව හිමියන්ට නමස්කාර කළහ. අනතුරුව හිමියන් ආවාස ගෙයට ඇතුල් වන තුරුම එදෙස බලා උන්හ.

    “චීස්ස්ස්……..” හඬින් නොකඩවා ඇහෙන රැහැයියන්ගේ හඬ සමන්තීගේ හිතට එක්කළේ මූසල පාළුවකි. එයින් මිදෙනු වස් ඇය කාමර කෑල්ලේ ජනේල් පියන ඇතුලින් ඇද,කොහු ලණුව බිත්තියේ ඇණයට ගැට ගැසුවාය.
    තද නින්දේ පසුවන තම පුතුගේ වටා කැරගෙන මදුරුවන් අතින් ගසා පළවා හරින ගමන් චීත්ත රෙද්ද ගෙල තෙක් පොරවා,කන් දෙපසින් කොට්ටා දෙකක් තැබීය. කුප්පි ලාම්පුවේ තිරය මදක් අතින් පහලට ඇද දැල්ල බාල කළාය.
    පාරේ ඈතින් බල්ලන් බුරනු ඇසේ. රාත්‍රියේ එලි බහින වන සතුන්ට විය යුතු යැයි සිතූ සමන්ති,සිය පුතු අසළින් ඇල වූවාය. කිසිවෙකුගේ පියවර හඬ මිදුළ දෙසින් ඇසී ඊට කන් දෙමින් ඇය පුතුව ළයට හිරකර ගත්තාය. සිය ලෑලි දොරට පිටතින් කිසිවෙකු සෙමෙන් තට්ටු කරනා හඬින් සමන්තී තිගැස්සී නැගිට්ටාය.

    “බංඩාර මුත්තේ..අපෙ අම්මා….”

    ඇයට තනිවම එසේ කියවිනි. නපුරක්නම් කන වැකෙන්නට එපායැයි තනිවම යදිමින් ඈ දොර වෙත පිය මැන්නාය.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page