Hima Mal Renu හිම මල් රේණු
සෙනඟ මැද මට ඔවුන් දෙදෙනා මඟහැරී යනු ඇතැයි බියෙන් දෑස් ඉවතට නොගෙනම මා ඔවුන් පසුපස දිව ආවෙමි. අවසානයේ මම නමින් අමතනු ඇසී ෂානු මවෙත හැරුණේ විදහා ගත් දෑසිනි.
“ආරණ්‍යා…”
ඇගේ හඬ මවිතයෙන් පිරී තිබූ අතර ෂානු බොහෝ වෙනස් වී සිටියාය. මා දුර තියා ඈ කෙසේ හඳුනා ගත්තාද කියා මටම සිතා ගන්නට නොහැකි විය. ඇගේ කෙටි කොණ්ඩය, දැන් ගෙල තෙක් දිගුය. පෙර කලක ඈ තුළ වූ හුරුබුහුටි පෙනුම වෙනුවට දැන් ඈ කෙරෙන් දිස් වූයේ පරිණත බවක් මෙන්ම පිරිපුන් බවකි. මම එසේ ඈ දෙස බලා සිටින විට ඈ මා දැඩිව වැළඳගත්තේ මට සිතා ගන්නට පවා ඉඩක් නොතබාමය.
“අනේ…ආරණ්‍යා …ඔයාව මෙහෙදි දකින්න ලැබෙයි කියලා මමනම් හිතුවේම නැහැ…”
ඈ හඬන බව මට දැනිණි.
“අනේ ඔයා අඬනවද ඔය…?”
ඈ කෙරෙන් මිදෙමින් මම ඇසුවේ ඇගේ අතක් තරයේ අල්ලා ගනිමිනි. ඈ වහා වහා කඳුළු පිස ගත්තාය. පසුව අප දෙස බලා සිටි ඇගේ සැමියාව මා හට හඳුන්වා දුන්නාය. ඔහු කඩවසම් තරුණයෙකු විය.
“මං දැන් මෙහෙට ඇවිත් අවුරුද්දකට වැඩී ආරාණ්‍යා…මට කාටවත් කියලා එන්න බැරි වුණා…මොකද අපේ අම්මා අසනීප වුණා…තාත්තා හිටියේ මෙහෙනේ…එයා කිව්වා අපිට මෙහේ එන්න කියලා…ඉතින් හැමදේම හදිසියේ වුණේ…මට ආන්ටිටවත්, අවීශ්ටවත් කතා කරන්නවත් බැරි වුණා…මං මෙහේ ඇවිත් එයාලා කන්ටැක් කරගන්න බැලුවා හරි ගියේ නැහැ…ඒ අතරේ තමා මට ඇක්සිඩන්ට් එක දැන ගන්න ලැබුණේ…අනේ…ඒක හරිම බය හිතෙනවා ආරණ්‍යා…ඔයාගේ නම්බර් එක වැඩ කළෙත් නැහැ…මට කාගෙන්වත් ඔයා ගැනවත් අහන්න විදියක් තිබුණේ නැහැ…”
ෂානු එක දිගටම කියවගෙන යන්නට වූයේ පසුතැවිල්ලත් ශෝකයත් මුසු හඬකිනි.
“එදා ඇක්සිඩන්ට් එක දවසේ…දුවගේ ෆෝන් එක නැති වෙලා…මෙයාට ඇසුත් නොපෙනී තිබුණේ…මොකුත් මතක නැතුව ඉඳලා මේ ළඟදි තමා සනීප වුණේ… පරණ මොකුත් එයා දන්නේ නැහැ…”
නැන්දා මා පසෙක සිටි බව මම දැන ගත්තේ එවිටය.
“අනේ…එච්චර දෙයක් වෙලත් මම දන්නේ නැහැනේ…ඔයාලා ළඟම ඉන්න ඕන කාලේ මම ඔයාලාගෙන් ඈත් වෙලා ඇවිත් ආරණ්‍යා…”
ෂානු නැවතත් හඬන්නට වූවාය.
“අඬන්න එපා ෂානු…ඔයාට අවීශ් කතා කළේ නැත්ද…?”
“අ…වී…ශ්…”
ඈ මවිතයෙන් එසේ අසමින් නැන්දා දෙසත් ඇගේ සැමියා දෙසත් මාරුවෙන් මාරුවට බැල්මක් හෙළුවාය. මම ඔහු ගැන අසන විට ඈ මවිත වූයේ මන්ද….?
“අපි කාටවත් එයාව කන්ටෑක් කරගන්න බැරි වුණා…එයාලා ලංකාවේ නැතිලු…”
මම යළිත් කියන විට ඈ අනුකම්පා මුසු බැල්මකින් මදෙස බලා සිටි අතර කුමක් හෝ පවසන්නට යන දෙතොල් වෙව්නල බව මට පෙනිණි.
“ම…ම…ම දන්නේ නැහැ ආරාණ්‍යා…මම කිව්වේ…මට එයාලාව කන්ටෑක් කරගන්න බැරි වුණා…”
ගොත ගසමින් ඈ පවසන විට ඇගේ සැමියා ඇගේ අතින් අල්ලා ගත්තේ “අපි යමුයි”පවසන්නාක් මෙනි. ඈ මා සිඹ අපෙන් සමු ගත්තේ හදිසියේම මෙන් කිසිත් නොකියාමය. එය මහා අමුතු දෙයක් සේ මට හැඟී ගියේ පෙර ඈ කෙතරම් ලෙංගතුද කියා සිහි වී දැඩි ශෝකයකින්ද යුතුවය. විවාහයෙන් පසුව ඈ වෙනස් වී ඇත්තේද…?
“අපිත් යමු දුව…තාත්තා හොයනවා ඇති දැන්…”
නැන්දා මා අතින් අල්ලා ගනිමින් කීවේ අපට පිටුපා ඇවිද යන ෂානු දෙස මා දුක්බර දෑසින් බලා සිටින විටය. ඈ සෙනඟ අතරේ නොපෙනී ගියාය.
“ෂානු වෙනස් වෙලා…”
මම සිතින් මටම මුමුණා ගතිමි. සමහරවිට ඇගේ සැමියා අවීශ් ගැන ඇසුවාට අකමැත්තෙන් ඇයව කැඳවා ගෙන ගියා විය හැකිය. මම එසේ සිතා සිත සනසාගෙන නැන්දා සමඟ පැමිණියෙමි.
“මට හිතා ගන්න බැහැ නැන්දා ෂානු මෙහෙම මාව මඟෑරලා ගියේ ඇයි කියලා…අපි ඒ කාලේ කොයිතරම් හොඳ යාළුවෝද…?”
අපි නවාතැන් ගෙන සිටි රොජර් අංකල් ගේ නිවසට පැමිණි දින රාත්‍රියේ මම නැන්දා හා කීවෙමි.
“ඔයා තාම ඒ ගැන හිතනවද ළමයෝ…? එයාගේ හස්බන්ඩ්ට වැඩ ඇතිද කවුද දන්නේ…පරක්කු වෙන නිසා යමු කියන්න ඇති…”
එය සැබෑවටම එසේ නම් එය සමාව දිය හැකි කාරණයකි. නමුත් ඇගේ අංකය වත් මට ඉල්ලා ගැනීමට නොහැකි වීම පිළිබඳව නම් මා සිතේ වූයේ පසුතැවීමකි. තවත් සති දෙකක් පමණ අපි ප්‍රංශයේ රැඳී සිටියද පෙර තරම් මට සිත සැහැල්ලුවෙන් එහි සිටිය නොහැකි බව පසක් වෙමින් තිබිණි.එයට හේතුව මට ෂානුගේ අමුතු හැසිරීමය. එය මා සිතේ ඇති කර තිබුණේ කනස්සල්ලකි. එළඹි සතියේ අග අපි නැවත ලංකාවට පැමිණියෙමු. මා සිතේ ඇතිව තිබූ බලවත් නොසන්සුන් බව ඒ වන තුරුම පහව ගොස් තිබුණේ නැත.
“එහෙම හිතන්න එපා අනේ…කවුද දන්නේ ෂානුට හස්බන්ඩ්ගෙන් ප්‍රශ්නයක්ද කියලා…කාටවත්ම නොකියා මැරි කළෙත් එයා මොකක් හරි ප්‍රශ්නෙක නිසාද කවුද දන්නේ…අපි එයාව කන්ටෑක් කරගන්න බලමුකෝ…”
මම නදීරාට ඇමතුමක් ගෙන මෙය පවසන විට ඈ කීවේ එවන් දෙයකි. සමහරවිට එය එසේ විය හැකියැයි මටද සිතුණ නිසා පෙර ඇතිව තිබූ නොසතුටත් කනස්සල්ලත් මා කෙරෙන් පහව ගිය බවක් මට දැනිණි. නදීරා මා සිත හඳුනාගෙන ලබා දුන් පිළිතුරෙන් මා සිත කෙතරම් සහනයකට පත්වීද….? එවන් සිත සැනසිය හැකි මිතුරියන් සිටීමද සහනයකි. මේ අතර අප නොමැති දිනක පුංචි අම්මා තාත්තා සොයා පැමිණි බව ගුණතුංග මාමා අප සමඟ කීවේය.
“අර මොකටද ආයේම එයා මෙහෙ එන්නේ…? නැන්දා ඇසුවේ නොසතුටෙනි.
“එයාත් පිටරටකට යන්න යනවලු කිව්වේ…”
ගුණතුංග මාමා කීවේ නොසැළකිලිමත් ලෙසය. එය එසේ නම් එය හොඳයි කියා මම සිතුවෙමි.
“යන දිල්ලියක යන්නේ නැතුව මෙහෙට ආවේ අහවල් දෙයකටද…?”
නැන්දා කතා කළේම නොසතුටෙනි. එදින රාත්‍රී ආහාරයෙන් පසුව මගේ කාමරයට පැමිණියෙමි. මේසය මතවූ ජෝගුවේ වතුර අවසන්ව ඇති බව දැක මම යළි පහළට පැමිණියේ එය පුරවා ගෙන ඒමටය. නැන්දාත්, තාත්තාත් තවම කෑම කාමරයේ බව මට ඔවුන්ගේ කටහඬවල් වලින් ඇසිණි. ඈ තාත්තාට දොස් පවරමින් සිටින බව මට වැටහී ගියේ ඇගේ නොසතුටෙන් පිරි හඬිනි.
“ඔයාට ලැජ්ජාවක් කියන නාමයක් ගෑවිලාවත් නැහැ නේද ඇත්තට…තාමත් අර ගෑණි පස්සෙම යන්නේ ඔයාට මොළේ කළඳක්වත් නැත්ද…නැත්නම් එයා ඉනාවක්වත් දීලද…?”
ඈ අසන්නේ පුංචි අම්මා ගැන බව මට වහා වැටහී ගියේය. මම හුන් තැනම නැවතුණෙමි.
“මගේ ඔළුව කන්නේ නැතුව ඉන්නවා රේඛා…”
“කන්න ඔළුවක් තියෙන්න එපැයි…ඔය ඔළුවේ තියෙන්නේ මැටි…”
“ගෑණු සේරම එකයි…” තාත්තා කතා කළේ කෝපයෙනි.
“ඔයා ගෑනු ගොඩාක් ගැන දැනන් හිටියා වගේනේ කතා කරන්නේ…හැම ගෑණියෙක්ම එක වගේ නැහැ අයියේ… තේරුණාද…? මම දන්න ඒවා මම නොකියා කට වහන් හිටියා මෙච්චර කල්…”
“මොනවද ඔයා දන්නේ…?”
“ඒවා ඕන නැහැ…දැන්වත් ඔය මනෝරිව ඔළුවෙන් අයින් කරගන්න…මෙච්චර දෙයක් වෙලාත් ලැජ්ජාව ගෑවිලාවත් නැතුව තව මෙතන කෝලුත් කරනවා… හොඳවයින් දෙකක් කිව්වා මම…”
නැන්දා කෝපයෙන් කෑ ගැසුවාය. එසේනම් පුංචි අම්මා ඇමතුමක් දී ඇත. ඇගේ කෝපයට හේතුව එයයි. තාත්තා තවමත් ඇයත් සමඟ කරන ගණුදෙනුව කුමක්ද….? කරගැනීමට ගියා කාර්යය අමතක කොට දමා මම යළි කාමරයට පැමිණියෙමි. නදීරාට ඇමතුමක් දී නිවසට පැමිණෙන ලෙස දන්වා මම ඈ පැමිණෙන තුරු සඳළුතලයට වී බලා සිටිනාතරේ නැන්දා කාමරයට පැමිණ මා අමතන හඬින් මම හුන් තැනින් මෑත්ව කාමරයට පැමිණියෙමි.
“දුව මෙහෙන් වාඩි වෙන්නකෝ…මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියනවා…”
ඈ අත පුවත්පතක්ද වූ අතර ඈ එය යහනේ පසෙක තබමින් එහිම හිඳගෙන මටද ඈ අසළින් හිඳ ගැනීමට පවසන විට මම කුහුල් සිතින් ඈ පසෙක හිඳ ගත්තේ ඈ කුමක් කියන්නට සැරසෙනවාද සිතා ගත නොහැකිවය. සමහරවිට ඒ පෙරදිනක පුංචි අම්මා දුන් ඇමතුම සම්බන්ධ දෙයක්ද විය හැක.
“මොනාද නැන්දා…පුංචි අම්මා කෝල් කරපු එක ගැනද කියන්න හදන්නේ…?”
නොසැළකිලිමත් ලෙස මම ඇසීමි.
“ඔයා කොහොමද දන්නේ මනෝරි කෝල් කළා කියලා…?” ඈ මවිතයෙන් ඇසුවාය.
“මට ඇහුණා එහෙම කතාවක්…”
“හ්ම්ම්…එයාටත් ලැජ්ජා නැහැ…අපේ එකාටත් ලැජ්ජ නැහැ…මෙච්චර හරියක් කරපු එකී ගැන මොකටද තව තව හොයන්න යන්නේ…?”
“තාත්තා එයා ගැන හොයන්න ගිහින්ද එතකොට…?”
“නැතුව ඉතින්…ඒකනේ මට මෙච්චර තරහා…”
“අනේ මන්දා නැන්දා…”
“ඕවායින් වැඩක් නැහැ…මං ආවේ ඔය ගැන කතා කරන්න නෙවේ…”
“එහෙනම්…?”
“වෙන දෙයක් කියන්න…”
“ඒ මොකක්ද…?”
ඈ දිගු හුස්මක් ඇද්දේ සිතේ සිරකරන් සිටි බරකින් නිදහස් වන්නට මෙනැයි කියා මට නිකමට මෙන් සිතිණි. ඒ මුහුණේ වූයේ ශෝකී බවකි.
“ඇයි නැන්දා…මොකක් හරි ප්‍රශ්නයක්ද…?”
නැන්දා එක්වරම එයට පිළිතුරක් නොදී මා දෙස බලා සිටි නිසා මා සිත කිව නොහැකි හැගීමකින් හිරි වැටී ගියේය. ඒ මොහොතේ ඈ මා හා කුමක් පවසන්නට යනවාද කියා කිසිදු වැටහීමක් මා තුළ නොවීය.
“මේක අහලා හිත කළබල කරගන්න එහෙම එපා ඔන්න…මං දන්නවා ඔයාගේ හිත හුඟාක් ශක්තිමත්…ඔයාට ඕනම දෙයක් දරාගන්න පුළුවන්…මෙච්චර කාලයක් ඔයා ඒක කළා…”
“ඔයා මොනවාද නැන්දා කියන්න යන්නේ…? ඔහොම කියනකොට කොහොමත් හිත කළබල වෙනවනේ…”
මඳහසක් මුවට නගා ගැනීමට උත්සහ දරමින් මම කීවෙමි.
“පහුගිය කාලේ අපිට තිබුණු කරදරවල කෙළවරක් නැහැනේ දුව…මේ හැමදේම එකට එකක් එකතු වුණ දම්වැල් පුරුක් වගේ කියලා හිතෙනවා…”
ඈ එසේ කියා යළිත් දිගු සුසුමක් හෙළුවාය. ඈ පවසන්නේ අම්මාගේ අනතුරත් තාත්තා සහ පුංචි අම්මාගේ මා නොදන්නා තවත් කතාවක්දැයි සැකයක් මා සිතේ ඇති විය. මේ කරදර සියල්ල පටන් ගත්තේ එතැනින්ය.
“පහු ගිය කාලේ ඔයා හිටපු තත්වෙ එක්ක මේ කිසි දෙයක් ඔයාට නොකීවේ ඔයා තවත් ෂොක් වෙයි කියලා හිතලා…”
“කියන දෙයක් කියන්න අනේ…මීට වඩා තව මොනවා ෂොක් වෙන්නද…?”
නොමනාපය මුසුව මම කීවේ ඈ තවමත් කාරණය නොකී නිසාය. ඈ නිහඬව මොහොතක් යළිත් වරක් මා දෙසම බලා සිටියේ දෙගිඩියාවෙන් මෙනි. නැන්දා මේ තරම් කල් මරමින් කියන්නට සැරසෙන්නේ කුමක් ගැනද….?