FeaturesDonilaye AmmeDonilaye Amme - 09 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 09 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – අද වහලා තිබුණු රට ඇරියා කියන නිව්ස් එක බොහෝ දෙනෙක්ට අලුත් අවුරුදු ලැබුවා වගේ සතුටක් කියලා හිතුණත්,පාරට බැස්සම ඒ වගක් පෙනෙන්න තිබුණේ නෑ. වෙනදට වඩා වාහන,මිනිස්සු ටිකක් වැඩියෙන්
ගැවසුණත්,අර කාලයක් තිබ්බ ගුප්ත නිහඩ පාළුව දෙල්කඳ හන්දිය පුරාම ඒ විදිහට තිබුණා. උදේම දෝණිලයෙ අම්මා මාව “දෙල්කඳ පොලට” එව්වා.

“ගෙදර හරියේ අබ ඇටේක දෙයක් නෑ අනේ චූටිත් එක්කගෙන ගිහිං මොනා හරි අරං එනවද ඉක්මනට…”

කියලා මට සහායකයෙකුත් දීලා පොඩි කන්ඩිෂන් එකකුත් දැම්මා.

“පොඩි එකී මේ අව්වේ පොලවල් ගානේ එක්ක ගියෑකිද…කෙල්ල ඕං ඔහේ ගෙදරට වෙලා හිටපුවාවේ මං “ටාර්” ගාලා දුවලා ගිහිං එන්නං..”

මං පොඩි වචනයක් දාලා බැලුවෙ දෝණිලයෙ අම්මගෙන් ඇපෲව් එක ගන්න.

“මං ඉස්සර ලොකු එකීව එල්ලගෙන,මෙයාවත් බඩේ තියාගෙන තමා මේ සුමේ ඔක්කොම තනියෙන් කරගත්තෙ සුරංග…ගේ ඇතුළටම වෙලා ඉඳලා ඔය ළමයටත් එපාවෙලා ඇති…පොඩ්ඩක් එක්කගෙන ගිහිං එන්නකෝ… වඩාගෙන යන ළමයෙක් නෙවීනේ…”

ඇපෲව් එක රිජෙක්ට් වුණේ රීසන්ස් එක්ක නිසා මට චූටී එකීවත් එක්කගෙන පොලේ එන්න වුණා.

“තාත්තේ…. අර…”

මං පොලටත් ඇවිත් කියලා දැණුනේ චූටී එකී අතින් ඇදලා මොනාහරි දේකට අත දික් කරලා පෙන්නපු නිසා.

ඒ දෙල්කඳ පොලේ බඩු විකුණන අන්ධ මහේෂ් පුතා.

“එයා ගැන නේද අර චමී මාමා ප්‍රෝගෑම් එකක් කරේ…”

මං ඔලුව වනන ගමං ඒ දිහාවට ගියා.

“මහත්තයා”

මහේෂ් පුතාගෙ තාත්තා මාව අඳුරගත්තා. දවසක් මං චමියා එක්ක එයාලගෙ ගෙදර ගිහිං තියන නිසා.

“ගෙදරට මොනාහරි අරං යන්න කියලා ආවා අයියේ….මේ මගේ පොඩි දුව…”

මහේෂ්ගෙ තාත්තා චූටී එකී දිහා හරිම ආදරෙන් බලං ඉඳලා එතන තිබුණු පේර ගෙඩියක් කෙල්ලගෙ අතේ තිබ්බා. ඒත් ඒකිගෙ හිත ගත දෙකම නතර වෙලා තිබුණේ මහේෂ් පුතා පොලේ බඩු විකුණන ක්‍රියාකාරකම් දිහා.

“පහුගිය ටිකේ වහලා තිබ්බ නිසා අයියලාට කරදර තියෙන්නැති නේද…?

මං මහේෂ් පුතාගේ තාත්තගෙන් ඇහුවා. එයාගේ ඇස් ඉබේම තෙත් වුණා. මෝඩ ප්‍රශ්නයක් ඇහුවා නේද කියලා මට හිතුණේ එතකොට. ළමයි තුන්දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක් විදිහට, ඒ පවුලම ජීවත් කරේ මේ අන්ධ දරුවත් එක්ක පොලේ ඇවිත් කියලා දැන,දැන ගොං කතාවක් අහපු එක ගැන හිතට ආවේ ලොකු පසුතැවීමක්.

“චූටී ඔයා ගිහිං ඒ අයියට බඩු විකුණන්න උදව් කරන්නකෝ..මං මේ මාමත් එක්ක ටිකක් කතා කරනකං…”

මං පොඩි එකීව මහේෂ් පුතාගේ ළඟට ඇරලවලා මාවත් අඳුන්වලා දීලා එයාගේ තාත්තා ගාවට ආවා.

“අද එයා හරි සංතෝෂෙන් ඉන්නේ පේනවා නේද මහත්තයෝ මාසෙකින්නෙ ඔය ගේං එළියට ආවේ…”

මහේෂ්ගෙ තාත්තා ඇස්වල දිලිසෙන කඳුළු මැද්දෙන් එහෙම කීවේ,පොඩි එකියි,මහේෂුයි බඩු විකුණනවා බල,බලා.

“පහුගිය ටිකේ හරියට කරදර කරා පොලේ යන්න ඕනේ කියලා. එයා කැමති නෑ ගෙදරට වෙලා ඉන්න. අක්කලා දෙන්න එක්ක නිතරම රණ්ඩු…කේන්ති ගියාම අතට අහුවෙන එකෙන් ගහනවා….”

මහේෂ්ගෙ තාත්තා දිගටම එයාගේ හැඟීම් මා එක්ක බෙදාගන්නවා. ඇත්තටම කියාගන්න දෙයක් නැතුව මං අසරණ වෙලා හිටියේ. මේත් එක තාත්තෙකුගේ කතාවක් නේද කියලා විතරයි මගේ හිතට ආවේ.

“මං චමින්ද එක්ක එන්නං ආයේ වෙලාවක දූලා දෙන්නත් බලලා,අක්කත් එක්කත් ටිකක් කතා කරලා යන්න..”

ඇත්තටම මට එතනින් ඈත්වෙන්න ඕන වුණා ඉක්මනින්. මං චූටිටත් යං කියලා මහේෂ්ගෙන් පලතුරු ටිකකුත් ගත්තා. සල්ලි එපා කියද්දි වදෙන් පොරෙන් ඒ තාත්තගෙ සාක්කුවට සල්ලි ටික දාලා එන්න ආවේ.
එන ගමනෙදි චූටිගෙන් බේරුමක් නෑ, එක එක ප්‍රශ්න අහලා.

“ඒ අයියා කොහොමද සල්ලි අඳුරගන්නේ..”

“කොහොමද හරියටම තරාදියට දාලා කිරන්නේ..”

“ඇයි එයාගේ තාත්තා එයාව පොලේ එක්ක එන්නේ….”

මටත් ඒ හැම ප්‍රශ්නෙම තියනවා කියලා චූටී එකීට කියන්න බෑනේ. ඉතිං පුළුවන් විදිහට උත්තර දුන්න.

අද ලෝක ළමා දිනේලු. මුළු ලෝකෙම ළමයින්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරනවා. එක දවසක්. ටී.වී ප්‍රෝගෑම් එකක් කරලා, ළමයි ලව්වා සින්දු කියවලා උන් නටවලා පුළුවන්ද උන්ට අයිතිවාසිකම් දෙන්න. දවසකට මේ රටේ ළමා අපචාර කීයක් වෙනවද..? බාල වයස්කාර ළමයි කීදෙනෙක් මෙහෙකාරකමේ යොදවනවද..? ළමා යාචකයො කී දෙනෙක් මහ පාරවල් වල හිඟමන් යදිනවද…? ළමා නිවාස වල පවා මොනතරම් අකටයුතුකම් සිද්ධ වෙනවද…? එහෙව් හැමදේම පුම්බ,පුම්බා උඩ දාලා හම්බ කරගන්න මාධ්‍ය මුදළාලිල ඉන්න රටකට මොන ළමා දිනද…?

“එළවළු ගේන්න නුවරඑළි ගියාද අනේ මෙච්චර වෙලා ”

ගෙට ගොඩවෙනකොටම දෝණිලයෙ අම්මගෙ ප්‍රශ්නෙ වුණේ ඒක. ඒ වෙලාවේ මගේ ඔලුවෙ වෙන ගොඩක් ප්‍රශ්න තිබුණු නිසා මං එයාගේ ප්‍රශ්නෙට උත්තර නොදී හිටියා. දාඩියට ඇඟ ඇලෙන්න ගත්තු නිසා ඇඟට වතුර ටිකක් දාගන්න ඕනේ කියලා හිතුවා. ඒ අතරේ මට ඇහුණා චූටී එයැයිගෙ අම්මා එක්ක අපේ ගමනේ ආගිය තොරතුරු කියනවා. සාලේ මැදින් යද්දි තමා දැක්කේ ළමා දිනේ ගැන වැඩසටහනකට ආපු දේශකයො ටිකක් ටී.වී එකේ ළමා අයිතිවාසිකම් ගැන කෙස් පැලෙන්න තර්ක කරනවා. අපේ ලොකූ ඒ දිහා කට ඇරං බලාගෙන ඉන්නවා. මං උන්ට හිත යටින් තිත්ත කුණුහරුප ටිකක් කිය,කියා පයිප්පේ ළඟට ගියා.
එළියේ පයිප්පේ වටේට ඉඳුල් භාජන ගොඩ ගහලා. මං ලොකූගේ නම කියලා හයියෙන් කෑගැහුවා. ඒත් එළියට ආවේ දෝණිලයෙ අම්මා.

“මොකද අනේ බෙරිහං දෙන්නේ….”

“කට බලියං ටී.වී එක දිහා බලාගෙන ඉන්න වෙලේ ලොකු ළමයට කියනවකෝ මේ ටික හෝදලා දාන්න කියලා ”

මං දැක්කා එයා මොනාහරි කියන්න කට හදලා ක්ෂණිකව ඒක වෙනස් කරගත්ත. ඇවිල්ලා භාජන ටික පයිප්පෙ ළඟින් අරගෙන පැත්තකින් තිබ්බා.

“දැන් හරිනේ…ඔයා ආපු වැඩේ කරගන්නකෝ….මේ ඉඳුල් හෝදන වැඩේ අපි පස්සෙ කරගන්නම්…”

කියලා එයා ආපහු ගෙට රිංගුවා. ඇඟට වතුර ටිකක් දාගන්න ආපු මං මුළු ඔලුවම කරාමෙට අල්ලගෙන හිටියා. විනාඩි 15ක් 20ක් විතර එහෙම නාලා ගෙට ඇතුල්වෙද්දි දෝණිලයෙ අම්මා කෑම මේසේට ඇරලා. සුවඳට මාරම බඩගින්නක් ආවේ….මං ඔලුව පිහදාන ගමං මේසේට වාඩිවුණා. ඒත් එක්කම මේසේ උඩට ආපු රට බීම බෝතලයක් දැකලා මං ගැස්සිලා පිටිපස්ස බැලුවෙ අදහගන්න බැරි නිසා. ඒ දෝණිලයෙ අම්මා. මං තව පාරක් ඇස් පොඩි කරලා බැලුවා, මං මේ දකින්නේ ඇත්තක්ද කියලා.

“අපේ ලොකු අයියගෙ යාළුවෙක් රට ඉඳං ඇවිත්….එයා බොන්නෑනේ උදේ ඩ්‍රයිවර් අතේ එවලා තිබ්බා…”

මට ලැජ්ජාව මුහුවෙච්චි පොඩි මාන්නයක් ආවා. මොනාහරි කියන්න කට නළියෑවෙ ඒකයි.

“මේහ්ං… මේහ්ං…මං දන්නවා එයාලත් එක්ක ඔයාට තියන ඇරියස්…අරක්කු එයා හදපුවා නෙවේනේ…දවසට තුන්වේලම නොබී ඕං ඕක තියාගෙන හිමීට බොන්න අනේ…”

ඒ වචන ටිකට මං කියන්න හදපු හැමදේම හිතින් මැකුවා.

“කෝ කෙල්ලෝ දෙන්නා…”

“එක්කෙනෙක් ඇවිදපු තැන් ගැන කියෝලා නිදාගත්තා…අනිත් එක්කෙනා ටී.වී බලලම මහන්සි වෙලා නිදාගත්තා…”

“ඔය ටී.වී එකේ යන බහුබූත බැලිල්ල නම් එච්චර හොඳ නෑ…”

“අනේ.. මේහ්ං..ඔයාගේ ඔය දර්ශනවාදේ අකුලං ඕං ඕක බොන්න..ඔයා ටී.වී වලට ලියපු බුහුභූත මං නොදන්නවැයැ…”

දෝණිලයෙ අම්මා බෝතලේ මං දිහාට තල්ලු කරේ කෝළං හිනාවකුත් එක්ක.

“යකෝ මේ ගෑණිට මොන භූතයෙක් වැහිලද ”

කියලා හිතෙන් හිතන ගමං මං බෝතලේ කඩලා වීදුරුවට දා ගත්තා. දෝණිලයෙ අම්මා බැදපු කාරල්ලෝ දීසියක් මං ළඟට කරා.

“මේහ්ං..ඔයාට මතකද අපි යාළුවෙලා ඉද්දි ඔයා බොනකොට ඉස්සර මං නිතරම කියන කතාව…”

“මොකක්ද යකෝ මේ මනුස්සයට වෙච්චි විපර්යාසේ..”

කියලා කටින් නොකියා හිතිං හිතලා එක ෂොට් එකක් අමුවෙන්ම බීලා මං කාරල්ලෙක් එක කටට කෑවා.

“ඔයා බොනවනම් මටත් පොවන්න මටත් ආසයි අරක්කු මොන රහද බලන්න…”

දෝණිලයෙ අම්මම ඉස්සර තරුණ,තොඳොල් වොයිස් එකෙන් එහෙම කියද්දි මට බකස් ගාලා හිනා ගියා.

“දෙන්නද පොඩි ෂොට් එකක්….”

මං ඒක අහපු හඬ නිකං තරුණ වැඩීද මන්දා කියලා මටම හිතුණා.

“එපා අනේ….දැන් මං දන්නවා අරක්කු වල ඔය කියන තරං රහක් නෑ කියලා….”

“ඒ කොහොමද ”

“ඔයා බොනවා,ඔයා එක්කම ඉඳලා දැකල….”

ඒක කියලා දෝණිලයෙ අම්මා කාලෙකින් සද්දෙට හිනාවුණා. ඒ හිනාව මාව අවුරුදු විස්සකට එහා අතිතෙට අරං ගියා.

“මේහ්ං…ඒක නෙවෙයි..”

දෝණිලයෙ අම්මා හිනාව අස්සේම කීවා.

“එහෙනම් කෝකද…”

මගේ කටටත් ඉස්සර එයා ඔය ප්‍රශ්නෙ අහද්දි මං දෙන උත්තරේ ඉබේම ආවා.

“හෙට රෑට අප්පච්චිගෙ අවුරුදු පහේ දානේ. අම්මා උදේ ඉඳං කෝල් කරනවා අපිට එන්න කියලා. දැන් ඇතිනෙ සුරංග අවුරුදු 22ක් ඔය තරහ,මරහ පිරිමැහුවා…අපි ගිහිං එමු නේහ්ං… හාද….”

දෝණිලයෙ අම්මා කීවේ මගේ අතක් උඩින් අත තියලා. මොකක්දෝ ලොකු හැඟීමක් ඇඟ පුරා ලේත් එක්ක දුවනවා වගේ මට දැණුනා.

“ගෑණු ගෑණුම තමයි අප්පා…..”

ඩිල්ෂාන් පතිරත්න ලියපු,සමන් ලෙනින් කියපු ඒ සිංදුව එකපාරටම මගේ මතකෙට ආවා.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you