Tharu Mal Viyan තරු මල් වියන්
රාත්‍රියේ පිපී එන සේපාලිකා මල් සුවඳ සෙමෙන් සෙමෙන් ගලා එන්නට විය. පරිසරයේ වූයේද මහා නිහඬ බවකි. තිදෙනාම බංකුව මත හිඳ ගෙන ඔහේ බලා සිටියේ කතා කරන්නට කිසිත් නැති නිසා නොවේ.මේ නිහඬ බව තුළද මහා සැනසීමක් ඇති බවක් දැනුණ නිසාවෙනි.
“දැන් මොකක්ද ඔයා ගන්න තීරණේ ගයා…?”
සුළු මොහොතකට පසුව අංජලී ඇසුවාය.
“මට ඉරේෂ් එපා…එච්චරයි…”
ගයානි කීවේ ස්ථීර හඬකිනි. ඒ කතා බහට බාධා පමුණුවමින් තුෂරගේ රථය විත් ගෙමිදුලේ නැවතිණි.
“තුෂර ආවේ නම් අංජලී බලන්න…”
ගයානි සිතේ දුක පහව ගොස් නැගුණු සිනහවෙන් යුතුව කීවාය.
“පිස්සු…”
අංජලී ගයානිට වැළමිටෙන් අනිමින් කීවාය.
“පිස්සුද නැත්ද කියලා බලා ගන්න පුළුවන් තව ටිකෙන්…”
“අනේ නිකන් ඉන්න ගයා…”
තුෂර රථයෙන් බැස ගෙතුළට නොයා ඔවුන් හිඳ සිටි බංකුව දෙසට ඇවිද ආවේ මඳහසකින් මුව සරසාගෙනය.
“තුන්දෙනාම මිදුලේ…අංජලී…දැන් කොහොමද ඔයාට…?”
තුෂර අසන විට ගයානි අංජලීගේ බාහුවක් සෙමෙන් කෙනිත්තූ අතර රංගිකා පිටවන්නට ගිය සිනහව සඟවාගෙන සිටියේ ආයාසයෙනි.
“දැන් නම් හොඳයි තුෂර…”
ඈ කෙටියෙන් කීවාය.
“ඔයා ආවේ අංජලීගේ ලෙඩ බලන්නද…?”
ගයානි අසන විට අංජලී ඈ වෙත හෙළුවේ නොමනාපය මුසු බැල්මකි. තුෂර අපහාසුතාවයට පත්වූවාක් මෙන් අංජලී දෙස බැලීය.
“ඔව්…අංජලීගේ පෝන් එකත් ඕෆ්නේ…යන ගමන් මං හිතුවා ඇවිත් බැලුවා නම් හොඳයි කියලා…”
අංජලී හිස බිමට නැඹුරු කරගෙන සිටින විට රංගිකාත් ගයානිත් තුෂරට නොපෙනනසේ ඉඟි මැරූහ.
“ඔයා තමා මේවට වග කියන්න ඕන තුෂර.”
ගයානි කීවේ දෝෂාරෝපණයක ලෙසිනි. අංජලිද වහා හිස ඔසවා මිතුරිය දෙස බැලුවාය.
“ඒ ඇයි…?”
“ඒ ඇයි අහන්නේ…දවස් ගානක වැඩ එක දවසින් කරගත්තාම ඔළුවරදේ නොහැදෙයිද…?”
“ඒක නම් ඇත්ත…”
රංගිකාද එයට පොහොර දැමුවාය. තුෂර සිනහසෙමින් සිටියා මිස කිසිත් නොකීය.
“තුෂර දැන් මොනවද ලෙඩ්ඩු බලන්න එනකොට අරන් ආවේ…?”
රංගිකා අසන විට ඔහු වටපිට බැලුවේය.
“අනේ නිකන් ඉන්නකෝ…ආව වෙලේ ඉඳන් වද කරනවා…”
අංජලී කියන විට රංගිකාත් ගයානිත් උස් හඬින් සිනහසුණෝය.
“හරි…හරි…එහෙනම් ඔන්න නැවැත්තුවා… අපි යමු ඇතුළට තුෂර ආන්න ආන්ටිත් එනවා…”
ගයානි බංකුව මතින් නැගිටිමින් කීවේ ඔවුන් දෙසට එන රේණුකා පෙන්වමිනි.
“මට ඇහුණා කට්ටියගේ සද්දේ…මං ඒත් බැලුවා කා එක්කද මේ කැකිරි පලන්නේ කියලා…”
රේණුකා කීවේ සිනහාසෙමිනි.
“බලන්න ආන්ටි…ලෙඩ්ඩු බලන්න එනවා අත්දෙක වන වනා…අඩුම තරමේ චොකලට් එකක් හරි අරන් එන්න එපැයි…”
ගයානි යළිත් ගතු කියන්නට වූයේ තුෂරට විරුද්ධවය.
“ඒක නම් නරකයි තමා…”
රේණුකා ද එවර ගයානිගේ පස ගෙන කීවාය.
“හරි ෂෝක් දැන් පුංචිත් මෙයාලගේ පැත්තෙද…?”
“නැතුව…ඔයාට ජෙල නේද…?”
ගයානි කියන විට රේණුකාගේ මුවේ යළිත් සිනහවක් නැංවිණි.
“හරි…හරි…අපි යමු ඇතුළට…තේ ටිකක් බොන ගමන් කතා කරන්න බැරියැ…”
තුෂර පෙරමුණ ගන්නා විට සෙස්සෝ ඔහු පසුපස ආහ.
එම සති අන්තයේ පන්ති නොපැවැත්වුණ බැවින් ගයානි නිවසට යෑමට අදහස් කරගෙන සිටියාය. අංජලී අදි මදි කරමින් සිටියේ නැන්දා වෙනදා තරම් ඇයත් සමඟ කුළුපඟව කතා බස් කරන්නේ නැතැයි සිතුණු බැවිනි.
“මම එයාලට වරදක් කළා කියලා දැනෙන කොට මට නැන්දගේ මූණ බලන්නත් බැහැ වගේ ගයා…”
“එහෙම කියලා ඒ මිනිස්සුන්ව හැමදාම මඟාරින්න බැහැනේ…මේ සතියේ යමු ගෙදර…ඔයා තනියම මෙහෙ ඉන්නේ කොහොමද…?”
ගයානිගේ වදය නිසාම ඈ අවසන මාමාගේ නිවසට යෑමට සිත හදා ගත්තාය.
“නැන්දා ඔයාට මොනවා කිව්වත් ඔයා මොකුත් කියන්න එපා අංජු…හොඳද…?”
බසයේ එන අතරේදීත් රංගිකාත් ගයානිත් ඇයට උපදෙස් දුන්හ.
“එයා එහෙම නොකළ එකයි මට දුක…මං කරන්නේ වැරැද්දක් කියලමයි මට හිතෙන්නේ…”
“තනි අතින් අත්පුඩි ගහන්න බැහැ කියලා එයාලත් දැන ගන්න ඕන අංජු…”
“තමුන්ගේ මට්ටම් තම්මැට්ටම් වෙයිද දන්නැහැ…”
ඈ එසේ කියන විට රංගිකා කීවේ මඳහසක් පාමිනි.
“ඔව්…අන්තිමට නරක නාමේ මටම වෙයිද දන්නැහැ…”
අංජලී එසේ කියා කවුළුවෙන් එපිටට දෑස් යොමු කළාය. කැලණිය විශ්ව විද්‍යාලය අසල රථය නවතන විට සුපුරුදු රුවක් එයට ගොඩ වනු දැක අංජලී තිගැස්මෙන් ගයානිට වැළමිටෙන් ඇන්නාය.
“ඇයි…?”
ගයානි ඇසුවේ මවිතයෙනි.
“සංචලා…”
ගයානි වහා එදෙස බැලුවාය. හිඳ ගැනීමට හිස් අසුනක් ඇතිදැයි වටපිට බලමින් සිටි සංචලාද ඔවුන් දැක ඔවුන් වෙත සමීප විය. ඔවුන් අසල හිඳ ගැනීමට ඉඩක් නොමැති වීම වාසනාවකැයි කියා තිදෙනම සිතූහ.
“ආහ්…තුන් කට්ටුව…කොහොමද ඉතින්…ගොඩ කාලෙකින්…?”
සංචලා ඇදැ පැද ඇසුවේ ඔච්චමට මෙනි.
“හොඳයි…ඔයා කොහෙද මෙහෙ…තනියම…?”
“ආහ්…මං යාළුවෙක් මීට් වෙන්න ආවා…අංජලී…ගෙදරද යන්නේ…? ඕහ්…සොරි…මං ඇහුවේ මාලකලා ගෙදරද යන්නේ කියලා…?”
සංචලා නොකියා කියන්නට හදන්නේ තමා අනාථ එකියක කියාදැයි සැකයක් අංජලී සිතේ ඇති විය. ගයානිත් රංගිකාත් කෝපය පිට කරගන්නේ කෙසේද කියා සිතමින් උන්හ.
“නැහැ…මාමාලා ගෙදර යන්නේ…මාලක තවම ගෙවල් හදලා නැහැනේ…”
අංජලීද එම ස්වරයෙන්ම පිළිතුරු දුන්නාය. සංචලාගේ මුව ඇදවී ගියේ බලා සිටියදීමය.
“ඔයා මොකද අද බස් එකේ…?”
ගයානි යළිත් විමසුවේ කතාව මඟහරවන්නටය.
“එනකොට තාත්ති එක්ක ආවේ…මාලක එනවා කිව්වට පරක්කු වෙයි වගේ කිව්ව නිසා මං බස් එකට නැංගා…”
සංචලා එසේ කීවේ බොරුවටද සැබෑවටමද කියා නොදත් මුත් අංජලීගේ සිත තුළ රිදුමක් ඇති විය. ඈ එසේ කීවේ මන්ද..? තමාත් මාලකත් අතර ඇති සබඳකම මැයත් දන්නීද..? ඇගේ සිතේ ඇති වූයේ සැකයකි. සෙනඟ පිරෙන්නට වූ බැවින් සංචලා ඉදිරියට තල්ලු වූවාය.
“මෙයා මොකද මාලක ගැන හයිලයිට් කරලා කිව්වේ…මාලක ඒකත් කියලාද…නැත්නම් එයා ඩබල් ගේම් ගහනවද දන්නැහැ…”
ගයානි ඇසුවේ රංගිකාගෙන් වුවද නොසන්සුන් වූයේ අංජලීගේ සිතය.
“ඩබල් ගේමක් වෙන්න බැහැ…එහෙම නම් ඉතින් මාලක සංචලාටත් කියයිද…?”
“සංචලාගේ හිතේ තාම මාලක ඉන්නවද කවුද දන්නේ…?”
රංගිකා යළිත් කීවාය. ඔවුන් දෙදෙන නිහඬ වූයේ අංජලී ඒ ගැන සිතා යළිත් සිතින් පීඩා විඳිනු ඇතැයි සිතාය. අංජලීට වැඩි යමක් සිතන්නට ඉඩක් නොවුණේ ගිම්හානි ඇයට ඇමතුමක් ගත් නිසාය.
“නංගී…ඔයා අද ගෙදර එනවද…?”
තමා එන බවවත් ඔවුනට දැන්වීමට අමතක වූ බවක් සිහි වූයේ මෙවිටය.
“ආහ්…ඔ…ඔව් අක්කේ…එනවා…”
ඈ පැකිළෙමින් පිළිතුරු දුන්නාය.
“දැන් ඔය එන ගමන්ද…? හරි ෂෝක් කිව්වෙත් නැහැ…”
ගිම්හානි නොමනාපයෙන් කීවාය.
“ඔයාලව සර්ප්‍රයිස් කරන්න හිතන් හිටියේ…”
ඈ එසේ කීවේ සිදු වූ වරද වසාගන්නට සිතා මුත් වරදකාරී හැඟීම නම් සිතෙන් පහව නොගියේය.
“හා..හා…මං අහුවුණා ඒකට…හරි හරි… එන්නකෝ පරිස්සමින්…”
උපහාසයෙන් එසේ කී ගිම්හානි ඇමතුම විසන්ධි කළාය. බසයෙන් බැස ඈ නිවසට එන විට එහි වූයේ කලබල ගතියකි. මෝටර් රථ දෙකක්ම ගෙමිදුලේ නවතා තිබූ අතර ඉන් එකක් මේනකගේය. අනික නම් ගිම්හානිගේ තාත්තාගේ බව ඇයට වහා සිහි විය. එසේනම් ඔවුන්ද නිවසට පැමිණ ඇත. ඇගේ සිතේ සියුම් රිදුමක් ඇති වූයේ සංචලා කී කතාව සිහි වූ බැවිනි. ඇය සිතා මතා තමා අනාථ එකියකකැයි කියා පවසන්නට උත්සාහ දරනවාද කියා සැකයක් ඈ සිතේ ඇති විය. මාලක ගැන ඈ විශේෂයෙන් සඳහන් කළේ මන්ද..? ඈ නිවසට ගොඩ වූයේ සිතුවිලි දහසක් සිත තුළ පොදි බැඳගෙනය.
“මේන්න අපේ පොඩි කෙල්ල ආවා… එන්න…එන්න…දුව…කොහොමද ඔයාට…?”
ගිම්හානිගේ තාත්තා අංජලී දුටු සැනින් කෑ ගැසුවේ ලෙංගතු හඬකිනි.
“අංකල්ලා කොයි වෙලේද ආවේ..?”
අංජලී ඔහු සමීපයේ හිඳ ගනිමින් ඇසුවාය.
“හවස ආවේ දුවේ…ඉතින්…අපි මේ ඔයා ගැන කතා කර කර හිටියේ…”
සිරිවර්ධන කීවේ අංජලීගේ හිස පිරිමදිමිනි.
“ඒ මොනවද අංකල් ඒ…?”
ඈ එසේ ඇසුවේ මාමා දෙසත් බලමිනි.
“දුවට ප්‍රොපෝසල් එකක් කතා කරන්නද ඇහුවා…”
මාමා එසේ කියන විට අංජලී තිගැස්සී ගියාය. ඔහු ඒ පැවසුවේ ඇත්තටමද නැත්නම් විහිළුවකට කියා සිතා ගන්නට නොහැකිව ඈ දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලුවාය.
“අම්මෝ…කෙල්ල බය වුණා…ඔය බොරු දුව…නිකන් ඉන්න අනේ…පොඩි එකාව බය නොකර…”
අචලා කීවේ සැමියාගේ උර මතට සෙමෙන් පහරක් ගසමිනි. සිරිවර්ධන උස් හඬින් සිනහසුණේය.
“හරි හොඳ නැහැ අංකල්…මං බය වුණා…”
අංජලී මවාගත් නොමනාපයකින් කීවාය.
“දුවට මහන්සි ඇති අනේ…ඔයා යන්න…ගිහින් වොෂ් එකක් දාන් එන්න…”
අචලා කියන විට අංජලී නැඟිට කාමරයට පැමිණියාය. අත් බෑගය මේසය මතින් තබමින් අංජලී යහන මත හිඳ ගත්තේ විඩාබර බවකිනි. මාලකත් මේනකත් පෙනෙන්නට නැත. ඈ නැඟිට මුළුතැන්ගෙය දෙසට යෑමට සිතුවේ නැන්දාත් ගිම්හානිත් එකතුව රාත්‍රී ආහාර සකසනවා යැයි සිතුණු බැවිනි. එවිටම ඇගේ ජංගම දුරකථනය හඬ තළන්නට වූ බැවින් ඈ අත් බෑගය හැර එය අතට ගත්තේ ඇමතුම රංගිකාගෙන් හෝ ගයානිගෙන් යැයි සිතා මුත් එහි මුහුණතේ සටහන් වූයේ නාඳුනන අංකයකි. ඈ පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙනුත් සැකයෙනුත් යුතුවය.