Tharu Mal Viyan තරු මල් වියන්
දුරකථනය හැඬවෙන හඬින් අංජලී දුරකථනය වෙත අවධානය යොමු කළේ කරමින් සිටින රාජකාරිය අතර තුරමය. ඇමතුම නැන්දාගෙනි. ඈ වහා එයට ඇමතුවේ නැන්දා හදිසියක් නොවේ නම් මෙවන් වෙලාවකට තමා නොඅමතන බව දන්නා නිසාය.
“දුව…ඔයාට මේ සතියේ ගෙදර ඇවිත් යන්න පුළුවන් නේද…?”
“ඇයි නැන්දා හදිසියක්ද…?”
“ඔව්…හදිසියක්…ඔන්න සුදු අයියා එනවලු සිකුරාදා…ඔයා අනිවාර්‍යයෙන් ගෙදර එන්න ඕන හොඳද…?”
“අනේ…සුදු අයියා එනවද…? එයා කිව්වෙත් නැහැ…”
සතුටට ඇයට කෑ ගැසිණි. තුෂරත්, රංගිකාත් හැරී බැලුවේ ඇගේ කෑ ගැසීමටය. නැන්දා ඉක්මනින් දුරකථනය විසන්ධි කළේ අංජලීගේ රාජකාරියට බාධාවක් නොවන ලෙසය.
“කවුද ඒ සුදු අයියා…?”
තුෂර මඳහසක් පාමින් අසන විට අංජලීගේ මුවේ ඇඳුණේ ලැජ්ජා මුසු වූ සිනහවකි.
“අයියා…එයා එනවලු මේ සතියේ…”
ඈ රංගිකාටත් ඇසෙන සේ කීවාය.
“වාව්…ආදි කිව්වෙත් නැහැ…ඔයා යනවද එතකොට…මේ සතියේ ක්ලාස් යන්නේ නැත්ද…?”
රංගිකා අසන විට අංජලී කළේ නැතැයි හිස සැලීමය. මේනක විදෙස් ගතව අවුරුද්දක් ගත වූ බව නොදැනුණ තරම්ය. නැන්දාගේත් මාමාගෙත් අදහස වූයේ ඔහු පැමිණි විගස විවාහ කටයුතු සිදු කිරීමය. අංජලීද අමතර නිවාඩු කීපයක් ගෙන නිවසට පැමිණියේ නැන්දාගේ ඉල්ලීමට මෙන්ම මේනක ආසා කරන කෑම සෑදීමට නැන්දාට සහාය වීමටය.
“සුදු අයියා කිව්වෙත් නැහැ මට එනවා කියලා…”
නැන්දාට සහය වෙමින් අංජලී කීවාය. මාලක කැරට් අලයක් සපමින් සිටියේ දෙදෙනාගේ කතා බහට ඉඳහිට බාධා කරමිනි.
“ඇයි ඔයාට කියන්න කියලා නියමයක් තියනවද…?”
ඔහු ඇසුවේ අංජලී අවුස්සන්නටය.
“ඔව්…නැතුව…මං එයාගේ නංගීනේ…මට කියැන්නේ නැතුව…”
මාලකට රවමින් ඈ කීවාය.
“නංගී නිසා තමා නොකියම එන්නේ…පුහ්…”
ඔහු උපහාසයට මෙන් සිනහසුණේය.
“අනේ යනවා…මෝඩයා…”
ඈ කෑගැසුවාය.
පසු දින මේනක කැඳවාගෙන ඒමට ගියේ ආදිත්‍යත් මාමාත්ය. නිවසට එන විට මේනක රතු පැහැයට හැරී සිටියේ දැඩි රශ්මිය නිසාය.
“අම්මෝ…බලන්නකෝ නැන්දා…මෙයා සුද්දෙක් වගේ…”
අංජලී ඔහු දුටු සැණින් කෑ ගැසුවාය. මේනක අම්මාවත් පසුව ඇයවත් වැලඳගත්තේ පෙරදා වගේම සෙනෙහසකිනි.
“කෝ යාළුවෝ දෙන්නා…?”
මේනක අංජලී විමසුවේය.
“එයාලා වැඩ…එන්න විදියක් නැහැ…ඔයාව මතක් කරන්න කිව්වා…”
“හ්ම්ම්…අපි යමුකෝ එහෙනම්…දෙන්නව බලන්න…හම්මේ…හරි මහන්සියි…”
ඔහු අසුනක ගිළී යමින් කීවේය.
“කාලා ඉමු…මේ ළමයින්ටත් බඩගිනි ඇති…”
හේෂාන් කීය.
ඉන්ද්‍රාණි මේනක කන්න ආසා කෑම වර්ග සියල්ලම මේසයට සූදානම් කොට තිබුණේ මඟුල් මේසයක් සිහි කරවමිනි.
“හම්මේ…අපිට කොහෙද මෙහෙම වාසනාවක්…”
මාලක කීවේ අම්මා අවුස්සනට මෙනි.
“ඔය පේනවනේ…නිවාඩු දවසට බේරුමක් නැහැ අරවා හදලා මේවා හදලා දෙන්න කියා කියා…”
ඉන්ද්‍රාණි කීවේ කෝපයෙන් නොවේ.
“ඔය ඊර්ෂ්‍යාව නැන්දේ…”
අංජලී ඔහුව අවුස්සන්නට කීවාය.
“වෙන වැඩ නතුවට…”
ආදිත්‍යත් මේනකත් ඒ කතා බහට සවන් නොදී වෙනත් කතා බහකය. දිවා ආහාරයෙන් පසුව ආදිත්‍ය පිටව ගියේ මේනකට විවේක ගන්නට පවසමිනි. මේනක සුව නින්දකින් පසුව අවදි වූයේ සවසය. අංජලී සමඟ ඔහු කතා බහට පිවිසුණේ මිදුලේ අඹ ගස යට හිඳගෙනය.
“නෑනා කොහොමද…ඔයාට නිතර කතා කරනවනේ…?”
ඔහු ඇසීය.
“හ්ම්ම්…අක්කා හරි හොඳයි අයියේ… ඔයාට හොඳටම ගැළපෙනවා…”
“ඔව්…ඒක නම් මටත් තේරුණා එයා එක්ක කතා කරපු මේ කාලේ…”
“ඉක්මනට මැරි කරන්න…”
“එහෙම තමා හිතන් ඉන්නේ…ඊට කළින් කරගන්න පොඩි, පොඩි වැඩ ටිකක් තියනවා…”
මේනක මඳහසක් පාමින් කීය. නැන්දාගේත් මාමාගේත් ආශාව මේනක ඉක්මනින් විවාහ වීම බව ඈ දැන සිටියාය.
——————————————————————————————————
ගිමහානිගේ නිවැසියන් එහි පැමිණියේ ඉරුදින උදෑසනය. මේනකගේ වුවමනාව වී තිබුණේ ඇයව හමුවීමට එහි යෑමට වුවද ඔහු පැමිණි විගසම මෙන් ගමන් බිමන් යෑම වෙහෙසක් බව සිතූ ගිම්හානිගේ මවුපියන් සමඟ ඈ නිවසට පැමිණීමට ගත් තීරණයට නැන්දාත් මාමත් එකඟ වූයේ ඉතා කැමැත්තෙනි.
“දෙන්නා ඉතින් මේ අවුරුදු දෙකේම ෆෝන් එකෙන් කතා බහ කළානේ…”
මේනකත් සමඟ ගිම්හානි මිදුලේ වූ අඹ සෙවණට වී කතා බහ කරමින් සිටින විට ගිම්හානිගේ අම්මා කීවේ මඳහසක් පාමිනි.
“ෆෝන් එකෙන් කරන කතා වෙනයි…දෙන්නා ළඟ ඉඳන් කතා කරත්දී…අනික ඉතින් ෆෝන් එකෙන් කතා බහ කළාට වැඩක් නැහැ…දෙන්නට දෙන්නා මුණ නොගැහී…නැත්ද හේෂාන්…?”
ඇගේ තාත්තා කියන විට හේෂාන්ද එය අනුමත කරමින් සිනහසුණේය.
“ආදරයක් හැඟීමක් දැනෙන්නත් දෙන්නට දෙන්නා මුණ ගැහෙන්න ඕන…”
හේෂාන් කීය.
අංජලී එය අසා සිටියේ ලැජ්ජා මුසු හැඟීමෙනි. මාලක ඇයට වැළමිටෙන් ඇන්නේ එය සවන් වැකීය.
“ඔන්න පේනවානේ…හොඳට අහගන්නවා…”
ඔහු රහසින් කීය.
“යන්න…මං නෙවේ…ඔයා තමා අහගන්න ඕන…”
ඈ එසේ කියා හුන් තැනින් මෑත් වූයේ නැන්දා පැමිණෙනු දැකය.
“මේනක කියන්නේ හරිම හොඳ කෙනෙක් කියලා මට තේරුණේ එයාව දැකපු දවසෙමයි නංගී…”
අංජලී හා තනිව කතා බහ කරමින් සිටින විට ගිම්හානි කීවාය.
“අනේ…ඇත්තමයි අක්කේ…සුදු අයියා නිසා කියනවා නෙවේ…ඇත්තටම එයා අපිට වගේම පිට අයටත් හරිම හොඳ කෙනෙක්…”
ගිම්හානි සිනහවක් පාමින් අංජලීගේ සුරතින් අල්ලා ගත්තාය.
“තනියට ඔයත් ඉන්නවානේ…”
“ඔව්…ඔව්…ඒත් ඉතින්…වැඩි හරියක් මං ඉන්නේ හොස්ටල් එකේනේ…”
“ආහ්…ඒක නෙවේ…කෝ යාළුවෝ දෙන්නා…අහන්නත් අමතක වුණා…”
“ඒ දෙන්නා වැඩ…මාත් ඉතින් හෙට උදේම යන්න ඕන…සුදු අයියා එක්ක ගිහෑකි හෙට නම්…”
“ජොබ් එක හොඳයිද…?”
“හොඳයි…අපි තුන්දෙනාම එකට ඉන්න නිසා අවුළක්ම නැහැ…තුෂර එක්ක වැඩ කරන එකත් ලේසියි…ආන්ටි වුණත් හරිම හොඳයි…එයා හැමදේම කියලා දෙනවා…”
“එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ…”
“ඔව්…”
ඈ කෙටියෙන් කීවාය. මේනකද යළි ඔවුනතරට පැමිණියේ දෙදෙනා කතා බහ මැදය.
“නෑනලා දෙන්නා මොකද…සතර කන් මන්ත්‍රණයක්ද…?”
ඔහු දෙදෙනා ඉදිරියේ සිට ගනිමින් ඇසුවේ සිනහවක් පාමිනි.
“ඔයාට විරුද්ධව කැරලි ගහන්න හදන්නේ…”
අංජලී කටකාර ලෙස කීවාය.
“කැරලි ගහලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ…?”
“ඔයාව හිර අඩස්සියට ගන්න…”
අංජලී යළිත් සිනහසෙමින් කියන විට මේනක වහා බැලුවේ ගිම්හානි දෙසය.
“කොහොමත් ඉතින් දැන් හිරේ ගියා වගේ තමා…ඒකනේ ඉස්සර කාලේ කසාඳ බඳින එකට හිරයක් ගන්නවා කියන්නේ…”
ඔහු කීවේ දෙදෙනාම සිනහ නංවමිනි.
නිවසේ සිට යළි පැමිණි පසුව සිතට දැනුණේ දැඩි සාංකා මුසු හැඟීමකි. අංජලී වැඩ ඇරී පැමිණ යහන මතට වී කල්පනා කරමින් සිටියේ මිතුරියන් දෙදෙනා මිදුලට වී ඉරේෂ් සහ ආදිත්‍ය සමඟ දුරකථන කතා බහක නිරතව සිටින විටය. මේනකගේ විවාහය තව නොබෝ දිනකින් සිදු කෙරෙනු ඇත. විවාහයට තාත්තාටත් පුංචි අම්මාටත් ආරාධනා කළ යුතු බව සිහි කළේ නැන්දාය. ඒ මොහොතේ මාමා මුව ඇද කර ගත් සැටි අංජලී පැහැදිළිවම දුටුවාය.
“ආවා නැතා අපි කියමු හේෂාන්…”
නැන්දා එසේ නිවුණු හඬකින් කීවේ මාමා නොසතුටු වූ බව දැකය.
“මෙච්චර කාලෙකට මෙහෙ නිකමටවත් නාපු මිනිහට මඟුල් කියන්නම තමා වටින්නෙ…අපිව බලන්න නෙවේ…මේ කෙල්ල ගැන හොයලා බැලුවද…?”
එය අසත්‍යයක් යැයි කිව නොහැක. අද වනතුරු ඔහු ඇමතුමක් දී හෝ තමා ගැන සොයා බැලුවේ නැත. ඒ තරමට තමා එපා වීමට සිදුවූ වරද කුමක්ද කියා අංජලී සිතුවේ දැවෙන සිතිනි.
“ඕවා ගැන අපි හිතන්න ඕන නැහැනේ…අපි දුවව එක්ක ආවේ එයා හොයලා බලන්න ඕන නැහැ කියලමනේ…අපි ඉන්නවනේ එයාට…”
නැන්දාද එදා තමා බාර ගැනීමට නොකැමැත්ත පළ කළා නම් අකමැත්තෙන් වුවද තමාට තාත්තා සමඟ යෑමට සිදු වනවා නොඅනුමානය.
“අම්මෝ…මෙන්න මෙයා පැල් බැඳන් කල්පනාව…”
ගයානිත් රංගිකාත් කාමරයට වැදුණේ එකවරමය. අංජලී තිගැස්මෙන් සිතුවිලි දැහැනින් මිදුණාය.
“දෙන්නා එළියට වෙලා මල් කඩනවා…මං තනියම මොනවා කරන්නද…?”
අංජලී පසෙක වූ කොට්ටයක් ගෙන ළමැදට තුරුළුකොට ගනිමින් නෝක්කාඩු කීවාය.
“ඉතින් ඔයත් මල් කඩන්නකෝ…”
රංගිකා වහා කීවාය.
“මල් කඩන්න කවුරුත් නැහැ…”
ඈ ශෝකී බවක් ආරූඪ කරගෙන කීවාය.
“ඒ මොකෝ…?”
“අද සුදු අයියාගේ යාළුවෙක්ගේ ගෙදර පාර්ටියක්නේ…මාමලා සේරම එහේ…”
“හ්ම්ම්…ඒක තමා මෙයා ඇඳට වෙලා උඩ බලන් ඉන්නේ…”
“ඔව්…නැත්නම් ඉතින් මෙයත් මල් තමා…”
ගයානි කී දේ අනුමත කරමින් රංගිකාද කීවාය.
“ඔව්…ඔව්…මල්…දැක්කානේ මං මල් කඩනවා…?”
ඈ මවා ගත් නොමනාපයකින් කීවාය.
“හරි හරි ඒවා වැඩක් නැහැ…දැන් කවද්ද වෙඩින් එක…?”
ගයානි බාධා කරමින් ඇසුවාය.
“කාගෙද…?”
අංජලී මවිතයෙන් මෙන් ඇසුවාය.
“අනේ…උඹේ නෙවේ මොට්ටියේ…සුදු අයියාගේ…”
ගයානි කෑ ගැසුවාය.
“අගෝස්තු….”
මුව ඇද කරමින් අංජලී කියන විට රංගිකා උස් හඬින් සිනහසුණාය.
“එහෙනම් වැඩි කාලයක් නැහැනේ…ඇඳුම් ලැහැස්ති කරගන්නත් එපැයි…”
“සාරි අඳිමු තුන් දෙනාම…”
ගයානි කියන විට රංගිකා යෝජනා කළාය.
“දැන් කවුද ඔයාලට වෙඩින් එක කිව්වේ…?”
අංජලී ඇසුවේ ඔවුන් අවුස්සන්නටය.
“උඹ නොකීවත් සුදු අයියා අපිව අමතක කරන්නේ නැහැ…”
ගයානි කොට්ටයකින් දමා ගසන විට අංජලී එය අල්ලාගෙන ඇයටම යළි දමා ගැසුවාය.