සෙනසුරාදා දිනයක් බැවින් මීගලෑව නගරය තරමක් කාර්ය බහුල බවක් උසුලයි. ගල්ගමුව නගරයේ සිට උල්පතගම හරහා පැමිණෙන විට දකුණු පසින් ඇති කුඩා ඉන්ධන පිරවුම් හල යතුරු පැදි සහ අත් ට්‍රැක්ටර් වලින් පිරී තිබෙයි. පිරවුම් හලට මුහුණලා ඇති විශාල මැයි මාර ගස යට ගැමියන් පිරිසක් රැඳි සිටින්නේ බසයක් එනතුරු ය. ඊට පිටුපසින් ඇති පුළුල් ඉඩකඩෙහි ලී දඬු උපයෝගී කරගනිමින් සාදන ලද වෙළෙද කුටි රාශියකි. ඇතැම් ඒවායේ වහල පොල් අතු වලින් හෙවිල්ලා ඇති අතර,ඉටි රෙදි මගින් ආවරණය කරද තිබේ. එම වෙළෙද කුටි තුළට වී එළවළු,පළතුරු ඇදුම්,ආයිත්තම් විසිතුරු භාණ්ඩ සහ කැවිලි,පෙවිලි යනාදිය අලෙවි කරන “සති පොළේ” වෙළෙදුන්ගේ සහ මිළදී ගන්නා ගැමියන්ගේ ඝෝෂාකාරී බව වෙනදා මීගලෑව නගරය අරක් ගත් පාළුව සහමුලින්ම බිඳ දමා තිබේ.ඉන්ධන පිරවුම් හලට දකුණින් ඇති මාර්ගයෙන් පැන මාර ගස අසලින් සති පොළ භූමියට ඇතුළු වීමට පැමිණි සමන්තී,ගස යට සිටි මැදිවිය ඉක්මවූ ගැහැණුන් කිහිප දෙනාට මුව පුරා සිනාසීගෙනම සති පොළ භූමියට රිංගුවාය. එදෙස බලා හුන් එක් ගැහැණියක් අනෙකාට වැලමිටෙන් ඇන අවධානය තමන් වෙත ඇද ගත්තාය.
“පෙනේද.. හයහතර නොතේරෙන කිරි සප්පයෙක් තනියම දාලා මෙයා රෝන්දෙ ගහන අපූරුව..”
“පොළට නොවැ බං අක්කේ ඇවිත් ඉන්නේ..බඩු මළුත් එක්ක දරුවො කරපින්නං යා හැකිද..”
“ඒකම නෙවෙයි බං…සෝබනේ..සෝබනේ.. දැක්කෙ නැතෑ.. ජැන්ඩි පහට හැඩවෙලා පද්ද,පද්දා ගිය හැටි..”
ගැහැණිය සමන්තීගේ ගමන් විලාශය දෑත විහිදා අනුකරණය කළ ආකාරයට අසළ හුන් තවත් කිහිප දෙනෙකුද සිනහ ගැන්වූහ. වෙළෙද කුටි අතරින් ඇවිද ගිය සමන්තී මාළු ලෑල්ලක් අභිමුව හිට ගත්තාය.
“තෙප්පලි කොහොමද මුදළාලි..”
ඇය ඇසූයේ මාළු වෙළෙන්දාගෙනි. බුලත් හපය මුව මත එහා,මෙහා කරමින් මැදිවියේ මිනිසා සමන්තීගේ හිසේ සිට පාදාන්තය දක්වා ක්ෂණික බැල්මක් හෙලුයේය.
“හොඳට තියනවා නගේ.. පාන්දර අල්ලපු හැටියේ.. මේ.. තාම ගැහෙනවා..”
යැයි වෙළෙන්දා කීවේ ලෑල්ලෙන් මාළු කූරියෙකු ගෙන සමන්තීට දක්වන ගමන් තම සගයාට ඇසක්ද ඉඟි මරමිනි.
“මං ඇහුවෙ මිළ ගණං ගැන මුදළාලි..”
“කිලෝවක් වික්කෙ දෙසීයට.. නංගිට නිසා එකසිය අසූවක් දාලා දෙන්නම්..”
“ඒ මොකද මට විතරක් අමුතු ගාණක්..”
” අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ කියලා කතාවට කියනවනෙ නංගී..”
“මට ඔය අමුතු කතා කොහොමත් අල්ලන්නෙ නෑ මුදළාලි..මාළු පන්සීයක් දාන්න..”
තරාදියට මාළු කූරීන් දමන අතරවාරයේ වෙළෙන්දා හොරැහින් තමා දෙස බලන කෑදර බැල්ම මගහරිනු වස් සමන්තී සිය බැල්ම වෙනතකට යොමු කළාය.
“ආං…මේක නංගිට මගේ ගානෙ..”
කිරූ මාළු කූරීන් නෙළුම් කොලයට දමා,මාළු ගොඩෙන් තවත් කූරියෙකු ගෙන සමන්තීට පෙන්වා වෙළෙන්දා එයද නෙළුම් කොලය මත තැබූයේ මනමාළ හිනාවක් මුවට නගාගෙනය.
“කාගෙවත් ගානේ මොකුත් නැතුවට කමක් නෑ.. මගේ ගානට ලැබුනම ඇති”
වෙළෙන්දා වැඩිපුර දැමූ මාළු කූරියා ගෙන නැවත ලෑල්ල මත තැබූ සමන්තී පසුම්බියෙන් ගත් මුදල් ඔහු අත තබා පිටව ගියාය.
“අප්පද බොල..ඒකේ තියන ඝනකම…අහවල් එක රිදියෙන් ඔප දාලද දන්නෑ තියෙන්නෙ..”
යැයි කීවේ අත ඇති පිහිය මාළු කපන කොට කැබැල්ල මත වැරෙන් ගසන අතර “තුහ්ං” කියා බුලත් කෙළ පහරක්ද ඉවතට හෙළමිනි. මාළු ලෑල්ලේ සගයා එළියට පනින්නට ගිය සිනහව අතින් මුව වසා හිර කරගත්තේය.
සෙනඟ පීරමින් සති පොළේ ඒ මේ අත ඇවිද ගිය සමන්තී අවසන නතර වූයේ වඩේ කරත්තයක් අසළය. කව්පි වඩේ කිහිපයක් මිළදී ගෙන ගමන් මල්ලේ හොවා ගත්තේ සිය පුතු කවිරූ වෙනුවෙනි. නිදි ඇඳේ සිටියදීම ඔහුව සරලාට බාරකොට පාන්දර බසයේම පිටත් නොවූයේනම්,ඔහුත් සමඟ මේ ගමන පැමිණීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත. වඩේ පාර්සලය බෑගයේ දමාගනිද්දී එයින් වහනය වූ සුවඳ ඇයට සිහිපත් කළේ සිය සැමියා වූ වසන්තවයි. හමුදා සේවයෙන් නිවාඩු ලැබ නිවසට පැමිණෙද්දි, ඔහු අමතක නොකොට රැගෙන එන දේ අතර කව්පි වඩේ සහ වැව් මාළු ප්‍රධානය. කවිරූට ඇත්තේද සිය පියාගේ පුරුදු සහ ගතිය. බැදපු මාළු කෑල්ලක් සමඟ මත්පැන් වීදුරුවක් තොලගාන අතරතුර සිය සැමියා හමුදා ජීවිතයේ රසමුසු හා බියමුසු අත්දැකීම් තමා සමඟ බෙදා ගත් අයුරු සිහිවී සමන්තීට ඉබේම හීල්ලුනාය.
“අක්කේ..”
හුරුපුරුදු ඒ ළෙංගතු හඬින් සමන්තී අතීත මතක අතරින් මිදුනාය. සිනාමුසුව තමා අසළ උන්නේ ශාරිකයි.
“ටවුම පැත්තෙ ආවද මලේ..”
“ඔව් අක්කා..එන ගමන් ඒ පැත්තෙත් ගොඩවුණා.. චූටි කීවා අක්කා මීගලෑවෙ ආව කියලා..”
“ගෙදර හරියෙ බේතකට ගන්න දෙයක් නෑ මලේ.. කොල්ලවත් නිදි පැදුරෙ දාලා පාන්දර බස් එකේ නැග්ග ගමන් මේ..”
“නැන්දම්මට ආයෙත් අර අසනීපෙ හැදුණනෙ අක්කා අද උදේ..”
“බංඩාර මුත්තේ.. අපෙ අම්මා..”
සමන්තීගේ කෑගැසිල්ලට සතිපොළේ ඇවිද ගිය ගැමියන් කීප දෙනෙකු එකවර හැරී බැලුවහ.
“කළබල වෙන්න දෙයක් නෑ අක්කා.. පංසලට එක්ක ගිහිං පිරිත් නූලක් ගැට ගැහුවා..”
“අපෙ අම්මා දැන් කොහෙද මලේ..”
“ගෙදර.. මම කවී පුතයි,චූටියි දෙන්නත් එහෙට ඇරලවලයි මේ ආවෙ..”
“අපෙ අම්මගෙ මූණ දකිනකං මගේ හුස්ම වැටෙන එකක් නෑ මලේ.. බස් එකටත් තව පැයකට එහා තියනවා..”
“අපි කතාවුණේ හවසට බෝධී පූජාවක් තියමු කියලා.. ඒකට අඩුවැඩිය ටික ගන්න ආ ගමන් මේ..අක්කට මා එක්ක යතෑකි..මං ආවේ මෝටර් බයිසිකලේ..”
ශාරික සමන්තීද කැටුව සිය “තැපැල් නයින්ටි” වර්ගයේ යතුරු පැදිය නවතා ඇති තැනට ගියහ. එය පණ ගන්වා සමන්තී දෙස බලද්දී,ඇය මළු කිහිපයද එල්ලාගෙන ගැඹුරු කල්පනාවක එල්බ උන්නාය. ශාරික ඇගේ උරයකට තට්ටුවක් දමා යතුරු පැදියේ අසුන් ගන්නා ලෙස පැවසීය. ඊට නැඟී හිඳගත් සමන්තී,නිරාවරණ වූ සිය කලවා චීත්ත ගවුම ඇද වසා,ඒ මත මළු කිහිපය තබා ගත්තාය.
සිය ගෙමිදුලේ නොසංසුන් ඉරියව්වෙන් ඇවිදින කාලිංග,විටෙක ඇහැළ ගස පාමුළ බංකුවේ හිඳගනියි. විටෙක ඉන් නැඟිට කඩුල්ල වෙත යුහුසුළුව ඇවිදින ඔහු,කිසිවෙකු බලාපොරොත්තුවෙන් මෙන් පාරේ දෙපස බලයි. නැවත ගෙමිඳුල වෙත එන ගමන් සුපුරුදු ඉරියව්වෙන් එකාතකින් සරම ඔසවා කැසකවා ගනී.
“මදෑ ඉතිං ඔය සක්මන් කෙරුවා..”
සරලාගේ හඬින් කාලිංග වහා සිය සරම පහතට දමා සීරුවෙන් හිට ගත්තේය.
“කහට කෝප්පයක් වැක්කෙරුවා බීලා හිටින්ඩ.”
කාලිංග ඇය ඉදිරියේ නිවී සැනහුන ඉරියව්වක සිටින්නට වෑයම් කළද,පුරුදු රළු පරළු ගතිය මිස ඔහුගේ මුහුණෙන් එවැනි පෙනුමක් මතු වූයේ නැත. වහා සරලා අතින් කහට කෝප්පය උදුරා ගත් ඔහු එය මුවේ තබා ගත්තේය.
“ඊයා….”
සරලා එය කීවේ අප්පිරියාව මුසු හඬකිනි. තේ කෝප්පය මුවෙන් ඉවතට ගත් කාලිංග සරලා දෙස බැලූයේ තමා වරදක් කළාදැයි අසන්නාක් මෙනි.
“ඔය බුලත් හපේ කටෙන් අහක් කරලා හිටින්ඩ තේ එක බොන්න කලියෙං..”
“එහෙනම් වතුර කෝප්පයක් ගෙනත් දියංකෝ..”
“මේං..ගෙදර වාහෙට කතා කරනවා වාගේ කතා කරන්නෙපා හරිද..”
“වගේ මොකදෑ ඉතිං ඕනෙනම් පෙළවාහෙට උනත් ගන්න ඇහැකි මට..”
තමාට පිටුපා නිවස දෙසට යන්නට හැරුණු සරලාට කාලිංග එසේ කීවේ තමන්ට නුහුරු ආදරණීය හඬක් මවා ගනිමිනි. සරලා ගෙල හරවා තමන් වෙත බැලූ බැල්ම ඔහු අසරණ කරවීය. පෙරළා යමක් ඇයට කියන්නට උවමනා වීද,ඊට ඔහුගේ තොල් විවර වූයේ නැත. “තුහ්ං..තුහ්ං..” හඬින් ඔහු දෙවරක් බිමට කෙළ ගැසූයේ ඒ අපහසුවෙන් මිදෙනු පිණිසය. ශාරික සහ සමන්තී රැගත් යතුරු පැදිය කඩුල්ල අසළ නතර වූයේ මේ මොහොතේය. සරලා ගෙට රිංගූ අතර ඉක්මන් අඩි තබා කාලිංග කඩුල්ල වෙත පිය මැන්නේය.
“තෝ මොන මඟුලෙ ගියාද වම්බියේ..මේ මහ පාන්දර..”
කාලිංග තමා පෙර මඟට එන සමන්තීගෙන් ඇසුයේ කෝපයෙනි. සිය සොහොයුරාගේ අසළ නතරවී හිස බිමට නවාගත්තද,ඇය මුවින් වදනකුදු බිනුයේ නැත. ශාරික කාලිංගගේ කරවටා අත යවා ඇහැළ ගස වෙත ඇවිද ගියේ සමන්තීට ගෙට ඇතුල් වීමට අවකාශය සලසමිනි.
“අක්කා නැන්දම්මා ගැන හාංකවිසියක් දන්නෑ අයියේ..”
“දැනගන්න ඕකිට පවුලෙ මිනිස්සු එක්ක සම්බන්ධයක් තියෙන්න එපෑයැ මස්සිනේ..”
“අක්කා ගැන නිතරම සැකෙන් බලන්නෙපා අයියෙ..”
“අපිට එහෙම වෙන තැනට වැඩ සැලැස්සුවෙ එයාම තමා.”
“එයාට එක පාරක් වැරදුන එක ඇත්ත..මං හිතන්නෙ එයා තාම ඒ නිසා විඳවනවා…”
“එයැයි විඳවන බම්බුවක් නෑ මස්සිනේ..අපියි තාමත් විදවන්නෙ..”
“අපි ටිකක් ඉවසලා අක්කට හිත හදාගන්න කල් දෙමු අයියෙ..”
” මට ඉවසන්න බැරි පවුලට මෙච්චර හරියක් කොරලත් මේකිගෙ තියන උද්ධච්ඡකම තමා..”
” අපිට අක්කව හදාගන්න පුළුවන් අයියේ..”
“ඕකි මේ කපේදි හැදෙන්නෙ නෑ මස්සිනේ..දවසක අපි ඔක්කොම මරාගෙන මැරුණොත් මිසක..”
“හරි..හරි..අපි ඕවා පස්සෙ වෙලාවක කතාකරමු..මට පංසල පැත්තෙ යන්නත් තියනවා බෝධී පූජාවෙ වැඩ ටික බලන්න..”
“යමං මස්සිනේ මාත් එන්නං.”
“එහෙනං ඔහොම හිටින්ඩ මං නැන්දම්මව බලලා එන්නං..”
බිම එලන ලද පැදුරු කඩමාල්ලක හොවා හිඳින තාරුකාගේ මව අසල තාරුකා,සමන්තී සහ සරලා හිඳ සිටියි. ඊට නුඳුරේ තවත් පැදුරක සමන්තීගේ පුතු නිදයි. තාරුකාගේ මව බලාගත් අත බලා හිඳින්නීය. සුදු පැහැයට හැරී වියලී ගොස් ඇති ඇගේ දෙතොල් තදින් පියවී තිබේ. ඇසිපිය පවා නොසලන ඇයගේ දෑස් විසල්ව ඇරී තිබේ. සමන්තී සිය මවගේ හිස කිහිපවරක් සෙනෙහසින් පිරිමැද්දාය. පුදුමයකි! හාස්කමකින් මෙන් මවගේ දෑසඟින් කඳුලු දෙපේලියක් ගලා ආවාය. සමන්තීගේ මුවින් ඉකියක් පිටවිනි. සරලා සහ තාරුකා ඇගේ දෙපසින් උරහිස් මිරිකා ගත්තෝය. ශාරික කාමරයට ඇතුළු විය.
“නැන්දම්මේ..”
කියා ශාරික සිය නැන්දනියගේ හිස මතට සිය අතක් ළං කළා පමණි. පියවී තිබූ ඇගේ දෙතොල් පළල් විය. උගුරෙන් භයංකාර ගොරහැඩි හඬක් නිකුත් විය. අත් පා විදුලි සැරක් වැදුනාක් මෙන් “සට සට” හඬින් ගැහෙන්නට වූවාය.
“අනේ.. ලොකූ..”
කියාගෙන සරලා නැඟී සිටියාය.
මිදුලේ තිබූ ටින් කැබැල්ලකට වැරෙන් පා පහරක් ගැසූ කාලිංග එය ගුවන් ගතවන වේගය දෙස බලා හුන්නේය. ගෙවත්තේ කූරටියා පඳුරු කිහිපයක් එක්වරම අස්වාභාවිකව සෙලවී යන අයුරු නිරීක්ෂණය කළ ඔහු,සෙමෙන් එදෙසට ඇදෙද්දී,සුදු පැහැති චායාවක් පඳුරු අතරින් මෑත්ව ගෙය පිටුපසට ඇදී ගියේය. ඒ මොහොතේම නිවස තුලින් සමන්තී සහ තාරුකා යටිගිරියෙන් කෑ මොර දෙන හඬ සහ සමන්තීගේ කුඩා පුතුගේ වැළපුම් හඬ එකවර ඇසිණි.
“කාලිංගයියේ..”
කියාගෙන ගෙතුළ සිට සරලා මිදුළට පැන්නේත් මේ මොහොතේමය.