ඝන කළුවර හාත්පස වෙලා පැතිරෙමින් තිබිණි. ශාරික ආලින්දය වෙත පැමිණියේ චිමිනි ලාම්පුවද රැගෙනය. එය කනප්පුව මත තබන අතරවාරයේ ඔහුගේ පපුව පිලිස්සී ගියේ හාන්සි පුටුව දැකීමෙනි.
“බංඩාර මහත්තයා ” යැයි බොහෝ ගම්මුන් හැඳින්වූ ශාරිකගේ අප්පච්චී මියයන විට නැගණිය සරලාට වසර පහවත් පිරී නැත. අප්පච්චී මේ මොහොතේ සිටියානම් මේ හාන්සි පුටුවේ දිගෑඳී සුරුට්ටුව උරමින්
හිස් අහස දෙස නෙත් යොමා හිඳින්නේය. මුහුණ හරහා පාව ගිය දුම් වලාවකින් තිගැස්සුන ශාරික පිටුපසට වීසි විය.
“පෑවිල්ල තදයිනෙ.. මදුරුවො හෝසෙට..”
ඒ බංඩාර මැණිකේ ය. ශාරිකගේ සහ සරලාගේ මවය. අඟුරු පිරවූ මැටි කබලකට කොහොඹ ඉති කිහිපයක් දමාගෙන පැමිණි ඇය, එය ආලින්දයේ කොනක තැබුවේ මදුරුවන් පළවා හරිනු පිණිසය.
“කෝපි ටිකක් වක්කරලා උණු වතුර බෝතලේට දැම්මා”
යැයි පවසා ඇය ගෙතුලට වැදුනාය. තම පියා ජීවත්ව සිටින කාලයේ සිට ඈ මේ පුරුද්ද පවත්වාගෙන ගියාය. මැදියම් රැයත් ඉක්මයන තුරු මේ හාන්සි පුටුවේ නිදි වරන තම සැමියාගෙන් ඈ කිසිවිටෙක ඊට හේතූ විමසුවේ නැත. ඇගෙන් විය යුතු යුතුකමක් වෙතොත් එය කොට නින්දට ගියාය. ශාරික සිය පියාගේ හාන්සි පුටුවේ දිගෑදුනේ,ඔහුගේ මතකයද බදාගනිමිනි. දහවල් බස් නැවතුමේ සිද්ද වූ සිදුවීම ඔහුගේ මතකයට නැගිණි.
බස් නැවතුමට නුදුරෙන් වෙල් යායට බසින්නට ගිය ශාරික දුටුවේ මුඟුරක් අතැතිව කිසිවෙකුට තර්ජනය කරන කාලිංග සහ කිසිවක් කරකියා ගත නුහුනුව ඒ මේ අත කැරකෙන ජිල්බුය. අඩියට දෙකට ඒ දෙසට ගිය ඔහු, කාලිංගගේ උරහිසට අතක් තැබුවේය. මුඟුරත් උරුක් කරගෙනම ශාරික දෙස හැරුණු කාලිංග ඔහුගේ දසුනෙන් මදක් සංසුන් විය.
“ඇයි අයියෙ මේ…”
ශාරික ඇසුවේ කාලිංගගෙනි.
“මස්සිනේ.. අද මං මුගෙ…”
කියනවාත් සමඟම දූවිලි වලාවක් නංවාගෙන ගුරුපාරේ කෙලවරින් ලංගම බස් රථයක් මතුවිය. වරක් කාලිංග සහ ශාරික දෙස බැලූ ලක්මාල් බස් රථය එන පෙරමගට ගියේය. ඔහු වෙතට යන්නට සැරසුන කාලිංග උරහිසෙන් අල්ලා නතර කළ ශාරික,සංසුන් වන ලෙස කීය. අතින් සන් කර ලක්මාල්ට පිටව යන ලෙසද පැවසීය. මුඟුර අසල වෙල් යායට වීසි කළ කාලිංග නුඟ ගස අසළ බිම හිඳගන්නවාත් සමඟම බස් රථයද ඔවුන් පසුකර ගියහ. ජිල්බු ශාරික වෙත ඇදී ආවේ කාලිංග දෙසද හොරැහින් බලමිනි.
” මං කිව්වා පුංචි නිළමෙ අපේ කාලිංගයියට..”
ජිල්බු දිග කතාවකට සැරසුනද, ශාරික ඔහු වෙත හෙලූ එක බැල්මෙන් කට පියාගත්තේය.
“දැන් උඔ ගෙදර පලයං..”
ශාරික කීවේ එපමණකි. හිස පැත්තකට ඇලකොට පුරුදු බයාදු හිනාවෙන් ඔහු පිටව ගියේ වේගයෙන් හිසද කසමිනි. නුඟය අසල කාලිංගගේ පසෙකින් හිඳගත් ශාරික, ඇඟිලි තුඩු වලින් නළලත මිරිකමින් හිඳිනා කාලිංගගේ මුහුණට එබිනි.
“මට අයියගෙ වේදනාව තේරෙනව.. එහෙමයි කියලා අයියා මේ විදිහට හැසිරෙන එකට මගේ වැඩි කැමැත්තක් නෑ..”
“මස්සිනේ..උඔට ගරු කොරලයි මං අරූව අතෑරියෙ..අම්මපා නැත්තං මං ඕකගෙ කකුල් කෙටි දෙක කඩලයි යවන්නෙ..ආය මේ පැත්තෙ කකුල් ගාන්න බැරි වෙන්න..”
“මාත් අයියට ඒ වගේම ගරු කරන නිසයි මෙහෙම කියන්නෙ..මගේ අප්පච්චීගේ ඉවසීම නිසාවත්,ලොකු මාමගෙ කළබලේ නිසාවත් අද වෙනකොට අපිට හම්බ උන,ඉතිරි උන දෙයක් නෑනෙ අයියෙ”
“බංඩාර මාම මුළු ගමටම එයාගේ දේපල දන් දුන්නා..එයා මැරෙනකොට කබල් ගාන්නවත් අපිට වංශයක් ඉතිරි වුණේ නෑ.. මගෙ අප්පුච්චා පාරේ එනකොට ලේන්සුව අතට අරන් කාණුවට බැහැපු උන්,උන්දැ මියෑදුනාම ලෝකයා කියනවා.. මං නැති තැන මට කාලියා කියනවා.”
“ම්නිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් අයියෙ.. අපි ඒව ඔප්පු වෙන විදිහට හැසිරෙන්න නරකයි.. ඉවසීමෙන් වැඩකරමු..”
“ඉවසනව කියලා හැමදාම මේකේ එවුන්ට ඔලුව පාත් කරන්න පුළුවන්ද මස්සිනේ..මං ඉවසපු නිසා තමා එකියක් දරුවෙක් එක්ක කණවැන්දුම් වෙලා ඉන්නෙ..තාරුකා ගැන මට බයක් නෑ.. මට උඔ ඉන්නවා මස්සිනේ.. ඒත් අරකි මෙහෙම ගිහින් ආය මගුලක් ජෝඩු කරගත්තොත් ටක්කෙටම ඕකි මගේ අතින් මැරෙනවා..එදාට අර දරුවා අම්මෙක්,අප්පෙක් නැතිව අනාථ වෙනවා.. ඒකයි මං මේකට රිංගන එවුන් එක්ක කෝන්තර ඇති කොරගන්නෙ..”
ශාරික බැලූයේ කාලිංගගේ දිලිසෙන දෑස් දෙසයි. ඒවා රතුවී කඳුලු පිරී තිබිණි. සිය ඇවැස්ස මස්සිනාගේ මෙවන් සංවේදී දසුනක් ශාරික මින් පෙර දැක තිබුණේ නැත. ඔහු සිය ලොකු මාමා මෙන්ම රළු,දැඩි හිතැත්තෙකු විය. සිය මාමාට මෙන්ම ඔහුට එරෙහිවද ගමේ කිසිවෙකුට මුහුණට වචනයක් කීමේ ශක්තියක් අදටත් නැත. එහෙත් ලොකු මාමා මිය ගිය ආකාරය ඇඟ කිළි පොලන මතකයකි. එය අදටත් අභිරහසකි. කාලිංගගේ මේ හැසිරීම ශාරිකගේ හිතට බිය දනවන්නේ එහෙයිනි.
“අයියා මං කියනවට ටිකක් ඉවසන්නකෝ සමන්ති අක්කා ඒ වගේ මෝඩ ගෑණියෙක් කියලා මම හිතන්නෙ නෑ.. අපි දෙන්නා බංඩාර පරම්පරාවෙ අවසාන පිරිමි පුරුක් දෙක.. අපේ හැසිරීම දිහා ලොකු මාම,අප්පච්චි කොහේ හරි ඉඳලා බලන් ඇති. අපි ඒ ආත්ම වලට සැනසීමක් වෙන විදිහට ජීවත් වෙන්න බලමු අයියේ..”
කාලිංග මුවින් වදනකුදු හෙලුවේ නැත. තදින් ශාරිකගේ උරහිස් මිරිකාගෙන නැගී සිටි ඔහු,තෙත් වූ දෑස් පොඩිකර,බුරුල් වූ නහය සූරා සරම් පොටකින් පිස දැමීය. අනතුරුව සුපුරුදු ඉරියව්වෙන් සරම එක් පයකින් ඔසවා අතට ගෙන කැසකවාගෙන පිටව ගියේය.
“ක්‍රීස්…” ගා ඇසුණු හඬට කල්පනා ලෝකයෙන් මිඳුනු ශාරිකගේ අත රැදුණු පොතද බිම වැටිනි. හුළං පහරකින් ගේට්ටු පියනක් හැරී කණුවේ වදින්නට ඇත. සරලාගේ කාමරයේ තවමත් ලාම්පු එළියක් දැල්වේ. ඇය පාඩම් කරනවා විය යුතුය. මෙවර ඇය උසස් පෙළ විභාගයට වාඩිවීමට නියමිතය. ශාරික හාන්සි පුටුවෙන් නැගිට්ටේ ගේට්ටුව වසා දමා එන්නේයැයි සිතාය.ගිරාතලාන වැවට ඉහලින් උස්ගල පන්සලේ කොත සඳ එලියට බැබලෙන අයුරු ශාරික මොහොතක් ගේට්ටුව අසලට වී බලා හුන්නේය. අඳුර බිඳගෙන පංසල දෙසින් ඇහෙන බණපද ස්වරයට සවන් යොමු කළ ඔහුට, එය “සේනපුර පොඩි හාමුදුරුවන්”ගේ බව හඳුනාගන්නට අපහසු නොවීය. එක්වරම කන් හිරි වට්ටමින් අලියෙකුගේ හඬ කිට්ටුවෙන්ම ඇසිණි. ඔහු ගේට්ටු කණුවට නැග අවට පිරික්සීය. හුළු අතු කීපයක එළිය වෑකන්ද හරහා එහා මෙහා යනු පෙණිනි. පංසලට ගොස් සිටිනා තම නෑසියන්ගේ පරෙස්සම වෙනුවෙන් එහි යන අය විය යුතුයැයි සිතමින් ඔහු කණුවෙන් බැස්සේය.
හිමිදිරි තුනී පිණි සීතල අතරින් වෑකන්ද හරහා ඇවිද ගිය තාරුකා නාන මංකඩ අසලින් නැවතී, කිහිලිගන්වාගෙන ආ රෙදි පොදිය බිම අත හැරියාය. පිණි වැටී වැවට බරව තිබූ වරා පඳුරක කොල මත තැවරුණු පිණි දිය දෝතින් සූරා අතට ගෙන,ඒවා කම්බුල මත තවරාගෙන”ෂ්ෂ්…” හඬක් නඟමින් හිස දෙපසට ගසා දැමුවාය. වරා පොහොට්ටුවක් ගලවාගෙන “ටික්” හඬින් නළලේ ගසා පිපිරෙව්වාය.
“හහ්..හා…”
කියා ඇසුණු ගොරහැඩි ශබ්දයෙන් තිගැස්සී ගිය ඈ,පිටුපසට වීසිවී ගොස් බැම්මේ පඳුරක් අල්ලා නොවැටී හිට ගත්තාය. දත් විළිස්සාගෙන තාමත් තමන් දෙසම බලා හිදිනා ජිල්බුව දුටු ඇයට කෝපය පාලනය කරගත නොහැකි විය.
“උඔට මදන විසේද ගොං වස්සෝ..”
“තාරුකක්කා බය වුනැයි..”
“අනේ නෑ.. සතුට වාවාගන්න බැරුව තව පොඩ්ඩෙන් වැවට පත බෑවෙනවා…”
ජිල්බු “හක..හක” ගා විරූප හිනාවක් නැඟීය. තාරුකාගේ කෝපය ඉහ වහා ගොස් ය.
“තාරුකක්කා දන්නවැයි වැඩක්.”
“නෑ… මට යකා ආරූඪ වෙන්න කලින් කියන කෙංගෙඩියක් කියහං..”
“ඊයෙ රෑ තනි අලියා කුලේ මාමගෙ කඩ කෑල්ල පාගලා දාලා ඕං..”
“ඉතිං ඒකට උඔට හරි හිනා…”
“හොඳ වැඩේ කුලයගෙ නඩේට දැන් පල් හෑලි දොඩන්න වෙන්නෑ…පිට ලෑලි බංකුව මේං..මෙහෙම තිබුණේ….”
බංකුවේ පැත්තක් කැඩී ඇදව ඇති අයුරු ජිල්බු අභිනයෙන් පෙන්වූ අයුරු දැක තාරුකාගේ මුවට සිනාවක් නැගුනාය.
“අනේ පලයං යන්න..කට ඇරගෙන උඔත් ඒවට උල්පන්දම් දීලා එනව මෙතන සුදනා වෙන්න.”
“අම්මපා අක්කා.. මං ඊයෙ සමන්ති අක්කගෙ පැත්තට කතා කරන්න ගිහින් කුලයගෙ සැට් එක මට පල් එක දැම්මනෙ..ඕව තමා කුලයට පළිසන් දෙන්නෙ..”
“ඕකුන් මොනාද අපෙ අක්කට කිව්වෙ.”
තාරුකාගේ පැනයෙන් ජිල්බු තරමක් කළබල විය. තාරුකා ඔහුගේ කනක් තදින් මිරිකා ඇල්ලුවාය.
” මොකෝ දැන් උලමා වගේ ඉන්නෙ කියපං ඉතුරු ටිකත්..”
“ආමි කාරයෙක් ගෙට රිංගනවය කිව්වා…මටත් ඔච්චම් කොරා දුක සැප බලන්න යනවය කියල..ආමි කාරයට සම්බුව දෙන්න කියල මායි,කාලිංගයියයි බස් පොලේ රැකං හිටිය..කොහෙද මේ පුංචි නිළමෙ ඇවිත් වැඩේ කෑවනෙ..”
ජිල්බු ඒ ටික කියාගත්තේ කට ඇද කරගෙන කෙඳිරි ගාමින් ය. තාරුකා ජිල්බුගේ කන අත් හලේ ජයග්‍රාහී හිනාවක් මුව අතැතිවය.
“පුංචි නිළමෙ මං ගැන මොනවත් කියන්නෙ නැද්ද ජිල්බුවෝ..”
“අපෝ.. එයා එක්ක කොහෙ කතා කරන්නද.. කොයි වෙලාවෙ බැලුවත් මූණ මේං මෙහෙම..”
කම්මුල් දෙකට හුළං පුරවා ජිල්බු එය පෙන්වූ ආකාරයට තාරුකාගේ මුවින් “චිකිස්” හඬින් සිනහවක් පිටවිය.
“මං ගැන අපෙ අයියා මොකෝ කියන්නෙ ජිල්බු “
“තාරුකක්කා ගැන මුකූත් කියන්නෑ… සරලා චූටි ගැනනම් නිතර දෙවේලෙ කියෝනව..”
“ඈං.. සරලා ගැන මොනාද බං එච්චර කියන්නෙ..”
“දවසක් කිව්වා.. සරලා චූටි උනාට තියෙන්නෙ ලොකූ පස්සක් කියලා..”
එකවරම සිනාවක් නැඟුනද, තාරුකා එය ජිල්බුට නොපෙනෙන්ට සඟවා ගත්තාය.
“මට ඉතිං කාලිංගයියට කියන්නත් හිතුණා.. ගුටි කන්න බැරි නිසා කිව්වෙ නෑ.”
“ඒ මොකක්ද..”
“තාරුකක්කට ඊට වඩා ලොකු පස්සක් තියනවය කියලා..”
“නොසන්ඩාලය…දුවපිය යන්න..”
තාරුකා බිමට නැඹුරු වූයේ, ජිල්බුට ගසන්නට යමක් සොයන්නටය. ඒ වනවිටත් ජිල්බු වෑකන්දේ මඟක් දිව අවසන් ය. ශාරික වෑකන්දට ගොඩ වූයේ මේ මොහොතේමය. දෑත් ගවුමේ පිස දමමින් ඇය ශාරික එන පෙරමගට ගියාය.
“උදේ පාන්දර අර අහිංසකයට මොනාද කරේ..”
“මං මොනා කරන්නද ඌට..”
“එහෙනං අර පණ කඩං දුවන්නෙ..”
“අහූඋණේ නෑ මගෙ අතට.. නැත්තං තල්ලු කරනව වැවට කට කැඩිච්ච කතා කියවනවට..”
“මයෙ අම්මේ… බයෙත් බෑ…”
තාරුකා තොල් මුව තුළට දමා සපමින් ශාරික වෙත පැමිණියාය. ඔහුගේ කර මත ඇති තුවාය දෙපසට අදිමින් සිනාසුණාය.
“මං මේක හෝදලා දෙන්නද..”
“එකපාරටම මොකද මේ අමුතු ආදරයක්…”
“අමුත්තක් නෑ.. හැමදාම ඒක මුතු වගේ තමා..” එහෙනම් මේක……”
කියූ තාරුකා ශාරිකගේ සරමේ පහල වාටියෙන් ඇද්දාය. ගැටය ලිහී ඉනෙන් ගිලිහෙන්නට ගිය සරම රැකගන්නට ශාරික නැට්ටුවෙකු මෙන් ඒ මේ අත පැන අවසානයේ එය අල්ලාගත්තේය.
“උඔගෙ විසේ ඉහටම ගහලා හැඩයි ගෑණියේ..”
“තාම ගෑණි උනේ නෑ.. ගෑණි කරගෙන විසේ අඩු කරන එකනෙ තියෙන්නෙ ඉතිං..”
“ආ……ඒකටද උඔ මේ නටන්නෙ..”
ශාරික එසේ කියමින් තාරුකාගේ උල් නිකටින් අල්ලා ඉහලට එසවීය. ඒ වටකුරු ඇස්වල සරල, සැහැල්ලු ආදරණීය හැඩයක් මිස, වෙන කිසිදු කියවීමක් ශාරිකට නොපෙනේ.
“ශාරූ..”
“හ්ම්…”
“මං ගැන ඔයාට මොනාද දැනෙන්නෙ මගෙ අයියෙ..”
“ගොඩක් දේවල්…”
“එකක් දෙකක් කියන්නකෝ..”
“වචන කරගන්න තේරෙන්නෙ නෑ..”
“අඩුම තරමෙ කුණුහරපයක්වත් කියපංකො මෝඩයෝ..”
තාරුකා එසේ කීවේ ශාරිකව පපුවට අත තබා පිටුපසට තල්ලු කරමිනි.
“කියන්න දෙයක් නෑ.. හැම කුණුහරපෙම අඩුවක් නැතිව පිහිටලා තියනවා..”