Lasantha Wickrematunge – 2009 ජනවාරි 8 වෙනි දින දහවලේ සිට අනෙකුත් මාධ්‍යවේදීන් සමඟ මා කළුබෝවිල ශික්ෂණ රෝහලේ පෝටිකෝව යටට වී සිටියේ Sunday Leader කතෘ ලසන්ත වික්‍රමතුංග වෙඩි වැදීමකින් රෝහල්ගත කළේය යන ආරංචිය හේතුවෙනි. ඊට බොහෝ වේලාවකට පසුව වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍යවේදීන් ඉදිරියට පැමිණ “Hès gone” යැයි කියනූත්, එතැන රැස්ව සිටි සියළු දෙනාගේ මුවින් එක්වර බරට හුස්මක් පිටවෙනුත් මට අද මෙන් සිහියට නැඟේ. ඊට දින කිහිපයකට පෙර දෙපානම සිරස TV මැදිරි සංකීර්ණයට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ දිනයේ එහි පැමිණ දැඩිව එය හෙළා දකිමින් ඔහු කළ ප්‍රකාශයද වාර්තා කළ මට, ඔහුගේ ඝාතනය පිළිබඳව එකළ මා සේවය කළ “සත්නද” පුවත්පතට කතුවැකියක් ලිවීමට සිදුවීම දෛවය කළ සරදමකැයි හැඟිණි. ඒ, අදට යෙදෙන්නේ ඔහු මරා දමා යුක්තිය ඉටු නොකළ 16 වන වසර නිසාවෙනි.
මේ මොහොතේ මගේ මතකයට නැඟෙන්නේ ඔහු මියගොස් දින කිහිපයකට පසු Sunday Leader පුවත්පත පළ කළ ලසන්ත වික්‍රමතුංග විසින් කලින් ලියා තිබු කතු වැකියකි. එය නම්කොට තිබුණේ “Letter from the Grave” යන නමිනි. “මගේ ඝාතනය නිදහසේ පරාජයක් ලෙස නොව ජීවත්ව සිටින්නවුන්ට ඔවුන්ගේ උත්සාහය වේගවත් කිරීමට ආශ්වාදයක් වනු ඇති.” යනුවෙන් එහි තැනෙක සඳහන් විය. විකල්ප පුවත්පත් කලාවේ විප්ලවීය මාධ්‍යවේදියා වූ සුනිල් මාධව ප්‍රේමතිලක “ලක්මිණ” පුවත්පත ආරම්භ කර ලියු පළවෙනි පරිවර්තන ලිපියෙහි “අපිව මරන්න එපා. අපි පත්තරකාරයෝ” යැයි පොල්ගෙඩි අකුරින් ලියා තිබු අයුරු මගේ සිහියට නැඟෙයි. අප ජීවත්ව සිටින්නේ ඇත්තට, යුක්තියට මුඛවාඩම් බැඳි දේශයක බව තේරුම් ගන්නට ලසන්ත වික්‍රමතුංගගේ මරණය එක් උදාහරණයක් පමණි. රිචඩ් ද සොයිසා, ප්‍රගීත් එක්නැළිගොඩගේ සිට අත් පා බිඳ මෙරටින් පිටුවහල් කළ පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, සනත් බාලසුරිය වැනි මාධ්‍යවේදීන්ද මිය නොගියාට ජීවත්ව සිටින්නේ උපන් බිමද අහිමි මළකඳන් මෙනි.
යටගියාව කොතෙක් ස්මරණය කලද යුක්තිය ඉටුවන්නේ නැත. අතීතයට බලපවත්වන නීති නිර්මාණය නොවන හෙයින් එය අයිති අද දවසේ නිතිය ක්‍රියාත්මක කිරීමේ බලය හිමි පාලක පැලැන්තියට ය. පැවති පාලනයන් සහ එහි අයුක්ති සහගත ක්‍රියාපටිපාටීන් දැඩිව දෝෂ දර්ශනයට ලක් කරමින් නීතිගරුක සහ විනයගරුක පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ පොරොන්දුව මත NPP ආණ්ඩුව බලයට පැමිණ තිබේ. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද , 2005 මහින්ද රාජපක්ෂ ද , 2015 මෛත්‍රිපාල සිරිසේන ද, මෙරට රජකරවීමේ පුරෝගාමී මෙහෙවරක ජනතා විමුක්ති පෙරමුණ නියැලී සිටියද, ඒ සියල්ල පසෙකලා ඔවුන් බලයට පත්වන්නේ 76 වසරක සාපයෙන් සිය දෑත් සෝදා ගනිමිනි. නමුත්, ඔවුන් ජන්දය ලබාගැනීම වෙනුවෙන් පාවිච්චි කළ බර සටන් පාඨ බොහොමයක් තිබේ. ඉන් ප්‍රභලම පාඨ දෙක වන්නේ “හොරු ඇල්ලීම” සහ ” නීතියට උඩින් කිසිවෙකු නොමැත” යන්නයි. NPP ආණ්ඩුවට මේ උදාවී ඇත්තේ කියූ ලෙසම එම සටන් පාඨ ක්‍රියාවේ යොදවන කාලයයි.
NPP ය සිය ජන්ද ප්‍රචාරණ ව්‍යාපාරයේදී පැය 24 න්, 48 න් කළ හැකියැයි කියූ දේ බලයට පත්ව දින 100 කට පසුව නැවත මතක් කළ යුතු නැතත්, ජනපති අනුර කුමාර දිසානායකගේ කැබ් රථයේ පිටුපස ඇතැයි ඔහුම පැවසු ෆයිල් 400 යේ ලසන්ත වික්‍රමතුංග ඝාතකයින්ගේ තොරතුරු නැතිවෙන්නට බැරි ය. නීතියට උඩින් කිසිවෙකු නොවේනම්, අවුරුදු 16 කට පසුව හෝ ඒ ෆයිල් එක උඩට ගත්තා කියා ලංකාවේ නීතිගරුක පුරවැසියන් උරණ නොවනු ඇත. ජන්දය ලබාගැනීමේදී වේදිකාවල පෙන්වූ උග්‍ර රාජපක්ෂ විරෝධය, වික්‍රමසිංහ විරෝධය, බණ්ඩාරනායක විරෝධය, සිරිසේන විරෝධය පෙන්වන්නට හොඳම අවස්තාවක් ලෙස ඉදිරියේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දිනයද පැමිණේ. යුක්තිය වෙනුවෙන් එක්නැළිගොඩලා ද, තාජුඩීන්ලා ද පෙරමඟ බලනු ඇත. සමාජ මාධ්‍ය උපහාස යෙදුම් අතර තිබු “බයියා”, “ටොයියා” ගොඩට “කයියා” එක්වීම අපහසුවක් සේ දැනේනම්, NPP ආණ්ඩුවට කළ හැකි වඩාත් හොඳ දේ වේදිකාවේ දෙඩු කටමැත මහපොළොවේ සැබෑකර පෙන්වීමයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවෙනි විධායක ජනාධිපතිතුමනි! ඔබ ද්වේශයෙන්, අපුලෙන් මහත් පිළිකුළෙන් කතාකළ විධායක ජනාධිපති තනතුර තාමත් ඔබ සතුය. නිදහස් මතධාරීන් මර්ධනය සඳහාම සම්මත කළේ යැයිද , තමා ආ සැණින් අහෝසි කරන්නේයැයිද කී ත්‍රස්ත මර්ධන පනත, සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත තාමත් ඔබ අතේ ය. රාජපක්ෂලා, වික්‍රමසිංහලා අපරාධ රාජ්‍යයක් ගෙන ගියේ ඉහත පනත් දඩමීමා කරගෙනනම්, ඒ අපරාධ සඳහා යුක්තිය ඉටුකරන්නටවත් තමා සතු මේ බලවත් ආයුධ පාවිච්චි කරන්නැයි කියා, වසර දහසයකට පසු Sunday Leader කතෘ ලසන්ත වික්‍රමතුංග බොරැල්ල කනත්තේ සිට ඔබට මෙසේ ලිපියක් ලියයි.