Hima Mal Renu හිම මල් රේණු
කිසිවෙකු තවම කතා බහ අරඹා නොතිබිණි. දැරණියගල අංකල් සිනහවක් පාමින් නැන්දා දෙස බැලුවේය. ඈ සිටින්නට ඇත්තේ ඔහු සමඟ නොපහන් සිතින් බවට සැකයක් නැත. පිළිතුරු සිනහවක් නොපෑවේ ඒ නිසා වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.
“අපි මේ ගමන එන්න හිටියේ මීට කළින්…මාවන් අසනීප වුණ නිසා ඒක මඟහැරුණා…”
දැරණියගල අංකල් නිහඬ බව බිඳිමින් කිවේය.
“ඔව්…ඒක හරි…මගේ අතින් ලොකු වරදක් වුණා දුව…”
නිරංගා ඇන්ටි එසේ කීවේ සමාව යදින ස්වරයකිනි.
“වරදක්…! ඒ මොකක්ද නිරංගාක්කා…?” නැන්දා ඇසුවේ කුහුළිනි.
“සමහර කාරණා මම හරියට නොදැනයි දුවට කියලා තියෙන්නේ රේඛා…ඒක මං දැනගත්තේ…මෙයාලට සිද්ද වෙච්ච ඇක්සිඩන්ට් එකෙන් පස්සේ…ඉක්මන් වෙලා මං ගත්ත සමහර තීරණ නිසා අපේ පවුලේ හැමෝටම සිද්ද වුණේ අසාධාරණයක්…ඒකෙන් වුණේ පුතයි, කෝලිතයි අතරේ දුරස් භාවයක් ඇතිවුණ එක…”
ඈ එසේ කියා දිගු සුසුමක් හෙළන විට මම කුහුළින් බලා සිටියා පමණි. කිසිවක අගක් මුළක් මට නොවැටහිණි.
“අපිට තේරෙන්නේ නැහැ…මොකක්ද සිද්ද වෙලා තියෙන්නේ….? අනික අක්කේ…ඔයාලගේ ප්‍රශ්න එක්ක අපිට තියන සම්බන්ධෙ මොකක්ද…?”
නැන්දා මාරුවෙන් මාරුවට ඔවුන් දෙදෙනා දෙස බලමින් ඇසුවාය.
“මේ හැම දෙයක්ම ආරම්භ වුණේ ඒ නිසා තමා…අපි මේ හැමදේම අමතක කරන්න උත්සාහ කරල ඉද්දී තමා අපේ ගෙදරට පැනලා වෙඩි තියලා තිබුණේ…පුතාගේ ජීවිතේ ඇක්සිඩන්ට් එකෙන් බේරුණත් අපිට එයා මැරුණ කෙනෙක් විදියට හංගන් ඉන්න වුණෙත් මේ ප්‍රශ්න නිසා තමා…”
දැරණියගල අංකල් කීවේ නොපහන් සිතින් යැයි මට සිතිණි.
“මට නම් ඔය මොකුත් තේරෙන්නේ නැහැ…මොනවද ඔයා කියන්න හදන්නේ…ඔයා නිසා නෙවේද මේ තරම් ප්‍රශ්න ගොඩක් ඇති වුණේ…අයියාලගේ බිස්නස් නැති වුණේ…අනු අක්කා ඇක්සිඩන්ට් වුණේ…?”
නැන්දා එක දිගට චෝදනා කරන විට දැරණියගල අංකල් උපහාසය මුසු සිනහවක් මුව මත රඳවාගෙන බලා සිටියා පමණි.
“හැමෝම හිතන් ඉන්නේ එහෙම තමා… ඒත් ඒක නෙවේ ඇත්ත…” ඔහු කීය.
“එහෙනම් මොකක්ද ඇත්ත…?” නැන්දා පහව නොගිය නොමනාපයෙන් ඇසුවාය.
“කළබල නොවී අහන්න රේඛා…”
නැන්දාගේ අතක් අල්ලා ගනිමින් නිරංගා ඇන්ටි කීවේ සන්සුන් වූ හඬකිනි. දැරණියගල අංකල් කතා කරන තුරු අපි බලා සිටියෙමු.
“අනු නැති වුණේ මං නිසා නෙවේ…ඒකට වග කියන්න ඕන මාවන් එක්ක මනෝරි…”
ඉහළට ගත් හුස්ම මට පහළට හෙළන්නට නොහැකි සෙයකි. ඔහු මේ කුමක් කියන්නට සැරසෙනවාද…..?
“මොනවා…! ඔයා ඒ පාර චෝදනා කරන්නේ අයියටද…? ඔයා නෙවේද මනෝරි එක්ක එකතු වෙලා ප්ලෑන් ගහලා මේ හැමදේම නැති කළේ…?”
නැන්දා කෝපයෙන් ඇසුවාය.
“නැහැ…රේඛා…මට වැරදුණේ අන්න එතන…ප්ලීස් කෝලිත කියන දේ අහලා ඉන්න…”
නිරංගා ඇන්ටි යළිත් වරක් කියන විට නැන්දා නිහඬ වූවාය.
“මාවන් කවදාවත් අනූට ආදරේ කළේ නැහැ…”
ඔහු කතා කරගෙන යන විට අපි හුස්ම නාල්ලා අසා සිටියෙමු.
“අපි දෙන්නම කම්පැණි එකට ජොයින් වුණේ එකටම…එතකොටත් මනෝරි ක්ලාක් කෙනෙක් විදියට වැඩ…අනූගේ තාත්තා තමා කම්පැණි එක හැන්ඩ්ල් කළේ…ආව අලුතම මනෝරි එක්ක මාවන් අෆෙයාර් එකක් පටන් අරන්…ඒත් අපි ඒක දැන ගත්තේ පහු වෙලා…හදිසියේ මිස්ටර් සේනාරත්න අසනීප වුණ නිසා තමා අනූ කම්පැණි එක භාර ගත්තේ…ටික දවසකින් මිස්ටර් සේනාරත්න රිකවර් වෙයි කියලා හිතුවත් ඒකට සෑහෙන කාලයක් ගතවුණා…ඒ අතරේ මාවන් අනූව යාළු කරගත්තා…මාවන් දක්ෂයි…එයා දුන්න උපදෙස් නිසා කම්පැණි එක සාර්ථක වුණා…මාවන් පර්සනල් ඇසිස්ටන්ට් විදියට ප්‍රොමෝට් වුණේ ඒ එක්කම…ඊට පස්සේ එයා ඉක්මනින්ම අනූව මැරි කළා… ලස්සනට පවුල් ජීවිතයක් ගෙනියනවා වගේ පෙන්නුවත් එයා මනෝරිවත් ඇසුරු කළා…”
මෙය විශ්වාස කළ හැකිද.? මෙය සත්‍යයක්ද.? තාත්තා එවන් දෙයක් කළා යැයි කියා මා කෙසේ විශ්වාස කරන්නද.?
“මාවන් මැරි කළාට පස්සේ මනොරි මට ළං වෙන්න උත්සාහ කළා…මං ඒ වෙද්දිත් නිරංගාව මැරි කරලා හිටියේ…මාවන් මනෝරිව අතෑරලා ටික කාලයක් ඉන්න ඇති…ඒ මං හිතන්නේ දුව ලැබුණාට පස්සේ…මිස්ටර් සේනාරත්න නැති වුණේ ඔය අතරේ…අනූ බිස්නස් සේරම හැන්ඩ්ල් කරන්න මාවන්ට භාර දුන්නා…ඒක තමා අනූ කරපු මෝඩකම…එයා මනෝරි එක්ක පිස්සු නටන්න ගත්තේ ඊට පස්සේ… අනූට මේවා ආරංචි නොවී තියෙයිද…? එයා ආයේ බිස්නස් වලට ජොයින් වුණේ….මම කියපු නිසා…මාවන් කළේ කපටි කමක්…ඒක අතටම අල්ල ගන්න කල් තමා අනූ බලන් හිටියේ…ඒ අතරේ මනෝරි ප්‍රෙග්නන්ට් වෙලා..එයා ඒක දැනගත්දී පරක්කුයි…ඊට පස්සෙ තමා එයා මගෙන් උපදෙස් ගන්න මාව හොයන් ආවේ…කීප වතාවක් එයා ගෙදරටත් ආවා…ඒ ආව වෙලාවක ඇති වෙච්ච කතා බහක් අහන් ඉඳලා තමා අපි අතරේ ප්‍රශ්නයක් ඇති වෙලා නිරංගා ඇක්සිඩන්ට් වුණේ…”
ඔහු නිහඬ වී නිරංගා ඇන්ටීගේ අතක් තරයේ අල්ලා ගත්තේය.
“අනූ මේක අතට අල්ල ගන්නකල් හිටියේ…මම තමා එදා මනෝරිවයි මාවන්වයි ඒ හොටෙල් රූම් එකට යැව්වේ…ඩොක්ටර් කෙනෙක් ගෙන්නලා ඇබෝෂන් එකක් කරමු කියලා…ඒ දෙන්නට ඇවිත් ඉන්න කිව්වා…ඒක අනූට කියනවා නිරංගා අහන් හිටියා…එයා මේ හැමදේම දැනන් හිටියේ නැහැ…එයා හිතුවේ මම මනෝරි එක්ක අෆෙයාර් එකක් තියන නිසා…මනෝරි ප්‍රෙග්නන්ට් වුණා…ඒක මාවන් ගේ පිටින් යවන්න හදනවා කියලා..ඒත් ඒක නෙවේ ඇත්ත…වුණේ වෙන දෙයක්…අනූ ඇක්සිඩන්ට් වුණේ…ඒ දෙන්නගේ රහස දැනගෙන ඒ ෂොක් එකෙන් ආයේ එනකොට…මේ දේවල් වෙන්න කළින්…අනූ මට කම්පැණි කොටස් කීපයක් විකුණලා තිබ්බේ…එයාට තේරුණා කවදා හරි මේ හැමදේම පිට ගෑණියෙක් අතට යයි කියලා..ඊට කළින් එයා මේ හැමදේම එක එක්කෙනාට විකුණුවා…මාවන් ඒකට මගෙන් පළි ගත්තා…මායි මේ හැමදේම කළේ කියලා…එයා එක එක ගෑනුන්ව මගේ නමට ඈඳලා කතා පැතිරෙව්වා…මිසිස් අත්තනගල්ල අදටත් ඩිප්‍රෙසන් වෙලා ඉන්නේ මාවන් නිසා…”
ඒ තෙෂාරාගේ අම්මාය. දෙවියනේ…! මේ සියල්ල පිටුපස සිටින්නේ තාත්තාද…?
“අපි දෙන්න අතරේ අෆෙයාර් එකක් තියනවා කියලා මිස්ටර් අත්තනගල්ලට කේළම් කීවේ මනෝරි…ඒ මාවන් ගේ වුවමනාවට…මාවන් මගෙන් පළි ගන්නේ කොයි මොහොතෙද කියලා බලන් හිටියේ..අනූ මැරුණු ගමන් මනෝරිව මැරි කළේ ඇයි…? ඒ විතරක් නෙවේ…මං එයාලගේ බිස්නස් වලට වංචා කරලා ඒවා පාඩු වුණා කියලා බොරු කතා පැතිරෙව්වා…ගෙට පැනලා වෙඩි තියලා තිබුණේ මාවන් කියවලා…අපි ඒක දැනහෙන හිටියේ…එයාට මං ඒ ගැන කතා කරලා කියපු දවසේ තමා මාවන්ට හාර්ට් ඇටෑක් එක ආවේ…”
මුළු ලොවම මා වටා කැරකෙන සෙයකි. දෙවියනේ…! මේ අසන්නට සිදු වූයේ කුමක්ද..? මට එය අදහන්නට නොහැකිය. තාත්තා මෙවන් පුද්ගලයෙක්ද…? එසේ නම් නංගීද කියූ කතාව සැබෑය. ඔහු මනෝරි සමඟ තවමත් සම්බන්ධ කම් පවත්වයි. ඔහු අප සියළු දෙනම රවටා ඇත. ඔහු අවීශ්ව මරා දමන්නට සැළසුම් කොට තිබිණි.
“දෙවියනේ…මෙච්චර දෙයක් කරලා…අනේ…ඒක බොරුවක් කියලා කවුරු හරි කිව්වා නම්…”
නැන්දා හඬන විට මටද හැඬිණි.
“අනේ…නැන්දා…”
අපි දෙදෙන එකතුව හඬන විට නිරංගා ඇන්ටි අප සනසන්නට වෑයම් කළාය.
“දැන් ඔයාලා ඇත්ත දන්නවනෙ…මාවන් මනෝරි එක්ක එකතු වෙලා විනාශ කළේ අපේ පවුල විතරක් නෙවේ…ආටිගල…අත්තනගල්ල…තව පවුල් කීයක් නැති කළාද…? මං මේ හැම ගෑනියෙක් එක්කම සමබන්ධකම් තියනවා කියලා නිරංගාටත් කේළම් කිව්වා…එයා මාව දාලා ගියේ මං කියන දේටවත් ඇහුම් කන් නොදී…කවදා හරි ඇත්ත එළි වෙයි කියලා මං බලන් හිටියා…”
ඔහු එසේ පවසා නිහඬ විය. බැටළු සමක් පොරවාගෙන මෙතෙක් කල් අප ඉදිරියේ රඟපෑ තාත්තා කෙරෙහි මා සිතේ ඇති වූයේ බලවත් වූ කළකිරීමක් මෙන්ම වෛරයකි. ඔහු අම්මාව මරා දමා අවීශ්ටද එවන්ම දෙයක් කරන්නට සැළසුම් කළේය. මෙයට නම් මං කිසිම දිනක ඔහුට සමාව නොදෙමි. අසන්නට ලැබුණු දෙයින් මාත් නැන්දාත් සිටියේ කම්පනයට පත්ව බව නොකිවමනාය. ඔවුන් තිදෙන පිටව ගොස් බොහෝ වේලාවක් යනතුරු අප දෙදෙන සිටියේ ඔහේ බලා ගත් අත බලානය. ආච්චි අම්මා අපි අසළට පැමිණෙන විටත් අපි ඔහේ හිඳ සිටියෙමු.
“මොකටද දැරණියගල ආවේ…?”
ඈ විමසන විට මාත් නැන්දාත් මුහුණින් මුහුණ බලා ගත්තේ කුමන ළිපිළිතුරක් දෙන්නටදැයි කියා සිතා ගන්නට නොහැකිවය.
“නිකමට ඇවිත් ගියා…”
“හ්ම්ම්…නිකනුත් යන්න එන්න තරමට එයාට මොන රාජකාරීද මෙහෙ…? අර ළමයා නිසා මම මොකුත් නොකීවේ…”
ආච්චි අම්මා නොසතුටෙන් කියන විට අපි නිහඬව සිටියෙමු. මේ අතර නංගී මට ඇමතුමක් දී කීවේ පුංචි අම්මා මිය ගිය බවය. ඒ මොහොතේ නම් මා සිතේ ඇති වූයේ කම්පනයකි. ඇයව සනසන්නට මා කුමක් කිව යුතුද කියා මට සිතා ගන්නට නොහැකි විය. නංගී හැඬුවාය. අවසන මනෝරි රාමනායකටද අත් වූයේ මගේ අම්මාට අත් වූ ඉරණමමය. එය දෛවය හෝ කළකම් පටිසන් දීමක් විය හැකිය.
“අනේ…ලොකූ මං දැන් මොකද කරන්නේ…? මං දැන් තනි වුණා ලොකූ…”
“ඔයාට මෙහේ එන්න පුළුවන්නේ…අපි එක්ක ඉන්න…” මම යෝජනා කළෙමි.
“අනේ…ලොකූ…මම ඔයාට කොයිතරම් නපුරු විදියටද සැළකුවේ…මට සමාවෙන්න ලොකූ…මට මං ගැනම ලැජ්ජා හිතෙනවා…මට ඒ වැරදි හදා ගන්න ඉඩ දෙන්න ලොකූ…”
මම කිසිත් නොකීවෙමි. පුංචි අම්මාගේ අවසන් කටයුතු අවසන් වූ විගස පැමිණෙන බව ඈ මා හා කීවාය.
“මනුස්සයෙක් මැරුණාම හොඳයි කියන්න නම් හොඳ නැහැ…ඒ වුණාට මේ කරලා තියන දේවල් වල හැටියට ඊට වඩා විඳවලා මැරෙන්න තිබුණේ…”
ඒ පුවත සැළව නැන්දා කීවේ කෝපයෙනි. පසු දින මිතුරන් අප නිවසට එක් රොක් විය. අනුරාග්ට හදිසි වැඩ කටයුත්තක් යෙදී තිබෙන නිසා ඔහුට පැමිණිය නොහැකි බව දන්වා සිටියේය. අවීශ්ට මුහුණ දෙන්නට මට හැකියාවක් නොවූ තරම්ය. මා සිටියේ ලැජ්ජාවට පත්වය. තාත්තා කළ දෙය දැන, දැනත් ඔවුන් ඔහුට සමාව දෙන්නට තීරණය කොට තිබුණේ ඔහු සිටින තත්වය සළකාය.
“වෙච්ච දේවල් අමතක කරලා දාන්න…දුව…දැන් එයාටම දඬුවම් ලැබිලා තියෙන්නේ…මාවන් විඳවනවා…”
මා හිස මත අත තබා දැරණියගල අංකල් එදින සමුගන්නට මත්තෙන් මට කීවේ ගැඹුරු හඬකිනි. මම ඔහුගේ දෙපා අල්ලා ඔහුට වැන්දෙමි.
“කට්ටිය මෙහෙම සෙට් වුණේ පාර්ටියක්ද…?”
අවීශ් අප සියළු දෙනා දෙසම මාරුවෙන් මාරුවට බලා ඇසුවේය.
“පාර්ටි වලට විතරද සෙට් වෙන්න ඕන…? අපි කොහොමත් ඉඳලා හිටලා මෙහෙම සෙට් වෙලා කයියක් දානවා…නේද මචං…?”
ටිරෝන් තවමත් සිටින්නේ අවීශ් සමඟ නොමනාපයෙනි. මම අවීශ්ට හොරෙන් ඔහු දෙස බලන විට ඔහුගේ දෙනෙත්ද මා දෙසට එල්ල වූයේ නොසිතුව ලෙසිනි. එයින් මා සිතේ තිගැස්මක් ඇති වූයේ නිතැනිනි. මේ සියල්ල ඉදිරියේ මා අනුරාග් පිළිබඳව කෙසේ සිතන්නද කියා මට සිතා ගන්නට නොහැකි විය.
“අනිවාර්යෙන් මචං…”
තේෂාන් එසේ කීවේ නම් අවීශ් රිදවන්නට නොවේ. නැන්දා අපට තේ සූදානම් කොට අමතන විට මාත් නදීරාත් ගෙතුළට ගියෙමු.
“කොච්චර වුණත් ඇස් දෙක අරයා ළඟමයි…මං දැක්කා…”
අඩක් උපහාසයෙනුත්, අඩක් නොමනාපයත් මුසුව නදීරා දෝෂාරෝපණයක් එල්ල කළාය.
“හිතලා නෙවේ…ඉබේම…”
“පේනවා…ආදරෙයි කැස්සයි හංගන්න බැහැලු…”
ඈ ඇනුම්පදයක් එල්ල කරන විට මම සුසුමක් හෙළීමි.
“අද අනුරාග් එනවා කිව්වා නේද…? තාම නැහැනේ…”
අපි යළි ඔවුනතරට යන විට ටිරෝන් ඇසුවේ අවීශ් රිදවන්නට බවට සැකයක් නැති මුත් ඉන් රිදුණේ මගේ සිතය. ඔහු මෙලෙස සැමගෙන් ඈත්ව සිටීමට හේතුව මගේ තාත්තාය. ඒ බවක් නොදැන ඔවුන් ඔහු රිදවන්නට උත්සාහ කරන විටත් අවීශ් නිහඬව සිටින්නේ මා ගැන සිතා නොවේද….? එය මා සිතට ඉහිළුම් නොදෙන්නකි. ටිරෝන් වුවත් මේ සිදු වූ දෑ දැන සිටියා නම් එසේ ඇනුම්පද එල්ල නොකරනු ඇත.
“අනුරාග් එන්නේ නැහැලු…” නදීරා කීවාය.
“අපෝ…ඒ මොකද…? මොනව වුණත් හොඳ කොල්ලා…ආරණ්‍යා…එයා ඔයාව හොඳට බලා ගනියි…”
ඒ මොහොතේ මට යළිත් වරක් අවීශ් දෙස බැලිණි. ඔහු සිටියේ මුවේ මඳහසක් නංවාගෙනය.
“අනේ…ටිරෝන් ඕක නවත්තන්න…”
අවීශ් නොමනාපයෙන් නැඟිට යාවි යැයි කියා මම බිය වූයෙමි.
“ඔන්න අවීශ්…තේෂාන්ලගේ එන්ගේජ්මන්ට් එක ළඟයි…”
නදීරා කතා බහ වෙනතකට යොමු කරන විට මම සිතින් ඇයට පින් දුනිමි.
“මං නැති කාලේ පුදුම දේවල්නෙ වෙලා තියෙන්නේ…සතුටුයි මචං….කන්ග්‍රෑට්ස්…”
අවීශ් තේෂාන්ට සුබ පැතුවේය.
“ඔව්…ඊට පස්සේ…නදීරායි…භාෂිතයි…”
මාධව කියන විට නදීරා ලැජ්ජා මුසු සිනහවක් පෑවාය.
“මට කළින් ආරණ්‍යා…මං බ්‍රයිඩ් මේඩ්ස්ට ඉන්න එපැයි…මායි ශ්‍රීමායි…අපරාදේ…තෙෂාරා මැරි නොකර ඉඳලා තියෙන්න අපි තුන්දෙනාටම ඉන්න තිබුණා…”
නදීරා කියන විට මම යටි තොළ සපාගෙන නිහඬව සිටියෙමි.
“මොනවා…ආරණ්‍යා මිසුත් මැරි කරන්නද යන්නේ…?”
ප්‍රසාද් ඇසුවේ අවීශ් දෙසත් මවිතයට පත් බැල්මක් හෙළමිනි.
“එයාත් මැරි කරන්න එපැයි…හැමදාම මෙහෙම ඉන්නත් බැහැනේ…මදැයි මෙච්චර කල් බලන් හිටියා…”
ටිරෝන් යළිත් ඇනුම්පදයක් එල්ල කරන විට එහි පැතිර ගියේ නිහැඬියාවකි.
“එතකොට ඒක කන්ෆර්ම්ද මිස්…?”
ප්‍රසාද් මා විමසන විට මම හිස දෙපසට සැළුවෙමි.
“අද හෙටම කන්ෆර්ම් කරනවා…” එසේ කීවේ නදීරාය.
“අවීශ්ගේ ප්‍රශ්නත් දැන් හරිද…කවුද වෙඩි තියලා තියෙන්නෙ කියලා හොයා ගත්තද…?”
තේෂාන් ඇසුවේ අවීශ් නිහඬව සිටි නිසා වන්නට ඇත.
“ඔව්…ඒවා හරි බං…” ඔහු කීවේ නොසැළකිලිමත් ලෙසිනි.
“දැන් එහෙම නම් පවුලටම ආයේ කොළඹට ඇවිත් පදිංචි වෙන්න එන්න පුළුවන්…නේද…?” මාධව විමසුවේය.
“ඔව්…බං…එහෙම තමා…ඒව හරි දැන්…” අවීශ් කීවේය.
“ලොකු දෙයක් බං…බය වෙන්න දෙයක් නැහැනේ එහෙනම්…උඹටයි, පවුලටයි ඒ ගෙදර නිදහසේ ජීවත් වෙන්න පුළුවන්නෙ දැන්…”
තේෂාන් කීවේ සැහැල්ලු හඬකිනි.
“පවුල…කිව්වේ….?” අවීශ් මවිතයට පත්ව ඇසුවේය.
“වයිෆ්ටයි, උඹේ පොඩි එකාටයි…වෙන කාටද…?” තේෂාන් නොසතුටෙන් කීවේය.
“වයිෆුයි පොඩි එකයි…? උඹට පිස්සුද තේෂාන්…කාගේ වයිෆ්ද…කාගේ පොඩි එකාද…උඹට අමු කැවිලද…?”
අවීශ් ගේ හඬ කෝපයෙන් පිරී ඇති සැටි අපට වැටහිණි.
“අර එදා අපි යත්දී හිටියේ අපේ බබා වෙන්නැති…අප්පත්තී…අප්පත්තී ගගා…දුවන් ආවේ මගෙයි, උඹෙයි ළමයද අහපන් තේෂාන්…?”
ටිරෝන් කෝපය මුසුව කෑ ගසන විට ප්‍රසාද් සහ අවීශ් උස් හඬින් සිනහසෙන අයුරු අපි පුදුමයෙන් බලා සිටියෙමු.
“දැක්කද ආරණ්‍යා..මූ අපිට හිනා වෙනවා…අපි මූ නිසා මැරි මැරි ඉපදුණා…අපි මූ නිසා අඬ අඬ හිටියා…මූ අපිට හිනා වෙනවා…”
ටිරෝන් සිතේ ආවේගයට කෑ ගැසූ අතර එහි සැබෑවටම ගැබ්ව තිබුණේ කෝපයක් නොව ශෝකය සහ වේදනාවය. සිනහව නවතාගත් අවීශ් බංකුව මතින් නැඟිට මා ඉදිරියට විත් සිට ගන්නා විට මම හිස ඔසවා ඔහු දෙස බැලීමි. ඔහුට මෙතරම් සිනහවීමට දෙයක් කිසිවෙකු පැවසුවේ නැත.
“නදීරා…මෙයත් මෙච්චර කල් හිතන් හිටියේ මුං ටික වගේ මෝඩ විදියටද…?”
ඔහු නදීරා විමසුවද දෑස් තිබුණේ මගේ දෑස් ළඟය.
“එයා විතරක් නෙවේ…අපි හැමෝම එහෙම තමා හිතන් ඉන්නේ…ඇයි…ඒක නෙවේද ඇත්ත…? අනික අවීශ් අපි එදා ඔයාව දකිනකල් දැනන් හිටියේ නැහැ ඔයා ජීවත් වෙනවා කියලා…ඔයා ඒක නොකීව එකට සාධාරණ හේතු ඇති…ඒත් ඔයා අපිට නොකියාම මැරි කරලා…ඒක අපිට ඔයා නැති වුණා කියලා අහන්න ලැබුණු එකට වඩා කම්පනයක්…ආරණ්‍යා අද…මේ මොහොත වන තුරුම ඔයාට ආදරේ කරනවා…එයා අනුරාග්ට කැමති වෙන්න කියලා හිතුවේ අපේ බල කිරීමට…මොකද ඔයා වෙනුවෙන් එයා බලන් ඉන්න එක තේරුමක් නැහැනේ…අවීශ්….අද අපි එකතු වුණේ ඒ ගැන තීරණයක් ගන්න…”
නදීරා අසන විට අවීශ් ගේ මුව මත සටහන් වූයේ දඟකාර සිනහවකි. ඔහු පිළිතුරක් දෙන තුරු මා සිටියේ ගැහෙන හදිනි. නදීරා කතාව අවසන් කරන තුරුම ඔහු බලා සිටියේ මා දෙසමය. ඒ දෑස් ළඟ පෙරදා තරම්ම මට හැඟුණේ නුහුරු හැඟීමකි. මා දෑස් බිමට යොමා ගත්තේ ඒ බැල්ම දරා ගන්නට නොහැකිවය.
“මං ගැන ඒ තරමටම සැකයක් තිබුණද නදීරා…?”
මම යළි හිස ඔසවා ඔහු දෙස බැලුවේ තිගැස්සුණු දෑසිනි.
“අනේ…නදීරා…මට එහෙම සැකයක් තිබුණේ නැහැ…ඒත් අර දරුවා…අප්පච්චී කියාගෙන දුවන් එත්දී…”
මට හැඬිණි. ඒ දරුවා ඔහුගේ නොවේනම් “අප්පච්චී “කියා ඔහු වෙත දිව එන්නේ මන්ද….?
“උඹ මැරිලයි කියලත් මේ කෙල්ලව අඬෙව්වා…දැනුත් ඒකම කරනවනේ බං…උඹ මැරි කළෙත් නැහැ…ඒ වයිෆුයි දරුවත් උඔගෙ නෙවේ කියලද ඔය කියන්න හදන්නේ…? මොන මඟුලකටද ඒ ළමයා අප්පච්චී ගාගෙන උඹ ළඟට දුවන් එන්නේ…?”
ටිරෝන් ආවේගයෙන් එක දිගට විමසන්නට විය.
“ඒ අපේ මාමාගේ පුතාගේ වයිෆුයි…එයාලගේ පුතායි…නදීරා…”
මම බොඳවුණු දෑසින් හිස ඔසවා ඔහු දෙස බලන විට අනෙක් අයද ඔහු දෙස බලා සිටියේ එවන්ම වූ බැලුම් වලින් බව මම නෙත් කොණින් දුටිමි.
“මොකක්…?” නදීරා කෑ ගැසුවාය.
“අයියා රට යත්දී පුතාට මාස ගානක්ලු…මං ඒ කාලේ පිටරට…එයා පුතා එක්ක කතා කරන්නේ ෆෝන් එකෙන් වීඩියෝ කෝල් අරන්…පුදුමෙකට වගේ අපි දෙන්නම එක වගේ…මං මෙහෙ ආවම පුතා හිතුවේ ඒ අප්පච්චී කියලා…උඹලා ඔය තරම් මෝඩද ටිරෝන්…? මං ඇඳෙන් බිමට බැහැලත් මාස කීයද ගෙවුණේ…? මං මළ කඳක් වෙලා හිටිය හැටි අහපන් ප්‍රසාගෙන්…උඹලා එකතු වෙලා මාව බන්දලා දීලා මදිවට, කාගෙවත් දරුවෙක්ට මාව තාත්තා කෙනෙකුත් කරලා…ඌට තවම එකහමාරයි…මං ඇඳට වැටිලා අවුරුද්දකට වඩා හිටියා…ළමයාගේ වයස බලලවත් හිතන්න මොළයක් නැත්ද…?”
අවීශ් නොසතුටෙනුත්, උපහාසයෙනුත් එක දිගට කියවන් යන විට මා දෑස් වලින් ගළා යන කඳුළු මෙවර මට නවතා ගන්නට වුවමනා නොවුණේ ඒ කඳුළු මෙවර ගළා ගියේ සිතේ උපන් සතුට නිසා බැවිනි. මෙවර මිතුරන් සියළු දෙන එක පොදියට අවීශ් වැළඳ ගත්තේ ඇසූ දෙයින් සතුටට පත්වය.
“අහකට පලයව්…එහෙනම් උඹලා මට මූණ නොදී කතා නොකර හිටියේ ඒක නිසයි නේද…?”
අවීශ් ඇසුවේ කෝපයෙනි.
“අඩේ අපි හිතුවේ උඹ ආරණ්‍යාට බලාපොරොත්තු දීලා වෙන කාව හරි මැරි කරලා කියලා…”
ටිරෝන් එවර අවීශ් සනසමින් කියන්නට විය. මෙතෙක් කල් ඔහු නොමනාපව සිටි හේතුව අපි දැන සිටියෙමු.
“මං ආදරේ කළෙත්…කරන්නෙත්…එකම කෙනාටයි නදීරා..මං මැරි කරන්නෙත් එයාවම තමා…ඉස්කෝලෙට ආව දවසේ ඉඳන් මං එයාට ආදරේ කළා…කොණ්ඩේ හැටි..ෂර්ට් එකේ අතුත් නවන්..රබර් කෑලි දෙකක් දාන් ඉස්කෝලේ එන්නේ මාර්කට් යනවා කියලා හිතන්ද…එහෙම අහන්නේ කවුද හිතේ ආදරයක් නැත්නම් නදීරා…?”
දෑසින් ගළා යන කඳුළු මට නැවැත්විය නොහැකිය.
“යාළුවෝ හිටියා…ඒත්…මං එයාගේ ඇස් දෙකෙන් දැක්කේ ඒ යාළුකමට එහා ගිය දෙයක්…ඒ ඇස්වල ආදරේ උතුරන්න තිබ්බා…මාව ජීවත් කළේ ඒ ආදරේ නදීරා…පිරිමියෙක් ගැහැණියක් ළඟ මෙල්ල වෙන්නේ සැබෑ ආදරයක් ලැබුණාමලු…මං හීලෑ වුණේ ඒ ඇස් දෙක ළඟ විතරයි නදීරා…”
දෙවියනේ…! මට එය සෑහේ. මා බලාපොරොත්තුවෙන් සිටියේ එයම නොවේද.?
“කෙල්ලෙක්…කවදාවත් ඔහොම දෙයක් කියන්නේ නැහැ…තමන්ට හැඟීමක් නැති කොල්ලෙක්ට…එයාට මාව විශේෂ කෙනෙක් වුණා…ඒ වගේමයි මටත්…මං ආදරේ කළා නදීරා…කටින් නොකීවට මං ආදරේ කළා…ඇඳට වැටිලා ඉන්න කාලේ මං හිතුවේ මට ඇවිද ගන්න පුළුවන් වුණා නම් කියලා…මොනවටවත් නෙවේ…මට එයාව බලන්න ඕන නිසා…”
මට තව දුරටත් දරා සිටිය නොහැකිය. මම අසුනින් නැඟිට අවීශ්ව දැඩිව වැළඳ ගතිමි.
“අනේ…අවීශ්…මාත් ආදරෙයි…”
එවිට ඔහුද මාව තරයේ සිය පපුවට තුරුළු කොට ගත්තේය.
“අද මේ කතාව මෙහෙම නොවුණා නම් ආරණ්‍යා ජීවිත කාලේම පසුතැවෙන තීරණයක් ගන්න ඉඩ තිබුණා…”
එවිට අපි සියළු දෙන හැරී බැලීමු. අනුරාග්, ඔහු පැමිණ සිටි අතර ඔහු කොයි මොහොතේ පැමිණියාද කියා මම නොදනිමි.
“ඇත්ත…එහෙම වුණා නම් මේ කතාව අවසන් වෙන්නේ මෙහෙම නෙවේ…”
නදීරා ද කීවාය. අනුරාග් පැමිණ අප දෙදෙනාට සුබ පැතුවේය. අප දෙදෙන එහි තනිකර ඔවුන් ගෙතුළට පිය මැන්නෝය.
සඳ එළිය සෙමෙන් වලාකුළු අතරින් එබිකම් කරන්නට විය. මම හිස ඔසවා අවීශ් දෙස බැලීමි. ඔහු ගේ දෑස් දිලිසෙන හැටි මම දුටිමි.
“මම ඔයාට ආදරෙයි.ආරණ්‍යා…”
“මාත් අවීශ්…” මමද පහත් හඬින් මිමුණුවෙමි.
තාත්තාගේ මරණය සිදුව තිබුණේ එදින රාත්‍රියේය. අපි පුංචි අම්මාගේ මරණය පිළිබඳව ඔහුට නොදන්වා සිටියද, ඔහු මිය යන විට ඔහුගේ ජංගම දුරකථනය තිබුණේ ඔහුගේ දෑතට සිර වීය.
“මනෝරි ඇක්සිඩන්ට් එකෙන් නැති වුණා… අවසන් කටයුතු සිදුකොට අවසන්…”
එයට පැමිණ තිබු කෙටි පණිවිඩය නිසා ඔහුට අලුත් කම්පනයක් ඇති වන්නට ඇතැයි අපි අනුමාන කළෙමු. මා දුක් වූවා කියා මම නොසිතමි. ඔහු අප මුළා කළේය. ඔහු සැබෑවටම ආදරය කළේ මනෝරි රාමනායකට බව ඔහුගේ මරණයම සාක්ෂි සපයයි.
“ඇයි අවීශ් අර චිත්‍රෙට “හිම මල් රේණු” කියලා නම දැම්මේ..?”
පසු දවසක මම අවීශ් ගෙන් ඇසුවේ ඔහුගේ තුරුළට වී බංකුව මත හිඳ සිටින විටය.
“හිම කියන්නේ බොහොම ඉක්මනට දිය වෙලා යන දෙයක්නේ…ඔයා මට ආදරේ කරනවා කියලා මං දැනන් හිටියා…ඒත් ඔයාගේ තාත්තා අපි එක්ක ඉන්නේ බද්ධ වෛරයකින් නිසා මේ දේවල් කවදාවත් සිද්ද නොවෙයිද කියලා මට හිතුණා…මං ඒක ඇන්දේ….එදා ඔයාලගේ තාත්තා මාව හම්බෙලා කතා කරපු දවසේ…මගේ හිතේ දුක…මං ඒ චිත්‍රෙට මුහු කළා…අපේ ආදරේ දවසක අපි කාටවත්ම නොකියාම හිත් ඇතුළේ දිය වෙලා යයි කියලා මට හිතුණා…චිත්‍රේ ඇඳලා ඉවර වෙත්දී මගේ හිතේ දුකත් ඉබේල දිය වෙලා ගියා…හරියට ශරත් කාලය ගෙවිලා යනවා වගේ…මං ඒකට ඒ නම් දැම්මේ ඒ නිසා…”
“මං හිතුවේ නැහැ…ඒ චිත්‍රේ ඇතුළේ එහෙම කතාවක් ඇති කියලා…”
“හ්ම්ම්…හිම මල් රේණු…”
අවීශ් කරවටා දෑත යවා මා සිය තුරුළට ගත්තේය. ඊටත් දින කීපයකට පසුව නැන්දා බන්දුල මාමාව විවාහ කර ගත්තේය. එය චාම් විවාහයකි. නංගී අප සමඟ නැවතීමට නිවසට පැමිණියාය.