Hima Mal Renu හිම මල් රේණු
අහසේ ඇදී ගිය අකුණු සැරයකින් මම තවත් කම්පනයට පත් වූයෙම්. නංගී මේ කියන්නේ කුමක්ද….? තාත්තා පුංචි අම්මා සමඟ එකතුව අප රවටා ඇති බව සත්‍යයක්ද..? ඔහු එවැන්නක් කරන්නේ මන්ද….?
“ලොකූ…ලොකූ…ඔයා ඉන්නවද…?” නංගී ගේ හඬ සවන් වැකී මම පියවි සිහි ලදිමි.
“ඔයා මේ මොනවද කියන්නේ…?” නොසතුටෙන් මම ඇසීමි.
“ඔව්…ලොකූ…ඒ දෙන්නා නිතරම කතා කරනවා…මේ ටිකේම තාත්තා කතා කළේ නැහැනේ…මං මේ තාත්තාට කියන්න ගත්තේ අම්මා ඇක්සිඩන්ට් වුණා කියලා…”
“ආහ්…” මා මුවින් පිට විය.
“තා…ත්…තා…අසනීප වුණා…එයා පැරලයිස් වෙලා…කතා කරන්න බැහැ…” මම කියා ගතිමි.
“මොනවා ලොකූ…ඒ කොහොමද…?”
මා කියූ දෙයින් නංගීත්, නංගී කියූ දෙයින් මාත් දෙදෙනාම කම්පනයට පත්ව සිටියෙමු. මම කෙටියෙන් ඇයට තාත්තා අසනීප වූ සැටි පවසා කතා බහ නිම කර අසළම වූ අසුනකට ඇද වැටී සිතන්නට වූයෙමි. මෙතෙක් කලක් තාත්තා අප සැවොම රවටා ඇත. කළකිරීමක් මා සිතේ ඇති වන්නට වූයේ ඔහු අප පමණක් නොව මිය ගිය අම්මාවද රවටා ඇතැයි සිතන විටය. මොන තරම් බොරුවක්ද….? තවත් වරක් අකුණක් පුපුරා ගියේ මුළු පරිසරයම කම්පනයට පත් කරමිනි. ඉන් මමද තිගැස්සී ගියෙමි.
එදින සවස අනුරාග් පැමිණෙන විටත් මා සිටියේ පෙර වූ කම්පනයෙන්ම වාගේය. තාත්තා සමඟ අනුරාග් කතා බහ කරමින් සිටින විටත් ඔහු කීවේ අනුරාග්ට මා විවාහ කර ගන්නා ලෙසය. ඔහු මා දෙස හෙළුවේ මේ මොහොතේ තාත්තා රිදවන කිසිත් නොකියන්නැයි පවසන බැල්මකිනි. කෙසේ වුවත් මා සිටියේ මංමුළාවූ ස්වභාවයකිනි. හඬන්නටද, සිනහසෙන්නටද කියා හෝ මට සිතා ගැනීමට අපහසු විය. නංගී පැවසූ කිසිවක්ම මම කිසිවෙකු හා පැවසීමට ගියේ නැත. මා සිතට දැනුණේ මහා වූ අසරණ හැඟීමකි. තාත්තා අප සමඟ කළ බොරුව, අනුරාග්, අවීශ් මේ සියල්ල සමඟ මා සිටියේ අසරණවය.
“ඔයා ඉඳලා හිටලා හරි ඔයාලාගේ ෆැක්ටරි එක පැත්තේ ගිහින් එන්න යන්න ආරණ්‍යා…එහෙම කරන එක ඔයාට වගේම වැඩ කරන අයටත් හොඳයිනේ…”
අනුරාග් දුන් උපදෙස් නිසා මම දින කීපයක් ඔහු සමඟ එහි ගියේ නොකැමැත්තෙනි. මට මේ කිසිවක් ගැන ආසාවක් නැත. තාත්තා ඉක්මනින් සනීප වූවා නම් මට මේ සියල්ලෙන් ඈත් වී නිදහසේ සිටිය හැකිය. ඇරත් මා දැන් සිටින්නේ ව්‍යාකූල වූ මනසකිනි. මා සිටින්නේ විඩාබරවය. එය ශාරීරික විඩාවක් නොව මානසිකව මා ලැබූ විඩාවකි. මට මෙයින් නිදහස් වන්නට වුවමනාය. තාත්තා නිසා මා සිටියේ කළකිරුණු හැඟීමෙනි. ඔහු අපට සඟවන තවත් රහස් ඇතැයි කියා මට නොසිතා බැරිය.
“කල්පනා කරන්න එපා ආරණ්‍යා… තාත්තාට ඉක්මනින් සනීප වෙයි…දැන් අවීශුත් ඉන්නවනේ…ඔයා කරදරෙන් ඉන්නෙ කියලා මට පේනවා…මං ඒ ගැන ඔයාගෙන් අහන්නේ නැහැ… සමහර වෙලාවට…හිතේ තියන හැමදේම කා එක්කවත් කතා කරන්න පුළුවන් කමක් නැහැ…එහෙම නේද…?”
අනුරාග් එසේ පවසන විට මට කෑ ගසා හඬන්නට වුවමනා වුවද මම දරා සිටියෙමි. මා සිත් කරදරයෙන් පසු වන්නේ එම කාරණා දෙකම නිසා නොවන බව මට ඔහුට කිව නොහැකිය. ඔහු සමඟ මේ සියල්ල පවසා මා සිත නිදහස් කරගන්නට මට වරෙක නොසිතුණා නොවේ. එනමුත් මම සිතේ දරාගෙන නිහඬව සිටියෙමි.
එම සති අන්තයේ මිතුරන් සියළු දෙන නිවසට පැමිණි අතර තාත්තා නිතරම අනුරාග් හා විවාහ වන ලෙස පවසන බව මම ඔවුන් සමඟ කීවෙමි. ඔවුන් සැවොම එයට අනුබල දෙන බවත් මම හොඳාකාරවම දැන සිටි දෙයකි.
“ඔයාට තීරණයක් ගන්න එක අපහසු නැහැනේ…ආරණ්‍යා…අවීශුත් දැන් මැරි කරලානේ…ඒ නැතත්…මේ තත්වේ උඩ අංකල් අවීශ්ට කැමති වෙයි කියලා අපිට බලාපොරොත්තු තියාගන්න බැහැනේ…”
තේෂාන් මතක් කර දුන්නේ මා සිත වඩ වඩාත් රිදුම් දුන් දෙයකි.
“අවීශ් ඔයාට අඟවලා හරි තිබුණා නම් ඔන්න අපිට වුණත් කතා කරන්න තිබුණා…මොකක්ද මේ කරපු වැඩේ තේරුම කියලා…”
භාෂිත කියන විට මා මුවින් සුසුමක් පිට විණි.
“ආදරෙයි කියලා…කටින් කියන්නම ඕන නැහැ…ඒක ක්‍රියාවෙන්…හැසිරීමෙන් තේරුම් ගන්න ඕන දෙයක්…අවීශ් එහෙම ඇඟෙව්වේ නැත්ද…? අපිට ඒක හොඳට තේරුණානේ…”
නදීරා භාෂිතටද ඇනුම්පදයක් එල්ල කළාය.
“දැන් ඒ පාර උඹලා දෙන්නා රණ්ඩු වෙන්න ගත්තාද…? අපි එකතු වෙලා මේකට විසඳුමක් හොයන්න ඕන…”
ටිරෝන් මැදිහත් වෙමින් කීවේය.
“කොහොම වුණත් අනුරාග් කියන්නේ හොඳ කොල්ලෙක්…එයා ඔයාට ආදරෙයි ආරණ්‍යා…ඒත් ඉතින් අනුරාග් කියන්නේ අවීශ් නම් නෙවේ තමා…”
මා හද යළිත් වරක් අවුළුවමින් භාෂිත කීවේය.
“අවීශ් නම් මහා මෝඩයෙක්…මට එන තරහා නම්…”
මාධව කෝපයෙන් කීවේ දත් මිටි සපමිනි.
“මෙච්චර කල් ඌ ලෝකෙටම මැරිච්ච එකෙක් වගේ හිටියා…දැන්වත් ඌ මේ ඉබි කටුවෙන් එළියට ඇවිත් මේවට උත්තරයක් දෙන්න ඕන නේද…? අඩුම තරමේ මෙයාට හිත හදන් මැරි කරන්න හරි…නැත්ද…?”
තේෂාන් කීවේය.
“අපි අවීශ්ට එන්න කියලා…මේ ගැන කතා කළොත් මොකද…? අපි වාද කරලා හරි යන්නේ නැහැනේ…”
මෙතෙක් නිහඬව සිටි තෙෂාරා කීවාය.
“අවීශ් ආවා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කොහොමද…? අනික එයා එක්ක මේවා කතා කරලා තේරුමක් නැහැ…එයා දැන් ඉන්නේ සතුටින්නේ…එයාටම කියලා වෙනම ලෝකයක් තියනවා…මේ ප්‍රශ්නේ විසඳගන්න ඕන මමමයි…”
“ඒත් ආරණ්‍යා…අනුරාග් වුණත්…හැමදාම ඔයාව බේර බේර…බලන් ඉඳියිද…? එයාත් පිරිමියෙක්නේ…ඔයා තාමත් එයාට හරියට උත්තරයක් දීලාත් නැහැ…ඒ මනුස්සයාටත් ආත්ම ගරුත්වයක් තියනවනේ…තවත් කෙනෙක් වෙනුවෙන්…අඬා වැළපෙන කෙනෙක් ගැන…දිගින් දිගටම අනුරාග් වුණත් බලන් ඉඳියිද…?තාත්තා සනීප වුණාම මොකද කරන්නේ…?”
නදීරා පවසන්නේ සත්‍යයක් වූ මුත් අවීශ් පැමිණ මේ ප්‍රශ්නය විසඳන්නේ කෙසේද….?
“මට අනුරාග් ගැන තව හිතන්න ඕන…මං ඉක්මනටම එයාට උත්තරයක් දෙනවා…”
හුස්මක් ඇද ළය පුම්බා ගනිමින් මම කියන විට ඔවුන් සැමගේ මුහුණු මත සටහන් වුයේ සැහැල්ලුවට පත් බැල්මකි. මිතුරන් සැවොම පිටව ගිය පසු මම ආලින්දයේ අසුනකට බර දී හිඳගෙන සිතුවිලි අතර තනි වී සිටියෙමි. මුළු පරිසරයම දිගු නින්දකට වැටී ඇතිවාක් මෙනි. නිවස තුළින් වුවද වෙනදා ඇසෙන ශබ්ද පවා දැන් නෑසෙන්නේ තාත්තා තිහැස්සෙනු ඇතැයි කියා කිසිවෙකු කිසිම ශබ්දයක් නොනඟන නිසාය. ඔහු මේ මොහොතේ පසුවන්නේ නින්දේය.
“දුව…”
නැන්දා පහත් හඬින් කළ ඇමතුමෙන් මම වහා හිස හරවා ඈ දෙස බැලීමි.
“මොනවද ළමයෝ මේ අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කරන්නේ…?”
ඈ මා සමීපයේම වූ අසුනක හිඳ ගනිමින් ඇසුවේ විපරම් දෑසින් මදෙස බලානය. අහස අඳුරුව තිබුණේ වැස්සක පෙර නිමිති කියා පාමිනි. මේ දින කීපයේම මෙලෙසය. මම නැන්දා වෙත හැරුණේ සුසුමක් හෙළමිනි. පහුගිය දිනවල අපට නිදහසේ කතා බහ කිරීමටද අවස්ථාවක් උදා නොවූ තරම්ය. අවසන එසේ නිදහසේ කතා බහ කළේ නංගී ඇමතුමක් දුන් දිනයේය. පුංචි අම්මා අනතුරට පත්ව ඇති බව දැනගත් මොහොතේ වුවද ඈ තුළ කළඹලයක් හෝ කම්පනයක් ඇති නොවිය.ඈ ඒ පිළිබඳව කිසිදු කනගාටුවක් හෝ පළ නොකළාය.නංගී මා හා පැවසූ දේවල් නැන්දා හා පැවසුවා නම් ඈ කළබල වනු ඇති බවට සැකයක් නැත.
“මගේ හිත හරි අසරණ වෙලා නැන්දේ…”
සුසුමක් හෙළමින් මම කීවෙමි. එවිට නැන්දා මා දෙස බලා සිටියේ අනුකම්පා මුසු බැල්මකිනි.
“මීට අවුරුදු ගානකට කළින්…මාත් ඔයා වාගෙම අසරණ වෙලා හිටියා දුව…එදා මං ගෙදරට හොරෙන්…බන්දුලව මැරි නොකළේ ඇයි කියලා…මං අදටත් පසු තැවෙනවා…ඒත්…මේ වෙලේ ඔයාට එහෙම තීරණයක් ගන්න බැරි කමක් නැහැනේ…අවීශ් පුතා මැරි කරලා…ඒ නිසා ඔයා වැනෙන්නේ නැතිව කෙළින් තීරණයක් ගන්න…හැබැයි…ඔයා ඒ තීරණේ ගන්න ඕන ඔයාගෙ තාත්තා කියන නිසාවත්…එයාගේ අසනීපේ ගැන හිතලාවත් නෙවේ…ඔයාගේ ජීවිතේ… ඔයාගේ සතුට ගැන හිතලා…ඒ අතින් ඔයාට බය වෙන්න දෙයක් ඇත්තේම නැහැ…අනුරාග් කියන්නේ බොහොම හොඳ කොල්ලෙක්…”
නැන්දා එසේ කියා නැඟිට ගෙතුළට පිය මැන්නේ මටම සිතා තීරණයක් ගැනීමට ඉඩ හැර මෙනි. දින ගණනක් මම ඒ පිළිබඳව සිතුවෙමි. මනසට, සිතට පීඩා දෙමින් මම සිතුවෙමි. අවසන මම තීරණයක් ගෙන නදීරා අමතා ඒ පිළිබඳව දැන්වූයෙමි.
“හොඳයි…ඒත් දැන්ම ඔයා ඒ ගැන…ගෙදරටවත් අනුරාග්ටවත් කියන්න එපා…අපි මේ සතියේ එකතු වෙලා ආයේම කතා කරමු…අවීශුත් එනවා කිව්වලු…”
“ම්ම්ම්…” මම නොසැළකිලිමත් ලෙස හූ මිටි තැබුවෙමි.
පසුදින මම අවීශ්ට ඇමතුමක් ගතිමි. එයට පිළිතුරු දුන්නේ ඔහු නොව නිරංගා ඇන්ටිය.
“දුව…පුතායි ප්‍රසාදුයි වහළේ උඩ නැඟලා…අපි ආයේම කොළඹට පදිංචි වෙන්න ආවා…වහළේ තැනකින් ඇතුළට වතුර වැටෙනවා..ඒක හදනවා…මං කියන්නම් ඔයාට කෝල් එකක් ගන්න…”
ඒ ඇසූ මම පුදුම වීමි.
“ඒ…එතකොට ආන්ටී…අර ප්‍රශ්නේ…වෙඩි තියපු එක…ඒ කවුද කියල හොයා ගත්තාද…?”
කළබලයෙන් මම ඇසීමි.
“ඔව්…දුව…ඒ හැමදේම විසඳිලා ගොඩාක් කල්…අපි ඔයාලා ගෙදර එන්න ඉන්නේ…ආවාම ඒ හැමදේම ඔයාට කියන්නම්…අනික දුව…මං මෙච්චර කල් ඉඳලා තියෙන්නෙ වැරදි අවබෝධෙකින්…ඒක ගැනත් මම ඔයා එක්ක කතා කරන්න ඕන…”
“ඒ මොකක්ද ආන්ටි…?”
“අපි හිමින් සැරේ කතා කරමුකෝ…ඒ ගැන කතා බහ කරන්න එන්න ඉද්දී තමා ඔයාගේ තාත්තා අසනීප වුණේ…අපි ඉක්මනට එනවා ඔයාලා ගෙදර…”
ඈ කුමක් පවසන්නට සිටියාද කියා කුහුළක් මා සිතේ ඇති විය.