Hima Mal Renu හිම මල් රේණු
පරිසරය නිහඬය. එයත් හරියට අපට බාධාවක් ඇති කිරීමට අකමැති වූවාක් මෙනි. මම නදීරාගෙන් එක දිගට ප්‍රශ්න අසන්නට වූයෙමි. ඈ ඒවාට පිළිතුරු දුන්නේ තෝරා බේරාගෙන බවක් මට නොවැටහුණා නොවේ. එසේමුත් මම ඒ කිසිවක් ගැන සැළකිලිමත් නොවූයෙමි.
“ටෙලාන් ඇක්සිඩන්ට් එකෙන් නැති වුණාලු නේද…?”
“ටෙලාන් විතර…හ්ම්ම්…ඔව්…අපි ඒ ගැන හිමින් කතා කරමුකෝ…ඔයා සනීප වුණා විතරනේ…”
ඈ කීමට ගිය දේ ගිලගෙන එසේ කී බව වැටහුණද මම ඒ පිළිබඳව එතරම් නොසිතුවේ ටෙලාන් සමඟ තවත් කවුරුන් හෝ සිටින්නට ඇතැයි කියා සිතමිනි.
“ඔයාලා අවීශ් ව බලන්න ගියාද…?”
“නැහැ…අපි කාටවත් එයාව බලන්න බැරි වුණා ආරණ්‍යා…අහන්නකෝ…ඔයාලා දෙන්නවම මුළින්ම ගෙනිහින් තිබ්බේ රාගමට…පස්සේ අවීශ්ව ජෙනරල් එකට මාරු කරලා…එයාට ටිකක් සීරියස් නිසා…”
මා හද ගැස්ම වේගවත් වන්නට විය.
“අනේ ඉතින්…?”
“අපේ අය කාටවත් එයාව බලන්න ලැබිලා නැහැ…ඔයා දන්නවානේ එයාලාගේ තාත්තාගේ හැටි…පස්සේ එයාව බලෙන්ම ජෙනරල් එකෙන් අරන් ගිහින් ප්‍රයිවට් එහෙක ඇඩ්මිට් කරලා තිබ්බා…එතෙන්ට ෆුල් ගාර්ඩ් දාලා කාටවත්ම එයා ගාවට එන්න ඉඩ දීලා තිබුණේ නැහැ…අපිට ආන්ටි එක්කවත් කතා කරන්න චාන්ස් එකක් හම්බුණේ නැහැ…ඊට පස්සේ එයාව පිටරට අරන් ගියා කියලා අපිට දැනගන්න ලැබුණා…තේෂාන්ලා එයාලගේ ගෙදරටත් ගිහින්…එතකොට ගෙදරටත් ෆුල් ගාර්ඩ් දාලා තිබිලා…මං හිතන්නේ ගෙදර මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා…ඒ නිසා තමාලු එහෙම ගාර්ඩ් එකක් දාලා තියෙන්නේ…සමහරවිට ටෙලාන්ගේ බාප්පලාගෙන් මොකක් හරි බලපෑමක් වුණාද දන්නැහැ…ඊට පස්සෙ අවීශ් ගැන කිසිම තොරතුරක් දැන ගන්න හම්බුණේ නැහැ…”
ඈ අවසන් වැකිය පැවසුවේ බිඳුණු හඬකිනි. ඒ හඬ හැඬුමට ආසන්න බවක් මට දැනෙන විට මම සිතුවේ ඒ අවීශ් ගැන තොරතුරක් දැන ගන්නට නොහැකි නිසා මෙන්ම ඔහුට සිදු වූ දේ නිසා ඇති වූ ශෝකයෙන් ඈ සංවේදී වූවා වන්නට ඇතැයි කියාය. මම ඇගේ අතක් දැඩිව අල්ලා ගතිමි.
“අනේ…අඬන්න එපා නදීරා…මේ හැමදේම වුණේ මං නිසානේ…”
ශෝකයකින් මෙන්ම පසුතැවිල්ලකින් යුතුව මම කීවෙමි. නදීරා දෑස් පිස ගෙන සුසුමක් හෙළුවාය.
“ඔයාටම දොස් පවරා ගත්තා කියලා මොනවා කරන්නද…?”
එවර මා දෑසද කඳුළින් බොඳ විණි. කම්මුල් තෙමාගෙන ගළා යන කඳුළු බිඳු මම වහ වහා පිස ගතිමි.
“මට අඬන්න එපා කියලා ඔයත් අඬනවා…ඔයා අඬනවා…ඔයාලගේ තාත්තා දැක්කොත් මට ආයේ මෙහෙ එන්න දෙන එකකුත් නැහැ…”
ඒ ඇසූ මම නදීරා දෙස බැලුවේ පුදුමයෙනි.
“ඒ ඇයි…?”
ඈ එයට එකවරම පිළිතුරක් නොදුන්නාය.
“අවීශ් ගැන ඔයා එක්ක කතා කරන්නවත් එපා කියලා එයා අපිට කිව්වා…ඒක නම් ඔයාගේ මතකේ නැති නිසා ඔයා තවත් ෂොක් වෙයි කියලා හිතමුකෝ…ඒත්…”
නදීරා එසේ කියා නැවතුවාය. මේ අසන්නට ලැබෙන දේවල් නම් කම්පනයක් නොවේද….? එසේ කියා මා ඔහු පිළිබඳව නොසොයා සිටින්නේ කෙසේද…?
“ඇයි ඒත් කිව්වේ…?” පුදුමයෙන් මම ඇසීමි.
“නැහැ…එයා කොහොමත් අවීශ්ට කැමැත්තෙන් නෙවේනේ හිටියේ…”
ඒ බව මමද දැන සිටියෙමි.
“එයාලව කන්ටැක් කරගන්න ක්‍රමයක් නැත්ද නදීරා…?”
බලාපොරොත්තු සහගත හඬකින් මම විමසීමි.
“නැහැ ආරාණ්‍යා…අපිත් මොන තරම් ට්‍රයි කළාද…”
සුසුමක් වාතලයට මුදා හරිමින් නදීරා කීවාය.
“එයාලා ඉන්නේ කොහෙලුද…?”
“ම්ම්ම්…මං භිතන්නේ ඕස්ට්‍රේලියා…”
“ටිරෝනුත් ඕස්ට්‍රේලියා ඉඳලා නේද ආවේ…? එයාට කියලා බැලුවේ නැත්ද…ටිකක් හොයලා බලන්න…?”
මම එසේ කියන විට නදීරා මා දෙස බැලුවේ විදහා ගත් දෑසිනි.
“එයත් බැලුවා මං හිතන්නේ…අනේ මන්දා…ඒත් විස්තරයක් නැහැ…”
“මට අවීශ්ව හුඟාක් මතක් වෙනවා නදීරා…”
මම එසේ කියන විට ඈ මගේ අතක් දැඩිව අල්ලා ගත් අතර ඈ හෙළූ සුසුමක බර හඬ නිසා මම ඈ දෙස වුවමනාවෙන් බැලීමි. ඇගේ දෑස් වල අලුත් වූ කඳුළක් දිලිසෙන හැටි මා දෑසට හසු විය.
“අපිටත් එහෙම තමා ආරණ්‍යා…”
වේගයෙන් ඇසි පිය සළමින් නදීරා කඳුළු සඟවා ගන්නට තැත් දරමින් කීවාය.
“එයාටත් අපිව මතක් වෙනවා ඇති නේද…?”
“ඔව්…එහෙම ඇති…”
“මේක මගේ වරද…”
“ඔයා මොනවා කරන්නද අනේ…?”
“මමනේ එදා එයාව ගෙන්න ගත්තේ…”
“ඇත්තට ආරාණ්‍යා ඔයාලා කොහෙද ගියේ…? අඩුම තරමේ…මටවත් තේෂාන්ටවත් කියලා තිබුණේ නැහැනේ…”
“ඒ වෙලේ ඒ ගැන කාටවත් කිය කිය ඉන්න වෙලාවක් තිබුණේ නැහැ නදීරා…පාන්දර එකට වගේ ඇති නංගී මට කෝල් කරත්දී…”
“නංගී…?”
මම ඒ සියල්ල මේ මොහොතේ නදීරා හා පැවසීමී.
“මොනවා ආරාණ්‍යා…? එහෙම වෙලා තියෙත්දීත් ඔයාලගෙ පුංචි අම්මා සද්ද නැතුව හිටියේ මේ මොකුත් නොදැන නම් වෙන්න බැහැ…මේකට නංගිගේ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා අපි කතා වුණා…නැත්නම් ටෙලාන් මොකටද ඔයාලා ෆලෝ කරන්නේ…නංගී ගියත් හරි කාටවත් කතා නොකළා වෙන්න බැහැනේ…අඩුම තරමේ එයා තාත්තාට හරි මේ ගැන කියන්න තිබුණා…”
නදීරා එක දිගට කියවන් ගියාය.
“මං හිතන්නේ පුංචි අම්මා එයාට මේ ගැන කියන්න එපා කියාන්න ඇති…”
“එයාව බේරගන්න ගිහින් ඔයාලාට වෙච්ච දේ ගැනවත් එයාට ගානක් නැත්ද එතකොට…?”
නදීරා ගේ හඬේ වූයේ කෝපයක් මෙන්ම නොසතුටකි.
“එයා කොහොමත් ටිකක් ආත්මාර්ථකාමී කෙනෙක්නේ…මේ…ප්‍රසාද් අයියාගේ නම්බර් එක තියනවා නේද ඔයා ගාව…එයාට කෝල් එකක් අරන් බලන්නකෝ…”
හදිසියේ සිහි වූ නිසා මම කීවෙමි.
“එයාගේ නම්බර් එකත් වැඩ නැහැ…අපි කොච්චර ට්‍රයි කළාද…”
මා මුවින් සුසුමක් ගිළිහිණි.
“සමහර විට එයාගේ ෆෝන් එකත් තියෙන්න ඇත්තේ අපි ගිය වෙහිකල් එකේ වෙන්නැති…එයා නංගී ඇරලවන්න යද්දී හදිසියට අමතක වුණාද දන්නැහැ…”
මම කීවෙමි.
“ඒක තමා නම්බර් එක වැඩ නැත්තේ…ඔයාගේ ෆෝන් එකත් නැති වෙලා නේද…? ඒ වෙලේ එතෙන්ට ආව කවුරු හරි ගන්න ඇති…”
සිදු වන්නට ඇත්තේ එය බවට සැකයක් නැත. මෙවන් මොහොතකදී පවා මිනිසුන් මෙවන් දේවල් කරන්නේ මන්ද…?
“ඔයා දන්නවද ආරණ්‍යා…?”
නදීරා වැදගත් යමක් කීමට සැරසෙන බව මට වැටහිණි.
“මොකක්ද…නදීරා…?”
“ඔයාලාගේ තාත්තා මේ සිද්ධිය වෙන්න කළින් දවසක අවීශ් හමුවෙලා කතා කරලා තියනවා…”
“මොනවා…ඒ මොනවද…?”
“අවීශ් ඔයාලගේ ගෙදර ආවා නේද…?”
“ඔව්…”
“එයා අවීශ්ට හොඳටම දොස් කියලා තියනවා…ඔයාව මුණ ගැහෙන එක නවත්වන්න කියලා…එයාට තර්ජනය කළාලු…”
“මොනවා නදීරා…තාත්තා ?”
මා සිතේ ඇති වූයේ ලැජ්ජා මුසු හැඟීමකි. ඔහු අවීශ් නිවසට පැමිණි දා කිසිත් නොකියා නිහඬව සිටීමට හේතුව එසේ නම් පසුව ඔහු හමුවීමේ වුවමනාව වන්නට ඇත. එය මොනතරම් ලැජ්ජා සහගත ක්‍රියාවක්ද.
“ඔව්…ආරාණ්‍යා…තාත්තා එයාට හරිම නරක විදියට කතා කරලා තියෙන්නේ…එයාලගේ තාත්තා ගැනත් මහා නරක දේවල් ගොඩාක් කිව්වලු…එයා ඒ හැමදේම මට කිව්වේ නැහැ…අවීශ් ගේ අදහස වුණේ කෝස් එකේ සර්ටිෆිකට් එක ගත්‍ත ගමන් ලංකාවෙන් යන්න…එයා ආයේ කවදාවත් ඔයාව මුණගැහෙන්නේ නැහැ කියලා ඔයාලගේ තාත්තට පොරොන්දු වුණාලු…ඔයා මේ ගැන තාත්තා ගෙන් ඇහුවත් මට කමක් නැහැ…මම කිව්වේ කියන්න…”
මා දෑස් අලුත් වූ උණු කඳුළින් තෙමී යන්නට වැඩි වේලා ගත වුණේ නැත. ඒවා කම්මුල් මතින් නිදහසේ ගලා ගියේය.
“අවීශ් එහෙනම් ඒ නිසාද නදීරා මෙහෙන් යන්නම ගියේ…? එයා ආයේ කවදාවත්ම එන්නේ නැති වෙයිද…?”
ඉකි හඬ නවතා ගනිමින් මම ඇසීමි. තාත්තා මේ කළේ කුමක්ද…? මට ඔහු කෙරෙහි ඇති වූයේ දැඩි කළකිරීමකි.
“නැහැ ආරාණ්‍යා…එයා ආයේ කවදාවත්ම එන්නේ නැහැ…එයා දැන් ඉන්නේ හුඟාක් ඈතනේ…”
සුසුමක් හෙළමින් ඈ කීවද එහි අරුත මට නොවැටහිණි.
නදීරා පැවසූ තොරතුරුත් සමඟ තාත්තා ගේ මුහුණ බලන්නට හෝ ඔහු සමඟ කතා බහ කිරීමට පවා සිතක් මා තුළ නොවීය. මම පුංචි අම්මා මෙන්ම තාත්තාවත් මඟ හරින්නට උත්සාහ කළේ ඔවුන් දෙදෙනා කෙරෙහිම ඇතිව තිබූ කළකිරීම නිසාය. මේ නිසා මම ඔවුන් සමඟ කෑම මේසයට පවා හිඳ ගත්තේ එක්කෝ ඔවුනට පෙරය. නැතිනම් පසුවය. තාත්තා මේ පිළිබඳව නැන්දාගෙන්ද විමසා තිබූ අතර ඈ සැමවිටම කරන්නාක් මෙන් මගේ පසට කතා කරමින් පවසා තිබුණේ හිසරදය නිසා මා පසුව කෑම කන බව හෝ කුසගිනි නිසා මා පෙර කෑම ගත් බවය. මිතුරු මිතුරියන් නිතර මා බැලීමට නිවසට පැමිණීම මා සිතට සහනයක් විය.
“මට නම් හැමදාම එන්න බැරි වෙයි…ආරාණ්‍යා…ඔයා දන්නවානේ…අම්මාගේ අසනීප දැන් වැඩියි…ඒ නිසා එයා ළඟ නිතර කවුරු හරි ඉන්න ඕන…දැන් තාත්තා ඉන්නේ ගෙදර..ඒත් එයා ඔෆිස් ගියාම මං ළඟ ඉන්න ඕන…”
ඒ පුවත අලුත් වූවකි. කෙසේ නමුත් මම ඇයට කීවේ එසේ කරදර නොවන ලෙසය. තෙෂාරාත් තේෂානුත් අතර සබඳකමක් ඇති බව මා දැන ගත්තේ මේ මොහොතේදීය. ඒ ඇසූ මා ඒ පිළිබඳව සතුටු වූයේ අවංක වූ සිතිනි.
“වැඩි කාලයක් නැහැ…මේ ළඟදි…”
ඈ මුහුණ රතු කරගෙන කීවේ ලැජ්ජා මුසුවය.
“ඔයාගේ පිටින් ගොඩ ගිය දෙන්නෙක්…”
ටිරෝන් විහිළු කරන විට මම ඒ කෙසේදැයි ඇසුවේ තවත් පුදුම වෙමිනි.
“ඔයාව බලන්න යද්දී…එද්දී…තේෂාන් තමා තෙෂාරා එක්ක ආවේ ගියේ…”
නදීරා කීවේ අප අතර සිනහවක් නංවමිනි. මේ මොහොතේ අවීශ් නැති අඩුව මා හට තදින්ම දැනිණි. අපි කෙතරම් කතා බහ කළද කිසිවෙකු හෝ අවීශ් ගැන සිහි නොකිරීම මා සිතේ යම් කුහුළක් මෙන්ම පුදුමයකුත් ඇති කළේය. එය මහා අමුත්තක් සේ මට හැඟිණි.
“අවීශ් ගැන ආරංචියක් නැද්ද ටිරෝන්…?”
මම අසන විට ඔහු තිගැස්මෙන් මදෙස බැලූ අතර සෙස්සන් අතර පැතිර ගියේ නිහැඬියාවකි.
“න්…නැ…හෑ…අපිත් මේ ඌව කන්ටැක් කරගන්න බලනවා…”
“එයා ඕස්ට්‍රේලියා කිව්වා නේද…ඔයාත් ඉඳලනේ ආවේ…දන්න කෙනෙක් ලව්වා හොයලා බලන්නකෝ…”
“කියලා තියෙන්නේ දන්න හැමෝටම…”
ඔහු කීවේ නොසැලකිළිමත් ලෙසය.
“මොකක්ද අප්පා…ඔයාලා බොක්කේ යාළුවෝ වෙලත් කන්ටැක් එකක් නැද්ද…?”
මම විහිළුවට කී මුත් ඔවුන්ගේ මුහුණු අඳුරුව ගියේ බලා සිටියදීමය. මම කීවේ වැරදි දෙයක්ද..? ටිරෝන් හදිසි වැඩ කටයුත්තක් ඇති බව කියමින් ඉක්මණින් පිටව ගියේ මා සිතේ වරදකාරී හැඟීමක් ඇති කරමිනි.
“අනේ…සොරි….මම වැරදි දෙයක් කිව්වද දන්නැහැ…ටිරෝන් යන්න ගියේ…?”
පසුතැවිළි හඬින් මම කීවේ සමාව යදිමිනි.
“පිස්සු…ඌට වැඩක් ඇති…ඒකයි ගියේ…” තේෂාන් වහා කිවේය.
“අවීශ් මා එක්ක අමනාපෙන් නිසා ඔයාලටවත් කතා නොකර ඉන්නවද දන්නැහැ…?”
ශෝකී හැඟීමෙන් මම කීවෙමි.
“ඔයා එක්ක මොනවට අමනාප වෙන්නද…?”
තේෂාන් කීවේ මා සනසන්නට මෙනි.
“එයාට අපිව අමතක වෙලා ඇති…”
මම යළිත් කියන විට එයට ඇසුණේ හූ මිටි හඬක් පමණි. ඔවුන් කිසිවෙකු අවීශ් පිළිබඳව කතා නොකරන්නේ තාත්තා කළ බලපෑම් නිසා වන්නට ඇතැයි සැකයක් මා සිතේ ඇති විය.
“මේ හැමදේම මං නිසානේ…”
වරදකාරී හැඟීමෙන් මිදෙන්නට මම අපොහොසත් වීමි.
“තමන්ටම දොස් පවර ගත්තා කියලා සිද්ද වුණු දේවල් ආයේ හරි ගස්සන්න බැහැනේ…අනික මේ කිසි දෙයක් ඔයාගේ වැරැද්ද නෙවේ…ඔයා හිටපු තත්වේ මං හිටියත් මං කරන්නෙත් ඔයා කරපු දේ තමා ආරාණ්‍යා…”
නදීරා කීවේ මා සිත සනසන්නට මෙනි.
“යාළුවෝ ටික ඇවිත් ගියාම හරි පාළුයි නේද…?”
ඔවුන් සියළු දෙන පිටව ගිය පසු මම ඔහේ බලා සිටින විට මා අසළට ආ නැන්දා ඇසුවේ මා සිත හැඳින්නාක් මෙනි.
“කවුරු ඇවිත් ගියත් වැඩක් නැහැ…ඒ හිතේ පාළුව යන්න නම් ඕනම කෙනා නෑවිත්…”
ඒ කවුරුන්දැයි නැන්දා නෑසුවේ කෙනා අනුමාන කළ නිසා වන්නට ඇත.
“එන්න පුළුවන් කමක් තියෙනවා නම් ඉතින් නෑවිත් ඉන්න එකක් නැහැනේ…”
සුසුමක් හෙළූ නැන්දා කීවාය.
“නැන්දා දන්නවද තාත්තා කරලා තියෙන දේ…”
මම නදීරාගෙන් දැනගත් පුවත නැන්දා හා කියන විට ඈ පුදුම වූවාය.
“මේ මනුස්සයාට නම් පිස්සුද කොහේද… කරන්නේම මෝඩ වැඩනේ…”
නැන්දා කෝපයත් නොසතුටත් මුසුව කෑ ගැසුවාය.
“එයාට හොඳටම පිස්සු…අවීශ් නෑවිත් ඉන්නවා ඇත්තේ ඒ නිසායි…එයා තාත්තාට පොරොන්දු වුණාලු මාව ආයේ මුණගැහෙන්නේ නැහැ කියලා…”
එවර මට හැඬිණි. නැන්දා මා අත තරයේ අල්ලා ගත්තාය. ඈ නිහඬ කල්පනාවක ගිලී සිටින බව සුළු මොහොතකට පසු මම දුටිමි. නොදැනුවත්ම ඈ මුවින් ගිළිහී ගියේ දුක්බර සුසුමකි.
****** ***** ****** ***** ***** ****** ************* ***** *****************
එක්තරා දිනයක තාත්තා මා කතාවට හසුකරගනිමින් මගෙන් ප්‍රශ්න අසන්නට වුයේය. මා ඒ සියල්ල නෑසුකන්ව සිටින්නට වුයෙමි.
“මට දැන ගන්න ඕන ඔයා කොහේද ගියේ කියලා විතරයි…දුව…”
මම ඔහුට පිළිතුරක් දීමට ඉක්මන් නොවූයෙමි. නංගී ආරක්ෂා කිරීමට මට වුවමනාවක් නැත. ඈ මේ වනතුරුම මට එකදු ඇමතුමක් හෝ නොදුන්නාය.
“ඒ හැමදේම මම කියන්නම්….ඒත් දැන්ම නෙවේ…වෙලාව ආවාම…”
මම දැඩි හඬින් කියන විට තාත්තා මා දෙස බලා සිටියේ විදහාගත් දෑසිනි. මේ අතර මම අවීශ් දන්නා හඳුනන හැම කෙනෙකුගෙන්ම ඔහු පිළිබඳව විස්තර විමසා බැලුවද ලැබුණේ එකම පිළිතුරකි. කිසිවෙකු ඔවුන් පිළිබඳව කිසිත් නොදනී. එය සත්‍යයක් විය හැකිද…? විමසීමට වෙනත් කිසිවෙකු නොවූ තැන මට ටික කලකට නිහඬ වීමට සිදු විය. නමුත් හදිසියේ මට තව අයෙක් සිහියට නැඟිණි. මෙතෙක් මට එය අමතකව තිබීම ගැන මා කෙරෙහිම තරහවක් සිතේ ඇති විය. මම ගුණතුංග මාමා සමඟ එහි යෑමට සූදානම් වූවද තාත්තා මට එයට අවසර දේවිද…? ඔහුගේ අනවසරයෙන් මට ගමන් බිමන් යෑම ඔහු තහනම් කොට තිබිණි