Hima Mal Renu හිම මල් රේණු
මට අසන්නට ලැබුණු දේවල් මට විශ්වාස කරන්නට බැරි තරම් අපහාසුය. එය මා පුදුම කරවීය. පෙරදිනක සිදු වූවා යැයි මා සිතූ එම අනතුර සිදු වී දැන් වසරකුත් ඉක්ම ගොස් ඇති බව මම කෙසේ විශ්වාස කරන්නද…? නැන්දා මා හා පැවසූ දේ මා අසා සිටියේ අදහාගත නොහැකිවය.
“ටෙලාන්ව ඇරෙස්ට් කළාද…? එයානේ අපිව හැප්පුවේ…”
ඔහු සිහි වන විට පවා මා සිත කෝපයකින් මෙන්ම පිළිකුළෙන්ද පිරී ගියේය.
“නැහැ දුව…එයා ඒ ඇක්සිඩන්ට් එකෙන් නැති වුණා…ඒ වෙලේ එයා ඩ්‍රග්ස් පාවිච්චි කරලා තිබුණාලු…”
“මොනවා…! එයා නැති වුණා…?”
එවන් දෙයක් නම් මම කොයි මොහොතක්දී හෝ අසන්නට බලාපොරොත්තු වී නොසිටියෙමි.
“ඒ හැප්පිලා තිබුණ විදියට ඉතින් ජීවිතේ බේරුණා කීවොත් තමා පුදුම…”
මා සිත බියෙන් ගැහිණ.
“අනේ…අවීශ්ට හුඟාක් අමාරු වුණාද නැන්දා…? මට මතකයි… ඒ…එ..යා..ගේ.. මුළු මූණම ලේ වලින් වැහිලා තිබුණා…එයා… මට මට මොනවා හරි කියන්න හැදුවා නැන්දා…”
මට හැඬිණි.
“අඬන්න එපා ළමයෝ…අවීශ්ටත් හුඟාක් අමාරු වෙලා තිබුණලු…”
“මට එයාව බලන්න ඕන…”
“එයා ලංකාවේ නැහැනේ දුව…යාළුවෝ එයා ගැන විස්තර හොයන්න ගෙදරටත් ගිහින් තිබුණනේ…එහේ කවුරුත් නැහැලු…”
එය පුදුමයට කරුණකි.
“ආන්ටිට කෝල් කළේ නැද්ද…අවීශ් ගේ නම්බර් එක ඔයා ගාව තියනවා නේද… අනේ කෝල් කරලා බලන්නකෝ…”
මම ඇවිටිළි කළෙමි. නැන්දා මා දෙස බලා සිටියේ අනුකම්පා මුසු බැල්මකින් බව මට පෙනිණි.
“ඇයි අනේ…ඔයා ඔහොම බලන් ඉන්නේ…?” නොසතුටෙන් මම ඇසීමි.
“ඔයා හිතන්නේ අපි නිකන් හිටියා කියලාද…? නිරංගාක්කාගේ ෆෝන් එකත් වැඩ නැහැ…අවීශ්ගෙ නම් ෆෝන් එක නැති වුණා කියලා හිතන්න පුළුවන්නේ…”
මා සිත බලාපොරොත්තු සුන් වූ තාවයෙන් බිඳ වැටිණි. එසේ නම් ඔවුන් තවම ලංකාවට පැමිණ නැතුවාද….?
“මේක සිද්ද වෙලා ගොඩාක් කල් නම්… දැන් එයාලා ලංකාවට ඇවිත් ඇතිනේ…”
“ඔයා මාවත් සැක කරනවා…මාව ෂුවර් නැත්නම් ඔයාගේ යාළුවෝ ආවාම අහලා බලන්න…”
එවර නැන්දා කීවේ නොසතුටු හඬකිනි.
“අනේ…එහෙම දෙයක් නැහැ…”
පසුතැවිළි වූ සිතින් මම පිළිතුරු දුනිමි.
“අවීශ් මා එක්ක තරහා වෙලා ඇති නේද නැන්දා…? මේ හැමදේම වුණේ මං නිසානේ..මට එයාට කතා කරන්නවත් පුළුවන් වුණා නම්…”
“අනේ මන්දා…”
නැන්දා දුන් නොසැළකිලිමත් පිළිතුරෙන් මා සිතේ ඇති වූයේ කනස්සල්ලකි. අවුරුදු ගණනකින් නිවසට පැමිණියාක් බඳු හැඟීමක් මා සිතේ ඇති වූයේ මා රථයෙන් බසින විටමය. අවුරුද්දකට අධික කාලයක් මා අන්ධව සහ මතකය නැතිව සිටියා යැයි සිතන විට මට පුදුම සිතිණි. එය සිහිනයක් බඳුය. ඒ කාලයේ සිදු වූ කිසිත් මට මතක නැති වීමත් අරුමයකි.
“දැන් ඔයාට හොඳයි නේද දුව…?”
මවාගත් ලෙංගතු කමක් පාමින් මා ඉදිරියට ආ පුංචි අම්මා අසන විට කොහේදෝ නැති කෝපයකුත් පිළිකුළකුත් මා සිතේ ඇති වූයේ නිරංගා ඇන්ටි මා හා පැවසූ සියල්ලත් එක් වරම මගේ සිහියට ආ නිසාවෙනි.
“ඇයි…ඔයා බලාපොරොත්තු වුණේ මං මැරෙයි කියලාද…?”
මා එවැන්නක් පවසනු ඇතැයි කියා ඈ කිසිවිටෙක බලාපොරොත්තු නොවන්නට ඇත. ඇගේ මුහුණ අඳුරුව ගියේ මා බලා සිටියදීමය. ඈ තාත්තා දෙස බැලුවේ
“පේනවනෙ…මෙයාගේ කට…”
යන බැල්මක් දෑසේ තවරා ගෙන බවට ඇගේ බැල්මෙන්ම මම හඳුනා ගතිමි. මට හිස ගස්සමින් ඈ යන විට කුරිරු සතුටක් මා සිතේ ඇති විය.
“ඔහොම කතා කරන්න එපා දුව…”
තාත්තා මෘදු හඬකින් පවසන විට මම ඔහු වෙත හැරී මොහොතක් ඔහු දෙස බලා සිටියේ අනුකම්පා මුසුවය. ඔහු මේ ගැහැණියගේ සට කපට කම් නොදැන සිටීම අරුමයකි. පිළිතුරක් නොදුන් මම තරප්පු පෙළ නැඟ මගේ කාමරයට පැමිණියෙමි. එය තිබූ පරිදිමය. කිසි වෙනසක් නැත. බිත්තියේ එල්ලා තිබූ අවීශ් ඇඳි සිතුවම දෙස මම බොහෝ වේලාවක් බලා සිටියෙමි.
“අවීශ්…අනේ…ඔයා කොහේද…?”
මම සිතින් සිය දහස් වාරයක් ඔහුගේ නම මුමුණන්නට ඇත. ඒ මොහොතේ කාමරයට කඩා වැදුණු චන්ද්‍රම්මා නිසා මම තිගැස්සී ගියෙමි.
“අනේ…මගේ ලොකු බේබි…ආවා කිව්වා… දැන් හොඳටම සනීපයි නේද…මගේ මැණිකේ…?”
ඇගේ හඬ අව්‍යාජය. පුංචි අම්මා මෙන් ඈ මවා පෑමක් නොකරන බව මම දැන සිටියෙමි. මම ඇගේ අතින් අල්ලා ගතිමි.
“දැන් සනීපයි චන්ද්‍රාම්මා…” මඳහසක් පාමින් මම කීවෙමි.
“ලොකු බේබිට මොනවා හරි වුණා නම් මාත් ජීවත් වෙලා වැඩක් නැහැ…ලොකු බේබි…මෙච්චර කාලයක් මාත් මැරි…මැරී ඉපදුණා ලොකු බේබි…”
ඈ එක දිගටම කියවගෙන ගියේ හුස්ම නාල්ලාය.
“අනේ…අනේ…චන්ද්‍රම්මා ටිකක් හුස්ම ගන්න…නැත්නම් චන්ද්‍රම්මාව හොස්පිට්ල් ගෙනියන්න වෙයි…”
සිනහාසෙමින් මම කීවේමි.
“මගේ හුස්ම ගියත් මට කමක් නැහැ ලොකු බේබි. දැන් ලොකු බේබිට සනීපයි නේ…”
“එහෙම කියන්න එපා චන්ද්‍රාම්මා…”
“මං එදා ලොකු බේබිට යන්න නොදී ඉන්නයි තිබුණේ…”
ඇගේ හඬේ වූයේ පසුතැවිළි මුසු බවකි.
“ඒ ඇයි චන්ද්‍රාම්මා…?”
“එහෙම ගිය නිසානේ මේ හැමදේම වුණේ…”
නොගියා නම් ඊට වඩා දෙයක් වුවද සිදුවීමට ඉඩ තිබුණා යැයි කීමට සිතුණද මම නිහඬව සිටියෙමි.
“මම ගියාට පස්සේ මොකද වුණේ චන්ද්‍රාම්මා…?”
“අනේ.. මැණිකේ…මම පාන්දර වෙනකල් දොරකඩට වෙලා බලන් උන්නා…මැණිකේ දැන් එයි…දැන් එයි කියලා…පරක්කු වෙද්දී මං ගිණි පත්තු වෙලා හිටියේ…ගුණතුංග මහත්තයා ඇහැරිලා ආව හැටියේ මම විස්තරේ කිව්වා…එතකොටම තමා ගෙදරට පොලීසියෙන් ආවේ…”
“පොලීසියෙන්…?”
“ඔව්…ඇක්සිඩන්ට් එක ගැන දැනුම් දෙන්න…ගුණතුංග මහත්තයා ඒ වෙලේම ලැහැස්ති වෙලා ඉස්පිරිතාලෙට දිව්වා…”
චන්ද්‍රාම්මා ඉවතට ගිය පසුව මම යහන මත හිඳගෙන අවීශ් ගේ සිතුවම දෙස බලා සිටියේ නිනව් නැතුව මෙනි. නංගී සිදු වූ කිසිවක්ම තාත්තා හා පවසා නොතිබුණේද….? එසේ පැවසුවා නම් තාත්තා හෝ නැන්දා මගෙන් ඒ පිළිබඳව විමසනු ඇති මුත් කිසිවෙකු ඒ පිළිබඳව මෙතෙක් මා විමසුවේ නැත. එය කෙසේ වුවත් මම අවීශ් පිළිබඳව තොරතුරක් සොයා ගත යුතුය. කාමරයේ සිටින සෑම මොහොතකම මම අවීශ් ඇඳි සිතුවම දෙස බලා සිටින්නට හුරු වූයේ එය ගෙනා දවසේ සිටමය. ඒ පුරුද්ද තවමත් එලෙසමය. මා ඒ පුරුද්දට මෙන් යහන මත හිඳගෙන එදෙස බලා සිටින විට කාමරයට ගලා ආවේ නැවුම් කෝපි සුවඳකි. එකත් එකටම නැන්දා කිරි කෝපි සාදාගෙන එනවා ඇතැයි සිතන විටම ඈ කාමරයට පැමිණියාය.
“ඔයාට කළින් කෝපි සුවඳ ආවා…”
“එහෙම වෙන්න එපැයි…”
ඈ මාවෙත කිරි කෝපි කෝප්පය දිගු කරමින් කියන විට මම එය දෝතින්ම අතට ගතිමි. ඒ මොහොතේත් මට අවීශ් සිහි විය. ඔහුද කිරි කෝපි වලට ප්‍රියකරන බව මට මතකය. මා මුවින් සුසුමක් ගිළිහිණි.
“ඒ පාර මොකද වුණේ…හූල්ලන්නේ…?”
නැන්දා මා පසෙක හිඳ ගනිමින් ඇසුවාය.
“අවීශ් මතක් වුණා…”
මම කීවෙමි. නැන්දාද සුසුමක් හෙළා නිහඬ වූවාය. අපි දෙදෙනම සඳළුතලයට පැමිණ එහි හිඳ ගෙන කිරි කෝපි රස බැලීමු. අහස අඳුරුව ඇත්තේ වැස්සක පෙර නිමිති කියා පාමිනි. අපි අනරතුට පත් වූදා ද මහා වර්ෂාවක් ඇද හැළුණු හැටි මට මේ මොහොතේ සිහි විය. නදීරාට ඇමතුමක් ගැනීමට වුවමනා බව මම නැන්දා හා කීවේ හදිසියේ සිහි වූ නිසාය. පහු ගිය කාලයේම ඔවුන් මා ළඟම රැඳී සිටි බව මට දැනගන්නට ලැබිණි.
“ඕක බීලා හිමින් ගන්න…මොකද එයා රට පනිනවැයි…”
ඒ කතාවට නම් මා මුවටද සිනහා නැඟිණි. පසුව නදීරාට ඇමතුම ගත්තේ නැන්දාය. ඇයව පුදුම කිරීමට මට වුවමනා වී තිබුණේ මා සුවපත් වී සිටින බව ඈ තවමත් දැන නොසිටින නිසාය.
හැකිතාක් පුංචි අම්මා මඟහැර සිටීමට මම උත්සාහ කළෙමි. ඇයව දැකීමත් මා සිතේ ඇති කළේ පිළිකුල් සහගත හැඟීමකි. මුහුණට මුහුණ ඈ හමුවන ඇතැම් අවස්ථාවලදී වුවද අප්‍රසාදය මුසුව ඈ දෙස බලන විට ඇගේ මුහුණ කරත්තයට හසු වූ කජු පුහුළමක් මෙන් ඇදව යනු දකින විට මම සිත යටින් සතුටු වූයෙමි.
“ඔහොම මට නපුරු කම් කරන්න එපා ළමයෝ…හරියට මම ඔයාගේ හතුරෙක් වගේනේ…”
ආලින්දයේ හිඳ සිටි මොහොතක ඇයත් අප වෙත විත් මා පසෙක හිඳ ගන්නා විට මම හුනස්නෙන් නැඟී සිටියේ ඇයට රවමිනි. පුංචි අම්මා එසේ කීවේ තාත්තාට ඇසෙන්නටය. ඉන් අප අතර භේදයක් ඇති කරන්නට ඇයට වුවමනා වූවා වන්නට ඇත.
“හතුරෙක් වගේ…?”
මමද එයම ප්‍රතිරාවය කරමින් ඇසුවේ නොපහන් හඬිනි.
“වගේ නෙවේ…හතුරෙක් තමා…”
“බලන්න මාවන්…මම මොනවා කළත් වැරදියිනේ…”
ඈ තාත්තාට ගතු කියන්නට වූයේ බාලාංශ පන්තියේ දරුවෙක් මෙනි. එය හාස්‍යජනක විය.
“කරපු හරියම මදෑ…”
“මම මොනවද ළමයෝ කළේ…?”
“ඔයා මොකුත්ම කළේ නැහැ…ඔයා අත දරුවෙක් නේ නේද…?”
“දුව…” තාත්තා මා ඇමතුවේ දැඩි හඬිනි.
“ඔහොම කතා කරන්න එපා ළමයෝ…”
පුංචි අම්මාට රවමින් මම පිටතට පැමිණියේ තාත්තා කී දේ නෑසුණාක් මෙනි. ගුණතුංග මාමා මල් ගස් වලට වතුර දමමින් සිටියේ උදෑසන වහින්නට මෙන් තිබූ අහසින් වැහි බිඳක් හෝ ඇද නොවැටුණ නිසා වන්නට ඇත.
“මාමා ඇයි ඕවා කරන්නේ…චන්ද්‍රම්මා ඉන්නවානේ…”
ඔහු අසළට යමින් මම කීවෙමි.
“ආහ්…ලොකු දුව…කවුරු කළාම මොකද ළමයෝ…චන්ද්‍රා ගියා තේ හදන්න…වැස්සත් ගහගෙන ගියා…පැළ ටික කණාටු වෙලා…පහු ගිය ටිකේම එහෙට මෙහෙට දිව්වානේ…මේවා බලන්න කරන්න වෙලාවක් කලාවක් හම්බුණෙත් නැහැ…මම ඒකයි මේ වතුර දාන්න හැදුවේ…”
“හ්ම්ම්…” මම දිගු හුසමක් ඇද්දෙමි.
“ඇයි ලොකු දුව හූල්ලන්නේ…?”
පුදුමයෙන් මෙන් මදෙස බැලූ ගුණතුංග මාමා ඇසුවේය.
“එදා ඇක්සිඩන්ට් වෙච්ච වෙලේම මාවත් අම්මා වගේම මැරුණා නම් හොඳයි මාමේ…”
ගුණතුංග මාමා වතුර බටය බිමට අතහැර මදෙස බැලුවේ බියපත් දෑසිනි.
“මොනවද ළමයෝ මේ කියන කතා…?”
ඒ හඬේ කෝපයක් මෙන්ම ශෝකයක්ද ගැබ්ව ඇති බව මට වැටහිණ.
“මම බොරුද මාමේ කියන්නේ…මේ වහල යට මම නිකන් පිට එකෙක් වගේ…අපේ ජීවිතත් මේ මල් ගස් වගේ තමා මාමේ… හරියට සැළකිල්ලක් නැති වුණාම කණාටු වෙනවා…මල් ගහක් නම් කණාටු වෙද්දි අපි දන්නවා ඒකට වතුර ඕන කියලා…ඒත් අපි ඇතුළෙන් විඳවන හැටි කාටවත් පේන්නේ නැහැනේ…අපේ හිත් කණාටු වෙලා මැරිලා යනකම් කවුරුත් දන්නේ නැහැ…අපිත් හිත් වලින් විඳවනවා මාමේ…”
මා දෑසට කඳුළු පිරෙන්නට ඇත්තේ ආත්මානුකම්පාවෙන් වන්නට ඇත.
“දුව ගැන කවුරුත් හොයලා නොබැලුවා නෙවේනේ…පහු ගිය කාලේ මාවනුයි රේඛායි හිටියේ මලා නොමලා ගානට… හොඳ සිහියෙන් හිටි අපිටනේ වේදනාව…ඔය වගේ කතාවක් එයාලට ඇහෙන්න එහෙම කියනවා නෙවේ…”
ගුණතුංග මාමාද කඳුළක් පිසිමින් බිම අතෑරුණ වතුර බටය අතට ගන්නා විට මම නොසතුටෙන් විත් බංකුව මත හිඳ ගතිමි.
මම එලෙස හිඳ සිටින විට නදීරා පැමිණියාය. ඇගේ පැමිණීම සිදු වූයේ හදිසියේම නිසා මට ඇයව පුදුම කරන්නට අවස්ථාවක් උදා නොවීය. ඈ දුටු මතින් මට මා හිඳ සිටි බංකුව මතින් නැඟිටුණේ ඉබේමය.
“ආරණ්‍යා…”
ඈ මා අමතමින් මවෙත දිව ආවේ මා සනීප වූ බව වටහා ගැනීමෙන් මෙනි.
“අනේ…ඔයාට දැන් හොඳයි…”
මා දැඩිව වැළඳ ගනිමින් නදීරා ප්‍රීතියට පත්ව කෑ ගැසූ අතර ඇගේ මුළු සිරුරින්ම සතුට විහිදෙන්නාක් මෙනි.
“ඔයාලව ආයේ මගේ ඇස් දෙකෙන් දැක ගන්න ලැබුණු එක ගැන මට සතුටුයි…”
ඇගේ සුරත දැඩිව අල්ලා ගනිමින් මම කීවෙමි.
“ඒක තාවකාලිකව සිද්ද වුණ දෙයක් කියල ඩොක්ටර්ලා කියලනේ තිබුණේ…”
“හ්ම්ම්…අනේ මන්දා…ඒත් මට දැන ගන්න ගොඩාක් දේවල් තියනවා නදීරා…”
“ඔව්..ඔව්…අවුරුද්දකට වඩා වැඩි දේවල්…”
“ඔව්…ලොකු කාලයක්…හැබැයි මට ඒ කාලේ සිද්ද වුණ මොකුත් මතක නැහැ…”
“ඒවා එච්චර වැදගත් දේවල් නෙවේ…”
නදීරා සුසුමක් හෙළමින් කීවාය. මට ඇයත් සමඟ තනිව කතා බහ කරන්නට වුවමනා විය. අපි දෙදෙන විත් බංකුව මත හිඳ ගන්නා විට ගුණතුංග මාමා වතුර බටයද ඇදගෙන ඉවත ගියේ අපට බාධාවක් වේ යැයි සිතා වන්නට ඇත.