Hima Mal Renu හිම මල් රේණු – 33 වෙනි කොටස
දින ගණනකින් මට අවීශ් සමඟ ඔහුගේ රථයේ ඒමට අවස්ථාවක් උදා නොවීය. පන්තියේ දී වුවද අපට කතා බහකට ඉඩක් නොවූ තරම්ය. එය අවසන් වූ විගසම ගුණතුංග මාමා හෝ තාත්තා අප කැඳවාගෙන යෑමට පැමිණ සිටි බැවින් කතා බහකට ඉඩක් නොතියාම අපට ඒමට සිදු විය.
“හුඟ කාලෙකින් නදීරා…නදීරා කියලා අහන්න නැතුව පාළුයි වගේ අප්පා…”
එදින අපි පන්ති නිමවී එන විට නදීරා මා සමඟ කීවාය.එය ගුණතුංග මාමාටද ඇසෙන්නට ඇතිමුත් බියක් ඇති කරගන්නට තරම් එය හේතු කාරණයක් නොවීය.
“දැන් ඔහොම කියනවා…ඒ වෙලාවට බලන්න ඕන මෙයාගේ මූණ…සත පහ වගේ වෙලා…” මම ඇනුම්පද කීවෙමි.
“ඒවා එහෙම තමා…” මුව ඇද කරගත් නදීරා කීවාය.
පසු දින සෙනසුරාදාවකි. මම කාමරයට වී සිටියේ අලසවය. අවීශ්ගෙන් ලැබුණු කෙටි පණිවිඩය මා සිතේ ඇති කළේ කළබලයක් මෙන්ම තිගැස්මකි. යහන මතින් බිමට පැනගත් මා සඳළුතලයට දිව විත් පිටත බැලීමි. ගුණතුංග මාමා මෝටර් රථය සෝදමින් මිදුලේ සිටියේය.
“අපි ගේ ඉස්සරහා…දැන් ඇතුළට එන්න යන්නේ…”
ඔහු එවා තොබුණේ එයයි. නමුත් කිසිවෙකු පෙනෙන මානයේ නැත. ඔහු විහිළුවක් කළා වන්නට ඇතැයි මට සිතිණි. අවීශ් ගේ අංකය අමතා දුරකථනය සවනත තබා ගත් මොහොතේ කුඩා දොරටුව විවර කරගෙන අවීශ් සමඟ ප්‍රසාද් මිදුලට අවතීර්ණ වනු දැක මා සිත බියෙන් ගැහෙන්නට වුවාය. ගුණතුංග මාමා සිය කාර්යය නවතා ඔවුන් දෙස බලනු මම දුටිමි.
“ගුණතුංග මාමා වැඩ වගේ…?” අවීශ් අසන හඬ මා සවන් වැකිණි.
“අවීශ් පුතානේ…ඔව් පුතේ…නිවාඩු දවසනේ…කාර් එක පොඩ්ඩක් සෝදලා දැම්මා…”
“කෝ…මාමේ ආරණ්‍යා….එයා මේ කෝල් එකක් දුන්නා එන්න කියලා…ගේට් එක ඇරලා තියෙන්නේ කිව්වා…ඒකයි මේ කතා නොකරම ආවේ…”
ඔහු කියන බොරු. මා එවන් දෙයක් කීවේ නැත.
“දුව ගෙයි ඇති…පුතාලා යන්න…”
මම වහා හුන් තැනින් මෑත්ව පහළට දිව ආවෙමි. ඔහු නිවසට පැමිණි එක නම් සතුටකි. නමුත් මේ සා බොරුවක් පවසන්නේ මන්ද.? මම මිදුලට එන විටත් ඔහු ගුණතුංග මාමා හා කතාවය.
“ආහ්…මේ ආවේ…” ඔහු මා දැක කීවේය.
“ආහ්…ඔයාලා ආවද…? යමු ගෙට…එන්න ප්‍රසාද අයියේ…”
අවීශ් අසළට ළංවූ මා ඔහුගේ බාහුවක් තදින් අල්ලා ගත්තේ ඔහුට රිදෙන්නටය.
“ඌයි…රිදෙනවා…කොටි දෙන වගේ…”
ඔහුව ඇදගෙන මෙන් නිවස තුළට කැඳවාගෙන විත් මම ඔහුව අසුනක් මතට තල්ලු කර දැමීමි.
“මොනාද කිව්වේ ගුණතුංග මාමා එක්ක…මං එන්න කිව්වා කියලා…?”
මවාගත් කෝපයකින් මම ඇසීමි. ඔහු පැමිණි සතුට ඔහුට පෙන්විය යුතු නැත.
“මේ බලහන් ප්‍රසා…නියපොතු පාර…”
මා ඇසූ දේට පවා පිළිතුරක් නොදී ඔහු තමා හැඳ සිටි කෙටි අත් සහිත කමිසයේ අත ඉහළට ඔසවමින් ප්‍රසාද්ට බාහුව පෙන්වන විට ප්‍රසාද් කළේ සිනහසීමය. මම ඔහුගේ කනක් ඇල්ලුවේ නොරිදෙන ලෙසය.
“ඔහොම බොරු කියන්න එපා…මං අහන් හිටියේ…”
“මේ බලපන් ප්‍රසා…ගෙදරට ආවාම… මෙහෙමද මිනිස්සුන්ට සළකන්නේ…?”
මම ඔහුහේ කන සෙමෙන් මුදා හැරියෙමි. එය රතු වී ඇත. මා එය එතරම් තදින් ඇල්ලුවේ නැත.
“ඔහොම නෙවේ…පොල්ලක් අරන් සළකන්න ඕන…කියන බොරු වලට…”
මවා ගත් නොමනාපයක් පළ කරමින් මම කීවෙමි.
“අපි යමු ප්‍රසා…කොනිත්තලා තුවාල කරලා…කනෙනුත් ඇද්දා…ඊළඟට ඔළුවත් පළයිද දන්නැහැ…”
මා මුවින් සිනහාව පිට පැන්නේ එවිටය.
“තාත්තා හිටියා නම් අද බලන්න තිබුණා…”
සිනහාව සඟවා නොගෙනම මම කීවෙමි. අවීශ් ගේ මුහුණේ වූයේ දඟ වැඩක් කළ පොඩි දරුවෙකුගේ පෙනුමකි. ඔහු හැඳ සිටි කමිසයේ උඩු බොත්තම පියවා නොතිබූ නිසා මම ඔහු පසෙක හිඳගෙන එම බොත්තම පියවන විට ඔහු බලා සිටියේ මවිතයෙනි.
“තාම අර…පරණ ගතිය නැති කරන් නැහැ ප්‍රසාද් අයියා…” මම කීවෙමි.
“ඔහොම තමා ප්‍රසා…මට එදත් කොලේජ් එකේදි ලැජ්ජා කළේ…”
“ඔව්…ඔව්…හරි ලැජ්ජා හිතෙන්න ඇති…සිගරට් බොද්දී ලැජ්ජාව කොහෙද තිබුණේ…?”
“හොඳ වැඩේ…ආරාණ්‍යා මිස්…කනට දෙකක් ගහන්න තිබ්බේ…අපි කියපු එකක් ඇහුවද…?”
ප්‍රසාද් කතා කළේ මගේ පස ගෙනය.
“ඇද්ද…චණ්ඩියා…අද තාත්තා ඉන්න තිබ්බේ බලන්න…”
“නැති නිසානේ ආවෙ…”
සිනහසෙමින් ඔහු කියන විට මම පුදුම වීමි. ඔහු කොහොමද එය දැන ගත්තේ.? මම ඔහුට එය නොකීවෙමි.
“ඔච්චර පුදුම වෙන්න දෙයක් නැහැ ප්‍රසා…නදීරා කිව්වේ…”
“අම්මෝ…මේ දෙන්නා…ඒක තමා වැඩ්ඩා වගේ ගේට් එකෙන් ඇතුළට ආවේ…නදීරා වත් අල්ල ගන්නම්කෝ…”
මා සිත තුළ වූ සතුට වචන ගත කරන්නට නොහැකිය.
“හිටියත් මට මොකද…අපි බයද…?”
ඔහු නොසැළකිලිමත් ලෙස කීවේය. නැන්දා පිටුපස සිට ආලින්දයට පැමිණියේ එවිටය.
“කටහඬවල් ඇහුණාට මං මේ බැලුවේ කවුද කියලා…අපේ අවීශ් පුතානේ…”
මම ඔහු අසළින් නැඟී සිටියෙමි.
“මෙන්න වැඩක්…එතකොට මෙයා දැන් අපේත් වෙලා?…මාරයිනේ…” මම ඇනුම්පද කීවෙමි.
“නැතුව ඉතින්…මොකද අපේ කිව්වාම වෙන්නේ…මෙයාට ඊර්ෂ්‍යාව පුතේ…” නැන්දාද අවීශ් ගේ පසය.
“පැහැදිලි ඊර්ෂ්‍යාව නැන්දා…”
“අම්මෝ…නැන්දලා පුතාලා එක පැත්තක්…අපි දැන් පිටද එතකොට…?”
“නැතුව…බලන්න නැන්දා…ආවා ගමන් කොටි දෙන වගේ හූරලා…මගේ කනත් මිරිකුවා…”
ඔහු කේළම් කියන්නට විය.නැන්දා ද අවීශ් ගේ බාහුව දෙස බැලුවේ මවිතයෙනි.
“දෙවියනේ…! පුතේ…නියපොතු පාර…ඕක සෝදලා මොනවා හරි දාන්න වෙයි…පාරත් හිටලා…” ඈ භීතියෙන් කෑ ගැසුවාය.
“අනේ…මේ නැන්දේ…නිකන් ඉන්න…ඕක මහා ලොකු දෙයක් නෙවේනේ…පොඩ්ඩක් රතු වෙලා…ඕක මොකක්ද…මොකද මෙයා මීට කළින් තුවාල කරන් නැද්ද…?”
“ඔයා නම් ඇත්තමයි ළමයෝ…කිසිම ගානක් නැහැ…ඉන්න පුතේ…මං බේත් ටිකක් දාන්න…”
“එපා…එපා…නැන්දා…ඕක ලොකු දෙයක් නෙවේ…” අවීශ් ඈ වළකාළමින් කිවේය.
“එහෙනම් ඉන්න…මං ඔයාලට බොන්න මොනවා හරි හදන් එන්නම්…”
නැන්දා පිටුපසට යෑමට සූදානම් වන විට මම ඈ වළකාලුවෙමි.
“ඔයා කතා කර…කර…ඉන්නකෝ…ඔයාගේ මහා ලොකු පුතා එක්ක…මං බොන්න හදන් එන්නම්…”
ඇයව බලෙන් මෙන් එහි හිඳුවා මම පිටුපසට පැමිණියේ නදීරාද අමතමිනි.
“හරි කෙනා තමා…” මම නෝක්කාඩු කීවේ බොරුවටය.
“අවීශ් ආවද…?” ඈ මවිතයෙන් ඇසුවාය.
“ආවා…ආවා…චණ්ඩියා වගේ එද්දී මං බැලුවා ඒත්…” නදීරාගේ සිනා හඬ මා සවන් වැකිණ.
“තාත්තලා අද එනවද…?”
“නැහැ…හෙට එයි…”
“හවස සැවෝයි යමුද…අලුත් මුවී එකක් ඇවිත්…” නදීරා ගෙනාවේ හොඳ අදහසකි.
“යමු…නැන්දාවත් එක්ක යන්න වෙනවා…කමක් නැද්ද…? එයාව තනියම දාලා යන්න බැහැ…”
“අයියෝ…කමක් නැහැ අනේ…මාත් අම්මාව එක්ක එන්නම්…එහෙනම්… එතකොට නැන්දටත් පාළුවක් නැහැනේ…”
“ඒක නම් හොඳයි…මං ෂානුටත් කියන්නම්…ඔයා තෙෂාරලාව කන්ටැක් කරගන්නකෝ…”
එසේ පවසා මම ඇමතුම විසන්ධි කළෙමි. මම ඔවුනට බීම සාදන විට චන්ද්‍රම්මා පිටුපස දොරින් ගෙට ගොඩ වුණාය.
“කොහෙද අනේ…ඔයා ගියේ…?” ඇගේ විඩාපත් මුහුණ දෙස බලා මම ඇසීමි.
“ඊයේ පඩි දුන්නානේ ලොකු මැණිකේ… මං බැංකුවට ගියා…”
“පයින්…?”
“නැහැ…ගුණතුංග මහත්තයා ගිහින් ඇරළුවා…මං එද්දී ත්‍රී වීල් එකක් අරන් ආවා…පුතාත් ආව නිසා මං ටිකක් කතා කර කර උන්නා…”
“ආහ්…ඔයා ඉතින් ඔයාගේ පඩිය පුතාට දෙන්නද ඔය තකහනියේ ගියේ…?”
“අනේ නැහැ ලොකු බේබි…මගේ එකා මගෙන් සත පහක් ගන්නේ නැහැ…එයා කැමති නැහැ…මං මෙහෙම මහන්සි වෙනවාටවත්…”
“එයාව මෙහෙ එක්ක එන්න එපැයි ඉතින්…”
“අනේ ලොකු බේබි.. ලොකු නෝනා කැමති නැති වෙයි ඒකට…”
“එයා අද නැහැනේ…”
“හ්ම්ම්…බලමුකෝ ලොකු බේබි…”
“ඔයාට මහන්සි පාටයි…මං බීම හැදුවා… ඔයාත් බොන්න…”
“පින් සිද්ද වෙච්චාවේ ලොකු බේබි…”
ඈ මා දිගු කළ බීම වීදුරුව දෝතට ගනිමින් කීවාය.
“පින් මොකටද චන්ද්‍රම්මා…?”
“එහෙම කියන්න එපා ලොකු බේබී… ලොකු බේබි වගේ කෙනෙක් මං මීට කළින් වැඩ කරපු කිසිම ගෙදරක ඉඳලා නැහැ…ලොකු බේබි මට සළකන්නේ තමුන්ගේම කෙනෙක්ට වගේනේ…”
ඈ දෑසට නැඟි කඳුළක් පිසිමින් කීවාය.
“ඒ පාර අඬනවා…ඔය කඳුළු තියා ගන්න…මං මැරුණදාකට අඬන්න…දැන්ම මොකට අඬනවද…?”
“දෙයියාන්පා ලොකු බේබි…ඒකට නම් දෙකක් දෙන්න ඕන…කට කැඩිච්ච කතා කියනවාට…”
“අනේ…අනේ…චන්ද්‍රම්මා…නිකන් කිව්වේ…”
“නිකමට වත් එහෙම කියන්න එපා ලොකු බේබි…”
“හරි…හරි…ආයේ නොකියා ඉන්නම්කෝ…අවීශ් මහත්තයා ඇවිත් ඉන්නවා…මං මේ එයාට බීම හැදුවේ…”
“අනේ…ලොකු බේබි…අවීශ් මහත්තයා ආවද…?”
“ඔව්..චන්ද්‍රම්මා…ඇයි…?”
“නැහැ…ලොකු බේබි…මහත්තයාට කියලා අපේ කොල්ලට රස්සාවක් හොයා ගන්න පුළුවන්ද අහන්න…දැන් ඉන්න තැන හරියට පඩියක් දෙන්නෙත් නැතිලු…”
“මං කියන්නම්…චන්ද්‍රම්මාත් එන්නකෝ ඕක බීලා…”
“මේ ලොකු බේබි…මං ලොකු බේබිට ගෙනාවෙ…”
ඈ අත් බෑගය හැර මවෙත දිගු කළේ චොකලට්ටුවකි. ඒ දකින විට නම් මා දෑසට කඳුළු පිරිණ.
“අනේ…චන්ද්‍රම්මා…ගොඩාක් ස්තූතියි…ඒත් ඇයි ඔයා ඕවට සල්ලි වියදම් කරන්නේ…අපරාදෙනේ…”
“ආදරෙන් දෙන දෙයක් අපරාදේ වෙන්නේ නැහැලොකු බේබි…මට ලොකු බේබිව මතක් වුණා…”
ඇගේ ඒ කතාවට මා සිතේ ඇති වූයේ අමුතු හැඟීමකි.
“ගොඩාක් ස්තූතියි…ඔයා ඕක බීලා එන්න…”
මම ඇයට එසේ පවසා ආලින්දයට පැමිණියෙමි. තිදෙනා බර කතා බහකය.
“අනේ…නැන්දා…මට කූල් බොන්න හොඳ නැහැනේ..කැස්ස…”
අවීශ් පැවසුවේ නැන්දා දෙස බලා සමාව යදින බැල්මක් මුවේ රඳවාගෙනය.
“එහෙනම් තේකක් හදන්නම්…” මම වහා කීවෙමි.
“අනේ…කරදර වෙන්න එපා…මම…මේක ටිකක් තියලා බොන්නම්…”
“ඒකට කමක් නැහැ අවීශ්…”
“සොරි කරදර කරනවට…අපි අද ආවේ නැන්දගේ අතින් උයන බත් ටිකකුත් කාලම යන්න…නේද ප්‍රසා…?”
ඔහු ඒ පැවසුවේ නම් විහිළුවට නොවන බව මට වැටහිණි.
“ඕක මොකක්ද පුතේ…බත් ටිකක් කාලාම යමු…” නැන්දාද ඇරයුම් කළාය.
“ඔන්න නදීරා…මුවී එකක් බලන්න යමු කිව්ව හවස…නැන්දා ඔයත් යමු…චන්ද්‍රම්මායි මාමාවයි එක්ක ගෙන යමු…”
“ෂා…ඒක නම් හොඳයි…”
“මං ෂානුටත් කිව්වා…”
එසේ කියා මම චන්ද්‍රම්මාගේ අදහසද අවීශ් සමඟ පැවසුවෙමි..
“මේ…ආවේ…චන්ද්‍රම්මා…ඔන්න මං අවීශ් මහත්තයාට කිව්වා…කතා කරගන්නකෝ…”
මම එසේ කියා අවීශ්ට තේ සෑදීමට පිටු පසට පැමිණියෙමි. ඔහු මා රවටන්නට සීතල බීම නොබොන බවක් පවසා තිබූ බව දැන මටම සිනහා නැඟිණි. මා යන විට ඔහු බීම වීදුරුව හිස් කර තිබිණි. පසුව තේ කෝප්පයද බීවේ අප සිනහ නංවමිනි. සියල්ල මෙලෙස සතුටින් ගෙවුණද එය කඳුලක අවසානයක් වේ යැයි සිතුවේ කවුරුන්ද…?