Hima Mal Renu හිම මල් රේණු
නිවස පෙර මෙන් නොවීය. එහි වූ සැනසීම දැන්නම් නැත්තටම නැති වූ සෙයකි. නංගී තවමත් මට මුහුණ දී කතා නොකළාය. ඈ පිළිබඳව මා සිතේ වූයේ අනුකම්පාවකි. මුහුණේ ඇති වූ කැළැල් මේ වන විට නම් මැකී ගොස් තිබිණි. ඈ ටෙලාන්ගේ සබඳකම නවතා ඇතැයි කියා නම් සිතන්නට නොහැකිය. මුල පටන් මෙයට වගකිව යුතු වූයේ පුංචි අම්මාය. ඈ නංගී හැදුවේ, වැඩුවේ කූඩු කළ කිරිල්ලියක ලෙසිනි. මට මෙන් ඇයට ගමේ වුවද මිතුරු මිතුරියන් සිටියේ නැත. මා ලැබූ නිදහස තරම් නිදහසක් ඇයට ලැබුණේද නැත. පිරිමි ළමුන් විෂයෙහි ඇයට මහා ලොකු අත්දැකීමක් තිබුණා යැයි කියා මම නොසිතමි. එවන් අවස්ථාවක් ඇයට ලැබී තිබුණේ නැත. සමාජය පිළිබඳව වුවද ඇයට දැනුමක් ලබා ගන්නට අවස්ථාවක් නොලැබුණේද පුංචි අම්මා නිසාය. ඉඩ ලද සැණින් ඈ තම නිදහසින් උපරිම පළ නෙළාගන්නට සිතුවේ ඒ නිසාය. ටෙලාන්ගේ චාටුකාර මිහිරි කතා බහින් ඈ වසඟ වූයේ මීට පෙර ඇයට පිරිමි යහළුවෙකුද නොසිටි නිසාය. දැන් ඒ කිසිත් සිතා පළක් නැත. මා සිතූ ලෙසම මෙය තෙෂාරා විසින් කරන ලද්දකි. ඈ අපට පසුව මෙය පැවසුවාය.
“යාළුවෙක් මට ටෙක්ස්ට් කරලා තිබ්බා…ටෙලාන් අලුත් ගර්ල් එක්ක ඉන්නවා කියලා…මං එදා හවස ක්ලාස් කට් කරලා ගියේ ඒකට…”
“ඉතින්…?”
නදීරා වුවමනාවෙන් ඇසුවද මම මේ වන විටත් සියල්ල දැන සිටි නිසා නිහඬව සවන් දුනිමි.
“ඉතින්…මොනවා වෙන්නද…? දෙන්නම මගෙන් හොඳට ගුටි කෑවා…මට දැන් ටෙලාන්ගෙන් ඇති වැඩක් නැහැ…ඒත් මේ කරපු කැත වැඩේ නිසා තමා මං මෙහෙම කළේ…”
“ඔයා මාරයි නේ…”
නදීරා පුදුමයට පත්ව කීවාය. නංගී මෙයින්වත් පාඩමක් ඉගෙන ගනීවි යැයි කියා නම් මම නොසිතමි. එසේ වුවහොත් එය පුදුමයකි.
****** ***** ***** ***** ***** ***** *********** ***** ***** ********** *****
එක දිගට ඇද හැළෙන මහා වර්ෂාව දෙස මම සඳළුතලයට වී බලා සිටියෙමි. අහස මහා අමුතුම අඳුරු පැහැයක් ගෙන ඇත. මෙය අද නවතින පාටක්ද නොපෙනේ. මෙවන් වෙලාවට දුම් දමන කිරි කෝපි කෝප්පයක් බීමට ඇත්නම් යැයි සිතමින් මම පහළට පැමිණියෙමි. නිවස තුළ වූයේ නිහඬ බවකි. සිහින් හඬින් කෙරෙන කතා බහක් මා සවන් වැකුණේ මා මුළුතැන්ගෙයට යෑමට සූදානම් වන විටය. ඒ නංගී ය. ඈ දුරකථනයෙන් කතා බහකය. එකත් එකටම ඒ ටෙලාන් සමඟ වන්නට ඇතැයි මම අනුමාන කළෙමි. තාත්තා ඇයට දුරකථනය තහනම් කර තිබියදී ඈ ස්ථාවර දුරකථනයෙන් ඔහු අමතන්නට සිතුවා වන්නට ඇත.
“අනේ…මට ගෙදරින් එළියට එන්න විදියක් නැහැ…අම්මාට හොරෙන් මම මේ කතා කරන්නේ…”
මම හුන් තැනින් මෑත්ව වහා තරප්පු පෙළ නැඟ මගේ කාමරයට පැමිණියේ ඈ මා දකින්නට පෙරය. නංගී තවමත් මේ සබඳතාවය පවත්වාගෙන යනවාට මීට වඩා සාක්ෂියක් වුවමනා නැත.
“කීවා නාහන ගුරු උඩින් ගියත් එකයි… බිමින් ගියත් එකයි” කියා කියමනක් ඇත. පසුව මම නැන්දා හා මේ පිළිබඳව පැවසීමි.
“එයා ඕන දෙයක් කරගත්තාවේ…තාත්තලා අම්මලා දූලා ඕන එකක් කරගත්තාවේ…”
“ඒත් නැන්දා ඒ නංගීනේ…”
“නංගී…? නංගී තමා…මේ කෙල්ලගේ පුදුම හොර හිතක් නේ තියෙන්නේ…මේ ඊයේ පෙරේදාත් මං අහගෙන අයියට කියනවා ඒක ඉවරයි කියලා…සේරම බොරුනේ…කාවද මෙයා මේ රවට්ටන්න හදන්නේ…?”
නැන්දා කතා කළේ කෝපයෙනි. නංගී නිවස තුළ ගත කරන ඇල්මැරුණු ජීවිතය දැක මම තාත්තා හා කීවේ ඇයව කුමක් හෝ පාඨමාලාවකට යොමු කරන ලෙස මුත් ඔහු එය එකහෙළාම ප්‍රතික්ෂේප කළේ ඈ ඉනුත් අයුතු ප්‍රයෝජන ගනු ඇතැයි සිතාය. ඇගේ ප්‍රතිඵල නිකුත් වුවද, ඈ කිසිදු විෂයක් ඉහළින් සමත් වී නොතිබුණාය. සියල්ල සාමාන්‍ය සාමාර්ථයන්ය.
“පුදුමයි…ඔහොමවත් පාස් වුණා…මම නම් හිතුවේ නැහැ ඔහොමවත් පාස් වෙයි කියලා…”
තාත්තා ගේ හඬේ වූයේ කෝපයකි. කාලය ඉක්මනින් ගෙවී ගියේය. උසස් පෙළ අවසන් වූයේ අප හිස් මත වූ බර සැහැල්ලු කොටය. විභාගය අවසන් වූ දිනට පසු දිනම මාත් නැන්දාත් ගමට පැමිණියෙමු. අවීශ් සමඟ අනික් අයද පැමිණියේ පසු දිනය. මෙදා වතාවේ තෙෂාරාද ඔවුන් සමඟ විය.
“මෙහෙ හරි ෂෝක් නේද…?” නදීරා මෙන්ම ඇයද වශීව ගිය සෙයකි.
“ගොඩේ පළාත් නේ…”
මම ඇයට ඇනුම්පදයක් එල්ල කළෙමි. එදා සතුරුව සිටි අපි දැන් මිතුරුව සිටිමු. එය පුදුමාකාරය. නදීරා වහා තෙෂාරා දෙස බලන විට ඈ මදෙස බැලුවේ තිගැස්මෙනි.
“අනේ…ඔයා තාම ඒක හිතේ තියන් ඉන්නවද…?”
ඈ මගේ අතක් තරයේ අල්ලා ගනිමින් කීවාය.
“පිස්සුද තෙෂා…මං ඒක විහිළුවට කිව්වේ…”
****** ****** ***** ***** ****** ***** *********** ****** ***** **********
වැඩි දිනක් ඔවුන් එහි රැඳී නොසිටියෝය. ඊළඟ සතියේ අපි සැවොම හදාරන්නට සිටි පාඨමාලාවන් අරඹන නිසා අපි දින කීපයකින් යළි කොළඹ පැමිණියෙමු.
අපේ පාඨමාලාවන් ඇරඹුණ දා පටන් අපි එය අවසන්ව නිවසට පැමිණියේ අවීශ් සමඟය. තාත්තා හෝ ගුණතුංග මාමා උදෑසන ගෙනවිත් හැරළුවද, අවීශ් අපව කැඳවාගෙන පැමිණියේය. දිනක් මා නිවස අසළින්ම බසින විට පුංචි අම්මා ගේට්ටුව අසළය. අවීශ්ට අත වනාගෙනම මම ආපසු හැරෙන විට ඈ මා දෙස බලා සිටියේ මම මහා අපරාධයක් කර නිවසට පැමිණියාක් බඳු බැල්මකිනි. ඒ පිළිබඳව තැකීමක් හෝ නොකර මම ගෙතුළට එන විට නැන්දා දොරකඩය.
“මහ තැන දොරටු පාල වෙලා…වාහනෙන් බහිනවා දැක්කද…?”
මා මුවට සිනහාවක් නංවමිනි ඈ ඇසුවේ උපහාසයෙනි.
“ඒකනේ…මොකෝ එයා පාරට වෙලා…?”
“තාත්තා නංගිව එක්කන් එළියට ගියා…ඔය එනකල් මඟ බලන් ඉන්නේ…”
“තාත්තා නැති පාළුවටද…?”
“පිස්සු…මෙයාව දාලා ගිය දුකට ඔය මඟ බලන් ඉන්නවා ඇත්තේ…”
“පව් ඉතින්…එයාවත් එක්ක යන්න එපැයි…”
“මායි කිව්වේ නංගීව ටිකක් එළියට එක්ක යන්න කියලා…ඒ ළමයා මේක ඇතුළේ හිර වෙලා…ටිකක් එයා එක්ක කතා කරන්න කියලා…අඩුම තරමේ හිතවත් හැදෙන්න…”
එය නම් හොඳ අදහසකි.
“නංගීට හරි හමන් යාළුවෙක් වත් හිටියේ නැහැනේ…ඒකයි මූලිකම හේතුව…”
“හ්ම්ම්..මේ අරයා දැක්කද අවීශ්ව…?”
ඈ හදිසියේ සිහිවූවාක් මෙන් ඇසුවාය.
“දකින්න විදියක් නැහැ…ෂටර් එක වහලා තිබ්බේ…දැක්කත් මට මොකද…?”
“අද ඕක අයියාගේ කනේ නොතිබ්බොත් මං මගේ කන කපා ගන්නවා…”
මා මුවට සිනහාවක් නංවමින් ඈ කීවාය. අවීශ් කෙටි පණිවිඩයක් එවා අසා තිබුණේ පුංචි අම්මා ඔහු දැක ප්‍රශ්නයක් ඇති වූවාද කියාය. තවම නැතැයි මම පිළිතුරු ලෙස යැවූයේ සිනහා මුහුණක්ද සහිතවය. කෙසේ නමුත් නැන්දාට තම කන කපා දැමීමට වුවමනා වූයේ නැත. ඇගේ කන සුරක්ෂිතය. පසු දින සවස මා නිවසට එන විට තාත්තා පෙරමඟ බලා සිටියේ පුංචි අම්මා පෙරදිනම එය ඔහු හා පවසා තිබූ නිසාය.
“මොකේද ආවේ…?” ඔහු මා මඟ අවුරා සිටගෙන මා විමසුවේය.
“වෙහිකල් එකේ…” නොසැළකිලිමත් ලෙස මම කීවෙමි.
“වෙහිකල් එකක කියලා මාත් දැක්කා…කාගේ වෙහිකල් එකේද…?”
එවර ඔහු ඇසුවේ තද ස්වරයෙනි. මා සිතේ ඇති වූයේ නොසතුටකි.
“අවීශ්ලාගේ වෙහිකල් එකේ…වෙනදාටත් ආවේ ඒකේ තමා…”
මම එසේ පවසා ඔහු පසුකර පියමැන්නෙමි.
“කවුද අවීශ් කියන්නේ…කාගේ කවුද…?”
එම හඬින් මම ආපසු හැරුණෙමි. හාත්පස අඳුරේ ගිළී යමින් තිබිණි. අද රාත්‍රියේදීත් මහා වැස්සක් ඇද හැළෙනු ඇතැයි කියා ඒ අස්සේ මට සිතිණි. තාත්තාගේ මුහුණත් ඒ අඳුරු අහසත් අතර වෙනසක් නැතිවාක් මෙනි.
“තාත්තා ඇයි කවදාවත් නැතිව ඔහොම ප්‍රශ්න අහන්නේ…?”
සිතේ වූ නොසන්සුන් බව මුහුණින් හෝ නොපෙන්වීමට ප්‍රවේශම් වෙමින් මම ඇසුවේ පොත් කීපය ළැමැදට තුරුළු කොට ගනිමිනි. සීතල සුළඟක් ගත සිප හමා ගියෙන් මා සිතද තරමක් හෝ දුරට එයින් සන්සුන් වූවාක් මෙන් මට දැනිණි.
“ප්‍රශ්න අහන්නේ දැන ගන්නනේ…”
“තාත්තා මෙච්චර කාලේකට එහෙම ප්‍රශ්න ඇහුවේ නැහැනේ…අනික මං තාත්තට කිව්වානේ…ආවේ කා එක්කද කියලා…එහෙම තියෙද්දි තව තව ප්‍රශ්න අහන්න හේතුවක් නැහැනෙ…”
“අහන්න හේතුවක් තියන නිසා තමා ඇහුවේ…දැන් අර එක්කෙනෙකුත් නැටුවේ හොඳ නාඩහමක්…” ඔහු කෝපයෙන් කීවේය.
“දැන් එතකොට මේ…මාවත් එයා ගානටම දාලාද තාත්තා කතා කරන්නේ…? මට නාඩගම් නටන්න ඕන නම් මං වාහනේ ගේ ළඟටම එන්නේ නැහැ…මඟින් බැහැලා පයින් එනවා…නැත්නම් ට්‍රයි ෂෝ එකක් ගන්නවා…අවීශ් එක්ක ආවේ…නොකියා වෙන කාගෙ හරි නමක් කියනවා…”
මා කී දෙයින් තාත්තා තිගැස්සී ගියේය.
“යන්නේ එන්නේ කා එක්කද කියලා මං අහපු එක වැරදිද…?”
“නැහැ…ඒක වැරදි නැහැ…ඒක අහපු විදිය වැරදියි…මම හොර වැඩක් කළා වගේනේ තාත්තා මඟ බලන් ඉඳලා…ගෙට ගොඩ වෙන්නවත් නොදී ප්‍රශ්න අහන්නේ…කා එක්කද ආවේ ඇහුවා…මං ඒකට උත්තරේ දුන්නානේ…ඊට පස්සේ අහනවා කාගේ කවුද කියලා…මං එයාලාගේ පරම්පරාව ගැන දන්නේ නැහැ…”
“ඔව්…මං ඇහුවා තමා…මං ආයෙමත් අහනවා එයා කාගෙ කවුද කියලා…පරම්පරාව නොදන්නවා වුණාට අම්මා, අප්පා කවුද කියලා නොදැන ඉන්න බැහැනෙ…”
“අවීශ් මගේ පන්තියේ යාළුවෙක්… අවීශ් දැරණියගල…දැරණියගල හොටෙල්ස් අයිති එයාලට…”
“දැරණියගල…?”
තාත්තා ඒ නම ඇසූ පමණින් කෝපයට පත් වූයේ දණ්ඩෙන් පහර කෑ නාගයෙකු මෙනි. එම කෑ ගැසීමට මමද බිය වූයෙමි.
“ඇයි තාත්තා…දැන් ඔහොම කෑ ගහන්නේ..?
සිත තුළ සියුම් තැති ගැන්මක් ඇති වුවද මම ඒ බවක් නොපෙන්වා අසන විට තාත්තා තරමක් දුරට සන්සුන් වීමට උත්සාහ දැරීය.
“මීට පස්සේ එයා එක්ක ගමන් බිමන් බැහැ…තේරුණාද…?”
“ඒ ඇයි තාත්තේ…?” මා ඇසුවේ දෑස් විසල් කොට ගෙනය.
“මම කිව්වේ බැහැ කියලා…හේතු අවශ්‍ය නැහැ…”
දැඩි හඬින් ඔහු පැවසූ අතර මම අසරණ දෑසින් මොහොතක් ඔහු දෙස බලා සිටියෙමි. මේ මොහොතේ ඔහු සිටින්නේ කෝපයෙනි. ඒ නිසා තව දුරටත් ඔහු සමඟ කතා බහ කර පළක් නොවන බව දැන මම ආපසු හැරෙන විට පුංචි අම්මාත් නංගීත් දොරකඩින් මෑත්වනු මම දුටිමි. සියල්ල අවුළා තබා දැන් සියල්ල අසා සිට කිසිත් නොදන්නාක් මෙන් හැසිරෙන මේ ගැහැනිය මා සිතේ කෝපයක් අවුළුවාළීය. ආලින්දය හරහා විත් මම තරප්පු පෙළ නැංගේ ඔවුන් දෙස නෙත් කොණින් හෝ නොබලමිනි. සිතට යම් කිසි දුකක් නොදැනුණා නොවේ යැයි කීවොත් එය මුසාවකි. නමුත් මා පුංචි දෙයටත් හඬා වැටෙන බොළඳියක නොවූයෙමි. තාත්තා ඉදිරියේ වුවද හැඟීම් සඟවාගෙන සිටීමට හැකි වීම පිළිබඳව මම සතුටු වූයෙමි. මා හඬාගෙන කාමරයට දිව ආවා නම් පුංචි අම්මා මෙන් තාත්තාද මාත් අවීශුත් අතර සබඳ කමක් ඇතැයි සිතන්නට ඉඩ තිබිණ. එවැන්නකට ඉඩ දී තම හිතළු සැබෑ යැයි සිතා ඔවුනට සතුටු වන්නට ඉඩ දෙන්නේ මන්ද.? කෙසේ නමුත් දැන් නම් ඔවුන් සිත යටින් සතුටු වනවා ඇත. මා.මුවටද සිනහා නැඟුණේ එම මෝඩ සිතුවිළි සිහි වීමෙනි. නැන්දා කාමරයට එන විටත් මම අවීශ් ඇඳි සිතුවම දෙස බලාන එයට සිනහසෙමින් සිටියෙමි.
“මොකද මේ…තනියම හිනා වෙන්නේ…?”
ඈ විමසුම් බැල්මක් මවෙත හෙළමින් විත් මා පසෙක හිඳ ගත්තාය.
“ඔයා…ආවේ මං කාමරේට ඇවිත්…මූණ පුම්බන්…හොටු පෙර පෙර අඬනවා බලන්න නම්…වෙරි සොරි…ඔයාගේ බලාපොරොත්තු කඩ වුණාට…”
“අනේ…අනේ…ළමයෝ…ඔයා මගේ සතුට විනාශ කළා…මං හිතුවේම එහෙමයි…” ඇයද සිනහාසෙමින් කීවාය.
“කොට්ටේ තෙත් වෙනකල්…?”
“ඔව්…අනේ…”
“පිස්සු නැතුවට…මං මොකටද අඬන්නේ…? ඔන්න ඔයාට කන කපා ගන්නත් ඕන වෙන්නේ නැහැ…”
මා කී කතාවට නැන්දා උස් හඬින් සිනහාසුණාය.
“මාත් බයේ හිටියේ…කන කපන්න වෙයි කියලා…මං දැක්කා ඊයෙත් දෙන්නා පුටු පුටු ගගා ඉන්නවා…හවසත් අයියා ළඟටම වෙලා ඉඳන් මොන, මොනවා හරි කියෙව්වා… ඊට පස්සෙ තමා එයා මිදුලට බැහැලා ගේට්ටුවත් ඇරන් මඟ බලන් උන්නේ…”
“මටත් ඕක හිතුණා…”
“දැන් ඉතින් මූණ පුම්බන් කාමරේට වෙලා ඉන්නැතුව හිනා වෙලා සතුටින් ඉන්න…නැත්නම් හිතයි තාත්තා කියපු ඒවට දුක හිතිලා මූඩ් ගහලා කියලා…”
“ඒක තමා මේ මාත් හිත හිත හිටියේ..පව් අප්පා අසරණී…”
අපි දෙදෙන එකතුව උස් හඬින් සිනහාසුණේ පහළටද ඇසෙන්නට සිතාමතාමය.
පසුව මාත් නැන්දාත් එකතුව රාත්‍රී අතුරු පසට පුඩිමක් සෑදුවෙමු. චන්ද්‍රම්මාද අපට සහාය වූවාය. අපි සිනහසෙමින් මුළුතැන්ගෙයි සිටින විට පුංචි අම්මා දෙතුන් වරක් හිස පොවා බලා ගියේ නොරිස්සුම් මුහුණිනි. අපි එයටද සිනහසුණෙමු. තාත්තාද ඉව අල්ලමින් එහි පැමිණියේය
“හොඳ සුවඳක් එනවා…මොනවද හදන්නේ…?”
ඔහු විමසුවේය. මේ මොහොතේ ඔහුගේ නිෂ්ඵල කෝපය අතුරුදහන්ව තිබූ අතර මුහුණේ අඳුරද පළා ගොස් තිබිණි.
“පුඩිමක්..” නැන්දා තාත්තාට උත්තර බැන්දාය.
“පුඩිම් කාලා උඩින් යන්න වෙයිද දන්නැහැ…” එසේ පවසා තාත්තා පිටව ගියේය.
මාත් නැන්දාත් කතා බහ කරමින් සිටින තැනට නංගීද පැමිණෙන විට මම පුදුම වූයෙමි. ඒ මොහොතේ මාත් නැන්දාත් මහ හඬින් සිනහාසෙමින් සිටියේ තේෂාන් කළ විහිළුවක් සිහි කරමිනි.
“ඔයා කොහොමද අනේ ඔච්චර සැහැල්ලුවෙන් හිනා වෙන්නේ…?”
නංගී මා පසෙක හිඳ ගත්තේ එසේ අසමිනි.
“ඇයි…එහෙම අහන්නේ…?”
මම එය වටහා ගන්නට නොහැකිව ඇසීමි.
“නැහැ ඉතින්…තාත්තා ඔයාට කිව්වානේ අර බෝයි එක්ක මිට පස්සේ ගමන් බිමන් යාම තහනම් කියලා…”
මා සිනහාමුවෙන් නැන්දා දෙස බැලීමි.
“ආහ්…ඒකද…? ඉතින් ඒකට මම මූඩ් ගහන් ඉන්න ඕනද…? අනික එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් නෙවේනේ…”
එසේ කී මම තවත් උස් හඬින් සිනහාසෙන විට නංගී දෑස් අයා මා දෙස බලා සිටියාය. ඈ මේ කාලයකට පසු මා සමඟ කතා බහ කරන්නට පැමිණ තිබුණේ ඒ ගැනය. ඒ මට ඇති ආදරයකට නොවන බව මට වැටහී ගියේය. සමහරවිට පුංචි අම්මා ඇයව එවා ඇතිවා වන්නට පුළුවන.
“එතකොට ඔයා එයාව ආශ්‍රය කළේ ජෝක් එකකටද…?”
මම පුදුමයෙන් නංගී දෙස බැලීමි.
“ජෝක්…? ඒ මොකෝ…අවීශ් කියන්නේ මගේ හොඳම යාළුවෙක්…තාත්තා වගේ ඔයත් හිතන් ඉන්නේ එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලාද…?”
“ඔය ඇත්තමද…?”
“විකාර…ඇත්ත තමා…ඇයි ඔයාට ෂුවර් නැද්ද…?”
“නැහැ…මං නිකමට ඇහුවේ…ඔයා ඔය තරම් රිලෑක්ස් එකේ ඉන්න විදියට නම් ඒක පිළිගන්න පුළුවන්…”
“මොකක්ද…?”
“ඔයාලා යාළුවො කියලා…එහෙම නොවුණා නම් ඔයා ඔහොම ඉඳියි…” එසේ කී නංගී නැඟිට ගෙතුළට ගියාය.
“දැන් ගිහින් කියයි…” නැන්දා කීවාය.
“මොනවා කියන්න්ද නැන්දේ…අපි අතරේ ඇත්තටම එහෙම දෙයක්ක් නැහැනේ…තාත්තා අරයගේ කේළම් අහන් දුම්මල වරම අතට ගත්තා වගේ ආවේශ වෙලා දඟලනවා…”
“එයා බයේ ඇති…දැරණියගලගේ නම ඇහුවාම ඔයාලා අතරේ අෆෙයාර් එකක් ඇති කියලා…”
“එච්චර එයාට බය වෙන්න තරම් දෙයක් ඇති වෙන්න හේතුවක් නැහැනේ…” නැන්දා නිහඬය.
“එහෙම දෙයක් ඇති වුණත් ඒකට නම් එයා ඉඩ දෙන එකක් නැහැ…”
නැන්දා ඒ කළේ අනතුරු ඇඟවීමක්ද.?
“නූපන් දරුවන්ට කේන්දර හදන්නේ නැතුව ඉන්න…” මඳහසක් පාමින් මම කීවෙමි.