Hima Mal Renu හිම මල් රේණු – 30 වෙනි කොටස
නංගී මා දකින විටත් මුව ඇද කරගෙන හෝ මට ගස්සමින් ඉවත යනු දකින වාරයක් පාසා මා සිතේ ඈ කෙරෙහි ඉපදුණේ කිව නොහැකි අනුකම්පාවක් මිස කෝපයක් නොවේ. ඇයට අවවාද දී පලක් නැති බව දැන ඇගේ හැසිරීම දෙස මා බලා සිටියේ උපේක්ෂා සහගත හැඟීමකින් වුවද, නැන්දා නම් ඒවා රිස්සුවේ නැත.
“මේ කෙල්ලගේ මෙච්චර මහන්තත්ත කමක්…හොස්ස බිම ඇණ ගත්තදාට තේරෙයි…” ඈ කතා කළේ කෝපයෙනි.
“අල්ලලා දාන්න නැන්දේ…අම්මා ඉන්නවානේ…එයා බලාගනියි…”
“එයා නිසා තමා මෙයා මෙහෙම උඩ පනින්නේ…”
“නංගිට වැරැද්දක් වුණොත්…ඒකට වගකියන්න ඕන පුංචි අම්මා…”
“ඕවත් අහක ඉන්න අපේ පිටින් යයි…විභාගෙට මොනවා ලිව්වද දන්නැහැ… කොයි වෙලාවකවත් පොතක් පතක් අතින් ඇල්ලුවේ නැහැනේ…ෆෝන් එකේනේ එල්ලිලා හිටියේ…”
නැන්දා කියන විට මම දිගු සුසුමක් හෙළීමි. ඈ අමතර පන්තියකට වුවද නිසියාකාරව සහාභාගී වූවා යැයි කියා මම නොසිතමි. විභාගයද අවසන්ව ඇති නිසා දැන් ඇයට නිවසින් බැහැරව යෑමටද හැකියාවක් නැත. ඈ නිවසට වී සිටින්නේ නොසන්සුන් කමින් බව මම දැන සිටියෙමි. ජංගම දුරකථනයද තවමත් තාත්තා බාරයේය.
එළඹි සෙනසුරාදා දින තාත්තා රාජකාරී කටයුතු කීපයකට කියා පිටව ගිය අතර යළි පැමිණෙන විට රෑ බෝවනු ඇතැයි පවසා ගුණතුංග මාමාට කියා පන්තියට හැරළවා ගැනීමටත්, යළි ඔහු සමඟම පැමිණෙන ලෙසත් මා හා පැවසුවේ පෙර දින රාත්‍රියේය. අවීශ් සමඟ පැමිණිය හැකි බව මම ඔහු සමඟ පැවසීමට නොගියේ මේ දිනවල ඔහු සිටින්නේ කෝපයෙන් සහ නොසන්සුන්වත්ව නිසා එම කෝපය මා පිටිනුත් යනු ඇතැයි බියෙනි. නංගී නිසා සිත් තැවුළෙන් පසු වන විට මාත් තව අමතර තැවුළක් ඇති කරන්නේ මන්ද කියා මම සිතුවෙමි. එදින මාත් නදීරාත් පන්තියට යන විට ශාලාවේ අසුනක තනිව හිඳ සිටියේ තෙෂාරා පමණක් බව දුර තියා දුටිමි.
“මොකෝ තනියම…කෝ තේෂාන්ලා…?”
ඈ සමඟ අසුන් ගනිමින් මම ඇසුවෙමි. ඇයත් සමඟ කතා බහ කිරීමට මටද වුවමනා වී තිබිණ.
“එයාලා එළියට ගියා…මං ඔයාලා එනකල් හිටියේ…අවීශ් මා එක්ක කතා කරන්නේත් නැහැනෙ…ඒ නිසා මං එයාලා එක්ක යන එකත් හරි නැහැනේ…”
මාත් නදීරාත් මුහුණින්, මුහුණ බලා ගත්තේ එයට කුමක් පැවසිය යුතුදැයි නොදැනය.
“වැඩිහිටියෝ ඇඹුල් කද්දී හිරි වැටෙන්නේ දරුවන්ගේ දත්ලු…” ඇයම යළිත් කීවාය.
“ඒ කිව්වේ…?”
ඈ කී කතාවේ තේරුම මා දැන සිටියද එය නොවැටහුණාක් මෙන් ඇසීමි.
“මට ඕන වුණේ අවීශ්ව යාළු කරන් දවසක එයාටම රිද්දන්නයි ආරාණ්‍යා…ඒත් මං හිතපු විදියට ඒක කරන්න බැරි වුණා…මට ඕනකම තිබුණේ පළිගන්න…මගේ අම්මා අද ලෙඩෙක් වෙලා ඉන්නේ අවීශ් ගේ තාත්තා නිසා ආරාණ්‍යා…”
ඈ නොහඬා සිටින්නට තැත් කළද, එය අසාර්ථක ප්‍රයත්නයක් විය. කඳුළැල් කම්මුල් මතින් ගලා යන විට ඈ අත රැඳි ලේන්සුව ගෙන වහා, වහා ඒවා පිස දැමුවාය. මම ඇගේ අතක් තරයේ අල්ලා ගතිමි.
“තාත්තා අම්මාව දාලා යන්න හේතුව අම්මා දැරණියගල එක්ක තිබ්බ අෆෙයාර් එකක් කියලා මං දැන ගත්තේ හුඟාක් කාලෙකට පස්සේ…එතකොටත් මගේ හිතේ අවීශ් ගැන අදහසක් තිබුණා…ඒත් ඒක දැන ගත්තාම මං අවීශ්ට වෛර කරන්න පටන් ගත්තා…මට ඕන වුණේ පළි ගන්න…කවුරු හරි එයා එක්ක යාළු වුණොත් මගේ අරමුණ ඉටු වෙන්නේ නැහැ කියලා මට හිතුණා…මං සාක්ෂිට නපුරු වුණේ බයට…එයා අවීශ් එක්ක යාළුවෙයි කියලා හිතලා…ඊට පස්සෙ ඔයා ආවා… සාක්ෂි පරාජය බාර අරන් යන්න ගියත් ඔයා එහෙම වුණේ නැහැනේ…”
ඈ මොහොතකට නිහඬ වූවාය.
“මට සමාවෙන්න ආරාණ්‍යා…දැන් මගේ හිතේ අවීශ් ගැන තරහක් වෛරයක් නැහැ…මට දැනෙන්නේ මං ගැන ලඦ්ජාවක්…දැන් මට තේරෙනවා…පළි අරගෙනවත්…වෛර කරලාවත් වැඩක් නැහැ කියලා…ඒත් මං ටෙලාන්ට ආදරේ කළේ ඇත්තටම…ඒත් එයා එහෙම නැහැ…මං අන්ධයෙක් වගේ මෝඩයෙක් වගේ එයා ගැන හිතනවා…තාමත් එහෙමයි… එයාට ඕන ආදරේ නෙවේ…එන්ජෝයි කරන්න…”
මේ මොහොතේ නංගී ළඟ සිටියා නම් කියා මට සිතිණි. අවසන් මොහොතේ හෝ ඇයට මේ සියල්ල අවබෝධ වීම කෙතරම් හොඳද..? මා නංගී ගැන ඇයට කීමට සූදානම් වන විටම අවීශ්ලා ශාලාවට පැමිණියෙන් මම නිහඬ වීමි. තෙෂාරා උදෑසන පන්තිය අවසන් වූ විගස හදිසි වුවමනාවක් බව කියමින් පිටව ගියේ ටෙලාන් හමුවීමටදැයි කියා සැකයක් මා සිතේ ඇති විය.
“අනේ මංදා ආරාණ්‍යා…උදේ එකක් කිව්වා…දැන් හදිසියේම යන්න ගියා…ෂුවර් එකටම ටෙලාන්ගෙන් මෙසේජ් එකක් එන්න ඇති…ගෑණුන්ගේ හිත් නම් ඇත්තමයි…” නදීරා කීවේ නොසතුටෙනි.
“ඔයාත් කාන්තා පාර්වශයෙනේ…” මම සිනහාසෙමින් කීවෙමි.
“ඒත්…මම නම් ඔය මඩේ හිටවපු ඉන්නක් වගේ වැනෙන්නේ නැහැ…කියන්නේ එකක්…කරන්නේ තව එකක්…”
එය සත්‍යයක් නිසා මම නිහඬව සිටියෙමි. තෙෂාරා විවේකයෙන් පසුව පන්තියට සහභාගී නොවන විට අපට සිතන්නට ඉතුරුව තිබුණේ එකම දෙයකි.
ඈ ටෙලාන් සමඟ කොහේ හෝ යන්නට ඇත…
******* ****** ******* ****** ******* ************** ****** ******* ******
නිවසට ගොඩ වන විටම මට දැනුණේ අමුත්තකි. පුංචි අම්මා හෝ නංගී පෙනෙන්නට නොවූ අතර නිවස තුළ වූයේ අමුතු නිහඬ බවකි. මම කාමරයට යෑමට පෙර නැන්දා සොයා පිටුපසට ඇදෙන විට ගුණතුංග මාමාත් මා සමඟම පැමිණියේය. නැන්දාත්, චන්ද්‍රම්මාත් මුළුතැන්ගෙයට වී කිසිදු හැළ හොල්මනක් නැතුව බලාගත් අත බලා සිටිනු දැක මා සිතේ ඇති වූයේ කුහුළකි.
“නැන්දේ…”
මා අමතන හඬින් තිගැස්සී ගිය ඈ මුවේ ඇඳ ගත්තේ කෘතිම සිනහවකි. කුමක් හෝ දෙයක් සිදුව ඇත.
“ඔයාලා ආවද…වාහනේ එන එකවත් ඇහුණේ නැහැනේ…” නැන්දා කීවාය.
“වාහනේ තියා අපි මෙතන්ට එනකලුත් දන්නේ නැහැනේ…නේද මාමේ…?” මම.ඇනුම්පදයක් එල්ල කළෙමි.
“අනේද කියන්නේ…දාහට අරන් සතේට දීලා වගේනේ රේඛා…”
ගුණතුංග මාමාද එසේ කියා අසුනක් ඇද හිඳ ගත්තේ නැන්දා දෙස වුවමනාවෙන් බලමිනි.
“චන්ද්‍රා…වතුර ටිකක් තියන්නකෝ…අපි තේ ටිකක් බීලා ඉමු…”
නැන්දාගේ මුහුණේ අඳුරු වළාවකි. අපි නැති අතරේ කුමක් හෝ සිදුව ඇත. නැත්නම් එය සිදුව ඇත්තේ ගුණතුංග මාමා මා කැඳවා ගෙන ඒමට ගිය අතර තුරය. නොඑසේනම් ඔහුද මෙය දැන සිටිනු ඇත.
“මොකද අනේ…මොකක් හරි ප්‍රශ්නයක්ද…?”
ඇගේ නිහඬ බව නිසාම නොසතුටෙන් මම යළිත් ඇසීමි. චන්ද්‍රම්මා කේතලයට වතුර පුරවා ළිප මත තබන විට නැන්දා කිසිත් නොකියාම අනෙකුත් අඩුම කුඩුම සූදානම් කළාය. හාරා හාරා ප්‍රශ්න කිරීමට යෑමෙන් සිදුවන්නේ කිසිත් දැන ගන්නට නොලැබීම නිසා මමද නිහඬව කෝප්ප ටික සෝදා නැන්දාට සහාය වීමි.
“අම්මාටයි දුවටයි තේ ඕන නැහැ…ඕන නම් හදන් බොන්නැතෑ…”
නැන්දා නංගීගේත් පුංචි අම්මාගේත් කෝප්ප දෙක යළි රාක්කයේම එල්ලමින් කීවේ කෝපයෙනි. එසේ නම් මෙයට මූළික හේතුව වී ඇත්තේ ඔවුන් දෙදෙනාය.
“හරි වැඩේනේ වුණේ අයියේ…ඔයා ගියාට පස්සේ…”
නැන්දා කතා කරන්නට පටන් ගත්තාය.
“ඒ මොකක්ද…?” ගුණතුංග මාමාද කුහුළින් විමසුවේය.
“චූටි දුව උදේ ඔයා ගිහින් ඇරලෙව්වා නේද අර යාළුවගෙ ගෙදරට…?”
“ඔව්…ඉතින්…?”
“මේ කෙල්ල දවල් ගෙදර යනවා කියලා ඇවිත්…අර ටෙලාන් මුණ ගැහෙන්න ගිහිල්ලා…” ඒ ඇසූ අපි පුදුමයට පත් වූයෙමු.
“තාත්තා එළියට යන්න එපා කියලා තියෙද්දීත් මෙයා ගියාද…?”
“අයියා උදෙන්ම ගියේ…ඔයාව ක්ලාස් ගිහින් දාලා ආව වෙලේ ඉඳන් නාහෙන් අඬනවා යාළුවෙක්ගෙ ගෙදර යන්න ඕන කියා කියා…මනෝරි ඉතින් හා කිව්වා… අයියාත් නැහැනේ ගෙදර…”
“තාම ඉතින් එයා ගෙදර ආවේ නැත්ද…දැන් තාත්තා ගෙදර ආවොත් මොනවා වෙයිද… අනික තාත්තා දැන ගත්තොත්…?”
තැති ගත් හඬින් මම ඇසීමි.
“තාත්තා දැන ගත්තොත් නෙවේ…දැන ගත්තා…එයා ආවා දෝණියන්දෑ එක්කගෙන ගෙදරටම…”
“මොනවා…! ඉතින්…එයා නංගීට ගැහුවද…?”
“නංගීට එයා ගහන්න ඕන නැහැ…එයා කවුද කෙල්ලෙක්ගෙන් හොඳට ගුටි කාලා…ගෙදර එන්න බැරිව…ආයේම අර යාළුවාගේ ගෙදර ගිහින්…ඒ ළමයා තමා තාත්තට කතා කරලා කියලා තියෙන්නේ…”
මා සිතේ භීතියක් හට ගැනිණ. මෙතරම් දෙයක් සිදුව ඇති බව මම දැන නොසිටියෙමි.
“දැන් කෝ මාවන්…?’
“අයියා…ආයේ ගියා …ඒ මනුස්සයා කොහෙද දුර ඉඳන් ඇවිත් තියෙන්නේ…වැඩටක ගිය ගමන්…මේකිව හම ගහලා මදි…මූණ බලන්නත් බයයි ලොකු දුව… හොඳටම ඉදිමිලා…හීරිලා…ගන්න දෙයක් නැහැ…”
මට සිහි වූයේ තෙෂාරාය. වෙන කිසිවෙකු මෙසේ කරන්නට ඉඩක් නැත. ඈ පන්තියට නොඉඳ ගියේ මේ හේතුව නිසා බව සැකයක් නැත.
“කවුද රේඛා ගහලා තියෙන්නේ…?”
“ටෙලාන් එක්ක යාළු කෙල්ලෙක් වෙන්නැති අයියේ…”
“කෝ දැන් නංගී…?”
“නංගී කාමරේ…ඔයා යන්න එපා…අම්මයි දුවයි දෙන්නම හොඳට ගුටි කාලා ඉන්නේ අද…”
“තාත්තා පුංචිටත් ගැහුවද…?”
“මරන්න ගියා…මායි චන්ද්‍රයි එකතු වෙලා බේර නොගත්තා නම් මැරෙනවා…”
“මොනවා…!”
“පොලිසියට කම්ප්ලේන් කරලා නැද්ද…?” ගුණතුංග මාමා ඇසීය.
“පිස්සුද අයියේ…? ඕවට කම්ප්ලේන් දාන්න පුළුවන්ද…මඟුල් විසේ ඔළුවට ගහලා තියෙන්නේ…කවුරුත් කියන දෙයක් අහන කෙනෙක්ද…පොලීසි ගානෙ ගියොත් තවත් ලැජ්ජාව එයාටම තමා…”
නැන්දා කතා කළේ කෝපයෙනි.
“මේ ළමයා දැන්වත් මට්ටු වුණොත් හොඳයි…”
“පිස්සුද…අයියා හිතනවද…ඔන්න මංනං දන්නවා ආයේම යනවා ඔය කොල්ලා මුණ ගැහෙන්න…බලන්නකෝ බොරුද කියලා…”
ඒ බව නම් මටත් සහතිකවම කිව හැකිය. නංගී හෝ පුංචි අම්මා කාමරවලින් පිටතට පැමිණියේ නැත. තාත්තා නිවසට එන විට රාත්‍රී අට පසුවී තිබිණි. ඔහු ආ විගසම ආලින්දයේ අසුනකට ඇද වැටුණේය. පුංචි අම්මා කාමරයෙන් පිටතට පැමිණියේ ඉදිබුවෙකු කටුව තුළින් පිටතට හිස පොවන්නාක් මෙනි.
“අයියේ මහන්සිද…බත් කනවද…තේ ටිකක් බීලා ඉන්නවද…?”
නැන්දා අසන්නට ඇත්තේ ඔහු කෙරෙහි උපන් අනුකම්පාවෙන් වන්නට ඇත. මේ සියල්ලෙන් තැලෙන්නේ, පොඩි වන්නේ ඔහුය. මා සිතේද ඇතිව තිබුණේ අනුකම්පාවකි.
“තේ නෙවේ රේඛා…මට දැන් වහා බොන්න වෙලා තියෙන්නේ…”
තාත්තා සිය සිත තුළ වූ කළකිරීම පිට කළේ එළෙසය. ඔහුගේ සිත් තැවුළ වටහා ගන්නට මටද අපහසුවක් නොවීය.
“මොකක්ද අනේ ඒ කතාව…ඔයා මොකටද වහ බොන්නේ…? වහ බොන්න ඕන උනුත් ලාදුරු හැදුණු උන් වගේ ඉද්දී…ඔයා විතරක් වද වෙන්නේ ඇයි…? දරු කැක්කුම තියෙන්න ඕන ඔයාට විතරක් නෙවේනේ…ඔයාට වහ බොන්න තිබුණේ දැන් නෙවේ…මීට අවුරුදු පහලවකට දාසයකට කළින්… අනූ අක්කා මැරුණ දවසේ…එහෙම කළා නම් මේ කොහෙවත් යන උඩැක්කි කරේ එල්ලන් විඳවන්න ඕන වෙන්නේ නැහැනේ…”
නැන්දා මේ තරම් කෝපයෙන් කෑ ගසනු මා මීට පෙර දැක නොතිබුණෙමි.
“කවුද උඩැක්කිය…මමද…?” පුංචි අම්මා කෑ ගැසුවාය.
“නැතුව ඉතින්…අපේ අයියාට වටේම ගෑණු හිටියේ නැහැනේ බෙල්ලේ එල්ල ගන්න…” නැන්දා උපහාසයෙන් කීවාය.
“මං කාගෙවත් කරේ බලෙන් එල්ලුණේ නැහැ…”
“ඔව්…ඔව්..ඒ ගැන ඉතින් මොකට කියනවද…නෙළුම් මලෙන් උපන්නා කියලානේ හිතන් ඉන්නේ…”
“පෙනේද මාවන් මෙයා කතා කරන හැටි… ඔයත් කට වහන් ඉන්නකෝ…”
“පෙනේ…? පෙනේ…මම තාම පිප්පුවේ නැහැ…හැබැයි පෙනේ පුප්පලා විතරක් නිකන් ඉන්නෙත් නැහැ…දෂ්ඨ කරන්න පටන් ගත්තදාට මේ රේඛා කියන්නේ කවුද කියලා දැන ගන්න ලැබෙයි…අර කෙල්ලව හුරතල් කරලා නාස්ති කළා…ඒ ළමයාව විනාශ කළේ තමුන්…අදත් ඔය ගමන යද්දී උඩ ගෙඩි දීලා යවලා කර ගත්තේ…”
“තව කියලා තව අවුස්සන්නකෝ…”
“අවුස්සන්න දෙයක් නැහැ…අද වුණේ හොඳට..ඔහොම හරි ගෙදර ආවා මදෑ…ඇති මූණට ඇසිඩ් ටිකක් නොගැහුවා…හෙට මොනවා වෙයිද දන්නැහැ…”
ඒ කතාවට පුංචි අම්මා මෙන්ම මමද බිය වූයෙමි.
“මේවා ඔයාගෙත් වැරදි…මීට වඩා තමුන්ගේ දුව ගැන හොයලා බලන්න තිබ්බා….ක්ලාස් කට් කරලා අර කොල්ලා එක්ක හතර වටේ රවුම් ගහනවා…. හරි හමන් කොල්ලෙක් නම් තව කමක් නැහැ… කුඩ්ඩෙක්…”
ඈ තාත්තාටද දොස් පවරන්නට වූවාය. පුංචි අම්මා යළිත් කාමරයට වැදුණේ ඉදිබුවා කටුව තුළට රිංගන විලසිනි. තාත්තාද නැඟිට කාමරයට වැදී දොර වසා ගත්තේය.