Hima Mal Renu හිම මල් රේණු
සඳළුතලයේ හැර දමා තිබූ දොරින් වරින් වර සිහිල් සුළඟක් හමා එයි. රාත්‍රිය නිහඬය. කොණ්ඩය පීරා අවසන්ව මම කැඩපත අසළින් මෑත්ව සඳළුතලයට පිවිසියෙමි. එහි සිට බලන කල අහස පැහැදිළිව දිස්වේ. තාරකා රාශියක් අහස පුරා පිපී සිනහා පායි. මම සුළු මොහොතක් එහි රැඳී සිට අහස දෙසම බලා සිටියෙමි. යහන මත වූ ජංගම දුරකථනය නද වෙන හඬ නිසා මම හුන් තැනින් මෑත් වූයේ මහා ලෝභ කමකිනි. ඇමතුම ටිරෝන් ගෙනි. එකත් එකටම ඔහු අමතන්නේ තෙෂාරා පිළිබඳව විමසන්නට යැයි කියා මම අනුමාන කළෙමි. තෙෂාරා නිවසට හැරළුවාදැයි කියා ඔහු පළමුව ඇසුවේය.
“මට හිතුණා…කතා කරද්දිම…ඕක අහන්න තමා කෝල් කරන්නේ කියලා…ගෙදරට ඇරලවන්නේ නැතුව අපේ ගෙදර එක්ක ආවා කියලා හිතුවද…?”
මම ඇනුම්පදයක් එල්ළ කළේ පුංචි සරදමක්ද සමඟමය.
“අම්මෝ…අම්මෝ…කතා කරන්නත් බයයි…පරචිත්ත විඥානයවත් පහළ වෙලාද තියෙන්නේ…?”
ටිරෝන් සිනහාසෙන හඬ මට ඇසිණ.
“ඔයාලව ආශ්‍රය කරද්දී ඒවා නැතුව බැහැ… දැක්කානේ…අද කියපු දේවල්…”
“අම්මෝ…ඉතින්…ඕවා විහිළුවට කියන ඒවානේ…ඇත්තටම මොකද වුණේ … තෙෂාරා එක පාරටම වෙස් පෙරළන් ඔයා එක්ක එකතු වුණේ…?”
“වශීයක් කළා…” මම විහිළු කළෙමි.
“බයේ බැහැ අප්පා…එක වශීයක් කරලා තවම උණුසුම ගියෙත් නැහැ…මෙන්න තව එකක්…හොඳයි…හොඳයි…අපිට කියන්නේ නැහැනේ ඒවා එහෙනම්…”
“ගැහැණු ළමයින්ගේ ඒවා ඔයාට කියන්න බැහැනේ…”
“හිතා ගන්න පුළුවන්…ඩිකියේ සයිස් එකට කළිසමවත් පළා ගන්න ඇති…”
ඔහු කියන විට මා මුවින් සිනහාව පිට පැන්නේය.
“පේනවානේ කට…අපිට මොනවා කියනවා ඇත්ද දන්නැහැ…”
“ඒවා ඉතින් බලා ගන්න වෙන්නේ මෙයා ඩිකිය පේන්න එකක් ඇඳන් ආව දවසට තමා…”
“ආස ඇති…බලන් ඉන්නවාකෝ…”
“අම්මෝ…ආස වුණත් එපා…ඕවා බලන්න කෙනෙක් ඉන්නවානේ…”
“මොනවා…! ඒ කවුද ඒ…? පිස්සු කියවන්නැතිව ඉන්න…” නොමනාපය මුසුව මම කීවේමි.
“ඇයි…මම බොරුද කියන්නේ…?”
“අනේ…මේ ටිරෝන්…විකාර නොකියා ඉන්න…ඕවා කියවන්නද දැන් මට කතා කළේ…?”
“නැහැ…නැහැ…අවීශ් මොකද කිව්වේ…ගමේ යන්න එනවා කිව්වාද…?”
“අනේ…මොනවා කියන්නද…ඔයාම අහලා බලන්න…හරි ලොකු හිත…”
බොරු අමනාපෙකින් මම කීවෙමි.
“ආ….පෝ…එහෙමද…? මං අහලා බලන්නම්…හැබැයි ඔයා කිව්වොත් නම් එයි…”
“මං කිව්වානේ ඉතින්…බල කරන්න ගියොත් අගේ කරයි…දන්නවානේ හැටි… එයාගේ හරි ආඩම්බර…”
ටිරෝන් යළිත් උස් හඬින් සිනහාසෙනු මට ඇසිණ.
“හරි…හරි…මං අහලා බලන්නම්කෝ…”
ඔහු සුබ රාත්‍රියක් පතා ඇමතුම විසන්ධි කරන විටම කෙටි පණිවිඩයක් ලැබිණ. මම එය විවර කළේ නාඳුනන අංකයක් නිසා තරමක කුහුළිනි.
“අවීශ්.” කියා එහි සටහන්ව තිබූ අතර එහි වූයේ එපමණක් වුවද මා සිතට සතුටක් දැනිණ.
“හායි …අවීශ්..ගුඩ් නයිට්..”
මම ලියා යවා අංකය දුරකථනයේ සුරක්ෂිත කළෙමි. එසැණින් ඔහුගෙන් පිළිතුරු ලෙස සුබ රාත්‍රියක් කියා කෙටි පණිවිඩයක් ලැබිණ.
******** ******* ******** ******** ****************** ******* ********
පසු දින මා අවදි වූයේ නැන්දාගේ කළබලකාරී හඬිනි. මෙදින ඉරු දින වූ බැවින් මා සිතා සිටියේ තරමක් දහවල් වන තුරු නිදා ගන්නට වුවද ඈ මා අවදි කරවන විට මා සිතේ ඇති වූයේ නොසතුටකි.
“අනේ…ඇයි අහැරෙව්වේ…? නිදා ගන්න දෙන්නකෝ…”
පොරවනය ගෙන හිස සිටම පොරවා ගනිමින් මම කීවේ නොමනාපයෙනි.
“නැඟිටින්න…දැන් නවයත් පහු වෙලා…ඔයා මොකක් හරි ඕඩ(ර්) එකක් දැම්මාද?.. අන්න ඒක අරන් ඇවිත්…ඔයාටම දෙන්න ඕනලු…ඇඳුමක් දාන් පහළට එන්න…”
තිගැස්මට පත් මා වහා යහන මත හිඳ ගත්තේ පොරෝනය හිසෙන් පහළට අදිමිනි.
“ඕඩ(ර්) එකක්?…මම මොකුත් ඕඩ(ර්) කළේ නැහැනේ…”
පුදුමයෙන් මම කීවේ ලෙහුණු කොණ්ඩයද බැඳගනිමිනි.
“හරි…හරී…ඇවිත් බලලා ඒ ළමයාව පිටත් කරන්නකෝ…අන්න බලන් ඉන්නවා…අර මහතැන ඇවිත් ප්‍රශ්න අහන්න කළින් ගිහින් බලන්න…”
මේ උදෑසනම කඩා පාත් වුණු මරාලය කුමක්දැයි සිතමින් මම රාත්‍රී ගවුමට උඩින් ගවුමක් ඇඟලා ගෙන සුළු මොහොතකින් පහළට පැමිණියෙමි. ගුණතුංග මාමා තරුණයෙකු සමඟ ඉස්තෝප්පුවේ කතා බහ කරමින් සිටියේය.
“මිස් ආරණ්‍යාද…?”
ඔහු මා දුටු සැණින් අසුනින් නැඟිට විමසුවේය. පසෙක වූ රූපවාහිනි පෙට්ටියක් තරම් පළලින් යුත් පෙට්ටිය දැක මම පුදුම වූයෙමි.
“ආරණ්‍යා තමයි…ඒත් මං මොකුත් ඕඩ(ර්) කළේ නැහැනේ…” පැකිළෙමින් මම කීවෙමි.
“ඒක නම් මං දන්නේ නැහැ මිස්…මේක මිස්ට බාර දීලා මට සයින් එකක් දාන් එන්න කිව්වා…කරුණාකරලා මේක සයින් කරලා දෙන්න…බාර ගත්තා කියලා…”
එය එවූ කෙනා හෝ නමක් ගමක් එහි සඳහන්ව නැති බව මා හා කීවේ ගුණතුංග මාමාය. මම තරුණයා දුන් රිසිට් පතේ අත්සන තැබුවේ දෙගිඩියාවෙනි. ඔහු එසැණින් පිටව ගිය අතර මම එහිම හිඳ පාර්සලය කඩා බැලුවෙමි. දිගු හතරැස් පෙට්ටිය තුළ වූ ආවරණයත් ගලවා දමන විට මට ප්‍රීතියෙන් කෑ ගැසිණ. ඒ අවීශ් ට මා සිතුවම් කිරීමට පැවසූ සිතුවම මිස අන් කිසිත් නොවේ. ඔහු එය මෙතරම් විශාලව සිතුවම් කරාවි යැයි කියා මම නිකමට හෝ නොසිතුවෙමි. එය තෙළි තුඩෙන් නිම වූ බවක් පවා සිතීමට අපහසු තරම් එය සජීවී විය.
“ෂා…! හරිම ලස්සන වෝල් ආර්ට් එකක්…”
නැන්දාත් ගුණතුංග මාමාත් එය අගය කරමින් එදෙස බොහෝ වේලා සිටියේ මා මෙන්ම සතුටිනි. සිතුවමේ යටින් අවීශ් යයි ඔහුගේ අත්සනද තබා තිබෙනු මා දුටුවේ පසුවය. එය නැන්දාද දකින්නට ඇතිවාට සැකයක් නැත.
“මේක ච්ත්‍රයක් නේද දුව…? මං හිතුවේ ෆොටෝ එකක් එන්ලාර්ජ් කරලා කියලා…”
ගුණතුංග මාමා මඳ වේලාවකට පසුව කීවේ මවිතයෙනි.
“ඔව් මාමේ…ලස්සනයි නේද…? මටත් හිතා ගන්න බැහැ…”
“කවුද දැන් ඕක එවලා තියෙන්නේ…අර බකුසු කොණ්ඩ කුරුල්ලාද…?”
නැන්දා අසන විට මා මුවට සිනහා නැඟිණ. ඈ දැනටමත් එය දන්නා බව නොරහසක් නිසා මම කිසිත් නොකීවෙමි.
අවිශ් මා පුදුම කරන්නට සිතුවා වන්නට ඇත. අප හෙට දින ගමේ යන නිසා ඔහු මෙදිනම මෙය මට ලැබෙන්නට සැළසුවේ ඒ නිසා විය හැක. මෙතරම් ඉක්මනින් ඔහු මෙය නිම කළා යැයි සිතීමත් පුදුමය. මට එය අමතකවම ගොස් තිබූ සේම ඔහු පසුව හෝ මෙය සිතුවම් කරන බවට හෝ ඉඟියක් හෝ නොදුන්නේය.
“අනේ මාමේ…මේක මගේ කාමරෙන් එල්ලලා දෙන්නකෝ…”
මම ඇවිටිළි කරන විට ගුණතුංග මාමා ඒ මොහොතේම එය මගේ යහන ඉදිරිපස බිත්තියේ එල්ලා දුන්නේය. යහන මත හිඳ ගෙන මම බොහෝ වේලා ඒ දෙස බලා සිටියෙමි.
“උදේම ඇහැරුණාට පාඩුවක් වුණේ නැහැනේ…”
නැන්දා කාමරයෙන් පිටව ගියේ ඇනුම්පදයක්ද එල්ල කරමිනි. එසැණින් මම අවීශ්ට කෙටි පණිවිඩයක් යැවීමි.
“ගුඩ් මෝර්නින් අවීශ්…තෑන්ක්ස් ෆෝ ද ජෝර්ජියස් වෝල් ආර්ට්…ගොඩාක් ලස්සනයි…ගොඩාක් ස්තුතියි…”
මම එසේ ලියා යැවීමි. පසුව එහි ජායාරූපයක් ගෙන නදීරාටද යැවීමි. ඈ එය බලා තිබුණේ පසුවය. ඒ සමඟම අවීශ් ගෙන් පිළිතුරු ලැබිණ.
“ඔයා සතුටු වුණා නම් සතුටුයි…”
එය එපමණක් වූ නමුත් මම ඉනුත් සතුටු වීමී. පසුව මා දැන ගත්තේ ඔහු එය එවා තිබුණා නොව එයත් රැගෙන රථයේ ඔහුම පැමිණි බවත් මිතුරා අත එය මවෙත එවූ බවත්ය.
******* ****** ****** ****** ******* *************** ****** ******
පසුදින උදෑසනම අපි පිටත් වන්නට පෙර මම අවීශ්ට කෙටි පණිවිඩයක් යැවුවේ අප පිටත් වන බව පැවසීමටය. එවිට පාන්දර පහට පමණ වන්නට ඇත. නදීරාවත් කැඳවාගෙන යන අතරේ ඔහුගෙන් එයට පිළිතුරු ලැබෙන විට මම පුදුම වූයේ ඔහු මේ මොහොතේ අවදියෙන් ඇතැයි නොසිතූ නිසාය.
“හරි…පරිස්සමෙන් යන්න…” ඔහු ලියා එවීය.
“හා…ගුණතුංග මාමට කියන්නම්…ප්‍රසාද් අයියාටත් කියන්න පරෙස්සමින් එක්ක යන්න…”
සිනහා මුහුණක් ද සහිතව මම ලියා යැවීමි.
“හ්ම්ම්….මාමාට කියන්නකෝ මං කිව්වේ කියලා…මං ප්‍රසාට කියන්නම්…”
ඔහු ඇද වුණු මුහුණක් සහිතව ලියා එවන විට මා මුහුණට සිනහා නැඟිණ.
“ඕ.කේ.සී.යූ…” මම පිළිතුරු යැවීමි.
“ඉක්මනින්ම…”
මම එය කියවා මුහුණේ වූ සිනහාව පිටින්ම දුරකථනය පසෙක තැබීමි. නදීරා මේ සියල්ල බලා සිටි බව මම මඳ අඳුරේ වුවද දිටිමි.
“නැඟලා යනවා නේද…?”
ඈ අසන විට මම කළබල වූයේ එය ඉදිරිපස අසුනේ සිටි නැන්දාටද ඇසෙන්නට ඇතැයි බියෙනි.
“මොනවාද…?”
“එස්.එම්.එස්…” ඈ තාලයට කීවාය.
“පිස්සු…”
ඇගේ කලවයට පහරක් ගසමින් මම මවාගත් නොමනාපයකින් කීවෙමි. එම මඳ අඳුරේ ඇයට මගේ මුහුණේ වූ හැඟීම් කියවන්නට බැරි වීම යහපතකි. නැත්නම් සියල්ල මුහුණිනන් හෙළි වනු ඇත.
“කාටද පිස්සු…?”
“ඔයාට…”
“හරි…හරි..බලමුකො…ඔහොම ගිහින් කාටද පිස්සු කියලා…අපිත් ඉන්නේ අහළ පහළනේ…”
“හා…හා…බලන් ඉන්නවා…”
මම ඇගේ බාහුවක් කෙනිත්තුවෙමි.
“ඌ….යි…මෝ…ඩයා…”
ඈ කෑ ගසන විට මම උස් හඬින් සිනහාසුණෙමි.
පරිසරයේ අඳුර මකාළමින් නැඟෙනහිර අහසින් රන්වන් හිරු කිරණ මිහිමඬලට එබෙන විට නදීරා සිටියේ අවට පරිසරයේ සුන්දරත්වයෙන් වසඟයට පත්වය.
“අනේ…හරී…ලස්සනයි ආරණ්‍යා…”
ගුණතුංග මාමා කුඹුක් සෙවනක වූ තේ පැන් හළක් අසළ රථය නවතන විට අපි ඉන් බැස ගතිමු. නදීරා එය කීවේ ඒ මොහොතේය. කුඹුරු යාය නිල් පැහැයෙන් බැබළිණි. අපි උණු උණුවේ කොළ කැඳ බීවේ කිතුල් හකුරු සමඟය.
“හරි ෂෝක් නේද නැන්දා…හැම තැනම හරිම ලස්සනයි…”
නදීරා වට පිට බලමින් පැවසුවාය. ඈතින් යාන්තමට දිස් වූ කඳු පන්තිය මේ මොහොතේ හොඳින් දිස් වන්නට වූයේ උදා හිරුගේ රැස් දහරින් අවට වූ මිහිදුම පහව යමින් තිබු නිසාය. අපි වැඩි වේලාවක් එහි නොරැඳී පිටව ආවේ ආච්චි අම්මා කීප වරක් දුන් ඇමතුම් නිසාය. අප එන විට ඈ ශ්‍රීමාද සමඟ පෙර මඟ බලන් සිටියාය. මම රථය නැවතීමටත් පෙර ඉන් බැස ගෙන දිව ගොස් පළමුව ආච්චි අම්මාවත් දෙවනුව ශ්‍රීමාවත් සිප වැළඳ ගතිමි.
“පුදුම දැඟළිල්ලක් තියෙන්නේ…වාහනේ නවත්තන කල්වත් ඉන්න බැරි වුණා…”
නැන්දා මට දොස් පවරමින් නිවසට ගොඩ වූවාය.
“අපි මඟ බලන් හිටියේ…”
ආච්චි අම්මාද නැන්දා සමඟම යමින් කීවාය. මම නදීරා වත් ශ්‍රීමා වත් එකිනෙකාට හඳුන්වා දුන්නෙමි.
“මෙයා කතා කළාම ඔයාලා ගැන කියනවා…” ශ්‍රීමා කීවාය.
“අපි එක්කත් ඔයාලා ගැනමයි කතාව. මෙයා වැඩි පුරම කියන්නේ කවුරු ගැනද…?”
නදීරා පහත් හඬින් ඇසුවේ මනමාල බැල්මක් මවෙත හෙළමිනි.
“හා…හා…ඔන්න ඉතින්…මරු ඩබල…”
මම බාධා කරමින් කෑ ගැසුවෙමි. ඈ ඔය නොකියා කියන්නට යන්නේ අවීශ් ගැන බව මම දැන සිටියෙමි.
“දැක්කනේ ශ්‍රීමා…බය වුණා…” නදීරා කීවාය.
“වැඩිය සද්දෙ දාන්න එපා…ඔබනවා ඔයට…”
මම නදීරාට තර්ජනය කළෙමි.
“පේනවානේ…චණ්ඩි රැජිණ…එහෙත් එහෙමද මෙයා…? මෙහෙත් ඒ වගේම තමා…” එවර ශ්‍රීමාත් කීවාය.
“අම්මෝ ඔව්…කියලා වැඩක් නැහැ…”
නදීරාත් එයට පොහොර දැමුවාය.
“හරි…හරි….දැන්ම ඕපේ…යමු ගෙට…ඕවා පස්සේ පුළුවන්…”
මම දෙදෙනා කැටුව නිවසට ආවේ දැඩි කුසගින්නකිනි. ආච්චි අම්මා ජයවතී නැන්දාද සමඟ ඉඳි ආප්ප සාදා තිබුණාය. කෑම මේසය දකින විට නම් මගේ කුස ගින්න තවත් වැඩි විය. උදෑසන ආහාර ගෙන අපි තිදෙන ළිඳට ගොස් දිය නෑවෙමු. බොහෝ කලකින් ළිඳෙන් නෑ පසු වෙනදා නොමැති අමුතු ප්‍රබෝධමත් බවක් මට දැනිණ. අපි යළි නිවසට එන විට ජයවතී නැන්දා ඉඟුරු දමා තේ සාදා තිබු අතර ශ්‍රීමාගේ නිවසින් අපට පැණි අලුවා ගෙනවිත් තිබිණ. නදීරාට මේ සියල්ල අමුතු අත්දැකීම්ය. ඈ මීට පෙර ළිඳකින් නා නොතිබූ බව කීවේ ආච්චි අම්මා සමඟය.
“ඔය ටැප් වතුර වගේද ළමයෝ…ළිඳේ පිරිසිදු වතුර ටිකක් නාන එක…”
ජයවතී නැන්දා එයට කීවාය.
“අනේද කියන්නේ ජයවතී…කොහෙද ඉතින්…මෙයාලාගේ තාත්තට කොළඹ යන්න තදියම් වුණා…”
ආච්චි අම්මා කතා කළේ නොසතුටෙනි.
“ඒකනේ ඉතින්…මාත් කොච්චර කිව්වද…?”
මමද ආච්චි අම්මාගේ පස ගෙන කතා කළෙමි.
“අනේ…ඔයා ආවේ නැත්නම් එහෙම මට මෙහෙම චාන්ස් හම්බෙන්නේ නැහැනේ…”
නදීරා ශෝකී හඬකින් කීවේ අප අතර සිනහවක් නංවමිනි.