Hima Mal Renu හිම මල් රේණු
මම සිටියේ තවමත් පුදුමයෙනි. ඔහු අපේ නිවස පිහිටි ඉසව්ව පවා දනියි. අවීශ් ප්‍රසාද්ට මඟ පෙන්වන විට මම හිඳ සිටියේ ඔහු එය කෙසේ දැන සිටියේදැයි කියා අනුමාන කරන්නට උත්සාහ දරමිනි.
“සර් දැනන් ඉඳලානේ…?” ප්‍රසාද් කීවේද පුදුමය අඟවමිනි.
“පාර අහන්න කිව්වේ බොරුවටනේ…”
මමද ඔහුට ඇසෙන්නට කීවෙමි.
“ඇස් ගෙඩි ලොකු කරන් බලන්න ඕන නැහැ…මං දැක්කා දවසක්…”
ඔහු කීවේ ඒ කවදාද කියා නොකියමිනි. මම එය දැන ගන්නෙමියි කියා මම සිතුවෙමි. කෙසේ වුවත් ඔහු නිවස තිබෙන තැන දැන සිටීම සතුටකි.
“හොරා වගේ හැමදේම හොයලා…”
මා සිත සතුටින් උඩ පනින්නට විය. ප්‍රසාද් නිවස ඉදිරිපිටම රථය නැවතුවේ අවීශ් ගේ මඟපෙන්වීමටය.
“ගොඩා…ක් ස්තූතියි ප්‍රසාද් අයියා…”
රථයෙන් බැසීමට පෙර මම ඔහුට කීවෙමි. නිවස අසළටම ආ නිසා ඔවුන්ට නිවසට ආරාධනා නොකර සිටීම හොඳ නැතැයි කියා හදිසි සිතුවිල්ලක් මා මනසේ ඇති විය. නමුත් ඒ නපුරා නිවසට පැමිණේවිද?
“ප්‍රසාද් අයියා ගේ ළඟටම ආපු එකේ මොනවා හරි බීලා යමුද…?”
මම යෝජනා කරණ විට ඔහු බැලුවේ අවීශ් දෙසය.
“අදහස නම් හොඳයි වගේ…සර් මොකද කියන්නේ…?”
“මට නෙවේනේ කතා කළේ…උඹ ගිහින් වරෙන්…”
ප්‍රසාද් මා දෙස බලා නොකියා කියූ දේ මට වැටහිණ.
“අමුතුවෙන් බුලත් දෙන්න ඕන කියලා දැනගෙන නැහැනේ…ලොකු සර්… ගෙට වැඩලා මොනවා හරි පානය කරමුද…?”
සිත පිනා ගිය සතුටින් මම සිතුවෙමි. අද පුංචි අම්මා නිවසේ නොසිටීම වාසනාවකි. නංගීටද අමතර පන්ති ඇති දිනයක් වීම සිතට සහනයක් එක් කළේය. දෙදෙනාම සිටියා නම් දහසකුත් ප්‍රශ්න වලට උත්තර බැඳීමට සිදුවනු ඇත. රථය මිදුලට දැමීමට ගේට්ටුව විවර කළේද අවීශ්මය. නැන්දා ඉස්තෝප්පුවේ සිට මිදුලට බැස මා වෙත ආවේ අවීශ් දෙස කුහුළින් බලමිනි. ඇගේ දෑස්වල ලියවුණු දහසකුත් පැනයන් මට සිතින් කියවිය හැකිය.
“නැන්දා…මේ අපේ පන්තියේ ළමයෙක්…අද බෑන්ක් එකටත් ගියානේ…අපිව ඇරළවන්න ආවා…”
මම අවීශ් ව හඳුන්වා දුන්නේ “ළමයෙක්” කියා මිස මිතුරෙක් ලෙසින් නොවේ. ඔහුව සියුම්ව රිදවන්නට මටද වුවමනා වී තිබිණ. පසුවිටෙක ඔහු එයද පවසනු ඇතිවාට සැකයක් නැත.
“අනේ…! ලොකු දෙයක් පුතේ…යමු….යමු ගෙට…එන්න ළමයෝ…”
ඈ දෙදෙනාටම ඇරයුම් කරන විට මම ගේට්ටුව වසා දමා ඔවුන් පසුපස දිව ආවෙමි. අවීශ් නැන්දා පසුපසම ගෙතුළට යන විට ප්‍රසාද් ඉස්තෝප්පුවේ අසුනක හිඳ ගැනීමට සූදානම් විය.
“ඇයි ප්‍රසාද් අයියා මෙතන…? යමු අනේ ගෙට…”
“කමක් නැහැ මිස්…මෙහෙම හොඳයි…”
“මේ…සේරටම කළින් ඔය මිස් කියන එක නවත්තන්න ප්‍රසාද් අයියා…අපි දැන් යාළුවෝනේ…අනික ඔයා බයද… ඔයාගේ සර් එක්ක එකට ඉඳ ගන්න…? එන්න…එන්න…එකට වාහනේ ඉඳගෙන යන්න පුළුවන් නම් ගෙට ඇවිත් එකට ඉඳගත්‍තාම මොකද…? මේ ඔයාගේ පුංචි සර්ගේ වළව්ව නෙවේ…”
මම ඔහුව අතින් ඇද ගෙන ගෙතුළට කැඳවා ගෙන ආවෙමි. කිසිවෙකු සමඟ වැඩිපුර කතාවට නොයන අවිශ් නැන්දා සමඟ ඉතා කුළුපඟව කතා බහ කරමින් සිටිනු දකින විට මා සිතේ පුදුමයකුත් සතුටකුත් එකසේ ඇති විය.
“මේ ළමයින්ට බඩගිනිත් ඇති දුව…බීම බොන වෙලේ මං කිව්වේ කෑම ටිකක් කාලම යමු කියලා…නේද පුතේ…?”
නැන්දා ප්‍රසාද්ගෙන්ද අදහස් විමසන විට ඔහු බැලුවේ අවීශ් දෙසය.
“තියෙන ආඩම්බර කමට බැහැ කියයිද දන්නැහැ…”
මට එසේත් නොසිතුණා නොවේ.
“ඒක තමා අවීශ්…කෑම කාලම යමු…නේද ප්‍රාසාද් අයියා…?”
ඔහු එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි බියෙන් මම වහා කිවෙමි.
“අපි නිසා කරදර වෙන්න එපා මිස්…”
අවීශ් නිහඬ බැල්මක් හෙළන විට ප්‍රසාද් කීවේය.
“ඔන්න ඉතින් ආයේ මිස්ලු…ඒක කරදරයක් නෙවේනේ ප්‍රසාද් අයියා…අපි හිතමු ඒක සොඳුරු කරදරයක් කියලා…”
ඔවුන්ට වෙන යමක් පැවසීමට ඉඩ නොතියා මම නැන්දා සමඟ වහා පිටුපසට පැමිණියෙමි.
“මේ…ලොකු දුව…ඒ අර දැරණියගලේ පුතා නේ…? මං දැන් නම් මොකුත් අහන්නේ නැහැ…ඒ වුණාට මගේ ඔළුවේ ප්‍රශ්න ගොඩයි…”
මා සිතූසේම නැන්දා කීවාය.
“ඔය අනම් මනම් ප්‍රශ්න…ඔළුවට දාගන්නැතිව ඉන්න නැන්දා…”
එය සැහැල්ලුවෙන් සළකා මම කීවෙමි.
“ඔව්…ඔව්…අනම් මනම්…හ්ම්ම්…ඔයාගේ පුංචි අම්මා අද නැති එකමයි කාරිය…”
“හිටියත් මට මොකෝ…”
නොසතුටෙන් මම කීවද ඈ නිවසේ නොසිටි එක ගැන නම් මම සතුටු වීමි. අපි දෙදෙන එකතුව ඉක්මනින් කෑම මේසය පිළියෙල කළෙමු. ඈ වතුර වීදුරුවක්ද රැගෙන පිටතට ගියේ දෙදෙනාටම කෑමට ආරාධනා කිරීමටය.
“නැන්දාත් එන්නකෝ ඉතින් කන්න… මෙයාටත් බඩ ගිනි ඇතිනේ…”
අවීශ් එසේ කීවේ මා දෙස නොබලමිනි.
“පුතාලා කන්නකෝ…අපි කන්නම් පස්සේ…මෙයා ඉතින් වැඩිය කෑමට පන්නන්නේ නැහැනේ…”
“මහත් වෙයි කියලා බයේද…?” ප්‍රසාද් විමසුවේය.
“ඔව්…ඔව්…මහත් වෙයි කියලා…”
මමද සිනහාමුවෙන් පිළිතුරු දුනිමි. ඒ අතරේ අවීශ් නැන්දාගෙන් අපේ ගමේ තොරතුරු විමසන්නට වන විට ඈ ඒවාට පිළිතුරු දුන්නේ අභිරුචියෙනි.
“දවසක යමු…”
ඈ ආරාධනයක්ද කරන විට මම යටැසින් නැන්දා දෙස බැලුවේ මීට මොහොතකට පෙර හිසේ දහසකුත් ප්‍රශ්න ඇතැයි කීවේ ඇයම බව සිහි වීමෙනි.
“අනිවාර්යෙන් එනවා…නේ ප්‍රසා…?”
“ඇවිත් බලන්නකෝ…ඒ පැත්ත කොහොමද කියලා…මෙයා නම් එන්න කැමති වුණේම නැහැ…”
නැන්දා මා පෙන්වා කියන විට අවීශ් මා දෙස බැලුවේය. අපි දෙදෙන තත්පර ගණනක් එළෙස බලා සිටින්නට ඇත.
“මිස් ආව එක කොච්චර දෙයක්ද…? නැත්නම් මෙහෙම රස කෑම වේලක් කන්න ලැබෙයිද…නේ සර්…?”
මට යළිත් අවීශ් දෙස බැලිණ.ඔහු නිහඬය.
දිවා ආහාරයෙන් පසු මොහොතක් ඔවුන් කතා බහ කරමින් හිඳ පිටව යාමට සැරසෙන විට මමද ඔවුන් සමඟ මිදුලට ආවෙමි.
“ගොඩාක් ස්තූතියි මිස්…ගොඩ කාලෙකින් රස…කෑමක් කෑවා…”
“ඒක නම් ඇත්ත ප්‍රසා…”
අවීශ් ද එය අනුමත කරන විට මම සිතුවේ ඔවුන් විහිළුවට එසේ පවසනවා ඇතැයි කියාය.
“විහිළු නොකර ඉන්න ප්‍රසාද් අයියේ…ඔයාලගේ හාමු මහත්තයාගේ මාළිඟාවේ මීට වඩා රසට උයනවා ඇතිනේ…”
“උයන එක නම් උයනවා මිස්…ඒත් කන්න තමා බැරි…වෙලාවකට නම් මායි සර්රුයි එකතු වෙලා උයනවා…ඒත් ඉතින් හැමදාම නෙවේ…”
ඔහු කියන්නේ මුසාවක් නොවන බව මට එවිට වැටහී ගියේය. අවීශ් ගොස් රථයට නැඟුණේ නිහඬ බැල්මක් මවෙත හෙළා වුවද එහි මුවින් නොකී දහසකුත් දේ ලියවී ඇතැයි කියා මට සිතිණ. ප්‍රසාද් වටෙන් රියදුරු අසුන කරා යන විට මම අවීශ් සිටි පැත්තේ වීදුරුවට තට්ටු කළෙමි. ඔහු අඳුරු වීදුරුව පහත් කරමින් මවෙත ඉක්මන් බැල්මක් හෙළා යළි ඉදිරිය බලා ගත්තේය.
“ගොඩාක් ස්තූතියි අවිශ්…අද මාව එක්ක ආවටයි..අපේ ගෙදර ආවාටයි…කෑම කන්න නතර වුණ එකටයි….කොණ්ඩෙ රැව්ල කපන් ලස්සනට ස්කූල් එන එකටයි…”
මම කතා කරන තුරුම ඔහු සිටියේ ඉදිරිය බලා ගත් ගමන්මය. ප්‍රසාද් රියට නැඟීමට සිතා මතා පමා වන්නේ අප දෙදෙනාට කතා කිරීමට ඉඩ හරින්නට සිතා බව සැකයක් නැත.
“අවීශ්…” මම දිගටම කතා කළෙමි.
“ඔය නපුරු ආඩම්බර කමට යටින් තියන ඔයාගේ හිත…ගොඩාක් ලස්සනයි කියලා මං දැන ගත්තේ ස්කූල්එකට ආව දවසෙමයි…”
එවන් දෙයක් කීමට මට සිතුණේ මන්ද කියා මම නොදනිමි. ඔහු මා දෙස බැලුවේ දිලිසෙන දෑසිනි.
“යාළුවෝද..?”
ඔහුගේ මුවින් එවදන් පිට වන විට මා සිතට දැනුනේ සතුටකි. සිත පුරා සමනළුන් පියා සලන බවක් මට දැනිණ.
“ඒ යාළුකම ඇති වුණේ ඔයා අර චුයින්ගම් එක හප හප මං දිහා බලපු වෙලේ…සිගරට් එක බිබී ඉන්නවා දැකපු පළවෙනි දවසේ…ළමයි මාව වට කරගෙන ඉද්දී මම ඔයා ළඟට දුවන් ආව වෙලේ…ඔයාගේ සිගරට් කොටේ අරන් බිම දාලා පාඟන වෙලේ…”
මට එසේ කීමට වුවමනා විය. නමුත් මා මුව ගොළුය. එවන් දෙයක් කීමට දිව නොනැමෙයි. මම කීවේ අනිකකි.
“තවම නැහැ…”
මා එසේ කියා දිව ආවේ ගේට්ටුව විවර කරන්නටය. ප්‍රසාද් රථය පාරට දමා නළාව හඬවන විට මම ඔවුනට අත වනා ගේට්ටුවත් වසාගෙන ගෙතුළට ආවේ සිත උතුරා යන අමුතු හැඟීම් රාශියක් පපුවට තුරුළු කොට ගෙනය.
******** ********* ******** ********* *************** ********* ********
නැන්දා අසන ප්‍රශ්න වලට මට පිළිතුරු දී කෙළවරක් නැත. ඈ බියට පත්ව සිටියේ දැරණියගල ගේ පුතා මෙහි පැමිණි බව තාත්තා දැනගත්තා නම් කුමක් වේදැයි කියාය.
“දැනගත්තොත් නේ ප්‍රශ්න වෙන්නේ…කවුද කියන්නේ…?”
“කියන්න ඕන නැහැ…එයා සිය පාරක් විතර කෝල් කළා ඔයා ආවද ආවද අහලා…”
“මං ආවේ එයා එක්ක කියලා මෙතන්ට එනකල් ඔයා දන්නෙත් නැත්නම්…කොහොමද තාත්තා දැනගන්නේ…? නැන්දා නිකන් කළඹල වෙනවා නේ…තේ කෝප්පේ දිය සුළි හොයන්න එපා…”
“මෙයා දියුණු වෙලා ඉන්න තරම…”
“එහෙම තමා…අනික තාත්තා මොකද අප්පා එයාලා එක්ක ඔච්චර තරහා…?”
“හේතුවක් ඇතිවනේ තරහා වෙලා ඉන්නේ…”
“ඉතින්…මොකක්ද හේතුව…?”
“තාත්තට වංචා කරලා…බිස්නස් නැති වෙලා තියෙන්නේ එයා නිසාලු…”
“මොනවා…! ඒ කොහොමද….?”
“දෙන්නා එකට වැඩ කරලා තියෙන්නේ…එයා වංචා කරලා බිස්නස් පාඩු වුණාලු…මං දන්නේ එච්චර තමා…”
“ඔයා ඊට වඩා නොදන්නවා වෙන්න බැහැ…”
“මං කොහොමද ළමයෝ ඕව දන්නේ…?”
“ඉතින් නැන්දාත් හිටියේ මේ ගෙදරමනේ…”
“අනූ අක්කා නැති වෙද්දි ඔයාට අවුරුදු හතරයි…ඔයා මොන්ටිසෝරිවත් යන්නේ නැහැ…ඔයා අම්මාව හොය හොය අඬනවා…මම හිටියෙත් ඒ දවස් වල ගිණි ගොඩක…ඔයා ඒක දන්නවානේ… අයියා මනෝරි මැරි කරන් මෙහෙ ආවා…මම ඔයාව එක්කන් ගමේ ගියේ ටික දවසක් එහේ ඉන්නකොට ඔයාට අම්මාව අමතක වෙයි කියලා…ටික දවසකින් අපි ආයේ කොළඹට ආවා…එතකොට බිස්නස් වල ලොකු අවුලක් තිබිලා නැහැ…ටික ටික තමා මේව වෙනස් වෙන්න ගත්තේ…අපි බිස්නස් වලට අත ගහන්න ගියේ නැහැනේ…”
ඈ දැන සිටියේ එපමණක්මද..?
“ඔයා ඉතින් හැමදාම ඔහොම කියලා පැනලා යනවා…”
“මං දන්න ටික තමා කිව්වේ…අනික මං ඔයාව දාලා පැනලා යන්නේ නම් නැහැ…”
“මාව දාලා නෙවේ…මං අහන ප්‍රශ්න වලින් පැනලා යනවා…ඒ නිසා මං කොච්චර අවුල් යනවද…?”
“ඔයාට අවුල් යන්න තරම් දෙයක් මෙතන නැහැ…”
“ඔයානේ එහෙම කියන්නේ…”
“දැන් තව මොනවද ඔයාට දැන ගන්න ඕන…?”
මගේ වදයෙන් බේරෙන්නට බැරි නිසාදෝ නැන්දා යළිත් ඇසුවාය.
“හැමදේම….”
“ඉතින් දැන් කිව්වේ…”
“හරි…හරි…ඒත් ඔයා මට නොකියපු දේවලුත් ඇතිනේ .”
“දන්න දේ කිව්වා…දැරණියගල කරපු වංචා අහු වුණ නිසා දෙන්නා තරහා වුණා…පස්සෙ එයා වෙනම බිස්නස් පටන් අරන් ඉක්මනින් දියුණු වුණා…ඕක තමා කතාව…”
නැන්දා ඊට වඩා දෙයක් නොකී නිසා මම හාර, හාරා ප්‍රශ්න අසන්නට නොගියෙමි. එසේ කිරීමෙන් සිදුවන්නේ වෙන යමක් දැන ගැනීමට තිබෙන මඟ ඇහිරීමය.
“හරි…හරි දැන් ඕකෙන් වැඩක් නැහැ…මට හෙට බත් දෙකක් බැඳලා ඕන හොඳද…?”
“අර මොකද බත් දෙකක්…?”
“ඕන ඉතින්…අද වගේ රස….ට උයලා…හාද…?”
“දැන් ඒ පාර බත් අදින්නත් පටන් ගත්තද…?” නොසතුටෙන් නැන්දා ඇසුවාය.
“අනේ….අප්පා…එහෙම කියන්න එපා…බැඳලා ඕන හොඳේ…මගේ හොඳ… නැන්දානේ…”
මම ඇගේ මුහුණ මිරිකමින් කීවෙමි.
“පෙනේද බටර් ගාන හැටි…ආවදෙන්කෝ තාත්තා…”
ඈ එසේ කීවද කිසිදිනක කේළම් නොකියන බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි.
කාමරයට පැමිණි මම යහන මත හිඳගගෙන කල්පනා කරන්නට වුයෙමි. අද දවස සුන්දර විය. රථයේ එන තුරුම අප අතර ඇති වූ කතා බහ මම වචනයෙන් වචනය යළි යළිත් සිතින් මිමිණුවෙමි. ප්‍රසාද් මා ගැන කී දේවල්ද මට සිහි විය.
“ඔයා නපුරු නැහැ…ආඩම්බරකම විතරයි…” මම මටම කියා ගතිමි.
නදීරා ඇමතුමක් දුන්නද මම ඈ හා අවීශ් අප නිවසට පැමිණි බව කීමට නොගියෙමි. ඇයව පුදුම කළ යුතුය. ඒ හැඟීම මට සියැසින් බලා ගැනීමට වුවමනාය.
“අවීශ් කතා කළාද ඔයා එක්ක..?” ඈ විමසුවාය.
“නැහැ අනේ…බුම්මට්ටා වගේ හිටියේ…”
මවාගත් නොමනාපයකින් මම කීවෙමි.
“දෙන්නා මරා ගත්තේ නැහැනේ එන අතරේ…?” ඇගේ සිනා හඬ මා සවනට ගලා ආවේය.
“තාම නැහැ…ඉස්සරහට වෙයිද දන්නැහැ…”
“අනේ මේ…මට නම් බැහැ උසාවි ගානේ යන්න හොඳද…?”
මම එවිට උස් හඬින් සිනහාසුණෙමි.