NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 13

Hima Mal Renu හිම මල් රේණු – 13

-

spot_img

Hima Mal Renu හිම මල් රේණු

සඳු දින අපි පාසලට යන විට තෙෂාරාද පැමිණ සිටියාය. ඈ තව තවත් මා සමඟ සිත් නොහොඳින් පසු වන බව මම දැන සිටියෙමි. අනෙක් ළමුන් සියළු දෙනම දැන් මා සමඟ කුළුපඟ වුවද තෙෂාරාත් ඇගේ සහචරයන් දෙදෙනාත් පමණක් සිත් නොහොඳින් පසු වූවාය.

“අයිස් ක්‍රීම් රසද…?”

යැයි කිසිවෙකු හෝ අසන විට පවා ඈ දණ්ඩෙන් පහර කෑ සැපින්නක් මෙන් පුපුරා හැළුණු අතර එවන් විටක මාද අහළ පහළ සිටියා නම් ගිනි දළු පිටවන දෑසින් මා දෙස බලන්නේ මා දවා හළු කළ හැකි නම් එසේ කරන බැල්මකිනි.

“ආරණ්‍යා පරිස්සමෙන්…තෙෂාරා කියන්නේ මහ අමුතු කෙල්ලෙක්…එයා සාක්ෂිටත් කොලේජ් එක එපාම කෙරෙව්වා…”

නදීරා මට අනතූරු අඟවන විට මම පුදුමයෙන් ඈ දෙස බැලීමි.

“සාක්ෂි…? කවුද සාක්ෂි කියන්නේ…”

“ඉස්සර අපේ ක්ලාස් එකේ හිටියම බ්‍රයිට්ම ගර්ල්…මගේ හොඳම යාළුවා…අවීශ් ටිකක් සාක්ෂිට හිතවත්…හැබැයි වැඩිය කතා බහ නම් නැහැ…ඔයලා වගේ තමා…තෙෂාරා ඉතින් කොහොමත් ජෙලනේ…එයා සාක්ෂි එක්ක පට්ට තරහින් හිටියේ…ඔයාට වගේම දේවල් එයා සාක්ෂිටත් කළා…හැබැයි එයා අහිංසකයි…ඔයා වගේ නෙවේ…එයා බයයි…ඕලෙවල් එක්සෑම් කිට්ටුව දවසක ටෙලාන් ක්ලාස් එක ළඟට ඇවිත් හිටියා…එයා එදා සාක්ෂිට කැත විදියට විහිළු කළා…අවීශ් ටෙලාන්ට හොඳටම අල්ලන් ගැහුවා…එදා ඉඳන් දෙන්නා පට්ට තරහයි…මේ සේරම කළේ තෙෂාරා…සාක්ෂිව මෙන්ටලි වට්ටන්න..එයා එක්සෑම් ෆේල් වෙයි කියලා හිතලා වෙන්නැති…ඒත් සාක්ෂි හොඳටම පාස් වුණා…”

“මොනවා!…එච්චර දේවල් වුණාද…? හරිම කැත වැඩනේ කරලා තියෙන්නේ…”

“ඔව් අනේ…තෙෂාරා ඒ වගේ කෙනෙක්…”

“දැන් කෝ සාක්ෂි…?”

නොදුටු යුවතිය කෙරෙහි මා සිතේ අනුකම්පාවක් ඇති විය.

“එයා මෙහෙන් ගියා…එයාලගේ ගමේ ඉස්කෝලෙකට…තෙෂාරා එයාට මෙහෙ එපා කෙරෙව්වා…පව්…”

නදීරා කතා කළේ අනුකම්පාවෙන් යුතුවය.

“ඔයා එයාට කතා කරනවද…?”

“ඔව්…”

තෙෂාරා මෙතරම් නින්දිත වැඩ කරන අයෙකු සේ මම සිතා නොසිටියෙමි. අවීශ් සහ මිතුරන් පන්ති කාමරයට පැමිණ අසුන් ගත් නිසා අපි සෙමෙන් ඒ කතාව මග හැරියෙමු.

“ඒක නෙවේ…අද ඔයා කොහොමද යන්නේ ස්කූල් ඇරිලා…?”

මම හදිසියේ නදීරා විමසුවේ ගුණතුංග මාමා නොමැති නිසා අද මට යෑමට සිදු වන්නේ බසයේ බවත් මා බැංකුවට යාමට තිබෙන නිසා ප්‍රමාද වන බවත් නදීරා හා පවසමිනි.

“ඔයාට පරක්කු නැත්නම් මාත් එක්ක බෑන්ක් එකට ගිහින් අපි ට්‍රයි ෂෝ එකක් අරන් යමු…”

මම යෝජනා කළේ බසයේ ගියහොත් බොහෝ පමා වන බව දන්නා නිසාය.

“බෑන්ක් එකට ගිහින් එන්න එච්චර වෙලා යන්නේ නැහැනේ…මාත් එන්නම්…ඔයා තනියම යන්න ඕන නැහැ…මේ ඒක නෙවේ දැන් ඔය කාටද සල්ලි දාන්න යන්නේ…”

“භාෂිතටයි මාධවටයි…ටියුෂන් පීස්…”

“ඈ…ඉතින් ඇයි ඔයා සල්ලි දාන්නේ…?”

නදීරා මුව හයා විමසුවාය. මා ඈ හා මෙය පැවසිය යුතුද කියා මම සිතුවෙමි.

“ඒ දෙන්නාම දුප්පත්…ඒත් ඉගෙන ගන්න හරිම දක්ෂයි…භාෂිත නම් ඕලෙවල් ළමයින්ට ක්ලාස් කරලා පොඩි ගානක් හොයා ගන්නවා…ඒත් ඉතින් ගොඩාක් වෙලාවට එයා සල්ලි ගන්නෙත් නැතිව තමා උගන්වන්නේ…ගමේ දුප්පත් ළමයි නේ…මාධවට ඉන්නේ අම්මා විතරයි… තාත්තා පොඩි කාලෙම නැති වෙලා තියෙන්නේ මී උණ හැදිලා…කුඹුරු වැඩනේ කරලා තියෙන්නේ…ඉතින් අම්මා හුඟාක් මහන්සි වෙනවා එයාට උගන්වන්න…ආච්චි අම්මා එයාලගේ අම්මාව ගෙන්න ගන්නවා පොඩි පොඩි වැඩ වලට…මොකද නිකන් සල්ලි ගන්න ජයවතී නැන්දා කැමති නැහැ…ඒ දෙන්නට උදව් කරන්න ඕන කියලා මම තාත්තව කැමති කරන් තමා මෙහෙ ආවේ…”

කතාව අවසානයේ මා දෑසට කඳුළු පිරී තිබූ නිසා මම වේගයෙන් ඇසි පිය සැළුවේ ඒවා වළකා ගැනීමට වුවද අකීකරු කඳුළු දෙපේළියක් කම්මුල් මතින් ගලා යන විට මම වහා ලේංසුව ගෙන ඒවා පිස දැමුවෙමි.

“අනේ!…ආරණ්‍යා…අඬන්න එපා….මං එච්චර ලොකු කතාවක් ඇති කියලා හිතලා නෙවේ ඒක ඇහුවේ…අනේ සොරි…”

මගේ අතක් තරයේ අල්ලා ගෙන නදීරා කීවේ අනුකම්පා මුසුවය. බර වූ නාසය පිසගෙන මම මඳහසක් පෑවෙමි.

“ඔයා හරි හොඳයිනේ…මං දැනන් හිටියේ නැහැ මෙහෙම දෙයක්…අනේ!..මට හරි සතුටුයි…මම ඔයාගෙ යාළුවෙක් වුණු එක ගැන…”

“පිස්සු…බටර් නොගා ඉන්නවා…මට හරි දුකයි එයාලා මතක් වෙද්දී…”

“මොකෝ දන්නැහැ එච්චර දුක….? යාළු කමට එහා ගිය දෙයක් ඇති…”

නදීරා සරදම් සහගත හඬකින් කීවාය.

“පිස්සුද මැට්ටි…?භාෂිත , මාධව් , ශ්‍රීමා…එයාලා…මගේ හොඳම යාළුවෝ…”

“ආහ්!…එතකොට මම…”

“හරි…හරි…දැන් ඔයාත් යාළුවෙක් තමා…”

සිනහාසෙමින් මම කීවෙමි.

“අපි ඉතින් යාළුවෝ නෙවේනේ…නේද ටිරා…?”

තේෂාන් ගේ හඬින් මම තිගැස්මෙන් හැරී බැලුවෙමි. ඔවුන්ද අපේ කතා බහට සවන් දී සිටියා වන්නට ඇතැයි සිතන විට මා සිතේ සියුම් ලැජ්ජා මුසු හැඟීමක් ඉහිරී යන විට මම අවීශ් දෙස බැලීමි. ඔහු සිටියේ ඒ කිසිත් නෑසුණාක් මෙනි.

“කවුද කිව්වේ දැන් ඔයාලා යාළුවෝ නෙවේ කියලා…”

“කවුරුත් කියන්න ඕන නැහැ…අපිට ඇහුණා…”

“ඇහුණා නම් හොඳයි…”

මුව ඇද කරමින් මම කියන විට තේෂාන් සිනහාසුණේය.

“හරි එහෙනම්…අපිත්…යාළුවෝ නම් අපිටත් කීයක් හරි දෙන්න බැරිද…? මේ දවස් වල හරී….අමාරුයි…”

ටිරෝන් අප දෙසට නැඹුරුව රහසින් මෙන් ඇසීය.

“බලන්න ආරණ්‍යා…හරි නරකයි මෙයාලා…අපි කියපු සේරම අහන් ඉඳලා…” නදීරා කෑ ගැසුවාය.

“අහන් හිටියා නෙවේ…ඇහුණා….කන් වලට ඇබ ගහගන්නද කියන්නේ අපිට…?”

තේෂාන් අසන විට මම ඔහුට රවමින් නිහඬ වූයේ අපි එතරම් පහත් හඬින් කළ කතා බහත් ඔවුනට ඇසුණේ කෙසේ දැයි මවිතයෙනි.

************* ******** ********* ************************* ********
පාසල නිමා වී මාත් නදීරාත් සියළු දෙනම පිටව යන තුරු හිඳ මඳක් පමා වී පිටතට පැමිණියෙමු. අවීශ් තේෂාන් සමඟ ගේට්ටුව අසළ රැඳී සිටිනු දුටු අප, සිතුවේ ඔහුගේ රථය තවම පැමිණ නැතුවා වන්නට ඇතැයි කියාය.

“නදීරා….අවීශ් කියනවා…එයා එක්ක යන්න එන්නලු…”

තේෂාන් කියන විට මම වහා නදීරා දෙස බැලීමි.

“එහෙනම් නදීරා ඔයා යන්න…මං බෑන්ක් එකට ගිහින් එතනින්ම ට්‍රයිෂෝ එකක් ගන්නම්…”

“අනේ!…ඔයා තනියම යන්නේ කොහොමද…? ඒක හරි නැහැනේ…”

“ඒකට කමක් නැහැ…ඔයාටත් පරක්කු වෙනවානේ…ඔයා යන්න…අරයා බලන් ඉන්නවා…කේන්ති යයි පරක්කු වෙද්දී…”

අවීශ් ටත් ඇසෙන සේ මම කියන විට තේෂාන් බාධා කරමින් කෑ ගැසුවේය.

“අපෝ…මුන් දෙන්නා නම් මහ මැට්ටො දෙන්නෙක්….දෙන්නාටම තමා කතා කරන්නේ…අවිශ් ඔයාව බෑන්ක් එකට එක්ක ගිහින්…ඌම ගිහින් ඇරළවයි…”

මම පුදුමයෙන් අවීශ් දෙස බැලුවෙමි. ඔහු සිටියේ අපට පිටුපා වුවද අපේ කතා බහට සවන් දීගෙන බවට සැකයක් නැත. උදේ අපි කළ කතා බහත් ඔහුට ඇසී තිබූ නිසා ඔහු මෙසේ තේෂාන්ට පවසන්නට ඇත. මාත් නදීරාත් මුහුණින් මුහුණ බලාගත්තේ කුමක් කරමුදැයි විමසන බැලුම් හුවමාරු කරගනිමිනි.

“එහෙම කමක් නැද්ද තේෂාන්…?”

අදිමදි කරමින් මම ඇසීමි.

“ඉට්ස් ඕකේ මචං…නදීරා…යමුද…?”

ඔහු මා දෙස හෝ නොබලා අසන විට මමත් තවත් පමා නොවී නදීරාත් සමඟ අවීශ් පසුපස විත් ඔහුගේ රථයට ගොඩවීමු. රියදුරු අසුනේ සිටි තරුණයා පසුපස බලන කන්නාඩියෙන් අප දෙසත් බලමින් රථය ඉදිරියට ධාවනය කළේය.

“නදීරා…මොකක්ද බෑන්ක් එක…?”

අවීශ් පසුපස නොබලාම විමසුවේ නදීරාගෙනි. එය ඔහුට මගෙන් අසන්නට බැරි මන්ද..? නදීරා මා දෙස බලන විට මම බැංකුවේ නම ඇයට කීවේ රහසිනි. ඈ එය අවීශ්ට හඬ නඟා පවසන විට රියදුරු තරුණයා යළිත් පසුපස බලමින් සිනහාසුණේ මේ විගඩම කුමක්දැයි සිතමින් වන්නට ඇතැයි කියා මම සිතුවෙමි.

“ඩ්‍රයිවරුත් දන්නවා ඇතිනේ…හාම්පුතාගේ තරම…” මම මටම කියා ගතිමි.

“ප්‍රසාද්…බෑන්ක් එක ළඟ නවත්තලා… ගිහින් කෑෂ් ටික ඩිපොසිට් කරලා එන්න…” අවීශ් අණ කළේය.

“හරි සර්…”

“නදීරා…අකවුන්ට් නම්බර් එක දෙන්න…”

ඔහු සියල්ලන්ටම අණ කරයි. මා සිතේ නොරුස්සුමක් හට ගැනිණ. ඔහුගේ මෙම හැසිරීමට මා තුළ කිසිදු කැමැත්තක් නැත. ඇරත් ඔහුට කීමට ඇති දෙය මා හා පැවසිය නොහැක්කේ මන්ද?

“මාව බෑන්ක් එක ගාවින් දාන්න ප්‍රසාද් අයියා…මම ගිහින් ඩිපොසිට් කරලා එන්නම්…කැමති නම් ඉන්න…නැත්නම් යන්න…”

නොමනාපය මුසුව මම කීවේ හිතුවක්කාර ලෙසිනි. ප්‍රසාද් යළි අප දෙස බලා සිනහව සඟවා ගැනීමට දරණ උත්සාහයද මට පෙනිණ. ඔහු බැංකුව අසළ රථය නවතන විට මම ඉන් බැස ගැනීමට සැරසුණද දොර අඟුළු වැටී තිබිණ.

“නදීරා…අකවුන්ට් නම්බර් එක දෙන්න…ප්‍රසාද් යයි…වෙන කවුරුත් යන්න ඕන නැහැ…”

මට එයට එරෙහි වන්නට නොහැකි විය. පරාජය භාරගත් මා ගිණුම් අංකයත් නමත් ලියූ කොළය නදීරා අතට දුන්නේ සිත තුළ සඟවා ගත් කෝපයෙනි. ඈ එය මුදල්ද සමඟ අවීශ් ට දිගු කළ අතර ඔහු එය ගෙන ප්‍රසාද්ට දුන් විට ප්‍රසාද් මුදල්ද රැඟෙන යන්නට ගියේය.

“අ…වී…ශ්…”

ප්‍රසාද් ගිය සැණින් මම ඔහු ඇමතුවේ ප්‍රසාද් ඉදිරියේ මගේ කෝපය පිට කිරීම සුදුසු නොවූ නිසාය.

“නදීරා මම ලිෆ්ට් එකක් දුන්නේ ස්කූල් යුනිෆෝෆෝ(ර්)ම් පිටින් පාරෙ රස්තියාදු වෙන්න හොඳ නැති නිසා…ඒකට තෑන්ක්ස් කරන්න වුවමනා නැහැ…”

මට කිසිත් කීමටත් ඉඩ නොතබා ඔහු කියවගෙන ගියේය. ඔහු පවසන දේද සත්‍යයකි. නදීරා මා මුහුණ දෙස බලා සිටියේ මේ කිසිත් වටහා ගනු නොහැකි ලෙසිනි.

“නදීරා නෙවේනේ ඔයාට කතා කළේ… මමනේ…අනික මම කතා කළේ තෑන්ක්ස් කරන්න නෙවේ…ඇයි මාත් එක්ක කෙළින් කතා කරන්න බැරි?…මගේ කන් දෙකම හොඳට ඇහෙනවා…මං ගොළුත් නැහැනේ…”

නොමනාපයෙන් මමද කියවාගෙන ගියෙමි.

“නදීරා…අපි අතරේ තාම යාළු කමක් නැහැනේ…ඒ යාළුකම ඇතිවුණදාට මම කතා කරනවා…අනික බස්සෙක්ටයි, ගිරවෙක්ටයි එහෙම යාළුවෝ වෙන්න බැහැනේ…”

මා මුවට නැඟෙන්නට ආ සිනහාව මම සඟවා ගෙන සිටියේ මහත් අපහාසුවෙනි. එදා ෂානු හා කී කතාව ඔහු තවමත් සිතේ තබාගෙන ඇත. මම කන්නාඩියෙන් පෙනෙන ඔහුගේ මුහුණ දෙසට බැල්මක් හෙළුවේ නපුරු මුහුණක් මවා ගනිමිනි. කිසිත් නොදත් නදීරා අසරණව අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලමින් සිටියාය.

“එහෙනම් නදීරා…ඒකට තව ගොඩා…ක් කාලයක් බලන් ඉන්න වෙයි…”

මම ළය හරහා දෑත් බැඳ ගනිමින් කීවේ උඩඟු ලෙසය.

“වෙන නැතුවට හොඳයි නදීරා…”

ඔහුද එවන්ම ස්වරයකින් කීවේය.

“හපොයි දෙවියනේ!…මාත් හරියට අර මොකේටද අහුවෙච්ච මොකක්ද එක වගේ…”

නදීරා අසරණ හඬකින් කෑ ගැසුවාය.

“දැන් මොකක්ද අර ගිරවයි බස්සයි කතාව…?”

ඒ අතරේ ඈ අසන්නට වූවාය. මම නිහඬව සිටියේ ඒ නෑසුණා සේය. ප්‍රසාද් පැමිණ රිසිට් පත අවීශ්ට දෙන විට ඔහු එය නදීරාට දිගු කළේය. ඈ එය මවෙත දිගු කරන විට මම එය ගත්තේ උදුරා ගෙන මෙනි.

“නදීරා…ඔය ගැස්සිළි…පිප්පිළි වැඩක් නැහැ… රිසිට් එක චෙක් කරලා බලන්න කියන්න හරිද කියලා…”

අවීශ් යළි කීවේ මම එය, මා උකුළ මත වූ පොත තුළට දමන විටය. අලුතින් ඇති වූ කෝපයෙන් මම ඔහුට රැව්වෙමි.

“වැඩේ භාර දුන්න කෙනා ෂුවර් නම්…ආයේ අමුතුවෙන් මොනවා බලන්නද නදීරා…? ”

නදීරා අසරණව බලා සිටින විට මම ඇනුම්පදයක් එල්ල කළෙමි.

“රිසිට් එක චෙක් කරලා බලන්න මිස්… නැත්නම් ඒක මගේ හිතටත් හරි නැහැ…”

ප්‍රාසාද් වඩා මෘදු හඬකින් කීවේ රථය නැවත පණගන්වාගෙන මාර්ගයට අවතීර්ණ කර ගනිමිනි. ඔහු එසේ පවසන විට මට එය නොසළකා හැරීමට සිත් නොදිණි. පොත ඇතුළට දැමූ රිසිට් පත ගෙන මම එය අතට ගෙන පිරික්සා කළේ නොසැළකිලිමත් ලෙසිනි.

“හරි ප්‍රසාද් අයියා…ගොඩාක් ස්තුතියි…”

“ඕක මොකක්ද මිස්…සුළු දෙයක්නේ…අපේ සර්ගේ යාළුවෙක්ට නොකරන උදව්…කාට කරන්නද…?”

ඔහු සිනහාවක් මුවේ රඳවාගෙන පසුපස බලන කන්නාඩියෙන් බලා පැවසුවේය.

“යාළුවෙක්!…? මමද එයම පැවසුවෙමි.

“අයියාට වැරදිලා…අපි තවම යාළුවෝ වෙලා නැහැ…මේ වගේ ඔළුව ඉදිමිච්ච කුකුල් කේන්ති කාරයෙක්ව කවුද යාළුවෝ කරගන්නේ…බස්සෙක් නේ…”

මුව ඇද කරමින් කී මම වහා නිහඬ වූයේ ප්‍රසාද් ඉදිරියේ එසේ කීම නොමනාකමකැයි වැටහුණේ පසුව නිසාය. නමුත් ඔවුන් ඉතා හොඳ මිතුරන් බව මට ඉක්මනින් දැන ගත හැකි වූ නිසා සිතේ වූ වරදකාරී හැඟීම වහා පහව ගියේය. ප්‍රසාද් උස් හඬින් සිනහසී වහා එය සඟවා ගත්තේ අවීශ් නෙරවා ගත් බැල්මකින් ඔහු දෙස බලන විටය.

“මිස් තමා අපේ සර්ව හරියටම තේරුම් ගත්ත කෙනා…මිස් වගේ යාළුවෙක් තමා අපේ අවීශ් සර්ට ඉන්නම ඕනා…”

ඔහුගේ කතාව මා සිතේ සියුම් ආඩම්බරයකුත් සතුටකුත් ඇති කළද මම එය මුහුණින් නොපෙන්වීමට වගබලා ගතිමි.

“අපෝ නැතුවට හොඳයි…” මා රිදවීමටදෝ අවීශ් කීය.

“අපෝ…අපිටත් එපා…” හිස ගස්සමින් මම ද කීවෙමි.

“මේ..දෙන්නම නවත්ත ගන්නවද දැන්…මල විකාර…මුන් දෙන්නාගේ…”

නදීරා මවා ගත් නොමනාපයක් පළ කරමින් කියන විට මම නිහඬ වූයෙමි. නදීරා හැරලවා යන අතර තුර එහි පැවතියේ නිහැඬියාවකි.

“ප්‍රසා…පාර අහ ගනින් ගෙදරට යන…”

අවිශ් ඒ නිහඬ බව බිඳිමින් පවසන විට ප්‍රසාද් එක් බැල්මක් හෙළුවේ කැඩපතිනි.

“ඒකත් නදීරගෙන්ම අහගන්න තිබුණානේ ප්‍රසාද් අයියා…”

මම ඇනුම්පදයක් එල්ල කරණ විට ප්‍රාසාද් සිනහාසුණේය.

“මිස් මට කියන්නකෝ පාර… නැත්නම් සර් ගෙදරම එක්ක යාවි…”

“පිස්සුද උඹට…? මට වෙන වැඩ නැහැනේ…”

“කවුද ඉතින් යන්නේ?…මට පිස්සුයැ….එහෙම වෙනදාටත් එක්ක යන අය ඉන්නවද ප්‍රසාද් අයියා…?”

“අනේ…නැහැ මිස්…අපේ මැඩම් ඇරුණාම මේ වාහනේට නැග්ගේ මිස්ලා දෙන්නා විතරයි…”

ප්‍රසාද් ඒ කීවේ බොරුවක් වන්නට නොහැකිය. මා සිතට සතුටක් දැනුණේ මන්ද?

“එක්ක ගියත් කාටවත් මොකද ප්‍රසාද්…?”

අවීශ් අසන විට මම කණ්ණාඩිය දෙස බලා ඔහුට රැව්වෙමි.

“එහෙම කාවවත් වාහනේට නග්ග ගන්න එපා ප්‍රසාද් අයියා…කවුරු කිව්වත් කමක් නැහැ…”

“අපෝ…නැහැ මිස්…අපි දැන් කොයි පැත්තටද මිස්…”

මාර්ග සංඥා නිසා වාහනය නවතමින් ප්‍රසාද් විමසුවේය. මම පිළිතුරක් දීමට පෙර අවීශ් යා යුතු මාර්ගය ප්‍රසාද් හා පවසන විට මම පුදුමයෙන් බලා සිටියෙමි.

“දෙවියනේ..! ඔහු අප නිවසට යන පාර පවා දනී. ඒ කෙසේද..? ”

-හෙටත් පුරුදු ලෙසින් හමුවෙමු-

1 COMMENT

Comments are closed.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you