Hima Mal Renu හිම මල් රේණු
සති අන්තයේ මාත් නදීරාත් අමතර පන්තියට යන විට තේෂාන් ඇතුළු සියළු දෙන අපිටත් සමඟ අසුන් වෙන් කරගෙන තිබිණ.
“දන්නවා නම් තව ටිකක් නිදා ගන්න තිබ්බා…”
නදීරා පසුතැවිළි හඬකින් කීවේ මා සිනහා නංවමිනි. අවීශ් සිටියේ මට ඉදිරියෙන් වූ අසුනෙහිය. ඔහු හැඳ සිටි මොණර නිල් පැහැති ටී ෂර්ටයටත්, සුදු ඩෙනිම් කළිසමටත් ඔහු ගේ කඩවසම් බව කැපී පෙනුණා යැයි කියා මට සිතිණ. ඉදිරි පෙළ අසුන් වල සිටි යුවතියන් කිහිප දෙනෙකුද වරින් වර ඔහු දෙස හැරී, හැරී බලනු අපි දුටිමු.
“හැන්ඩි යාළුවෙක් ඉන්න එක කාටද ආඩම්බර…”
නීරෝධ කීවේ අප සිනහා නංවමිනි.
“උස යන්න බාර එකකවත් එල්ලියන් හවසට…හවසට…”
ටිරෝන් විහිළු කළේය.
“බාර් එකේ එල්ලෙන එක කෙසේ වෙතත්… මූ හවසට, හවසට බාර් එක දිහා නම් බඩ ගානවාලු…සූර්…වෙන්න…”
තේෂාන් කියන විට එහි යළිත් සිනා හඬක් පැතිර ගියේය.
ගුරුවරයා උගන්වන අතර තුරදීත් මම අවීශ් දෙසම බලා සිටින්නට ඇත.වරක් ඔහු හදිසියේ පිටුපස හැරෙන විට මම වහා කළඹලයෙන් ඉවත බලා ගත්තේ සිත ඉහිරී ගිය ලැජ්ජා මුසු හැඟීමෙන් යුතුවය. මා එසේ නොකළ යුතුව තිබුණා යැයි සිතන විට මම පමා වූවා වැඩිය. ඔහුට හොරෙන් මම කී වතාවක් නම් ඔහු දෙස බලා සිටින්නට ඇතුවා දැයි මම නොදනිමි.
“මෙයාගේ ඇස් කොයි වෙලෙත් අවීශ් ළඟ…සර් උගන්වපු ඒවාවත් ඔළුවට ගියාද දන්නැහැ…”
නදීරා ඇනුම්පදයක් එල්ල කළේ විවේකයක් ලැබූ මොහොතේය.
“පිස්සු නැතුව ඉන්න…” ලැජ්ජා මුසුව මම කීවෙමි.
“පිස්සු නෙවේ…මම දැකපු දේ කිව්වෙ…ඔහොම ගිහින් මෙයා එක්සෑම් අනා ගනියි…අරයා හොඳට පාස් වෙයි…චැලෙන්ජ් එකෙන් එයා දැනටමත් දිනලා ඉවරයි…”
“එයා දිනන එක ගැන නම් මට කමක් නැහැ…ඔයාත් මං දිහාම බලන් ඉන්නැතුව…සර් කියපු දේවල් අහන් හිටියා නම්…ඔයාටත් එයා එක්කම පාස් වෙන්න පුළුවන්…”
මමද ඇයට පෙරළා ඇනුම්පදයක් එල්ල කළෙමි.
“අමුතුවෙන් මෙයා දිහා බලන් ඉන්න මට ඔල්මොරොන්දම් කියලා හිතුවද…? මම හිටියේ එහා පැත්තේ…”
නදීරා නොමනාපයෙන් මෙන් කීවාය.
“හා..හා…ඔයා දිනුම්…”
“අවීශ් දිහා ඉතින් කොහොමත් බැලෙනවනේ…? පොර හැන්ඩියා…කැෂුවල් ඇන්දාම කොහොමත් ලස්සනයි…මාත් දැක්කා කෙල්ලෝ ටික හැරී හැරී බලනවා…”
“ඉතින් අපිට මොකෝ..?”
මුව ඇද කරගත් මම ඉවත බලා ගත්තේ බොරු අමනාප කමක් අඟවමිනි.
“දුක නැද්ද..?”
“ආහ්..! අර මොකටද…මං දුක් වෙන්නේ… නැතුවට හොඳයි…”
ටිරෝන් අප වෙත පැමිණියේ අයිස් කෝන් දෙකක්ද රැගෙනය.
“ෂා..! තෑන්ක් යූ…”
මම එය ඩැහැ ගනිමින් කීවෙමි.
“ඔයා ගානෙද…?”
නදීරාද එය අතට ගනිමින් විමසුවාය.
“කාගෙන් වුණහම මොකද අනේ?…ඔන්න ඕකේ ජාතකේ හොයන් නැතිව කනවා…එපා නම් මට දෙනවා…මට වැඩි නැහැ…”
එහි දවටනය ගළවමින් මම කියන විට ටිරෝන් සිනහසී ඉවත ගියේය. අපි දෙදෙන සෙවනැති තැනකට වී එය රස බැලුවෙමු.
“ෂුවර් එකට අවීශ් එවන්න ඇත්තේ…”
නදීරා එසේ කීවේ මමද සිතමින් සිටි දේමය.
“හ්ම්ම්…කවුරු වුණාම මොකද?…මේකේ ගහලා නැහැනේ…එයා එව්වේ කියලා…”
මම එසේ කියන විටම අවීශ් මිතුරන්ද සමඟ අප පසුකර ශාලාව දෙසට යනු දැක නදීරා මට වැළමිටෙන් ඇන්නාය. මම එය නොදුටු වා සේ සිටියෙමි. හදිසියේ මගේ ඇඟේ වැදී ගිය කිසිවෙකු නිසා මා රස බලමින් සිටි අයිස් කෝනයද බිම වැටුණේ මගේ ඇඳුමේද ඉහිරවමිනි. මම හැරී බලන විටම ඒ තෙෂාරා බව දැක මම පුදුම වූයෙමි. ඒ ඈ සිතා මතාම කළ දෙයකි. ඇගේ සහචරයන් දෙදෙන එය දැක, අත් වලින් මුව වසා ගෙන සිනහාසෙන්නට වූහ.
“ඌහ්හ්හ්….! අ…නා…සොරි…ඔයාගේ ඩ්‍රස් එක සවුත්තු වුණා නේද..?”
කට උල් කරගෙන තොඳොල් හඬකින් තෙෂාරා කියන විට නම් මා සිතේ කෝපයක් ඇති විය. ඈ නිහඬව යන්නට ගියා නම් මම ද එය අත්වැරැද්දක් සේ සළකා නිහඬව සිටින්නට ඉඩ තිබිණ. නමුත් වරදත් කර ඈ සැවොම ඉදිරියේ මට සිනහසෙමිනුත් සිටියේ ශලනිටත් රොසෙටාටත් එසේ කිරීමට අනුබල දෙමිනි. මේ තෙෂාරා මගෙන් පළිගත් ආකාරයයි. ඈ පන්ති පැමිණ තිබූ බව හෝ මම නොදුටුවෙමි. කිසිවක් සිතා ගන්නට ඉඩ නොතබා මම නදීරා අතේ තබාගෙන සිටි අයිස් කෝනය රැගෙන තෙෂාරාගේ මුහුණේ උලා ඇගේ ඇඳුමින්ම අත පිස ගන්නා විට හූ හඬකුත් අත් පොළොසන් නදකුත් නැඟුණේ එක්වරමය.
“අනා…සොරි අනා…ඔයාගේ මූණයි ඩ්‍රස් එකයි දෙකම සවුත්තු වුණා නේ…?”
ඈ පැවසූ ලෙසෙම ඈ අනුකරණය කරමින් මම කියන විට ලැජ්ජාවෙන් මිරිකෙමින් ඈ මා දෙස බලා සිටියේ කෝපයෙන් රතු වූ මුහුණිනි. ඇගේ සහචරයන් දෙදෙනද මුව හයා බලා සිටින විට මම විවේකාගාරය දෙසට ආවෙමි. නදීරාද මා පසුපස දිව ආවාය.
“අනේ!…ඔයා කොහොමද අනේ…ඔහොම කරන්නේ…? මට නම් බයේ බැහැ…”
ඈ තම ලේන්සුව දියෙන් තෙමා මගේ ඇඟ පුරා අයිස් පැල්ළම් ඉහිරුණ තැන් පිස දමන්නට වූවාය. මගේ කෝපය තවම පහව තිබුණේ නැත. සියල්ලන්ටම වඩා මා සිතේ කෝපය ශලිනි සහ රොසෙටා කෙරෙහිය. තෙෂාරා කරන කියන සියල්ලන්ටම උල් පන්දම් දෙන්නේ ඔවුන්ය. ඊළඟ වතාවේ ඒ දෙදෙනාටද හොඳ පාඩමක් ඉගැන්විය යුතුය. අපි දෙදෙන යළි ශාලාව වෙත එන විට නැඟුණේ කන් බිහිරි කරවන සුලු අත් පොළොසන් නදකි. ජයග්‍රාහී හැඟීමක් නම් මා සිතට දැනුණේ නැත. මම පෙර අසුනටම විත් හිඳ ගත්තේ අවීශ් දෙස නෙත් කොණින් හෝ නොබැලීමට ප්‍රවේශම් වෙමිනි.
“තෙෂාරා ඕනවට වඩා වැඩියි…” ටිරෝන් කීවේය.
“ලැජ්ජාව නිසා ගියා පන්තියටවත් ඉන්නැතිව…”
තේෂාන් කියන විට නම් මා සිතේ ඇති වූයේ අනුකම්පාවකි. ඈ කලකින් අමතර පන්තියට හෝ පැමිණියේ අදය. තෙෂාරා ගියේ මා නිසා යැයි වරදකාරී හැඟීමකින් මා සිත පෙළෙන්නට විය.
“ඒක ඔයාගේ වැරැද්ද නෙවේනේ…එයාමනේ හිතලාම ඇවිත් ඇඟේ හැප්පුණේ…විකාර නොහිතා ඉන්න…”
මම එය නදීරා හා පවසන විට ඈ දුන්නේ එවන් පිළිතුරකි. සවස අප කැඳවාගෙන යාමට පැමිණියේ තාත්තාය. ගුණතුංග මාමා කොහේ හෝ ගියා වන්නට ඇතැයි මම සිතුවෙමි.
“මොකක්ද අද ක්ලාස් එකේ වුණේ…?”
තාත්තා අසන්නේ කුමක්ද කියා මට වැටහුමක් නොවීය. සිදු වූ දෙය ඔහු දැන ගන්නට කෙසේවත් ඉඩක් නොතිබිණ.
“සර් ඉතින් වෙනදා වගේම ඉගැන්නුවා…”
මම සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ තාත්තා අසන දේ ගැන වැටහුමක් නොවූ නිසාය. නදීරාට එය වැටහී තිබුණාක් මෙන් ඈ මගේ කලවයට පහරක් ගසන විට මම ඈ දෙස බැලුවේ මවිතයෙනි.
“ලොකු දුව…සෙල්ලම් කරන්න හදන්න එපා….මට ආරංචියි වෙච්ච දේ…”
ඔහු සැරෙන් පවසන විට මට කාරණය වැටහිණ.
“ආරංචි වුණා කියන්නේ…ආරංචි වෙන්න තරම් මොකක්ද වුණේ තාත්තේ…? තාත්තා දැන් ක්ලාස් එක ළඟට සී අයි ඩී ත් දාලද..?”
උපහාසය මුසුව මම ඇසීමි.
“හැමදේම විහිළු නෙවේ ලොකු දුව…”
එවර ඔහුගේ හඬ බාල වී තිබිණ.
“ඒක නම් ඇත්ත තාත්තේ…හැමදේම විහිළු නෙවේ තමා…අපි අපිවම කාගෙවත් විහිළුවකට ලක් වෙන්න ඉඩ දීලා බලන් ඉන්න හොඳ නැහැ…තාත්තා අපිව හැදුවේ එක, එක්කෙනාගේ විහිළුවලට ලක් වෙන්න නෙවේනේ…තාත්තා වුණත් කැමැතිද මාව එහෙම ජෝක් එකක් වෙනවට…එහෙම වෙලා මම ගෙදර ඇවිත්…මං ආයේ කොලේජ් යන්නේ නැහැ…ක්ලාස් යන්නේ නැහැ…මට මොකුත් එපා…කිය කියා අඬා…අඬා කාමරේට වෙලා ඉන්නවා දකින්න… නැහැනේ..?”
මම එසේ කියන විට තාත්තා නිහඬ විය.
“ඔය ප්‍රශ්න දුර දිග යයි ළමයෝ…මං හිතන්නේ ඒක…මට ඔයාව වටිනවනේ…ඔයාට හිරිහැරයක් කරදරයක් වෙනවාට මං කැමති නැහැ…”
තාත්තා එසේ කීවේ බොහෝ හැඟීම්බර හඬකිනි.
“එහෙම කියලා අපිට මුළු ගැන්වීලා ඉන්න බැහැනේ තාත්තේ…හැම වෙලේම ඔයාට බැහැ මාව ළඟින් ඉඳන් ආරක්ෂා කරන්න… මාත් මං ගැන බලාගන්න ඕනනේ…”
“හරි…හරි…ඔයා දිනුම්…”
එවර ඔහු මඳහසක් පාමින් කීය.
“දන්නවද දුව…?මෙයා ගමේදිත් මේ වගේ තමා…චණ්ඩි රැජිණ…”
නදීරා අතින් මුව වසාගෙන සිනහාසුණාය. ඈ මුව විවර කළා නම් මම විනාශ බව දන්නා නිසා මම කතාව වෙනතකට හැරවීමි.
“දැන් කවුද තාත්තට ඔය කතාව කිව්වේ..?”
එකත් එකටම පුංචි අම්මාගේ කවුරුන් හෝ පන්තියට පැමිණෙනවා විය යුතු යැයි මම අනුමාන කළෙමි.
“පුංචි අම්මාගේ යාළුවෙක්ගෙ දුවෙක් එනවලු…එයා උදේ ක්ලාස් ඉඳලා…හවස පාර්ටියකට යන්න තියන නිසා ඒ ළමයාව පිකප් කරගන්න ඇවිත් අම්මා…එතකොට මෙතන හෙන සද්දෙලු…හූ කියනවලු අත්පුඩි ගහනවලු…මොකද අහද්දි එයා තමා කියලා තියෙන්නේ ඔයාගෙ නම කියලම විස්තරේ…එයා ඒ එක්කම මනෝරිට කෝල් අරන්…”
මා සිතුවා නිවැරදිය. නමුත් ඒ ළමයා කවුද කියා සොයා ගන්නේ කොහොමද? මම සිතන විටම නදීරාද ප්‍රශ්නාර්ථයෙන් මදෙස බැලුවාය. මම දෙවුර සැළුවේ ඇගේ බැල්ම වටහාගෙනය.
අපි නිවසට ගොඩ වන විට පුංචි අම්මා සිටියේ ආලින්දයේ සුව පහසුව හිඳගෙන රූපවාහිනිය නරඹමිනි. මා දුටු ඈ මුහුණ හකුළුවාගෙන ඉවත බලා ගන්නා විට මා සිතේ උපන් කෝපය සඟවාගෙන මමද එහි අසුනක හිඳ ගතිමි. නැන්දා තේ බන්දේසියත් රැඟෙන ආලින්දයට පැමිණියේ එවිටමය.
“ඔයා එන වෙලාව අල්ලලා මං තේ හැදුවේ…”
නැන්දා පළමුව තාත්තාටත් දෙවනුව මටත් තේ පිළිගන්වා පුංචි අම්මාගේ තේ කෝප්පය, බන්දේසිය පිටින්ම ස්ටූලය මත තබන විට මා සිතේ ඇති වූයේ අමුතු සතුටකි.
“ඔයා ඇයි අනේ මෙහෙම මහන්සි වෙන්නේ….අනික් අය සැපේ ඉන්නවා…ඔයා මේ ගෙදර සර්වන්ට් නෙවේනේ…”
සිතේ වූ කෝපය මම ඇඟට පතට නොදැනී වචන වලට පෙරළන විට පුංචි අම්මා හිස ගස්සා මදෙස බලනු මම නෙත් කොණින් දුටිමි.
“මොනාද ළමයෝ මේ කියන්නේ?… මම මේවා කරන්නේ කැමැත්තෙන්නේ…”
නැන්දා තරවටු බැල්මක් මවෙත හෙළමින් කීවේ මා පසෙක අසුන් ගනිමිනි.
“පේනවද මාවන්..? මෙයා මේ හින්ට් ගහන්නේ මට…”
ඈ මට රවමින් කීවාය.
“නැතුව ඉතින්…වෙන කාටවත්යැ…”
තේ උගුරක රස බලමින් මම පහත් හඬින් මිමුණුවෙමි.
“පේන්න දෙයක් නැහැ…කතාව ඇත්තනේ…මුළු දවසම එක්කෝ ටී වී එකේ…නැත්නම් කා එක්ක හරි පෝන් එකේ එල්ලිළා ඕප දූප කියවන එකනේ කරන්නේ…”
මුවින් කිසිත් නොකීවද තාත්තා මේ සියල්ල ඇස ගසාගෙන සිටින බව එම කතාවෙන් පැහැදිළි වුවද වරදත් ඔහුගේමය. ඇයට කොසිවක් නොකියා මුණිවත රැක ඔහු තවත් ඇයව නරක් කරන්නේය.
“ආහ්!…දැන් එතකොට මම අර කතාව කියපු එක වැරදිද…? මෙයාට ඕන ඕන විදියට නටන්න ඇරලා බලන් ඉන්නකෝ…ක්ලාස් ගිහින් කෙල්ලෝ එක්ක රණ්ඩු කරන එකද කරන්නේ….? ඕක නිසානේ මට මේ ආපු ගමන් හින්ට් ගහන්නේ…”
මට කීමට බොහෝ දේ සිහි වූ මුත් මම නිහඬව සිටියෙමි.
“තේක රසයි නැන්දා…”
පුංචි අම්මාගේ කතාව බිඳකුඳු තැකීමක් නොකර මම කියන විට ඇගේ මුහුණ තවත් රකුසු විය.
“එන්න…අපි පිටිපස්සට යමු…”
නැන්දා මගේ අතින් අල්ලා අදිමින් කියන විට මම ඇයට කීකරුව නැඟී සිටියෙමි.
“මරු නැන්දයි ලේලියි…”
එවර ඇගේ හඬ ඇසෙන විට නම් මට මා පාලනය කර ගත නොහැකි විය. මම එළෙසම නැවතෙන්නට හදන විට නැන්දා මා අතින් ඇදගෙන ආවාය.
“මනෝරි කට වහන් හිටියොත් හොඳයි…මගේ ඉවසීම නැති නොකර…”
තාත්තාගේ කෝපයට පත් හඬ මා පසු පස ගලා ආවේය.
“දැන් නම් මගේත් ඉවසීම…කොයි මොහොතේ නැති වෙයිද දන්නැහැ නැන්දේ…”
“නිකන් ඉන්න ළමයෝ…අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගෙන…එයා මහා කපටි අම්මණ්ඩි කියලා ඔයා දන්නවනේ…තාත්තාගේ හිත කඩන්නයි ඔය කේළම් කියන්නේ…ඔයාත් තරහින් කෑගහලා කොහොමද…?”
ඈ කියන්නේ සත්‍යයක් විය හැකි මුත් එසේ කියා මට නිහඬව සිටිය හැකිද. ?
“ඒ වුණාට මට නම් පුදුම තරහක් එන්නේ…එයාගේ දුව ගැන බලන්නේ නැහැ….මං ගැන පුදුම අමාරුවක් නේ තියෙන්නේ…දැන් කෝ නංගී….එයා ගෙදරත් නැහැ නේද…?”
“එයා යාළුවෙගේ ගෙදර ගියා…ඒක නෙවේ අද මොකද වුණේ ක්ලාස් එක ළඟ…?”
මම එය නැන්දා හා පවසන විට ඈ උස් හඬින් සිනහාසුණාය.
“අනේ…අනේ…ඔයත් කරන වැඩ…මේ ළමයා මොකද අනේ ඔච්චර ඔයා එක්ක තරහා…?”
“අවීශ් මට හිතවත් වෙයි කියලා බයේ…අනික දැන් අවීශ් ඉස්සර වගේ නෙවේනේ…පිළිවෙළකට ස්කූල් එනවා…ඒ වෙනස කළේ මම කියලා හුඟාක් ළමයි කතා වෙනවා…ඒක එයාට දිරවන්නේ නැහැ…ඒ නිසායි මේ සේරම…”
“එයා ඒ ළමයට ඇත්තටම…ආදරේ නම්… එයා සතුටු වෙන්න ඕන…එයාට කරන්න බැරි වුණ දේ වෙන කවුරු හරි කරපු එකට….”
“ඔතන තියෙන්නේ ආදරේ නෙවේ නැන්දා… ආශාව…ආකර්ෂණය…අවීශ් කියන්නේ ස්මාර්ට් කොල්ලෙක්…මොණරෙක් වගේ ආඩම්බරයි…ගිරවෙක් වගේ කියවන්නේ නැහැ…උකුස්සෙක් වගේ හැමදේම දිහා ඇහැ ගහන් ඉන්නේ…හැබැයි එහෙම කියලා ඒක පෙන්නන්නෙත් නැහැ…කිසි කෙනෙක්ව තඹේකට ගණන් ගන්නෙත් නැහැ….තෙෂාරා ගොඩාක් කල් ඉඳන් අවීශ් ගැන හෝප්ස් තියන්ලු ඉන්නේ…අවීශ් එයාව කෙයාර් කරන්නේ නැති නිසා දැන් තෙෂාරා ඉන්නේ ඊර්ෂ්‍යාවෙන්…ඒකයි ඔය මගෙන් තරහා පිරිමහ ගන්න හදන්නේ…නැත්නම් මාත් එක්ක ඇති තරහකට නෙවේ…මං එයාට මොනවා කළාටද…? එයා හිතනවා ඇති…මං අවීශ් එක්ක යාළු වෙයි කියලා…”
“ඔයාගේ හිතේ එහෙම අදහසක් නැහැනේ…”
නැන්දා කල් යල් බලා පැනයක් නැඟුවාය.
“නැහැ…එහෙම අදහසක් නැහැ…ඒත් මං එයා ගැන ඉන්නේ හරිම කුතුහළෙන්…”
ස්ථීර හඬකින් මම කීවෙමි.
“ඔව්…මටත් දැන් නම් නිකම් කුතුහළයක් තියනවා….මේ ළමයා බලා ගන්න…මුළින් ඔයා කිව්වා එයා කොණ්ඩ කුරුල්ලෙක් කියලා…දැන් මොණරෙක්…ගිරවෙක්…උකුස්සෙක්ලු….එහෙම කියද්දී මට මැවිලා පේන්නේ කුරුළු උයනක්….”
නැන්දා එසේ කියන විට මා මුවින් සිනහව පිට පැන්නේය.
“අම්මෝ…නැන්දා ඔයත් නම් මාර මිටරේ තමා….”
සිනහව නවතාගෙන මම කීවෙමි.
“මීටරෙන් ඉන්න එපැයි…නැතුව බැහැනේ…”
නදීරාගෙන් ඇමතුමක් ආ නිසා මම මගේ කාමරයට පැමිණියේ එයට අමතමිනි.
“මේ…මොකෝ වුණේ…මොකුත් අවුලක් නැහැ නේද…තාත්තා බැන්නද ගෙදර ඇවිත්..?”
ඈ එක දිගට විමසුවාය.
“ආහ්!…නැහැ, නැහැ…අනේ…මොනවට බනින්නද….? එයා ඒ වෙලේම ෂේප්….”
“එහෙනම් කමක් නැහැ…තේෂානුත් කතා කළා…එයාත් අවුළෙන් ඉන්නේ ක්ලාස් එකේ වුණ දේට…”
“ආහ්!..ඒ මොකටද එයා අවුළ් යන්නේ…? ”
“නිකමට වෙන්නැති අනේ…මෙයාත් ඇදයක්ම හොයනවා…”
නදීරා ගේ හඬේ වූයේ නොමනාපයකි.
“හරි…හරි…එයාට කියන්න අවුල් වෙන්න ඕන නැහැ කියල…”
“මට බැහැ…ඔයාට ඕන නම් කියා ගන්න…”
එවර ඇගේ හඬේ වූයේ නොමනාපයකි.
“මං මොකටද කියන්නේ…මට කතා කළේ නැහැනේ…”
“මං කියන්නම්…ඔයාට කෝල් එකක් දෙන්න කියලා…”
“විකාර…ඕන නැහැ….”
මම එසේ කියා ඇමතුම විසන්ධි කළෙමි. ඒ අතරේ කෙටි පණිවිඩයක් ලැබී තිබූ නිසා මම එය විවර කළෙමි. ඒ ටිරෝන්ය.
“අයිස් ක්‍රීම් කන්නත් නැති වුණා නේ අන්තිමේදි..?”
“මම වෙනුවට තෙෂාරා කෑවනේ…ඔන්න… ඔයා අරන් දුන්න මුල්ම අයිස් ක්‍රීම් එක කෑවේ තෙෂාරා…… ”
සිනා මුහුණක්ද සහිතව මම ලියා යැවූයේ එය රැගෙන දුන්නේ අවීශ් ද කියා දැන් ගැනීමේ වුවමනාවටය.
“මම නෙවේ…ඒ…අවීශ් ගානේ ගෙනාවේ….කොහොම වුණත් පව් වැඩේ වුණේ…දැන්වත් පාඩුවේ හිටියා නම් හොඳයි…”
ඔහු එසේ එවා තිබූ අතර මා සිතුවා නිවැරදිය. පණිවුඩ කීපයක් හුවමාරු කරගෙන මම දුරකථනය පසෙක තැබීමි.