More
    spot_img
    NovelsMandaramen EhaMandaramen Eha - 42 මන්දාරමෙන් එහා

    Mandaramen Eha – 42 මන්දාරමෙන් එහා

    -

    spot_img

    Mandaramen Eha –  තාරුකා සිය සේවා ස්ථානය වෙත පැමිණීම සඳහා මදක් ප්‍රමාද වී තිබිණි. ඒ සිය සොහොයුරා වූ කාලිංග තමාව ඇරලවීම සඳහා තරමක් ප්‍රමාද වී පැමිණි හෙයිනි. සිය මවගේ මරණයෙන් පසු තාරුකා සිරිවර්ධන ෆැන්සි හවුස් හි සේවය සඳහා පැමිණෙන පළමු දවස අදය. එදිනද මෙසේ ප්‍රමාද වීම, නොසැලකිලිමත් කමක් සේ ඇයට හැඟෙමින් පැවතිණි. ඇය කාර්‍යාල කාමරයට ඇතුළු වූයේ ඒ බරද හිස මත තෙරපෙද්දීය. ඒ වෙද්දීත් ලක්මාල් සිය අසුනෙහි සිටිනු දැකීමෙන් තාරුකා තවත් කළබලයට පත් වූවාය.

    “මං හිතුවෙ නෑ අයියා වේලාසනින් ඒවී කියලා…”

    උදෑසනක හමුවන ඕනෑම අයෙකුට ඔහේ කියා දමන “සුබ උදෑසනක්” යන්න වත් නොකියා තාරුකා එසේ ලක්මාල්ට කීයේ සිතෙහි පවතින නොසන්සුන් බව මකා ගැනීම උදෙසාය.

    “මාත් හිතුවෙ නෑ නංගි අද වැඩට එයි කියලා…එහෙම දැනගෙන හිටියනම් මං පප්පා එක්ක ටිකක් ඉඳලා එනවා…”

    ලක්මාල්ගේ හඬ වෙනදා තරම් නිදහස් නොවන වග තාරුකා වහා හැඳින්නාය.

    “ලොකු සර්ට තාම සනීප නැද්ද අයියේ..”

    “ඔව් නංගී..එදා සිද්ධියෙන් පස්සෙ පප්පට පොඩ්ඩක් සිහි කල්පනාව මදි..”

    “බංඩාර මුත්තේඒඒ…” තාරුකා අසළ තිබූ තමන්ගේ අසුන මතට වැටුණාය.

    “දැන් පප්ප ළඟ කවුරුහරි ඉන්නම ඕනේ..එයා කරන,කියන දේවල් එයාටවත් තේරුමක් නෑ…”

    “දොස්තරලා මොනාද කියන්නෙ අයියේ…”

    “බෙහෙත් දීල තියනවා…ඒවත් පප්පට හරියට දීගන්න බෑ.. එයා ගෙදරදි ටිකක් මුරණ්ඩු විදිහට තමා හැසිරෙන්නේ..ගෙදර උදව්වට ඉන්න නැන්දත් දැන් එන්න බෑ කියනවා ඒ නිසා…”

    “උදව්වට නැදෑ කෙනෙක්වත් ගෙන්න ගත්තනම් නේද හොඳ අයියේ…”

    “මං දන්න කාලෙක පප්පා අපිට එහෙම කිසිම නෑදෑයෙක් ගැන කියලා නෑ නංගී…”

    තාරුකාගේ හිතට ක්ෂණික ගැස්මක් නැඟ ආවාය. සමීපතමයන්, නෑදෑයන් දුරස්වීමේ සහ හැරයෑමේ වේදනාව ඇය හොඳින් දනී. එහෙත් කිසිකලෙක නෑදෑයෙකු ගැන අසා නැතැයි කියන ලක්මාල්ගේ හැඟීම් තේරුම් ගන්නට තරම් ඇගේ හිත මේ මොහොතේ ශක්තිමත් නැත. මන්ද යත් මේ මොහොතේ තමා සිටින්නේද මාපියන් දෙපළම අහිමිවූ දරුවෙකුගේ චිත්ත සංතාපයෙනි.

    “මං ඔයාගේ ඔලුවට ඕනේ නැති බරක් දැම්මා නේද නංගී..”

    “අනේ නෑ අයියේ..මට ඔයාගේ වේදනාව හොඳට තේරෙනවා…”

    “මං එදා මලගෙදර ඇවිත් ඔයාලට ප්‍රශ්නයක් ඇතිකරානම් මට සමාවෙන්න නංගී…මට ඒ ගමන නෑවිත්ම බැරිවුණා..”

    “මට දැන් ඒවා පුරුදුයි අයියේ…ගම්වල මිනිස්සු කතන්දර හදන්න කට අයාගත්තු ගමං ඉන්නේ…ඒවට කම්පා වුණොත් අපිට ජීවිතයක් නැතුව යනවා…”

    ලක්මාල් වහා සිය අසුනෙන් නැඟිට ගත් හෙයින්, තාරුකා හිස නඟා බැලුවාය. සිරිවර්ධන මුදළාලි කාර්‍යාල කාමරයේ දොර අසළ ඔවුන් දෙස බලා සිටියේය.

    “පප්පේ…කොහෙද මේ තනියෙං ඇවිදින්නේ..”

    ලක්මාල්ව ගණනකට නොගත්, සිරිවර්ධන මුදළාලි, තාරුකා අසළටම ඇවිද ගොස් ඇගේ මුහුණ දෙස සෘජුවම බලා සිටියේය. තාරුකා සිය අසුනෙන් නැඟිට බිත්තියට හේත්තුවූවාය. සිරිවර්ධන මුදළාලි තමාගේ එක් අතක් ක්‍රමයෙන් තාරුකාගේ ගෙල වෙත රැගෙන ගියේය.

    රිදී නැන්දා වූයේ කැලේගම වලව්වේ ගේට්ටුව අසළ පිහිටි සොහොන් කොත් දෙක සමීපයෙහිය. ඇය ඒ සොහොන් කොත් අවට තණකොල උගුල්ලා සුද්ධ පවිත්‍ර කර ඇති ලකුණු පෙනෙන්නට තිබිණි. මොහොතක කලින් දැල්වූයේයැයි කිවහැකි මැටි පහන් දෙකක් කොත් මත දැල්වෙමින් තිබේ. අප්පුහාමි මහ නිළමේගේ සහ නීලම්මා කුමාරිහාමිගේ ජායාරූප සහිත කොත ඉදිරිපස කෙසෙල් කොලයක තැබූ නැවුම් අරලියා මල්, ගැට පිච්ච සහ දහස්පෙතියාය. සිය ආබාධ සහිත කකුල එක් පසෙකට වන්නට තබාගෙන, රිදී නැන්දා සොහොන් කොත් දෙක අතර දණ නැමුවාය. අනතුරුව. අප්‍රමාණ සෙනෙහසකින් යුතුව කොත් මත ඇති මහ නිළමෙගේ සහ කුමාරිහාමිගේ පිංතූර දෙක අත ගෑවාය.

    “බුදුන් දැක නිවන් දකින්ඩෝනෙ අපෙ වලව්වේ හාදුරුවනේ..ඕං අපේ ඉස්කෝලෙ මැණිකෙත් අර නූල් සූත්තරකාරිගෙ ගම් පැත්තෙ නඩලමේ ගොහිං ආවා…පුංචි නිළමෙ ඔය සූත්තරකාරිට අහුවුණත් හරි, මගෙ දෙයියො ඇස් පියාගත්තා… කම්පා වෙවීම ඉඳලා ටික දොහකින් කුමාරිහාමිත් යන්ඩ ගියා…ඒ ඉතරක්නම් මදෑ…අනේ අපේ පුංචි නිළමෙත් ඕකූන් මරාගත්තා නෙව වලව්වේ හාදුරුන්නේ..”

    රිදී නැන්දා සොහොන් කොත් දෙකට පවසනා විස්තරය කෙමෙන් අඳෝනාවක් සහ දෙස් දෙවිල්ලක් බවට පරිවර්තනය වන්නට වූවාය.

    “ගෙහුං එනකොට අර පුංචි බටු ඇටෙත් එහේ දමලා ඇවිත්..ඕං අර කළුවර කාමරේට වෙලා තනිකං මන්තරේ ජප කොර,කොර ඉන්නවා…”

    රිදී නැන්දාගේ හඬ වේගවත්ව ඇසෙන්නට වූවාය. ගෙයින් එළියට බට ඉස්කෝලෙ මැණිකේ සෙමෙන්,සෙමෙන් සොහොන් කොත් දෙසට ඇවිද ආවාය.

    “ඉන්න තැනකින් දිවැස් හෙලලා ඕකුන්ගෙ සනුහරේට වින කටින්ඩ මයෙ දෙයියෝ…නැහ්නං ඕකුන්ගෙ ශාපෙ මේ යස අගේට ඉන්න අපේ රන් කඳටත් වදිනවා දෙයි හාදුරුවනේ…”

    “රිදී නැන්දේ…”

    ඉස්කෝලෙ මැණිකෙගේ හඬට රිදී නැන්දා දණි,පණි ගා සොහොන් කොත් අසළින් නැඟී සිටියාය. රිදී නැන්දාට යමක් කියන්නට මුව විවර කළද, අවසන ඉස්කෝලෙ මැණිකේ එය නතරකොට දැමුවාය. එසේ කළේ රිදී නැන්දා සිය දෑස් චීත්ත පොටින් තෙත මාත්තු කරනු දැකීමෙනි. ඉස්කෝලෙ මැණිකේ රිදී නැන්දාගේ කරට අත දමාගෙන ගේට්ටුව අසළට රැඟෙන ආවාය.

    “මං දවසක මේ සොහොන් දෙක ළඟින්ම රිදී නැන්දටත් ඉඩක් දෙනවා…එතකොට ඔය කේළම් ටික වලව්වෙ හාමුදුරුවො ළඟට වෙලාම කියතෑකී..”

    “හනෙ අම්මේහ්…අපෙ මැණිකෙ..පව් පිරෙන කතා කියන්ඩෙපා…උන්නාන්සෙලා එක්ක පෑහෙන්න පුළුවන්ද මේ කිලිටි රදා ගෑණිට..”

    “රිදී නැන්දට අපි කවදාවත් එහෙම වෙනස්කමක් කරලා තියේද..මං අහන්නෙ අප්පච්චිලා ඉන්න කාලෙවත්..”

    “මේ මොනා අහනවද අපෙ මැණිකෙ..මහ නිළමෙයි, කුමාරිහාමියි මට උඔ නොදකිං කියලා නෑ….”

    “මායි,මල්ලියි දෙන්නත් එහෙමනෙ නේද..”

    “ආයේ ඒකේ හෝදන්ඩ දෙයක් ඇතෑ අපෙ මැණිකේ..”

    “ඉතිං ඇයි රිදී නැන්දා පුංචි නිළමෙ පෙළවහට ගිය පවුල ගැන විතරක් වෛරෙන් ඉන්නේ..”

    රිදී නැන්දා ඉස්කෝලෙ මැණිකේ දෙස බලා, අහක බලාගත්තා මිස කිසිත් කීවේ නැත.

    “ඔය හීන්මැණිකෙගේ පවුලත් අපි වගේම ඒ ගමේ නම්බුකාර පවුලක්..අපේ මල්ලිට ඒ ගමේ අය කටපුරා කියන්නෙ බංඩාර මහත්තයා කියලා…ඒ විතරක් නෙවේ අර මෙහේ ආපු පිරිමි ළමයා…ශාරික පුතාටත් ඒ ගමේ අය කියන්නෙ පුංචි නිළමෙ කියලා…”

    එවරනම් රිදී නැන්දාගේ අවධානය, ඉස්කෝලෙ මැණිකේගේ කතාවට යොමු වූවාය.

    “සමහරවිට රිදී නැන්දා හිතනව ඇති අම්මයි,අප්පච්චියි මැරුණෙ මල්ලී හිතුවක්කාරෙට දීගෙක ගිය නිසා කියලා…ඒක වැරදියි..” රිදී නැන්දා මුව අයාගත්වනම, ඉස්කෝලෙ මැණිකේ දෙස බලා උන්නාය.

    “අප්පච්ව් මට ඔය මාතර මුදළාලිගේ පුතා යෝජනා කරපු කාලේම, මල්ලිට මේ ගෙදර ඇවිත් ඉන්ඩ කියලා කීවා…ඒත් මල්ලි කැමති වුණේ නෑ හීන්මැණිකෙ එක්ක මෙහේ එන්ඩ…ඉතිං මං අර මාතර මුදළාලිගේ පුතා බැඳලා ගියානම්, අම්මයි,අප්පච්චියි මේ ගෙදර තනිවෙන නිසා තමා මං ඒ මඟුලට අකමැති වුණේ..”

    “අනේ..අපේ වලව්වෙ හාමුදුරුවන්ගෙ පණ කෙන්ද ගියෙත් පුංචි නිළමෙගෙ නම කිය,කියා ඉද්දි..” රිදී නැන්දා එසේ කියමින් කම්පා වූවාය.

    “ඒ පාප කර්මෙනම් මල්ලි මැරෙන මොහොතෙ හරි විඳවලා ගෙවාගන්න ඇති රිදී නැන්දේ..”

    “අර බබා නාවෙ මොකෝ අපෙ මැණිකේ..”

    රිදී නැන්දා අසන්නේ සරලා ගැන බව ඉස්කෝලෙ මැණිකේ දනී. තමා මෙතෙක් වේලා රිදී නැන්දාගේ හිත වෙනස් කරන්නට යෙදූ ප්‍රයත්නය සාර්ථක වෙමින් පවතින බව ඈ හැඳින්නාය.

    “අපි එයාව එක්ක ඇවිත් මෙහේ තියාගමු. හොඳට උගන්නලා, නම්බුකාර පවුලකින් පෙළවහක් එහෙම කරල දෙමු. එතකොට මායි,රිදී නැන්දයි මේ වලව්වෙ නැතිදාකත් වලව්ව තනි වෙන්නෑනේ..”

    රිදී නැන්දාගේ මුහුණ ආලෝකමත් වනු, ඉස්කෝලෙ මැණිකේ නිරීක්ෂණය කළාය. ඒ මොහොතේම කාලිංගගේ යතුරුපැදිය විත් කැලේගම වලව්වේ ගේට්ටුව අසළ නතර කළේය. රිදී නැන්දා සහ ඉස්කෝලෙ මැණිකේ එකිනෙකාගේ මුහුණු දෙස බලාගත්තෝය.

    ශාරික සිය නිවසේ ආලින්දයට වී කළුවරට දෑස් යොමා සිටියේය. වැඩ නිමවී පැමිණි මොහොතේ සිට රෑ බෝවන තුරු ඔහුගේ හිත තිබුණේ පෙරදා කාලිංග මුණගැසී කළ කතාබහ ගැනය. ශාරික පුදුමයට සහ බියට පත්කළ කාරණය වූයේ, ඔහු තමා සහ මාධවී සම්බන්ධ කොට එල්ල කරන ලද චෝදනාවයි. තමා කොතෙක් පැහැදිලි කළද, කාලිංග එය පිළිගන්නට මැළි වූ බව ශාරික වටහා ගත්තේය. එම සිද්ධියත් සමඟ තමා අවට සිද්ධ වන සමහර සිද්ධීන් කාලිංගගේ හැසිරීම හා ගළපාගන්නට ශාරික සමත් වූයේය. විශේෂයෙන්ම මාධවී තමාට කසාද බැඳ දරුවෙකු ඇති බව කියන්නේ කෙසේද යන්න ඔහුට අවබෝධ වූයේය. අනෙක් කාරණය වූයේ තමන් හා තාරුකා අතර නොගැළපීමක් මතුකරන අතරතුර ඔහු සරලාට ඇති හිමිකම ඒත්තු ගැන්වීමට දරන උත්සාහයය. මේ සියල්ල කාලිංගගේ කිසියම් සැළසුමකට අනුව සිද්ධ වන බවට සාධාරණ සැකයක් ශාරික තුළ ඇතිවන්නට පටන් ගෙන තිබිණි.

    “ලොකූ…” සිය මවගේ හඬින් ශාරික සිය කල්පනා දැහැන බිඳ දැමීය.

    “කෑම ටික හීතල වෙන්ඩ කලියෙන් කාලා හිටින්ඩ..”

    “එච්චර බඩගින්නක් නෑ අම්මේ..ටිහිකින් කන්නං..”

    “මට ලොකූට කාරණයක් කියන්ඩ තියේ..”

    “කියන්ඩ අම්මේ..”

    “හදිසියේම ඉස්කෝලෙ අක්කා පයින්ඩයක් එවලා තිබ්බා…”

    “චූටී ආයේ එවන්ඩ කියලද..”

    “නෑ.. කාලිංග පුතා ඒ අහ ආවය කියන්ඩ..”

    “ඒ යකා මොන මඟුලකටද එහේ ගියේ…” ශාරිකට ඉබේම එසේ කියවිණි. ඒ අනපේක්ෂිත ප්‍රශ්නයෙන් හීන්බණ්ඩාර මැණිකේ තරමක් තැති ගත්තාය.

    “ෂ්ෂ්… චූටී නිදි…”

    ශාරිකට තමා සිටින්නේ මව ඉදිරියේ බව වැටහී ගියේ හීන්බණ්ඩාර මැණිකේ එසේ කියද්දීය. ඔහු සන්සුන් වන්නට වෙර දැරුවේය.

    “ඇයි… දන්නෑ… කාලිංගයියා හදිසියේ එහේ ගියේ නේද…”

    “සරලා ආයේ එහේ ගෙන්නගන්ඩ එපාය කිව්වලු..”

    ශාරිකගේ හිතට ක්ෂණිකව කේන්තියක් නැඟ ආවද, ඒ මොහොතේම ඔහු එය මැඩ ගත්තේ මව කළබල නොකළ යුතුය යන සිතිවිල්ලේ හුන් නිසාය.

    “දන්නැද්ද ඉතිං කාලිංගයියා කුකුල් කේන්ති කාරයනෙ..ඔහේ ගිහිං මොනාහරි දොඩවලා එන්නැති..ඉස්කෝලෙ නැන්ද මොනාද කීවේ..”

    “කවුද මනුස්සයෙක් අත ලියුම් කඩදහියක් එවලා තිබ්බේ..සෑහෙන්න කේන්තියෙන් ලියපු බවක් තමා පේන්ඩ තිවුණෙ..ඉන්නකො මං ඒක ඇන්න..”

    “ඕන්නෑ අම්මේ…” ගෙට යෑමට සැරසුණු හීන්බණ්ඩාර මැණිකේ ශාරිකගේ හඬින් නතර වූවාය.

    “මං පස්සෙ කියවන්නම්. අම්මා කියන්ඩකෝ මොනාද නැන්ද කියලා තිබ්බේ කියලා…”

    “ආයේ ඒ පැත්තෙ ආවොත් එයැයිව පොලීසියට බාර දෙනවය, හැකි ඉක්මනින් ඇවිත් අක්කව හම්බවෙන්ඩය කියලා තිබ්බා….”

    කාලිංග විෂයෙහි තමාගේ ඇතැම් අනුමාන නිවැරදි බව වටහාගන්නට ශාරිකට මේ සිදුවීම තවත් රුකුලක් වූයේය. තමා තවදුරටත් නිවී,සැනහී ගිය චරිතයක් වීමෙන් සිද්ධ වනුයේ, කාලිංග විසින් තමාගේ චරිතයම විනාශ කර දැමීමකැයි ඔහුට හැඟුණේය. මේ සියල්ලට වහාම ඔහුගේ ක්‍රමයෙන්ම පිළිතුරු දිය යුතුයැයි ශාරිකට සිතුණේය.

    “තාම නිදි නැද්ද ළමයෝ.. ”

    ශාරික හැරී බැලුවේය. සිය මව එසේ අසා තිබුණේ සරලාගෙනි. ඇය ආලින්දයේ උලුවස්සට හේත්තු වී ඔවුන් දෙස බලා සිටියාය.

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    New Zealand vs Sri Lanka ටෙස්ට් තරගාවලිය ගාල්ලේදී

    New Zealand vs Sri Lanka තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට...

    Hima Mal Renu හිම මල් රේණු – 58

    Hima Mal Renu හිම මල් රේණු නදීරා කුමක් කියන්නට යනවාද කියා මා සිතේ වූයේ කුතුහළයකි. "ඔයාම කියනවනේ ආරණ්‍යා ...අනුරාග් හොඳ කෙනෙක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page