Mandaramen Eha – කාලිංගගේ නිවසේ පිටුපස කුස්සි කෑල්ලට යාබදව ඇති ඉඩ කඩෙහි දැළි වළං කිහිපයක් ගොඩගසා ගත් ලොකු බංඩාරමැණිකේය. වතුර පිරවූ තඹ හැලිය වටා ඇති දැළි වළං, සබන් පොත්තක පොල් මුඩ්ඩක් උලමින් පිරිසිදු කරන ඈ, ලී දඬු වලින් සදා පිටලෑලි ඇතිරූ මැස්සක ඒවා පිළිවෙලකට අහුරන්නීය. තාරුකා කිහිප වාරයක් පැමිණ සිය මව වෙත ඇස යොමා නැවත ගෙතුළට වැදුණා ය. වැඩකරමින්ම තාරුකාගේ හැසිරීමට ඇස ගසා සිටි ලොකු බංඩාරමැණිකේගේ දෑසට අවසන තාරුකා හසු වූවාය.
“අපෙ අම්මා උදේම දැළි වළං ටික බදාගෙන වගේ…”
“එහෙමයි කුමාරිහාමී..විඩින් විඩ ඇවිත් එබිකං කොර,කොර යන්නෙ මං මේක හරියට කොරනවද කියලා වෙන්ඩැ…”
“ඔය ඉතිං.කට ඇරියොත් හොයන්නෙම එල්ලෙන්ඩ පොටක්..අත ගහපු එකේ අම්මම ඕක ඉවරයක් කරන්ඩකෝ…ආයේ ඉතිං මමත් අතේ දැළි,ඉඳුල් ගාගන්ඩ ඕනයැ…”
“මං මේකට අත ගැහුවෙ දැළි,ඉඳුල් හෝදලා අරින්ඩ මිසක උඔ වාගේ දැළි,කුණු තවරා ගන්ඩ හෙම නෙමේ තාරුකෝ..”
“කොහෙං කැරකිලා හරි අවසානෙට අපෙ අම්මා නතරවෙන්නෙ මට ඇණුම් පදයක් කියලා…ඇයි දෙයියනේ මොකක්ද මං කරේ මූණේ දැළි ගෑවෙන්ඩ තරම්…”
“වෙන මොකුත් ඕනවෙන්නෑ….ඔය කරේ එල්ලං ඉන්න එකම මදෑ ඒ ටික වෙන්ඩ..”
“මොකද්දම්මෙ..ශාරිකයියලාගේ පවුලත් එක්ක අම්ම මේ පිරිමහන අරියාදුව..”
“මම උන්ට කරපු අරියාදුවක් නෑ බං..උන් අපිට කොලා මිසක..උඔට ඒවා තේරෙනදාට උඔ පරක්කු වැඩිවෙයි…”
“කියන දෙයක් කලින්ම තේරෙන්ඩ කිව්වනම්..මට පරක්කුවෙලා තේරුම් ගන්ඩ ඕනේ නෑනෙ අම්මා…”
පොල් මුඩ්ඩ වේගයෙන් වළඳක් තුළට අත් හළ ලොකු බංඩාරමැණිකේ, තඹ හැලියෙන් අත හෝදාගෙන චීත්ත පොටින් පිස දමමින් තාරුකා අසළට පැමිණියාය.
“ඈ බං තාරුකෝ….ඇඟිල්ලෙන් ඇන,ඇන මේවා තේරුම් කරවන්ඩ හිතුවද උඔ තාම කකුල් දෙකේ තියලා නළවන වයසෙ ඉන්නෙ කියලා..”
“නෑ….මං දන්නවා දැන් මං ඉන්නෙ දරුවෙක් හදලා නළවන වයසෙ කියලා..”
“ඒක කොරලා දෙන්ඩ තිබ්බා හරි හමන් මිනිහෙක් හොයාගෙන තිබුණනම්..”
“ශාරිකයිය මගෙ මස්සිනා…පිටගං කාරයෙක් නෙමේ..මොකක්ද ඒකේ තියන වැරැද්ද..”
“හීන් බංඩාරිව අල්ලගත්ත හින්දා ඇවැස්ස නෑකම් හැදුනට, උන්දැත් පිටගංකාරයෙක් තමා දුවේ..”
“බංඩාර මාමණ්ඩි මෙහේ ඇවිත් බින්න බැස්සා කියලා එයාගේ කුලෙන්,මලෙන් අඩුවක් වෙලා නෑනෙ අපෙ අම්මා..”
“අපොයි නෑ නේන්නම්..එයැයිට කුලෙන්,මලෙන් අඩුවක් උනෙත් නෑ…ගොඩෙන්,මඩෙන් අඩුවක් උනෙත් නෑ… ඔක්කොම අඩුපාඩු ටික සිද්ධ උනේ මේ අපිට තමා…”
“මොකක්ද අම්මා මේ දේපල ගැන කිය,කියා උදේ හවා කරන අඬවැඩියාව..ඕවා ගොඩ ගහගත්තා කියලා මැරෙනකොට ගෙනියන්ඩද..”
“මැරෙනකං උඔලගෙ අපුච්ච කිව්වෙත් ඔය ටික තමා…අන්තිමේ මගෙ මිනිහව මරාගෙන උන්දලා මැණිකෙලා, නිළමෙලා උනා…මං මේ පැල් කොටේට උනා…”
“අම්මා………”
එකවර දෙතැනකින් “අම්මා” යන හඬ මතුව ආහ. එකක් භීතියට පත් තාරුකාගේ මුවිනි. අනෙක ගේ ඉදිරිපසින් ඇසුණු සමන්තීගේ හඬයි. කිසිවක් නොවූ ගානට ලොකු බංඩාරමැණිකේ තමන් කරමින් සිටි වැඩය වෙත ගියාය. සිද්ධ වූ දෙය අදහාගත නොහැකිව ඇසත්,කටත් අයාගෙන උන් තාරුකා අසළට සමන්තී විත් සිටගත්තාය.
“මොකෝ නංගි මේ..ඇස්ගෙඩි එළියේ දගෙන කටත් අයාගෙන..මොහොකට හරි බය උනාද..”
“අහ්.නෑහ්..අක්කා…කෝ කවී එළියෙද…”
“නෑ.. මං එනගමන් බංඩාර මාමණ්ඩිලයෙ පැත්තෙං ආවේ..එන්ඩ බෑ කියලා සරලා එක්ක නතර උනා..”
“ඒ කිරිසප්පයත් වලව් වලටම ඇබ්බැහි කරපල්ලා…තමන්ගෙ අම්මට,නංගිට,අයියට ළං කරන්ඩ උඔට ලැජ්ජ ඇතිනෙ…”
නොරිස්සුම් හඬින් ලොකු බංඩාරමැණිකේ එලෙස කියද්දී අන්ද මන්දව ගිය සමන්තී සිය මව සහ නැගණිය දෙස මාරුවෙන් මාරුවට බැලුවාය. අනතුරුව ඉඟියෙන් සිය නැගණියගෙන් විමසූවේ “කුමක් හෝ සිදුවීද” යන්නයි. තොල් නොපිට පෙරලූ තාරුකාද අභිනයෙන් පැවසූයේ “අනේ මන්දා ” යන්නයි.
“අම්මේ…. නැන්දම්මා අහනවා මටයි නංගිටයි බුදුරුවකන්දෙ යන්ඩ එන්ඩ බැයිද කියලා…”
“ඒ අහවල් එහෙකටද…”
“වෙන අහවල් එහෙකටද අම්මා…කැලේගම කිරිඅම්මලයි දිහා ගිහින් ඉස්කෝලෙ නැන්දව බලලා එන්ඩ..”
“උඔලා ඒවයෙ නොගියට කාරි නෑ…නිළමෙලා, මැණිකෙලා, කුමාරිහාමිලා ගිහින් ආවාවෙ….”
“මොකක්ද අම්මෙ මේ අම්මට වෙලා…………..”
සමන්තී කියන්නට ගිය දෙය තාරුකා විසින් වළකාලූයේ ඇගේ උරහිසට අත තබාය. හිසෙන් සන් කොට “එළියට යමු” යි සිය සොහොයුරියට පැවසූ තාරුකා ඉස්සර වූවාය. පුළුටු කරගත් මුහුණෙන් එදෙස බැලූ ලොකු බංඩාරමැණිකේ පොල් මුඩ්ඩ ගෙන තදින් වළඳ අතුල්ලන්නට වූවාය.
උඩුමහලේ තරප්පු පෙළ බැසගෙන ආ සුදු මහත්තයා එකවරම සාලය මැද නතර වූයේ සැටියේ පුවත්පතක් කියවමින් උන් සිරිවර්ධන මුදළාලි දැකීමෙනි. පුවත්පතට යටින් සිරිවර්ධන මුදළාලි සිය වැඩිමහල් පුතු දෙස බැලීය.
“දැන් වෙලාව කීයද ලොකු ළමයෝ..”
“දහයට විතර ඇති පප්පෙ..”
“තමුං අත් ඔරලෝසුවක් පාවිච්චි කරනවයි..”
“නෑ පප්පෙ..”
“එහෙමනම් මේස ඔරලෝසුවක් හරි බිත්ති ඔරලෝසුවක් හරි කාබරේ තියාගත්තොත් තමා හොඳ..”
“ඇයි පප්පෙ එහෙම කීවේ..”
“තමුංට කඩේට යන වෙලාව නිතරම මගෑරෙන බව පේන නිසයි කීවෙ..”
“සින්නා නිදාගන්නෙ කඩේමනෙ පප්පෙ..මිනිහ නැගිටලා කඩේ අස්පස් කරලා අරින වෙලාව බලලා තමා මං යන්නෙ..දහයෙන් මෙහා කඩේට මිනිස්සු එන්නෙත් නෑනෙ..”
“ව්‍යාපාරයක් කරගෙන යන්න උදව්වට, පදව්වට සේවකයො ඕන බව ඇත්ත..ඒත් ව්‍යාපාරයක් දියුණු වෙන්න,යාදෙන්න අයිතිකාරයෝ නිතරම එතන රැඳෙන්න ඕනෑ..”
ඊට පිළිතුරු නොබැන්ද සුදු මහත්තයා සැටිය අසළට පැමිණ සිය පියාගේ දෙපා නැමදීය. පුතුගේ හිස පිරිමදින අතරවාරයේ සිරිවර්ධන මුදළාලිගේ අවධානය යොමුව පැවතියේ සුදු මහත්තයාගේ මුහුණ මතය.
“ආං ලොකු ළමයෝ…”
“පප්පෙ..”
“අර ඇට ජාතී පැකට් කරන වැඩේට දැනට කී දෙනෙක් ආවද..”
“දෙතුන් දෙනෙකුට වඩා නෑ පප්පෙ..”
“එහෙමනම් අර අත් පත්‍රිකාව ආයෙම අච්චු ගස්සලා බෙදුවොත් තමා හොඳ…”
“පත්තරේට දැන්වීමක් දැම්මොත් මොකද පප්පෙ…”
“රේඩියෝ අහන,ටී.වී, පත්තර බලන මිනිස්සු මේ වැඩේට හරියන්නෑ ලොකු ළමයා…හේනට, පැලට ගෙදරට,දොරට පදම් උන ගෑණු මිනිස්සු ටිකක් හොයාගන්ඩ බලනවා..”
“එහෙනම් මං හෑන්ඩ් බිල් එක ප්‍රින්ට් කරලා ආයෙම බෙදන්නම් පප්පෙ…”
“අතපය කඩිසර හත් අට දෙනෙක්වත් නැතුව ඒ වැඩේ පටංගන්ඩෙපා…ඒ වගේම දෂ්ඨි, දිෂ්ඨියට වැඩක් කරන්ඩ පුළුවන් කොළු ගැටයෙක් ගැනත් හොයලා බලනවා…”
“මං බලන්නම් පප්පෙ..”
පුවත්පත පසෙකින් තැබූ සිරිවර්ධන මුදළාලි සුදු මහත්තයා ඉදිරියට පැමිණ ඔහුට විරුද්ධ දෙස බලා හිට ගත්තේය.
“පොඩි එකා ගියා කියලා ටෙලිෆෝං කෝල් එකක්වත් දුන්නැද්ද…”
“මල්ලිනං කෝල් කෙරුවෙ නෑ.. මං කෑම්ප් එකට කතා කරලා විස්තර අහගත්තා..”
“අර පහුගිය කාලෙ පොඩි එකාට ගිරාතලානේදී වෙච්ච හුටපටේ ගැන මොනාද තමුං දන්නෙ..”
“මහ්.ලිහ්.ට..ගිහ්..රහ්..තලානෙදී…….”
“හා..හා…ඕකට කට,දිව උළුක් කරගන්ඩ ඕන නෑ…මං ඇහුවෙ මොනාද දන්නෙ කියලා..”
“පප්පා…කීවනෙ ඒ පැත්තෙ යන්ඩෙපා කියලා..”
“බයික් එක හප්පගෙන හිටපු මිනිහව එවෙලෙම ඉස්පිරිතාලෙ ගෙනත් දාපු එක සහෝදරකම කියමුකෝ…ඒ බවක් මට නොකියා වහං කොරපු එක බය, පක්ෂපාතීකම කියලා හිතමුකෝ…ඒත් මෙච්චර හරියක් වෙන්ඩ හේතුව මොකක්ද කියලා තාම හොයාගන්ඩ තමුංට බැරිවෙච්ච එකට කියන නම මොකක්ද කියලා තමුංම මට කියනවකෝ එහෙනං…”
සුදු මහත්තයාගේ මුහුණ විළියෙන් සහ අපහසුවෙන් පිරිණි. බිම බලාගත්වනම ඔහු ගෙයින් පිටවන්නට සැරසුණේය.
“ලොකු ළමයා…”
“පප්පෙ..”
“අර..පහුගිය දවස් ටිකේ අපේ පොඩි එකා එක්ක කරක් ගහපු කොල්ලගෙ නම දන්නවද..”
“අදීෂද පප්පෙ..”
“මිනිහා කාගේ කවුද..”
” ලොකු විස්තරයක්නං දන්නෑ පප්පෙ..බුදුරුවකන්ද පැත්තෙ කොල්ලෙක්…”
“හොඳා…තමුංට දැන් යන්ඩ ආ ගමන යන්ඩ පුළුවං…”
ශාරිකගේ ගෙමිදුලේ සරලා සමඟ කවිරූ දුව පනිමින් සෙල්ලම් කරනා යුරු පෙනෙයි. මල්ගස්වලට මුවාවී සැඟවෙන කවිරුව සරලා සෙමෙන් අඩි තබා ගොස් අල්ලාගන්නා විට කවිරූ අත්පොඩි තලමින් හඬ නගා සිනාසෙයි. ආලින්දයට වී මේ දාංගලය දෙස බලා හුන් සරලාගේ මව හීන් බංඩාරමැණිකේ සිනාසෙමින් මිදුලට බැස්සාය.
“චූටී..ඔය දාංගලේ පොඩ්ඩක් නතර කරන්ඩ දරුවො.. දැන් මඳෑ..”
“ඇයි බලං ඉඳල අපෙ අම්මට මහන්සිද..”
“මට නෙමේ චූටී..මේ දරුවට..පේන්නැද්ද හුස්ම නාල්ලා හිනාවෙන හැටි…”
“මේකගෙ කෝළං අපෙ අම්මා…ඔය බොරුවට බලෙං හිනාවෙන්නෙ..”
“ඔය.ඔය ඉතිං..පුංචි ඈයන්ට ඒකා, මේකා කියලා කතා කරන්නෑ දරුවො..”
“එහෙම කියන්නෙ තරහට නෙමේනෙ අපෙ අම්මා…ආදරේ වැඩිකමටනෙ…”
“ඒක දරුවට තේරෙන්නෑනෙ චූටී..එයත් ආපිට එහෙම කියන්ඩ තියාගත්තොත් එහෙම..”
“ආ..පෝ…පොඩි එකා එක්ක බේරුනැහැකි..අපෙ අම්මා එක්කනෙ අමාරු..”
“හරි.හරි.පොඩි එකයි,ලොකු එකයි දෙන්නම ගිහින් දැන් ඇඟපත හෝදගත්තොත් තමා හොඳ..මේ පේන්නැද්ද..මෙයා වැලි නාලා..”
හීන් බංඩාරමැණිකේ එසේ කීයේ කවිරුගේ හිස සෙනෙහසින් පිරිමදිමිනි. කවිරුව අතින් එල්ලාගත් සරලා ආලින්දය දෙසට පියනගද්දීම, ශාරිකගේ යතුරු පැදිය ගේට්ටුවෙන් වත්තට ඇතුළු විය. සිය මවට යාබදව එය නැවැත්වූ ශාරික මව දෙසට පැමිණියේ විඩාබර ගතිනි.
“මොකෝ මේ මූණත් එක්ක මැළවිලා ලොකූ..”
“හරිම තෙහෙට්ටුයි අම්මා..”
“නැතුව තියේයැ ලොකූ..උදේ ඉඳන් හවස් වෙනකං දවසට කී පාරක් මේ යකඩ ගොඩේ නැගලා කාශ්ඨකේ එහෙ,මෙහෙ යනවද..”
“දාඩියට ඇඟ ඇලෙනවා….මං ඇඟට වතුර ටිකක් දාගෙන එන්නද අපෙ අම්මා..”
“ගිණි කූඨකේ ඇවිදලා එකපාරම නාන්ඩෙපා ලොකූ…ටිකක් ඇඟ නිවෙනකං ඉඳලා යන්ඩ..චූටිත් ළිඳ ගාව ඇත්තෙ කවී එක්ක..”
“සමන්ති අක්කා ආවද..”
“ඔව්..ආවා.. ඉස්කෝලෙ නැන්දලයි දිහා යන කාරණේ නැන්දම්මට මතක් කරලා එන්ඩය කියලා ගියා…”
“ඒක හොඳා…අම්මට,සමන්ති අක්කයි,තාරුකයි, චූටියි එක්ක ඉස්කෝලේ නැන්දලයි දිහා ගිහින් එතෑකි නේද…”
“ඇයි ලොකූ අපිත් එක්ක එන්නැද්ද…”
“මං හිතන්නෙ ලබන සතියෙම මට අර කිව්ව ජොබ් එකේ වැඩේට ගල්නෑවට කකුල් ගාන්ඩ වෙන පාටයි…”
ක්ෂණිකව අඳුරු පැහැගත් සිය මවගේ මුහුණ ශාරික වහා හැඳින්නේය. ගේට්ටුව ඇරෙන හඬට අවධානය යොමුකළ ඔවුන්ගේ නෙත ගැටුනේ ගෙවත්තට ඇතුළු වන සමන්තී සහ තාරුකාය.