ලියම් සහ සොෆී – EASTBOUND
මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි.
“ඩෝනට් එක්ක කෝපි තියෙනවා.”
පුවරුවේ කාඩ්පත ඔබන විට පිටුපස සිටින කෙනාගේ බෑගය මගේ අතේ හැප්පෙයි.
“ස්තූතියි, කැරොල්. මම එනවා.”
මම අනෙක් අය මෙන්ම පෝලිමට එකතු වෙමි. හිසට ඉහළින් අවුල් සහගත හඬක් ඇසෙයි.
“‘නැගෙනහිර දෙසට යන සියලුම දුම්රිය මිනිත්තු 10 ක් දක්වා ප්‍රමාද වෙනු ඇත. සමාවෙන්න…”
නියමයි.! අවම වශයෙන් එය මට කාලය ලබා දෙනු ඇත. ලොක්කා නගරයෙන් බැහැරව සිටින විට, මම රැස්වීම මෙහෙයවන්නෙමි. සඳුදා උදෑසන රැස්වීම් නරකය. සති අන්තයේ නැවුම්ව සිටියවුන්ට සඳුදා දිනය වෙහෙසකාරී දිගු එකකි. ඔවුන් මට වෛර කරනු ඇත. බදාදා යහපත් ය. සතියේ අඩක් ගෙවී ගොස් ඉක්මනින් අලුත් සති අන්තය එනු ඇත. නමුත් සඳුදා එලෙස නොවේ. සඳුදා ගැන කිසිවෙකු තැකීමක් කරන්නේ නැත. දුම්රිය වේදිකාවේදි සැමදා හුරු පුරුදු ඒකාකාරී නිවේදන ඇසේ. දුම්රිය ළඟා වෙන අතර සිටගෙන සිටීමට පමණක් ඉඩ ඉතිරිව තිබේ. ගමන ආරම්භ කරන්නේ කම්පනයකිනි. මම බෑගය ඇඟට තද කරගමි. නිල ඇඳුමින් සැරසුණු යුවතියක් හෙඩ්ෆෝන්වල එක් පැත්තක් කනෙන් ඉවතට ගෙන අවඥාවෙන් මදෙස බලයි.

“ඔයා මට ජැක් ගහනවා.”
“අයිම් සොරි…. “
මම මගේ අත අසල ආසනයෙන් තියාගත්තද ඇගේ කෝපය අඩුවුණ පාටක් නැත. වසරකට පමණ පෙර ස්කොට්ලන්තයේ සිට ෆිලඩෙල්ෆියාවල තදාසන්න ප්‍රදේශවලට ගිය විට, සමහර පුද්ගලයින්ගේ අහඹු කෝපය සහ නොසැලකිලිමත් හැසිරීම මට දැන් තේරුම් ගත හැක. තවත් මගීන් ගොඩබෑම නිසා අපි සියල්ලෝම වේදනාකාරී ලෙස තෙරපෙමින් සිටියෙමු.
“ඊළඟ නැවතුම නාර්බර්ත්..”
පටිගත කිරීම ඉහළින් කෙඳිරිගායි. කවුළුවට වැහි පොද වැටේ. මා ඉදිරිපිට සිටින මිනිසාගේ දවල් ආහාරයේ සුවඳ දැනේ. දවල්ට ස්පැගටි කන්නේ කවුද..? ඔහුගේ සහකාරිය ඔහුට තුරුළු වේ. මම අනෙක් දිශාවට නැඹුරු වෙමි. අපි ඉදිරියට ගමන් කරමු.
“ඕවර්බෲක්..!”
මිනිස්සු බැසීමට සූදානමිනි. මම අර යුවතියව දකිමි. මම මේ නගරයට පැමිණ මාස 10 යි දින 15 ක් ගත වී ඇත. ඇය කෙළවර අසුනේ ඉඳගෙන සිටියි. මම කොහේ හිටියද ඇගේ ඉරියව් හඳුනමි. ඇගේ දිගු අඳුරු කොණ්ඩය, කරපටිය, ලප කැළැල් ඇති මුහුණ, කාලය ගතව ඇති නමුදු ඈ වෙනස්ව නැත.
“සොෆී….!”
මම කෑගසමි. මිනිස්සු තිගැස්සී මදෙස බලයි. හෙඩ්ෆෝන් නිසා ඇයට මාව නෑසේ. මම නැවත කෑ ගසමි.

“සොෆී…!”
සෙනග මා දෙස බලයි. දෙයියනේ…! අසළ සිටින පූජකයා යමක් කොඳුරයි.
“සමාවෙන්න…!”
ඔහු සිනහවක් සමග හිස සොලවයි. මම බෑගයෙන් කොලයක් එලියට ගමි.
“කවුරුහරි ළඟ පෑනක් තියේද? “
ස්පැගටි බඳුන අතැති මිනිසාගේ බිරිඳ මට පෑනක් ලබා දෙයි.
“ස්තූතියි..!”
මම ඉක්මනින් දුරකථන අංකය ඇතුළුව සටහනක් ලියා මා ඉදිරිපිට සිටින රැලි සහිත දුඹුරු හිසකෙස් ඇති කාන්තාවගේ උරහිසට තට්ටු කරමි.
“අළු පාට ලොම් කබායක් ඇඳලා ඉන්න, ඩාක් හෙයා එකක් තියෙන, හෙඩ්ෆෝන් දාල ඉන්න කෙල්ලට මේක දෙන්න”
“කෙල්ල?”
ඇය එක් ඇහිබැම ඉහළට ඔසවා ප්‍රශ්න කරයි.
“ඔයා ස්කොට්ලන්ත ජාතිකයෙක්ද?”
“ඔව්”
මම පෑන ආපසු දෙමි. තරුණියක් මාව ප්‍රශ්න කරයි.
“ඔහේ ලොකු මිනිහෙක්නේ… ඔහේට වයිකිං ලේද තියෙන්නෙ”
“සමහරවිට..”
මම කාන්තාව දෙස ආපසු හැරී බලමි.
“ඒ කෙල්ල, සොෆී, මට එයාව අවුරුදු ගණනාවකට කලින් ට්‍රිප් එකකදි මුණගැහුණා. මම දැන් මෙහේ ඉන්නෙ”
“ඔබ ඇය වෙනුවෙන්ද ආවෙ?”
මහළු මිනිසෙක් ඉතාලි උච්චාරණයෙන් විමසයි.

“නෑ… නෑ… රස්සාවක් කරන්න…. නමුත් මම ඇයව කවදාහරි හොයා ගන්න බලාපොරොත්තු වුණා. මට එයාව අමතක වුණේ නෑ”
නාසයට මුදුවක් දැමූ යුවතියක් මා හා හිනැහේ.
“ඒක ලස්සන ට්‍රිප් එකක් වෙන්න ඇති.”
“එක දවසක් විතරයි. පැය 24ක්.”
මම හිස වැනුවෙමි.
“එයා විවාහ ගිවිසගෙන හිටියේ. එහෙම මුකුත් නෑ. අපි නගරයේ ඇවිද්දා. කෑවා, බිව්වා. කතා කළා… ජීවිතේ ගැන, අනාගතේ ගැන.”
මා වටා සිටින සෑම කෙනෙක්ම මම සුරංගනා කතාවක් කියනවාක් මෙන් ආසාවෙන් සවන් දෙති.
“එක දවසක්?”
තවත් කෙනෙක් ප්‍රශ්න කරයි.
“ඔව්, නමුත් මට කවදාවත් ඇයව නොලැබුණත්, ඒ ඇය තමයි කියලා මම දන්නවා. ඒ තමයි ආදරේ”
“නෝට් එක දෙන්න!”
කෙනෙක් කෑ ගසයි.
“ඇය බහින්න කලින්!”
“ඉක්මන් කරන්න! “
තවකෙක් පවසයි. මගේ සටහන ඔවුන්ගේ අත්වලින් ඈ කරා යන විට ඔවුන් හිනැහේ. අවසානයේ, එය සොෆී වෙත ළඟා වේ. ඇය එය කියවා මාව සොයයි.
“සොෆී!”
මම නැවතත් කතා කරමි. ඇය ප්‍රීතියෙන් ඇගේ හෙඩ්ෆෝන් ගලවයි.
“ලියම්…!”
මම ඇගේ තොල්වලින් මගේ නම කියවූ නමුත් රේල් පීලිවල ඝෝෂාවට ඈව ඇසෙන්නේ නැත. මම දුරකථනය පෙන්වමි. ඈ හිස දෙපසට සොලවයි. උමග ඔස්සේ යනවිට අඳුර අපිව වෙලාගනී. දුම්රිය හදිසියේම නතර වේ.
”කරුණාකර ඔබේ ආසනවල රැඳී සිටින්න”
“ෂිට්…!”
මම මටම මුමුණාගමි.
“මට කවුද විහිළු කරන්නේ..? මට කවදාවත් අවස්ථාවක් ලැබුණේ නැහැ, දැනුත් නැහැ.”
“මොකක්ද..?”
රැලි කොණ්ඩය ඇති කාන්තාව අසයි. මම තදින් හුස්ම ගනිමි.




