යාපනයට කෝච්චියෙන් – To Jaffna by Train
උතුරත් දකුණත් අතර සහෝදරත්වයේ බැඳීම දිගු ඉතිහාසයකට හිමිකම් කියනවා. වසර 30ක් පුරා පැවති යුද්ධයක් නිසා අප දෙගොල්ල අතර යම් දුරස් වීමක් තිබුණද අද එදාටත් වඩා ශක්තිමත් බැඳීමකින් සිටින්නෙමු. උතුරේ දමිළ ජනයා දකුණටත්, දකුණේ ජනයා උතුරටත් සංචාරය කරමින් සිටිති. උතුරු ප්‍රදේශය පුරා බෞද්ධ සංස්කෘතියේ නටඹුන් මෙන්ම පුදබිම් රාශියකි.

එනිසා දකුණේ ජනයා උතුරේ සංචාරය කිරීමට දැඩි උනන්දුවක් දක්වති. උතුරේ ජනයාගේ සංස්කෘතිය, ඔවුන්ට ආවේණික දිවි පෙවෙත, ඇඳුම් පැළඳුම්, ආහාර පාන ඔවුන්ට ආවේණික අයුරින්ම පවත්වා ගෙන යන්නට කටයුතු කිරීම නිසාම දකුණේ ජනයාත්, විදේශිකයන්ද උතුරට සංචාරය කිරීමට දැඩි කැමැත්තක් දක්වති.
මෙවර අප උතුරට සංචාරය කළේ ඔබ දන්නා හා නොදන්නා බොහෝ සංචාරක ස්ථාන පිළිබඳ ඔබට හඳුන්වා දීමටයි. යාපනය සංචාරය සඳහා A-9 මාර්ගයත් දුම්රියත් භාවිත කළ හැකියි. බොහෝ දෙනා දුම්රිය ගමනට බොහොම ප්‍රිය කරන බව කිව හැකියි. අප මේ ගමන සඳහා දින කීපයක සිටම දුම්රිය අසුන් වෙන්කර ගැනීමට සැලකිලිමත් වූයේ ඒ සඳහා තිබෙන දැඩි ඉල්ලුම නිසාය.

යාපනය ගමනට අප තෝරා ගත්තේ උදෑසන 05.00ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරන යාල්දේවි දුම්රියයි. මෙය කොළඹ කොටුවෙන් පිටත් වන්නේ පාන්දර 05.40ටය. යාල්දේවි දුම්රිය නවත්වන්නේ සීමිත දුම්රිය ස්ථාන කිහිපයක පමණි. යාල් දේවියෙන් යනවිට අපේ ඇස් ගැටෙන සෑම දසුනක්ම අලුත්ය. මීට පෙර දුම්රියෙන් යාපනයට ගොස් නැත්නම් එය අලුත්ම අත්දැකීමක් වනු ඇත.
වව්නියා, ඕමන්ත, පුලියංකුලම, මාන්කුලම්, කොකාවිල්, කිලිනොච්චිය, අලිමංකඩ, කොඩිකාමම්, චාවකච්චේරි වැනි ප්‍රදේශ අද ගොවිතැනින් හා හේන් වගාවන්ගෙන් වැසුණු සොඳුරු දසුන්ය. අලිමංකඩ ලුණු ලේවායද අලුත් දසුනකි. මෙසේ ඉදිරියට ඇදෙන යාල්දේවි දහවල් 12.40 වනවිට යාපනය දුම්රිය ස්ථානයට ළඟා වෙයි. ඉන්පසු අවසන් නවාතැන වන්නේ කන්කසන්තුරේ දුම්රිය ස්ථානයයි.

දකුණේ සිට යාපනයට යන බොහෝ සංචාරකයන්ගේ ගමනාන්තය වන්නේ යාපනය දුම්රිය ස්ථානයයි. මන්ද යාපනය සංචාරයේදී නවාතැන් පහසුකම් හා අනිකුත් අවශ්‍යදෑ පහසුවෙන්ම සපයා ගැනීමට මෙහිදී හැකියි. අපද යාපනය දුම්රිය ස්ථානයෙන් ගමන අවසන් කළේ යාපනය සංචාරය සංවිධානය කළ Thinnai හෝටලයට යාපනය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 02ක පමණ ආසන්නයේ පිහිටා තිබීම නිසයි.
යාපනය සංචාරයේදී දකුණේ සංචාරකයන් බොහෝ දෙනා පළමු සංචාරයට තෝරා ගන්නේ නාගදීපයයි. බුදු හිමියන්ගේ පහස ලද පූජනීය පුදබිම වැඳපුදා ගැනීමට බැතිමතුන් කිසිසේත් අමතක නොකරති. මෙම පුදබිම සහිත ප්‍රදේශය එකල නාග ගෝත්‍රිකයන් සිටි බැවින් නාගදීපය ලෙස හඳුන්වා ඇති බවයි පැවසෙන්නේ. නාගයින් යනු මනුෂ්‍ය කොට්ඨාසයකි. ඔවුන් ජලාශ්‍රිත ප්‍රදේශවල විසූ නාවික කර්මාන්තයේ නියැළී සිටි සූක්ෂම දැනුමක් අවබෝධයක් සහිත ජනතාවක් බව ඉතිහාසයේ සඳහන් වේ. නාගදීපය බුද්ධ වර්ෂ 257-277 කාලයේ රජ කළ දේවානම්පිය තිස්ස බුද්ධ වර්ෂ 757- 779 රජ කළ වෝහාරතිස්ස රජු බුද්ධ වර්ෂ 1141-1151 කාලයේ රජ කළ 11 වැනි අග්‍ර බෝධි රජු සමයේදී ප්‍රතිසංස්කරණය කළ බවට සඳහන්ය.

නාගදීපය මෙන්ම දඹකොළ පටුන සුවිශේෂී පුදබිමකි. පේදුරුතුඩුවේ සිට චාවකච්චේරිය දක්වා ගමන් කිරීමේදී කිරිමලේ පසුකරමින් කිලෝමීටර් 07ක් පමණ ගිය පසු දඹකොළ පටුන හමු වේ. සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන දිවයිනට ගොඩ බැස ඇත්තේ මෙහිදීය. එකල රජ කළ ලංකේශ්වර නරේන්ද්‍ර රජතුමා මහ මුහුදේ කරවටක් ගමන් කරමින් ශ්‍රී මහා බෝධින් වහන්සේ තම හිස මත තබා ගෙන පැමිණි බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. මෙම මුහුදු තීරය අදද ඉතා නිසංසල නොගැඹුරු මුහුදු තීරයක් ලෙස දැක ගත හැකිය. දඹකොළ පටුන පුදබිම ආශ්‍රිතව සොඳුරු නිස්කලංක බව කාගෙත් සිත් සතන් පැහැදෙනවාට නොඅනුමානයි.

යාපනය සංචාරය කරන සංචාරකයන් ආගම් භේදයකින් තොරව දැක බලා ගැනීමට යන තවත් පුදබිමක් නල්ලූර් කෝවිල. නල්ලූර් කෝවිල හින්දු භක්තිකයන්ගේ හදවත බඳු වූ පුදබිමකි. නගරයේ සිට පේදුරු තුඩුව දෙසට කිලෝමීටර් 02ක් ගමන් කිරීමේදී නල්ලූර් කන්දසාමි කෝවිල හමු වේ. එය හින්දු භක්තිකයන් මෙන්ම බෞද්ධ බැතිමතුන් වැඳ පුදා ගැනීමට යන පුදබිමකි. මෙම පුදබිම බුවනෙකබාහු රජු සමයේ ඉදිකර ඇත. පෘතුගීසින් විසින් විනාශ කිරීමෙන් අනතුරුව නැවත 18 වැනි සියවසේදී කෝවිල ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම නල්ලූර් කෝවිලේ උත්සවය සෑම වසරකම අගෝස්තු මාසයේදී පැවැත් වේ.

යාපනය පිළිබඳ කතා කිරීමේදී සිහිපත් වන තවත් විශේෂිතම ස්ථානය ලෙස යාපනය පුස්තකාලය සැලකේ. දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය ලෙස සැලකෙන මෙය 1933දී ඉදිකර ඇත. අනූහත් දහසකට අධික ග්රන්ථ සහ පිටපත් ප්‍රමාණයක් මෙහි තිබූ බවයි සඳහන් වන්නේ. 1981 වසරේදී පුස්තකාලය ගිනිබත් විය. මෙය රටට විශාල පාඩුවකි. එම වසරේදී ගිනිබත් වූ මෙම පුස්තකාලය 2001 වසරේදී නැවත ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. එහෙත් එදා සිදු වූ හානිය කිසිසේත්ම පිරිමැසිය නොහැකි පාඩුවක් බවද සඳහන් කළ යුතුයි.

යාපනයට යන සංචාරකයන් පුස්තකාලය නැරඹීමට අමතක නොකරනවා මෙන්ම එහි යන හැමෝගෙම සිත් කම්පනයට පත් කරනවා නිසැකය. යාපනය සංචාරයේදී අප තවත් බොහෝ නරඹන ස්ථාන නැරඹුවෙමු. ඒ අතරින් නිලාවරෙයි පොකුණ, සංගිලි ප්‍රතිමාව, යාපනයේ මන්ත්‍රී මාලිගය, තාවක්කන්ති පතුල නොපෙනෙන ළිඳ, ඒ අතරින් කිහිපයකි. ලබන සතියේදී තුලන ට්‍රැවල් තුලින් ඒ පිළිබඳව කතා කරමු.
විශේෂ ස්තුතිය
Thinnai හෝටලයේ ප්‍රධාන කළමනාකරු රොෂාන්ත් සෙල්වරාජාට.
සටහන හා ජායාරුප – ශාන් බන්දු වීරසිංහ



