ලොකු අයියලා පොඩිවෙන හැටි
සාමාන්‍ය ව්‍යවහාරයේ පවුලක සෙසු සාමාජිකයින් “ලොකු අයියා” යැයි කියනුයේ තම පවුලේ වැඩිමහල් සහෝදරයාට ය. එකළ ඒ නමටම අනන්‍යවූ බරක්, වගකීම් සහ වගවීම් සමුදායක් තිබිණි. බොහෝ පවුල්වල ලොකු අයියාගේ විවාහය පවා සිද්ධවන්නේ පවුලේ අනෙකුත් සාමාජිකයින්ගේ ඒවාට පසුවය. ඇතැම් පවුල්වල ලොකු අයියලා සදාකාලික තනිකඩයෝය. සුජීව ප්‍රසන්න ආරච්චිගේ ලියමන් හරහා මෙන්ම මහේන්ද්‍ර පෙරේරාගේ කලා ඇකඩමි හරහා ද වෙනස් පන්නයේ ලොකු අයියලා සමාජගත වන්නට පටන් ගත් අතර එය සංස්කෘතික වචනයක් පවට පත්විය. එසේ බිහිවූ සමහර අයියලා විෂයෙහි වෙනම කියවීමක් ඇතත්, එහි නොතකා හැරිය නොහැකි කිසියම් බරක් ඉතිරිව තිබිණි. පවුලට පමණක් නොව මුළුමහත් සමාජයටම බරක් වූ “ලෝකෝත්තර අයියලා” බිහිවන්නට පටන්ගත්තේ දේශපාලනය හා ඒ අනුහසින් ඉපදුණු පාතාලය හරහාය. අප ඇදහු හුඟක් අයියලා පොඩිවෙන්නට පටන්ගත්තේ එතැන් සිටය.

මෑතක කතාබහට ලක්වූ අලුත්ම ලොකු අයියා මුණගැසුණේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නක් හරහා ය. “සෙනෙහසේ නවාතැන” යැයි නම්කර තිබු එම වැඩිහිටි නිවාසය තුළ හටගත් ගින්නෙන් එහි සිටි 12-15 ත් අතර පිරිසක් මියගොස් තිබිණි. වැඩිහිටි නිවාසය පවත්වාගෙන ගියේයැයි කියන ලොකු අයියාට එහා ගිය “මාර අයියලා” මේ ගින්න නිසා උඩට මතුව ආයේය. ගින්නෙන් මියගිය ඇතැම් සිරුරු දම්වැල් යොදා ඇදන් මත ගැටගසා තිබු ඒවා ය. පිලිස්සී මියගිය බොහෝ අය වයෝවෘද්ධ හා ආබාධිත අයය. මෙම වැඩිහිටි නිවාසය ලියාපදිංචිය පවා නොමැති එකක් බව පැවසිණි. වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර වසර දොළහකට වඩා ඉක්ම ගොස් ඇතත්, මෙරට ස්ථාපිත වැඩිහිටි නිවාස 456න් වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත්තේ නිවාස 136ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි. ගමේ ග්‍රාමසේවක “සේවක” යන කෑල්ල වෙනස් කර “නිලධාරි” කෑල්ල දාගන්නට නම් මාර කාර්යක්ෂමය. එහෙත් වැඩිහිටි තැනැත්තන් පස්දෙනෙකුට වඩා වැඩි තම වසමේ ඇති නිවාසය ලියාපදිංචි කර නොමැති බව දන්නේ නැත. තමන්ගේ නෑසියන් එම නිවාසවල දමා ගින්නෙන් පසුව විලිලැජ්ජාවක් නැතිව ෆේස්බුක් ආ අමුතු අයියලාගේ සිට ඉහළට හුඟක් අයියලා ගින්නට පෙර මේ ලොකු අයියලා පස්සේ ගොස් ඇති වග නොඅනුමානය.

මෙදවස අනුර කුමාර දිසානායකව ලොකු අයියා වී ඇති හිච්චි එකාලාගේ එදවස ලොකු අයියා වී සිටියේ ගෝඨාභය රාජපක්ෂ ය. තාප්පවල චිත්‍ර අඳින්නටත්, පුරන් කුඹුරු අස්වද්දන්නටත් ගැම්මට එක්රොක්වූ ඒ හිච්චි මල්ලිලා අපටනම් හොඳට මතකය. කාබන් පෑනෙන් තැබූ අත්සනටත්, රුවන්වැලිසෑයේ දිවුරුම් දීමටත් එදවස බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැටී සිටි එව්වෝ, අද අටමස්ථාන අළු කරන්නට එක්රොක් වෙන්නැයි කියද්දී, අපට දෙකොණින් සිනහ නැඟෙන්නේ ඒකය. කලෙක ගෝඨා කොළඹ ලස්සන කළ එකා ය. එක රටක්, එක නීතියක් හදන්නට ආ විරුවා ය. අද පාස්කු මහ මොළකරුවාය, මුළු රටේම ජාතියේම මරුවාය. අපටනම් එදත්, අදත්, මතුවටත් ගෝඨා සේම අනුරද මෙරටට ජන්දයෙන් පත්වූ එක් පාලකයෙක් පමණි. අනුර කුමාර දිසානායක කිව්වා සේ මේ මොහොතේ මේ රටේ භාරකරුවා මිස මේ රටේ අයිතිකරුවා නොවේ. එයාර්පෝර්ට් වසා පැය 24න්, පෝය දෙකෙන් හොරු අල්ලන්නට කැබ් පිටුපස ෆයිල් කඳු අරං ආ එව්වෝ ගෝඨාට විදෙස් ගමන් තහනමක් දැම්මා කියා සුරතාන්තයට පත්වන්නට අපට ක්ෂණික මෝචනය නැත. හැම අයියලාගේම කෙරුවාව දන්නා අපට කිසිම අයියෙක් ලොකුද නැත. ඒ, ඔය හැම අයියාම පොඩිවන තැන අප දන්නා හෙයිනි.

මේ දිනවල කඳවුරු දෙකක පාක්ෂිකයින් වෙන්, වෙන්ව තම කඳවුරේ අයියාව “ලොකු” කරන්නට කැම්පේන් කරති. එක් අයියෙකු වන්නේ හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ ය. අනෙක් අයියා දැන් ඉන්නා බුද්ධි අංශ ප්‍රධානි ශානි අබේසේකර ය. වාසිටි වධකයින්ගේ වැටමාර පොල්ලේ සිට පොලිස් පොඩ්ඩන්ගේ බැටන් පොල්ල සහ ජේලර් කෙරුමන්ගේ එස්ලෝන් බටය දක්වා අධෝගත අතීත ඇති අපට, සලේගේ අධෝවට එබී කිඹුල් කඳුළු හෙළන අයියලා අරුම, පුදුම නැත. එමෙන්ම, රන්ජන් රාමනායක වැනි ළදරු මානසික නළුවෙකු සමඟ රාජ්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගෙන, ඕනෑනම් ගෙදර වලං හෝදන්නට වුව එන්නම් යැයි කියූ ශානිලා අපට ලොකුද නැත. පාස්කු ප්‍රහාරයට පෙර බෝම්බයක් පුපුරණ බවට තොරතුරු ලැබී තිබියදී ඒ වෙනුවෙන් තම බුද්ධි අංශය ක්‍රියාත්මක නොවූ බව ප්‍රසිද්ධියේ පිළිගත් ශානි අබේසේකරද සුරේෂ් සලේ සමඟ ඉන්දවා පත්තර පිටුවකට රාබුත් එක්ක බත් දිය යුතුය. කොටුව ස්ටේෂන් අට්ටාලයේ සිටි අයියලා මෙන්ම කටුවාපිටියේ සිට කොටුවට ආ අයියලාත්, ඒ අයියලාගේ ලොකු අයියලාත් අපි හොඳින් හඳුනමු. ඒ හැම අයියලාම පොඩිවෙන දිනය වැඩි ඇතක නොවන බවද දනිමු.




