Featuresපල්ලේගමගේ පවට පින්දීම

පල්ලේගමගේ පවට පින්දීම

-

spot_img

පල්ලේගමගේ පවට පින්දීම

සංඝ සමාජයේ විනය ආරක්ෂා කර ගැනීම සඳහා ”ධර්මාධිකරණයක්” නැවත පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර පවසයි. ඒ අනුව 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනතේ 41 හා 42 වගන්ති කඩිනමින් සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ජනපති පැවැසීය. ආණ්ඩුවට තකහනියේ මැදිහත් වී භික්ෂුවගේ විනය හැදීමට, විනය රැක ගැනීමට වුවමනා වී ඇත්තේ ඇයි? සමස්ත භික්ෂුවගේම විනය පිරිහී ඇති නිසාද? දුෂ්ශීල භික්ෂුන් එදත් සිටියහ. අදත් සිටිති. හෙටත් එය එසේම වනු ඇත. එහෙත් මේ මොහොතේ තදබල ලෙස මේ සාකච්ඡාව මතු වනුයේ වෙන හේතුවක් නිසා නොව පල්ලේගම සිදුවීම අරඹයාය. පල්ලේගම සිද්ධිය හරහා ජනිත වනුයේ මේ රටේ ඇති බරපතළ ඛේදවාචකයකි. එම සිද්ධිය හරහා සිදු වූ ලොකුම අවැඩ නම් ඊට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවීමය. ගිහි, පැවැදි භේදයක් නැත. සැවොම රටේ නීතියට යටත්ය. එහෙත් පල්ලේගම සිද්ධියේදී නීතිය වල් වැදුණු බව රටටම ඔප්පු විය. සැමට නීතිය සමානය කියමින් කෑමොර දුන් ජනපති, අනුර පල්ලේගම සිද්දිය හරහා ලෝක අමාරුවක වැටුණි. අනුර පමණක් නොව අනුර ප්‍රමුඛ ආණ්ඩුවම මෙම සිද්ධිය හරහා හත්පොළේ ගා ගත්හ.

හැම ප්‍රශ්නයක් දෙසම දේශපාලන කෝණයෙන් බැලීම රටේ නායකයකුට අනිවාර්යය වී ඇත. නීතිය ගැන කුමන කතා කීවද දේශපාලන කෝවට දමා කිරා මැනිය යුතු ප්‍රශ්න එමට ඇත. එය මහින්ද රාජපක්ෂටත්, රනිල් වික්‍රමසිංහටත් දැන් අනුර කුමාරටත් පොදුය. රටේ නායකයා නොවී විපක්ෂයේ ඉන්න කළ මෙවැනි ප්‍රශ්න පතුරු ගැසිය හැකි වුවත් වත්මන් විපක්ෂය නම් ඒ ගැන මීක් නැත. බලය නැතිව පවා විපක්ෂනායක සජිත් ඒ ගැන කතා නොකිරීමට මුඛ වාඩම් දමාගෙන ඇත්නම් ජනපති අනුර කුමාර මේ මොහොතේ ජාමේ බේරා ගැනීමට කොතරම් පරිස්සම් විය යුතුව ඇත්ද? ඇත්ත එයය. පල්ලේගම සිද්ධිය හමුවේ ජනපති අනුර අසරණ විය. එතෙක් සියලු රැකවරණ පල්ලේගම සිද්ධියට ලැබුණේ රාජ්‍ය අනුග්‍රහය යටතේ බව නොරහසකි. පල්ලේගම සිද්ධිය එක් සිද්ධියක් වුවත් ඊට ඈඳුණු චරිතය ප්‍රබලය. එය සාමාන්‍ය මිනිසුන්ට වන්දනා මාන කරන තැනට එය නොගියත් දේශපාලකයාට ඒ චරිත දේශපාලනයේ පැවැත්මේ සාධක වී ඇත. මේ දේශපාලනය ගැට ගැසී බද්ධ වී ඇත්තේ පන්සල, පල්ලිය කෝවිල යන සියල්ල එක්කය. මිනිස්සු දේශපාලනයට වඩා ආගමට පක්ෂය. දේශපාලකයෝ පැවැත්මට මේ පක්ෂපාතීත්වය වුවමනාමය. එය එක මිටට ඩැහැ ගත හැකි තැන ආගමික ස්ථාවරබව ලංකාවේ හැම දේශපාලන නායකයාම දනිති. එය එකිනෙකා පාවිච්චි කරන විදිහ වෙනස් විය හැකි මුත් එය පාවිච්චිය අනුව තමා දේශපාලනිකව පාවිච්චි වන බව මේ අය හොඳාකාරවම දනිති.

අනුර කුමාරට ජනපති වන්නට පල්ලියේ සහාය උපරිම ලැබුණි. අනුර පන්සල් විරෝධියෙක් බවට හඬක් නැඟුණේ බෞද්ධ ඡන්ද ඔහුගෙන් ගලවා ගන්නටය. ජනපති වූ පසු අනුර පන්සල් යෑමට පටන් ගත්තේ ඉදිරියේදී බල සෙල්ලම ස්ථාවරව පවත්වා ගන්නට නම් පල්ලිය පමණක් නොව පන්සල අනිවාර්යය බව දන්නා නිසාය. පල්ලිය දැනට අනුරට පක්ෂපාතීය. එබැවින් පල්ලිය නොරිදන ලෙස වැඩ කිරීමට අනුරට සිදුව ඇත. පන්සල රැක ගැනීමටද අනුරට ලොකු අරගලයක් කරන්නට සිදුව ඇත. පන්සල්, පල්ලි යනු අවසානයේ ඒවායේ නායකයෝය. ඒවා වෙනම රාජ්‍යයය. මේ කුඩා රාජ්‍ය දිනා නොගෙන මේ දේශපාලන ගමන යා නොහැකිය. බලය රැක ගත නොහැකිය. ඒ නිසා පල්ලේගම සිද්ධිය යනු අනුරට ගැලවිය නොහැකි උගුලක් විය. සජිත් පවා මේ ගැන නිශ්ශබ්ද ඒවා දේශපාලන කතන්දර නිසාය. සාමාන්‍ය මත වපුරන්නන්ට ලේසියෙන් නීති තර්ක ඉදිරිපත් කළ හැකි වුවත් දේශපාලකයා නිතර කල්පනා කරනුයේ මේ නඩු හරහා පරදිනුයේ තමන් බවය. පල්ලේගම සිදුවීම රැක්කේ අනුරය. එහෙත් ඒ රැකීම අනුරට නොකර බැරිය. සජිත් සිටියද කරනුයේ ඒ තක්කඩි දේශපාලනයම වේ. එහෙත් මෙවැනි සිද්ධියකදී මහනායක හිමිවරු නිහඬ වනුයේ මන්ද? ඒ අනුව අනුරගේ මැදිහත්වීම තරම්ම මහනායක හිමිවරුන්ගේ නිහඬ බව ප්‍රශ්නකාරී නැද්ද?

පල්ලේගම ප්‍රශ්නය එක් ආකාරයකට දැන් අඩක් අහවරය. හරි වැරැද්ද කුමක් වුවත් සමාජ විනිශ්චය ලැබී අවසන්ය. දැන් පල්ලේගම හාමුදුරුවන් නිවැරැදිකරු වුවත් වැරැදිකරු වුවත් දෙකම එකය. එනම් සමාජ විනිශ්චය තුළ වැරැදිකරුවී හමාරය. මෙය හුදු සෑම භික්ෂුවකටම චෝදනා කරන තැනට තල්ලු වෙමින් ඇති බවත් එය බෞද්ධ නහර කපා දැමීමට යොදා ගන්නා බවත් හැඟෙන චෝදනාවය. එය එසේමද යන්න නිශ්චිතව කිව නොහැකි මුත් භික්ෂුත්වය පැත්තකට කොට පොදු නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම තුළ භික්ෂු සංස්ථාව කෙරෙහි අප්‍රසාදයක් පැන නැඟුණු බව පිළිගත යුතුය. එක් භික්ෂුවක් කරන අවැඩකට සෙසු භික්ෂුව වගකිව යුතුද? කියන තැනද අපි පිළිගත යුතු වන්නේ යම් ප්‍රමාණයක් වගවිය යුතු බවය. පල්ලේගම නායක භික්ෂුවකි. එවිට එම ක්‍රියාව හරහා එළියට එනුයේ භික්ෂු විනය පිරිහී ඇති බවය. සර්පයා පන්සල් තුළ සිටින බවට ඉඟිය ඒ හරහා සමාජ ගතවිය. එය සුළුකොට තැකිය නොහැකි වනුයේ එසේ නම් ඒ සිද්ධිය සැලවූ සැණින් එම භික්ෂුව නීතිය ඉදිරියේ නිවැරැදි වන තෙක් සිය තනතුරින් ඉවත් කිරීම හෝ ඉවත් වීමය. එවැනි ආදර්ශ භික්ෂු නායකත්වය තුළින් එළිනොවීම හරහා පොදුවේ භික්ෂුව රැකීම තුළ ශාසනය අර්බුදයකට යන බව පෙනේ. මේ භික්ෂුව සහ ගිහියා අතර අර්බුදයකි. භික්ෂුව පවතින්නෙ ගිහියා මතය. ගිහියා සිය පවුකම්වලට ඇති එකම පිහිට පිළියම ආගමික රැකවරණය යයි විශ්වාස කරති. ගිහියා පවා නම්, කරැණු මත බැඳ තබාගෙන කෙවිටෙන් තළනුයේ ආගමික නායකයන් නම් අවසානයේ ගිහි සමාජයට රිංගා ඒ පවුකම් ජයටම කරනුයේ ඒ අයම නම් ප්‍රශ්නය සමාජය තුළ පුපුරා යනුයේ ලොකුම පදාසයක් සොලවාගෙන ගලවාගෙන බව අමතක නොකළ යුතුය. පල්ලේගම සිද්ධිය හරහා මිනිසුන්ගේ ආගමික භක්තිය සුනුවිසුනු වන්නේ නැත. එහෙත් ඒ ඒ චරිත ගැන පිළිකුලක් ඇතිවීම වැළැක්විය නොහැකිය. මෙවැනි සිද්ධිවලට පන්සල ඇතුළෙම ඇති පුස්තකවල පිළියම් ඇත. එහෙත් මේ සිවුරු හෝ ලෝගු යට සිටින මිනිසුන් තුළ සිටිනුයේද පෘතග්ජන මිනිසුන්මය. ඒ අයට ලොකු වටිනාකම් ජනිත කර ඇත්තේද ගිහියෝමය. එහෙත් දානය මෙන්ම දානය දෙන මාංස කෙරෙහිද මේ වහන්සේලා ලෝභය. එහෙත් බණ කියනුයේ ලෝබකම අත හැර ගන්නට කියා ගිහියන්ටය. පන්සිල් පද නරක නැත. එහෙත් ඒ සියල්ල හරහා ගිහියාට විලංගු දමමින් ආගමික සංස්ථාව හොරාට සැප විඳීම අවැඩක් නොවේද?

බුද්ධ නීතිය අනුව භික්ෂුව පිළිපැදිය යුතු විනය එමටය. එහෙත් සිද්ධ වන්නේ බුද්ධ නීතියට මුවා වී රාජ්‍ය නීතියද අවභාවිත කිරීමකි. බුද්ධ නීතිය හරියාකරව රැක්කේ නම් පල්ලේගම සිද්ධියක් මතු නොවන්නට ඉඩ තිබුණි. එවැන්නක් මතු වූ බැවින් තවදුරටත් බුද්ධ නීතිය කතා කොට පළක් නැත. රාජ්‍ය නීතිය වුවමනාය. වරද සිවුරකින් වසාගත නොහැකිය. ජනාධිපති භික්ෂුවක් දුටුවිට බොරළු ගොඩක වුව දන නමා වඳිනවා යයි කීවට කම් නැත. එහෙත් බරපතළ වරදක් කර ඇති බවට චෝදනා ලැබූ පසු එය නිදහසේ විභාග කිරීමට ඉඩ හැරීම මිස ආවාස ගෙට ගොස් රහසේ වැඳ වැටිම නරකය. පල්ලේගම සිද්ධිය හරහා සිදුවූයේ එයය. එය ජනපති අනුරට නොකර බැරි වතාවක් වන්නට ඇත. එහෙත් දැන් ඒ හරහා නීතිය සැමට සමානයි කී අනුරගේ වදන මුසාවාදයක් වී ආණ්ඩුවම පව්කාරයන්ගේ ගොඩට වැටී ඇත. විපක්ෂයද ඒ ගොඩේම ලැග ඇත. එසේ නම් දේශපාලනය මේවා සමඟ සමපාත බව නොරහසකි.

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම අනුර නිතර කරන්නේය. දැන් ධර්මාධිකරණයක් වුවමනායැයි කියන්නේ එබැවිනි. බොහෝ පන්සල් අද වන විට එක පිරිසකගේ බූදල්ය. ඒවා ඉතාම ජනප්‍රිය තලයේ සාකච්ඡා වී ඇත. කුලයට විරුද්ධව බුදුන්ගේ දහම තුළ අද වන විට කුලය ප්‍රධාන ඇදහිල්ලක් වී ඇත. ගිහියා පවා වඳකර දමන කුලය පන්සල් භික්ෂුන් අපූරුවට නඩත්තු කරති. මේවා බරපතළ ප්‍රශ්න නොවී ඇත්තේ ගිහියාට දහම එක්ක ඇති බැඳියාව නිසාය. පල්ලේගම සිද්ධිය නිවැරැදි කරන පිරිසක් නිර්මාණය වී ඇත්තේද ඒ දහමේ ආනුභාවයෙන්ම ජනපති අනුර සිද්ධිය සැලවූ සැණින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි අණ කළේ නම් ඉහත ස්ථාවරය දෙගුණ තෙගුණ වී තමාව බිම දමා ගනු ඇතැයි ඔහු සිතන්නට ඇත. දේශපාලන ඇත්ත එයය. උණු නිසා බොන්නත් බැරි කැඳ නිසා අහක දාන්නත් බැරි තැනකට අනුර පත්විය. ඔහු තවමත් ඒ උගුලේ හිරවී ඇත. එයට ඇති පිළියම ”ධර්මාධිකරණය” ගෙන ඒමය. විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමය. ප්‍රශ්නය මේවා ගෙනා පසු ඇතැම් භික්ෂුන්ට ඇති අර නොසන්සිඳෙන ආශාව අහවර වනු ඇත්ද? අදටත් ඒ ගැන කතා නොකරන නායක භික්ෂුන් ඉන්පසු නඩුකාරයන් මෙන් මිස ඉදිරියට ක්‍රියාකරනු ඇත්ද යන්නය. නියම ක්‍රමය නම් සිදුවිය යුතුව තිබුණේ දේශපාලන අතපෙවීම්වලින් තොරව රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වන්නට ඉඩ හැරීමය. එය ප්‍රමාද වූවායින් බොහෝ අය අනාථ වී ඇත. ජනාධිපති බොරළු ගොඩේ දණ ගසා ගෙන ඇත. එය වේදනාකාරී බව දැනී ධර්මාධිකරණය පිළියම් ලෙස සොයන විට තුවාලය වන වී ඇත. හැමදේම විගහට අමතකව යන බැවින් මෙයටද වැඩි ආයුෂ නැති බව පැහැදිලිය. මින් ඉදිරියටවත් පල්ලේගම සිද්ධිය වැනි සිද්ධි නොවීමට භික්ෂුව වග බලාගත යුතුව ඇත්තාහ. එය ගිහියන්ට කරන මහඟු පිංකමකි.

Tiran Kumara Bangagamaarachchi
ටිරන් කුමාර බංගගමආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණයට රහසිගත සැලසුම්

රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණයට රහසිගත සැලසුම්  මහ බැංකුවේ ක්‍රියාකලාපය සෙවීමට තේරීම් කාරක සභාවක් අවශ්‍ය බවත්, අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව...

ගෝඨා Can’t Go 

ගෝඨා Can't Go හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත‍්‍රාත් පසන්...

ත්‍රීරෝද රථයක් මතට ගසක් පෙරළීමෙන් පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනක් මරුට

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී...

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වෙනි...
- Advertisement -spot_img

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා

රුපියලේ ප්‍රශ්නෙට උත්තර අරං ණය වාරික දෙකක් ආවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වෙනි...

ආහාර පාලනයේ ට්‍රැෆික් ලයිට් හඳුනාගන්න

ආහාර පාලනයේ ට්‍රැෆික් ලයිට් හඳුනාගන්න නිරෝගීකම ගැන කතා කරද්දී පෝෂණය ඉතාම වැදගත් සාධකයකි. බඩගින්නට කුමන හෝ දෙයක් ආහාරයට ගනු විනා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you