NovelsSadewtharaSadewthara - 20 සදෙව්තාරා

Sadewthara – 20 සදෙව්තාරා

-

spot_img

Sadewthara – මධුර, අඹේපිටිය ආයුර්වේද රෝහලෙහි අමුත්තන් සඳහා වෙන්වූ කොටසෙහි වාඩිවී ඔබ,මොබ බලමින් සිටියේ තරමක් අපහසුවෙන් හා නොඉවසිල්ලෙනි. හදිසියේම ඊයේ රාත්‍රියේ නිම්නාගෙන් ලැබුණු දුරකථන ඇමතුම හේතුවෙන් තමා මෙලෙස මෙහි පැමිණ සිටියත්, ඒ කුමන කාරණාවක් වෙනුවෙන්ද යන්න පවා ඔහු තවම නොදනී. තමා රෝහල් ගතව හිඳිද්දී, නිවසට ගෙනවිත් ඇරලීමට පැමිණි දිනයේ ඇය තමාගෙන් දුරකථන අංකය ඉල්ලා ගත්තද, ඇගෙන් තමන්ට පළමුවෙන්ම දුරකථන ඇමතුමක් ලැබුණේ ඊයේ රාත්‍රියේදීය.

“හෙට උදේ 10ට ඇවිත් මාව හම්බවෙනවද අයියේ..වැදගත්..වැඩකට..”

නිම්නා එසේ දුරකථනයෙන් කියද්දී පවා “හරි..නංගී..” කියා කීවා මිස තමා ඇය හමුවීමට පැමිණිය යුත්තේ කොහාටද යන වගවත් අසා ගැනීමට මධුරට නිනව්වක් තිබුණේ නැත. ඒ, එම දුරකථන ඇමතුම විසින් ඔහුව ඉතා දැඩි ලෙස නොසන්සුන් කර තිබු හෙයිනි. ඔහුගේ වාසනාවට ඇය පැමිණිය යුතු ස්ථානය සඳහන් කොට දුරකථනයට පණිවිඩයක් එවා තිබුණාය. දැන් ඔහුගේ හිතෙහි දහසක් ප්‍රශ්න නළියමින් තිබේ. සමහරවිට ඇයට මාලක පිළිබඳව කිසියම් තොරතුරක් දැනගැනීමට ඇතුවා විය හැකිය. නොඑසේනම් තමාගේ සොහොයුරා හෝ මව පිළිබඳව යමක් කතාබහ කරගැනීමට විය යුතුය. මධුර හිතෙන් නොයෙකුත් අනුමාන අතර දෝලනය වෙමින් සිටියදී, නිම්නා රෝහලෙහි ප්‍රධාන කවුන්ටරය වෙත පැමිණෙනු ඔහු දුටුවාය. ඇය එන පෙරමඟට යෑම සඳහා හිඳ සිටි සෝපාවෙන් නැඟී සිටීමට උත්සාහ කළ මධුරට, නිම්නා දුර සිටම අතින් සන් කොට තමා එනතෙක් වාඩිවී සිටින්නැයි පවසා,පිළිගැනීම් නිළධාරිණිය සමඟ මොහොතක් කතාබහ කොට තමා දෙසට පැමිණෙමින් සිටියාය. මධුර හුනස්සෙන් නැඟී සිටියේය.

“සොරි අයියේ..මං චුට්ටක් පරක්කු වුණා..”

නිම්නා කියද්දී මධුර ඊට පිළිතුරු බැන්දේ ගෞරවනීය සිනහවකිනි.

“යමු..අපි මොනාහරි බොන ගමන් කතාකරමු..”

මධුරට දෙවන වතාවටත් යමක් කියන්නට අවස්ථාවක් නොලැබිණි. ඔහු නිහඬවම ඉදිරියෙන් යන නිම්නා පසුපසින් වැටුණේය. නිම්නා කෙලින්ම ගොස් නතර වුයේ රෝහල් පරිශ්‍රය තුල ඇති අවන්හලේය. අවන්හල් සේවකයෙකු වහා පැමිණ මේසයක පුටු දෙකක් පිටුපසට ඇද ඔවුනට පිළිගන්වා යටහත්,පහත්ව අත් බැඳ පසෙකට වුයේය. නිම්නා මධුරට වාඩි වෙන්නැයි පුටුව වෙත දිගු කොට පෙන්වුවාය.

“අයියා මොනාද කන්නෙ,බොන්නේ..”

නිම්නා මධුරගෙන් එසේ ඇසුයේ,මේසයේ මධුරට මුහුණලා වාඩිවන අතරවාරයේය. එහෙත් මධුර උන්නේ වටපිට බලමින් තැතිගත් ස්වරූපයෙනි. නිම්නා ඒ බව දුටුවාය.

“කුල් මොනාහරි බොනවද..නැත්තං තේ හරි කෝපි හරිද?..”

නිම්නා නැවත එසේ ඇසුයේ මධුර දෙසට සමීපව,පහත්වී ඉතා සෙමිනි. ඒ ප්‍රශ්නයට පවා මධුර තරමක් කළබල වන අයුරු නිම්නා දුටුවාය.

“ත්..තේ.. එකක් හොඳා..” මධුර අමාරුවෙන් වචන ගැටගසා ගත්තේය. නිම්නා තරමක් දුරින් සිටි අවන්හල් සේවකයාට අතින් සන් කොට කතා කළාය.

“අපිට ස්නැක්ස් මොනාහරි ගේන්න..බ්ලැක් ටී එකකුයි,කොෆී එකකුයි හදන්න..”

“මැඩම්ට ඕනෙනම් මට පුළුවන් ඔෆිස් රූම් එකට සර්ව් කරන්න..”

“නෑ..කමක් නෑ මෙතන නිදහස්..”

සේවකයා හිස වනා පිටව යන අතරවාරයේ නිම්නා සෘජුවම මධුර දෙසට හැරුණාය. එහෙත් තවමත් මධුර ඇත්තේ ව්‍යාකුල තත්වයේ බව ඇය හැඳින ගත්තාය.

“මං දන්නවා..අයියා කන්ෆියුස් වෙලා ඇත්තේ හදිසියේම රීසන් එකක් නැතුව මං ඔයාට මෙහෙට එන්න කීවට..”

“ආහ්..” මධුරගේ මුවින් ක්ෂණිකව එම හඬ නිකුත් වුයේය. නිම්නා යමක් තේරුම් ගත්තාක් මෙන් සිනහමුසුව,හිසෙන් ඔහු වෙතට තවත් සමීප වුවාය.

“හේතුවක් නැතුව හදිසියේම එන්න කීවට කළබල වෙන්න ඕන නෑ..මට ඕන වුණේ නෑ..මිහිරවත් ඔයා මෙහෙ එන බව දැනගන්නවට..”

“මොකක්ද මිස්ට මගෙන් දැනගන්න ඕනේ?..”

“මිස්..?” නිම්නා මධුර හදිසියේ කළ ආමන්ත්‍රණයේ කුහුල දනවන කොටස නැවත උච්චාරණය කළාය.

“නෑ..ඉතිං..මෙතන මං එහෙම..”

“එහෙම කිසිම දෙයක් නෑ අයියේ..පුරුදු විදිහට ඔයා මට නංගි කියලා කතා කරන්න..ඔයා මගේ හොඳම යාළුවගේ අයියනෙ..”

මධුර තරමක් සන්සුන් වනු නිම්නා දුටුවාය. තවත් ඔහුව අපහසුවට පත් නොකොට, කාරණයට ඒමට මේ සුදුසු වෙලාව බව ඇයට වැටහිණි.

“මං ඔයාට රස්සාවක් දෙන්න යන්නේ..”

නිම්නා එසේ පවසද්දී, මධුරගේ මුව පළල් වී යනු ඇය දුටුවාය.

“වෙන කොහෙවත් නෙවේ මෙහෙ..අපේ හොස්පිටල් එකේ..ට්‍රාන්ස්පෝර්ට් සෙක්ෂන් එකේ..”

මධුරගේ විමතිය පෙර ලෙසම පැවතුණේය. අවන්හල් සේවකයා තේ බන්දේසියද අතැතිව ඔවුන් වෙත පැමිණියේ ඒ මොහොතේය.

තාරා, අඹේපිටිය ආර්යුර්වේද රෝහලට නොගොස් මේ ගෙවෙන්නේ දෙවෙනි දිනයයි. ඕනෑම වැඩිවිය පැමිණුනු ගැහැණු දරුවෙකුට මසකට වරක් මුහුණ දෙන්නට සිදුවන ඒ දිනය, තාරාට අන් අයට සාපේක්ෂව බලද්දී දැඩි වේදනාකාරී දිනයකි. ඇගේ මව සමදරා එය හොඳින් දැන සිටියාය. පාසල් යන අවධියේ සිටම එම දිනය යෙදෙනදා සිට තවත් එක් දිනයක්වත් ඈ නිවසේ විවේකීව රඳවා තැබීමට සමදරා වග බලාගත්තේ එහෙයිනි. මේ ගෙවුණු දින දෙකට සදෙව් දවසට කිහිප වතාවක් තාරා යළි රෝහලට පැමිණෙන්නේ කවදාදැයි සමදරාගෙන් අසන්නට පුරුදුව සිටියේය. අඹේපිටිය මහතාද වරක් තාරා නොපැමිණෙන්නේ මන්දැයි විමසා සිටියා සමදරාට මතකය.

“දූට පොඩ්ඩක් සනීප මදි..ඉක්මණින් එන්න පුළුවන් වෙයි..”

තාරා ගැන ඇසු බොහෝ දෙනාට සමදරා දුන් කෙටි පිළිතුර වුයේ එයයි. ඇත්තෙන්ම තාරා හෙට සිට වුවද යළි රෝහල වෙත රැගෙන යා හැකි ලෙසින් සාමාන්‍ය තත්වයට පැමිණ ඇති බව සමදරා හොඳින් දැන සිටියාය. එහෙත් ඇය ඕනෑකමින්ම තව දවසක්,දෙකක් නිවසට වී සිටින්නැයි තාරාට කීවාය. ඊට හේතුව මිහිර හා තාරා ඈඳුණු ෆේස්බුක් සිදුවීමද එසේත් නොමැතිනම් සදෙව් තාරාට තිළිණ දෙන්නට රැගෙන ආ ජංගම දුරකථනයද කියා සමදරාට තේරුම්,බේරුම් කර ගත නොහැකිය. හේතුව කුමක් වුවත් පෙර කිසි දිනයක තම දියණිය කෙරේ ඇති නොවූ බියක් හා සැකයක් තම සිතෙහි තෙරපෙමින් වදදෙන වග සමදරා දැන උන්නාය.

“අම්මා..”

තම ඇමතුමෙන් සිය මව තිගැස්සී යනු තාරා දුටුවාය. රෝහලේ සිට පැමිණි අයුරින්ම ඇය සාලයේ අසුන්ගෙන කල්පනාවේ නිමග්නව සිටිනු දැකීමෙන් තාරා තවත් විමසිලිමත් වුවාය.

“ඇයි අම්මා..”

“මහන්සියි ළමයෝ..” සමදරා එසේ කීවේ කිසිවක් නොවූ ලෙස සන්සුන් වෙන්නට උත්සාහ කරමිනි.

“ඇඟ පත පොඩ්ඩක් හෝදගෙන එන්න අම්මා..මං තේ ටිකක් හදන්නම්..”

සමදරා අලසව කාමරයටත් එහි සිට නාන කාමරය දෙසටත් යනු බලා සිටි තාරා කුස්සියට ගොස් කේතලයට වතුර තැබුවාය. දින කිහිපයක සිට තම මව කිසියම් සිත් තැවුලකින් පසුවන්නේයැයි තාරාට දැනී තිබිණි. පිරිමියෙකුගේ හව්හරණක් නොමැතිව තම වයෝවෘද්ද සීයා සහ තමන්ව නඩත්තු කරන තම මව, මෙතෙක් කාලයකට ඒ කිසිඳු කාරණයක් අභිමුව කණස්සල්ලට හෝ පසුබෑමට පත්ව හිඳිනු ඇය දැක නොතිබුණාය. ඇතැම්විට තමා සහ මිහිර සිටින ජායාරුපයක් සමාජමාධ්‍යවල පලවීම තම මවගේ මේ හැසිරීමට හේතුවක් වන්නට ඇතැයි ඇය අනුමාන කළාය. කිසිවෙකුට අබැටක තරම්වත් කරදරයක්,හිරිහැරයක් නැති තම පවුලට මෙවන් අහඹු හෙණගෙඩි පහත් වන්නේ මන්දැයි සිතමින් තාරා කනස්සල්ලට පත් වුවාය. මේ සියල්ලට හේතුව තමාගේ නුවරඑළි ගමන නොවේදැයි කියා සිතී තාරාට හිල්ලුණාය. තම මවගේ ජංගම දුරකථනය වරක් නාදවනු ඇසුණත් ඇය එතරම් ගණන් නොගත්තාය. දෙවනවරටද එය නාද වන්නට පටන් ගත්විට තාරා සාලයට ගොස් ජංගම දුරකථනයේ මුහුණතට එබී බැලුවාය. එහි දිස්වන අංකය රෝහලේ යැයි සිතිය හැකි අංකයකි. මව තවමත් නාන කාමරයේය. හදිසි අවස්ථාවක් නොවන්නට රාජකාරී වේලාවෙන් පසුව තම මවගේ ජංගම දුරකථනයට රෝහලෙන් ඇමතුම් ලැබෙන්නේ නැති බව තාරා හොඳින් දැන සිටියාය. දෙවන වරටද දුරකථනය නිහඬ වී තෙවන වර නාද වනවාත් සමඟම තාරා එය ක්‍රියාත්‍මක කොට කණ තබා ගත්තාය.

“ආන්ටි..මං..සදෙව්..”

තමන් “හෙලෝ” කියන්නටත් පෙර එහා පසින් ඇසුණු ඒ හඬට වෙව්ලා ගිය තාරා අතින් දුරකථනය අත හැරෙන්නට ගියාය. ඇය වෙව්ලන එක් අතෙකින් ජංගම දුරකථනය සිය කොපුලකට තද කර ගත්තාය. සමදරා නාන කාමරයෙන් සාලයට පැමිණියේ මේ මොහොතේය. සිය දියණියගේ බියපත් මුහුණ නිරීක්ෂණය කරමින් තාරා අසළට පැමිණි ඇය තාරගෙන් “කවුදැයි” ඇසුයේ අභිනයෙනි. තාරා වෙව්ලන දෑතින් යුතුව ජංගම දුරකථනය සිය මව අත තැබුවාය.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you