Sadewthara – මාලක සිය පියාගේ වාහන කුලී පදනම මත ලබාදෙන ව්‍යාපාරය තුළට තල්ලු වී ආවේ ඉබේමය. ඔහු එය කිසිවිටෙකත් අපේක්ෂා කළ දෙයක්ද නොවේ. එය මධුර තරම් ඉවසීමෙන් සහ සූක්ෂමව තමාට කළ නොහැකි බව ඔහු හොඳාකාරවම දැන හුන්නේය. අනෙක් අතින් මධුරව රැකියාවෙන් ඉවත් කිරීමට තමාට කිසිඳු උවමනාවක් තිබුණේද නැත. එය තම පියා විසින් ගත් ඒකමතික තීරණයක් බව දන්නේ තමා සහ තම පියා පමණි. මධුර තමා සමඟ ආරවුලක් ඇති කරගත් දිනයේ ඔහු මෙහි පැමිණියේ මධුරට ඒ බව කියා නිදහස් වන්නටය. එහෙත් ඒ වන විටත් මධුරට සිය පියා වූ අපොන්සු ගෙන් ඔහුව එදිනම රැකියාවෙන් ඉවත් කරන ලද බව කියන පණිවිඩය ලැබී තිබිණි. ඒ මොහොත වන විට මධුර සිටියේ දැඩි නොසන්සුන් බවකිනි. තමාගේ කිසිඳු පැහැදිලි කිරීමක් ඇසීමට තරම් මධුර තුළ ඉවසීමක් තිබුණේ නැත. බහින්,බස් වීම අවසන් වූයේ ඔහු තමාට පහර දීමෙනි. එම පහරේ වේදනාව මාලකගේ නාසය ඇතුලතින් තවමත් ඔහුට දැනෙන්නේය. ඒ මොහොතේ තමා පෙරලා මධුරට පහර නොදුන්නේ කුමන හේතුවක් නිසාදැයි මාලකට තවමත් සිතාගත නොහැකිය. එදා මධුර එලෙස හැසිරී නොතිබුණානම්, අද වන විට ඔහු සොයාගොස් නැවත රැකියාවට පැමිණ තමා මේ කරදරයෙන් නිදහස් කරන්නැයි ඉල්ලන තරමට මාලකට මේ රැකියාව එපා වී තිබිණි. මේසයක් අසල හිඳගෙන, දුරකතනයට කතාකරමින් වාහන කුලියට ලබාදීම මාලකට දැන් හිසරදයකි. ඔහුගේ සිහිනය ඊට එහා එකකි. ඔහුට අවැසි ආයතනයක් පාලනය කරනු මිස, ආයතනයක් විසින් තමාගේ නිදහස පාලනය කරනු දැකීම නොවේ. මේ කොටුවීම සහ ඒකාකාරී බව හේතුවෙන් තමා නිම්නාගෙන් කෙතරම් ඈත්ව සිටින්නේද..? ඒ ඈත්වීමේ හිඩැසට මිහිර කෙතරම් සූක්ෂමව රිංගා ඇත්තේද..? ඒවා මෙනෙහි වද්දී මාලකට කෝපයකට වඩා දැනෙන්නේ දැඩි කළකිරීමකි. ඔහුට පෙරදා සදෙව් හා නිම්නා රෝහල් කාමරයේදී මුණ ගැසුණු අවස්ථාව සිහියට නැඟුණේය. තමා සදෙව් ඇටවු උගුලට බලෙන් ගොස් පැටලුණායැයි දැණුනේ, නිම්නා ඉදිරියේ සදෙව් හැසිරුණු සූක්ෂම සහ උපායශීලී බව, පසුව කල්පනා කළ විටය. තමන් කැපූ වලෙහි තමාම වැටෙනවා යැයි කියනුයේ මෙවැනි දෙයකටයැයි ඔහුට වැටහුණේ ප්‍රමාද වීය. සදෙව්ගේ කාමරයෙන් පිටවීමට පෙර නිම්නා තමාටත් ඇය සමඟ පැමිණෙන ලෙස ආරාධනා කළාය. ඇත්තෙන්ම ඒ මොහොතේ මාලක ඇය සමඟ පැමිණියේ හිත පුරා දිව ගිය ජයග්‍රාහී හැඟීමෙනි.
“ඇයි මාලක ඔයා ඒ වගේ කැත වැඩක් කරේ..”
රෝහල් කොරිඩෝව දිගේ ගමන් කරමින් සිටියදී නිම්නා ඇසූ විට, මාලකගේ සියලු සතුටු හැඟීම් ක්ෂණයකින් විනාශ වී ගියේය. නිම්නාගේ පැනයට පෙරලා පිළිතුරු බඳින්නට පවා අමතකව ඔහු අසරණ හැඟීමෙන් ඇය දෙස බලා සිටියා පමණක් ඔහුට මතකය.
“මොන ප්‍රශ්න තිබ්බත්,මොන තත්වෙ හිටියත් අපි ක්ලාස් මේට්ලා…අඩුම තරමෙ ඔයාට තාරා ගැන හිතන්න තිබ්බා..ෂී ඊස් අ ඉනසන්ට් ගර්ල්..”
නිම්නා දිගටම කියවමින් සිටියා ය. තමා චූදිතයෙකු කොට සිටියත්, ඇය තමාට ඇති චෝදනාව තවමත් පැහැදිලි කර නැත. එබැවින් මාලක රැල්,බුරුල් හැර උගුර පාදාගත්තේ නිම්නාගෙන් එය අසා දැනගැනීමටය.
“නිම්නා…මං..”
මාලකට කිවහැකි වූයේ එපමණකි. නිම්නා නැවත කතා කරන්නට වූවාය.
“මං අහන්නෙ තාරගෙයි, මිහිරගෙයි ෆොටෝ එක ෆේස්බුක් අප්ලෝඩ් කරපු එක ගැන..”
“ඒක ෆේක් එකවුන්ට් එකක්..ඔයා කොහොමද කියන්නෙ මංම කරා කියලා..”
“ඔව්, ඒක ෆේක් නිසා කාටවත් කෙලින්ම ඔයාට ඇඟිල්ල දික් කරන්න බෑ තමා…බට් අයි නෝ…යු ආර් ද වන්..”
“ඕනෙනම් මට පුළුවන් නිම්නා..ඒක කරේ ඔයා කියලත් කියන්න..”
“වට්..”
“මං දවසක් ඒ ෆොටෝ එක ඔයාට වට්ස් ඇප් කරා …මතකනෙ..”
“යාහ්..බට් ඔයාටයි ඕන වුණේ මට පෲව් කරන්න මිහිරයි, තාරයි අතර එෆෙයාර් එකක් තියනවා කියලා…බිකෝස් ඔෆ් දැට් යූ සෙන්ට් ඉට් මී…අයි නෙවර් ආස්ක්ඩ් යු ටු සෙන්ඩ්..”
නිම්නා දැඩිව කළබලයට පත්ව සිටියාය. මාලකගේ මුවට නැවතත් ජයග්‍රාහී සිනහවක් නැඟ ආවේය.
“ඒ හැමදේකම අවස්ථා සම්බන්ධය දන්නෙ ඔයයි මායි විතරයි නිම්නා…එළියෙ කවුරුත් ඒවා දන්නෑ…මං මේ දැනුත් කියනවා..උන් දෙන්නා අතර සම්බන්ධයක් තියනවා…ඒක එහෙම වෙච්චාවේ..ඒකෙන් ඔයාට පාඩුවක් වෙලා නෑනේ..”
“ඒක එහෙම වුණාම ඔයාට ලැබෙන ලාභෙ මොකක්ද..දැට්ස් මයි ක්වෙක්ෂන් මාලක..”
“ඔයා ඒ හිඟන්නගෙන් ගැලවෙන එක..”
“ඒව මහ තර්ඩ් ක්ලාස් වැඩ මාලක..”
“නෑ..නෑ…බබෝ… ඔයාමනෙ කිව්වෙ අපි ඔක්කොම එක ක්ලාස් එකේ කියලා. .මං ආයෙමත් කියනවා…ඕනෙනම් මට කියන්න පුළුවන් මේ වැඩේ කරේ ඔයා කියලා…එතකොට අපි දෙන්නම තර්ඩ් ක්ලාස්..සී..අයි හෑව් එවිඩන්ස්..ඒක මං ඉංග්‍රීසියෙන් කිව්වා හරිද මන්දා…”
මාලක කීයේ තමා වට්ස් ඇප් මගින් නිම්නාට එවූ, තාරා සහ මිහිර සිටින පිංතූරය ඇයට දක්වමින්, හඬ නඟා සිනාසෙමිනි. නිම්නාගේ මුහුණ අඳුරුව ගියාය. මුහුණේ මස් පිඩු කෝපයෙන් නළියන්නට වූවාය. ඇය වේගයෙන් මාලක අත හැර කොරිඩෝවේ ඈතට ඇවිද යන අයුරු බලා සිටි මාලකට “පුවර් ලේඩී” කියා කියවුණේය.
“මොකක්..”
තමාට ඉදිරිපසින් ඇසුණු හඬින් මාලක කල්පනාවෙන් මිඳුණේය. ඒ ඔහුගේ නැඟණියයි.
“තමුසෙට මං උදේ,හවා කෑම අදිනවා මදිවෙලාද මට පුවර් ලේඩී කියන්නෙ..”
“හයියෝහ්ං..කෑම ගෙනාවනම් තියලා යනවකො වදේ..මෙතන ටකරමට ගල් ගහනව වගේ කියවන්නැතුව..”
කියා මේසය අසළින් නැඟිටගත් මාලක, සිය නැඟණියවද තල්ලු කරමින් එළියට බැස, වාහන අංගනය දෙසට ඇවිද ගියේය. ඉනට තබාගත් අත් ඇතිව මාලකගේ නැඟණිය ඔහු යන දෙස රවාගත් මුහුණෙන් බලා සිටියාය.
සදෙව් කිහිප වාරයක් ඇඳෙන් බැස ගොස් කොරිඩෝව දෙස බැලූයේ, තාරා තවමත් නොපැමිණීම හේතූවෙනි. වෙනදා මේ වන විට ඇය පැමිණ තමාගේ ශාරීරික ව්‍යායාම සහ ප්‍රතිකාර විධි පවා කොට අවසන් ය. සාමාන්‍යයෙන් ඔහු ඇය නිවසින් රැඟෙන එන උදේ ආහාර වේලට හුරුව සිටියේය. එය වසර විසි ගණනක් තමාට සිය නිවසේදී රස විඳින්නට නොලැබූ ආකාරයේ වෙනස් ආහාර වේලකි. ඔහු වඩාත් ඇළුම් කරනුයේ එය තාරා අතින් ලබාගැනීමේ අවස්ථාව රෝගියෙකු ලෙස සලකා හෝ තමාට හිමිවන හෙයිනි. දැන් දිවා ආහාර වේල ලබාගන්නා වේලාවද කිට්ටු වී තිබේ. එහෙත් මේ වනතෙක් ඔහු උදේ ආහාරය ගෙන නොතිබුණි. තාරා විසින් තමන් වෙනුවෙන් රැගෙන එන කෑම වේල හේතුවෙන්, ඔහු රෝහලෙන් ලැබෙන උදේ ආහාර වේල අනවශ්‍ය බව රෝහල් කාර්ය මණ්ඩලයට දන්වා තිබුණේ මීට දින කිහිපයකට පෙර සිටය. බඩේ සහ පපුවේ දැවිල්ලක් දැණුනත්, එය කුසගින්න හේතූවෙන් නොවන බව හිතට ඒත්තු ගන්වන්නට සදෙව් වගබලා ගත්තේය. දොරට තට්ටු කරන හඬක් ඇසුණේය. “තාරා..” සදෙව්ට ඉබේම එසේ කියවුණේය.
“කමීන්න්..”
කියා ප්‍රීතිමත් හඬින් පැවසූ සදෙව්, ඇඳුම පිළිවෙලකට හදාගෙන, ඇඳේ හරි බරි ගැසී වාඩිවී, සිනහමුසු මුහුණින් දොර දෙසම බලා සිටියේය.
“එක්ස්කියුස් මී සර්..මං දිනේෂ්..බෙස්ට් බඩීස් කුරියර් සර්විස් එකෙන්..සර්ට පාර්සලයක් තියනවා…”
ඔහුගේ අපේක්ෂාව බිඳ දමමින් කාමරයට ඇතුල් වූ කුරියර් ආයතනයේ සේවකයා එක දිගට කියවාගෙන ගියේය. බෙරි වී ගිය මුහුණින් එහි අත්සනක් දැමූ සදෙව්, “තැන්කියු” යනුවෙන් අලසව පවසා සේවකයා පිටත් කර හැරියේය. ඔහු පාර්සලය විවෘත කර එහි වූ අලුත්ම ජංගම දුරකතනය සහිත පෙට්ටිය එළියට ගත්තේය.
“මදැයි කෙනෙක්ට ආසාවෙන් තෑග්ගක් ගත්තා…”
සදෙව්ට එසේ කියවුණේ මුවින් පිටවු හීල්ලුම් හුස්මක්ද සහිතවය. ඔහු රෝහල් දුරකතනය අංකනය කර කන තබාගත්තේය.
“මට ඩොක්ටර් සමදරාව පොඩ්ඩක් දෙනවද..”
ඔහු මඳ වේලාවක් එහා පසට ඇහුන්කම් දී සිටියේය.
“ඉට්ස් ඕකේ..අර්ජන්ට් නෑ…මං කතා කරා කියලා කීවම ඇති..තැන්කියු..”
සදෙව් රිසීවරය තැබූයේ කල්පනාකාරීවය. ඔහුට යම් අමුත්තක් දැනෙන්නට වූයේය. තාරා තවම පැමිණියේ නැත. ඇගේ මව තමා මඟහරින්නේද..? නොයෙකුත් විකාර වලින් ඔහුගේ මනස පිරී යන්නට වූයේය. අඩුම තරමේ තාරාට දුරකතන ඇමතුමක් හෝ ගත හැකි මාර්ගයක් තිබුණේ වී නම් මේ සියලු ප්‍රශ්න වලට උත්තර සපයාගත හැකිව තිබිණි. හිතේ ඇති දෙයක් නොසඟවා පැවසිය හැකි මිතුරුකමක් හෝ තමාට නොමැති බව දැනී ඔහු ඇතුලතින් වෙව්ලා ගියේය. අවුරුදු විසි ගණනක් තමාත්, වත් පොහොසත් යැයි කියා ගන්නා තම පවුලත් හම්බ කර ඇත්තේ මොනවාදැයි ඔහුට සිතුණේය. මේ අසරණ හැඟීම කිසිදා මෙතරම් තදින් ඔහුගේ හිතට දැනී තිබුණේ නැත. හිස්කමක්,තනිකමක්, කුමක් හෝ හිඩැසක් තම ජීවිතයේ ඇතැයි යන්න විටින් විට දැනී තිබුණද, ජිවිතයේ මෙවැනි ඇතුලතින් කඩා වැටීමක් වැනි හැඟීමක් ඔහුට දැණුනේ පළමු වතාවටය.
“මං ඇතුළට එන්නද..”
සමදරාගේ හඬින් ඔහු සැබවින්ම තිගැස්සිණි. ඒ බව සමදරා හොඳින් දුටුවාය.
“සොරි පුතා…මං කීපසැරයක් දොරට තට්ටු කරා…කෝල් එකකුත් අරන් තිබුණු නිසා මං හිතුවා හදිසි වුවමනාවක්ද දන්නෑ කියලා..ඒකයි දොර ඇරගෙන ආවේ..”
සමදරා වෘත්තීය මට්ටමින් එසේ සමාව ඉල්ලන්නට වූයේ අනවසරයෙන් දොර හැර එන්නට වූ නිසාය.
“ඇයි ආන්ටි තාරා ආවෙ නැත්තෙ..”
සියල්ල අවසන සදෙව්ගේ පැනය වූයේ එයය. සමදරා ඔහු කෙරේ විමසිලිමත් වූවාය. ඊළඟට ඇය කතා කරන්නට වූයේ සදෙව්ගේ මුහුණේ සියුම් හැඟීම් පවා නිරීක්ෂණය කරන අතරතුරය.
“දූට පොඩ්ඩක් සනීප මදි..”
“ඇයි..මොකක්ද වුණේ..බෙහෙත් ගත්තද..”
සදෙව් ඇඳෙන් බිමට පැන්න වේගයට බියවී සමදරා අඩියක් පස්සට පැන්නාය. තමා අනිසි ලෙස කළබලයට පත් වූ වග සදෙව් තේරුම් ගත්තේ, සමදරා තමා වෙත හෙලා සිටිනා බැල්මෙනි.
“න්..නෑ…මං හිතුවෙ ආන්ටි අර..වෛරස් උණවත් හැදිලද කියලා…දැන් හැමතැනම ඒකනෙ…ඇන්ඩ් අයි හර්ඩ් ඉට්ස් ටූ හාඩ්..”
“නෑ… මේක මේ සාමාන්‍යයෙන් ගෑණු ළමයින්ට හැදෙන ලෙඩක්..දවස් දෙක තුනකින් හරියයි..”
“ඒ කියන්නෙ තාරා දවස් දෙක තුනක් එන්නෙ නැද්ද ආන්ටි..”
සදෙව්ගේ මුහුණ සම්පූර්ණයෙන්ම මැළවී ගොස් ඔහු අඩපණ වන අයුරු සමදරා දුටුවාය.
“මං සඳමාලිට කියලා තියෙන්නෙ පුතා ගැන බලන්න කියලා…මොනාම හරි තිබුණොත් කෙළින්ම මගේ මොබයිල් එකට ගන්න..”
සමදරා කාඩ් පතක් සදෙව් අත තබමින් කීවාය. ඔහු අලසව කාඩ්පත රැගෙන ඇඳ මත තැබුවේය.
“මං තව කොච්චර කාලයක් මෙහෙම ඉන්න ඕනෙද ආන්ටි..”
“ඔයා ට්‍රීට්මන්ට් වලට උනන්දු වෙන තරමට ඉන්න ඕනේ කාලෙ අඩුවෙනවා…අනිත් එක හුඟක් ලෙඩ තියෙන්නෙ අපේ හිතේ පුතා…හිත එකලස් කරගන්න තරමට ලෙඩ අඩුවෙනවා…”
“මට මේක ඇතිවෙලා තියෙන්නේ ආන්ටි..”
“මට ඔයාගෙන් එහෙම දෙයක් පෙණුනෙ නෑනේ පහුගිය දවස්වල..බොහොම ආසාවෙන් මෙහේ ඉන්න බව තමා තේරුණේ..මොකෝ මේ හදිසියේම..”
සමදරා සිය කඩ ඉම් ප්‍රශ්නයෙන් සදෙව් වෙත දමා ගැසුවේය. ඇය සිතූ ලෙසම ඔහු අවුල්ව ගියේය. එසැණින්ම ව්‍යජ සන්සුන් බවක් මුහුණට ආරූඪ කරගනිමින් ඔහු සිනාසෙන්නට වූයේය.
“තෑන්ක්ස් ෆෝ එව්රිතින්ස් ආන්ටි..යු ඇන්ඩ් තාරා ඩුයින් යුවර් බෙස්ට්..”
“ඒක මගේ රාජකාරිය පුතා…තාරා ඒ දේවල් කරන්නෙ ඔයාලගේ තියන යාළුකමට..මං හිතනවා ඔයාට ඒක තේරෙනවා කියලා…ඒ නිසා අපිට ඔයාගේ සපෝර්ට් එක ඕනේ ස්පීඩ් රිකවරි එකකට..”
“ෂුවර් ආන්ටි..”
“එහෙනම් මං යනවා පුතා…පේෂන්ට් කෙනෙක් ඉන්නව බලන්න..ලන්ච් එකෙන් පස්සෙ මං සඳමාලි එවන්නම් අද ට්‍රීට්මන්ට් වලට..”
සදෙව් පිළිතුරු දෙන තෙක් නොරැඳුණු සමදරා පිටවීමේ දොරටුව දෙසට ඇවිද ගියාය.
“ආන්ටී…”
සදෙව්ගේ ඇමතුමට දොර අසළට ගිය සමදරා හැරී බැලුවාය. ජංගම දුරකතනය සහිත පාර්සලය රැගෙන ඔහු ඇය වෙත පැමිණියේය.
“මේක මගෙන් පොඩි ගිෆ්ට් එකක්..ඇන්ඩ් ගිව් මයි විෂ් හර් ෆෝ ස්පීඩි රිකවරි..”
සමදරා සදෙව් දෙස බලා සිටියා මිස, ඔහු අතින් පාර්සලය නොගත්තාය.