Political reprisals – රාජ්‍ය ආයතන කිහිපයකම වෘත්තිය ශාඛා සමිති නායකයන් අහේතුකව ස්ථාන මාරු කර, තවත් ආයතන බොහොමයක කාර්යාල පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයට වෘත්තිය සමිති කාර්යාල වසා දමා, වත්මන් ආණ්ඩුව වෘත්තිය සමිති ක්‍ෂේත්‍රයේ දේශපාලන පලිගැනීම් ආරම්භ කර ඇතැයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් බන්දුල සමන් කුමාර පවසයි.
රාජ්‍ය ඉන්ජිනේරු නිර්මාණ නීතිගත සංස්ථාවේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ තත්ත්වය හොඳින් දැකිය හැකි බව පවසන ලේකම්වරයා, වෘත්තිය සමිතිවලට සවන් දෙන ආණ්ඩුවක් නම් දැන්ම එම පියවර නතර කර සාකච්ඡාවට එක් විය යුතු අතර එවැනි ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට වෘත්තිය සමිති සූදානම් බවත්, නීති හමුවට නොගොස් එය විසඳා ගැනීමට තවමත් උත්සාහ කරන බවත් පැවසීය. පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය යනු ගැටුම් ඇති කරගැනීමට කැමති වෘත්තීය සමිතියක් නොවන අතර වත්මන් ආණ්ඩුවේ තනතුරුවලට පත් වෘත්තිය සමිති නායකයන් ඒ බව හොඳින්ම දන්නා බව ඔහු අවධාරණය කරයි. ළදරු ආණ්ඩුවක් වුවද වෘත්තිය සමිති මර්දනයට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව වෘත්තිය සමිති පියවරකට යෑමට වුවද පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය පසුබට නොවන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.