Pini Muthu Palasa පිනි මුතු පලස
රජිව් පිටත්ව ගිය පසු මට දැනුණේ අසීමිත වූ වේදනාවකි. නැවතත් ඔහු හමුවන්නට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි මසිත මට කියන්නාක් මෙනි.
“අම්මේ…”
මම අම්මා අමතන විට ගෙතුළට යෑමට තැබූ පය ආපස්සට ගත් අම්මා මවෙත හැරුණාය.
“මොකද චූටි දුව…”
මම එක්වරම කිසිත් නොකී නිසාදෝ අම්මා මගෙන් ඇසුවාය.
“මටත් රට යන්න ඕන…”
“මොකෝ මේ හදිසියේ…?”
පුදුමයෙන් අම්මා ඇසුවේ දෑස් නළලේ රඳවාගෙනය. එය මා සිතේ හදිසියේ උපන් සිතුවිල්ලක් නොවේ. දින ගණනාවක පටන් මම ඒ පිළිබඳව සිතුවෙමි. මගේ අනාගතය දැන්වත් මා විසින් ගොඩ නඟා ගත යුතුය. මෙතුවක් කළකට මට කරන්නට සිදු වුයේ අනුන්ට වුවමනා දේය.
“හදිසියේ නෙවේ…මටත් කියලා ජීවිතයක් තියෙන්න ඕන…මෙහෙම එක එකා ලඟ වැටිලා ඉන්න බැහැනේ…අරයාට ඕන මාව ආයේ කසාඳ බන්දන්න…”
කළකිරීමෙන් මම කීවෙමි.
“මාත් ආයේ යන්න කියලා හිතුවේ…”
අම්මා කියන විට මම පුදුම නොවූයෙමි. අයියා නිසා ඈ පසුවන්නේ සිත් තැවුළෙනි.
“පොඩි ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදා ගන්න ඕන…”
“අපොයි ඔව්…අම්මාගේ චූටි පුතාව නම් තඹ සතේකට විශ්වාස කරන්න බැහැ…”
“ඒක ඇත්ත චූටි දුව…”
සුසුමක් හෙළමින් අම්මා කීවේද දැඩි කලකිරීමකින් කියා මට සිතිණි.
සවස අම්මා සිටියේ කෙටි නින්දකට වැටී ය. රූපවාහිනිය නරඹමින් සිටි මා කිසිවෙකු දොරට ගසන හඬ ඇසී දොර විවර කළේ පැමිණියේ කවුරුන්ද කියා හෝ ජනේලයෙන් වත් නොබලමිනි. වරද මගේමය. පැමිණ සිටියේ චානුකය. ඉස්තෝප්පුවේ සිටගෙන සිටි ඔහු දුටු මා සිතේ ඇති වූයේ නොපහන් හැඟීමකි.
“අයියා නැහැ…නිශා අක්කලා ගෙදර ගිහින්…”
දොර මුළුමනින්ම විවර නොකර මම කීවේ එය වසා දමන්නට සූදානමිනි.
“ආහ්…ඒකට කමක් නැහැ…මං ආවේ අයියා හමුවෙන්න නෙවේ…”
“එහෙනම්…?”
නොමනාපයෙන් මම ඇසීමි.
“ඔයා මුණ ගැහෙන්න…”
“ඇයි…මොකටද මාව මුණගැහෙන්නේ…?”
සිතේ උපන් නොමනාපය මම ඔහුගේ මුහුණටම දමා ගැසීමි.
“නැහැ…ඔයා එක්ක ටිකක් කතා කරන්න…”
“මට ඔයා එක්ක කතා කරන්න තරම් දෙයක් නැහැ…ඔයාට කතා කරගන්න ඕන දෙයක් තියනවා නම් අයියා එක්ක කතා කරගන්න…හැබැයි…මං ගැන ආයේ එයා එක්ක කතා කරන්න හදන්න එපා…”
නියපොත්තෙන් කපන්නට තිබෙන දේ පොරොවෙන් කපන්න තියා ගන්නේ මන්ද..? ඔහුගේ මුහුණ අඳුරුව ගියේ මා බලා සිටියදීමය. මා සිතේ ඇති වූයේ අනුකම්පාවක් නොව කෝපයකි. එය ඔහු කෙරෙහි මෙන්ම අයියා කෙරෙහිත් උපන්නකි. දොර වසා දැමීමට සූදානම් වන මොහොතේ අම්මා පැමිණියේ කටහඬ ඇසී වන්නට ඇත.
“කවුද චූටි දුව…?”
ඈ විමසන විට මම පිළිතුරක් නොදීම කාමරයට පැමිණියෙමි. අම්මා ඔහුව ගෙතුළට කැඳවන හඬ මා සවන් වැකිණි. මම යහන මත හිඳගෙන පිටත කතා බහට වුවමනාවෙන් නොවූවද සවන් දුනිමි.
“අපේ පුතා කිව්වා…මේ ළමයා කරපු යෝජනාව ගැන…ඒත් දුව කැමති නැහැ…මං කැමතිත් නැහැ ළමයෝ…ඔය ළමයා මෙහෙ ආවට කමක් නැහැ….හැබැයි ඉතින් දුව ගැන බලාපොරොත්තු තියන් එන එක නම් තේරුමක් නැහැ…ඒක මුළින්ම කියලා ඉන්න ඕන…”
අම්මා වැනි වැනී නොඉඳ මෙසේ එක එල්ලේම කෙළින් කතා කිරීම ගැන නම් මා සිතේ සතුටක් ඇති විය.
“ටික දවසක් හරි සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි…”
මම මටම කියා ගතිමි. ඊටත් සුළු මොහොතකට පසුව චානුකගේ යතුරු පැදිය පණ ගැන්වෙන හඬ මා සවනට ගලා ආයේය.
——————————————————————————————————
අත්තටු සිඳළූ කිරිල්ලියක සේ මම නිවස තුළ ගත කරන ජීවිතයෙන් හෙම්බත් වී සිටියෙමි. යන්නට එන්නට තැනක් නැත. ජීවිතය ගලා ගියේ ඒකාකාරී ලෙසිනි. නිශා අක්කාද සිටින්නේ යම්කිසි වේදනාවකින් මෙනැයි කියා මට සිතුණේ වරක් දෙවරක් නොවේ. අයියා නොමැති නම් ඈ කාමරයට වී හුදකලාව කල්පනා කරමින් සිටිනු මා කීපවරක්ම දුටුවද ඒ මන්දැයි ඇසීමට සිතක් නම් මට පහළ නොවූයේ මන්ද කියා නොදනිමි. නිශා අක්කාගේ අම්මාත් තාත්තාත් බණ්ඩාරවෙල ඥාතී නිවසකට යෑමට තිබෙන බව පවසා ඇගේ නැඟණිය මෙහි නවතා යෑමට හැකිදැයි විමසීමට අම්මා හමුවට පැමිණියෝය. ඈ ඊට අකමැත්තක් පළ නොකළද නැඟණිය එහි යෑමට අකමැති ඇයිදැයි කියා අම්මා ඇසුවාය.
“එයා එහෙ ශීතලට ආස නැහැ…අනික අපි යන්නේ අපේ අසනීප වෙලා ඉන්න කසින් කෙනෙක් බලන්න…මෙයාවත් එක්ක යන්න ඕන නැහැ…”
නිශා අක්කාගේ අම්මා කීවේ සිනහවක් මුව මත නංවාගෙනය. මම ඇගේ නැඟණිය වන අනුරානි දැක තිබුණේ විවාහ උත්සවයදා පමණි. ඈ නිශාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් වූවාය. දඟකාර මෙන්ම ඈ කටකාර චරිතයකි. ඒ නිශාගේ නංගීමද කියා පැවසිය නොහැකි තරමට දෙදෙනා අතර වූයේ අහසට පොළොව තරම් වෙනසකි.
“අනේ නීලකයියා…මාත් මෙහේ ඇවිත් ඉන්නම්කෝ…මෙහේ හරි ෂෝක්…පාළු නැහැ…”
සැටිය මත හිඳ සිටි අයියා අසලම හිඳ ගනිමින් අනුරානි කීවේ අයියාගේ උර මත එල්ලී තොඳොල් හඬකිනි. ඒ දුටු මා මුවට නැගුණු උපහාසය මුසු සිනහව මම සඟවා ගත්තේ ආයාසයෙනි. නිශා නොරුස්සුමෙන් මුහුණ ඇද කරගනු දුටු මා සිතේ ඇති වූයේ සැකයකි. නිශාත්, අනුරානිත් අතර සිත් නොහොඳකමක් ඇති බවත් ඒ අයියා මැදි කොටගෙන ඇතිවූවක් බවත් මට වැටහී ගියේ අනුරානි නිවසේ රැඳී සිටි කාලයේදීය. ඈ අයියා සමඟ හැසිරුණේ නිශාවත් අප ඉදිරියේ ඔහු සමඟ නොහැසිරෙන ලෙසිනි.
“මේ ළමයා දැන් කොහෙද නිදාගන්නේ චූටි දුව…?”
ඈ නිවසට පැමිණිදා අම්මා මගෙන් විමසුවාය.
“අම්මායි මායි සාලෙ නිදාගෙන එයාට කාමරේ දෙමු…”
“නැහැ…නැහැ…එහෙම ඕන නැහැ…ඔයයි එයයි කාමරේ නිදාගන්න…මං රෑට සාලේ නිදාගන්නම්…”
නමුත් එවැන්නක් කිරීමට වුවමනා නොවූයේ අනුරානිද අයියාත් නිශාත් සමඟ ඔවුන්ගේ කාමරයේම නිදා ගනිමියි කියා එහි ගිය නිසාය. මාත් අම්මාත් එකිනෙකාගේ මුහුණින් මුහුණ බලා ගත්තේ පුදුමයෙනුත් පිළිකුලෙනුත් යුතුවය. ඔවුන් අතර තුන් කොන් ප්‍රේම කතාවක් ඇති බව මට නම් මේ වන විටත් වැටහී තිබිණි. එය අද ඊයේ පටන් ගත්තක් නම් නොවන බවත් සහතිකය.
“මුන්ට ලැජ්ජාවක් නැති හැටි…”
අම්මා කීවේ කෝපයෙනි.
“අම්මාගේ චූටි පුතානේ…”
මම කීවේ අම්මා කේන්ති ගැන්වීමටය.
“මාව අවුස්සගන්නේ නැතුව ඉන්නවා චූටි දුව…”
මා සිතූ ලෙසම ඈ කෝපයෙන් පවසන විට මම උස් හඬින් සිනහසුණෙමි.
නිවසේ සිටින කාලයේදී අම්මා අනුරානි හා කතා බහ කළේ නොකැමැත්තෙන් වුවද ඇයට එහි වගක් නොවීය. ඉවුම් පිහුම් වලටද ඈ අම්මාට සහාය වූවා පමණක් නොව නිවසේ සියලු වැඩ පළ කරදුන්නේ ඇගේම නිවස කියා සිතාගෙන මෙනි. නිශා මේ සියල්ල බලාගෙන නිහඬව සිටි අතර අනුරානි හැසිරුණේ අම්මාගේ ලේලිය ඈ මිස නිශා නොවන්නාක් මෙන් සිතා මෙනි.
“නීලකයියා නැතුව මුළු ගේම පාළුයි…නැත්ද මංදාකිණි…?”
අයියා වැඩට ගොස් පැයක් වත් ඉක්ම නොගිය තැනක අනුරානි කීවේ සැබෑම සාංකාවකින් මෙනි. මට නිශාගේ මුහුණ බැලුණේ ඉබේමය. ඇයටද එය ඇසුණාට සැක නැති මුත් නෑසුණා සේ සිටියේ පුවත් පතට හිස යොමාගෙනය. මේ සියල්ල ඈ කෙසේ ඉවසා සිටිනවාදැයි කියා මම සිතුවේ පුදුමයෙනි. තම සහෝදරිය සමඟ සිරි යහන බෙදාගෙන නිදන්නට සිදුවන විටත් ඈ මෙසේ ඉවසා සිටීම පුදුමයක් නොවේද….?
“මට නම් ඇති පාළුවක් නැහැ…එයා නැති තරමට මම නම් කැමතියි…”
උපහාසය මුසුව මම කීවෙමි.
“ඇයි අනේ එහෙම කියන්නේ…? එයා හිටියා නම් හරි ෂෝක්…පාළුත් නැහැ…”
“නෝනටවත් නැති පාළුවක්නේ නෑනාට තියෙන්නේ…”
මම එසේ කියා තරමක් හඬින් සිනහසෙන විට නිශා හුන්ස්නෙන් නැඟිට ඉවත ගියේ කෝපයෙන් හෝ ශෝකයෙන් බව මට වැටහිණි. මමද නැඟිට ඉස්තෝප්පුවට ආවේ අනුරානි එහි තනිකර දමාය. හැර දමා තිබූ ගේට්ටුවෙන් යතුරු පැදියක් විත් ඉස්තෝප්පුව අසලම නවතන විට එහි සිටි පුද්ගලයා හඳුනා ගත් මට මේ මොහොතේ මෙතනින් පැන දිවීමට හැකියාවක් නොමැති වීම ගැන ඇති වූයේ කණගාටුවකි. අනුරානි වහා දිව ආවේ පැමිණියේ අයියා කියා වන්නට ඇතැයි කියා මම සිතුවෙමි.
“අනේ චානුකයියා…ඔයා මේ වෙලේ…? මං හිතුවා නීලකයියා කියලා…”
“නංගී…මං මේ ආවේ නීලකට පොඩි ඇක්සිඩන්ට් එකක්…”
“අනේ අයියේ..මොකද වුණේ…එයාට අමාරුද…හොස්පිට්ල් ගෙනිච්චද…?”
චානුකට කතා කරන්නට ඉඩ නොදී අනුරානී නොනවත්වා ප්‍රශ්න අසන්නට වූයේ බියෙන් කෑ ගසමිනි. ඇගේ හඬින් බියපත් වූ අම්මාත් නිශාත් වහා පිටතට දිව ආහ. අනුරානි චානුකගේ උරේ එල්ලී හඬනු දුටු මා මුවේ ඇඳුණු සිනහව ඔවුන් කිසිවෙකු නොදුටු බව නම් සහතිකය.
“මොකද ළමයෝ මේ බෙරිහන් දෙන්නේ…මොකද වෙලා තියෙන්නේ…?”
“නීලකයියා ඇක්සිඩන්ට් වෙලා ඇන්ටි…”
අනුරානි හඬමින් කීවාය.
“න්…නැහැ ආන්ටි…මෙයා මට විස්තරේ කියන්න දුන්නෙත් නැහැනේ අඬන්න තියා ගත්තා…බයික් එක පෙරළිලා දණහිස තුවාල වෙලා…මං ආවේ සරමක් ඉල්ලන් යන්න…කලිසම පිටින් බෙහෙත් දාන්න අමාරුයිනේ…ඒකයි…”
චානුක වහා කියන්නට වූයේ අම්මා කළබල වනු ඇතැයි සිතාය.
“අපිත් බය වුණා මෙයා මෙතන විළාප තියපු හැටියට…”
අම්මා නොසතුටෙන් කියූ අතර නිශා ගෙතුළට ගියේ සරමක් ගෙන එන්නටය. ඒ අතරේ අනුරානි හඬ, හඬා චානුකගෙන් නොයෙකුත් දේවල් අසනන්ට වූවාය.
“මේ…ඔය ළමයා ඔය අඳෝනාව නවත්තගෙන ගෙට යනවද…මොකුත් විස්තරයක් අහගන්නත් නැහැ…මෙයා අඬන්නේ හරියට…මෙයාගේ මිනිහා මැරිල වගේනේ…”
අම්මා කෑ ගසන විට අනුරානි නිවසට ගියේ මුහුණ හකුළුවාගෙනය. චානුක කී පරිදි එය භයානක අනතුරක් නොවේ. බල්ලෙකු පාර හරහා පැනීම නිසා යතුරු පැදිය පෙරළී ඔහු තුවාල ලබා ඇත. නිශානි ගෙනවිත් දුන් සරමත් රැගෙන චානුක පිටව ගියේ බෙහෙත් දමාගෙන අයියා නිවසට කැඳවාගෙන එන බව කියමිනි.
ඔහු පිටව ගිය පසු නිශා මා පසෙක වූ අසුන මත හිඳ ගන්නා විට මම වුවමනාවෙන් ඈ දෙස බැලීමි. ඇගේ දෑස්වල දිලිසෙන කඳුළු ගුළි මම පැහැදිළිවම දුටුවෙමි.
“මොකෝ අනේ…ඔයාටවත් නැති අමාරුවක්නේ අරයට තියෙන්නේ…”
එය හඬන්නට ළංව සිටි ඇහැට ඇඟිල්ලෙන් ඇන්නාක් බඳු විය. නිශා හඬන්නට වූවාය.
“බැන්දට පස්සෙවත් මේවා ඉවර වෙයි කියලා මං හිතුවේ…”
ඈ ඉන් අදහස් කළ දේ මට එක්වරම වැටහී ගියේය. ඔවුන්ගේ මේ සබඳකම විවාහයට පෙර සිටම තිබී ඇත.
“ඉතින් ඔයා ඒක දැන දැනත් ඇයි එයාව කසාඳ බැන්දේ…?”
ඈ මොහොතක් නිහඬව මා දෙස බලා හිඳ සුසුමක් හෙළා කතා කළාය.
“අපේ නෑ කෙනෙක් මට නීලකව ප්‍රොපෝස් කළේ…එයාව දැකලා මං කැමති වුණා…ගෙදර යන්න එන්න අරන් ටික දවසකට පස්සේ නංගිත් එයා එක්ක කතා බහ කරන්න ගත්තා…ඒක ගැන මං එච්චර හිතුවේ නැහැ…ඒත් වෙඩින් එකට දින දාගත්තාටත් පස්සේ තමා මං දන්නේ නංගිත් එයාට…ආදරේ කරනවා කියලා…”
“නංගී විතරද…?”
මා සිතේ උපන් පිළිකුල් හැඟීම සඟවාගෙන මම ඇසීමි.
“දෙන්නම…”
එය ඇසූ මා සිතේ ඇති වූයේ කෝපයකි.
“ඉතින් එහෙම තියාගෙනත් ඔයා කැමතිවුණා එයාව බඳින්න…ඔයාට තිබුණේ බැහැයි කියන්නනේ…”
“එහෙම කරන්න පුළුවන් කමක් මට තිබුණේ නැහැ…මං නීලක නිසා හැමදේම නැති කරන් හිටියේ එතකොටත්…අනික මං එයාට ආදරේ කළා…”
කාරණය එසේ නම් එසේය. අයියා කියන්නේ මහා සල්ලාලයෙකි. ඔහු මේ සා අපරාධ කරමින් මට දොස් පවරයි. ඔහු දෙදෙනාටම ආදරය කරන්නේ කෙසේද..? එය නම් සැබෑම පිළිකුල් ජනක දෙයකි. එහි ඇත්තේ සැබෑ ආදරයක් නොවේ. එකම යහනක දෙදෙනා මැදි කරගෙන සැතපෙන මිනිසා සැබෑ ආදරවන්තයෙක් වන්නේ කෙසේද…? පිළිකුළෙන් මා ගත හිරි වැටී යන විට මට නිශා කෙරෙහි වුවද අනුකම්පාවක් ඉපදුණේ නැත.