More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 70

    Pini Muthu Palasa පිනි මුතු පලස – 70

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    “චූටි දුව…”

    ළූණු ගෙඩියක පොතු හරිමින් සිටි මම අම්මාගේ හඬින් හිස ඔසවා ඇය දෙස බැලීමි. රත්වූ තෙල් තාච්චියට මාළු කූරියන් කීප දෙනෙකු දමා අම්මා මදෙස බැලුවාය. තෙල් තාච්චියෙන් නැගුණේ “චිරි චිරි “හඬකි. අම්මා වැදගත් යමක් පවසන්නට සැරසෙන බව මට ඉවකින් මෙන් වැටහිණි.

    “මම මේ ඔයාට කියන්නමයි හිටියේ…”

    ඈ එසේ කියා මඳක් නිහඬ වූවාය.

    “මොකක්ද…?”

    “අයියා ඔයාට ප්‍රොපෝසල් එකක් ගෙනත්…අයියාම නෙවේ…එයාගේ යාළුවා තමා අහලා තියෙන්නේ…”

    පළමුව තිගැස්මකුත් දෙවනුව කෝපයකුත් මා සිතේ ඇති විය.

    “මොනවා…! ඒ පාර මේ මිනිහා මොනවද කරන්න හදන්නේ…? අරකි එකෙක්ට බන්දලා දීලා මාව කෑවා මදිවටද අනික් එකා මගේ ඉතුරු ටිකත් කන්න හදන්නේ…?”

    “හරි ළමයෝ…මං නිකමට ඔයාට මේක ගැන කිව්වේ…ඒ ළමයා නිතරම ඔයා ගැන අහනවලු…”

    “නිකමට කිව්වා නෙවේනේ…නිකමට නම් ඕක මට කියන්න ඕන නැහැනේ…හරි දැන් මොන එකාද මං ගැන අහන්නේ…? මම එයාගේ යාළුවෝ කවුද කියලවත් දන්නේ නැහැ…මුන්ට නම් හොඳටම පිස්සු…”

    “අර මෙහේ එන්නේ චානුක…ඒ ළමයා…”

    “අර තට්ටයාද…බඩ තඩියා…අම්මා ඌටද ළමයා කිව්වේ…? හරි ළමයා…දහ පාරක් බැඳපු එකෙක් වගේ…”

    කෝපයක් මෙන්ම පිළිකුළක්ද මා සිතේ ඇති විය.

    “බැඳලා දික්කසාද වෙලා නම් තමා…අවුරුදු තිස් හතක්ලු වයස…”

    “අවුරුදු පහළොවක්ම වැඩිමල්…දැන් තුන්දෙනාම එකතු වෙලා මාව ආයේම මොකෙක්ගේ හරි කරේ එල්ලන්නද හදන්නේ…?”

    කෝපයෙන් මම කෑ ගැසීමි.

    “ඔයා එක්ක මොකුත් කතා කරන්න බැහැනේ චූටි දුව…ටිකක් සන්සුන් වෙලා කන්දෙන්න පුරුදු වෙන්න…”

    “සන්සුන් තමා…ඇඟේ ලේ ටිකත් පුච්චලා සන්සුන් වෙන්නලු…ආයේ ඔය එක මඟුලක් වත් මට කතා කරන්න එන්න එපා…”

    “හරි…හරි…ඕවා වැඩක් නැහැ…ඔන්න ඔය ළූණු ටික සුද්ද කරන්න…”

    අම්මා හොඳින් බැඳුණු මාළු කූරීන් පත්තර පිටුවක් එළූ වට්ටිය මත ඇතිරුවාය.

    “ඔයාම කතාව පටන් අරන්…ඔයාම වැඩක් නැහැ කියනවා…”

    “මම කියන්න හැදුවේ ඒක නෙවේ…”

    අම්මා තවත් මාළු කූරීන් කිහිප දෙනෙකු තාච්චියට දමමින් කීවාය.

    “එහෙනම්…?”

    “අයියා කියනවා ඉඩම එයාගේ නමට ලියන්නලු…”

    ඒ පුවතින් පුදුමයට පත් මම අම්මා දෙස බැලුවේ විදහා ගත් දෑසිනි.

    “එහෙනම් ඒක තමා එයා මාවත් කාගේ හරි ඇඟේ ගහන්න හදන්නේ…බයේ ඇති…මම මේවට අයිතිවාසිකම් කියන්න එයි කියලා…අම්මා මොකද කිව්වේ…?”

    “මොනවා කියන්නද…මුන්ට දැන්ම ඉඩම් ලියලා කවදා හරි මට පාරට බහින්නද…?”

    “මොළේ කල්පනා කරලා වැඩ කරන්න…”

    “මට බය ඔයා ගැන චූටි දුව…”

    මා මුවට නැගුණේ උපහාසය මුසු සිනහවකි.

    “අම්මා පිටරටකට වෙලා අවුරුදු ගානක් හිටියා නේද…ඒ කාලේ මං ගැන බය හිතුණේ නැත්ද…?”

    මට තවමත් වුවමනා අම්මා රිදවීමටදැයි කියා මම නොදනිමි. ළූණු සුද්ද කොට දමා මම නැඟී සිටියෙමි.

    “පොල්ලෙන් ගහන්නා වගේ කතා කරන්න එපා චූටි දුව…ඔයා හොඳින් ඉන්නවා කියලා අක්කා මට නිතර ලියලා එව්වානේ…මම ඒ හැමදේම විශ්වාස කළා…මෙච්චර දෙයක් මම දන්නේ නැහැනේ…අඩුම තරමේ ඔයාට තිබුණා මට ලියලා එවන්න…”

    ඇගේ හඬේ වූයේ දෝෂාරෝපණයකි.

    “මොනවා ලියලා එවන්නද…? අර මිනිහගේ සම්බන්ධේ නවත්තන්න කියලා ලියලා යවලා මං අහගත්තේ…දෙන්නාගෙන්ම…”

    අම්මා ඉන්පසු කිසිත් නොකීවාය. මුළුතැන්ගෙය අතු ගා දමා මම ආලින්දයට විත් රූපවාහිනිය නරඹමින් සිටින් විට අම්මාද එහි පැමිණියාය.

    “මේ ළමයි දෙන්නා තාම නැහැනේ…”

    ඈ මා පසෙක හිඳ ගත්තේ එසේ කියමිනි. නිශාගේ නිවසට ගිය දෙදෙනා තවම නොපැමිණි නිසා අම්මා පසුවන්නේ කනස්සල්ලෙන් මෙනි.

    “චූටි පුතා නැතුව පාළුද…?”

    ඇනුම්පදයක් ලෙස මම ඇසුවෙමි.

    “මට මොකට පාළුවෙන්නද…?”

    “ඔය කිව්වට ඉතින් ඒකනේ මේ චූටි පුතා ආස කෑම ටිකක් හැදුවේ…”

    “එයා ආසා ඒවා එයාගේ නෝනා බලාගනියි…”

    නොසතුටෙන් මෙන් අම්මා කීවාය. ඒ මොහොතේ අයියාත් නිශාත් නිවසට ගොඩ වන විට මම වහා නැඟිට කාමරයට පැමිණියේ අයියා දැකීම මට අප්‍රසන්න වූවක් නිසාවෙනි.

    “මොකද අරයා අපි ආවා විතරයි නැඟිටලා ගියේ…?”

    ඔහු උස් හඬින් අසන හඬ කාමරයට ඇසිණි.

    “මොකද බං මේ ගෙට ගොඩ වුණා විතරයි එල්ලෙන්න හදන්නේ…?”

    අම්මා කෑ ගැසුවාය.

    “දැන් මොකද එයා කියන්නේ…?”

    “මොනවද…?”

    “මං කියපු කාරණාව ගැන…?”

    “උඹටත් පිස්සු හැදිලද චූටි පුතා…දැන්වත් ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දීපන්…පූජිත නැතිවෙලා මාස කීයද…මේ කෙල්ලට හුස්මක් ගන්න හම්බුණාද…ආයේ මඟුල් කතා කරන්න තියා ගත්තා…”

    අම්මාගේ හඬ කෝපයෙනුත් නොසතුටෙනුත් පිරී ඇත.

    “ඌට හොඳට සල්ලි තියනවා…”

    “සල්ලි…සල්ලි…උඹලට සල්ලි වලින් තොර මොකුත්ම නැත්ද…සල්ලි වලට සහෝදර කමුත් විකුණන්නද හදන්නේ…?”

    “ඕකනේ ඉතින්…හොඳක් කරන්න හැදුවත් අහන්න වෙන්නේ නරක…”

    “අනේ…උඹලා එකතු වෙලා කරපු හොඳ මදෑ…මේ ගෙවන්නේ ඒ කරපු හොඳේ පළ විපාක තමා…ඊට වඩා මොන හොඳක්ද…දැන් මේ කෙල්ල විඳවන විඳවිල්ල ඇති…ආයේ ඔය ගැන කතා කරන්න එපා…”

    අම්මා ගැන මට පුදුම සිතිණි. එසේ කියා මට ඈ කෙරෙහි අලුත් අනුකම්පාවක් ඉපදුණා නොවේ. මේ සියල්ලටම හේතුව අම්මා අප අසළ නොසිටි නිසා නොවේදැයි කියා මට නොසිතා බැරි විය. නමුත් දැන් ඒ කිසිත් සිතා පළක් නැත. දෛවය වෙනස් කිරීමට මට නොහැකිය.
    ——————————————————————————————————
    නිවාඩු දිනක් වූ නිසා එදින අයියාද නිවසේ විය. ඔහු දකින්නට ඇති අකමැත්ත නිසාම මම සිටියේ කාමරයටම වීය. පිටතට යෑමට සිතක් මට නොවීය. අම්මාත් නිශා අක්කාත් එකතුව දිවා ආහාර පිසියි. ඔවුන් දෙදෙනා ළඟඳිත් මට සමහර විටෙක දැණුණේ ආගන්තුක හැඟීමකි. අලස ලෙස යහන මත වැතිර සිටි මා අවදි වූයේ අයියාගේ උස් හඬිනි.

    “ඇයි මොකටද මංදාකිණි හමුවෙන්නේ…මොකක්ද වුවමනාව…?”

    කවුරුන් හෝ පැමිණ ඇත්තේ මා හමුවන්නටය. එකත් එකටම ඒ රජිව් යැයි සිතූ මම වහා යහන මතින් බිමට පැන පිටතට දිව ආවෙමි. මම සිතුවා නිවැරදිය.
    මිදුල මැද සිටගෙන සිටියේ රජිව්ය. අයියා ඉස්තෝප්පුවට වී ඔහු සමඟ ආරවුලකට මෙන් බලා හිඳිනු දැක මම රජිව් වෙත යෑමට මිදුලට බැස්සෙමි.

    “රජිව් අයියේ…”

    “උඹ කොහෙද යන්නේ…පලයන් ගෙට…”

    අයියා වහා මා අතින් ඇද මා වළකාලමින් කෑ ගැසීය.

    “මාව අතාරිනවා…තමුසෙට පිස්සු හැදිලද…?”

    මම කෑ ගසන හඬින්දෝ අම්මාත් නිශාත් වහා දිව ආහ.

    “මොකද චූටි පුතා මේ…ඇයි ළමයෝ…”

    “ආන්ටි මම ආවේ මේ බඩු ටික දීලා යන්න…”

    රජිව් කීය.

    “මාව අතාරිනවා…මිනිස්සු ඉස්සරහා මට ලැජ්ජ නොකර…”

    අයියාගේ අත ගසා දමා මම රජිව් වෙත පැමිණියේ අම්මා අයියාට බැන වැදී ගෙතුළට යවන විටය.

    “රජිව් අය්යේ යමු ගෙට…”

    මම සිටියේ නොසතුටෙන් මෙන්ම කෝපයෙන් වුවද ඔහුගේ මුහුණේ වූ දඟකාර සිනහව දැක අර නොසතුට වහා පලා ගියේය.

    “සොරි මංදාකිණි…මං ඇවිත් ඔයාට කරදරයක් වුණා…”

    ඇසක් ඉඟි මරමින් ඔහු කීය.

    “ඔයා ආවා නාවා කියලා මේ කරදරවල වෙනසක් නැහැනේ…”

    ඔහු රැගෙන ආ මගේ ඇඳුම් බෑගයත් අත් බෑගයත් ගනිමින් මම කීවෙමි.

    “ගෙට එන්න ළමයෝ…”

    අම්මාද ඔහුට ඇරයුම් කළාය.

    “අම්මා කියත්දී නෑවිත් කොහොමද…?”

    ඔහු මට පමණක් ඇසෙන්නට කීවේය.

    “මම ආවේ ආන්ටි මේ බෑග් දෙක දීලා යන්න…”

    අම්මාගේ ඇරයුමෙන් ඉස්තෝප්පුවේ වූ අසුනක හිඳ ගනිමින් රජිව් කීය.

    “අහිතක් හිතන්න එපා ළමයෝ…කවුද කින්ද මන්ද කියලා නොදන්නා කමටනේ පුතා කෑ ගහන්න ඇත්තේ…”

    “ආහ්…නැහැ නැහැ ආන්ටි…ඕක මොකක්ද…”

    “මේ ළමයා…?”

    “අම්මේ මේ චිත්‍රා මිස්ගේ පුතා…රජිව් අයියා තමා පහුගිය කාලේ මට උදව් කළේ…යන්න එන්න තැනක් නැතුව ඉන්නකොට මාව මිස් ලඟට එක්ක ගියේ රජිව් අයියා…දැන් බොරුවට බුරන උන් ඒ කාලේ පැත්ත පළාතකවත් හිටියේ නැහැ…”

    කෝපයෙන් මම කියන විට අම්මා නිහඬ වූවාය.

    “මං බොන්න මොනවා හරි හදන් එන්නම්…”

    අම්මා ගෙතුළට ගිය පසු මම රජිව් පසෙක වූ අසුනේ හිඳ ගතිමි.

    “මිස් හොඳින්ද රජිව් අයියේ…?”

    “ම්ම්ම්…පහුගිය ටිකේ ප්‍රෙෂර් ටිකක් වැඩිවෙලා ආයේමත් ගිහින් බෙහෙත් ගෙනාවා…දැන් නම් නෝර්මල්…අම්මා කල්පනා කරනවා වැඩියි…”

    “මිස් කල්පනා කරනවා ඇත්තේ ඔයා ගැනනේ…අර ලොකු අම්මා ගෙනාව ප්‍රොපෝස්ල් එකට මොකද වුණේ…?”

    ඔහු මවෙත හෙළුවේ රළු බැල්මකි.

    “උන් එකතු වෙලා මාව ගොනාට අන්දන්න හැදුවේ…”

    “ඇයි…?”

    “ඒ කෙල්ලට සයිකෝ…මාව බන්දලා දීලා ලොකු ගේමක් ගහන්න තමා ප්ලෑන් කරලා තියෙන්නේ…”

    “දෙවියනේ…! ඉතින්…ඔයා කොහොමද ඕවා දැන ගත්තේ…?”

    “ප්‍රොපොසල් එකට කැමතියි වගේ පෙන්නලා අපි ගියා බලන්න…කෙල්ල දැකපු ගමන් මං දැන ගත්තා…ඒ ළමයා ලොකු අම්මලාගේ ගෙවල් ළඟ…මෙයාලගේ ඉඩමක් තියනවා ලොකු අම්මලගේ ඉඩමට එහා පැත්තේ…ඒකට කුරුමාණම් අල්ලලා තමා මේ කපුකම් කරන්න හදලා තියෙන්නේ…මං එනකොට කියලා ආවේ ආයේ මේ පැත්ත පළාතේ ආවොත් වාහනේටත් ගිනි තියලා දානවා ඔක්කොම ඇතුළට දාලා…කියලා…”

    සියල්ලෝම ආත්මාර්ථකාමී මිනිසුන්ය. තම වාසියට ඕනෑම අයෙකු බිල්ලට දෙන්නට සූදානමින් සිටින මෙවැනි මිනිසුන් තව කොතෙක් නම් ඇත්ද…?
    අයියාත්, නිශාත් කොහේ හෝ යෑමට සූදානමින් එළියට ආවෝය. ඔහු යතුරු පැදියට නැඟ ගත්තේ මට රවමිනි. මම එය නොදුටුවා සේ නිශාට අත වැනුවෙමි.

    “අයියා මා එක්ක ඉන්නේ ෆුල් ඔරොප්පුවෙන්…”

    “එයා කා එක්කද ඔරොප්පු නැත්තේ…”

    අම්මා බීම වීදූරුවක් සාදාගෙන විත් රජිව්ට පිළිගැන්වූවාය.

    “පුතාගේ අම්ම සනීපෙන්ද…?”

    “ආයේමත් අසනීප වෙලා බෙහෙත් ගෙනාවා ආන්ටි…අම්මා මංදාකිණිව බලන්න ඕන කියනවා…මංදාකිණිනේ අම්මාව බලා ගත්තේ…”

    ඔහු කියන විට මම බිමට හිස නැඹුරු කොට ගත්තේ මුවේ සිනහව සඟවාගෙනය.

    “ඒ වුණාට හැමෝම හිතුවේ මම වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා කියලානේ…”

    අම්මාටත් වදින්නට මම ඇනුම්පදයක් එල්ල කළෙමි.

    “චූටි දුව…”

    “ඇත්තනේ කිව්වේ…අම්මා වුණත් හිතාගෙන හිටියේ එහෙම නෙවේද…?”

    එවිට ඈ මට රවමින් නිහඬ වූවාය.

    “ගිය දේවල් ගියා මංදාකිණි..ඕවා අමතක කරලා දාන්න…”

    ඔහුට අවනතව මා නිහඬ වූයෙමි. ඔහු පැමිණියේ පරණ දේවල් හාරා අවුස්සන්නට නොවේ. රජිව් නැඟී සිටියේ පිටව යෑමටය.

    “අහිතක් හිතන්න එපා පුතේ…පුතා මේ පැත්තේ නෑවිත් හිටියා නම් තමා හොඳ…මගේ කෙල්ල දැන් මනුස්සයා මැරුණු ගෑණියෙක්…කතාවක් හැදුණොත් ඒකත් මගේ එකීටමනේ නරක නාමෙ…”

    අම්මා කී දෙයින් මා සිත අලුත් වේදනාවකින් ඇවිළී ගියේය. ඈ කියන්නේ සත්‍යයකි. රජිව් මා දෙස බැලුවේ කුමන හැඟීමක් සිතේ දරාගෙනද කියා වැටහුමක් මට නොවූ මුත්, මුවින් පවසනු නොහැකි වූ බොහෝමයක් ඒ දෑස් තුළ ලියැවී ඇතැයි කියා මට සිතිණි. අම්මා කී දේ පිළිගෙන දෝ ඔහු නිහඬවම සමුගෙන යන්නට ගියේය. අහිමි වුවත් මා තවමත් ඔහුට ආදරය කරන බව මම දනිමි. හිමි නොවන බව දැන දැනත් බැඳීම් තරකරගෙන නිතර හමු වී දෙපසකට වී හිඳ අප දුක් විඳින්නේ මන්දැයි කියා මමද සිතුවෙමි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page