NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 63

Pini Muthu Palasa පිනි මුතු පලස – 63

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

ඔහු හැඳ සිටි කොට කලිසමෙන් වැගිරෙන දිය බිඳු වලින් කාමරයේ ගෙබිම තෙත් විය. මා සිටියේ තැති ගත් සිතිනි. ඔහුගේ තොල් වල පහස ගෙළ පාමුළින් ඇරඹී මගේ පිට පුරා යන විට මා ගත වෙව්ළන්නට විය. මා නැවත නිවසට කැඳවගෙන පැමිණි පසුව පූජිත මුල් කාලයේ තරම් මගේ පහස සොයා මා හිරිහැරයට පත් නොකළේය. ඔහුගෙන් පෙර ලද අමිහිරි වූ අත්දැකීම් නිසා මම සිටියේ බියෙනි.

“සීතලටද වෙවුළන්නේ…?”

මා තමා වෙත හරවා ගත් පුජිත විමසුවේ කෙඳිරිලි හඬකිනි. සිහින් වට වැවුණු රැවුළ් කොට නිසා මම කිති කැවී ගියෙමි. මා වෙවුළන්නේ බියට මිස සීතලට නොවන බව කීමට මා මුවට වචන නොආවේය. මට වුවමනා වූයේ ඔහුගෙන් මිදී පැන දුවන්නට මුත් මට කළ හැකි කිසිත් නොවූ සෙයකි. මා බියෙන් තැති ගෙන සිටින මොහොතේ අම්මා පූජිත අමතන හඬ ඇසී ඔහු මා මුදා හැරියේ අකමැත්තෙන් මෙනි. සැනසුම් සුසුමක් පිට කළ මම ලිහෙන්නට ගිය චීත්තය තදින් අල්ලාගෙන ඉක්මනින් ගවුලක් ගත දවටා ගත්තේ පූජිත ඇඳුම් වැටේ වූ සරමක් ගෙන හැඳගෙන තෙත කලිසම එලෙසම දමා පිටතට යන විටය. ඔහු යළි කාමරයට ඒමට පෙර මම බිම දමා තිබූ කලිසමත් මා හැඳ සිටි චීත්තයත් රැගෙන ඉක්මනින් කාමරයෙන් එළියට ආවෙමි.

අම්මා නැවත වරක් මා සොයා පැමිණියේ අයියාගේ විවාහය ලියාපංචියට දින කීපයකට පෙරය. අක්කා නැතිව ඈ තනිවම පැමිණීම ගැන යම් සහනයක් අස්වැසිල්ලක් මා සිතට දැනුණේ ඇයව දැකීමත් මා සිතේ කෝපය අවුස්සන්නක් වූ බැවිනි.

“චූටි දුව එනවා නේද…?”

අම්මා ඇසුවේ තරමක බයාදු ලෙසිනි. ඈ කෙරෙහි මා සිතේ කිසිදු අනුකම්පාවක් තෙත් බවක් නූපදින්නේ මන්ද කියා කිසිවෙකුට සිතෙන්නට පුළුවන. ඈ පිළිබඳව මා සිතේ කිසිදු හැඟීමක් නැත. ඈ අප ගැන සිතුවා නම් මේ සා දේවල් මගේ ජීවිතය තුළ සිදුනොවන්නට ඉඩ තිබුණා යැයි කියා මම නිතර සිතුවෙමි.

“කොහොම කිව්වත් මට නම් ඔය මඟුල් වලට එන්න හිතක් නැහැ…”

මම මගේ මතයේ දැඩිව එල්බගෙන සිටින විටත් ඈ පූජිතට කීවේ මා කැඳවාගෙන එන ලෙසය.

“මංදාකිණි අකමැති නම් මට එයාව බලෙන් එක්ක එන්න බැහැනේ අම්මා…අම්මාට ඕන නම් ඉතින් අද එයාව එක්ක යන්න එතකොට හරිනේ…මං එදාට එන්නම්…”

ඔහු මා දෙසත් බලා ඇසක් ඉඟි මරමින් කියන විට මම ඔහුට රැව්වෙමි.

“ඔක්කොටම පිස්සුනේ බලන්‍ යනකොට…”

කෝපයෙන් මම කීවෙමි.

“ඉතින් ඒ ඔයාගේ සහෝදරයානේ…”

“එයාලා මට කවදාවත් එහෙම සළකලා නැහැ…”

“හරි ඉතින්…මම කියන නිසාවත් ඔයා අම්මා එක්ක යන්න…මං එදාට එන්නම්…”

පිළිතුරක් නොදුන් මම නෙරවා ගත් බැල්මකින් වෙනතක බලා සිටියේ ළය හරහා බැඳ ගත් දෑතිනි. නිවසට ගියද මට ඉන්නට වෙන්නේ තනිවමය. උත්සවය දින වුවද මට තනිකමක් දැනෙනු ඇත. තරුෂි කැඳවා ගත හැකි නම් කියා මට සිතුණේ හදිසියේමය.

“හරි…මං එන්නම්…හැබැයි තරුෂිටත් ඉන්විටේෂන් එකක් දෙන්න ඕන…”

සුළු මොහොතකට පසුව මම කියන විට අම්මාගේ මුවේ ඇඳුණේ මඳ සිනහවකි.

“මම යන්නේ ඔයා කියන නිසා…”

සූදානම්ව මම පිටතට එන මොහොතේ පූජිතට කීවෙමි.

“හරි හරි…යන්නකෝ…මං එන්නම්…”

එන ගමන්ම තරුෂි කැඳවාගෙන යෑමට ඇගේ නිවසට ගියද ඈ නිවසේ නොවූවාය. අම්මාට පණිවිඩය දී අපි නැවත එන විට රජිව්ගේ නිවස ඉදිරියෙන් යන විට මට එහි යෑමට ආසාවක් උපන්නද මම ඉවසා සිටියෙමි. ගස් වැල් වලින් වට වී තිබූ නිසා නිවස හෝ එහි වැසියෙකු දක්නට නොලැබුණ නිසාදෝ මසිත අමුතු දුකකින් පිරී ගියේය.
——————————————————————————————————
නිවස මට නුහුරුය. අප එන විට අයියා නිවසේ නොසිටි එකම හොඳය. මට ඔහු දැකීමට කිසිදු කැමැත්තක් නැත. අක්කා මා පැමිණි බව සැළව නිවසට දිව ආවේ දහවල කඩය වසා දමාය. මම ඇයත් සමඟ කතා බහ නොකළෙමි. ඇයව දැකීමත් මා සිතේ කෝපය වඩවන්නකි.

“බලන්නකෝ අම්මා…මෙයා තාමත් හැසිරෙන්නේ හරියට අපි මෙයාගේ හතුරෝ වගේනේ…”

ඈ අම්මාට ආඩපාලි කියන්නට වූවාය.

“වගේ…! මොනවද වගේ කියන්නේ…? වගේ නෙවේ…හතුරෝ තමා…තමුසේ මට කරපු අපරාදෙට මම කවදාවත් තමුසෙට සමාව දෙයි කියලා නම් හිතන්න එපා…මෙයාට කියන්න මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා…නැත්නම් මං දැන්ම මෙහෙන් යනවා…”

මම අම්මාට කෑ ගැසීමි.

“කිව්වත් වගේ පැත්තකට වෙලා ඉන්නවා ලොකු දුව…”

අම්මා ඇයට කෑ ගසන විට අක්කා පිටව ගියේ අම්මාටත් මොන මොනවදෝ පවසමිනි. සවස අයියා නිවසට පැමිණෙන විට මම ඔහුට මුහුණ නොදී කාමරයට වැදුණෙමි.

“අරයගේ මහත්තයා එන්නේ නැත්ද…?”

ඔහු අම්මාගෙන් විමසනු මට ඇසිණි.

“එයා එයි…මං චූටි දුවව එක්ක ආවා…”

අම්මා එයට පිළිතුරු ලෙස කියනු ඇසී මා මුවට නැගුණේ උපහාසය මුසු සිනහවකි.

තරුෂි මා හමුවට පැමිණියේ පසු දිනයේය. මම ඇයව පිළිගත්තේ සතුටිනි.

“අනේ ඔයා ආව එක හොඳයි…නැත්නම් මට එපා වෙයි…”

ඇයත් සමඟ කාමරයේ යහන මත හිඳගෙන කතා බහ කරන අතරේ මම කීවෙමි.

“කේක් ඕඩර් එකක් දෙන්න ගිහින් හිටියේ…”

“හ්ම්ම්…අම්මා කිව්වා…”

“පූජිත එනවද…?”

තරුෂි අසන විට මම හිස සැළීමි.

“එයා කොහොමද දැන්…?”

“මටත් හිතා ගන්න බැරි තරම් එයා වෙනස් වෙලා තරූ…පහුගිය දේවල් ගැන එයා දැන් හුඟක් පසුතැවෙනවා…”

“හොඳින් ඉන්නවා නම් එච්චරයි මංදි…”

ඈ මගේ අතක් තරයේ අල්ලා ගනිමින් කීවාය. නොදැනුවත්වම වුවත් මා මුවින් සුසුමක් ගිළිහිණි.

“දැන් ඉතින් හූල්ලන්න එපා මෝඩියේ…හැමදේම වෙන්නේ හොඳටයි කියලා කියනවානේ…”

අපි ආගිය තොරතුරු කතා බස් කළෙමු. රජිව් පිළිබඳව තොරතුරක් අසා දැන ගැනීමට කෙතරම් වුවමනා වුවද ඒ කිසිත් ඇසීමට චකිතයක් මුසු හැඟීමක් ඇති වූයේ තරුෂි මට දොස් පවරනු ඇතැයි සිතාය. ඇයද සිතා මතාමදෝ ඔහු පිළිබඳව වචනයක් හෝ කතා නොකළාය.

“මිස්ට දැන් හොඳටම හොඳයි මංදි…එයා දැන් ආයේම ඉස්කෝලේ යනවා…ළඟදීම රිටයර් වෙයි…”

ඈ කීවේ එපමණකි. වෙනත් කිසිත් ඇසීමට මටද මුවට වචන නොආවේය.

පසුදින මා හැඩ ගැන්වූයේ තරුෂිය. අම්මා ගෙනවිත් තිබූ ලා කහ පැහැති සල්වාරියකින් මම සැරසුණෙමි. එදින උදෑසනත් පසුගිය දින වල මෙන්ම මම අයියා මඟහැර සිටියෙමි. නිවසේ රැඳී සිටි දින කීපය පුරාම මම ඔහු මඟහැර සිටියා සේම මෙදිනත් මම එසේ කළෙමි. අම්මා කීවේ ඔහුට කතා කරන්නට වුවද මම එසේ නොකළෙමි. මා විවාහ කර දෙන දවසේ පැත්තටවත් නොපැමිණි ඔහුට මා සුබ පතන්නේ මන්ද…? අම්මා මට වැළමිටෙන් ඇන කළ ඉඟිය පවා මම නොතේරුණා සේ සිටියෙමි. පූජිතත්, අම්මාත් එදින උදෑසනම නිවසට පැමිණෙනු ඇතැයි කියා සිතුවද අපි උත්සව ශාලාවට පැමිණෙන තුරුම ඔවුන් පැමිණියේ නැත.

“කෝ අනේ මේ පූජිතලා…තවම නැහැනේ…”

අම්මා කීප වතාවක්ම සිහි කළාය.

“එයි ඉතින්…තව වෙලා තියනවනේ…”

ඕනාවට එපාවට මම පිළිතුරු දුන්නේ අම්මා මඟින් මඟට විමසීම පිළිබඳව නොසතුටෙනි.

“නැන්දම්මාට බෑණා පොඩ්ඩව හොඳට අල්ලලා ගිහින් වගේ…”

තරුෂි මා සවනට ළංව රහසින් කොඳුරන විට මා මුවට සිනහ නැඟිණි. මුවින් නොකීවද මාද පෙරමඟ බලා සිටියේ පූජිත පැමිණේවි යැයි බලාපොරොත්තුවෙනි.

“ඇත්තට අනේ…කෝ එයාලා…තාම නැහැනේ…”

තරුෂිද විමසුවේ මේ වන විටත් ආරාධනා කළ අමුත්තන් සියළු දෙනම වාගේ පැමිණ සිටි නිසාය.

“උඹටත් අම්මාගේ ලෙඩේ බෝ වුණාද ඒ පාර…?”

සිනහවක් මුව මත නංවාගෙන මම අසන විට තරුෂි මුව ඇද කළාය. අක්කා ශාලාව පුරා එහේ මෙහේ ඇවිදිමින් දන්නා හඳුනන අය සමඟ සිනහවෙමින් කතා බහ කරනු මම දුටිමි. සියල්ල බොරු මවා පෑම් යැයි කියා මට සිතුණේ ඇයව දකින විටය. මියුරු සංගීත රාවයක් ශාලාව පුරා පැතිර යන්නට විය. ගායන කණ්ඩායමක් ගීත ගයන්නට සුදානම් වන සැටියකි. අයියා සංගීත කණ්ඩායමක්ද කැඳවා ඇති බවක් මම දැන නොසිටියෙමි. පූජිත එනු ඇතැයි බලාපොරොත්තුවෙන් ප්‍රධාන දොරටුව වෙත දෑස් දල්වා බලා සිටි මා සවන් මත එම ගැඹුරු ගීත හඬ සවන් වැකෙන විට සිත සී සී කඩව විසිර ගියේය.

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ…
නිදන නෙත් යුග සනසනා….

දෙවියනේ…! ඒ හඬ ඔහුගේමය. ඒ අන් කිසිවෙකු නොව රජිව්ය. මම තරුෂිගේ අත තරයේ අල්ලාගෙන ඈ දෙස බැලුවේ කැලඹුණු දෑසිනි.

“තරූ…රජිව් අයියා…”

මම ඇයට රහසින් කියන විට ඈ අවට සිසාරා දෙනෙත් කැරකූයේ ඔහු සොයන්නටය.

“කෝ…කොහෙද…? පිස්සුද බං…එයා කොහෙද මෙහේ එන්නේ…දවල් හීන බලන්නැතුව ඉඳින්…”

ඈ මට තරවටු කළාය.

“අනේ මෝඩි…ඒ සිංදුව කියන්නේ එයා…”

“මොකක්…සිං කරන්නේ රජිව් අයියද…? පිස්සුද…වෙන්න බැහැ…”

ඇයට එය විශ්වාස නැති සැටියකි. නමුත් මම ඒ හඬ හොඳින් හඳුනමි. ඒ ඔහුමය. මට ඔහු දැකීමට වුවමනා විය.

“අපි යමුකෝ එයාලා ඉන්න තැනට…”

මම කියන විට තරුෂි මා දෙස බැලුවේ විදහා ගත් දෑසිනි. වාදන කණ්ඩායම සිටියේ ශාලාවේ ඈත කෙළවරකය. මල් සැරසිලි වලින් වටවී සිටි නිසා අප හිඳ සිටි තැනට ඔවුන් නොපෙනෙන මුත් ඒ හඬ මම හොඳින් හඳුනමි.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you