Pini Muthu Palasa පිනි මුතු පලස
දින කිහිපයක් පුරාම සැඳෑ කාලයේ වැසි අද හැලිණි. උදෑසන හොඳින් හිරු පායා තිබුණද සවස දෙක තුන පමණ වන විට වැසි ඇද වැටෙන්නට වූයේ දෛනිකව සේවයට වාර්ථා කරන්නාක් මෙනි.
“රෙදි ටික වේලගන්න හරි උදේට පායන එකත් හොඳට ගියා…”
සේදූ රෙදි ටික ගෙට ගෙන එන විට අම්මා කීවේ මට ඇසෙන්නටය.
“දැදුරු ඔය හොඳටම පිරිලා…පාලම් කට ගාවට එනකල් වතුර…”
පෙරදින කුරුණෑගල ගොස් එන විට දුටු නිසාදෝ පූජිත කීවේය.
“උඩහටත් හොඳටම වහිනවා ඇති…”
අම්මා යළිත් කීවාය. වියළුණු රෙදි තෝරා බේරා, නවා, තවමත් නොවියළුණු රෙදි ටික මම ආලින්දයේ වූ ප්ලාස්ටික් පුටුවක ඇතිරුවෙමි.
“හෙටත් වැස්සොත් පොළේ සෙනඟත් නැති වෙයි…”
අම්මා යළිත් කීවේ අලස ලෙස සැටියේ ගිළී, දෙපා දිගුකර ස්ටූලය මත තබා ගනිමිනි. හෙටත් සවස වැසි ඇද වැටුණහොත් මට පොළට යාමට නොලැබෙනු ඇතැයි බියක් මා සිතේ ඇති විය. හෙට දිනයේවත් වැසි නොවැටේවායි කියා මම සිතින් දෙවියන් යැද්දෙමි.
“සෙනඟ කෙසේ වෙතත් හවස් වෙනකොට වෙළෙන්දදො ටික නම් යන්න යයි…”
පූජිත කියන විට මම තිගැස්සී ගියේ එසේ වුවහොත් මට උදෑසන පොළට යන්නැයි ඔහු කියනු ඇතැයි බියෙනි. කෙසේ වුවද පසු දින උදෑසනත් හොඳින් හිරු පායා තුබුණේ පෙර දින සවස වැස්සක් ඇද වැටුණු බවට සළකුණක් පවා නොමැතිවය. මල්ලිකා නැන්දා එදින පොළට නොයන බව කීවෙන් මම සූදානම්ව තනිවම පැමිණියේ පූජිතත් දිවා ආහාරයෙන් පසුව සුව නින්දකට වැටී සිටීම ගැන සතුටෙනි. පූජිතගේ එක් හොඳක් වූයේ පොළට යාමට දෙන මුදල් වලින් කිසි දිනක ඔහු ඉතුරු සල්ලි නොඇසීමය. ඒ නිසා මම මැටි වෙළඳාගෙන් මිළදී ගත් කැටයක එම මුදල් තැන්පත් කිරීමට පුරුදු වූයෙමි. දුෂ්ඨ ගති නොවූවා නම් පූජිත තුළ සැඟවුණ යහපත් ගතිගුණද විය. ඔහු නිවස අහළ පහළ සිටින දුප්පත් පවුල් වල දරුවන්ට පාසලට වුවමනා පොත් පත් ගැනීමට උපකාර කරන බව මම දැන සිටියෙමි. නිරෝෂාගේ තාත්තාද ජීවතුන් අතර නොසිටි නිසා ඔහු ඇයටද ඉගෙන ගැනීමට මෙන්ම මල්ලිකා නැන්දාටද උපකාර කරන බව මා හා කීවේ මල්ලිකා නැන්දාය.
“මේ කොල්ලව මැරයෙක් කළේ ඔය රාජකරුණා තමා…ඉගෙන ගත්තා නම් මේකා අද මීට වඩා හොඳ තැනක ඉන්නත් ඉඩ තිබුණා ළමයෝ…”
ඈ දිනක් මා හා කීවාය. සිතුවිලි සමඟ වල්මත්ව මම බොහෝ දුරක් ඇවිද විත් තිබිණි. රජිව් පැමිණේවිදැයි සැකයක් මා සිතේ වූයේ අහස මඳ අඳුරු ස්වභාවයක් ගෙන තිබූ බැවිනි.
සිතට දැනෙන මේ ළැතැවුල්….
ඉවසන්නම් ඔබේ නමින්…
ජීවිතයේ කෙදිනක හෝ…
සැනසෙන්නට පතා ඔබෙන්…
ලොතරැයි කූඩුවකින් නැඟුණ ටී.එම්. ජයරත්න මහතාගේ එම ගී පද වැල් මා සවන් පත් මත වැකී හද අමුතු වූ ශෝකයකින් අවුළුවා දැමුවේය. මේ මොහොතේ එම ගීය වාදනය වූයේ මා නමින්මද කියා මට සිතිණි. නොලැබෙන බව දැන දැනත් මා පතන්නේ ඔහුගේ සෙනෙහස නොවේද..? කෙදිනක හෝ අප එක්වනු ඇතැයි සිතා මසිත රවටා ගෙන ජිවත් වී පලක් නැත. එය හුදෙක් සිහිනයක් පමණකි. මා අද රජිව් හමුවන අවසන් දිනයයි. මා යළිත් ඔහු හමුවන්නේ නැත. අප දෙදෙන දිගින් දිගටම මෙසේ හමුවීමෙන් සිදුවන යහපතක් නැත. මෙසේ හොර රහසේ හමු වී බියෙන්, සැකෙන් ජීවත් වනවාට වඩා හමු නොවී සිටීම හොඳය. නිතර නිතර හමුවී කතාබහ කිරීමෙන් වුවද සිදුවන්නේ තව තව අපි හදවත් වලින් බැඳීමය. තුවාල වූ මා හද මෙන්ම තනිවී ශෝකයෙන් සිටින ඔහුද එකිනෙකාගෙන් පතන්නේ සහනයක් වුවද එහි ප්‍රථිඵලය කුමක් විය හැකිද..? පූජිතගෙන් වුවද මට කිසි දිනක ගැළවීමක් නොලැබෙන බව මම ඉඳුරාම දනිමි. මුළු ජීවිත කාලයම මට ඔහුගේ කාමාතුර ජීවිතයේ වහලියක ලෙස ජීවත් වීමට සිදුවනු ඇත. ඒ මගේ දෛවය හෝ ලැබීම විය හැක. තවමත් මට ඔහු මගේ කියා හෝ මගේ සැමියා ලෙස හෝ සිතන්නට නොහැකිය. ඔහු මුළින් දුටු දා පටන් අද වන තුරුම ඔහු මට ආගන්තුකයෙකු පමණි. මා ඔහුට බිරිඳක නොව සිය කය සනසා ගැනීමට ළඟ තබා ගෙන සිටින යන්ත්‍රයක් පමණි. පොළේ අද වෙළඳුන් අඩුය. වැස්ස නිසා ඔවුන් පැමිණීමට නොසිතුවා විය යුතුය. මිලදී ගැනීමට තරම් හොඳ එළවළු ද නොවූ තරම්ය. පුරුද්දට මෙන් එළවළු කීපයක් මිලදී ගෙන මම වහා වහා වළං කඩය අසලට ආවේ රජිව් පැමිණ ඇතැයි කියන බලාපොරොත්තුවෙන් නොවූ මුත් ඔහු මා එන තුරු එහි බලා සිටියේ පෙරදා මෙන් සුපුරුදු අවර්ණ ඇඳුමින් නොව නිල් පැහැති ඩෙනිම් කලිසමකිනුත් කළු පැහැති ටී ෂර්ටයකිනුත් සැරසීගෙනය. ඔහු දකින විට මසිත අමුතු රිද්මයකින් ගැහෙන්නට විය. මා සිතාගෙන පැමිණි කිසිවක් ඔහු ඉදිරියේ පවසන්නට හැකිවේදෝ සැකයක් මා සිතේ ඇති විය.
“මං හිතුවා අද නෑවිත් ඇති කියලා…මේ ටිකේම වැස්සනේ…”
ඔහුගේ කඩවසම් බව දෙස ලෝභ සිතකින් බලමින් මම කීවෙමි.
“එයි කියලා…බලාපොරොත්තුවක් තිබුණා නේ…? නැත්නම් ඔයා අද මෙතන්ට එන්නේ නැහැනේ…”
ඔහු එසේ කියා මා දෙසම බල සිටියේ මා ඊට පිළිතුරත් දෙන තුරු මෙනි.
“ඔයා කිව්වනේ…අද එනවා කියලා…ඒ නිසා මං හිතුවා එයි කියලා…අද මොකද ඇඳුම මාරු කරලා…?”
“ඔව්…අද වෙඩින් එකක් තිබ්බා…සිංග් කරන්න ගියා…හිත හදා ගන්න තියෙන්නේ ඒක විතරයි…”
ඔහුගේ හඬේ වූ ශෝකය මට මනාව වැටහිණි. තාත්තා නැති වූ වේදනාවත් අම්මාගේ අසනීපයත් නිසා ඔහු දැඩි මානසික පීඩනයකින් පසුවෙනවා ඇති බවට සැකයක් නැත..
“මටත් දුකයි රජිව් අයියේ…මේ සිද්ද වුණ දේවල් ගැන…ඒත් ඔයා ඔහොම හිතේ හයියෙන් දරාගෙන ඉන්න එක ගැන නම් සතුටුයි…දැන් ඔයා තමා මේ හැමදේම බලා ගන්න ඕන…ඒ නිසා දුක් වෙන්න එපා…”
හඬන්නට බැරි නිසාදෝ ඔහු සිනහවක් පෑවේය.
“අද යාළුවා නැත්ද ඔයාගේ…?”
ඔහු හදිසියේ සිහි වූවාක් මෙන් ඇසුවේය.
“නැහැ…අද ආවේ නැහැ…එයා ඔයාව මතක් කළා…”
“පව් කෙල්ල…නේද…?”
“අනේ ඔව්…එයා නිසා මටත් පාළු නැහැ…නිරෝෂලාත් නැත්නම් මට පිස්සු හැදිලා…”
මා මුවින් එය පිට වූයේ නිතැනිනි. රජිව් මා දෙස බලා සිටියේ අනුකම්පා මුසුව යැයි කියා මට සිතිණි. මම අහස දෙස බැලුවේ එක් වරම එය අඳුරු වළාවකින් වැසී ගිය නිසාය. මගේ ජීවිතයත් මෙවැනිම අඳුරකින් වැසී ඇතැයි කියා සිතන විට වැහි බර අහසක් මෙන් මසිතද බර විය. ජීවිතය යළිත් හදන්නට බැරි ලෙසම කඩතොළු වී ඇත. අලුත් වූ දුකකින් මසිත පිරී ගියේ සිතේ ගිණි අවුළුවාළමිනි. දුක නැති කරගැනීමට සිතන විට පවා සිදුවන්නේ දුක වැඩි වීමය.
“ඒ පාර මොනවද අහස දිහා බලන් කල්පනා කරන්නේ…?”
ඔහුගේ හඬින් මම ඔහු වෙත හැරුණේ සුසුමක් හෙළමිනි.
“කල්පනා කරන්න දේවල්ද නැත්තේ රජිව් අයියේ…?”
“හිතන්න ගියාම වෙන්නේ දුක වැඩි වෙන එක විතරයි…”
ඔහු මුවින් පිට වූයේ මා සිතූ දෙයම නිසා මම පුදුම වූයෙමි.
“මට තියන එකම සැනසීමත් කල්පනා කරන එක විතරයි…”
“ඔව්…වෙලාවකට නම් මටත් ඕකම හිතෙනවා…තනිවුණ කෙනෙක් කල්පනා නොකර වෙන මොනවද කරන්නේ කියලා…”
කරත්තෙයෙන් ඇදගත් පිදුරු ගසක් දත් අතරේ තබා ගනිමින් ඔහු කීවේය.
“ඕක විසි කරන්න අනේ…කට කසන්න ගනියි…”
මම පවසන විට ඔහු වහා පිදුරු ගස ඉවතට විසි කරමින් මාවෙත හැරුණේ සිනහ පිරුණු වතිනි.
“මං ගැනත් හිතනවා එහෙනම්…”
එම කතාවට මසිත හිරිවැටී ගියේය.
“මම හැමදාමත් හිතුවේ ඔයා ගැන විතරයි රජිව් අයියේ…”
මුවින් එවදන් පිට කර ගන්නට නොහැකිව මම සිතින් ළතැවුණෙමි.
“දැන් හිතුවත් ඇති වැඩක් නැහැ රජිව් අයියේ…”
ඇසෙන නෑසෙන හඬින් මම කීවෙමි.
“එහෙම කියන්න එපා මංදාකිණි…මං තාමත් ඔයාට ආදරෙයි…ඒ නිසා නෙවේද මං මෙහෙම ඔයාව හොයන් එන්නේ…?”
“ඒක මං දන්නවා රජිව් අයියේ…ඒත් දැන් මං බැඳපු ගැහැණියක්…මේ ආදරේ නිසා අපි දෙන්නටම ලැබෙන දෙයක් නැහැ…”
“ඒ බොරු…මං වගේම ඔයත් සැනසීමක් ලබන්නේ…අපිට අහිමි වුණ මේ ආදරේ නිසා නෙවේද…? අපි දෙන්නම දෙවිදියකට ජීවිතේ අසරණ වුණු දෙන්නෙක්…මෙහෙම හරි ඔයාව හමුවෙලා කතා බහ කරන එක තමා මට නම් තියන එකම සැනසීම…”
යළිත් වරක් මසිත ඔහු කෙරෙහි වූ අනුකම්පාවෙන් බර විය.
“මටත් තියන එකම සැනසීම ඒක තමා රජිව් අයියේ…ඒත්…”
“ඇයි ඒත් කිව්වේ…?”
“ඔයා නිතර මෙහෙ ඇවිත් රස්තියාදු වෙන්න එපා…”
මා එසේ කීවේ සිතකින් නොවේ. ඔහුගේ මුහුණ අඳුරුව ගිය සැටි දුටු මා සිතට දැනුණේ දැඩි වේදනාවකි. ඔහු මා නිසා හෝ යම් සහනයක් ලබනවා නම් මා එය නැති කරන්නේ කෙසේද?
“ඔයා කියන්නේ මට එන්න එපා කියලද…?”
වේදනාවක් ඒ හඬේ මුසුව තිබෙන්නට ඇත.
“මිස්ව තනියම දාලා මෙහෙම එන එක හොඳ නැහැනේ….”
ඔහුගේ සිත නොරිදෙන සේ මම එසේ කීවෙමි.
“ඒක් ප්‍රශ්නයක් නැහැ…ප්‍රේමා නැන්දා ඉන්නවානේ…මේ අපේ ගෙදර පෝන් නම්බර් එක…ඔයාට පුළුවන් වෙලාවක මට කෝල් කරන්න…”
ඔහු කොළ කැබැල්ලක ලියූ දුරකථන අංකයක් මවෙත පත් කළේය. මම එය පසුම්බියේ දමා ගතිමි. මම ඔහුට කෙසේ ඇමතුම් දෙන්නද කියාත් මට ඒ මොහොතේ සිහි වුවද මම කිසිත් නොකීවෙමි. ඒ මොහොතේ අපේ කතා බහට බාධා කරමින් සිහින් පොදයක් වැටෙන්නට විය.
“අපි යමු නේද…හයියෙන් වහියි වගේ…මට ලබන සතියේ නම් එන්න බැරි වෙයි…අම්මව එක්කන් වෙද මහත්තයා ගාවට යන්න ඕන…පුළුවන් නම් මට කෝල් එකක් ගන්න…මං බලන් ඉන්නවා…”
සමුගන්නට සූදානම් වන විට ඔහු කීවේය. පොද වැස්ස මහ වැස්සක් බවට පරිවර්ථනය වන විට අපි දෙදෙනම දිව විත් අසල වූ සිල්ලර බඩු වෙළඳ සලට ගොඩ වූයේමු. බඩු මිලදී ගන්නට මෙන්ම හදිසියේ ඇති වූ වැස්සෙන් බේරීමටත් පැමිණි අයගෙන් එය පිරී ගොසිනි. පූජිතගේ දුර ඥාතියෙකු වූ එහි හිමිකරු මාවද දැන් හොඳින් හඳුනයි. අපිද නිවසට වුවමනා සිල්ලර බඩු මිලදී ගත්තේ ඔහුගෙනි. මට තරමක් නුදුරින් සිටි රජිව් කලිසම් සාක්කුවෙන් ලේන්සුවක් ගෙන හිස පිස දමනු මම යාන්තමට දුටිමි. අතේ ගුලිව තිබූ ලේන්සුව ගෙන මමද මුහුණ පිස ගතිමි.
“නංගී…වැස්සට අහු වුණාද…කුඩයක් ගෙනාවේ නැත්ද…?”
හදිසියේ ඇසුණු එම හඬින් මම හැරී බැලිමි. ඒ පූජිතගේ නිවස ඉදිරිපස නිවසේ සිටින දීපිකා අක්කාය. බඩු මිලදී ගෙන පැමිණි ඈ මා අසලම සිට ගත්තේ ඇද හැලෙන මහ වැස්ස දෙස බලමිනි.
“අනේ දීපිකා අක්කේ…මං දැක්කෙ නැහැ… කුඩේ ගෙනාවා…ඒත් මේ වැස්සේ නම් කුඩයක් අරන්වත් යනවා බොරු…”
“ඒක නම් ඇත්ත…වැස්ස නම් දැන්ම නවතින පාටක් නැහැ…”
ඇයද මා කීදේ අනුමත කරමින් කීවාය.
“මේ ටිකේම මේ වගේම වහිනවානේ…”
පිළිතුරු ලෙස මම කීවෙමි.
“ඔව් අනේ…අද වෙළෙන්දොත් අඩුයි… වැස්ස නිසා…”
ඈ යළිත් කියන විට මමද එයට හිස සැලුවෙමි. දීපිකා අක්කා මෙසේ මා සමඟ සුහදව කතා බහ කළද ඈ පූජිතගේ අම්මා සමඟ සිටියේ නම් සිත් නොහොඳිනි. ඇගේ වැඩිමහල් දියණිය පන්ති ඇරී අවසන්ව බස් නැවතුමට වී තරුණයෙකු සමඟ කතා බහ කරමින් සිටිනු දැක අම්මා එය ගම පුරා ප්‍රචාරය කර තිබුණේ ඈ බස් නැවතුමේ අනාචාරයේ හැසිරුණාක් මෙනි. මේ නිසා ඔවුන් ඇයත් සමඟ සිටියේ බද්ධ වෛරයකිනි.
“අද පූජිත ගෙදරද…?”
ඈ මා විමසුවාය.
“ඔව් අක්කේ…ඉන්නවා…”
“මහ ගෑණි ඇති ළමාතැනී වගේ පුටුව රත් කර කර…කරන වැඩකුත් නැහැනේ…ඕපදූප හොයන එක ඇරුණාම…”
මා මුවට නැගුණේ සාවඥ සිනහවකි. ඒ ගැන නම් කුමකට කතා කරනවාද! අපි සුළු මොහොතක් එසේ කතා බහක නිරත වූයෙමු. නෙත් කොණින් හෝ රජිව් දෙස නොබලන්නට මම ප්‍රවේශම් වූයෙමි. දීපිකා අක්කාට හෝ වෙනත් අයෙකුට අප දෙදෙනා පිළිබඳව යම් තරමකට හෝ සැකයක් ඇති වුවහොත් එය පූජිතගේ සවනට යාම නම් නොවළකනු නොහැකිය. මා සමඟ සුහද වුවද අම්මා සමඟ ඇති නෝක්කාඩුව නිසා ඈ රජිව් පිළිබඳව කිසිවෙකු සමඟ පැවසුවහොත් සිදුවන දෙය ගැන මට සිතා ගන්නටවත් නොහැකිය. මා ගත හිරි වැටී ගියේ බිය නිසා මිස වැස්සේ සීතල නිසා නම් නොවේ. අහසේ වැසි අඳුරත් සැඳෑ අඳුරත් එකට කැලතී පරිසරය තව තවත් අන්ධකාරයක ගිළී යන්නට සූදානම් වන මොහොතේ දීපිකා අක්කාද සමඟම මම මඟට බැස්සේ වැස්ස පායන තුරු නැවතී සිටියා නම් අද නිවසට යන්නට නොහැකි වන බව වැටහීමෙනි. නැවත වරක් හැරී රජිව් දෙස බැලීමට උපන් හැඟීම මම ආයාසයෙන් වුවද මැඩ ගත්තේ බිය නිසාය. ඊළඟ සතියේ නොව පසුව එළඹෙණ සතියේ ඔහු නැවත පැමිණෙනු ඇත. මා ඔහු හමුවිය යුතුද නොයුතුද කියා දෙගිඩියාවෙන් මම පෙළෙන්නට වූයෙමි. මම නිවසට පැමිණියේ සාංකූල වූ හැඟීමකිනි. ඒ රජිව්ගෙන් දුරස් විය යුතු යැයි මා සිතේ ඇති වූ හැඟුම නිසා වන්නට ඇත.