NovelsMandaramen EhaMandaramen Eha - 35 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 35 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – සමන්තී සහ තාරුකා රෝහල් වාට්ටුව තුළ රැඳී සිටියෝය. සමන්තී සිය මව ඇඳ වියලට හේත්තු කොට, ඇයට සුප් බඳුනක් පොවමින් සිටියාය. තාරුකා උන්නේ සිය මවගේ රෙදි කිහිපයක් බෑගයකට දමමිනි.

“අක්කේ… ඔන්න මං අම්මගෙ හෝදන රෙදි ටික බෑක්කෙකට දැම්මා…හවස අයියා ආවම එයා අත එවන්ඩ…මං රෑට හෝදලා දාන්නම්…”

“මං ඔය ටික කරගන්නම් නංගී..ඔයා දැන් යන්ඩ…”
“ආහ්..අහන්නත් බැරිවුණා …කවී තියලා ආවේ කා එක්කද අක්කේ…”

“අයියා එද්දි නැන්දම්මා හිටියේ අපේ ගෙදර..මං හැදුවෙ කවී පොඩ්ඩක් එහේ තියලා එන්ඩ…”

සමන්තී එසේ කියද්දී ලොකු බණ්ඩාරමැණිකේගේ දෑස් විසල් වන්නට වූවාය. ඇය සමන්තී අත ඇති සුප් බඳුන තමා වෙතින් ඉවත්කරන්නට වුවාය.

“අනේ…තව ටිකක් බොන්ඩකො අම්මේ..හැඳි දෙක තුනනෙ බීවේ..ඊයේ රෑ ඉඳං ඇඟට හරි හමං කෑමක් වැටුණෙත් නෑනේ…”

සමන්තී පෙරැත්ත කරද්දී, උඟුරෙන් ගොර හඬක් නංවමින් ලොකුබණ්ඩාර මැණිකේ එය ප්‍රතික්ෂේප කරන්නට වූවාය.

“එතකොට කවී දැන් නැන්දම්මා ගාවද…”

“මොන..අයිය නැන්දම්මට කවීව ගෙනියන්න දුන්නෙම නෑනේ..අපි දෙන්නවම බයික්කෙකේ දාගෙන ඇවිත් මාව ඇරලවලා කොල්ලා එක්ක ආපහු ගියානෙ..නැන්දම්මා මොනා හිතුවද දන්නෑ නංගී….”

මෙතෙක් වේලා මළානිකව තිබූ ලොකුබණ්ඩාර මැණිකේගේ මුහුණ එය ඇසීමත් සමඟ ආලෝකමත් වනු තාරුකා නිරීක්ෂණය කළාය.

“අනේ මන්දා අක්කේ…අපේ අයියා ශාරිකයියල එක්ක මොන වෛරයක් පිරිමහනවද කියලා..මං යනවා …පරක්කු වෙනව අනේ….”

තාරුකා සිය අත් බෑගය ගෙන වාට්ටුවෙන් පිටවීමට ගොස් නැවත හැරී සමන්තී වෙත පැමිණ සිය අත්බෑගය තුළ තිබූ ජංගම දුරකතනය එළියට ගෙන සමන්තීට දිගු කළාය.

“තව ටිකෙන් මේක අමතක වෙනවා…ඕක අයියගෙ ෆෝන් එක ආවම එයාට දෙන්ඩ…”

සමන්තී කුහුලෙන් ජංගම දුරකතනය දෙස බලාසිටිද්දී තාරුකා වාට්ටුවෙන් පිටවූවාය.

රෝහල් පරිශ්‍රයේ මාරගහ අසළ ලක්මාල්ගේ යතුරුපැදිය නතර කර තිබිණි. ඊටම හේත්තු වී ඔහු සිය ජංගම දුරකතනය අංකනය කරමින් සිටියේය. කිහිපවාරයක් එසේ උත්සාහ කරමින් සිටියදී තාරුකා ඔහු අසළට විත් සිට ගත්තාය.

“මං මේ ඔයාට කෝල් කර,කර හිටියේ වාට්ටුව මොකක්ද කියලා අහගන්ඩ…”

“ඒ ෆෝන් එක මගේ නෙවේ ලක්මාල් අයියෙ..අපේ අයියගෙ…මං ඒක අක්කට දීලා ආව අයිය ආවම දෙන්ඩ කියලා..”

“සමන්තී…”

“ඔව්… දැන් අම්ම ගාව ඉන්නෙ අක්කා…”

“මං පොඩ්ඩක් ගිහිං අම්මව බලලා එන්ඩද…”

ලක්මාල් කීයේ ප්‍රබෝධමත් හඬකින් ඒ සඳහා සූදානම් වෙමිනි.

“මෙහෙම කීවට තරහවෙන්ඩෙපා අයියේ… අපි ඉන්නේ ප්‍රශ්න ගොඩක..ඒ නිසා තවත් ප්‍රශ්න දරාගන්න අමාරුයි අපිට…අපේ අයියා මේ දැන් වුණත් මෙතෙන්ට එන්ඩ පුළුවන්..”

ලක්මාල්ගේ මුහුණ අඳුරු වනු තාරුකා බලා සිටියේ ශෝකයෙනි.

“ඔයා දැන් ගෙදරද යන්නේ..”

“නෑ ඔෆිස් එකට..”

“එහෙනම් යං..” ලක්මාල් එසේ කියාගෙනම යතුරුපැදියට ගොඩවී හිඳ ගත්තේය.

“මං ඔය ටික පයින් එන්නම්..අයියා යන්ඩ….”

“මාව ඒ තරම් පල්ලෙහාට දාලා කතාකරන්ඩෙපා නංගී…මට නංගිලා නෑ….ඒත් ඔයාගෙ අයියට වගේම මටත් ඔයා නංගි කියලයි මං හිතන්නේ….”

ලක්මාල් යතුරුපැදිය පණ ගන්වා තාරුකා දෙස බලා උන්නේය. අපහසුවට පත් තාරුකා ගොස් එහි හිඳ ගත්තාය. ඔවුන් දෙදෙනා රැගත් යතුරුපැදිය රෝහල් ගේට්ටුව පසු කරද්දීම රෝහල් පරිශ්‍රයට ඇතුල් වූයේ ශාරිකගේ තැපැල් නයින්ටියයි. ඔහු එය නවතා ලක්මාල් හා තාරුකා යන දෙස බලා හුන්නේය.

මාධවී ගල්නෑව කෘෂි අලෙවිහලෙහි කැෂියර් කූඩුවට වී මුහුණේ වත්සුණු තවරමින් සිටියාය. සුදු මහත්තයාගේ යතුරුපැදිය කෘෂි අලෙවිහලට ඇතුල් වූයේ ඒ මොහොතෙහිය. මාධවී වහා කැෂියර් කූඩුවෙන් එළියට පැමිණ ඔහු එන පෙරමඟට ගොස් ශාරිකගේ මේසය අසළ සිටගත්තාය.

“කෝ……” සුදු මහත්තයා ශාරිකගේ හිස් මේසය හිසෙන් දක්වමින් ඇසූයේ මාධවීගෙනි.

“හදිස්සියකට කියලා එළියට ගියා බොස්ස්ස්…”

මාධවී කීයේ වචන තාලයට ඇද තොඳොල් වෙමිනි.

“මොකක්ද හදිසිය..යන්නෙ කොහෙද කියලා ඇහැව්වෙ නෑ…”

“නෑ…නේ බොස්ස්ස්….”

“ඕකනෙ කියන්නෙ ඉතිං..තමුසෙල මායම් දාන්නෙත් මේ අපිට විතරයි..දාලා අල්ලගන්න ඕනෙ එකාට මොකුත් නෑ…”

සුදු මහත්තයා එසේ කීයේ මාධවීගේ ඉන පෙදෙස ඇඟිලි තුඩුවලින් මිරිකමිනි.

“ඌයීඊඊ….රිදුණ අනේ…මෝඩයා….”

මාධවී,සුදු මහත්තයාගේ උරයට පහරක් ගසමින් එසේ කියද්දී, කඩය ඉදිරිපිට නතර කළ කාලිංගගේ යතුරුපැදිය සුදුමහත්තයාගේ ඇස ගැටිණි.

“මූ කොහෙද මෙහේ..”

සුදු මහත්තයාට එසේ කියවෙද්දී මාධවීද කාලිංගව දුටුවාය. ඔහු සමඟ සමන්තීගේ කුඩා පුතු කවිරුද යතුරුපැදියේ ඉදිරිපස වාඩිවී සිටියේය.

“මේ මනුස්සයා අදත් ඇවිත්..”

මාධවීට කාලිංග දුටු සැනෙන් එසේ කියවිණි. සුදු මහත්තයා මාධවී දෙස බැලූයේ ප්‍රශ්නාර්ථයකිනි.

“තමුසෙ මිනිහව දන්නවදෝඕඊ..”

“ඔව්ව්ව් බොස්ස්ස්…ඔය මිනිහ දවස් ගානක් මගේ පස්සෙන් ආවා…”

සුදු මහත්තයාගේ මුවට කපටි සිනහවක් නැඟ ආයේය.

“එහෙනං මිනිහව ආශ්‍රය කරලා බලන්ඩම වටිනවා…එනවකො ගිහිං බලමු..”

සුදු මහත්තයා මාධවීද කැටුව කාලිංග වෙතට ඇවිද ගියේය. කාලිංග සිනහමුසුව ඔවුන් දෙදෙනා එන දෙස බලා උන්නේය.

“තමුසෙ මොකෝ මෙහේ…”

“පොඩි පයින්ඩයක් කියලා යන්ඩ ආවා මහත්තයෝ…”

“කාගෙන්ද පප්පගෙන්ද…”

“නෑ මේ අපේ ඇවැස්ස මස්සිනාගෙන්…”

“ඇවැස්ස මස්සිනා කීවේ..”

“මෙහේ ලියන මහත්තය නෙව අපෙ මහත්තයෝ…”

මාධවී සහ සුදු මහත්තයා එකිනෙකාගේ මුහුණු දෙස බලන්නට වූහ. ඔවුන් දෙදෙනාගේම දෑස් යොමුව තිබුණේ යතුරුපැදියේ හිඳ උන් කවිරූ වෙතටය. කාලිංග එය හොඳින් නිරීක්ෂණය කරමින් සිටියේය.

“මේ මගේ නංගිගෙ දරුවා…නංගි අපේ අම්මා ළඟ ඉස්පිරිතාලෙ…මස්සිනා ගියෙත් අම්මව බලන්ඩ තමා…හදිසියෙ යන්ඩ වුණාය ඉක්මන්ට එනවය කියන පයින්ඩෙ කඩේට දෙන්ඩය කීවා…ගිහිං එන්නං…”

මාධවීගේ කට ඇදවී ගියාය. සුදු මහත්තයා උන්නේ දෙගිඩියාවෙනි. සිය යතුරුපැදිය පණගන්වා ගත් කාලිංග මාධවී සමීපයට පැමිණ නතර කර,

“නැද්දට ටටා කියපං කොල්ලෝ…”

කියා කවිරුට කීයේය. කවිරූ මාධවීට අත වනනවාත් සමඟ කාලිංග වේගයෙන් එතැනින් පිටව ගියේය.

උදෑසන සිට හීන්බණ්ඩාර මැණිකේගේ හිස රිදෙන්නට පටන් ගෙන තිබුණාය. කාලිංගව හමුවූ මොහොතෙහි ඔහු තමන්ව නොසළකා හැර කතා කිරීම ඇගේ හිත දැඩි ලෙස පාරවා තිබිණි. සිය පුතු නැන්දම්මා අසනීප වී රෝහල් ගත කළ බව දන්නේදැයි තාම ඇයට නිශ්චිත නැත. ජිල්බූට එම පණිවිඩය ලබාදීමට හැකිවූයේදැයි දැනගැනීමට ඇයට උවමනා වීද, සමන්තීගේ නිවසේදී ජිල්බූ තමන්ව මඟහැර ගිය බව හීන්බණ්ඩාර මැණිකේ හැඳින්නාය. ශාරිකගේ යතුරුපැදිය ගෙමිදුලේ නතර වූයේ මේ මොහොතේදීය.

“ලොකූ….”

හඬ නගාගෙන හීන්බණ්ඩාර මැණිකේ ශාරික පෙරමඟට ගියේ සියලු ප්‍රශ්න නිරාකරණය වූවාය යන සතුටෙනි.

“අක්කා සනීපෙන්ද මයෙ පුතේ…”

“හෙට ටිකට් කපයි අම්මේ…”

ශාරික ගෙට ගොඩ වූයේය. නිරාකරණය කරගැනීමට තිබූ බොහෝ ප්‍රශ්න වලට මෙතරම් කෙටි පිළිතුරක් අපේක්ෂා නොකළ හෙයින්දෝ හීන්බණ්ඩාර මැණිකේ එම පිළිතුරෙන් සෑහීමකට පත් වූයේ නැත.

“අර ජිල්බු ළමයා අත මං ඔයැයිට පයින්ඩයක් ඇරියා අක්කා අසනීප වුණාය කියලා….”

සිය පුතු පසුපස යමින් හීන්බණ්ඩාර මැණිකේ හිතෙහි තෙරපෙන හැඟීම් හෙළි කළාය.

“එතකොට ජිල්බුවද ගල්නෑවේ කඩේට කෝල් කරලා ඒක මට කීවේ….”

ශාරික එසේ සිතුවා මිස මවගෙන් එම පැනය ඇසූයේ නැත. තාරුකාගේ මව අසනීපව රෝහල්ගත කළ බවට දුරකතන පණිවිඩයක් ගල්නෑව කෘෂි අළෙවිහලට ලැබුණු බව සැබෑය. එහෙත් එය නිර්නාමික ඇමතුමක් බව සිය මවට කියන්නට ශාරික පැකිළුණේය.

“මට ටිකක් මහන්සියි අම්මා….” අවසන ඔහුට සිය මවට කියාගත හැකිවූයේ එපමණකි.

“හිතන්නෙපා මයෙ පුතේ…නැන්දම්මට ඉක්මන්ට හොඳ වෙයි..ඔයා ටිකක් විවේක ගන්ඩ…”

සිය පුතු ඇත්තේ මානසික පීඩනයෙන් සහ තෙහෙට්ටුවෙන් යැයි අනුමාන කළ හීන්බණ්ඩාර මැණිකේ ඔහුගෙන් මිදී මිදුලට බැස්සාය. කාලිංගගේ යතුරුපැදිය ගේට්ටුව අසළ නතර වූයේ ඒ මොහොතෙහිමය.

“නැන්දම්මේ…මස්සිනාට අද වැඩට එන්ඩ වෙන්නෑ කියන පයින්ඩෙ ගල්නෑවෙ කඩේට දුන්න කියන්ඩෝඕඕ…”

ගේට්ටුව අසළ සිට කෑගසා කියූ කාලිංග, කවිරූ සමඟ සිය යතුරුපැදියෙන් ඉගිළ ගියේය.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you