Hima Mal Renu හිම මල් රේණු
ඒ ගැඹුරු හඬ ඇසෙන විට මා සිත තුළ බියක් මෙන්ම තිගැස්මක්ද ඇති විය.
“ආරණ්‍යා…”
කිසිවෙකු මා සමීපයටම පැමිණ මා උරමත අතක් තබා යළි මා අමතන විට මම කැළඹී ගියෙමි.
“ක…වු…ද ඔ…යා…?” බිඳුණු හඬින් මම ඇසීමි.
“ආරාණ්‍යා මේ ටිරෝන්…ඇවිත් ඉන්නේ…” ඒ නදීරාගේ හඬය.
“ආහ්…” මා මුවින් පිට විය
“ලංකාවට ආව ගමන් මේ මම ආවේ…”
ඔහු පවසන්නට විය. අපි හිඳගෙන කතා බස් කළෙමු.
“වෙච්ව හැමදේම මං දැන ගත්තා…මට මීට කළින් එන්න බැරි වුණා…සොරි…”
පසුතැවිළි හඬකින් ඔහු කීය.
“කරන්න දෙයක් නැහැ ටිරෝන්…මොනවා කරන්නද…?”
එසේ කීවේ නදීරාය. මමද එය අනුමත කළෙමි. ඔහු බොහෝ දේවල් නදීරාත් තෙෂාරාත් සමඟ පවසමිනුත් ඔවුන්ගෙන් බොහෝ දේවල් විමසමිනුත් සිටින විට මම කළේ ඒ සියල්ල අසා සිටීමය. වැදගත් යමක් ඔහුගෙන් දැන ගන්නට ලැබෙනු ඇතැයි කියා සිතුවද ඔහුද නදීරා දන්න දෙයක් හැරුණු කොට අන් කිසිත් දැන සිටියේ නැත. ටිරෝන් පැමිණියේ ඕස්ට්‍රේලියා සිට නම් ඔහුට අවීශ් නැමැත්තාද මුණ ගැසෙන්නට ඇතැයි කියා මම සිතුවද මම ඒ පිළිබඳව ඔහු නොවිමසුවේ එය මා හට එතරම් වැදගත් දෙයක් නොවූ බව සිතාය. පසුව ඔවුන් තිදෙනම මගෙන් සමුගෙන ගිය අතර එදිනම සවස රෝවන් නැවත වරක් නිවසට පැමිණියේය. ඒ මොහොතේ මාත් නැන්දාත් සිටියේ මිදුලේ සිමෙන්ති බංකුව මත හිඳ ගෙන කතා බහකය. එය කතා බහක් වූවාට වඩා ඔහේ බලා සිටීමක් වැනි විය. රෝවන් පැමිණ ඇති බව නැන්දා කියන විට මා සිත තුළ ඇති වූයේ බිය මුසු හැඟීමකි.
“දැන් කොහොමද ආන්ටි ආරණ්‍යාට…?”
ඔහු අප සමීපයටම විත් විමසන හඬ මට ඇසිණි.
“තාම වෙනසක් නැහැ…”
නැන්දා දුන් පිළිතුරෙහි වූයේ නොසැළකිලිමත් බවකි.
“හ්ම්…ඕක එන්නේම නැති වෙයිද දන්නැහැ…”
“මොකක්ද ළමයෝ ඒ කතාව…?”
“න්…නැහැ…ඉතින්…මං කිව්වේ දැන් මාස ගාණක් ගියානේ…ගෙවල් වල අයත් මගෙන් අහනවා මැරි කරන්නේ නැත්ද කියා කියා…”
“ඇයි ඉතින් ඔයා මැරි නොකරන්නේ…? කවුරුත් එපා කිව්වද…”
“අනේ ආන්ටි…අංකල් මට ආරාණ්‍යාව කතා කරලා තියෙද්දී…මං කොහොමද මැරි කරන්නේ…?”
ඒ ඇසූ මා සිතේ ඇති වූයේ භීතියකි.
“මේ රෝවන්…අංකල් ඔයා එක්ක මොනවා කතා කළත් අපිට වැඩක් නැහැ… දුව ඔයාට කැමති නැහැ කියලා ඔයා හොඳටම දන්නවානේ…”
“මං මෙච්චර කාලයක් ආරණ්‍යා ගැන බලාපොරොත්තු තියාගෙනයි හිටියේ… අනික ආන්ටි හිතනවද වෙන කවුරුත් ආරාණ්‍යාව මැරි කරයි කියලා…”
එය සවන් වැකීමෙන් මා සිත තුළ ඇති වූයේ තැති ගැන්මකි.
“මොකක්ද ඒ කතාවේ තේරුම…?”
නැන්දා ගේ හඬේ කෝපයෙන් පිරී තිබිණි.
“ආරණ්‍යා ඇක්සිඩන්ට් වුණේ කොහොමද…මහා රෑ කා එක්කද මෙයා එළියට ගියේ…අන්න ඒවා ප්‍රශ්න නෙවේද…?”
“රෝවන්…” නැන්දා කෝපයෙන් කෑ ගසන විට මමද බිය වූයෙමි.
“දුව…කොහෙද ගියේ…කා එක්කද ගියේ…කියන එක අපි බලා ගන්නම්…ඔයා ඒවාට මැදිහත් වෙන්න ඕන නැහැ… තේරුණාද…? දැන් ඔයා මෙතනින් ගියොත් හොඳයි…නැත්නම් මගේ කේන්තිය තව වැඩි වෙන්න පුළුවන්…”
බර අඩි තබමින් ඔහු පිටව යන හඬ මා සවනට ගළා ආයේය. ඔහු පිටව ගියද මා සිතට සතුටක් දැනුනේ නැත. ඔහු කළ චෝදනාව කෙතරම් බියකරුද.?
“නැන්දා…” නැන්දාගේ අත තරයේ අල්ලාගෙන මම ඇය ඇමතුවෙමි.
“එයා ඇයි මට එහෙම දෙයක් කිව්වේ…මම ගිහින් තියෙන්නේ වැරදි ගමනක්ද…?”
ශෝකයත් වේදනාවත් මුසුව මම ඇසීමි.
“විකාර…ඔයා කවදාවත් වැරදි ගමනක් යන කෙනෙක් නෙවේ කියලා මං දන්නවා…රෝවන් වගේ කෙනෙක්ව කිසිම කෙල්ලෙක්ට ගැළපෙන්නේ නැහැ…ඔයා ඒ ගැන හිතන්න එපා..කොච්චර කැතද ඒ කියපු කතාව…ඔයාගේ තාත්තාගේ වැරදි තමා මේවා…අහක යන නයි හැමදාම ගෙට දාගත්ත එකනේ එයා කළේ…”
නැන්දා මට ඒ පිළිබඳව සිතන්නට එපා යැයි කීවද ඔහුගේ කතාව මා සිතේ බලවත් රිදුමක් ඇති කොට තිබිණි. ඔහු පවසන පරිදි මා එදින සිටියේ තනිව නොවේද….? ඒ පිළිබඳව කිසිවෙකු කතා නොකරන්නේ මන්ද..? එය මා කෙරෙන් සඟවන්නට උත්සාහ දරන්නේ කුමන හේතුවක් නිසාද….?
**** **** **** **** ***** ***** ***** ********* **** **** **** ***** *******
අන්ධ අයෙකුට කාලය පිළිබඳව වැටහීමක් නැත. උදය, දහවල, රාත්‍රිය සියල්ල එක වාගේය. අඳුරුය. අඳුර හැරුණු කොට කිසිවක් නැත. මා තවමත් මගේ අතීතය මෙන්ම අමතක වූ මගේ මතකය යළි යළිත් මතක් කර ගැනීමට වෙහෙස දරමින් සිටියෙමි. විටෙක එය මට මහත් හිසරදයක් මෙන්ම මානසික පීඩාවක්ද ඇති කළේය. එකිනෙකා පවසන කතා බහට සවන් යොමාගෙන මම යම් යම් දේවල් එකට අමුණා ගැනීමට ගත් උත්සාහයද නිරර්ථක විය. නැන්දා කීවේ දැන් එය සිදුව වසරකුත් ඉක්ම ගිය බවය. වසරක් යනු බොහෝ දිගු කාලයකි. ඈ බොහෝ විට අතීතයේ සිදුවීම් මා හා පවසමින් මට ඒ සියල්ල මතක් කර ගැනීමට සහාය වන්නට දැරූ තැත නිශ්ඵල වූයේ කිසිවක්ම මට සිහි කර ගැනීමට නොහැකි වූ හෙයිනි. මගේ මිතුරු මිතුරියන් නිතර මා බැලීමට පැමිණි අතර ඔවුන් කිසිවෙකු “අවීශ් “යන නම නම සඳහන් නොකළ අතර නැන්දා වුවද ඒ නම පවසන බවක් හෝ ඔවුන් කිසිවෙකුගෙන් ඔහු පිළිබඳව විස්තරයක් වුවද අසනු මා සවන් නොවැකිණි. එය මහා අමුත්තක් සේ මට දැනුණේ ඔහු අප සැමගේ මිතුරෙකුව සිටි බව ඔවුන්ම පැවසූ නිසාය. සමහරවිට ඔහු එතරම් ළඟින් ඇසුරු නොකරා වන්නට ඇතැයි කියා මම අනෙක් අතට සිතුවෙමි. එදින ඉරු දිනක් බව නැන්දා මා හා කීවාය. තාත්තාද එදින නිවසේ සිටියේය. දිවා ආහාරයෙන් අනතුරුව නැන්දා මා උඩු මහළේ මගේ කාමරයට කැඳවාගෙන පැමිණියේ මට මඳක් විවේක ගන්නැයි පවසමිනි. විවේක ගැනීමට තරම් වෙහෙසක් මට නැතැයි මම ඇයට කීවෙමි.
“පණ්ඩිත ආච්චි…හාන්සි වෙලා ඉන්න…මට පොඩි වැඩ ටිකක් තියනවා….මං ඒ ටික ඉවර කරලා එන්නම්…අපි තව ටිකෙන් මිදුලට යමු….තාම අව්වයි…”
නැන්දා එසේ කියා පිටව ගිය පසු මා සිතට දැනුණේ දැඩි පාළුවක් මෙන්ම සාංකාකූල බවකි. මම යහන මත වැතිර සිටියේ අලසවය. නිදා ගැනීමට හෝ නිදිමත බවක්ද මට නොදැනිණි. කවදා වන තුරු මම මෙලෙස ජීවත් වන්නද…? එය අන් අයටත් කරදරයක් වදයක් නොවන්නේද…? නැන්දා මා වෙනුවෙන් කරන කැප කිරීම මා අගය කළ යුතුය. ඇයටද නිදහසක් කියා එකක් නැතැයි මා සිතුවේ ඈ කෙරෙහි ඇති කරගත් අනුකම්පා මුසු හැඟීමෙනි. දහවල වූ නිසාදෝ කාමරය තුළ වූයේ උණුසුමකි. මම යහන මතින් නැඟී සිටියේ පහළට යන අදහසිනි. මෙතෙක් දිනක් මා තනිව පහළට බැස ගොස් තිබුණේම නැත. නැන්දා මා අතින් අල්ලාගෙන ඉහළ පහළ කැඳවාගෙන පැමිණියාය. අත පත ගාමින් මම දොර සොයාගෙන පිටතට පැමිණීමට සමත් වන විට සියුම් සතුටක් මා සිතට දැනිණි. කෙසේ හෝ මා තනිව තරප්පු පෙළ බැස පහළට යා යුතුය. මම පියවරෙන් පියවර පරිස්සමට තබමින් තරප්පු පෙළ අසළටම පැමිණියෙමි. එහි අත් වැට මා අතට අසු වන විට පෙර සතුට වර්ධනය විය. දැන් මා තනිව පහළට බැසිය යුතුය. තාත්තාත් පුංචි අම්මාත් කුමක් හෝ දෙයකට වාද කරමින් සිටින හඬ මේ මොහොතේ මා සවනට ගළා ආයේය.
“මං මේ ගෙදර පිට ගෑනියෙක් කියලා හිතාගෙනනේ මේ මිනිස්සු මට සළකන්නේ…මං ඒකයි මාවන් කියන්නේ අපි වෙන ගෙයක් ගමු කියලා…”
“මේ…මනෝරි…තමුන්ගේ මොළේ නරක් වෙලාද…පිස්සුවෙන්ද කියවන්නේ…?”
“ඔව්…මට පිස්සු…පිස්සු නිසානේ මම මෙතන මේ වැටීගෙන ඉන්නේ…මට එදත් කළේ වෙනස්කම්…අදත් එහෙමයි…මාත් මනුස්සයෙක්…හැම අතින්ම මම දැන් අසරණ වෙලා…තනිවෙලා…”
“දැන් එතකොට වෙන ගෙයක් ගත්තාම තමුසෙට සනුහරේ පහළ වෙනවද…තනිකම් දෝසේ නැති වෙනවද…එහෙම නැත්නම් වෙන පවුලක් වෙන්න හිතාගෙනද ඉන්නේ…?”
“මොනවද මාවන් ඔයා මේ කියන්නේ…? බලන් ගියාම ඔයාටනේ පිස්සු…මං කියන්නේ මොනවා වුණත් මේ ගේ අයිති ඔයාගේ ලොකු දෝණිටනේ…එයා මැරි කරපු දාකට අපිට මේ ගෙදර ඉන්න බැහැනේ…”
“මේ…මනෝරි..දැන් ඒ ළමයා ඉන්නේ මැරි කරන්න පුළුවන් තත්වෙකද…? ඒවා පස්සේ බලමු…”
“දැන්ම තැනක් බැලුවා නම් හරිනේ…ගෙවල් ඉඩම් කියන්නේ අද ගණන් නෙවේනේ හෙට…”
“මං දැන් ඉන්නේ ගෙවල් දොරවල් ගැන හිතන්න පුළුවන් මානසික මට්ටමකද මනෝරි…සේරටම කළින් මට මේ කෙල්ලව සනීප කරගන්න ඕන…”
“ඔයා ඉතින් හැමදාම හිතුවේ එයා ගැන විතරනේ…ඒකනේ ගෙදර කවුරුත් නැති වෙනකල් ඉඳලා මහා රෑ ගියේ…මොන මඟුලේද ගියේ කියන්න කවුද දන්නේ…?”
“මනෝරි…”
“මං බොරුද කියන්නේ…අරූ එක්ක කොහේ හරි ගියා…අර චන්ද්‍රාත් එයාට උල්පන්දම් දීලා යවන්න ඇති…ඒකනේ කොච්චර ඇහුවත් කිව්වේ නැත්තේ…අවීශ් මහත්තයා කොහේ එක්ක ගියාද කවුද දන්නේ…?”
පුංචි අම්මාගේ හඬ කෝපයෙනුත් ද්වේෂයෙනුත් පිරී ඇත. දෙවියනේ…! එතකොට මා අනතුරට පත් වූයේ ඔහු සමඟ යන විටද….?
“මනෝරි ඇති ඔය නවත්ත ගන්නවා…”
තාත්තා ඇයට පහර දෙන්නට ඇත. මම බියෙන් තිගැස්මට පත්ව ආපසු හැරුණේ මා උන් තැන පවා අමතකවය. පය පැකිළි ගිය මා පහළට රූටා ඇද වැටුණේ තරප්පු පෙළේ කීප වරක්ම හිස ගැටෙමිනි.
**** ***** ***** ***** **** **** ***** ******** ***** ***** ***** **********
“අ…වී…ශ්…”
කෙඳිරිල්ලක් මා මුවින් නික්මෙන්නට ඇත. නැඟී සිටීමට වුවමනා වුවද මා හිස මත මහත් බරක් පැටවූ කලෙක මෙන් බරය. දෑස් විවර කරන්නට වුවමනා වුවද මට බිය සිතිණි. අවීශ්ගේ රුව මට පෙනුණේ බොඳවය. ඔහුගේ මුහුණ කළු පැහැති දියරයකින් වැසී ඇතිවාක් මෙනි. අත ඔසවා ඔහු කුමක් හෝ දෙයක් කීමට උත්සාහ කළද ඒ අත අප්‍රාණිකව පහතට ඇද වැටිණි.
“අ..වී…ශ්…”
මහා හඬින් කෑ ගසන්නට වුවමනා වුවද මා මුවින් පිටවන්නට ඇත්තේ කෙඳිරිල්ලක් පමණය. මා දුටුවේ සිහිනයක්ද…? මට නැඟී සිටීමට වුවමනා වූ මුත් සිරුර මත මහත් බරක් පටවා ඇත්තාක් මෙනි. මට එය පසෙකට දමා නැඟී සිටීමට වුවමනා වූ නිසා මම දැඟළුවේ ඉන් මිදෙන්නටය. ශක්තිමත් දෑත් වලින් මා අල්ලාගෙන ඇති බව මට දැනිණි.
“අ…වී…ශ්…” එවර මම මහා හඬින් කෑ ගැසීමි.
“මෙයා දඟලනවා…ඉක්මනට ඉන්ජෙක්ෂන් එක විදින්න…”
ඈත ලෝකෙකින් මෙන් ඒ හඬ මා සවනට ගළා ආයේය. කටහඬවල් කිහිපයක් එක් විටම ඇසිණි. මා දෑස් විවර කිරීමට අපහසුය. මොහොතකට සියල්ල නිහඬ විය. විකාර රූපී ජායාවල් මා මනස පුරා හොල්මන් කරන්නට විය. මට නින්ද යන්නට ඇත. කොපමණ වෙලාවක් මා නිදා ගත්තාද කියා මම නොදනිමි. බර වූ ඇස් පියන් විවර කිරීමට මට බොහෝ වෙහෙසක් දැරීමට සිදු විය. හිසින් නැඟුණේ දැඩි වේදනාවකි. මුළු සිරුරම තළා පෙළා දැමූ සෙයකි.
“අ…වී…ශ්…” මා මුවින් කෙඳිරිල්ලක් සේ පිට විය.
“දුව…දුව…ඔයා ඇහැරියද…?”
කළබල හඬින් මා ඇමතූ නැන්දාගේ හඬ මා සවන් වැකිණි. සෙමෙන් සෙමෙන් දෑස් විවර කරමින් මම අවට බැලීමි. එක් වරම ආලෝකය දරා ගැනීමට අපහසු වූ බැවින් මම වහා යළි දෑස් පියා ගතිමි.
“දුව…”
නැන්දාගේ මෘදු හඬින් මම යළිත් සෙමෙන් දෑස් විවර කළෙමි. මෙවර නම් එය පෙර තරම් අපහසු වූයේ නැත.
“නැන්දේ…”
මා මුහුණට නැඹුරුව බලා සිටින නැන්දා දැක මම පහත් හඬින් ඈ ඇමතුවෙමි.
“දුව ඔයාට මාව පේනවද…?”
ඈ ඇසුවේ අමුති පැනයකි. මම පුදුමයෙන් ඈ දෙස බලා සිටියෙමි.
“පේන…වද…?”
ඈ කුමක් අසනවාදැයි කියා මට සිතා ගන්නට නොහැකිය. මා මනස පුරා බැඳී ඇති දැලක් වන් අඳුර කෙමෙන් කෙමෙන් මැකී යන විට මට සියල්ල මෙනෙහි වන්නට විය.
“නැන්දේ…නැන්දේ…මම මේ කොහෙද ඉන්නේ…?”
යහන මතින් නැඟී සිටීමට උත්සාහ දරමින් අසන මට නැන්දා මට සහාය වූවාය. මා හිස වඩාත් රිදුම් දෙන්නට විය. ගතට දැනුණේ දැඩි අප්‍රාණික බවකි. දෙතොල් වියළී ඇති බව මට දැනිණි.
“අනේ…මට…ති..බ…හා…යි…”
මම කෙඳිරි ගෑවෙමි. නැන්දා මට ඇඳ විට්ටමට කොට්ටයක් තබා වඩා පහසුවට හිඳ ගැනීමට සළසා දී අවුන්සයකටත් වඩා අඩු වතුර ප්‍රමාණයක් මා මුවට ළං කළාය.
“අනේ…ත…ව…ටි…කා…ක්…”
“අනේ…එහෙම බොන්න හොඳ නැහැ…දුව…දවස් ගානකින් බඩට මොකුත් වැටිලා නැති නිසා වමනෙ යයි…ඔයාට දැන් මතකයි නේද…අනේ…කොච්චර දෙයක්ද ළමයෝ…”
ඇගේ දෑස් වල කඳුළුය. ඈ මේ මොනවා පවසනවාද කියා වැටහුමක් මා තුළ නොවීය.
“මං කොහේද නැන්දේ ඉන්නේ මේ…?”
වටපිට බලමින් මම ඇසීමි. මෙය පෞද්ගලික රෝහලකි.දෙවියනේ…! අවීශ්….? ඔහුගේ මුහුණ කළු පැහැති ලෙයින් නැහැවී තිබූ සැටි මට සිහි විය.
“අනේ…නැන්දේ…අවීශ්…මට එයාව බලන්න ඕන…අනේ එයා කොහේද…?”
යහනින් බැසීමට වුවමනා වුවද මා දෙපා එසවිය නොහැකි තරම්ය.
“දුව…දුව…කළඹල නොවී ඉන්නකෝ…ඔයා දැන් ඉන්නේ හොස්පිට්ල් එකේ…”
“අනේ…අවීශ්…එයාට කොහොමද දැන්…? මට එයාව බලන්න ඕන නැන්දා…”
මම යළි යළිත් කීවෙමි.
“එයාව බලන්න යන්න කළින් ඔයා සනීප වෙන්න ඕන…අනික එයා මෙහෙ නැහැනේ…ඔයා ඉන්නේ ප්‍රයිවට් හොස්පිට්ල් එකක…”
“අවීශ් කොහෙද ඉන්නේ…?”
“එයා ගෙදර…මට කියන්නකෝ දැන් ඔයාගේ ඔළුව තවම රිදෙනවද…?”
මම එය එසේ බව කීවෙමි.
“නැන්දා…තාත්තා ආවද මැලේසියා ගිහින්…? අනේ එයා මට බැන්නද…?”
බියමුසු හැඟීමකින් මම ඇසීමි. මට අවීශ් බැලීමට වුවමනාය.
“තාත්තා මොකටද ළමයෝ ඔයාට බනින්නේ…? ඔයා වරදක් කරලා නැහැනේ…”
නැන්දා පවසන්නට ඇත්තේ මා සිත සනසන්නට විය හැකිය.
“අනේ…ඒක මගේ වරද නේන්නම්… මායි අවීශ්ව ගෙන්නුවේ…අනේ…එයාට කොහොමද නැන්දේ…එයා හොඳින් නේද…? ටෙලාන් අපිව ෆලෝ කළා…එයා…එයා…තමා අපේ වාහනේ හැප්පුවේ…”
නැන්දා පුදුමයෙන් මා දෙස බලා සිටියාය.
“ඔයාට ඒ හැමදේම මතකයි…?”
“නැතුව…ඇයි ඔයා එහෙම අහන්නේ…?”
එවිටම විවර වූ දොරින් ඇතුළට පැමිණියේ තාත්තාය.
“දුව…ඔයාට කොහොමද…ඔයා නැඟිටලා…”
ඔහු මා අසළම යහන මත අඩමානයට හිඳගෙන මගේ දෑත් සිය දෝතට මැදි කරගනිමින් ඇසුවේ නැන්දා වෙතත් නිහඬ බැල්මකින් බලමිනි.
“දැන් හැමදේම හරි…” නැන්දා කී දෙයෙහි අරුත මට නොවැටහිණි.
“තාත්තා…මට සමාවෙන්න…මං ඊයේ රෑ එහෙම ගියේ නොයාම බැරි නිසායි…මං නිසයි මෙහෙම වුණේ…ඔයා අවීශ්ට බනින්න එපා…මායි එයාව ගෙන්න ගත්තේ…”
නංගී පාවා දීමට මට නොසිතිණි. දැන් ඈ පිටත්ව ගොසිනි.
“ඒකට කමක් නැහැ දුව…දැන් ඒ හැමදේම වෙලා ඉවරනේ…ඔයාට සනීප වුණ එක මදෑ…”
තාත්තා එසේ කියන විට මා සිතට දැනුණේ සහනයකි.
“අනේ තාත්තා අවීශ්ට කොහොමද…මට එයාට කතා කරන්න ඕන…මගේ ෆෝන් එක කෝ නැන්දා…?”
මම එක දිගට විමසීමි.
“ෆෝන් එක නැති වෙලා දුව…ඇක්සිඩන්ට් එක දවසේ ෆෝන් එක නැති වෙලා…අපි අලුත් එකක් ගමු…”
ශෝකී හැඟීමක් මා සිතට දැනුනද මම නැන්දා කී දෙයට එකඟව හිස සැළීමි. වෛද්‍යවරයා පැමිණි නිසා ඉන් පසුව මට කිසිත් ඇසීමට ඉඩක් නොවීය.