Hima Mal Renu හිම මල් රේණු
මා නිවසට පැමිණෙන විට තාත්තා ඉස්තෝප්පුවට වී බලා සිටියේ කෝපයෙනි. රෝවන් දැනටමත් ඔහුට සියල්ල පවසා ඇති බව සහතිකය. මම ඔහුට නොපවසා හොරෙන් කොහේවත් නොගියෙමි. මේ සාදයට යෑමට පෙර පවා මම ඔහුව දැනුවත් කළෙමි. ඔහු කිසිත් නොකීවේ මා උසස් පෙළ ඉතා ඉහළින් සමත්ව තිබීම නිසා මුත් මේ මොහොතේ කෝපයෙන් පසු වන්නේ නම් රෝවන්ගේ කේළම් අසා බවට සැකයක් නැත.
“මොකද කළේ මෙච්චර වෙලා…?”
ඔහු මට කෑ ගැසුවේ මා නිවසට ගොඩ වන්නටත් පෙරය.
“මං කියලා නේ ගියේ…තාත්තා කෑ ගහන්න ඕන නැහැනේ…අනික මං දන්නවා මොකද මේ පුපුරන්නේ කියලා…”
නොසතුටෙන් මම කීවෙමි.
“පුපුරන්නේ…? මං මෙච්චර එපා කියලා තියෙද්දීත් අරූ එක්කම ගමන් බිමන්…”
මම එය නෑසුණා සේ නිවසට ගොඩ වූයෙමි. අපි මීට පැය කීපයකට පෙර මොනතරම් සතුටින් පසු වූයෙමුද.? එය විනාශව ගියේ අසුරු සැණිනි.
“මීට පස්සේ ඌ එක්ක කිසිම ගනණුදෙනුවක් තියෙන්නෙ බැහැ…මේක අන්තිම අවවාදේ…මං ආයෙම කියන්නේ නැහැ… තේරුණාද…?”
තාත්තාගේ හඬ නිවස පුරා දෝංකාර දෙන්නාක් මෙනි. පුංචි අම්මාත් චන්ද්‍රම්මාත් වහා ආලින්දයට දිව ආවේ එම හඬ නිසා වන්නට ඇත.
“හරි…ඉතින් …ඕකට කෑ ගහන්න ඕන නැහැ…මං අවීශ් මුණ නොගැහී ඉන්නම්…හැබැයි තව දෙයක්….අර දැන් චීත්ත ඇඳන් කේළම් කියපු චීත්ත කෑල්ලවවත් මට මුණ ගස්වන්න හදන්න එපා…අද හොඳ වෙලාවට ගුටි නොකා බේරුණා…එයා ආයේම මේ ගෙදරට ආවොත්…මං තාත්තා කියන දේත් අහයි කියලා හිතන්න එපා…”
මම එසේ කියා තරප්පු පෙළ නැංගෙමි.
“ඒක මං බලාගන්නම්කෝ…”
තාත්තා මට තර්ජනාත්මකව පැවසුවද මම එය තැකීමක් හෝ නොකළෙමි.
ටිරෝන් ටික දිනකට විදෙස් සංචාරයක නිරත වන්නට සිටි නිසා ඊට පෙර අපි යළි හමුවෙමු යැයි කීවද මට එයට සහභාගී වන්නට අවස්ථාවක් උදා නොවූයේ තාත්තා මට පිටතට යෑම තහනම් කර තිබූ නිසාය. මම නිවසට වී සිටියේ නොසතුටෙනි. ඉක්මනින් රැකියාවක් සොයා ගැනීම දැන් මගේ එකම අරමුණය. තාත්තාට මේ බව පැවසුවහොත් ඔහු එයට විරුද්ධ වන බව මම හොඳාකාරවම දැන සිටියෙමි. අවීශ් ට කියා රැකියාවක් සොයා ගත යුතු යැයි මම සිතුවේ ඒ නිසාය. පසුදින තාත්තා හදිසි ව්‍යාපාර කටයුත්තක් සඳහා මැලේසියාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටි අතර ඔහු පැමිණෙන තුරු මට පිටතට යෑමට තහනම් කර නියෝගයක්ද පැනවීය. මම එය තැකීමක් හෝ නොකළෙමි. දැන්, දැන් මට සිතෙන්නේම හිතුවක්කාර කම් කරන්නටය. ඔහු මා නිකරුණේ සැක කරයි. තාත්තා මේ තරම් දැරණියගල හා බියකින් පසු වන්නේ හුදෙක් ව්‍යාපාර කටයුතු වලදී සිදු කළා යැයි කියන වංචාව නිසා පමණක් නොව මෙයට වෙනත් විශේෂ වූ හේතුවක් ඇතැයි කියා සැකයක් මා සිතේ ඇතිවෙමින් තිබිණි.
නංගීගේ ගුවන් ගමන යෙදී තිබූ දින උදෑසන මට නිරංගා ඇන්ටි ඇමතුමක් දෙමින් කීවේ මෙදින ඇයට මා හා කතා බහ කිරීමට වුවමනා නිසා ඇයව හමුවීමට පැමිණෙන ලෙසය. මා සිත තරමක් පසුබසින්නට වූයේ තාත්තා මට පිටතට යෑමට තහනම් නියෝග පනවා තිබූ නිසාය. නිරංගා ඇන්ටි හමුවීමටද මට එකසේම වුවමනා විය. වෙන දෙයක් වුණාදෙන් යැයි සිතා මම සූදානම් වූයෙමි. ගුණතුංග මාමාද නැන්දා සමඟ ගොස් සිටි නිසා මම කුලී රියක නැඟී අවීශ්ගේ නිවසට පැමිණියේ ඔහුට එහි යන බව පවා නොපවසන ලෙස නිරංගා ඇන්ටි දුන් උපදෙස් පිළිපදිමිනි. මෙදින අවීශ් මිතුරන් කිහිප දෙනෙකු සමඟ පිටතට ගොස් සිටි නිසා නිරංගා ඇන්ටි මා සමඟ තනිව කතා බහ කරන්න්ට සිතුවා වන්නට ඇත.
“මට හිතුණා ඔයා එක්ක අද කතා කරන්න ඕන කියලා දුව…මොකද අද පුතාත් ගෙදර නැහැ…”
මා සිටියේ කුහුළින් මෙන්ම දෙගිඩියාවකින් යුතුවය. කුමක් අසන්නට ලැබේද කියා මම නොදනිමි. එය සිත් කම්පා කරන දෙයක් වුවද විය හැකිය. මම සිත හදාගෙන එයට සවන් දිය යුතුය. මගේ හද ගැස්ම පවා වේගවත් වන්නට විය. ගත පුරා දැණෙන වෙව්ලිම පාලනයකර ගැනීමට මම ආයාසයෙන් තැත් දැරීමි.
“මම කියන දේවල් හොඳින් අහගන්න…හැබැයි කළබල වෙන්න එපා…එහෙම කළබල වෙලා තීරණ ගන්න ගිහින් තමා මටත් මෙහෙම වුණේ.”
ඈ තම අප්‍රාණික අත පිරිමදිමින් කීවේ ශෝකය මුසු සුසුමක් හෙළමිනි. බිය මුසු හැඟීමක් මා සිතේ ඇති විය.
“තව දෙයක් දුව…අවීශ්ට මේ මොකුත් දැන ගන්න ඉඩ තියන්න එපා…මට බයයි…මේ ප්‍රශ්න නිසා එයා කෝලිත එක්ක ආගියුමන්ට් එකක් ඇති කර ගනී කියලා…ඔයා මේ හැමදේම අහන් ඉඳලා මොකුත්ම නොදන්න විදියට ඉන්න ඕන…ඔයාගේ මූණෙන්වත් කිසිම හැඟීමක් පිට වෙන්න දෙන්න එපා…ඔයාගේ තාත්තා ඉස්සරහාවත්…තේරුණාද…?”
මම හිස සලා ඇයට එසේ කරන බවට පොරොන්දු වූයෙමි. ඈ කියූ දේවල් මා අසා සිටියේ දුක, වේදනාව, කළකිරීම, ක්‍රෝධය මෙන්ම පිළිකුළද කැටි වූ හැඟීම් සමුදායක් මැදය.
“මම මෙහෙම දෙයක් අහන්න වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ ආන්ටි…”
මම හඬන විට ඈ මා හිස පිරිමදින්නට වූවාය.
“ඒ හැමදේම වෙලා දැන් හුඟාක් කල් දුව..මේ බිත්ති හතරෙන් එළියට ඔය කිසි දෙයක් ගෙනියන්න එපා…”
මම එයට හිස සැළීමි.
“මම තාමත් මේ දේ නිසා විඳෝනවා දුව…”
නිරංගා ඇන්ටි එසේ කීවේ අලුතින් ඇති වූ ශෝකයකිනි.
“කවුරුවත් කරපු දේකට ඇයි ආන්ටි වඳවන්නේ…?”
“මේ දේ මුළින් දැනගෙන තියෙන්න අනූ අදටත් ජීවතුන් අතර…”
“අනේ ආන්ටි…ඔයා ඒ ගැන හිතලා දුක් වෙන්න එපා…අඩුම තරමේ මං දැන් ඇත්ත මොකක්ද කියලා හරි දන්නවනේ…”
අප එසේ කතා බහ කරමින් සිටින අතරේ හදිසියේම අවීශ් සහ ප්‍රසාද් පැමිණියෝය.
“පුතාලා ආවා…ඔයා මූණ ටිකක් සෝද ගන්න…දන්නවානේ අවීශ් වෙලාවකට සී.අයි.ඩී ඔෆිසර් කෙනෙක් වගේ…එයා දැක්කොත් ඔයා අඬලා කියලා…දාහක් ප්‍රශ්න් අහන්න ගනියි…”
මම ඇයට කීකරුව ගොස් මුහුණ සෝදාගෙන පැමිණියෙමි. දෙදෙනාම මා දැක පුදුමයට පත් වූයේ මා පැමිණෙන බව හෝ කළින් පවසා නොතිබූ නිසාය. ඊටත් සුළු මොහොතකට පසු මම යළි නිවසට පැමිණියේ අවීශ් සහ ප්‍රසාද් ද සමඟය. ඒ අතර තුර තාත්තාගෙන් ඇමතුම ලැබුණු අතර ඔහු ඇමතුම් කීපයක් ගෙන තිබූ බව මා දුටුවේ පසුවය. එකත් එකටම මම නිවසේ නැති බව පුංචි අම්මා ඔහු හා පවසන්නට ඇතිවාට සැක නැත.
“කී පාරක් කෝල් කළාද…කොහෙද ඉන්නේ…? ඉක්මනට ගෙදර යනවා…මට අදත් එන්න වෙන්නේ නැහැ…නංගීව එයාර් පෝර්ට් එක්ක එක්ක යන්න වෙනවා ගුණතුංග මාමා එක්ක…එයා දැන් එන ගමන්…කරන්න ඕන ඒව එයා දන්නවා…හත වෙද්දී එයාර් පෝර්ට් එකේ ඉන්න ඕන…”
ගිඟුරුම් හඬින් කෑගැසූ තාත්තා වහා දුරකථනය විසන්ධි කළේ මම කිසිත් කීමටත් පෙරය.
“ප්‍රශ්නයක්ද…?”
තාත්තා ගේ උස් හඬ අවීශ්ලාටද ඇසෙන්නට ඇතිවාට සැකයක් නැත.
“ඔව්…තාත්තා මැලේසියා ගියානේ…අදත් එන්න වෙන්නේ නැතිලු…නංගීව එයාර් පෝර්ට් ඇරලවන්න කිව්වා…”
“ආහ්…එයා අද යනවද…?”
“හ්ම්ම්…යනවා…”
“ඒක නම් හොඳයි…දැන් තාත්තා නැතුව කොහොමද එයාර් පෝර්ට් යන්නේ…?”
“ගුණතුංග මාමා ඉන්නවනේ…”
“මොනවා හරි වුවමනාවක් වුණොත් කෝල් එකක් දෙන්න…අඳුනන අය ඉන්නවා එයාර්පෝර්ට් එකේ…”
“අනේ තැන්ක් යූ අවීශ්…”
ඔවුන් මා නිවස අසළින් හැර දමා යන විට මම නිවසට ගොඩ වූයේ හිස් වූ හැඟීමකිනි. නිවස යකා නැටූ සොහොන් පිටියක් මෙන් දිස් වූ අතර එහි වූයේද කළබ ලයකි. නංගීගේ ගමන් බෑගය ආලින්දය මැදය. පුංචි අම්මා කළබලයෙන් එහෙටත්, මෙහෙටත් දුවමින්නන් සිටියාය.
“බල්ලට ඇති වැඩකුත් නැහැ…හිමින් ගමනකුත් නැහැ…”
සිත තුළ වූ වේදනාවත් සමඟ මට සිහි වූයේ එයයි.
“හරි ෂෝක්…ගෙදර එන වෙලාව…ඔයත් එකයි…ඔයාගේ තාත්තාත් එකයි…වුවමනා වෙලාවට ගෙදර නැහැ… එයා මේ වෙලේ ගෙදර ඉන්න එපාද…?”
මා දුටු විගස ඈ දෝෂාරෝපණයක් එල්ල කළාය.
“තාත්තා ගියේ එන්ජෝයි කරන්න නෙවේනේ…ඔෆීෂියල් වැඩකට නේ…එයා ඒ ටික කරන් එයි…අනික මොකද මේ කඩි කුලප්පුව හැදිලා වගේ දඟලන්නේ…? ගුණතුංග මාමා කරන්න ඕන ඒව ටික බලා ගනියි…”
“කළබල නොවී කොහොමද…?”
“එහෙනම් ඕන එකක් කරගන්න එකයි…”
මම එසේ කියා නංගී සොයා ඇගේ කාමරයට පැමිණියෙමි. ඈ සිටියේ බුම්මා ගත් මුහුණින් යහන මත හිඳගෙනය.
“මොකද මේ දාහට අරන් සතේට දීලා වගේ…”
ඇගේ මුවට සිනහවක් නැංවීමේ වුවමනාව නිසා මම කීවද ඈ මවෙත හෙළුවේ උදාසීන බැල්මකි. පෙර කල ඈ පුංචි දෙයටත් “ලොකූ” යැයි කියමින් දිව ආ සැටි සිහිවී මා මුවින් සුසුමක් ගිළිහිණි.
“අපිව දාලා යන්න බැරි දුකෙන් නෙවේ ඉන්නේ කියලා මං දන්නවා…ඒත්…ඉතින් ඔහොම මූණ පුම්බන් ඉන්න එපා…”
මෘදු හඬකින් මම කීවේ ඈ කෙරෙහි වූ අනුකම්පාවෙනි.
“මට යන්න ඕන නැහැ…”
ඈ කීවේ කෝපය මා පිටින් පිට කරන්නට මෙනි.
“මං දන්නවා…ඒත් ඔයා මෙහෙන් යන එක ඔයාට හොඳයි…ටික කාලෙකටනේ යන්නේ…එහේ ගිහින් බලන්න…ඔයාටම ඔයාගේ හිත අඳුනගන්න අවස්ථාවක් ලැබෙයි…”
නංගී මා දෙස බැලුවේ උපහාසය මුසු සිනහාවකිනි. ඇගේ බැල්මෙහි ඒ මොහොතේ වූයේ මහා කපටි පෙනුමකැයි කියා මට සිතිණි. ඈ කුමක් හෝ දෙයක් කිරීමට සැළසුම් කරනවාද කියා සැකයක් මා සිතේ ඇති වූ මුත් බිය වන්නට දෙයක් නැතැයි කියා මම සිතුවේ ඈ තව පැය කීපයකින් ගුවනේ බව සිහි කරමිනි.
“ඔයාත් මේ හැමදේටම සම්බන්ධයි…මොකද ඔයා ටෙලාන් එක්ක තරහයිනේ…අර ඔයාගේ අවීශ් නිසා…නැද්ද…? මං ඒ හැමදේම දන්නවා…”
ඈ මට චෝදනාවක් එල්ල කළද මම ඒ ගැන තැකීමක් නොකළෙමි. මම ඈ පසෙක හිඳ ගත්තේ අනුකම්පා මුසු බැල්මක් ඈ වෙත හෙළමිනි.
“ඔයා හැමදේම දන්නවා කියලා හිතුවට ඔයා කිසිම දෙයක් හරියටම දන්නේ නැහැ…හැබැයි ඔයා ඉස්සරහට ඒ හැමදේම දැන ගනියි…එතකොට සමහරවිට හුඟාක් පරක්කු වෙලා තියෙයි…තව දෙයක්…මට ටෙලාන් එක්ක කිසිම තරහක් නැහැ…ඔයා ටෙලාන් ගැන හරියටම දන්නේ නැහැ…දැන ගත්තුදාට ඔයාට ඔයා ගැනම ලැජ්ජා හිතෙයි…අනික් දේ තමා…අවීශ් මගේත් නෙවේ…මට දුකයි ඔයා ගැන…ඉස්සර හැමදේටම “ලොකූ” කියාගෙන දුවගෙන ආපු ඔයා…අද කොයිතරම් දුරස් වෙලාද…ටෙලාන් ඔයාව මොන තරම් වෙනස් කෙනෙක් කරලාද…? පවුලේ හැමෝවම එපා වෙන්න තරම්…ඔයාගේ අම්මා එක්ක මට මොන තරම් ප්‍රශ්න තිබුණත් මං හැමදාම හිතුවේ ඔයා මගේ නංගී කියලා…ඔයා එහෙම නොහිතුවා වුණත්…මට හැමදාම ඒක එහෙමම තමා… ඒක අමතක කරන්න එපා…ටෙලාන් ඔයාට ඇත්තටම ආදරේ කරනවානම්… එයා මේ වෙද්දිත් වෙනස් කෙනෙක් වෙලා…ඒත් ඒක ආදරය නෙවේ… ඔයාට ඒක දවසක තේරෙයි…අවීශ් මගේ කවුරුවත්ම නෙවේ වෙලත් මම අවීශ් වෙනස් කෙනෙක් කරන්න උත්සාහ කළා…එයා වෙනස් වුණා…පිස්සු පිහාට්ටා වගේ ස්කූල් ආව අවීශ් අද වෙනස් කෙනෙක්…වෙලා…කොලේජ් එකේම බෙස්ට් රිසාල්ට්ස්…ආදරයක් නෙවේ වුණත් ඒකනේ වෙන්න ඕන…මනුස්සයෙක් තව කෙනෙක් වෙනුවෙන් වෙනස් වෙනවා නම් අන්න ඒකයි ආදරේ…යාළුකම…”
මා කියූ දේවල් බිහිරි අලින්ට වීණා වැයීමක් වූවාද කියා මම නොදනිමි. කීවා නාහන ගුරු උඩින් ගියාත් එකයි බිමින් ගියාත් එකයි කියා මටද අත සෝදා ගැනීමට තිබිණි. ඒ ඈ මගේ සොහොයුරිය නොවූවා නම් ය.
**** **** ***** ***** ***** ***** ***** ********* **** ***** ***** ***** *****
නංගී වෙන්වීමට සූදානම් වන මොහොතේ නම් මා සිතට දැනුණේ දැඩි වේදනාවකි. කඳුළු පිරුණු දෑසින් මා ඇයව වැළඳ ගැනීමට සූදානම් වන මොහොතේ ඈ වහා පසෙකට වූයේ මා ප්‍රතික්ෂේප කරමිනි. ඇයට ඇත්තේ මොන තරම් ගල් සිතක්ද කියා මා සිතුවේ ශෝකයෙනි. පුංචි අම්මාට වුවද ඈ ළංවන්නට ඉඩ නොදුන්නේ ඇයවත් පිටස්තර අයෙකු මෙන් සළකාය. ඇයට මෙතරම් දැඩි සිතක් ඇති බව මා දැන සිටියේ නැත. සමහර අවස්ථාවල ඈ හැසිරුණේ එතරම් බොළඳ ලෙසය.
“මට පුළුවන් නම් මං මේ කෙල්ලව ප්ලයිට් එකට නංගලාම එනවා…”
පුංචි අම්මා එසේ කීවේ අපි යළි පැමිණෙන අතර තුර තාත්තාගෙන් ලද ඇමතුමට පිළිතුරු දෙන විටය. ඇයටද තම දියණිය කෙරෙහි එතරම් විශ්වාසයක් නොමැති බව ඉන් ඇඟවිණි.
“මොනවා වුණත් මට දුකයි…”
ඈ යළිත් එසේ කියන්නට ඇත්තේ මට ඇසෙන්නට වුවද මම නෑසුණා සේ සිටියෙමි. ඈ හඬන්නට වුවද මට ඇයව සනසන්නට වුවමනා නොවීය. අපි නිවසට එන විට රාත්‍රී දොළහට ආසන්නය. නංගී රැගත් ගුවන් යානය මේ වන විටත් ගුවන් ගත වී ඇතැයි කියා මම සිතුවෙමි. මා සිතේ ශෝකයක් නැතැයි කීවෝතින් එය මුසාවකි. ඇගේ හිතුවක්කාර, මුරණ්ඩු ගති නොවේ නම් ඇයට මෙලෙස යෑමට සිදුවන්නේ නැත. ටෙලාන් ඇගේ ළද බොළඳ බවින් ඇයව සිය වසඟයට පත් කර ගත්තේය. ටික කලෙකින් ඇයට මේ සියල්ල අමතක වනු ඇත. ශෝකයත් ගමන් විඩාවත් නිසා මට වුවමනා වූයේ ඉක්මණින්ම යහනට වැටෙන්නටය. ගත දොවාගෙන රාත්‍රී ගවුම හැඳගෙන මම යහනට වැටුණු ක්ෂණිකයෙන් මට නින්ද යන්නට ඇත. මා එසේ කොපමණ වේලාවක් නිදා සිටියාද කියා හෝ ඒ මොහොතේ වේලාව කීයද කියා හෝ මම නොදනිමි. තිගැස්මෙන් මම අවදි වූයේ මගේ ජංගම දුරකථනය හැඬ වෙන හඬිනි. හදිසි අවස්ථාවක් නොවේ නම් රාත්‍රී දහයෙන් පසු කිසිවෙකු මා අමතන්නේ නැති බව මම ඉඳුරාම දැන සිටි නිසා මම එය අතට ගත්තේ නිදි බර දෑස් පොඩි කරමිනි. මුළින් එය විසන්ධි කිරීමට සිතූ සිතුවිල්ල යටපත් කරගෙන මම එයට දෑස යොමුවේ මේ මධ්‍යම රාත්‍රියේ මා අමතන්නේ කවුරුන්ද කියා සැකයෙනි. මුහුණතේ සටහන් වූ නම මා නෙත ගැටී මම වහා එය සවනතේ තබා ගත්තේ නංගී මේ මොහොතේ මා අමතන්නේ මන්ද කියා පුදුමයෙනි. ඈ සිටින්නේ ගුවනේ බව මට සිහි විය. ඈ මා අමතන්නේ කුමකටද?
“අනේ…ලොකූ…අනේ..ලොකූ…මාව බේරගන්න…ලොකූ…”
ඇගේ විළාප හඬ සවන් වැකී මම තිගැස්මෙනුත් බියෙනුත් යහන මත හිඳ ගතිමි.