Hima Mal Renu හිම මල් රේණු
අහස අඳුරුය. රාත්‍රියේත් වැස්සක් ඇද හැළෙනු ඇතැයි කියා මට සිතුණේ මිදුලට බසින විටය. සීතල නිසා මා ගත හී ගඬු පිපී ආයේය. සවස ඇද හැළුණු වැහි බිංදු තණ බිම මත තවමත් වියළී ගොස් නැත. විදුලි පහන් එළියෙන් ඒවා දිලිසිණී. තාත්තා මිදුල මැද සිටගෙන සිටියේ අඳුරු අහසට දෑස් දල්වාගෙනය. අහසට දෑස් යොමාගෙන ඔහු අම්මාගේ රුව මවා ගන්නට උත්සාහ කරනවාදෝ කියා මට සිතිණි.
“තාත්තා කෑමත් නොකා නැඟිටලා ආවා නේද…?”
ඔහු පසෙක සිටගෙන මම කියන විට සුසුමක් වා තලයට මුදා හළ තාත්තා මා දෙස බැලුවේ ශෝකී දෑසින් බව නොපෙනී යන්නට තරම් අඳුරක් මිදුලේ නොවීය. විදුලි පහන් එළියේ කහ පැහැති මළානික එළියට ඔහුගේ මුහුණේ දුක්බර බව කැපී පෙනුණා යැයි කියා මට සිතිණි.
“අම්මාව මතක් වෙනවා දුව…”
“මටත්…මට එයාව මතක නැහැ…ඒත් එයා හිටියා නම්…?”
සුසුමක් හෙළමින් මම කියන විට තාත්තා සිය බරැති අතක් ඔසවා මගේ හිස මත තැබුවේය. පසුව එය ඉවත ගෙන ළය හරහා දෑත් බැඳ ගන්නා විට මා සිතේ ඇති වූයේ මහා වූ හිස් හැඟීමකි. තාත්තාව මට අහිමිව ගොසින් බොහෝ කලෙක යැයි කියා මට මේ මොහොතේ වඩාත් සිතට දැනිණි. සැහැල්ලුවෙන් මා ජීවිතය ගෙවා දැමුවද මෙවන් සිතුවිලි ඉඳහිට හෝ සිත පාරවා දැමූයේ මා හද ශෝකයෙන් පුරවමිනි.
“නිරංගා කොහොමද ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ…?”
සුළු මොහොතක නිහැඬියාවකින් පසුව තාත්තා ඇසුවේය. මම එය කෙටියෙන් ඔහු හා පැවසුවෙමි.
“මෙච්චර දේවල් වුණා කියලා මම දන්නේ නැහැනේ…”
“තාත්තා යනවද නිරංගාන්ටිව බලන්න…?” ඔහු තිගැස්මෙන් මදෙස හැරී බැලුවේය.
“ඒ යාළුකම් නැති වුණේ අම්මා නැති වෙන්නත් කලින් ඉඳන්…මම ඔය ගෙදරට යන්නේ නැහැ…”
“එහෙනම් එළියෙදි පුළුවන් නේ…”
“නැති වෙලා ගිය දේවල් ආයේම අමුතුවෙන් ඇතිකරගන්න මට ඕන නැහැ…මම ඔයාටත් කියන්නේ අර ළමයා එක්ක ඕනවට වැඩි ආශ්‍රයක් ඕන නැහැ…මං අදත් දැක්කා ඔයාලව…”
බළලා මල්ලෙන් එළියට පැන්නේ ඒ මොහොතේය. ඔහු එය පැවසීමට සිතා නොසිටි දෙයක් බව නම් සහතිකය. මේ අවස්ථාව මගේය.
“තාත්තා කොහොමද දැක්කේ…තාත්තා ඒ පැත්තට ගියේවත් නැහැ කිව්වා නේද…?”
“මම නිකමට ගියා….එතකොට දැක්කේ…” ඔහු තවත් මුසාවක් පැවසුවේය.
“නැන්දා අහද්දී කිව්වේ එහෙනම් ඒ පැත්තට ගියේ නැහැ කියලා…තාත්තා ඇවිත් හොරෙන් බලන් හිටියාද…ඇයි තාත්තා එහෙම කරන්නේ…?”
ඔහු ගොළුය. දීමට පිළිතුරක් සොයා ගන්නට ඔහුට අපහසු වූ සෙයකි.
“තාත්තට මං කොච්චර තේරුම් කළත් තාත්තා ඉන්නේ සැකෙන්…නේද…?”
“එහෙම දෙයක් නැහැ ළමයෝ…”
“නැහැ….නෙවේ…තියනවා…නැත්නම් ඇවිත් ඔත්තු බලන්න ඕනයැ…”
“ඔව්…මං ආවා…ඇවිත් බලන් හිටියා…ඒක වැරදිද…?”
“වැරදිද නෙවේ…වැරදියි…තාත්තා එහෙම හැසිරෙනවා කියලා අනික් ළමයි දැන ගත්තොත් ලැජ්ජාව මට විතරක් නෙවේ…තාත්තාටත් එක්කම නේද..? හරියට මම ගෙදරට බොරු කරලා ක්ලාස් යනවා කියලා වෙන කොහේ හරි ගියා වගේනේ…”
“ලැජ්ජ වෙන්න දෙයක් නැහැ…මං ඔයාගේ තාත්තා…ඔයාගේ නංගී කරපු දේවල් නිසා මට ඔයා ගැනත් හොයන්න වෙනවා…මට එහෙම කරන්න වෙනවා…”
“නැහැ තාත්තේ…ආයේ එහෙම වෙන්න බැහැ…මේක පළමු සහ අවසන් වතාව….ඔයා මගේ තාත්තා බව ඇත්ත… හැබැයි මම මනෝරි රාමනායකගේ දුව නෙවේ…කියලත් මතක තියා ගන්න…එයාගේ දුව නටන නැටිළි මම නටන්නේ නැහැ…මට හැංගී හැංගී වෙස් මූණු බඳින්න ඕනත් නැහැ…තාත්තා මං ගැන හොයන වෙලේ නරකද චූටි දුව ගැන හොයලා බැලුවා නම්…?”
තාත්තා මගේ කතාවෙන් තිගැස්මට පත්වූ අතර මම ආපසු හැරෙන විට පුංච් අම්මා දොරකඩය. මා කියූ දේ ඇයට ඇසෙන්නට ඇතැයි කියා සිතී සියුම් සතුටක්ද මා සිතේ ඇති නොවුණා නොවේ. ඇයට හිස ගස්සමින් මම ගෙතුළට ආවේ තාත්තාට මේ සියල්ල කියා පෑමට අවස්ථාවක් ලැබීම ගැන සතුටකින් වුවද ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව නොසතුටකිනුත්, මාව නංගී හා සසැඳීම කෙරෙහි උපන් කෝපයකුත් ශෝකයකුත් එක ලෙස මා සිත පෙළෙමින් තිබෙන විටය. කාමරයට පැමිණි මා යහන මත හිඳගෙන අවීශ් ඇඳි සිතුවම දෙස බලා සිටියේ හිස් දෑසිනි. ඒ දෙස බලා සිටීම දැන් මට පුරුද්දකට ගොසිනි. කුමක් හෝ හේතුවක් නිසා මම එම සිතුවමට පෙම් කළෙමි. එය අවීශ් ඇඳි නිසාද..? මම නොදනිමි. එය සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන දසුනක් මිස දුලබ දසුනක් නොවේ. එදෙස බලා සිටින විට මා සිතට සියුම් සහනයක් බඳු හැඟීමක් ඇති වේ. දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන හඬින් මම එය අතට ගතිමි. ඒ අවීශ්ය.මම ඔහු පිළිබඳව සිතුවා පමණි. මම එය විවර කොට බැලීමි. ප්‍රශ්නයක් ඇති වූවාද කියා ඔහු අසා තිබූ අතර මම නැතැයි ලියා යැවීමි.
“කවුද ඇවිත් තිබුණේ අද…?”
ඔහු යළි අසා එවා තිබූ විටයි මටත් එය සිහි වූයේ. ඔහුට එය දැනගන්නට වුවමනා වි ඇති බව දැන මා මුව මත සිනහාවක් මැවිණි.
“මම දන්නේත් නැහැ…අහලා කියන්නම්…”
මම ලියා යැවීමි. පිළිතුරු ලෙස ඔහු පුදුමය හඟවන සළකුණක් එවීය. නැන්දා කාමරයට පැමිණියේ දුම් දමන කිරි කෝපි කෝප්පයක්ද ඇතැතිවය. එම සුවඳින් කාමරයම පිරී ගිය සෙයකි.
“ෂා…! නැන්දා ඔයා මාව නරක් කරනවා…”
සුවඳට ඉව අල්ලමින් මම එය අතට ගතිමි.
“නරක් වුණොත් මම බලාගන්නම්කෝ…බඩගින්නේ නිදාගෙන ලෙඩක් හදා ගන්නද…? අර කජු මාළුව එක්කවත් බත් ටිකක් කෑවේ නැහැනේ…ඔය කිව්වට හිතට දුකයි නේද…? තාත්තාව රිද්දන්න ගියාට…අන්තිමේදි කජුත් නැහැ…”
“අනේ…මං මොකටද දුක් වෙන්නේ…?” බොරු අමනාපෙකින් මම කීවෙමි.
“හරි…හරි…මම ටිකක් අරන් තිබ්බා…හෙට උයලා දෙන්නම්…”
ඈ යළිත් කීවේ මා සිත සනසන්නට මෙනි. මා මුවට සිනහාවක් නැඟිණි.
“මට කන්න පිරියක් තිබ්බේ නැහැ නැන්දා….මේ තාත්තා කරන වැඩ නිසා…”
“තාත්තා කරන වැඩ…ඒ මොකක්ද…?”
මම එය නැන්දා හා පවසන විට ඈ අසා සිටියේ විසල් කරගත් දෑසිනි.
“එයා පුදුම මනුස්සයෙක්නේ…හරිම නරක දෙයක් කරලා තියෙන්නේ…” නැන්දා ද කීවේ නොසතුටෙනි.
“අද කවුද නැන්දා ගෙදර ආවේ…?” මම අමතක වෙන්නට පෙර ඇසීමි.
“අනේ ඇත්තටම මටත් ඒක කියන්න අමතක වුණා…අර රාවණ් ගේ ගෙදර අය…”
මම තිගැස්සී ගියෙමි. එසේ නම් නදීරා නිවැරදිය. තාත්තා මා වටා එළන්නට සාදන දැල කුමක්ද කියා මට පැහදිලිය. ඔහුට වුවමනා මා අවීශ් ගෙන් ඈත් කරන්නට වුවද ඔහු එයට තෝරාගත් මාර්ගය නම් නිවැරදි වූවක් නොවේ.
“එයාලා ආවේ ඇයි කියලද නැන්දා හිතන්නේ…?”
“මොනවට ආවත් ඔයා ඒ ගැන හිතන්න ඕන නැහැ…”
“හිතන්න වෙනවනේ නැන්දේ…කොහොම වුණත් තාත්තා හිතන දේ නම් කවදාවත් සිද්ද වෙන්නේ නැහැ…”
“නූපන් දරුවන්ට කේන්දර හදන්නේ නැතුව ඉන්නකෝ…මාත් මේ ගෙදර ඉන්නවනේ..මහ අම්මණ්ඩිගේ ප්ලෑන්ද දන්නැහැ මෙව්වා…මං හොයා ගන්නම්කෝ… දෙන්නම එකතු වෙලා කරන වැඩ වෙන්නැති…අපේ එකා මෝඩය වෙලා…”
නැන්දා එසේ කියන විට නම් මා සිතට සියුම් සහනයක් දැනිණි. මා තනිවී නැතැයි යන හැඟීම සිත සවිමත් කළාක් මෙනි. එසේම මෙය පුංචි අම්මාගේත් අනු දැනුම මත සිදුවන්නක් බවට සැකයක් මා සිතේ මුළ පටන්ම විය.
***** ***** ***** ***** ***** ***** ********** ***** ***** ***** ***** *****
අඩ නින්දකට වැටී සිටි මා තිගැස්මෙන් අවදි වූයේ දුරකථනය නද වන හඬිනි. ඉරු දින නිසා මම දිවා ආහාරයෙන් පසු යහනට වැටුණේ කෙටි නින්දක් ලබා ගන්නට වුවද එයට බාධා පමුණුවමින් ලැබුණු ඇමතුම නිසා මම එයට පිළිතුරු දුන්නේ ඒ කවුද කියා හෝ නොබලා තරමක නොරිස්සුම් මුසු හැඟීමකිනි. එය අවීශ්ගේ හඬ බව හඳුනා ගත් සැණින් මම වහා යහන මත හිඳ ගතිමි.
“ඔයාලගේ ගේ ඉස්සරහා ඉන්නේ…ගේට් එක අරින්න…”
මා සිතේ තිගැස්මක් ඇති කරමින් ඔහු කීවේය.
“අපේ ගේ ඉස්සරහා…?”
මම පුදුමයෙන් ඇසුවේ මෙදින තාත්තා ද නිවසේ සිටින නිසාය.
“ඔව්…නැතුව…”
මම යහනින් බිමට පැන සඳළුතලයට දිව විත් පිටත බැලුවේ ඔහු මා හා කුමක් හෝ දඟකාර කමක් කරනවා වන්නට ඇතැයි සිතා මුත් ඔහු පවසා තිබුණේ සැබෑය. ගේට්ටුව අසළ නවතා ඇති රථය දුටු මම විගස පහළට දිව එන විට නැන්දා ආලින්දයේ හිඳගෙන පොතක් කියවමින් සිටියාය. තාත්තා හෝ පුංචි අම්මා පෙනෙන්නට නොසිටියේ මේ මොහොතේ ඔවුන් නින්දේ පසුවන නිසා වන්නට ඇත.
“මොකද ළමයෝ මේ…හීනෙන්වත් බය වුණාද…ඔයා නිදාගෙන නේද හිටියේ…?”
මම ඈ අසලට දිව එන විට නැන්දා විමසුවේ කුහුළින් මා දෙස බලමිනි.
“අවීශ් ඇවිත්…” මම වටපිට බලමින් කීවේ පහත් හඬිනි.
“අම්මෝ…ඒකද මේ ගාල කඩා ගත්තා වගේ දුවන් ආවේ…මං බය වෙච්ච තරමක්…කෝ දැන්…?”
“ගේට් එක ළඟ…”
“එහෙනම් ගිහින් ගේට් එක අරින්නකෝ…ඒ ළමයාව එතන තියන් ඉන්නැතුව…”
නැන්දාට නම් කිසිම ගානක් නැත. මා බියෙන් සිටින්නේ තාත්තා නිවසේ නිසාය.
“අනේ මට බයයි…අද තාත්තාත් ගෙදරනේ…” පැකිළෙමින් මම කීවෙමි.
“මොකටද බය වෙන්නේ…? එයා යාළුවෙක් විතරයිනේ…වෙන මොකුත් නැහැනේ…ඒ ළමයා බය නැතුව ආවා නම් ඔයා ඇයි බයේ දඟලන්නේ…යන්න…යන්න…ගේට් එක අරින්න…”
නැන්දා අත රැඳි පොත පසෙක තබා කියන විට මම ගොස් ගේට්ටුව විවර කළෙමි. අවීශ් මා දෙස බලා සිටියේ නෙරවා ගත් දෑසිනි. ප්‍රසාද් රථය ගේට්ටුවෙන් මිදුලට දැමුවේය.
“ගේට්ටුව අරින්න ගිය වෙලාව…”
ඔහු නෝක්කාඩු කියන්නට වන විට මා මුවට සිනහා නැඟිණි. නැන්දා ඔවුන් පිළිගන්නා විට මම ගේට්ටුව වසා දමා ඔවුන් හා එක් වූණෙමි.
“අපි මේ ළඟට ආව ගමන් නැන්දා…”
අවීශ් නැන්දා හා එසේ කීවද එය බොරුවක් බව මම දැන සිටියෙමි. ඔහු නැන්දා සමඟ ගෙතුළට යන විට මම ප්‍රසාද් මොහොතකට ආලින්දයේ නවතා ගතිමි.
“ඔය බොරු නේ ප්‍රසාද් අයියා…?”
මම ඇසුවේ අවීශ් අප නිවසටම පැමිණි බව සැක හැර දැන ගන්නටය.
“මෙහේ තමා ආවේ මිස්…ගෙදර ඉන්න කම්මැළියි කිව්වා…ඔන්න ලෑස්ති වෙලා මෙහෙ යමු කියලා මාවත් ඇදන් ආවා…”
ප්‍රසාද් සිනහාසෙමින් කියන විට මා සිතේද සියුම් සතුටක් විසිර ගියේය.
“බලන්නකෝ…මහා බොරුමයි කියන්නේ…”
මම ප්‍රසාද් සමඟ ගෙතුළට එන විට අවීශ් පුරුදු කාරයෙකු මෙන් සුව පහසුව අසුන් ගෙන නැන්දා සමඟ කතා බහ අරඹා තිබිණි. ඔහු සිටියේ සැහැල්ලුවෙනි. තාත්තා අවදිව පිටතට පැමිණියා නම් කුමක් වෙනු ඇත්ද කියා මට සිතා ගන්නට නොහැකිය. තාත්තා අවීශ් හඳුනයි. ඔහු අවීශ් දැක කුමනාකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද කියා මා සිටියේ දෙගිඩියාවෙනි. සුළු මොහොතක් කතා බහ කරමින් සිටි නැන්දා ගෙතුළට ගියේ ඔවුනට බීමට යමක් සාදාගෙන එන්නටය.
“ළඟට ආවා කියලා බොරු නේ කිව්වේ…?”
අවීශ්ගේ දඟකාරකම දැන මම සිනහාසෙමින් කීවෙමි.
“මනමාලයන්ට විතරද මෙහෙ එන්න පුළුවන්…අපිට බැරිද…නේ ප්‍රසා…?”
එසේනම් මේ හිතුවක්කාර ගමනේ තේරුම එයයි. ඔහුගේ හඬේ වූ සොඳුරු නෝක්කාඩුවත් ඇනුම්පදයත් මට මනාව වැටහිණි. මම දෙතොල් තරයේ පියාන සිනහව සඟවා ගතිමි.
“මෙහේ ආව මනමාලයෙක් නැහැ ප්‍රසාද් අයියා…”
“මේක බඳින වයසක්ද නේද ආරණ්‍යා මිස්…?”
“ඒකනේ ප්‍රාසාද් අයියා…වෙන වැඩ නැතුවට…”
“අපි ආවට අවුල් වගේද දන්නැහැ නේ ප්‍රසා…? ගේට් එක අරින්නම පැයක් විතර ගියා…”
ඔහු තවත් ඇනුම්පදයක් එල්ල කළේය. අද නදීරාගේ තැන ගෙන ඇත්තේ ප්‍රසාද්ය. මම අවීශ් දෙස බැලුවේ රවමිනි.
“ඔන්න රවනවත් එක්ක ප්‍රසා…”
“රවන්න නෙවේ…දෙන්න ඕන හොඳ කෝටු පාරක්…” ඔහුව අවුස්සන්නට සිතා මම කීවෙමි.
“අපි යමු ප්‍රසා…ගුටි කන්න නෙවේනේ මෙහේ ආවේ…”
අවීශ් අසුන මතින් නැඟී සිටින විට ප්‍රසාද්ද ඔහු අනුගමනය කරමින් නැඟී සිටින විට මා තුළ තිගැස්මක් ඇති විය. ඔහු විහිළුවට කී දේ සැබෑවට ගෙන පිටව යෑමට සැරසෙන සෙයකි.
“අනේ…ම…”
වෙනත් යමක් කීමට අවකාශයක් මට නොවීය. ඔවුන් ඇසුන් මතින් නැඟී සිට ඇත්තේ තාත්තා එනු දැකය.
“අංකල්…”
අවීශ් සුහදව තාත්තා අමතන විට තාත්තා ගේ දෑස් එල්ල වූයේ පළමුව මා වෙතය. ඉන්පසු ඔහු අවීශ්ගේ හිස සිට දෙපතුළ දක්වා බැල්මක් හෙළුවේ නොපහන් දෑසිනි. දැන් කුමක් වනු ඇත්ද කියා සිතමින් මම සිත යටින් ගැහෙමින් සිටියෙමි.
“තාත්තා…මේ…”
මට ගොත ගැසිණි. වෙන වේලාවට ඔහු සමඟ එකටෙක පවා කියවන් යන මම මේ මොහොතේ ගොළුව යාම අරුමයකි.
“මම දන්නවා…අවීශ්නේ…මොකද මේ අවේලාවේ…?”
ඔහු ඇසුවේ පොල්ලෙන් ගසන්නාක් මෙනි.
“තාත්තා…එයාලා…”
“හරි…හරි…මං නිකන් ඇහුවේ…ඉඳගන්න ඉඳගන්න…”
ඔහු එපමණක් පවසා ඉවතට යන විට මා සිතට දැනුණේ සහනයකි. මීට වඩා දෙයක් නොවී බේරීම වාසනාවකි. ඔහු අවීශ්ට බැන වදිනු ඇතැයි කියා මා සිටියේ බියෙනි.
“මං හිතුවේ අල්ලන් දෙසයි කියලා…හිතුව තරම් අවුලක් නැහැ වගේ…”
මඳහසක් පාමින් අවීශ් කියන විට මා මුවටද නැඟුණේ සැහැල්ලු සිනහවකි. නමුත් තාත්තා මේ ගැන මා විමසන්නේ පසුව බව මම දැන සිටියෙමි. පුංචි අම්මාද කාමරයෙන් පිටතට විත් අවීශ් දැක තිගැස්මට පත් වූ බව මම දුටිමි.
තාත්තා පසුව මා විමසනු ඇතැයි කියා මා සිතුවද ඔහු කිසිත් නෑසුවේ මා පුදුම කරවමිනි. මින්පසු ඔහු පන්තිය අසළට පැමිණ ඔත්තු බලනු ඇතැයි කියා මම නොසිතමි. එසේ මුත් ඔහු මීට වඩා මා පිළිබඳව විමසිල්ලෙන් නම් පසු වනු ඇති බව මට සහතිකය. එය එසේ වූවත් මට කම් නැත. නංගි නිසා ඔහු පසුවන්නේ සිත් වේදනාවෙන් බව මම දැන සිටියෙමි.