Hima Mal Renu හිම මල් රේණු – 34 වෙනි කොටස
තාත්තාගේ අදහස වූයේ නංගීව ටික කලකට විදෙස් රටකට පිටත් කර යැවීමටය. පුංචි අම්මාගේද එයට විරුද්ධත්වයක් නොවීය.
“මෙයා මෙහෙ හිටියොත් මොනවා කරගනීද දන්නේ නැහැ…ජනක ළඟට යවන්න කියලා මං බැලුවේ…මිනිහටත් ළමයි නැති එකේ…ටික කාලෙකට හරි බලා ගත්තත් මදෑ…”
විදෙස් රටක සිටින තාත්තාගේ මිතුරෙකු පිළිබඳව සඳහන් කරමින් තාත්තා කීවද නංගී මෙය දැන ගත් විගස එයට විරුද්ධ වූවාය.
“මට බැහැ…මං යන්නේ නැහැ…” ඈ අඩි පොළොවේ හපමින් හිතුවක්කාර ලෙස කීවාය.
“යන නොයන එක බලාගමුකෝ…මෙදා පාර තාත්තා එක්ක ලේසි වෙන්නේ නැහැ…”
පුංචි අම්මා දැඩි බවක් පළ කරමින් කීවාය. ඈ මුල පටන් නංගීට මෙලෙස සිටියා නම්, මේ ප්‍රශ්න මෙලෙස දුරදිග නොයෑමට ඉඩ තිබිණි. අශ්වයා පැන ගිය පසු ඉස්තාලයේ දොර වසා පලක් නැත.
“ටෙලාන් ගැන දැන දැනත්…ඔයා තාමත් එයා ගැන හිතන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ…එයා තෙෂාරාව විතරක් නෙවේ…ඔයාවත් රැවැට්ටුවා… අර පොටෝ බලලාවත් ඔයාට බැරි වුණානේ ටෙලාන් කවුද කියලා තේරුම් ගන්න…ඒවා විතරක් නෙවේනේ…එයා තව කොච්චර නරක දේවල් වලට ඇබ්බැහි වෙලාද…”
නංගී තනිව සිටින මොහොතක් බලා මා ඈ සමඟ පැවසුවේ මෘදු හඬකිනි.
“කවුරු මොනවා කිව්වත්…මං ඔය කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ…”
ඈ උපහාසය මුසු සිනහාවක් පාමින් කීවේ මා දෙස නොසැළකිලිමත් බැල්මක් හෙළමිනි.
“ඔයාගේ කැමැත්තක්…මං ඔයාට අවවාද දෙන්න ආවේ නැහැ…අර කෙල්ලට තිබුණේ…මීට වඩා ලස්සනට මූණ අත ගාන්න…එහෙම වුණා නම්…ඔය ටෙලානයා දාලා ගිහින්…ඒ නැතත් තව ටික දවසක් යද්දී ඕක වෙනවා…”
නංගී විසල් කර ගත් දෑසින් මදෙස බලා සිටින විට මම කාමරයෙන් පිටතට ආවෙමි. පුංචි අම්මා දොර කඩ සිට ගෙන සිටි අතර මා කී දේවල් ඇයට ඇසෙන්නට හෝ අසා සිටින්නට ඇත.
“අපේ ප්‍රශ්න වලට ඔයා මැදිහත් වෙන්න ඕන නැහැ…ඒවා අපි බලාගන්නම්…”
ඈ උඩඟු ලෙස පවසන විට මා මුවට නැඟුණු සාවඥ සිනහාව සඟවා ගන්නට මට වුවමනා නොවීය.
“ඔයාලා මේ වහල යට ඉන්නකල්…මේක මගෙත් ප්‍රශ්නයක්…මොකද…මං මේකට මැදිහත් වුණේ…මගේ තාත්තා නිසා… තමුන්ගේ ප්‍රශ්න තමුන්ට විසඳගන්න බැරිව හත් පොළේ ගාගෙන තව ලොකු කමුත් කතා කරනවා…මේ ළමයා මෙහෙම මුරණ්ඩු වුණේ ඔයා නිසා…ඔයා කවදාවත් නංගීට නිදහස දුන්නේ නැහැනේ…පොඩි කාලේ ඉඳන් අපි එකට සෙල්ලම් කරද්දීත් ඔයා…ගමේ දුප්පත් උන් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා…එයාව ගෙට අඬ ගහ ගත්තා…ගමේ ඉස්කෝලේ ගොඩේ කියලා වෙන ඉස්කෝලෙකට දා ගත්‍තා…යාළුවෙක් ආශ්‍රය කරන්න දුන්නේ නැහැ…සමාජය ගැන දැනුමක් නැහැ…මුළින්ම දැකපු ටෙලාන් ලෝකේ හොඳම කොල්ලා කියලා රැවටුණේ ඒකනෙ…නැති ලොකුකමක් ඔළුවට දාන් කැපිලා පේන්න හැදුවා…දුප්පත් කොල්ලෙක් එක්ක යාළු වුණත් දුක නැහැ…දැන් පේනවනේ පොෂ් වෙන්න ගිහින් දෝණියන්දෑ කරන් තියන දේ…අන්තිමේදි කුඩු කාරයෙක් එක්ක යාළු වෙලා…මදිවට…අපිටත් ලොකු කම දානවා…මේ සේරටම වැරදි කාරයා ඔයා…මට මගේ අම්මව නැති කළා වගේ…තාත්තාවත් නැති කරනකල් ඇස් කන් වහන් බලන් ඉන්න බැහැ… තේරුණාද…?”
ඈ මා දෙස බලා සිටියේ ගිනිදළු පිටවන දෑසිනි.
“පෙනේද මෙයාගේ කට…?”
ඈ එසේ කීවේ කාටදැයි මම හිස හරවා බැලීමි. නැන්දා සිය කාමරයෙන් එළියට පැමිණ මේ සියල්ල අසා සිට ඇත.
“පේන්න දෙයක් නැහැ…මට හොඳට ඇහුණා…ඒ හැමදේම ඇත්තනේ..බොරු නෙවේනේ…අයියාට කියන්න ඕන දුව එක්ක අම්මවත් යවන්න කියලා… අහිකුණ්ඨකයෝ ගෙට දාගත්තට එයාටත් මේවා හොඳ පාඩම්…”
“අහිකුණ්ථකයෝ…? මං මේවාට බලෙන් රිංග ගත්තේ නැහැ…”
“බලෙන් ඇදන් ඇවිත් දාගන්න ඇති…මැරිච්ච මිනිස්සුන්ට සාක්ෂි දෙන්න පුළුවන් වුණා නම් සිද්ද වුණ දේවල් අපිටත් දැන ගන්න තිබ්බා…”
නැන්දාගේ ඒ කතාවෙන් පුංචි අම්මා මෙන්ම මාද තිගැස්සී ගියෙමි. පුංචි අම්මා තරප්පු පෙළ බැස ගියේ මට රවමිනි. නැන්දා කී දෙයින් පසුව මට අම්මාගේ මරණය පිළිබඳව යළිත් ඇති වූයේ සැකයකි. අම්මා මේ සියල්ල දැන සිටින්නට ඇත්ද…?
***** ***** ***** ***** ***** ***** *********** ***** ***** ***** ***** *****
නංගීගේ විදෙස් ගමනට කටයුතු සූදානම් වන අතර තුර තාත්තා ඔහුගේ මිතුරෙකුගේ පුතෙකු යැයි කී තරුණයෙකු නිවසට කැඳවාගෙන විත් අපට හඳුන්වා දුන්නේය. ඔහු ව්‍යාපාරික පාඨමාලාවක් හදාරන අතර තාත්තා සමඟ එකතුව වැඩ කටයුතු වල පුහුණුවක් ලබන බව කීවේය.
“අයියා මෙයාව ගෙදර එක්ක ආවේ ඇයි කියලායි මට පුදුම…” නැන්දා රහසින් මට කීවේ මා සිතූ දෙයමය.
“ඒකම තමා මාත් හිතුවේ නැන්දා…”
“කොල්ලා නම් නරකමත් නැහැ වගේ…”
ඈ මා දෙස වපරැහින් බලමින් කියන විට එය මා සිත් ගත්තේ නැත.
“ඒ කිව්වේ…?”
එය වැටහුණද නොවැටහුණාක් මෙන් මම ඇසුවේ පුංචි අම්මා දුව පනිමින් ඔහුට සංග්‍රහ කටයුතු සූදානම් කරන දෙස උපහාසය මුසු දෑසින් බලමිනි.
“ඔයා හිතන්නේ ඔයාලාගේ තාත්තා මෙයාව නිකන් ගෙදර එක්ක ආවා කියලද…මීට කලිනුත් වැඩ කරන තැන මිනිස්සු ගෙදර එක්ක ආවේ නැහැනේ… අනික මොන එහෙකටද අපිට විශේෂයෙන් අඳුන්නලා දෙන්නේ…?”
එම සිතුවිල්ල මා සිතේද ඇතිව තිබිණි. අපේ කතා බහ නැවතුණේ තාත්තා මා අමතන හඬ ඇසුණ නිසාය. මම ආලින්දයට යන විට නැන්දා ගේ මුවේ වූයේ සාවඥ සිනහාවකි. එය මා වෙත නොව සිය සොයුරා කෙරෙහි නැඟුණක් බව මම දැන සිටියෙමි. රෝවන් සමඟ කතා බහ කරමින් සිටින්නැයි පවසා තාත්තා ගෙතුළට වැදුණේ නොරිස්සුමක් මා සිතේ ඉතිරි කරමිනි.
“ඔයා ආරණ්‍යා නේද…? මම රෝවන්…”
ඔහු යළිත් වතාවක් තමාවම හඳුන්වා දුන්නේ තාත්තා ඔහුව අපට හඳුන්වා දුන් බව සිහි නැතිව මෙනි. මම නොපහන් දෑසින් ඔහු දෙස බැලුවේ එය තාත්තා පිටින් යවන්නට නොහැකි වීම ගැන කණගාටුවෙනි.
“ඔව්…එක පාරක් තාත්තා කියනවා ඇහුණා…”
සිතේ ඇති නොරිස්සුම සඟවා නොගෙනම මම කීවෙමි.
“ඉතින් නම මතක තියා ගත්තද…?”
ඔහු අසන විට මම තිගැස්මෙන් යුතුව ඔහු දෙස බැලුවේ කෝපයෙනි.
“හරි වැඩේ…මං මොකටද කාගෙවත් නම් මතක තියා ගන්නේ…පිස්සුවක් ඇතැයි…?”
එවිට ඔහු සිනහාසුණේ මෝඩ ලෙසය.
“ඔයත් කෝස් එකක් කරනවාලු නේද…?” තාත්තා එයත් ඔහු සමඟ කියා ඇත.
“හ්ම්ම්…”
“මැනේජ්මන්ට් කරන්න තියෙන්නේ…”
“ඒ ඇයි…?”
“කවදාහරි කම්පැනි එක හැන්ඩ්ල් කරන්න ඕන ඔයානේ…” ඒ ඇසූ මම තිගැස්සී ගියෙමි.
“කවුද එහෙම කියන්නේ…? මං ආස නැහැ ඕවාට…මං ජොබ් එකක් කරන ගමන් ස්ටඩී කරන්න ඉන්නේ…”
මම නොසතුටෙන් කීවෙමි.
“අයියෝ…පිස්සුනේ…ඔයා මොකටද ජොබ් එකක් කරන්නේ…? ඔයා ඉන්න ඕන ඔයාලගේ ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ…”
මා සිතේ ඇතිව තිබුණේ මහත් නොසන්සුන්තාවයකි. මොහු කෙරෙන් පලා යෑමේ වුවමනාව මට දැඩිව දැනෙන්නට වන විට මම වට පිට බැලීමි. එවිටම නැන්දා එහි පැමිණියේ නද දෙන මගේ ජංගම දුරකථනයත් අතැතිවය.
“දුව…ඔයාට කෝල්…”
මම වහා නැන්දා වෙත දිව ගොස් ඇගේ අතින් දුරකථනය අතට ගෙන එහි මුහුණත බැලීමි. පිට වන්නට ගිය සිනහව මම ආයාසයෙන් මැඩ ගෙන ඇමතුම මඟහැර දුරකථනය සවනේ තබාගෙන තරප්පු පෙළ නැඟ කාමරයට දිව විත් තනිව සිනහාසෙමින් සිටින විට නැන්දා ද කාමරයට පැමිණියාය.
“අම්මෝ…නැන්දා…ඔයාත් මරු…හොඳේ…”
ඇගේ මුවේ වූ දඟකාර සිනහව දැක මගේ සිනහාව උස් හඬින් පිට පැන්නේය.
“මට තේරුණා…මෙයා ඇඹරී…ඇඹරී ඉද්දී…ඒකයි කෝල් එකක් අරන්…ඔයාගේ ෆෝන් එක අරන් ආවේ…”
“තෑන්ක්ස් අනේ…හැමෝටම ලැබෙන්න ඕන ඔයා වගේ නැන්දා කෙනෙක්…එයා නම් මහ හිසරදයක් වෙලා තිබ්බේ…”
“තාත්තා මොකක් හරි පොටකට එනවා වගේ…ඒ මනුස්සයාව ගෙදරට එක්ක ඇවිත් මදිවට…මෙයා එක්ක තනියම දාලා ගියා…”
“නැන්දා මොනවා හරි නොකියා කියනවද…?”
“ඔයාට ඔය ටික නොතේරුණා වෙන්න බැහැනේ…එයා හදන්නේ රාවණ්ද කාවද ඔයාට ප්‍රොපෝස් කරන්න…”
“මොකක්…එතකොට එයා එහෙම කරයිද….?”
“කරයිද නෙවේ…කරලා ඉවරයි…”
“නැන්දා…! ඔයා මාව බය කරනවනේ…” මට කෑ ගැසිණි.
“බය නෙවේ…ඇත්ත…රාවණාගේ පෙනුම නම් වරදක් නැහැ…” මම නොසතුටු බැල්මක් ඈ වෙත හෙළීමි.
“රාවණ් නෙවේ අනේ…රෝවන්…මට නැතුවට හොඳයි…තාම රිසාල්ට්ස් ආවෙත් නැහැ…මඟුල් ජෝඩු කරන්න හදනවා…මළ විකාර…අනික එයාගේ ඔළුවෙම තියෙන්නේ බිස්නස් මයින්ඩ්…ඒ කතා කරපු ටිකටම මට එපා වුණා…”
“සල්ලි මත්තෙම නැහෙන මිනිස්සුන්ට ජීවිතේ විඳින්න අවස්ථාවක් කොහෙද…?” නැන්දාගේ කතාවට මමද එකඟ වූයෙමි.
***** ***** **** ****** ******* ****** *********** ***** **** ****** *******
තාත්තා නිවසට ගොඩ වන විට මා සිටියේ ආලින්දයේ හිඳගෙන රූපවාහිනි නරඹමිනි. ඔහු මා පසෙකම හිඳ ගන්නා විට මම හැරී තාත්තා දෙස බැලීමි.
“තේකක් ගේන්නද තාත්තා…?”
අසුන මතින් නැඟිටිමින් මම අසන විට ඔහු හූ මිටි තැබීය. ඔහු සිටින්නේ විඩාබරවය. මම පිටුපසට පැමිණ ඔහුට තේ කෝප්පයකුත් සාදාගෙන විත් යළි පෙර අසුනේම හිඳ ගතිමි.
“කොහොමද රෝවන්…හොඳද…?”
තාත්තා මාගෙන් අසන විට මම ඔහු දෙස බැලුවේ මවිතයෙනි.
“කවුද…?”
“අර උදේ ආව ළමයා…?”
“ඇයි…දැන් එයා ගැන මගෙන් අහන්නේ…එයා හොඳද, නැත්ද කියලා මං කොහොමද දන්නේ…තාත්තේ…? මං එයාව දැක්කෙත් අදනේ…”
නොසතුටත් නොමනාපයත් මුසුව මම කීවෙමි.
“නැහැ…නැහැ…මම නිකමට ඇහුවේ…”
තේ උගුරක් රස බලමින් තාත්තා යළිත් කීවේය.
“ඒක නිකමට ඇහුව වෙන්න බැහැ…අනික තාත්තා නිකමට දෙයක් අහන කෙනෙක් නෙවේනේ…වටින් ඇවිත් නාහේ අල්ලන්න හදන්නේ නැතුව කෙළින් කතා කරන්නකෝ…එයාව ගෙදර එක්ක ඇවිත් අපිට අඳුන්නලා දීලා…මාව තනියම ඒ මනුස්සයා එක්ක දාලා ගියේ ඇයි කියලා මට තේරෙනවා…තාත්තා එහෙම කළේ හිතේ යම් දෙයක් තියාගෙන නම් ඒක කවදාවත් සිද්ධ වෙන්නෙ නැහැ…”
ඔහු මා කී දේ කණකට ගත් බවක් හෝ පෙනෙන්නට නොතිබූ අතර නිහඬව තේ කෝප්පය පානය කර හිස් කෝප්පය ස්ටූලය මත තැබීය.
“එහෙම දෙයක් වුණොත් ඒක කොච්චර හොඳද කියලා ඔයාට හිතෙන්නේ නැද්ද…?”
ඒ ඇසූ මා සිත අභ්‍යන්තරය තිහැස්සී ගියේය.
“හොඳක්…! මොන හොඳක්ද…? දැන් තාත්තා ඇයි මට මෙහෙම දෙයක් යෝජනා කරන්නේ…? මම තාම ඉගෙන ගෙන ඉවරත් නැහැනේ…ඇරත් නොදන්න කෙනෙක්ට…”
“තාම මොකුත් තීරණය වෙලා නැහැනේ…ඔයා නිකන් කළබල වෙලානේ…”
“තාත්තා සේරම තීරණය කරලා නේද එයාව මෙහේ එක්ක ආවේ…? මට ඔය කාගෙන්වත් වැඩක් නැහැ…මට අරමුණක් තියනවා…මට ඒක කරගන්න ඉඩ දෙන්න…අනික තමා මම කාටවත් ඕන විදියට මැරි කරන්නේ නැහැ…තාත්තා කිව්වා වුණත්…මට ඒකට හදිසියකුත් නැහැ…”
මම දැඩි හඬින් එසේ කීවෙමි.
“ඔයාගේ තීරණේ ඒක නම්…මේකත් හොඳට මතක තියාගන්න…ඔය ඔළුවේ තියන් ඉන්න ඒවත් කරගන්න මං ඉඩ දෙයි කියලා හිතන්න එපා…”
“තාත්තා මොනව ගැනද කතා කරන්නේ…?” නොසතුටු හඬකින් මම ඇසීමි.
“මොනවා ගැනද…? අර දැරණියගලගේ පුතණ්ඩියාව තාම මුණගැහෙනවා කතා බහ කරනවා කියලා මං දන්නවා…”
“තාත්තා ඒ පාර ඔත්තු බලන්නත් පටන් ගත්තද…? අනික් ඉතින් මම අමුතුවෙන් ක්ලාස් කට් කරලා …එයාව මුණ ගැහිලා…කතා බහ කරන්න ගිහින්…කෙල්ලන්ගෙන් ගුටි කාලා ආවේ නැහැනේ…ඒ ළමයා අපි එක්කම ඉගෙන ගන්නවා…අනික කුඩු කාරයෙකුත් නෙවේ…”
උපහාසය මුසුව මම වචන වලින් පහර ගැසීමි. තාත්තා නිහඬය. ඔහුටද කර කියා ගන්නට දෙයක් නැති සෙයකි.
“ඕනවට වඩා මුණ ගැහෙන්නත් ඕන නැහැ…එච්චරයි.”
අවසානයේ ඔහු කීවේ වෙන කියන්නට දෙයක් නැති නිසා වන්නට ඇත.
“කවුද ඕනවට වඩා මුණගැහුණේ…? අනික තාත්තේ…අපි මුණ ගැහෙන්නේ කතා බහ කරන්නේ…අපි මැරි කරන්න කියලද තාත්තා හිතන්නේ…? මං එදත් කිව්වනේ…අපි යාළුවෝ…අපි අතරේ තියෙන්නේ යාළුකමක්…එහෙම අෆෙයාර් එකක් තිබ්බා නම්…මං ඒක පිළිගන්න බය වෙන්නෙත් නැහැ…ඇඹරී ඇඹරී ඉන්නේත් නැහැ…මට කොන්දක් තියනවා…සැරෙන් සැරේට ඕක අහන්න එපා…මං ඒ ළමයා එක්ක කතා බහ කරන එකටත තාත්තා මොකද ඔච්චර බය…?”
“බය…මං මොකටද බය වෙන්නේ…?”
“තාත්තා බය…මං පරණ දේවල් දැන ගනියි කියලා….නේද…?”
“පරණ දේවල්…ඒ මොනවද…?”
“මං දන්නේ නැහැනේ…”
“ඒ මිනිහා මාව නැති කළා…ඔයා ඒ මිනිහගේ පුතා එක්ක යාළුකම් තියා ගන්න එක මං සද්ද නැතුව බලන් ඉන්න ඕනද…?”
තාත්තාගේ හඬ පෙරට වඩා කෝපයෙන් පිරී තිබිණි. ඔහු දැරණියගලට මෙතරම් වෛර කරන්නේ මන්ද…?