Hima Mal Renu හිම මල් රේණු – 32 වෙනි කොටස
සෙනසුරාදා දිනක් වූ එදින අපට පන්ති නොමැති දිනයකි. මම නදීරාගේ නිවසට පැමිණියේ අවීශ් මුණ ගැසෙන වුවමනාව නිසාය. ගුණතුංග මාමා මා හැරලවා ආපසු පිටත්ව ගියේ සවස යළි මා කැඳවාගෙන යෑමට එන බව පවසමිනි. මා යන විටත් අවීශ් එහි පැමිණ සිටි අතර ඔහු පැමිණි ට්‍රේල් වර්ගයේ යතුරු පැදිය පෝටිකෝව යට නවතා තිබිණි. එය දුටු සැණින් මා සිතේ එහි නැඟී රවුමක් යෑමට ආසාවක් ඇති වූයේ මා කවදාවත් යතුරු පැදියක ගමන් කර නොතිබුණු නිසාය.
“නදීරා…මට බයික් එකේ රවුමක් යන්න ඕන…”
යතුරු පැදියේ හැඩ බලමින් මම ඒ වටා රවුමක් කැරකී කීවේ එයින් නැඟුණු අමුතුම සුවඳට ඉව අල්ලමිනි.
“ඔව්.අනේ…මාත් මේ කිය කියා හිටියේ… අපේ අම්මා නම් කෑ ගහයිද දන්නැහැ…ඔයාටත් දැන් අවීශ් එක්ක ගමන් බිමන් තහනම් නේද…?”
ඈ එසේ පවසන විටම අවීශ් මා වෙත ඉක්මන් බැල්මක් හෙළුවේය. මා අද පැමිණියේත් ඔහු සමඟ මේ ගැන කතා කරන්නටය. ඒ දෑස් වල මවිතයක් රැඳී තිබිණ.
“ඒ ඇයි නදීරා…?”
මා පිළිතුරක් දීමට පෙර අවීශ් ඇසීය. මම ඔහුට තාත්තා පැවසූ දෑ කියන විට ඔහු පුදුමයෙන් අසා සිටියේය.
“ඒ මොකද නදීරා එයා මා එක්ක එච්චර තරහා…? මං එයාව දැකලාවත් නැහැනේ…”
“තරහා ඔයා එක්ක නෙවේ අවීශ්… ඔයාලගේ තාත්තා එක්ක…”
නදීරා කීවේ නොකිව යුතු දෙයක් වුවද දැන් එයට පමා වැඩිය.
“ඒ ඇයි…?”
දැන් ඉතින් ඔහුට සියල්ල පවසන තුරු ඔහුගෙන් ගැළවීමක් නොලැබෙනු ඇත. ඔහු සමඟ මම කෙටියෙන් මා දන්නා තොරතුරු පැවසීමි.
“අම්මාවත් මට මේ ගැන මොකුත් කියලා නැහැනේ…”
අවසන ඔහු පුදුමයෙන් පැවසීය.
“මේ ගැන අම්මාගෙන් අහන්න එපා අවීශ්…” නදීරා වහා කීවාය.
“ඒ වුණත් මේ ගැන හොයන්න ඕන…සාමාන්‍යයෙන් නම් ඔය බිස්නස්මන්ලා කැමති එහෙම පවුල් දෙකක් එකතු වෙනවාටනේ…ඔය හින්දි මුවීස් වල වුණත් වෙන්නේ එහෙමනේ…මෙතන ඒකේ අනික් පැත්ත…”
“දැන් එහෙමද ආසා…බිස්නස් පවුල් දෙකක් එකතු වෙන්න…?”
නදීරා කියන විට මා සිත පුරා ලැජ්ජා මුසු හැඟීමක් විසිර ගියේය. අවීශ් එයට සිනහාසුණද දැන් මෙහි අලගිය මුළගිය සියල්ලම සොයන්නට පටන් ගනු ඇතැයි කියා බියක් මා සිතේ ඇති විය.
“ඔය මොකුත් හාරා අවූස්සන්න යන්න එපා නදීරා…පුංචි අම්මා තාත්තට කේළම් කියපු නිසයි මෙහෙම වුණේ…එයාට ඉතින් කෙඳි ගහත් ඇති කන්දක් කරන්න…නංගීගේ ප්‍රශ්න නිසා තාත්තා ඉන්නේ අවුලෙන්…ඒ අතරේ අරයා තවත් විෂ බීජ ඔළුවට දානවා…”
අපි අතර මොහොතක නිහැඬියාවක් පැතිර ගිය අතර නදීරාගේ අම්මා නීලියා ඇන්ටි අපට බීම සාදාගෙන පැමිණියාය.
“අද දවල්ට කාලා යන්න ඉන්න ඕන ඔයාලා…මම මේ තකහනියේ උයනවා ඔයාලටත් එක්කම හොඳද…?”
ඈ එසේ කියා විගස ගෙතුළට දිව ගියාය.
“අම්මට උදව්වක් වත් දෙන්න එපා…”
අවීශ් නදීරා අවුස්සන්නට කීවේය.
“අනේ ඉන්නවා මෝඩයා…මං පොල් ගාලා එළවළු ටික කපලා තියලා ආවේ…මයුරි ආන්ටි ඉන්නවානේ උදව්වට…”
මුහුණ ඇද කරගත් නදීරා කීවාය. මම බීම උගුරක රස බැලීමි.
“අපේ තාත්තා මාව ඕස්ට්‍රේලියා යවන්න හදන්නේ…”
අවීශ් පැවසූ පුවතින් මා සිත සෙළවී ගියේය. නදීරා එක්වරම බැලුවේ මා දෙසය.
“ඉතින් ඔයා යනවද…?”
මා අසන්නට මුව විවර කරන පමාවට නදීරා ඇසුවාය.
“මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරන්නලු…මං තාම මොකුත් කිව්වෙ නැහැ…” සුසුමක් හෙළමින් ඔහු කීය.
“ඉතින් ඒක හොඳයි නේ නදීරා…කවදාහරි ඔය බිස්නස් බලාගන්න වෙනවනේ…” මම කීවෙමි.
“මං ආස නැහැ යන්න…ඩිග්‍රී එකක් මෙහෙ ඉඳන් වුණත් කරන්න පුළුවන්නේ…අනික ඉතින් අවුරුදු තුනක් වත් ඉන්න වෙයි…” එය නම් ඉතා දිගු කාලයකි.
“ඕක ඉක්මනට ගෙවිලා යයි…”
සිතේ වූයේ එකක් වුවද මා කීවේ අනිකකි.
“අවුරුදු තුනක් කියන්නේ නදීරා මාස තිස් හයක්…සති එකසිය හතළිස් හතරක්…දවස් වලින් එක්දාස් අනූ පහක්…පැය වලින් ගත්තොත් විසි හයදාස්…”
“අම්මෝ…අම්මෝ…අවීශ්…ඇති…ඇති… ඔයා ගණනුත් බැලුවද…?” නදීරා ඔහු වළකාලමින් කීවාය.
“මම එහේට වෙලා තනියම ඉද්දී…අනික් අය ෆුල් ෆන් එකේ ඉඳීවි…”
ඔහු ඒ කළ නෝක්කාඩුවට මා මුවට සිනහා නැඟිණි.
“ඔය කිව්වාට අනික් අයටත් ඉන්න බැරි වෙයි…”
මා සිතේ සතුටක් ඇති කරමින් නදීරා කීවාය. මම අවීශ් දෙස බැලුවේ යටැසිනි. ඔහුද එය එසේදැයි අසන බැල්මකින් මදෙස බලා හිඳියි.
“මටත් ඉන්න බැරි වෙයි නදීරා…මේ රටේ නම් කොතනක හරි ඉන්නවා කියලා හිතලා හිත හදාගන්න තිබුණා…ඉඳලා හිටලා හරි මුණ ගැහෙන්න පුළුවන්…ඒත් ඉතින්…එච්චර දුර ගියොත්…?”
“එහෙනම් ඇයි නදීරා මට යන්න කියන්නේ…?”
“යන්නම වෙනවා නම්….නවතින්න කියන්න බැහැනේ නදීරා…අනික ඉගෙන ගන්න දෙයක් අපතේ යන්නේ නැහැනේ…”
“ඒක මෙහෙ ඉඳලත් කරන්න පුළුවන්නේ නදීරා…අනික මං කැමති නැහැ දැන් ලංකාව දාලා යන්න…”
“හේතුව කියන්න ඕන නැහැ අවීශ්…ඒක මං නම් දන්නවා…”
නදීරා කීවේ දෑස් නටවමින් මනමාල බැල්මක් මවෙත හෙළමිනි.
“දැන් එතකොට අපිට එකට ගමනක් බිමනක් යන්න තියා නිදහසේ කතා කරන්නවත් බැරි වෙයිද නදීරා…?”
අවීශ් අමතකව ගිය මුල් කතාව නැවත ඇද ගෙන ඇසුවේය.
“මේ විදියට තමා…”
“නිදහසේ හමු වුණාමවත් කතා කරනවා නම් බැරියැ…පව්…නදීරා…නදීරා…නදීරා…”
ඈ කියන විට මාත් අවීශුත් මුහුණින් මුහුණ බලා සිනහා පෑවෙමු. එදින නදීරාගේ තාත්තා නිවසේ නොසිටි නිසා අපට මෙලෙස නිදහසේ කතා බහ කරන්නට සුදුසු පරිසරයක් එහි විය.
“නදීරා…ආසද බයික් එකේ රවුමක් යන්න…?”
දිවා ආහාරයෙන් අනතුරුව මිදුලේ බංකුව මත හිඳගෙන සිටින විට අවීශ් ඇසුවේය. එවිට නීලියා ඇන්ටිද අප සමඟ විය. මසිත පිම්මක් ඉදිරියට පැන්නද නදීරාගේ අම්මා සිටින නිසා මට කිසිත් කීමට හැකියාවක් නොවීය. නදීරා අම්මා දෙස බැලුවේ එයට අවසර පතමිනි.
“හා…හා…පරිස්සමෙන් ගිහින් එන්න… තාත්තා එන්න කළින්…” ඈ එසේ අවසරදී ගෙතුළට ගියාය.
“නදීරා…ඔය කොට සායවල් ඇඳන් බයික් එකේ යන්න බැහැ…එක්කෝ ජීන්ස් එකක් හරි…දිග ගවුමක් හරි ඇඳන් එනවා…” අවීශ් ඇයට විහිළු කළේය.
“හරි…හරි…මං.ඇඳන් එන්නම්…එතකල් ආරණ්‍යා එක්ක යන්න…අලුත් බයික් එකේ මාව මුළින්ම තියාගෙන ගියොත් සමහර අයට ඊර්ෂ්‍යා හිතෙයි…”
ඈ මට ඇනුම්පයක් එල්ල කරමින් වහා ගෙතුළට දිව ගියාය.
“එහෙම ඊර්ෂ්‍යා හිතෙයිද…?”
ඔහු ඇසුවේ මා දෙස බලාන නොව ඉවත බලාගෙනය. පසුව මා දෙස හැරී බැලුවේ මා එයට දෙන පිළිතුර කුමක්දැයි දැන ගන්නා අටියෙනි.
“න්…නැහැ…මොකට ඊර්ෂ්‍යා වෙන්නද…? නදීරා කියන්නේ අපි දෙන්නගෙම යාළුවානේ…”
මට වුවමනා වූයේ ඔහු සිත සියුම්ව රිදවන්නටය. නමක් නොමැති මේ අමුතු බැඳීමට මම ආදරය කරමි. එය ආදරයම නොවේ. මිතුරු දමක්ද නොවේ. ඊට එහා ගොස් නැවතුණ ආත්මීය බැඳීමක් වන්නට ඇත. ඉන්පසු ඔහු කිසිත් නෑසු අතර අපි ඔහේ නිහඬව බලා සිටියෙමු. නදීරා වැඩි වේලා යන්නට පෙර පිටතට දිව ආවාය.
“කෝ ගියේ නැද්ද…? යන්නකෝ අනේ…”
ඈ බල කරන්නට වූවාය. අවීශ් යතුරු පැදිය දෙසට යන විට මමද ඔහු පසුපස ඇදුණෙමි. ඔහු යතුරු පැදිය පණ ගන්වාගන්නා විට මම එයට නැඟුණෙමි. සිතට බිය මුසු හැඟීමක් දැනුණද එය සැණෙන් පහව ගියේ අවීශ් ළඟ සිටින බව දන්නා නිසාය. ඔහු කෙරෙහි එවන් විශ්වාසයක් සිත තුළ වීම පුදුමයකි.
“මේ…ලැජ්ජ නැතුව හයියෙන් අල්ලා ගන්නව…මෙයා යන වේගේට විසිවෙලා වැටුණොත් පාර්ට්ස් හොයන්න පංචිකාවත්තට ගියත් බැරි වෙයි…”
නදිරා මට විහිළු කරන විට මම අවීශ් ගේ බඳ වටා දෑත යවා ඔහුව දැඩිව අල්ලා ගතිමි. ඔහු ගැල්වූ විළවුන් සුවඳ මට වඩාත් ලංව දැනිණි.
දෙවියනේ…! මේ මා තරුණයෙකුට සමීප වූ පළමු වතාවය. ඔහුගේ සිරිරේ උණුසුම මා ගතට දැනිණි. මා හද ගැස්ම වේගවත් වන්නට වූයේ නුපුරුදු යතුරු පැදියට නැගුණ නිසා නොවේ. මහ හඬක් නඟමින් පණ ගැන්වුණු යතුරු පැදිය මාවතට සෙමෙන් දමා ඔහු මඳ දුරක් යන තුරු එය පැදවූයේ සෙමෙනි. ප්‍රධාන මාවතට එය දමා ඔහු වේගයෙන් එය පදවන විට මම ඔහුගේ බඳවටා දෑත යවා ඔහුට තුරුළුව සිටියෙමි. මෙවන් අත්දැකීමක් මා ලැබූ පළමු වතාව මෙයයි. ඇද වැටේවි යැයි බියෙන් මම තව තවත් ඔහුව තදින් අල්ලාගෙනම සිටියෙමි. තද සුළං මා කම්මුල් සිප හමාගෙන ගියේය. කොපමණ දුරක් මම ඔහු සමඟ ගමන් කළාද කියා මට නිනව්වක් නැත. සුළඟ දිගේ මා පාවී යන බවක් පමණක් මට දැනිණි. වට රවුම් කීපයක් ගොස් අප නැවත නදීරාගේ නිවස වෙත එන විට ඈ නොසතුටෙන් බලා සිටියාය. අවීශ් පසුව ඇයවද නංවාගෙන ඉඟිළ යන විට මම ගෙතුළට ආවෙමි.
***** ***** ***** ***** ***** ****** *********** ***** ***** ***** *****
පරිසරය පුරා වූයේ වැහි මන්දාරමක ළකුණුය.අහස අළු පැහැ සළු පිළි පොරවාගෙන සිටියේ අවමඟුලකට සහභාගී වන්නට මෙනි. තව සුළු මොහොතකින් ඈ හඬා වැටෙනු ඇත. ඉඳහිට ඇදී යන විදුලි රේඛා වල සටහන් ජංගම දුරකථනයට හසු කරගන්නට මා දැරූ උත්සාහය නිරර්ථක වූයෙන් හෙම්බත්ව මම කාමරයට පැමිණ යහන මත හිඳ ගෙන අවීශ් ගේ සිතුවම දෙස නිහඬව බලා සිටියෙමි.
“අනේ…තාත්තේ…”
නංගී කන් බිහිරි කරවන තරම් විලාප හඬකින් කෑ ගසන විට මම තිගැස්සී ගොස් වහා පහළට දිව ආවේ බියෙන් තැති ගැන්මෙනි.
“මේකි හිමිජ්ජී වගේ ඉඳන් කරන ඒවා…”
තාත්තා ඇයට පහර දෙමින් කෑ ගසන විට පුංචි අම්මා නංගී බේරා ගන්නට දැරූ තැත නිසා ඇයටත් පහර කීපයක් කෑමට සිදු විය. මම දුව ගොස් නංගී පසෙකට ඇද ඇයව ගලවා ගතිමි. කුමක් සිදු වූවාද කියා මට වැටහුමක් නොවීය. නංගී තාත්තාගෙන් පහර කා හෙම්බත්ව මා වැළඳගෙන හඬමින් සිටියාය.
“මොකද අනේ මේ…?”
නැන්දා කොහේදෝ සිට දිව ආවේ එවිටය.
“තමුසෙ තමා මෙයාව හුරතල් කරලා නාස්ති කළේ…දැන් මේකි මගේ කන් දෙකෙනුත් රිංගන්න ලෑස්තිය…මේකිට මොනවා හරි වුණොත් ඒකට වග කියන්න ඕන තමුසෙයි මනෝරි…”
නංගී මා කෙරෙන් මිදී තරප්පු පෙළ නැඟ ඉහළ මහලට දිව ගියාය. සිදුව ඇති දෙය අප දැන ගත්තේ පසුවය. පුංචි අම්මාගේ ජංගම දුරකථනය ගෙන නංගී ටෙලාන් සමඟ රහසේ කතා බස් කරමින් සිටින විට තාත්තා නිවසට ගොඩ වී ඇත. ඔහු පැමිණි බව හෝ නොදත් නංගී ටෙලාන් සමඟ කරන කතා බහ තාත්තා සවන් වැකී තිබිණි. මුළු නිවසම මහා නිහැඬියාවක ගිලී ඇත. පිටත ඇද හැළෙන මඳ වැස්ස මූසළ හැඟීමක් සිතේ ඇති කළේය.
“මේ කෙල්ලට ලැජ්ජා නැහැ…මං හිතන් උන්නේ මේවා දැන් ඉවර ඇති කියලායි…”
සුසුමක් හෙළමින් නැන්දා කීවාය. බොහෝ වේලාවකට පසු මම නංගී සොයා ඇගේ කාමරයට යන විට පුංචි අම්මාගේ හඬ මට ඇසිණ.
“එහෙම මොකුත් නැහැ…කියා…කියා…දිවුර…දිවුර… කිව්වා නේද…මගේ ඇස් වලටත් වැලි ගහලා…මටත් ගුටි කන්න වුණා… තමුන්ට ගැළපෙන එකෙක්ව එපැයි යාළු වෙන්න…මේ රටේ වෙන කොල්ලෝ නැත්ද…?”
පුංචි අම්මා කෝපයෙන් දොස් නඟන හඬ ඇසෙන විට මා මුවට නැඟුණේ සෝපාහාසය මුසු සිනහාවකි.
“ඔයත් එන්නේ මට අවවාද දෙන්න…ඔයාත් එහෙනම් අර අවීශ් කියන එකාගේ තාත්තා එක්ක යාළු වෙලා හිටියේ ඔයාට යාළු වෙන්න වෙන මිනිස්සු මේ රටේ හිටිය නැති නිසාද…?”
නංගීගේ හඬේ වූ කෝපයත් උපහාසයටත් වඩා මා තුළ තැති ගැන්මක් ඇති වූයේ ඈ කී දේ ගැනය.
“දෙවියනේ…!”
එසේ නම් පුංචි අම්මාත් දැරණියගල සමඟ සම්බන්ධයක් පවත්වාගෙන ගියාද…?
“මොකක්ද උඹ කිව්වේ…?”
ඈ නංගීට කම්මුල් පහරක් ගසන්නට ඇත. මා සවන් වැකුණේ එයයි.
“උඹ කතා කරන්නේ කාටද කියලා දන්නවද…මං උඹේ අම්මා…උඹට කවුද ඔය කතා කියන්නේ…ටෙලානයාද…?”
“මොකා කිව්වත් ඒක බොරු නෙවේනේ…”
“කට වහපන්…තාත්තගෙන් ගුටි කාලා බේරුණා වගේ නෙවේ…උඹව මං හම ගහනවා…දැන ගනින්…”
මම හුන් තැනින් මෑත් වූයේ තවත් සිත කම්පා කරවන සුලු දෙයක් සවන් වැකුණ නිසාවෙනි. මේ ගැහැණියත් එසේ නම් පත්තිනි අම්මා කෙනෙක් නොවේ.
ඈ නංගීට උපදෙස් දෙන්නේ දැන්ය. කළකිරීමක් මා සිතට දැනුණේ මේ ඇසූ පුවත නිසාම නොව නංගීටද කිසිවක් වටහා දීමෙන් පළක් නොවන බව දැනය.
ඈ ටෙලාන්ට බැඳී සිටියේ ඔහු කෙරෙහි වශී බන්ධනයක් කර ඇතිවාක් මෙනි. අවීශ් එවූ ටෙලාන්ගේ ජායාරූප මම ඇයට පෙන්වූ මොහොතේ පවා ඈ නොසැළකිලිමත් ලෙස ඒවා දෙස බැලුවා මිස ඒ පිළිබඳව තැකීමකුද නොකළාය. මම යළිත් නැන්දා සොයා පැමිණියේ සිත තුළ වූ නොසන්සුන් බව නිසාමය.
“මේවා කොහෙන් කෙළවර වෙයිද මංදා ළමයෝ…”
ඇගේ හඬේත් වූයේ කළකිරීම් මුසු බවකි.
“ඕවා හිතද්දීත් ඔළුව රිදෙනවා…”
නැන්දා මා දෙස බැලුවේ නොපහන් දෑසිනි.
“ඔයා මොකටද අනුන්ගෙ ප්‍රශ්න ඔළුවට දාන් ඔළුව රදේ හදා ගන්නේ…”
ඈ කී කතාව සැර වැඩිදෝ කියාත් මට සිතිණ.
“අනුන්ගේ නෙවේනේ නැන්දා…”
“ඔයා තමුන්ගේ කියලා හිතලා…එයාලා ගැන කටයුතු කළාට…ඔයා හිතන්න එපා එයාලා ඔයා ගැන එහෙම හිතයි කියලා…ඕක වුණේ ඔයාට නම් මෙලහකට මෙතන මොනවා වෙලා තියෙයිද දන්නැහැ…එහෙනම් අපි දෙන්නාවම එළියට ඇදලා දාලා…එමට අම්මණ්ඩි…”
ඈ කියන දේද සත්‍යයකැයි මටද පෙනී ගියේ මෙවිටය.
“මේවා ඒ කෙල්ල විහින් කර ගත්ත ඒවා…ඕවා හිතුවක්කාරකම් විතරක් නෙවේ…ජන්මෙන් එන ඒවා…ඒවා නැතිකරගන්න බැහැ…”
නැන්දාද නොකියා කියන්නේ පුංචි අම්මා ගැනය. එසේ නම් ඇයත් දන්නා කතාවක් මෙහි ඇත. මීට පෙරත් ආච්චි අම්මා සමඟ ඈ කුමක් හෝ පැවසු බවක් හදිසියේ මට සිහි විය. එසේ නම් ඒ කතාව සත්‍යයක්ද..?