FeaturesDonilaye AmmeDonilaye Amme - 04 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 04 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – 04 දෝණිලයෙ අම්මේ

මෑතක විවාපත් වූ මල්ලී කෙනෙකු කී කතාවකි මේ. “ඕං දැන් අපිත් අයියලාගේ බෝට්ටුවේ… ආතල් ගත්තු කාලේ ඉවරයි..” එය සාමාන්‍ය සරල කියමනක් වූවද, ඇතුලේ සංකීර්ණ සමාජ කාරණයක් කියවේ. බොහෝ පුළුල් විවරණ වෙත නොගොස් තේරෙන භාෂාවෙන් කියතොත්, මේ කියන්නේ “කසාදෙන් පස්සෙ සැහැල්ලු ජීවිත බැරෑරුම් කරගත යුතුය..” යන්න නොවේද..? “බඳිනවා” යන වචනය තුළම මිනිස්සු මානසිකව බිඳෙනවා. ඇතුළතින් හදාගත් භයංකාර සිතුවිල්ලක මැරෙනවා. කසාදයක් කියන්නේ අමුතු ලෝකයක්, ඒ තුළ අපි අමුතු මිනිස්සු වෙනවා කියන මතය,මේ සමාජය තුළ නිර්මාණය කර අවසන්. ප්‍රේමයේ සරල මාවත් දිගේ පහසුවෙන් ඇවිදගිය මිනිස්සු විවාහයත් එක්ක මහා බර,කුදු,වක මිනිස්සු වෙන්නේ ඒකයි. අපි හිතෙන් උගුල්ලලා වීසී කරන්න ඕනේ කසාදය ගැන ඇති ඒ වැරදි කියැවීම.

“මේහ්ංං…”

දෝණිලයෙ අම්මා එයාගේ ෆෝන් එක මගේ දිහාට දික් කරගෙන හිටියා. ඒකේ කවුදෝ නෝන කෙනෙක් කාන්තාවගේ අයිතිවාසිකම් ගැන වේගවත් කතාවක් කරනවා. අහන්න ප්‍රියක් නැති දරඳඩු ,අපැහැදිලි බර වචන ගොඩාක් ඒ කතාව ඇතුලෙ ඇහෙනවා. දුන්නු පලියට මං ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉද්දි මට එකපාරටම හිනා ගියා. දෝණිලයෙ අම්මා මගෙන් ෆෝන් එක උදුරලා ගත්තෙ මූණ එල්ලගෙන.

” ඇත්ත තමා… මිනිස්සුන්ට ඕනේ හිනාවකින් හරි ගෑණුන්ව පාගලා හෑල්ලු කරන්න…”

ඒ වචන දෝණිලයෙ අම්මගෙ කටින් කියවුණාට,ඒව ඔක්කොම මට ඇහුණේ අර වීඩියෝ එකේ කතා කරපු නෝනගේ හඬින්. ඒ වීඩියෝ එක පිටිපස්සෙන් තව ජනප්‍රිය නෝනලා කීප දෙනෙක් හිටගෙන හිටියා මතකයි. සමහරු කසාද නොබැඳපු අය,තවත් අය කසාද නොබඳින බව කියන අය,තව අය බැඳලා ලිහුන අය. මේ තුන්ගොල්ලගේ අත්දැකීම් එකතු කළානම් කාන්තාව සහ ඇගේ අයිතිය ගැන මොනතරම් ලස්සන සංවාදයක් ගොඩනඟන්න තිබුණාද කියලා මට නිකමට හිතුණා. මං දෝණිලයෙ අම්මා දිහා බැලුවෙ ඒ අදහස එයා එක්ක බෙදාගන්න හිතාගෙන. එයා එක ඇලේකට හැරිලා සැටියෙ ඇන්ද උඩින් අත් දෙක තියාගෙන තාම අර වීඩියෝ එකේ. ඉහලට ඇදුනු බ්ලවුස් එක අගින් එයාගේ උදර කොටසකුයි,නාභි කොටසකුයි මට පේනවා. දෝණිලා දෙන්නා දරාගත්තු බරේ සළකුණු තාම උදරය පුරා ඉරි ඇඳලා. නාභිය හැකිලිලා උදරය මත ගිලිලා. මට මතක් වුණේම ඒ දවස්වල එයා සාරිය අඳිද්දි උදරය මත කුඩා ඉරක්ව තිබුණු නාභිය. කොල්ලො ළඟින් යද්දි සාරි පොට ඇදලා නාභිය හංඟගන්න ඒ මතකයේ නාභිගත වීම මගේ ඇඟ උණුසුම් කළා. ඒ දවස්වල එයා ඔෆිස් එකේ මේස අතර ෆයිල් එක්ක කඩිසරව දුවන හැටි මතක් වුණා. ඇඟේ හැම සියුම් රේඛාවක්ම චලනය වෙන ඒ ගමනට අපේ කොල්ලෝ කීවේ “නැට්ටුක්කාර ගමන” කියලා. මගේ කම්මුල් ඇදිලා තොල් පලල් වෙනවා මට දැණුනා. මං අතේ මහපටැඟිල්ලයි,දබරැඟිල්ලයි එකතු කරලා එයාගේ ඉන මිරිකුවා. දෝණිලයෙ අම්මා උඩ ගිහින් පුටුවෙන් නැඟිට්ටා. ෆෝන් එක බිමට වැටිලා කෑලි කීපයකට වෙන් වුණා.

“පිස්සු හැදීගෙන එනවද මන්දා….අපි ටිකක් නිදහසේ ඉන්නකොට ඇහේ කටු ඇනෙනවද ඔහේලගේ……”

තවත් මොන මොනවදෝ කිය,කියා ෆෝන් එකේ කෑලි ටිකත් අහුලාගෙන එයා ගෙට රිංගුවා. දෝණිලයෙ අම්මගෙ වචන මට පුරුදුයි. ඒත් මොකක්දෝ හේතුවකට හිත ටිකක් ගැස්සුනා. මං හිමීට කුස්සියට රිංගුවා. පැන්ට්‍රිය කොනක හංඟලා තිබුණු බාග බෝතලෙන් වීදුරු දෙකක් විතර අමුවෙන්ම කටට හලාගෙන මාබල් මේසේ උඩට පැනලා ඉඳගත්තා. ඔය ෆෝන් එකට එයා හරි ආදරෙයි. එයාගේ පළවෙනි පඩියෙන් අපි දෙන්නම ගිහිං මහරගම “ඇමිටි” බිල්ඩිමෙන් ඕක ගත්තෙ. ඒ කියන්නෙ අවුරුදු පහලොවක් විතර පරණයි නේද කියලා මට මතක් වුණේ දැන් . ඊට පස්සෙ මං ෆෝන් තුනක් විතර ගත්තා. හුඟක් වෙලාවට අමතක වෙලා තැන්,තැන් වල දාලා ඇවිත්. දෝණිලයෙ අම්මා ඔය ෆෝන් එක තිබ්බට කෝල් එකකට ඇරෙන්න ඕක වෙන වැඩකට කියලා පාවිච්චි වෙන්නේ බොහොම කලාතුරකින්. ෆේස්බුක් එකවුන්ට් එකක් තිබ්බත් මං වාගෙවත් ඒකේ රවුම් ගහන්න දෝණිලයෙ අම්මා කාලෙ කනවා මං දැකලා නෑ. ෆෝන් එකට මොනා වුණාද දන්නෑ… හදිසියේම ඒ මතකෙන් මං මාබල් මේසේ උඩින් බිමට වැටුණා. ලොක්කිගෙ කාමරේ දොර වහලා තිබුණා. මං දොරට කණ තියලා බැලුවා. හීන් සද්දෙට සිංදුවක් ඇහෙනවා. ඒ කියන්නේ එයා නිඳි. බිත්ති ඔරලෝසුව කීප සැරයක් සද්දවුණා. දොළහත් වෙලා. මං හිමීට නිදන කාමරේ පැත්තට ඇවිද්දා. චූටී දෝණි ඇඳේ පැත්තක හොඳටම නිඳි. කැඩුණු ෆෝන් එකේ කෑලි එහෙමම කණ්නාඩි මේසේ උඩ. දෝණිලයෙ අම්මා දණිස් දෙක ළඟින් කකුල් දෙක නවාගෙන,අත්දෙකෙන් ඒ කකුල් බදාගෙන ඇඳ වියලට හේත්තුවෙලා හිටියා. මේස ලාම්පුවේ එළිය එයාගේ රෝස පාට නයිටිය මත වැටිලා දිලිසුණා. ඇඟ පුරාම අමුතු හිරිවැටීමක් වගේ එකක් ඇවිලිලා ගිහින් රෝම සෘජු වෙනවා මට දැණුනා. මං ඇඳ කොනකින් ඉඳගෙන පස්සෙන් හිමීට රූටලා දෝණිලයෙ අම්මා ගාවට කිට්ටු වුණා. එයා මං දිහා බලලා නහය අකුලලා, මූණ බෙරි කරගත්තා.

” මිනිස්සු දන්නෙ ඉතිං චුට්ට බැරිවෙද්දි කටේ ගාගන්න තමා…හිතේ අමාරුවලට ගෑණු බීවනම් එතනින්ම බීමෙන් පිරිමි පරාදයි…”

මට ඒවා ඇහුණේ නිකං රෝමාන්තික සංවාද වගේ. මේ අමුතු මත එන්නේ බීපු අරක්කු වීදුරු දෙකෙන්ද,දෝණිලයෙ අම්මගෙ ඇඟෙන්ද කියලා බලන්න මං එයාගේ ඉන වටේ අත දාලා ළං කරගත්තා. එයා මාව ගසලා පැත්තකට තල්ලු කරා.

“කෑවනම් බීවනම්, පාඩුවෙ පැත්තකට වෙලා නිදාගන්නවද….පිරිමි මායම් ඉතිං තමන්ගෙ උවමනාවල් ළඟදි විතරයි..”

එහෙම කියලා එයා චූටී දෝණිගෙ බෙඩ් ෂීට් එක යටට රිංගාගත්තා. මෙච්චර වෙලා ඇඟ ඇතුලෙ නලියපු මත් ගතිය නැතිවුණා. හීනියට ඇඟ දිගේ දාඩිය පාරක් බේරෙනවා වගේ දැණුනා. හුළං පාරක් වදින්නත් එක්ක මං ඉස්සර දොර ඇරගෙන මිදුලට බැස්සා. ආදරණීය මතක තියෙන මිනිස්සු නිතරම ඇතුලින් උණුහුම් වෙනවා දෝණිලයෙ අම්මේ..පිටින් ගිණිගන්න හුඟක් හැඟීම් ඒ මතක දිගේ ඇවිදගෙන ගිහිං නිවාගන්න පුළුවන්. ලොකු වෙඩිමක, ජයමංගල ගාථාවක,අෂ්ඨක වල,කසාද දිවුරුම් වල මට පේන්නෙම මොකක්දෝ කෘතීම පෙනුමක්. ඔය වත් පිළිවෙත් ගේකට ශාන්තිය ගේනවනම්,විමුක්තිය ගේනවනම්,ඔයාලා ගැන කතා කරන හුඟක් නෝනලා,මහත්තුරුන්ට කරන්න රස්සාවක් නැතුව යනවා. කොච්චර ලස්සනට එළියෙන් හුණු පිරියම් කරලා තිබ්බත් හැම ගෙයක් ඇතුලෙම පුංචි හරි පිපිරීමක් තියනවා. ඒවා මිනිස්සු එළියට පෙන්නන්න බයයි. ඒත් මිනිස්සු අනුන්ගේ කැඩුණු,බිඳුණු තැන් පෙන්නලා අර තමන් ඇතුලෙ තෙරපෙන පීඩනය මකාගන්නවා. ගෑණු විශාකාවෝ වෙන්න ඕනේ නෑ දෝණිලයෙ අම්මේ…මොකද බෝසත් පිරිමිත් මේ සමාජෙ හිඟ නිසා. අපි පෝසත් හැඟීම් ඇතුලේ උණුසුම් වෙමු. එතකොට පිටතින් ගිණිගන්න ගතිය ඉබේම නිවිලා යයි. අපි මේ මාසේ පඩියෙන් ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් ගමු. මට ආයෙ අර වගේ නෝනලාගේ කතා පෙන්නන්න. පොරොන්දු වෙනවා මං හිනානොවී බලන් ඉන්න.

 

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you