More
    spot_img
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 22

    Hima Mal Renu හිම මල් රේණු – 22

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    නදීරා නිවසට ඇමතුමක් ගන්නා අතරේ මම මිදුලට බැස්සේ නොසන්සුන් වූ මා සිත සන්සුන් කරගන්නා අරමුණිනි. පුංචි අම්මාගේ මුහුණ බලාගෙන කෑම මේසයට හිඳ ගැනීමට හෝ සිතක් නොවූ නිසා මාත් නදීරාත් ඔවුන් සමඟ කෑම ගැනීමට හෝ නොගියෙමු. සේපාලිකා මල් ගස යටට පැමිණ මම රැයේ සුපිපුණ මලක් නෙළා ගෙන එහි සුවඳ ඉරුවෙමි. සිත් නිවන සුවඳක් එහි වුවද මා සිත තවම නොසන්සුන්ය. ඇද හැළුණ වැස්සට මල් බොහෝමයක් බිම ඉහිරී ගොසිනි. මා සිතත් එසේ ඉසිර විසිර ගිය සෙයකි. පුංචි අම්මලා එන්නට පෙර අපි කෙතරම් සැහැල්ලුවෙන් සිටියාද.? මා මුවින් සුසුමක් ගිළිහී ගියේ සිතේ වූ ශෝකය නිසා වන්නට ඇත. කිසිවෙකු මා පසෙක සිටින බව දැනී මම වහා හැරී බැලුවෙමි.

    “ලොකු දුව…”

    තාත්තා මා අසළටම පැමිණ මා ඇමතුවේ යමක් කීමට සූදානම්වය. අතේ වූ මල ගස පාමුලට විසිකර මම තාත්තා වෙත හැරුණෙමි.

    “ගෙට ගොඩ වුණ ගමන් අර කියපු කතාව නම් වැරදියි…”

    ඒ හඬේ වූයේ නොපහන් බවකි. ඔහුද කතා කළේ පුංචි අම්මාගේ පස ගෙනය. යළිත් වරක් මා සිත නොසතුටු හැඟීමකින් පිරී ගියේය.

    “කළින් දැනගෙන හිටියා නම් එහෙන් පිට වෙන්න කළින් කියන්නේ…අනික ඉතින්…කියන්න තියෙන දේ ඒ වෙලාවට නොකියා…නැකැත් බලලා කියන්න කියලාද තාත්තා මට කියන්නේ…? එයා ආවේ මට ආදරේට නෙවේනේ…නංගී කිව්වේ තාත්තාවත් අවුස්සන් ආවේ එයා කියලා…මං මෙහේ ආවේ කොල්ලෝ එක්ක නටන්න නෙවේ…එයා කරපු ඒවා මාත් කරනවා කියලා හිතන් ඇති…”

    තාත්තා දෑස් විසල් කොට ගෙන මදෙස බැලුවේය.

    “එක එක්කෙනා කියන ඒවා කරන්න මට පිස්සුද…?”

    “පිස්සු නෙවේ…සැකේ…නැත්නම් ඉතින් වැඩ පාඩු කරන් මෙහෙ එන්න ඕනද…?”

    “මට තේරෙන්නේ නැහැ ළමයෝ…ඔයා ඔය.. හිතන විදිය වැරදියි…”

    “ඒක මම හිතන විදියේ වැරැද්ද නෙවේ…තාත්තා තාම ජීවිතෙන් පාඩම් ඉගෙන නැහැ…ඇයි තාත්තා පුංචි අම්මා ගැන හිතනවා වගේ මං ගැනත් නොහිතන්නේ..? මං බැහැ කියද්දී මාව එහෙ එක්ක ගියා…ඉඳලා ඉඳලා නිවාඩුවට හරි ආවාම….මට මෙහෙ ඇවිත් ටිකක් හරි සැනසීමෙන් ඉන්න තියන අවස්ථාවත් නැති කරලා දානවා…තාත්තාත් නිකන් රූකඩයක් වගේ…මං සතුටින් ඉන්නේ යාළුවෝ එක්ක ඉද්දී…අඩුම තරමේ මට ඒකවත් කරන්න දෙන්න…”

    එවර නම් මට හැඬිණ. තාත්තා එළෙසම සිටියදී මම ගෙතුළට ආවෙමි.

    ****** ****** ****** ******* ******* ************** ****** *****************
    පසු දිනම ඔවුන් පිටව ගියද මා සිතේ සැනසීම නම් නැති කර තිබිණ. පුංචි අම්මා නංගී මෙහි තබා යාමට සූදානම් වුවද නංගී එම අදහසට විරුද්ධව හඬන්නට වූ නිසා තාත්තා ඇයව මෙහි දමා යාමට කැමති නොවීය.

    “නංගී මෙහෙ ඉන්න කැමති නැහැ…අක්කා එහේ ඉන්න කැමැති නැහැ…අපේ එකා අරයා කියන පදේට නටනවා…”

    ආච්චි අම්මා නැන්දා සමඟ කියනු මට ඇසිණ.

    “එයා ඒ තරම් මෝඩද අම්මේ…? හරි හමන් කෙනෙක් නම් කමක් නැහැ…අර මිනිහාත් එක්කත් නටලා..නටලා…අන්තිමේදි අපේ එකාගේ කරේ එල්ලුණා…”

    නැන්දාගේ කතාව මා තුළ තිගැස්මක් ඇති කරළන්නට සමත් විය. එයින් අදහස් වන්නේ තාත්තා සමඟ විවාහ වන්නට පෙරත් ඇගේ සබඳකමක් තිබුණා කියාද…? අර සාදය දවසේ ඈ ගැන කළ කතාබහ සැබෑය. නමුත් ඒ මිනිසා කවුද…?

    “තනි අතින් අත්පුඩි ගහන්න බැහැ රේඛා…අපේ එකා හොඳ නම්…අර මරණේ උණුසුම යන්න කළින් මෙයාව ගෙදර එක්ක එන්නේ නැහැනේ…මනෝරිත් අසරණ වෙන්නැති දරුවත් බඩේ ඉද්දී…”

    මා දෙපා පණ නැතිව ගියාක් මෙන් මට දැනෙන විට මම බිත්තියට වාරු දුණිමි.

    දෙවියනේ…! සිදුව ඇත්තේ එයයි.

    තාත්තා පිළිබඳව මා සිතේ මෙතෙක් කලක් වූ ගෞරවය මුසු හැඟීම ගිනි රත් තැටියක ඇතිරූ වෙඬරු පිඬක් මෙන් දියාරු වී යන බව මට දැනිණ. ශෝකය, කළකිරීම, වේදනාව සියල්ල එකට කැළතී මා සිත පාරවන්නට විය. මේ සියල්ල මෙළෙස සිදු වූයේ කෙසේදැයි මා තුළ සැකයක් තිබුණද මේ කතා බහෙන් මගේ සැකය තහවුරු විය. එසේ නම් අම්මා ජීවතුන් අතර සිටින විටත් එම සම්බන්ධය තිබී ඇත.

    “මං මේවා ඉවසන් ඉන්නේ…මේ කෙල්ලගේ එක්සෑම් ඉවර වෙනකල් අම්මා…”

    හුන් තැනින් මෑත්ව මම කාමරයට පැමිණියේ ඒ ඇසුණු කතා බහ මා සිතින්, මනසින් අතුගා දමන්නට උත්සාහ දරමිනි.

    “මං බයේ හිටියේ ආරණ්‍යා…අවීශ්ලා මෙහෙ එද්දී නංගී හිටියොත් විනාශයි කියලා…”

    නදීරා මා දැක කියන විට මම මගේ මුහුණේ වෙනසක් නොපෙන්වීමට සිනහාවක් මුව මත තවරා ගතිමි.

    “එයා කොහොමත් මෙහෙ ඉන්න ආස නැහැ…”

    සිතේ වූ නොසන්සුන් බව සඟවාගෙන මම කීවෙමි.

    “නංගී කේළම් කියනවද…?”

    “කියනවා නෙවේ…පුංචි එයාගෙන් එළියට ගන්නවා…මෙහේ ඉද්දී වුණත් එයා වැඩිපුර යාළුවෝ ආශ්‍රය කළේ නැහැනේ…අනික එයා ගියේ ගමේ ඉස්කෝලෙට නෙවේ…ඒ නිසා එයාට මෙහෙ යාළුවොත් හිටියෙ නැහැ…නංගී වැඩිපුර හිටියේ පුංචි එක්ක…ඒ නිසා එයා ඔහේ හැම එකම කියවනවා…”

    “දැන් ආච්චි අම්මා දන්නවද අවීශ් එනවා කියලා…?”

    “යාළුවෝ කීප දෙනෙක් එනවා කියලා දන්නවා…මොකටද අවීශ් කියලා විශේෂයෙන් කියන්නේ…?”

    මම නදීරා දෙසම බලමින් ඇසුවෙමි.

    “හරි…හරි…ඉතින්…අකුරක් වැරදෙන්න බැහැනේ…නංගී හිටියා නම් හුට්ටප්පර ජාලයයි…ඒකයි…”

    මා මුවින් සිනහාව පිට පැන්නේ එම වචනය භාෂිතගේ මුවෙන් නිතර දෙවෙලේ පිට වන්නක් වූ නිසාය.

    “ඇයි අනේ…?”

    “මෙයා දැන් භාෂිත ගේ වචන අල්ලන් නේ…?”

    නදීරා ගේ මුහුණ මා බලා සිටියදීම රතු විය.

    “නිකන් කියවුණා අනේ…එයා හරි හොඳයි…නැද්ද…?”

    “හ්ම්ම්…හොඳයි…හොඳයි…” මම ඇද පැද කීවෙමි.

    “ඇයි අනේ…ඒක අමුතු විදියකට කිව්වේ…? එයා නම් ඔයා ගැන හොඳමයි කියන්නේ…”

    “ආහ්…එහෙමද…මෙයාටනේ රිදුණේ…”

    මම කියන විට ඈ ලැජ්ජාවෙන් මා අත කෙනිත්තුවාය.

    ****** ****** ****** ******* ******* ************** ****** *****************
    අවීශ් පැමිණෙන බව දැන්වූ මොහොතේ පටන් මා සිත මහත් උද්‍යෝගයෙන් පිරී තිබිණ. මාත් නදීරාත් එකතුව ඔවුනට ඉදිරිපස කාමර දෙක සූදානම් කළෙමු. ආච්චි අම්මාත්, ජයවතී නැන්දාත් එකතුව සාදන කෑම වල සුවඳින් මුළු නිවසම පිරී ගොසිනි.

    “සුවඳ එද්දිත් බඩගිනියි වගේ…”

    නදීරා එම සුවඳට ඉව අල්ලමින් කීවාය. ශ්‍රීමා කාමරයට එබුණේ එවිටය.

    “ආනේ….ඔයා ආවද…?”

    නදීරා දුවගොස් ඇගේ අතින් අල්ලාගෙන කාමරයට ඇදගෙන ආවාය.

    “ඇවිත් ගොඩාක් වෙලා…මැඩම්ලාට උයන්න උදව් වුණා…”

    “අපි දන්නේත් නැහැ…කෝ සිඟිති…?” මම ඇසුවෙමි.

    “අද පන්ති…හවස එයි…කෝ කට්ටිය තාම නැද්ද…?”

    “තාම එන ගමන්…කීයට එයිද මන්දා… දන්නවානේ ඉතින්…මඟ දිගට නැවතී නැවතී එනවා ඇති…දවල් කෑමටවත් ආවොත් ලොකු දෙයක්…”

    මම සිනහාසෙමින් කීවෙමි. ටිරෝන්ගෙන් ඇමතුමක් ලැබුණේ එවිටමය. ඔවුන් දැන් පාලම අසළ බව ඇසූ මම පුදුම වීමි. අපි තිදෙනම පාරට දිව්වෙමු. සුළු මොහොතකින් දුර තියා එන පෙජරෝ රථය දුටු මා සිත සතුටින් ඉපිළිණි.

    “අම්මෝ…මූණේ තියෙන හිනාව… මනමාලයා බලන්න එනවා වගේනේ…”

    මා මුහුණ දෙසම වඩා වුවමනාවෙන් බලා සිටි නදීරා කියන විට මම ඇගේ උරමතට පහරක් ගැසුවේ සිත ඉහිරී ගිය ලැජ්ජා මුසු හැඟීම සඟවා ගන්නටය.

    “ගුටි කලා ගුටි කාලා මගේ උරපතු ගන්න දෙයක් නැහැ ශ්‍රීමා…”

    වැදුණ පහර සැර නිසාදෝ ඈ එසේ කීවේ පහර වැදුණ තැන පිරිමදිමිනි. රථය අප අසළම නවතන විට හිස් එළියට දමා ගත් ටිරෝන් සහ තේෂාන් මහ හඬින් කෑ ගසන්නට වූයේ සතුට පළ කරන්නටය. ප්‍රසාද් රථය ගෙමිදුලේ නවතන විට ඔවුන් දෙදෙන ඉන් බිමට බැස්සා නොව පැන ගත්හ. අපි තිදෙන සෙමෙන් ඔවුන් දෙසට පා තැබීමු.

    “ෂා…! පට්ට ලස්සනයිනේ මේ පැත්ත…”

    ටිරෝන් වට පිට බලමින් කීවේ ශ්‍රීමා අසළ දෑස් නවතමිනි. මම එය දුටුවද නොදුටුවා සේ සිටියෙමි.

    “අපිව අඳුන්නලා දෙන්නේ නැද්ද ආරාණ්‍යා…?”

    ඔහු වැළමිටෙන් මට අනිමින් දෑස් වලින් ශ්‍රීමා පෙන්වමින් කියන විට මා මුවට සිනහ නැඟිණ.

    “මොකද ටිරෝන් ඔච්චර හදිසි…දැන්ම දුවන්න වගේනේ…?”

    නදීරා ඔලොක්කුවට මෙන් කියන විට ඔහු මුව ඇද කරමින් ඉවත බලා ගත්තේය. නැන්දාත්, ආච්චි අම්මාත් ඉස්තෝප්පුවට ගොඩ වන්නට ඇත්තේ රථයේ හඬ ඇසී වන්නට ඇත. ප්‍රසාද් සමඟ අවීශ් රථයෙන් බිමට බැස ගන්නා විට මා හද ගැස්ම වේගවත් වන්නට විය. එය වෙනදා ගැහෙන ගැස්ම නොවේ. ඔහු හැඳ සිටි රතු පැහැති ටී ෂ(ර්)ටයටත් ලා අළු පැහැගත් කොට කළිසමටත් ඔහු කෙරෙන් දිස් වූයේ වඩාත් කෙළිලොල්, දඟකාර බවකි. ඔහුගේ උසද වඩාත් කැපී පෙනුණා යැයි කියා මට සිතිණ.

    “පාර හොයා ගන්න අමාරු වුණේ නැහැ නේද ප්‍රසාද් අයියා…?”

    සිත තුළ වූ තිගැස්ම පිටතට දැනේවි යයි බියෙන් මම සන්සුන් වන්නට තැත් දරමින් විමසුවෙමි.

    “නැහැ මිස්…ඔයා කියපු විදියට අහන්..අහන් ආවා..”

    මම අවීශ් දෙස බැලිවෙමි. ඔහු නිදහසේ පරිසරය විඳිමින් සිටියේය.

    “මාර රිලෑක්ස්…නේ ප්‍රසා…”

    ඔහු මා දෙසට හැරී ප්‍රසාද්ගෙන් ඇසීය.

    “ඔව් අනේ…හරි ෂෝක්.අපි ගම පුරාම ඇවිද්දා…ඔයේ නෑවා…”

    නදීරා අවීශ්ගේ කතාව අනුමත කරමින් කීවාය.

    “හොඳට නටලා වගේ…”

    ටිරෝන් කිවේ ඈ අවුස්සන්නටය.

    “හොඳට නෙවේ…බාගෙට…ටිකක් ඉතුරු කරගත්තා ඔයාලා ආවාම නටන්න…”

    නදීරා කීවේ අප අතර සිනහාවක් නංවමිනි. මම සිටියේ අවීශ් කෙරෙන් දෑස් මුදවා ගන්නට නොහැකිවාක් මෙනි.

    “ආච්චි අම්මා උදේට පිට්ටුද හැදුවේ නදීරා…?”

    අවිශ් ඒ ඇනුම්පදය එල්ල කළේ මා ඉලක්ක කොට ගෙනය. මම එය නොවැටහුණාක් මෙන් සිටියෙමි.

    “නැහැ…ඇයි…?” නදීරා විමතිය පළ කළාය.

    “මං හිතුවේ පිට්ටු හිරවෙලා කියලා…”

    ඔහු දෑසින් මා පෙන්වමින් කියන විට මා මුවට සිනහා නැඟිණ. අවීශ් දෑස් වලින් සිනහසෙමින් මා දෙසම බලා සිටියි.

    “ආහ්…උදේ ඉඳන් මඟ බල බලා හිටියේ…ඊයේ රෑත් හරියට නිදා ගත්තේ නැහැ…ඇඳේ එහෙට…මෙහෙට පෙරළී…පෙරළී…හිටපු විදියට මං හිතුවා බිමට වැටෙයි කියලා…”

    නදීරා ඒ කිවේ මුසාවක් වුවද මම ඈ එසේ කීම පිළිබඳව සතුටු වූයෙමි. ඔහු දඟකාර බැල්මකින් මදෙස බලන විට මම නදීරා ගේ බාහුවක් කෙනිත්තුවෙමි.

    “බොරු නොකියා ඉන්නවා…”

    මම මවාගත් නොමනාපයක් පෙන්වමින් කීවෙමි.

    “ඇත්ත කියද්දී ඔහොම තමා…අපි යමු ශ්‍රීමා…”

    ඈ ශ්‍රීමාවද අතින් ඇදගෙන ගියේ මාත් අවීශුත් එහි තනි කරළමිනි.

    “ඉතින්…කොහොමද නිවාඩුව…?”

    ඔහු ඇසුවේ මා දෙස බලා නොව සේපාලිකා ගසේ හිනැහෙන මල් දෙස බලානය.

    “දවස් ගියා ඉක්මනටම…”

    “මට ඒකෙ අනික් පැත්ත…”

    මම පුදුමයෙන් හිස ඔසවා ඔහු දෙස බැලීමි.

    “ඒ…ඇයි…?”

    “වෙනදට මාමාලායෙ ගෙදර ගියාම හරි ආසයි…ඒත්…මෙදා පාර එහෙම නැහැ…”

    “ඒ ඇයි…?” මම පුදුමයෙන් ඇසීමි.

    “වෙන දිහාවක යන්න ආසාවෙන් බල, බලා හිටියේ…ඒකයි…”

    සිත පිනුම් ගසන විට මම දිදුළන දෑසින් ඔහු දෙස බැලීමි. ඒ කොහිදැයි පුන, පුනා ඇසීමට වුවමනා නැත. මා සිතට සතුටක් දැනිණි. ඒ සිනිඳු පිහාටුවකින් මා හද පිරිමදින්නාක් මෙනි.

    “වෝල් ආර්ට් එක හරිම ලස්සනයි අවීශ්…ගොඩා…ක් ස්තුතියි හොඳේ…”

    හදිසියේම සිහි වූ නිසා මම කීවෙමි.

    “හදිසියේ පේන්ට් කළේ…”

    “එහෙම එකක් නම් පෙනුණේ නැහැ… ඇත්ත්ම එකක් වගේ…මෙහෙත් හුඟාක් ලස්සන තැන් තියනවා..ඔයා බලන්නකෝ…”

    “එක්ක යනවද…?”

    ඔහු අසන විට සිත හිරිවැටී ගියේ සියුම් ලැජ්ජා මුසු හැඟීමකිනි.

    “ඔව්…එනවා නම්…” මම කීවෙමි.

    “ආවනේ…”

    “ගොඩාක් ස්තූතියි…ආවට…”

    “එන්න කිව්වටත්…”

    “නෑවිත් ඉඳියි කියලා බයේ හිටියේ…”

    “ඒකද නින්ද නොගියේ…?”

    යළිත් වරක් සිත පුරා අර ලැජ්ජා මුසු හැඟීම ඉහිර ගියේය.

    “ඒ බොරු අනේ…”

    “එහෙනම්…?”

    “ආඩම්බරකමට නෑවිත් ඉඳියි කියලා හිතුවා…”

    “අපරාදේ…දන්නවා නම් නෑවිත් ඉන්නවා…”

    මා ඇවිස්සීමටදෝ ඔහු කීවේය.

    “ඇයි…දුකද…ගණන් බැස්සා කියලා හිතයි කියලා…?”

    ඔහු මා දෙස බලන විට මමද ඔහු දෙසම බලා සිටියෙමි. නදීරා කෑ ගසමින් අප අමතන හඬ නිසා අපි දෙදෙනද නිවසට ගොඩ වූයෙමු. අවීශ් ගොස් ආච්චි අම්මාටත්, නැන්දාටත් දණ නමා වඳින විට නදීරා මට වැළමිටෙන් ඇන්නාය.

    “ආච්චි අම්මාවත් අල්ලාගත්තා එහෙනම්…නරකම නැහැ…වැඩේ ගොඩනේ…”

    ඈ මට රහසින් කෙඳිරුවාය. මම බිය වූයේ එය ආච්චි අම්මාට ඇසේවි යැයි කියාය.

    ****** ****** ****** ******* ******* ************** ****** *****************
    උදෑසන ආහරයෙන් පසුව ආච්චි අම්මා කීවේ ළිඳට ගොස් නා ගන්නට කියාය. අපි තිදෙන ළිඳ පෙන්වීමට ඔවුන් සමඟ වත්ත් පහළට පැමිණියෙමු.

    “ඉබ්බා දියට දැම්මාම…ඇන්නෑවේ කීවාලු ශ්‍රීමා…”

    නදීරා ඒ අස්සේත් මට විහිළු කළාය. ශ්‍රීමා මේ වන විට අවීශ් ලා සමඟ මිතුරුව සිටියාය.

    “මං අවීශ්ව නම් දකිද්දිම අඳුන ගත්තා…”

    “ඒ කොහොමද…?”

    ශ්‍රීමා කියන විට ටිරෝන් පුදුමයෙන් ඇසුවේය.

    “ආරාණ්‍යා කියලා තිබුණු විස්තර නිසා…”

    මා තිගස්වමින් ඈ කියන විට මට අවීශ් දෙස බැලිණ.ඔහු නැවතී මා දෙස බලන විට මම අපහසුවෙන් ඉවත බලා ගතිමි.

    “ඒ මොනවාද…?” තේෂාන් ඇසීය.

    “විශේෂ දෙයක් නෙවේ…හැඩරුව ගැන මං කිව්වේ…”

    “අපි ගැන එහෙම කියලා නැද්ද…?”

    ශ්‍රීමා යටැසින් මා දෙස බැලුවාය.

    “අපෝ…කියල තියනවා…මෙයා නේද ආරණ්‍යා…ඔයාට, අවීශ්ට ආදරෙයි කියන්න කියලා රැග් කරේ…?”

    සියළු දෙනා අතර සිනහාවක් නංවමින් ශ්‍රීමා කියන විට ටිරෝන් ලැජ්ජාවෙන් වට පිට බැලුවේය.

    “ටිරා එදා තමා පාඩමක් ඉගෙන ගත්තේ…”

    තේෂාන් කීවේ ටිරෝන්ගේ පිටට පහරක් ගසමිනි. නදීරා ශ්‍රීමාගේ අතින් ඇදගෙන පුරුදුකාරියක මෙන් පෙරමුණ ගන්නා විට, අනෙක් අයද මාත් අවීශුත් මඟහැර ඔවුන් සමඟ දිව ගියේ සිතා මතා අපි දෙදෙන තනි කරළීමට කියා මට සිතිණ.

    “මං ගැන මොනවද කිව්වේ…යාළුවන්ට…?” අවීශ් ඒ ඇසිල්ලේ ඇසුවේය.

    “කියපුවා නම් අහන්න එපා…”

    සිනහව සඟවාගෙන මම කීවෙමි. ඔහු ගමන නවතා මවෙත හැරුණේය. පොල්කිච්චෙකු තම සහකාරිය අමතන මියුරු නදින් පරිසරයේ නිහඬ බව බිඳී ගියේය.

    “ඒ තරම් නරක දේවලුත් කිව්වාද…?”

    “ඔව්…ටිකක් විතර…”

    “ඇත්තටමද කියන්නේ…?”

    “ඔව්…ඉතින්…නැතුව…මුළින් හිටියේ එහෙම නේ…” ඔහු දෑස් දල්වා මා දෙසම බලා හිඳියි.

    “මේ…ඉක්මනට වරෙල්ලා බං…උඹලා ලව් කරනවාද…?”

    ටිරෝන් මඟ නැවතී කෑ ගැසුවේය.

    “ලව් කරන්න යාළු වෙලා ඉන්න එපැයි…අපි තවම යාළුවෝ නෙවේ බොල…”

    අවීශ් ද කෑ ගසා පවසන විට මම යටි තොළ සපාගෙන ඉවත බලා ගතිමි.

    “ළිඳ පහළ තියෙන්නේ…ඔයාලා නාලා එන්න…අපි යනවා…”

    ඔහු මඟහැර පැමිණි මම ළිඳ පෙනෙන නොපෙනෙන දුරින් නැවතී අවීශ්ට හිස ගස්සමින් කීවේ නදීරාගේ අතින් අල්ලාගෙන ශ්‍රීමාගේ නිවසට යෑමට සූදානමිනි. ඔහුට වුවමනා මා රිදවීමට නම් මටද එසේ කළ හැකිය.

    “ඒ…ඔයාලා ඔය යනවද…අපි එනකල් ඉන්නේ නැද්ද…?”

    ටිරෝන් ඇසුවේ අපි පිටව යන්නට සූදානම් වන විටය.

    “ආච්චි අම්මා කිව්වේ ළිඳ පෙන්නන්න විතරයි. නාවන්න කියලා නෙවේ.”

    “අනේ…අපි නාන කල් ඉන්න බැරිද නදීරා…?”

    “ඇයි ටිරෝන්ට තනිකම් දෝසෙද…? මළ විකාර…අපි යනවා…”

    මම ඒ දණ්ඩ ළඟ නැවතී ආපසු හැරී බලන විට තවමත් හුන් තැනම හිඳ අප දෙස බලා සිටින අවීශ් දැක සිතට දැනුණේ ශෝකී හැඟීමක් වුවද, මම යළිත් වරක් හිස ගස්සා ඉවත බලා ගතිමි. අපි තිදෙන ඒදණ්ඩෙන් එගොඩ වී වෙල දිගේ ශ්‍රීමාගේ නිවසට පැමිණියෙමු.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page