Hima Mal Renu හිම මල් රේණු
අපි මිතුරු මිතුරියන් සියළු දෙන එකතුව ගම පුරා ඇවිදිමින්, දොළේ දිය කෙළිමින්, කඳු බඩ ගාමින් ඉතාමත් විනෝදමත් කාලයක් ගෙවීමු. නදීරාට මෙවන් අත්දැකීමක් අත් විඳින්නට අවස්ථාවක් ලැබී නොතිබූ නිසා ඈ සිටියේ සතුටිනි. භාෂිත දිය යටින් අහුළා ගත් විවිධ හැඩයේ තිරුවාණ ගල් කැබලි සහ කුඩා කුඩා ගල් කැට නදීරාට සොයා දුන්නේ ඇගේ විසිතුරු මත්ස්‍ය තටාකයට දමන්නටය.
“මොකටද මේ..ගල් එකතු කරන්නේ…දෙන්නා එක්ක ගල් සෙල්ලම් කරන්නද ලෑස්ති වෙන්නේ…?”
මාධව භාෂිතට විහිළු කළේය.
“ඔව්..ඔව්..උඹට ඉතින් පුරුදුයි නේ…ගල් සෙල්ලම්…”
භාෂිත ඔහුට කුඩා ගල් කැබැල්ලකින් දමා ගසන විට එය වැදුණේ මාධවගේ කළවයටය.
“පිස්සුද උළමෝ…නරක තැනකට වැදුණා නම්…?” මාධව කෑ ගැසුවේය.
“උඹට නරක තැනුත් තියනවද…? කපලා දාපන්..නරක නම්.. ඕවා තියා ගන්න හොඳ නැහැ…”
භාෂිත කීවේ අප සියළු දෙනම සිනහා සයුරක ගිළ්වමිනි. නදීරා සිටියේ මේ මොහොතේ අපට තරමක නුදුරින් ගලින් ගලට පනිමින් දොළ පහරේ ඉහළට යමිනි.
“මේ…ඔය ගල් ලිස්සනවා…පරිස්සමට…”
භාෂිත කෑ ගැසූ හඬට නදීරා නැවතී හැරී බැලුවාය.
“මූට ගල් එක්ක මාර සම්බන්ධයක් නේ තියෙන්නේ…නේද ශ්‍රීමා…?”
මාධව යළි වරක් භාෂිත ඇවිස්සීමට කීවේය.
“මං කොහොමද දන්නේ…? ආයේ ගල් පාරක් කන්න තමා ලැහැස්තිය…ඕවා කියලා…” ශ්‍රීමා හිස ගස්සමින් කීවාය.
“ඔව්…ඔව්…ඔයා දැන ගන්න විදියක් නැහැ තමා..භාෂියා…මේ අර සිංදුව කියපන්…ගලින් ගලට පා තබමින් දුවන්නට එපා.. ගල් මතු පිට ලිස්සනවා…
පය පැකිළේවී….”
මාධව තාලයට ගැයුවේය.
“මූට මේ වෙලේ මතක් වෙන ඒවා බලන්නකෝ ආරණ්‍යා…මට පේන්නේ භාෂියට වඩා මාධවට ගල් එක්ක සම්බන්ධයක් තියනවා වගේ…”
සිතාරා කී කතාව නිසා අපි යළිත් උස් හඬින් සිනහසුණෙමු.
“මේ…ආරණ්‍යා…අන්න අරයට කියන්න උඩට යන්න එපා කියලා…ලිස්සලා වැටුණොත් අපිට තමා ඉස්පිරිතාලෙ උස්සන් යන්න වෙන්නේ…”
භාෂිත කියන විට මමද නදීරා දුටිමි. ඈ තවත් ගලකට පනිමින් සිටියාය.
“ආහ්…! මූ බලකෝ…අපි නම් එන්නේ නැහැ මුට්ට කරගහන්න…උඹම උස්සන් පළයන්…අපි මොකටද අනුන්ගේ එව්වා කරගහන්නේ…නැද්ද ආරාණ්‍යා…?”
මාධව ගේ මුවට කෙසේ වචන ගළනවාදැයි කීමට මම නොදනිමි. මම නදීරාට අඬ ගසන විට ඈ සෙමෙන් සෙමෙන් අප වෙත පැමිණියාය.
“ඔයාලා හරි හොඳ නැහැ අනේ…මාව නෝන්ඩි කරනවා නේද…?”
ඇයට සියල්ල ඇසෙන්නට ඇතිවාට සැක නැත. මුහුණ බෙරි කරගෙන ඈ කීවාය.
“පිස්සුද අනේ…අපි විහිළුවටවත් එහෙම කරනවද…ඔයා ඔය ගලක් උඩ පත බෑවුණා නම් කාටද දුක…? මෙන්න මෙයාටනේ…අන්න ඒ නිසායි අපි කිව්වේ…”
භාෂිත පෙන්වමින් මාධව කියන විට නදීරාගේ මුහුණ රතුව ගියේ බලා සිටියදීමය.
“පිස්සු…අනේ…මෙයාලට…”
මවා ගත් නොමනාපයක් පළ කළද ඈ සිටියේ සතුටිනි.
දවස ඉතා ඉක්මනින් ගෙවී යනවාට නම් අපි කිසිවෙකු තුළ කැමැත්තක් නොවූ බව නොකිවමනාය. මිතුරු මිතුරියන් සමඟ ගෙවී යන කාලය සුන්දරය. එය අතින් අල්ලා නවතා ගන්නට තිබුණා නම් කියා මට සිතිණ. නදීරාද ඔවුන්ගේ ඇසුර ප්‍රිය කළාය.
“අනේ…එයාලා හරි ෂෝක්…ආරණ්‍යා…”
රාත්‍රියේ යහන මත හිඳ ගෙන නදීරා කීවේ ඇගේ ජංගම දුරකථනයට හසු කරගත් ජායාරූප නරඹමිනි. එහි අප සැමදෙනගේ විවිධ ජායාරූප විය.
“හ්ම්ම්…එයාලා කිව්වේ…?” මම ඇසුවේ ඇයව අවුස්සන්නටය.
“යන්න අනේ…කවදා හරි මතක් වෙන්න තියෙන්නෙ මෙච්චරයි…” නදීරා කීවේ මුව ඇද කරමිනි.
“ඔව්.ඔව්…ඒක නම් ඇත්ත…දැන් ඉතින් අනික් හතර දෙනාත් ආවාම කොහොම තියෙයිද…?”
“හතර දෙනා…?”
“ඇයි අනේ…ප්‍රසාද් අයියා…”
“අනේ ඔව්…ප්‍රසාද් අයියත් හරි හොඳයි… නේ..ආරණ්‍යා…?”
“පව්…දුප්පත් පවුලක කොල්ලෙක්…”
“අවීශ් එයාට සහෝදරයෙක්ට වගේ සළකන්නේ…”
“අවීශ් නරක කොල්ලෙක් නෙවේ.නදීරා…”
“අපෝ…නැහැ…තාත්තා නිසා වෙන්නැති අවීශ් ඔය තරම් රෆ් වුණේ…”
“ම්ම්ම්…මං ඔයාට කතාවක් කියන්නද…?
පහත් හඬින් මම අසන විට නදීරා දුරකථනය පසෙක තබා මවෙත හැරුණේ දෑස්වල පවා තැවරුණ කුතුහළයෙන් යුතුවය. ඉඳහිට නද කරන බකමූණෙකුගේ හඬින් පරිසරයේ නිහඬ බව බිඳී ගියේය.
“මොකක්ද ආරණ්‍යා…?”
ඇගේ හඬේ පවා වූයේ කුතුහළයකි.
“අවීශ්ලගේ තාත්තයි…අපේ තාත්තයි ඉස්සර හොඳ යාළුවෝ ලු…”
මා කියන විට නදීරාගේ දෑස් විමතියෙන් විසල් විය.
“මොනවා…! ඉතින්…?”
මා දන්නා තොරතුරු කීපයක් මම ඈ හා පැවසුවෙමි.
“මේවා අවීශ් දන්නවද දන්නැහැ…”
“මං දන්නේ නැහැ…ඒත්…එයා දන්නවා ඇති කියලා හිතන්නත් බැහැ…අවුරුදු ගානකට කළින් වෙච්ච දේවල් එයා දැන ගන්න විදියක් නැහැනේ…මම වුණත් දන්නේ ඊයේ පෙරේදනෙ…”
“මටත් හිතෙනවා…හැබැයි ඉතින්…අංකල් දැන ගත්තොත් අවීශ් කියන්නේ…දැරණියගලගේ පුතා කියලා…එදාට…ඔයාට එයාව ආශ්‍රය කරන්න ඉඩ දෙන එකක් නැහැ…”
මමද එය පිළිගනිමින් හිස සෙළවූයෙමි.
“එයා නරක කෙනෙක් කියලා හිතුවේ ගෑණු නිසා විතරයි කියලා මං මෙච්චර කල් හිතන් හිටියේ. බලන් ගියාම හරිම වංචාකාරයෙක්නේ…”
නදීරාගේ හඬේ වූයේ කළකිරීම් මුසු බවකි.
“අපිට එයාගෙන් වැඩක් නැහැනේ…” මම කීවෙමි.
“ඒත් ඉතින් අවීශ් ආශ්‍රය කරන්න එපා කියලා තාත්තා කීවොත්…?”
“ඒවා එදාට බලාගමු…නූපන් දරුවන්ට කේන්දර හදන්න ඕන නැහැ…”මම සැහැල්ලුවෙන් කීවෙමි.
******** ****** ****** ******** ******** ************* ****** *****
පෙර දින රාත්‍රියේ ඇද හැළුණු වර්ෂාව පසු දින උදෑසන වන තුරු නැවතී නොතිබුණ අතර එය විටින් විට ඇද හැළුණේ මෙදින අප සිතා සිටි ලෙස පිටතට යෑමට අවස්ථාවක් උදා නොවන බව පවසන්නාක් මෙනි.
“මේ වහින කාලෙකුත් නෙවේනේ… බලන්නකෝ වැස්ස…අදත් දවසම වහී වගේ…”
ආච්චි අම්මාද වැස්ස සමඟ පරළව සිටියාය.
භාෂිත ගෙන් ඇමතුමක් ලැබුණේ අද දින වැඩ සටහන් අවලංගු කරන්නට සිදුවන බව කියමිනි. අපිද සිතමින් සිටියේ ඒ ගැන බව මම ඔහුට පැවසුවෙමි.
“හොඳ වෙලාවට අපි ඊයේ හරි එළියට ගියේ…”
“ඔව්…ඒත් ඉතින්.. අපිට අදත් එළියට යන්න තිබ්බානේ…අපරාදේ….”
නදීරා කියන විට මම නිහඬව සිටියේ සුන්වූ බලාපොරොත්තු ගැන උපන් ශෝකී හැඟීමකිනි. ඇයත් එසේමය.
“අරගොල්ලෝ කවදා එයිද දන්නැහැ නේද…?”
“අනේ මන්දා…”
“ඒ දවස් ටිකේ නම් වහින්න එපා…”
නදීරා අහස දෙසට දෑස් යොමා කීවේ යාතිකාවක් මෙනි. නිවස තුළ හිඳ ගෙන අපි කතා බස් කරමින් සිටියේ කරන්නට වෙනත් කිසිවක් නොවූ නිසාය. දහවල් වන විට වැසි අඳුර මැකී, යාන්තමට හිරු එළිය කෙමෙන් කෙමෙන් තුරු හිස් අතරින් පොළොවට වැටෙන විට යම් සහනයක්, සතුටක් සිතට දැනුණ මුත් එම සහනය සහ සතුට එතරම් වේලාවක් රැඳී තිබුණේ නැත. මිදුලේ නවතන ලද රථයක හඬින් අපි සිව් දෙන මුහුණින් මුහුම බලා ගත්තේ මේ මොහොතේ පැමිණියේ කවුරුන්ද කියා සිතා ගන්නට නොහැකිවය. ඒ අවීශ්ලා නම් කීයටවත් වන්නට බැරිය. ඔවුන් මෙහි ඒමට දන්නේ නැත. අඩුම තරමේ මෙහි ලිපිනයක් හෝ ඔවුන් දැන සිටින්නට හැකියාවක් නැත. එසේ නම් ඒ කවුරුන්ද….? මාත් නැන්දාත් කුහුළින් ඉදිරි දොරකඩ වෙත ගියෙමු. මිදුලේ නවතා තිබූ රථය දැක මා සිතට දැනුණේ සියළු බලාපොරොත්තු සුන්ව ගියාක් බඳු ශෝකී හැඟීමකි.
“මෙයාලා මොකද අනේ මෙහේ…?”
නැන්දා ද විමසුවේ පුදුමයෙනුත් නොසතුටිනුත් බව නොකිවමනාය. රථයෙන් බසින පුංචි අම්මා දැක මා සිතේ ඉපදුණේ නොරුස්සුමකි.
“කවුද දුව…?”
ආච්චි අම්මාද අසුනින් නැඟී සිටිමින් ඇසුවේ පුදුමයෙනි. මම ආපසු හැරී විත් නදීරා අසළම හිඳ ගත්තේ කැළඹී ගිය සිතිනි. හදිසියේ අවීශ්ලා අද එනවා යැයි කීවොත්..? එය සිහිවී මට ඒ මොහොතේ කෝපයක් සිතට එබිණ.
“ඇයි ආරණ්‍යා…?” නදීරා මා දෙසම බලා විමසුවාය.
“තාත්තලා ඇවිත්…”
“ආහ්හ්..!” කියා මුවින් පිට වන්නට ඇත්තේ ඇයටත් කාරණය බරපතළ බව වැටහී ගිය නිසා වන්නට ඇත.
“දැන් මොකද වෙන්නේ…?”
“අනේ මන්ද නදීරා…මෙයාලා කවදා යයිද දන්නැහැ…මං නම් හිතුවේ නැහැ තාත්තලා එයි කියලා…අවීශ්ලා හෙට එනවා කිව්වොත් මොකද නදීරා කරන්නේ….?”
මා සිත නොසන්සුන් වන්නට විය.
“මං අවීශ් ගෙන් අහලා බලන්නද…?”
“එපා…ප්‍රසාද් අයියාගෙන් අහලා බලන්න එයා ඉන්නේ කොහෙද කියලා…එයා තාම ගමේ නම් අවුළක් නැහැ…අවීශ් ගෙන් ඇහුවොත් එයා සැක හිතයි…ඊට පස්සේ නෑවිත් ඉන්න හදයි…දන්නවානේ හැටි…”
නදීරා එයට හිස සළමින් එකඟ වූවාය.
“මොකද මේ කට්ටිය නොකියාම ඇවිත්…?”
තාත්තා ගෙතුළට ගොඩ වන විටම ආච්චි අම්මා ඇසුවාය.
“හදිසියේ හිතුණා අම්මා…ඒ නිසා ආවා…”
“ඉතින් කෝල් එකක් හරි දෙන්න එපැයි…කෑම ටිකක් හදන්න හරි…”
“අපි මඟින් කාලා ආවේ අම්මා…”
තාත්තා මා පසෙක හිඳ ගන්නා විට මට බැලුණේ නංගීගේ මුහුණ දෙසය. මේ නම් ඈ කැමැත්තෙන් ආ ගමනක් නොවන බව මට පෙනී ගියේය. එකත් එකටම මේ පුංචි අම්මාගේ අදහසක්ම විය යුතුය.
“තාත්තලා හදිසියේම…?”
මම නොපහන් හැඟීම සඟවන්නට තැත් නොකරම ඇසුවෙමි.
“නිකන් ආවා දුව…මටත් රෙස්ට් එකක් එපැයි…”
“ඒත් ඉතින් තාත්තාට වැඩ නැද්ද…මේක සති මැදනේ…”
“ඒවා බලාගනියි…” ඔහු නොසැළකිලිමත් ලෙස කීවේය.
“තාත්තා ඉස්සරත් ඔහොම බලාගනියි කියලා දාලා…එහෙ මෙහෙ ගිය නිසා වෙන්නැති අම්මාගේ බිස්නස් සේරම කඩන් වැටුණේ…”
“දුව…!” තාත්තා මවිතයෙන් කෑ ගැසුවේය.
“ඉතින් මම ඇත්‍තනේ කිව්වේ…දැන් තාත්තලා හෙටම යනවද එතකොට…?”
ඔහු එයට පිළිතුරක් නොදී අසුන මතින් නැඟී සිටියේය.
“අනේ…අනේ ළමයෝ… අපි ආවා විතරනේ…ඔයාට සතුටු නැද්ද අපි ආව එකට…?”
පුංචි අම්මා මැද්දට පැන කළබළයෙන් ඇසුවාය.
“සතුටු වෙන්න තිබුණා…තාත්තා විතරක් ආවා නම්…අනික ඔයා ආවේ නම් අපිට ආදරේට නෙවේ…මගේ සතුටත් නැති කරලා දාන්න…ඔයා ඉන්න තැනක කවදාවත්…කාටවත් සැනසීමකින් නම් ඉන්න ලැබෙන්නේ නැහැ…ඔයා මෙහෙ හිටියෙත් නාහෙන් අඬ…අඬ…නේද…? මෙහෙන් යනකල් පුදුම ඇඬියාවක්නේ තිබුණේ…දැන් ඇවිත් අපිව පුදුම කරවන්න…නැත්නම් මං මොනවද කරන්නේ බලන්නද නොකියාම ආවේ…?”
පුංචි අම්මාගේ මුහුණ ලැජ්ජාවෙනුත් කෝපයෙනුත් රතුව ගිය අතර නැන්දාත් ආච්චි අම්මාත් මුහුණින් මුහුණ බලා ගත්හ.තාත්තා දෑත් සාක්කු වල බහා ගෙන බිමට යොමා ගත් හිසින් සිටින විට මම නදීරාත් ඇදගෙන කාමරයට පැමිණියෙමි. මා සිටියේ උතුරා හැළෙන කෝපයෙනි. නංගී කාමරයට පැමිණියේ මා ජනේලය අසළ සිට ගෙන පිටත බලා සිටින විටය. මගේ සිතට සැනසීමක් නැත. පුංචි අම්මා කෙරෙහි ඇති වූ අප්‍රසාදය නිසා මට නංගී දෙස හෝ බැලීමට නොසිතිණ.
“ලොකූ…” ඈ පහත් හඬින් මා ඇමතුවද මම ඈ දෙස හෝ නොබැලුවෙමි.
“ඔයාගේ කේන්තිය සාධාරණයි…අම්මට තමා එන්න ඕන වුණේ…මම නම් බැහෑම කිව්වා…තාත්තාවත් අවුස්සන් බලෙන් ඇදන් ආවේ…”
ඈ කියවාගෙන ගියේ නොසතුටු හඬකිනි. ඈ මෙහි පැමිණීමට අකමැති බව මම දනිමි.
“බලෙන් ඇදන් එන්න තාත්තා පොඩි බබෙක්ද…?”
පහව නොගිය කෝපයෙන් මම කීවෙමි.
“ඔයා මෙහෙ ඇවිත්…කොල්ලෝ ටිකත් එක්ක ගම පුරා රවුම් ගහනවා ඇති…ආච්චි අම්මාටයි නැන්දාටයි ඕවා බලන්න වෙලාවක් නැහැ…මෙහෙ එන්න දඟලන්නේ ඕකට තමා කියලා අම්මා තාත්තව ඇවිස්සුවා…”
මම දෑස් විසල් කොට ගෙන නංගී දෙසට හැරුණෙමි.
“මොන තරම් ජරා හිතක්ද එයාට තියෙන්නේ…”
“එයාට පිස්සු ලොකූ…වෙලාවකට මටත් එපා වෙනවා…”
නංගී කීවේ කළකිරීමෙන් මෙනි. ඈ මුහුණ දියාරු කරගෙන කාමරයෙන් පිටතට ගියාය.
නදීරා ප්‍රසාද්ට ඇමතුමක් ගන්නා අතරේ මම යහන මත හිඳ ගෙන කොට්ටයක් තුරුළට ගෙන බිත්තියට පිටදී හිඳ ගතිමි. මේ ගැහැණිය මගේ ජීවිතයට මේ තරම් බලපෑම් එල්ල කරන්නේ මන්ද…? කෝප ගින්න බුර බුරා මා මනස පුරා ඇවිළෙන්නට දරන උත්සාහය මම වළකා ගෙන සිත සන්සුන් කරගැනීමට මහත් වෙහෙසක් දැරීමි.
“ප්‍රසාද් අයියා තාම ගෙදරලු…තව දවසක් දෙකක් ඉන්නලු හිතන් ඉන්නේ…” ඒ ඇසූ මා සිතට යම් සහනයක් දැනිණ.
“මෙයාලා එතකල් නොගියොත් මොකද වෙන්නේ නදීරා…?”
මම අසන විට ඈ දෙවුර සැළුවේ ඇය ළඟද එයට පිළිතුරක් නොමැති බව පැවසීමටය. ඔවුන් මෙහි සිටින තුරු අවීශ්ලා මෙහි කැඳවන්නට නොහැකිය. සියල්ල පුංචි අම්මා නිසාය. නැන්දා කාමරයට පැමිණියේ මා අමතමිනි.
“ආ…ලොකු දුව අර ළමයි අද එනවද…?” නැන්දාට තිබුණු ප්‍රශ්නයද එයයි.
“අද හෙට එන්නේ නැහැ…ඒත් නැන්දා…මෙයාලා නොගියොත් මොකද කරන්නේ…?”
“ඒකනේ…ළමයෝ…මොකට ආවද මන්දා…හිතේ සැනසීමත් නැති කරනව මෙයා…”
නංගී කී කතාව මම ඈ හා පැවසුවෙමි. ඒ ඇසූ නැන්දාගේද කෝපය ඇවිස්සිණ.
“කට තළන්න ඕන…පුදුම ගෑණියෙක්නේ…”
“හෙට යයිද නැන්දා…?”
“අර කියපු ටික අහගෙනත් රෙද්දක් ඇඳන් හිටියොත් තමා පුදුම…”
නැන්දා ගේ ඒ කතාවෙන් පසුව නම් මා සිතේ මෙතෙක් පැවති නොසතුට පහව ගියේය.