FeaturesDonilaye AmmeDonilaye Amme - 21 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 21 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – පහුගිය අවුරුදු ගාණක් මිනිස්සු හිටියේ හරිම අරාජික, පරාදීන මානසික මට්ටමක. ඒ නිසාම හිත්වල පිරුණු හරි දරුණු හිස්කමක. උපන් දිනේ ඉඳලා යෙදෙන, ජීවිතයේ බොහොම පුංචි අවස්ථා පවා බොහොම ආඩම්බරයෙන්, උත්සවාකාරයෙන් සමරපු මිනිස්සු, පහුගිය කාලයේ සිංහල, හින්දු අලුත් අවුරුද්ද , වෙසක් උත්සවය පවා කොන්දේසී විරහිතව අතෑරලා දාලා හිටියෙ. ඔය ප්‍රධාන ධාරාවේ අවස්ථා දෙක ගත්තත්, හිත කෙලින්ම යන්නේ ඒ හා බැඳුණු අපේ ළමා කාලයට. අවුරුදු කියලා කීවාම ඒ කාලේ දරුවො ඒවට ලෑස්ති වෙන්නෙ මාස ගානකට කලිං. ගෙවල්,දොරවල් අස්පස් කරන, හුණු පිරියම් කරන එකේ ඉඳලා ඒ වැඩවලට දරුවො දායක වෙනවා ඒ කාලේ. අලුත් ඇඳුම් ගන්න, රතිඤ්ඤා, නිලා, අහස් කූරූ ගන්න, ඒවට සල්ලි එකතු කරන්න අස්වනු නෙලපු කුඹුරු වල කරල් අහුලන එකේ ඉඳලා ඒ ළමා කාලය තුළ බලාපොරොත්තුවේ, තෘප්තියේ කොච්චර ආදරණීය හැඟීම් තිබ්බද? වෙසක් කාලය ගත්තත් ඒ වගේ. වෙසක් කූඩූ, සරුංගල්, තොරණ්, සැණකෙළි ඒ සමය හා බැඳුණු උප සංස්කෘතියක් විදිහට දරුවන්ගේ ජීවිතය හා බද්ධ වෙලා තිබුණා. අනිත් කාරණය ඒක හරිම අහිංසක සහ දරුවන්ගේ ජීවිතයට මොබයිල් එකකින් වෙන හානියවත් නොවෙන සුන්දර අවස්ථාවක් වෙලා තිබුණා. ඒත් පහුගිය අවුරුදු හතරකට ආසන්න කාලය තුළ මහ මිනිස්සු තරමටම දරුවොත් තනිකරම ජීවිතයෙන් හෙම්බත් වුණු, හැඟීම් රහිත මිනිස් රූප බවට පෙරළිලා ඔහේ පාවෙවී හිටියා කියලයි මට දැණුනේ. හේතුව ඒ “අරාජික කාලය” විසින් දරුවන්ට විඳින්නට සැලැස්වූ දේවල් ඒ තරමට අමිහිරි හා කටුක දේවල් නිසා.

“තාත්තේ..මෙහෙ එන්නකෝ ඔයාට වැඩක් පෙන්නන්න..”

ලොකු එකී ඇවිත් මගේ අතින් ඇදගෙන සාලය පැත්තට යනකං මං හිටියෙ මිදුලට වෙලා කැරකි කැරකි කල්පනාවක කියලා මට තේරුණේවත් නෑ. සාලෙ මැද චූටී එකී හාෆ්ෂීට් කොලේක ලියපු වැකියක් අල්ලාගෙන ඉන්නවා. මං ළඟටම ගිහිං කියවලා බැලුවා.

“කැටෙං ගත්තු සල්ලි දියං අක්කේ…”

එයා අල්ලං ඉන්න හාෆ්ෂීට් කොලේ එයාගෙ අත් අකුරින් ලියලා තිබ්බ. තව ලියපු කොල කීපයක් බිම දාලා තිබ්බා. ඒවයෙ තිබුණේ මේ දවස්වල නිතර නොයෙකුත් මාධ්‍යවල දකින්නට ලැබෙන අරගලයේ ප්‍රසිද්ධ සටන් පාඨ කීපයක්. මට මේ සිද්ධිය වාර්ථා කරපු ලොකු එකී ආපු උනන්දුව නැතිව, පුදුමෙන් වගේ චූටී එකීගෙ පෝස්ටරේ දිහා බලං ඉන්නවා.

“මොකක්ද ලොකු ළමයා මේ?”

මං ඇහුවෙ, එයා මාව මෙතෙන්ට එක්කගෙන ආපු හේතුව දැනගන්න ඕනේ නිසයි.

“මං යද්දි චූටී මේ පෝස්ටරේ නෙවේනේ තාත්තෙ අල්ලං හිටියෙ..මේහ්..”

ලොකු කෙල්ල එයාගේ මොබයිල් එකෙන් ගත්තු පොඩ්ඩිගෙ ෆොටෝ එකක් මට පෙන්නුවා. ඒකේ තිබ්බෙ බිම වැටිලා තියන එක පෝස්ටරයක්. ඒත් දැන් පොඩි එකී අල්ලගෙන ඉන්නෙ වෙන එකක්. ලොකු එකී නොදැනුවත්ව මෙතන හදිසියේ යමක් වෙලා තියන බව මට තේරුණා.

“ලොකු ළමයා ඔය බිම තියන කඩදාසි ටික එකතු කරලා පැත්තකින් තියන්නකෝ…” කියලා මං පොඩි එකීවත් අරං එළියට ආවා.

“ඔයාද පැටියෝ මේක ඇන්දේ..” මං එන ගමං පොඩි එකීගෙන් ඇහුවා. ඒකී ඔලුව වැනුවා.

“මොකක්ද මේ කැටේ කතාව?”

“දවසක් අක්කා මගෙ කැටෙන් රුපියල් දහයෙ කාසි පහක් ගත්තා, රී ලෝඩ් එකක් දාන්න කියලා..”

“ආහ්… මයෙ පැටියට ඒක ආපහු ලැබුන්නැද්ද අක්කගෙන්?”

“නෑනේ දවස් දෙකකින් ආයෙ කැටේට දාන්නම් කීවා..ඒත් තාම නෑ…”

“ඉතිං ඇයි ඔයා මේ පෝස්ටරයක් ඇන්දෙ..අක්කගෙන් ඇහුවනම් ඉල්ලගන්න තිබ්බනෙ පැටියෝ ”

“අක්ක කීවා මෙහෙම පෝස්ටර් ඇඳලා අල්ලගෙන ඉන්නකොට ටී.වී එකෙන් පෙන්නනවා කියලා…”

ඇත්තටම මට කියන්න දෙයක් හිතට ආවේ නෑ. මං කෙල්ලගෙ ඔලුව අතගෑවා.

“මං පුතාට අක්ක ගත්තු කාසි පහට, දහයක් දෙන්නම් කැටේට දාගන්න..දැන් ඔය පෝස්ටරේ පැත්තකට වීසි කරලා ගිහිං අක්කට,එන්න කියන්නකෝ…”

කෙල්ල ඒක පොඩි කරලා බිම දාලා සාලෙ පැත්තට දිව්වා.

සමහර සරල දේවල් තියනවා සංකීර්ණ ප්‍රතිඵල හම්බවෙන. ලොකු එකීටත් බූමරංගයක් වෙලා වදින්න ඇත්තෙ එහෙම දෙයක් වෙන්න ඕනේ. ඒකනෙ අර අපි කතාවට කියන්නෙ කෙනෙක්ට ඇඟිල්ල දික්කරනකොට ඉතුරු ඇඟිලි හතරම නැවිලා තියෙන්නේ අපේ පැත්තට කියලා.

“තාත්තෙ..”

ලොකු එකී මං ළඟට වෙලා බිම බලාගෙන පොළොව හාරනවා. මං ඒකිගෙ කරට අත දාගෙන ඉස්සරහට ඇවිද්දා.

“මට හිතාගන්න පුළුවන් පුතේ මොකක්ද වුණේ කියලා..”

“අනේ මං හිතුවෙ නෑ තාත්තෙ නංගි එහෙම පෝස්ටරයක් අඳියි කියලා..”

“ඒක තමා පුතේ ලෝක ස්වභාවය..අපි අපේක්ෂා කරන දේට වඩා අයහපත් ප්‍රතිඵල, කෙනෙක් යම් නුසුදුසු දේකට තව කෙනෙක් පෙළඹවීමෙන් නැවත අපිටම ලැබෙන්න තියන සම්භාවිතාව වැඩී..”

“මං ජොලියට ෆේස්බුක් දාන්න ෆොටෝ එකක් ගන්න හැදුවෙ තාත්තෙ..”

“ඉතිං ඇයි ඔයා අර නංගී අල්ලං හිටපු පෝස්ටරේ ෆොටෝ එකක් අරං නොදැම්මේ?”

ආයෙමත් ලොකු එකීගේ මූණ පොළොවට බර වුණා.

“වැරදිකාරයෙක්ට,අපරාධකාරයෙක්ට වුණත් ලැජ්ජා, බය දැනෙනවා පුතේ..අපහසුතාවයට,අවමානයට ඒ ගොල්ලොත් කැමති නෑ.. හැම කෙනෙක්ම කැමති ගෞරවයෙන්, අභිමානෙන් ජීවත්වෙන්න..”

“මට සමාවෙන්න තාත්තේ..මං කරපු දේ වැරදියි කියලා මං පිළිගන්නවා…”

“ඒ වචන ටික ඇහුණාම මට ඔයා ගැන ආඩම්බරයක් දැණුනා පුතේ..තමං වරදක් කරපු බව පිළිගන්න මැළි නොවෙන මිනිස්සු හරිම සුන්දරයි..”

“මට දැන් ඒ වෙනුවෙන් මොනාහරි කරන්න පුළුවන්ද තාත්තේ..”

“වෙච්ව් දේ වෙනුවෙන් මොනා කරත් ආයේ ඒක හදන්න බෑ දරුවො. තරුණ දරුවෙක් විදිහට ආයෙ ඒ වගේ දෙයක් නොවෙන්න වැඩ කරන එක තමා පුතේ දැන් කරන්න තියෙන්නේ..”

මං එහෙම කියලා ලොකු එකීව අතෑරියා. ඒකී ගේ ඇතුළට ගියේ කල්පනාවක ගිලිලා.

“අරගලය” කියන්නේ පෝස්ටරයක් සහ උස් හඬක් විතරක් නෙමෙයි කියනෙක අපි මුලින්ම දරුවන්ගේ මනසට කාවද්දන්නෝනේ. කිසිම තේරුමක් නැතුව දරුවො කරපින්නාගෙන ගෝල්ෆේස් එකේ ඇවිද්දා කියලා, උන්ගෙ අතට සිංහ කොඩියක් දුන්නා කියලා, උන්ට නුසුදුසු සටන් පාඨ උන් ලවා කියෙව්වා කියලා උන්ගෙ අනාගතේ වෙනුවෙන් ලැබෙන “ලබ්බක්” නෑ. ඒක නිකංම නිකං “අනුකරණවාදී ස්ටයිල්” එකක් විතරයි. මේ රට අද තියන තත්වෙට එන්න අපේ වැඩිහිටි පරම්පරාව කරපු ඒ වගේ “ගොබ්බකම්” හුඟක් හේතූ වුණා. අපි ඕනෑම දේක ඉස්සෙල්ලා පාගන්නෙ “රැල්ල”. ඒ රැල්ලට යටවෙන වටිනාකම් කියවගන්න තාම අපිට කවුරුත් උගන්නලා නෑ. ඉතිං කොහොමද ඒවා අපි අපේ දරුවන්ට උගන්නන්නේ. මේ දවස්වල අරගලය ඇතුලෙ ඇහෙන ප්‍රධාන කෑගැසීම තමා මේ “ආණ්ඩුව හැප්පුණේ වැරදි ජෙනරේෂන් එකත් එක්ක” කියනෙක. ඒකත් ටිකක් “උද්දච්ච සටන් පාඨයක්”. ඇත්තටම මේ රට තාම හැප්පෙන්නේ මේ රටේ මිනිස්සුන්ගෙ “ගුහාගත චින්තනයේ මිස්ටේක්” ටික එක්ක. ඒ ගල් යුගේ,එඬේර යුගේ “මිස්ටේක්ස්” තාම “යුරෝපියන් සිටිසන්ස්” තියන ඔය,කියන “ජෙනරේෂන්” එක ළඟත් තියනවා. ඒකයි දුක. අරගලයට ඇවිත්, කැමරාවට පේන්න පෝස්ටරයක් අල්ලං ඉඳලා, තරු පන්තියේ හෝටලේකිං “ඩිනර්” එක අරං ගෙදර ගියාට ඊළඟ “ජෙනරේෂන්” එකට වඩා යහපත් රටක් ගොඩනැඟෙන්නෙ නෑ. ඒක ගොඩනඟාගන්න අපේ පංතියම සූරා කන, හොරාකන ගමේ “ග්‍රාමසේවකගෙ” ඉඳලා ප්‍රාදේශීය සභාවේ සභාපති දක්වා වෙනස් වෙන්නෝනෙ. එහෙම නොවුණොත් ඊළඟ ආණ්ඩුවෙදි නම්,ගම් වෙනස් වෙලා ආයෙත් අලුත් සටන් පාඨ අරං වෙන ජෙනරේෂන් එකකට අරගල භූමියක් හදන්න වෙනවා.

“මරු තාත්තලා, දූලා ටික..”

දෝණිලයෙ අම්මගෙ කටහඬ ආවෙ ගේට්ටුව පැත්තෙං. බඩු මලු ටිකකුත් උස්සාගෙන ගේට්ටුව ළඟ එයා ඉනට අත තියාගෙන. මං ගිහිං ඒ ටික අතට ගත්තා.

“කෝ අර ඩබල..”

“ඇතුලෙ හිටියා..” දෝණිලයෙ අම්මා මං දිහා බැලුවෙ කුකුසකින්.

“දෙන්නත් එක්ක අරගලයක් කරලා ඒක පොඩ්ඩක් අල වෙලා…ඒ හින්ද දෙන්නා දෙපැත්තට වෙලා නිහඬ,සාමකාමී අරගලයක..”

මං දෝණිලයෙ අම්මට අදාළ සිද්ධිය ගැන “ක්වික් අප්ඩේට්” එකක් දුන්නා. ඒවා සාමාන්‍යයෙන් අපේ ගෙදරට අලුත් දේවල් නෙවේ නිසා, එයා සාමාන්‍ය විදිහට අහගෙන ඉඳලා පොදු ප්‍රතිචාරයක් විදිහට ඔලුව එහෙ,මෙහෙ කරා.

“මේහ්.. සුරංග ඔයා සාමාන්‍යයෙන් බොරු කියනව නේද?”

ඒවා ඉතිං අතටම අහුවෙලා තියන නිසා “නෑ” කියනෙක “බෑ” නිසා මං එකඟතාවය සඳහා ඔලුව විතරක් වැනුවා.

“ඒ කියන්නෙ ඔයා අවසානෙට බොරු කියනෙක නවත්තලා දැන් අවුරුදු දහයකට වැඩී?”

“ඔයාට මොකක් හරි අසනීපයක්ද දිනේෂා?”

ඇත්තටම කියන දේ මීටර් නැති නිසා මං එයාගෙන් අවංකවමයි එහෙම ඇහුවෙ.

“නෑ අර හාමුදුරු කෙනෙක් කියලා තිබ්බලුනේ, තාත්තලා බොරු කීවම පවුලට ගෑණු දරුවො ලැබෙනවා කියලා…”

“ඉතිං..”

“නෑ ඉතිං අපිටත් ඉන්නේ දුවලා දෙන්නෙක්නේ..”

“දැන් ඔයා ඔය කියන්න හදන්නෙ මං බොරු කිව්ව නිසා උන් දෙන්නා හම්බවුණා කියලද?”

“නෑ අනේ..අපේ ලොක්කිට දාහතයි…පොඩ්ඩිට දහයයි..මං මේ කල්පනා කරේ..ඔයාගේ බොරු කියනෙක අඩුවුණු පරතරයයි, අනුපාතයයි ගැන..”

මේව විග්‍රහ කරන්න ඉතිං වෙනම අරගලයක් කරන්න එපැයි. ඒ නිසා මං එහෙම කියපු හාමුදුරුවන්ගේ මෑණියන්ට පිං අනුමෝදන් කරලා නිකං හිටියා. මේවා බොරු හෙම නෙවේ. වැලිමඩට අල බහිනවා වගේ ඇත්ත හොඳේ.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you