Sadewthara – තාරා සිය කාමරයේ ජනේලයෙන් රාත්‍රී අඳුරට නෙත් යොමා සිටියාය. සමදරා අද රෝහලේ රාත්‍රී වැඩමුරය වෙනුවෙන් නතර වූ බැවින් නිවසේ ඇත්තේ සීයා සහ තාරා පමණි. සදෙව් රෝහල්ගත කිරීමත් සමඟ, ඔහු වෙනුවෙන් දිවා කාලය ගත කිරීම තාරාටත්, රාත්‍රී කාලය සමදරාටත් පවරන ලද්දේ අඹේපිටිය මහතා විසිනි. සීයා සමඟ වැඩි කාලයක් ගත කිරීම තාරාගේ විනෝදාංශය වූවත්, මව නොමැතිව රාත්‍රී කාලය ගෙවීම ඇයට තරමක් අපහසුය. දවල් කාලයෙන් අඩක් පමණ තමා හැදෑරූ විෂයෙහි ප්‍රායෝගික පුහුණුව ලබාගැනීම සදහා නිම්නලාට අයිති, තම මව සේවයේ නියුතු ආයුර්වේද රෝහලට පැමිණෙන්නැයි, අඹේපිටිය මහතා තමන්ට ආරාධනා කළේ, සිය මව හමුවීමට රෝහලට ගිය දිනයකදීය. එතැන් පටන් තාරා සිය පුහුණුව සඳහා සතියේ දිනවල හවස් වරුව රෝහලට ගොස් සන්ධ්‍යාවේ සිය මව සමඟ නිවසට පැමිණියාය. එකළ උදේ වරුව සිය රෝගාතුර සීයාගේ දෛනික උපස්ථාන කටයුතු සදහා යොදවමින් හා සති අන්තය සිය මව,සීයා සමඟ එක්ව ගෙවා දමමින් ඇය සරල, තෘප්තිමත් හැඟීමක ජීවත් වූවාය. තම පාසල් මිතුරු,මිතුරියන් සමඟ යෙදුණු විනෝද චාරිකාව මෙන්ම එහිදී හදිසියේම අසනීප වී රෝහල් ගත කෙරුණු සදෙව් නිසාද, තාරාගේ සැහැල්ලු ජීවිතය උහතෝකෝටිකයන් අතර සිරකරමින් තිබෙන බව ඇයට දැනෙමින් තිබුණාය. සිය පියාගේ හදිසි වියෝවෙන් හා සීයාගේ රෝගාතුර වීමෙන් සිය පවුල සීඝ්‍රයෙන් ආර්ථිකව කඩාවැටෙමින් තිබුණු කාලයේ, මවට රැකියාවක් ලබාදීමට මැදිහත් වූයේ සිය පාසල් මිතුරිය වූ නිම්නාය. මාලක නිම්නා විෂයෙහි කෙතරම් දේ කීවද, තාරාගේ හිතෙන් ඒ මිත්‍රත්වය පහව යන්නේ නැත. එමෙන්ම නිම්නා මාලකට ආදරය කරනවාය යන්නට වඩා ඇයට පිළිගත හැකිවන්නේ, නිම්නා ආදරය කරන්නේ සදෙව්ටය යන්නය. සවස සදෙව් විසින් ගන්නා ලද සෙල්ෆි ජායාරූපය ෆේස්බුක් නොදමන්නැයි ඔහුට ඇවිටිලි කරන්නට තරම් තාරා පොළඹවන ලද්දේද ඉහත හේතූ කාරණා විසිනි.
“චූටී බට්ටී…”
සීයාගේ ඒ ඇමතුම තමාටය. තාරා වහා ජනේලය අසලින් මෑත්ව, සීයාගේ කාමරය වෙත දිව ගියාය.
“ඇයි සීයේ…”
ඇය ඇසුවේ, සීයාගේ ඇඳ අසලට පහත් වෙමිනි. මුදලිනායක සිය මිණිබිරිය දෙස බැලූයේ මුව පුරවාගත් ආදරණීය සිනාවක් සහිතවය.
“මං බලව්වේ උඔ කොයි ඉසව්වේද කියලා චූටී බට්ටියේ..”
ඔහු ඇඳෙන් එසවෙන්නට කොට්ටය ඇඳ වියලට හේත්තු කරමින් පැවසීය.
“මං දැන් චූටිත් නෑ…බටුත් නෑ…සීයා තමා එන්න,එන්න බබා වාගේ වෙන්නේ….”
කියමින් තාරා සීයාගේ කොට්ටය ඇඳ වියලට හේත්තු කොට ඔහුව කෙලින් කර තැබුවේය. “හොහ්…හොහ්..” හඬින් සිනාසෙමින් ඔහු තාරාගේ අතින් අල්ලාගෙන සිටියේය.
“මට තාම උඔව චූටියි, බටුයි..පැටියෝ…”
මුදලිනායක කීයේ සිය මිණිබිරියගේ අත ඉහල සිට පහලට සෙනෙහසින් පිරිමදිමිනි. තාරා , මුදලිනායකට සමීපව ඔහුගේ ඇඳ කොනකින් වාඩි වූවාය.
“සීයට තාම ඉස්සර,වෙද,හෙදකම්,කෙම් ක්‍රම එහෙම මතකද සීයේ….”
මුදලිනායක ආඩම්බරයෙන් හිස සලන්නට වූයේය. ඔහු මේ ගම් පලාතටම සිටි දක්ෂ වෙදැදුරාණන් කෙනෙකි. ගමේ පන්සලට හා සමාන ගෞරවයක් එකල මෙන්ම අදද, මේ නිවසට ඇත්තේ ඒ නිසා බව තාරා විශ්වාස කළාය.
“සීයේ..ඇදුම රෝගය නිට්ඨාවට හොඳ කරන්න පුළුවන් බේත් සිංහල වෙදකමේ තියනවද….”
මුදලිනායක සිය මිණිබිරිය දෙස බැරෑරුම් ලෙස බැලුවේය.
“හරි ඉතින්..මං දන්නවා …එහෙම බෙහෙත් කියන්නෙ නෑ කියලා…ඒත් ඉතිං මගේ සීයා පැටියා චූටී බට්ටිට නොකියන රහසක් නෑනේ නේද….”
තාරා හුරතල් වෙමින් ඇසුවාය. මුදලිනායක අභිනයෙන් යමක් කීවාය. තාරා එය හැඳින්නාය.
“පෙනේද මේ හොර සීයා…ඒකටත් පගාව ඉල්ලනවා…බුලත් විට කන්න හොඳ නෑ අනේ ඔයාට.. මට අම්මගෙන් බැනුම් අහන්න වෙන්නෙ උදේට….”
කියමින් තාරා ඇඳ යටට එබී කුඩා වංගෙඩියක් සහ යකඩ ඇණයක් ගෙන කනප්පුව මත තැබුවාය. බුලත් කොලයක් සහ පුවක් කැබැල්ලක් කුඩා වංගෙඩියට දමා මුදලිනායක දෙස බැලුවාය.
“හුණුයි,දුංකොළයිනම් දාන්නෙ නෑ ඕං සීයා බබෝ හරිද…”
තාරා, යකඩ ඇණයෙන් බුලත්,හා පුවක් දැමූ වංගෙඩියට කොටමින් කීවාය. එහෙත් ඒවාද ඉතා ස්වල්පයක් අවශ්‍ය බව මුදලිනායක පවසන ලද්දේ, ඇඟිලි තුඩු ළංකර පෙන්වමිනි. තාරා බොරු අමනාපයක් මවාගෙන මුදලිනායක දෙස බලන්නට වූවාය.
“ඔයත් එක්ක බෑ අනේ මේ වැඩේ කරන්න..”
තාරා හුණු හා දුංකොළ ස්වල්පයක්ද ඊට එක්කොට කොටන්නට වූවාය. මුදලිනායක “හොහ්..හොහ්..” හඬින් සිනාසෙමින් එදෙස බලා සිටියේය.
“බලන්න දැන් කෙටිලා ඇතිද කියලා…”
කුඩා වංගෙඩිය මුදලිනායකට දක්වමින් තාරා ඇසුවාය. එයට අත දැමූ මුදලිනායක සියල්ල සූරා අතට ගෙන කටේ දමාගත්තේය. තාරා කම්මුලට අතක් ගසාගෙන විමතිය පල කරමින් සීයා දෙස බලා උන්නාය. අනතුරුව වංගෙඩිය සහ ඇණය ඇද යටට දමන්නට සූදානම් වූවාය.
“බට්ටියේ ඔය ඇඳ යට තියන ට්‍රන්ක පෙට්ටිය එළියට ගනිංකෝ….”
තාරා ඔහු කී ලෙසම යකඩ පෙට්ටියක් එළියට ගෙන ඇඳ මත තැබුවාය. මුදලිනායක සිය සරමට උඩින් ඉනේ බැඳ තිබූ බඳ පටියේ තිබූ කුඩා පොකට්ටුවකින් යතුරක් ගෙන යකඩ පෙට්ටිය විවර කළේය. එහි තිබූ පුස්කොළ පොත් ප්‍රමාණය දුටු තාරාගේ දෑස් උඩ ගියාය. මුදලිනායක ඉන් එක් පොතක් ගෙන ඇඳ මත තැබුවේය.
“ඕකේ පාලොස් වෙනි කොලේ පෙරලහංකෝ මයෙ පැටියෝ….”
මුදලිනායක කී ලෙසින්ම එම පිටුව පෙරලා බැලූ තාරා, එහි ඇති තමාට කියවිය නොහැකි භාෂාවකින් ලියවී ඇති අකුරු දෙස මුව අයාගෙන බලා සිටියාය.
මිහිර සිය නිවසේ කෙටි බැම්ම මතට වී පාර දෙස බලා සිටියේය. රෝහල් අවන්හලේදී මාලක තමාට පහර දීමට මෙන් සමීපයට පැමිණෙද්දී, ඒ මැදට පැමිණි නිම්නා ඔහුට කතා කල ආකාරය මිහිරට තාමත් සිතාගත නොහැකිය. ඒ මොහොතේ තමාව දවා හළු කරන තරමේ බැල්මක් හෙලා මාලක පිටව ගියද, නැවත කිනම් මොහොතක හෝ ඔහු තමා සමඟ පැටලෙන බව මිහිර දැන සිටියේය. විටෙක, මේ සියල්ල විකාරයක් සේ ඔහුට දැනෙයි. තවත් විටෙක තමා මේ පීඩනයට ලක්වන්නේ අනවශ්‍ය ආකාරයට නොවේදැයි ඔහුට සිතේ. නිම්නාට ඔහු සමඟ පැටලීමට බලය තිබේ. ඒ බලය හමුවේ පසුබා යන්නට මාලකට හේතූ ඇතුවා වන්නටද පුළුවන. එහෙත් මේ සියල්ලට අත කොළුවක් ලෙස තමා පාවිච්චි වන්නේ ඇයිදැයි යන්න තාමත් ඔහුට විසඳාගත නොහැකිය. ඇතැම් විට මාලක නිම්නා කෙරෙහි බලාපොරොත්තු තබා සිටිනවා විය හැකිය. තමා නිම්නා සමඟ සමීප වීම ඔහුට නොරුස්සන්නේ ඒ නිසා විය හැකිය. නමුත් නිම්නා මාලකට ආදරය කරන්නේද..? නොඑසේනම් එය මාලකගේ ඒක පාර්ශවීය ප්‍රේමයක්ද…? නිම්නා සදෙව් කෙරෙහි බලාපොරොත්තු තබා ඇත්තේද..? එහෙත් සදෙව් ආදරය කරනුයේ නිම්නාටද..තාරාටද.? කඩුල්ල අසල අඳුරේ කිසිවෙකු වැනෙන අයුරු දැක, මිහිර ඒ දෙසට ගියේය. මධුර වැනෙමින් වත්තට ඇතුල් වූයේ ඒ මොහොතේය. ඔහු බීමතින් බව මිහිර හඳුනාගත්තේය.
“අයියේ..මේ මොකද..”
මිහිර සිය සොහොයුරාගෙන් ඇසූයේ, ඔහු සාමාන්‍යයෙන් මෙලෙස නිවසට පැමිණෙනු තමා දැක නොමැති නිසාය. මධුර සිය දෙතොල් වලට අත තබා මිහිරට නිහඬ වන ලෙස කීවේය. අනතුරුව මිදුලේ බිම හිඳගෙන, තමාටත් ඒ ඉදිරියේ වාඩිවන ලෙස අතින් සන් කළේය. මිහිර ඔහු ඉදිරියේ වාඩිවුණේය.
“රස්සාව ගියා බං..”
මාලක පොලොවට නවාගත් හිසෙන් යුතුව කීවේය.
“මොකක්ද වුණේ..”
“උඔගෙ අර මහ ලොකු යාළුවා…ආන්න ඌ වැඩ බාරගත්තා…මං කෙලින්ම..ගෙදර..ඔව්..ගෙදර..”
“හේතුව..”
“ඇහුවා කිව්වෙ නෑ…ඉතිං දුන්නා හොම්බට දෙකක්..”
“කාටද..”
“වෙන කාටද ඉතිං..උඔගෙ යාළුවා මාලකට..බොසාගේ එකම කොළුවට බං…”
“ඔයාට පිස්සුද අයියේ..මොකටද මාලක එක්ක රණ්ඩුවට ගියේ..”
“මං ගියේ නෑ බං..ඌනේ ආවේ…ඌ තුන් කොණ්ඩෑරුම් ගහල බිම පතබෑවෙද්දි නම් මටත් ටිකක් අප්සෙට් ගියා…ඒ දුකට තමා පොඩි එකක් ගත්තෙ..හිටාංං..පොඩ්ඩක් අම්ම බලලා එන්නං…”
මධුර දණි,පනි ගා නැඟිට වැනෙමින් ගේ දෙසට ගියේය. මොහොතකින් ඔහු මව සමඟ මොන,මොනවදෝ මුමුණනු ඔහුට ඇසුණේය. එසේනම් මාලක තමාගෙන් පලිගැනීම ආරම්භ කර ඇත. දැන් තමා එයට මුහුණ දීමට සූදානම් විය යුතුය. ඇත්තෙන්ම ඔහුට තමාගේ සොහොයුරා රස්සාවෙන් නෙරපීමට තරම් සාධාරණ හේතූවක් නැත. එය සම්පූර්ණයෙන්ම තමා ඉලක්ක කරමින් කළ දෙයක් බව පැහැදිලිය. මාලක කිහිප වාරයක් තමාට සොහොයුරා ගැන කියමින් තර්ජනය කොට තිබේ. එහෙත් කොලුකමට එසේ කීවා මිස, ඔහු මෙතරම් පහත් අඩියකට වැටෙතැයි මිහිර කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත. අනෙක් කාරණය ඔහුට තමා කෙරෙහි මෙතරම් වෛර බඳින්නට සාධාරණ හේතූවක් ඇත්තේද නොවේ. ඒ සියල්ල ඔහු මනංකල්පිතව හිතෙහි ඇඳගත් චිත්ත රූප හරහා යමින් සිදුකරන දේය. නමුත් ඒ සියල්ල තමාගේ සහ පවුලේ අයහපතට හේතූ වෙමින් පවතින්නේ නම්, ඔහු මෙන් තමාද ඒවාට මුහුණ දීමට සූදානම් විය යුතුයැයි මිහිර සිතට ගත්තේය. පළමුව මාලක මුණගැසී මේ සියල්ල නිරාකරණය කරගත යුතුයැයි මිහිර සිතුවේය. එසේ නොවුණහොත් තත්වය මීට වඩා අසතුටුදායක අවසානයක් කරා ළඟා වීමට ඉඩ ඇත. ගෙතුලින් එක්වරම සිය මව විලාප නඟන හඬ ඇසෙන්නට වූයේය. මිහිර වහා හුන් තැනින් නැඟිට ගේ දෙසට දිව ගියේය.