ඔක්තෝබර් සිට විදුලි බිල නැංවීමට මහජන අදහස් විමසීමක්
මෙම වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සමාලෝචනය ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මේ වන විට ප්රකාශයට පත්කර තිබේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ මෙම ගාස්තු සමාලෝචනය සම්බන්ධ ලේඛනය ප්රකාශයට පත්කර ඇතත්, මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයට අදාළව 2.88% කින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම (NSO) විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.
ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් මුලින් 2.88% ක ගාස්තු වැඩිවීමක් සිදුකරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබුණද කොමිෂන් සභාව විසින් සිදුකරන ලද මූලික සමාලෝචනයකින් අනතුරුව එම ගාස්තු වැඩිවීමේ ප්රතිශතය 1.46% ක් දක්වා අඩුකිරීමට හැකියාව තිබෙන බව හඳුනාගත් බව පැවසේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ පවසා සිටියේ ජාතික පද්ධති ක්රියාකරු සමාගමෙ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමකට අවසර ඉල්ලා ඇති බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කර තිබෙන බවත් ය.
මෙම යෝජිත ගාස්තු සමාලෝචනය සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් ඉදිරිපත් කිරීමට එළැඹෙන නොවැම්බර් මස 05 වැනිදා තෙක් අවස්ථාව ලැබෙන බව ප්රකාශ කළ අධ්යක්ෂ ජනරාල්වරයා, යෝජිත ගාස්තු සමාලෝචනය සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා විද්යුත් තැපෑලෙන්, ෆැක්ස් මගින් හෝ තැපෑලෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පැවසීය.