Featuresසලේ නිසා වළේ වැටුණු ආණ්ඩුව

සලේ නිසා වළේ වැටුණු ආණ්ඩුව

-

spot_img

සලේ නිසා වළේ වැටුණු ආණ්ඩුව

මේ දිනවල මාධ්‍ය ග්‍රහයෝ සියල්ල කරකැවෙන්නේ සුරේෂ් සලේ වටාය. රටේ වෙන ප්‍රශ්නයක් නැති තරම්ය. ජනතාව ආර්ථික පීඩාවෙන් හෙම්බත් වුවද දෙපිල බෙදී සලේ බෙදාගෙන විවිධ තර්ක ගොඩනඟමින් දේශපාලන විචාරක ඔස්තාද්ලා වීම සමාජ මාධ්‍ය බුකී වාසින්ගේ එකම විනෝදය වී ඇත. ඔවුහු ඒ විනෝදස්වාදයේ ගිලෙති. හිටපු බුද්ධි ප්‍රධානියකු වූ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටී. ඔහු එහිදී වධහිංසනයට ලක් කරන්නේ යැයි චෝදනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එල්ල වේ. පාස්කු දින ප්‍රහාරය සිදුවූ දා සිට දේශපාලන බල හුවමාරුව එහා මෙහා කරන බලවේගය බවට පාස්කු දින ප්‍රහාරය පත්විය. මෙහි තීරක බලවේගය කාදිනල්තුමාය. කතෝලික ප්‍රජාවට මීට පෙර ස්වාධීන දේශපාලන මත දැරීමේ අයිතියක් තිබුණද මේ පාස්කු දින ප්‍රහාරයත් සමඟ එය තනිකරම කාදිනල් ප්‍රමුඛ පල්ලියේ සෙල්ලමක් බවට පත් විය. රටේ බලය අල්ලන කුමන පක්ෂයක් වුවද පාස්කු දින ප්‍රහාරයට ස්ථිර සාර විසඳුමක් දිය යුතුය. විසඳුම යනු ඊට වැරැදිකරුවන් ලෙස කාදිනල් ප්‍රමුඛ පිරිස විශ්වාස කරන වැරැදිකරුවන්ම විය යුතුය. එසේ නොවන තාක් කවුරු පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධයි කීවද පළක් නොවනු ඇත. මේ මොහොතේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ කටුක යථාර්ථය එයය. 

NPP political drama

පාස්කු දින ප්‍රහාරය ගැන කතා කරන ලියන විග්‍රහ කරන සැමට තම තම නැණ පමණ අනුව එය සිදුවූ ආකරය කපා කොටා විසඳා බලා වැරැදිකරුවන් නම් කළ හැකි වන අතර ඒ අයට දඬුවම්ද කළ හැකිය. අද වැරැදිකරුවන් තීන්දු කරනුයේ සමාජ මාධ්‍යයන් විසිනි. යූ – ටියුබ් කරන අය විසිනි. අතීතයේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය අධිකරණ කාරණයකදී විනයක් පවත්වා ගනු ලැබුවේ එක්තරා විදිහට බයක පක්ෂ පාතීත්වයද ඇතිවය. අද ඉහත සමාජ මාධ්‍යවලට එවැනි විනයක් නැත. කවුද හරි කවුරු වැරැදිද ඔවුන් තීන්දු කරන අතර සමාජය තුළ නොබැසිය හැකි මට්ටමට ඒ චරිත විනාශ කිරීම්ද කළ හැකිය. ඒවා ගැන වගේ වගක් කාටවුව නැත. හරි වැරැද්ද කුමක් වුවත් සමාජ මාධ්‍ය තුළ නඩුකාරයෝ එමටය. සුරේෂ් සලේගේ නම පාස්කු දින ප්‍රහාරයට ඇතුළත් වූයේ අද ඊයේ නොවේ. මේ සම්බන්ධ මුල් කතා බහවලදීද සලේ, නිලන්ත ජයවර්ධනගේ නම් මතුවෙනු පෙනුණි. එහෙත් ඒ මොහොතේ දේශපාලන යාන්ත්‍රණය විසින් ඒවා මතු වන්නට ඉඩ නොදුන්හ. මේ තත්ත්වය තුළ නිර්මාණය වනුයේ පවතින දේශපාලන රාමුව අනුව පින්තූරය හදා ගැනීම බව පැහැදිලිය.

NPP political drama

පාස්කු දින ප්‍රහාරය සිදුවනුයේ යහපාලන අවසාන කාලයේ යහපාලනයට අවසානයද උදා කරමිනි. ඒ මොහොතේ සැවොම හිතනුයේ මෙය ත්‍රස්ත ප්‍රහාරයකට එහා දෙයක් නොවූ බවය. එහෙත් එය වළක්වා ගන්නට තිබූ ඉඩ යහපාලනය ආණ්ඩුව මඟහැරියේ යැයි බරපතළ චෝදනාව එල්ල වත්ම එවකට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන කළේ තම ආණ්ඩුවේ දෙදෙනකු බිල්ලට දී ඇඟ බේරා ගැනීමය. ඒ හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවය. ඔවුන් දෙපළ හිරේ ගියේ එම ප්‍රහාරය වළක්වා නොගැනීම යන කාරණය මතය. කෙසේ වෙතත් ඒ මොහොතේ කාදිනල්වරයා ප්‍රමුඛ කතෝලික බලධාරි පිරිස සිටියේ යහපාලනයට පාඩමක් උගන්වන තැනය. ඒ ප්‍රහාරය වළක්වා නොගෙන කතෝලික ජනයා මිය යන්නට ඉඩ හැරීම කතෝලික සභාවේ ආගමික නායකයකුට සහ කම්පනයක් ඇති කරන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ අනුව යහපාලනය පන්නන්නට ගෝඨාභය ගෙන ආ යුතුයි කියන මතය නිර්මාණය වුවද වරදක් නැත. ගෝඨාභය ආණ්ඩුව පැමිණ කළේ කුමක්ද? හිටපු ජනපති සිරිසේනත් ඒ උගුලට පටලවා තව කිහිප දෙනකුගේ නම් ඇතුළත්ව වැරැදිකරුවන් ප්‍රමාණය ඉහළ දැමීමය. ඒ අතරට නිලන්ත ජයවර්ධනගේ නමත් විය. ඒ අය මුදලින් වන්දි ගෙවූහ. එහෙත් කාදිනල් ප්‍රමුඛ කතෝලික සභාව බලාපොරොත්තු වන පිළිතුර එහි නොවීය. එය රනිල් වික්‍රමසිංහගේ කෙටි ජනාධිපති කාලය තුළ විසඳෙතැයි හිතුවද එයටත් විසඳුමක් නොවීය. එහිදී ආණ්ඩුවක් පත් කිරීමේදී මීට වඩා සැරට මැදිහත් විය යුතු යැයි කාදිනල් ප්‍රමුඛ කතෝලික සභාව සිතනුයේය. එතෙක් තෘප්තිමත් නැති පාස්කු දින ප්‍රහාරයේ වැරැදිකරුවන් ඇල්ලීම මාලිමා ආණ්ඩුවට භාර දීම යහපත් බව සිතනුයේ ඉන් අනතුරුවය. කතෝලික ඡන්ද අනුරට ලැබෙන්නේ පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු සැබෑ වැරැදිකරුවන් අල්ලන බවට දෙන පොරොන්දුව පිටය. ඒ වන විට සමාජ කියවීම මුලින් ත්‍රස්ත ප්‍රහාර වෙනත් මානයක් ගෙන ඇත. සහරාන්ලා අයි.එස්.අයි.එස්. විය හැකිය. එහෙත් ඒ අය මෙහෙයවූ දේශපාලන පිරිසක් ඇතැයි යන්න ප්‍රසිද්ධ සාකච්ඡාව විය. එය වෙන කවුරුත් නොව රාජපක්ෂලා යන්න සමාජය තුළ දිග හැරෙනුයේ යහපාලනය පෙරළා බලය ඇල්ලීමට මේ සැලසුම දියත් කළ බව කීමෙනි. එසේ නම් රාජපක්ෂලා බලයට එන්නට පාස්කු දින ප්‍රහාරය සැලසුම් කර ඇති අතර ඊට වඩා බරපතළ කාරණය එහෙව් අයට කාදිනල් ප්‍රමුඛ කතෝලික සභාව රැවටීමය. තමන්ගේ ජනතාවම ඝාතනය කළ අයම බලයට ගෙන ඒමය. මේ මුළාව මෝහය, අන්ධකාරය තුළ කාදිනල්තුමා රාජපක්ෂලා සමඟ ඇති වෛරය මේ නොසන්සිඳෙන විසඳුම එනතෙක් කෙළවර නොවන බව පැහැදිලිය. එසේ නම් එය විසඳාගත හැකි හොඳම පිරිස මාලිමාව බව පිළිගත්හ. ඊට අවශ්‍ය හොඳම පිරිස ඇත්තෙ එහි යැයි විශ්වාසය තහවුරු කරන්නට ශානි සහ රවි ප්‍රමුඛ විය. මේ දෙපළ මුලින්ම සජබයට සම්බන්ධව සිටි දෙපළකි. එහෙත් එකවරම මාලිමාව තුළ සිට ගත්තේය. එය මේ පාස්කු දින ප්‍රහාරයට විසඳුම් සෙවීමක්ම විය.

NPP political drama

වත්මන් එන්.පී.පී. ආණ්ඩුව පත්ව වසර දෙකකට ආසන්නය. එහෙත් පාස්කු දින ප්‍රහාරයට වගකිව යුතු අයකු තවමත් අල්ලා ගැනීමට නොහැකි විය. පිල්ලෙයාන් අල්ලා ගන්නා විට රඳවා ප්‍රශ්න කරන විට සියල්ල වමාරනු ඇතැයි සිතුවද ඒ කිසිවක් නොවීය. එම උත්සාහය අසාර්ථක වන විට නැවත සැලැස්ම ක්‍රියාත්මක වී ඇත. ඒ සුරේෂ් සලේය. සලේ වරදක් කර ඇත්ද නැද්ද අපි නොදනිමු. සලේ එයින් නිදහස් වන්නටත් අදාළ පරික්ෂණවලට ප්‍රශ්න කිරීම්වලට මුහුණ දිය යුතුමය. ලංකාවේ කවදත් සැකකරුවකු අල්ලා ආදරයෙන් ප්‍රශ්න කරන අයුරක් ඉතිහාසය පුරාම නැත. ඒ ආයතන පවතිනුයේ පැරැණි ස්වරූපයෙනි. පැරැණි ක්‍රමයටමය. දේශපාලනයත් එසේමය. එදා පාර්ලිමේන්තුව තුළ ත්‍රස්ත විරෝධී පනතට වැඩිම හඬ නැඟුවේ අනුර කුමාරය. එහෙත් අද ඔහු ජනාධිපති ලෙස එයම ඔහුගේ ගැලවිජ්ජාවකට පාවිච්චි කරමින් සිටී. මෙය දේශපාලනයේ ස්වරූපය යැයි අපට තර්ක කළ හැකිය. ජේ.ආර්.ගේ බලයට අනුර නොව කවුරු වුව ආසය. ඒ නිසා විධායක ජනපතිකම අහෝසි කිරීමට කිසිවකු කල්පනා කරන්නේ නැත. අද අනුර ප්‍රබලයකු වී ඇත්තේද එම ව්‍යවස්ථාවට පින්සිදු වන්නටය. බලය ලැබුණු පසු සැවෝම අන්ධය.

NPP political drama

ගෝඨාභය පාස්කු දින ප්‍රහාරය තම බලය රැකීමට යොදා ගත්තා සේම අද අනුර ප්‍රමුඛ ආණ්ඩුවත් එහි උපරිම ප්‍රයෝජන ලබමින් සිටී. ඊළඟ වාරයේ කතෝලික ඡන්ද කාටද? ඒ ඡන්ද ගන්නට නම් කතෝලික ප්‍රජාව ආරක්ෂා කරගත යුතුය. අනුර සේම සජිත් සිතන්නේද එසේය. එබැවින් මේ දෙපිරිසම කතෝලික ඡන්ද පදනම වෙනුවෙන් දේශපාලනය කරති. එසේ නම් ඒ ඡන්ද වෙනුවෙන් මේ බිල්ලට දෙන්නට යනුයේ ඇත්තම පාස්කු මහ මොළකරුවන්ටද? දිලීප පීරිස් වරක් කියුවේ පාස්කුවේ මහ මොළකරු සලේ කියාය. එසේ නම් සලේ හරහා ගෝඨාභය බිලිබා ගන්නට දඟලනුයේ ඇයි? මේ ආණ්ඩුව ආවේ වැරැදිකරුවන්ට දඬුවම් දෙන පොරොන්දුව පිටය. දැන් කරන්න නොහැකිම දේ වී ඇත්තේද එයමය. එබැවින් සලේ හරහා කෙසේ හෝ රාජපක්ෂලාගේ නම් වැපිරිය යුතුව ඇත. මේ උත්සාහය එයය. විපක්ෂයේ ඉද්දී නලින්ද ජයතිස්ස කීවේ මෙය ඉන්දියාවේ වැඩක් බවය. අද ඔහු සිටින ආණ්ඩුව මෙය රාජපක්ෂලාගේ වැඩක් කියන්නට වළිකති.

NPP political drama

මේ පාස්කු දින ප්‍රහාරය වූ කලී පත්වන ආණ්ඩුව දෙකොන පත්තුවන විලක්කුවක් වී ඇත. සලේ ඕ.ඩී. ගසමින් රඳවා ගෙන සිටියද ආණ්ඩුව ඒ හරහා පඹගාලක පැටලී ඇති බව පෙනේ. එනම් සලේ හරහා රාජපක්ෂලා මතුකර ගැනීමට තවමත් සිදුනොවූ බැවිනි. ශානිලා තමන් මහා කෙරුම්කාරයන් බව තම මාධ්‍ය පිරිසක් නඩත්තු කරමින් ඉලිප්පුවද කියන තරම් චරිත නොවන බව ඒ අයම ඔප්පු කරමින් සිටී. පාස්කු දින ප්‍රහාරය ගැන ආණ්ඩුවට පක්ෂ තොරතුරු යනුයේ ශානි හරහාමය. ඒ තම ළඟම මාධ්‍ය අය සියල්ල දත් සේ කියනුයේ ශානි කියන කරුණුය. එහෙත් වැඩේ ශානිට ඒවා උසාවියට කියා ඔප්පු කිරීමට නොහැකි වීමය. අද සිදුව ඇත්තේ කතා නම් එමට වුවත් ඒවා ඔප්පු කිරීම අපහසු වීමය. පාස්කු දින ප්‍රහාරයට මේ ආණ්ඩුව යටතේ වැරැදිකරුවන් වන අය නැවත මේ ආණ්ඩුව පෙරළා වෙන ආණ්ඩුවක් බලය ඇල්ලුවහොත් ඒ ආණ්ඩුව යටතේ නිදහස් විය හැකිය. මෙය දේශපාලන සෙල්ලමකි. තවදුරටත් මේ සෙල්ලම පවත්වාගෙන යෑම තුළ ඉතිරි වනුයේ කාලෙන් කාලයට මහ මොළකරුවකු සොයා ගෙන සමාජයට දැක්වීමය. රටේ කප්පරක් ප්‍රශ්න යට ගැසීමය. ආණ්ඩුවත් සලේට තුරුම්පුවක් කරගෙන ඇති බව පෙනේ. සලේ වැරැදි නම් ඒ වරද හරියට අල්ලාගෙන දඬුවම් කළ යුතුය. මීට පෙර පිල්ලෙයාන් දැන් සලේ හෙට ගෝඨා විය හැකිය. එහෙත් කතෝලික සභාව ප්‍රමුඛ කාදිනල්තුමා පමණක් සතුටු වීමෙන් තෘප්තිමත් වීමෙන් මේ ප්‍රශ්නය කෙළවර විය හැකිද? එය තව ගින්නක් අවුලන ගිනි පුපුරකි. පාස්කු දින ප්‍රහාරයට මුලදී මුස්ලිම් ප්‍රජාව හසුවිය. දැන් එය බෞද්ධ වැඩක් කොට අවසන් කිරීම හරහා ගින්න නිවනවා යැයි සිතුවද එය එසේ නොවන බව පැහැදිලිය. සලේ රණවිරුවකු කොට මේ එන විරෝධය තව දෙගුණ තෙගුණ වී ඉදිරියට නොයතැයි සිතිය හැකිද? එයට හේතුව සියල්ල දේශපාලනය වී ඇති බැවිනි. සලේ විරුවෙක් වීම කාට වුව විහිළුවක් විය හැකිය. එහෙත් අමතක නොකළ යුත්තේ මේ මීට පෙර කාගේ හෝ විරුවකු බවය. එසේ නම් බලය වෙනුවෙන් කුමක් කළාද සාධාරණය වන සමාජයක් බිහිවෙමින් ඇත. කාදිනල් සතුටු කරන පරිදිම හෙට මහ නායක හිමිවරු සතුටු කරන්නට වුවහොත් මේ රටේ පාලකයන්ට කළ හැකි දෙයක් ඉතිරි නොවනු ඇත. කුම්බලා මාළු කෑවානම් විඳවපන් බළලෝ කියන්නේ මේ නිසාය. අනුරට පාස්කු දින ප්‍රහාරයට හරිම වැරැදිකරුවන් අල්ලා ගැනීමට නොහැකි වුවහොත් කාදිනල් ප්‍රමුඛ කතෝලික සභාවෙන් පමණක් නොව බෞද්ධ ප්‍රජාවෙන්, මුස්ලිම් ප්‍රජාවෙන්ද ප්‍රශ්න ඇතිවනු ඇත. ඉහළ හැමෝම දැනුවත් කර ඇත්නම් දැනුවත්ව සිටියේ නම් ඊට පිළියම් නොයෙදුවේ නම් ප්‍රහාරයක් සිදුවී නම් දැන් තවත් කවර කතාද? මහමොළ කරු කියමින් තව කොතරම් මොළ හෝදන්නද?

Tiran Kumara Bangagamaarachchi
ටිරන් කුමාර බංගගමආරච්චි විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...
- Advertisement -spot_img

මිනිස්සු හිතන්නෙ තමන් හිතන දේම තමයි ඇත්ත කියල

මිනිස්සු හිතන්නෙ තමන් හිතන දේම තමයි ඇත්ත කියල - Anne Hathaway තරුණ නිළියක ලෙසින් හොලිවුඩයට අවතීර්ණ වී දශක දෙකකට අධික...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you