NovelsShort Storiesහොං හොයපු රස්සාව - Selling is like Acting

හොං හොයපු රස්සාව – Selling is like Acting

-

spot_img

හොං හොයපු රස්සාව – Selling is like Acting

හොං සුවිසල් සාප්පු සංකීර්ණයේ කවුන්ටරය පිටුපස සිටගෙන ඇයව පසුකර යන අය දෙස බලා සිටියාය. කොණ්ඩය වැවෙන ආලේපන තබා තිබූ සාප්පුවේ Make Your Hair Grow and Shine යනුවෙන් සඳහන් කර තිබේ. ඇය සතියක් තිස්සේ මෙහි සේවය කර ඇති නමුත් තවම කිසිම දෙයක් විකිණීමට සමත් වුණේ නැත. එදින සුපවයිසර් ඇයව හමුවීමට ආවේය.

“හොං, ඔහොම ලැජ්ජ වෙලා නං බිස්නස් කරන්න බෑ. කස්ටමර්ල එක්ක කතා කරන්න. විකුණන්න තියෙන්නෙ මොනවද කියන්න.”

බොරු කොණ්ඩයක් පැළඳ සිටි තට්ට සුපවයිසර් ඇයට උපදෙස් දුන්නේය.

“අපි කාටත් කන්න අඳින්න දෙන්න පවුල් තියෙනවා. ඔයා ටිකක් ඇක්ටිව් විදිහට ඉන්න. මිනිස්සු එක්ක කතා කරන්න.”

ඔහු සිගරට්ටුවක් උරමින් පැවසීය. හොං හිස වැනුවාය.

“අනික මොකද මේ නිතරම මූණ එල්ලන් ඉන්නෙ. බුම්මගෙන ඉන්න කෙනෙක්ගෙන් බඩු ගන්න මිනිස්සු කැමති වෙන්නෙ නෑ.” 

Selling is like Acting

චෝදනා අවසන් කෙරූ සුපවයිසර්වරයා සිගරට් කොටය කුණු බඳුනට දමා යන්නට ගියේය.

“මම නැතිව තමුසෙට මුකුත් කර ගන්න බෑ”

සැමියාගේ වචන හොංගේ හදවතටම දැනුනේය. බිස්නස් කරන ගැහැණියක නිසා ඔහු ඇයව අතහැර දැමුවේය. එතැන් පටන් ඇය අවුරුදු දාහතරක පුතෙක් සිටින දික්කසාද ගැහැණියක් බවට පත් විය. ඈ සතුව මුදල් නොවීය. ඉතිරිකිරීම් සියල්ලම ඔහුගේ ණය පියවීමට වැය විය. නරකම දේ නම් අවුරුදු දාහතරකට පෙර ඔහු හා විවාහ වූ දිනයේ පටන් සුළු මුදලක් හෝ ඉතිරි කර නොතිබීමයි. Social media influencers ලා “කරන්න දෙයක් නැති කමට ගෘහණියක් වෙන්න එපා” යනුවෙන් නිතර පැවසූ අතර එය ඇසෙන වාරයක් වාරයක් පාසා ඇයට කෝපයක් දැනුණි. තමන් ලොකු අමාරුවක වැටී අවසන්ය. උකසක් සහිත මහල් නිවාසයක් මිලදී ගැනීමට සැමියාට ඒත්තු ගැන්වීමට ඇය වරක් සමත් වූ නමුත් ඔහු එයට විරුද්ධ වූයේ බීජිංවල ගෙවල් සෑහෙන ගණන් බව කියමිනි. මෑතකදී ඇයට තිබුණ ලොකුම ගැටළුව නම් ඊළඟ මාස‍ය සඳහා තැනක් කුලියට ගැනීමයි.

පුතා පාසල් ගිය පසු ඇය සෑම දිනකම කඳුළු සැළුවාය. රෑ කෑම ගන්නා විට ඔවුන් අතර එතරම් කතාබහක් සිදු වුණේ නැත. කෑම කා අවසන් වූ වහාම පුතා ඔහුගේ කාමරයට වදියි. ඇය භාජන අස් පස් කරන්නීය. නිවස සුව පහසු කිරීමට ඈ සිතා සිටියාය. එය අඳුරුම තැනක් ලෙස සළකා සැමියා තමා හැර යනු ඇතැයි ඇය අපේක්ෂා නොකළාය. විදුලි පහන් නිවූ පසු රැය තව තවත් අඳුරු සහ නිහඬ බවක් උසුලයි. ඇඳේ කොනක ඉඳගන්නා ඇයට පාරේ වාහන ගමන් කරන හඬ ඇසේ. හොංගේ සිත යකාගේ කම්හල මෙනි. වේගයෙන් තම ලියන මේසය වෙත ගිය ඇය ලැප්ටොප් එක on කලාය. සිය පැරණි ජීව දත්ත පත්‍රිකාවක් සොයාගත් ඈ රැකියා වෙබ් අඩවිය පිරික්සා, හැකි තරම් සමාගම් වෙත එය යැවූ අතර එම සතිය පුරාවටම ඇයට ලැබුනේ ප්‍රතික්ෂේප කිරීමේ පණිවිඩයි. හොංට දැඩි පරාජිත බවක් දැණුනාය.

Selling is like Acting

“මම නැතිව තමුසෙට මුකුත් කරගන්න බෑ”

සැමියාගේ ඒ වචන නැවත ඇගේ දෙසවන්වල දෝංකාර දුන්නේය. වෙළඳසැලට ගියත් මිනිසුන් තමා දෙස විපරමින් බලතැයි ඈ සිතුවාය. සුපිරි වෙළඳසැලෙන් පිටත, කුඩා චතුරස්‍රයක, තරුණයෙක් පත්‍රිකා බෙදමින් සිටියේය. ඔහු හොං සමග හිනැහෙමින් ඇයට පත්‍රිකාවක් දුන්නේය.

“නැන්දේ, බලන්න! මේ හෙයා ඔයිල් නියමයි. ඒකෙන් ඔයාගෙ කොණ්ඩෙ හොඳ කළුපාටට වැවෙනවා.”

මේ ඇසූ ඇය නොසන්සුන් විය. ඔහුගේ වචන ඇගේ වයස මතක් කළා මෙනි. තමන් තවදුරටත් තරුණ නොවේ. තරුණයා තමා එය වැරදියට පැවසූ බව වටහා ගත් අතර වහාම සමාව අයැද සිටියේය.

“සිස්, මම එහෙම දෙයක් නෙමෙයි කියන්නෙ. කොණ්ඩෙ ටිකක් සුදු වෙනව කියන්නෙ නාකියි කියන එක නෙමෙ. ඔයාට ලස්සන කොණ්ඩයක් තියෙනව. ඒ හින්දා ඒක හොඳට බලාගන්න.”

“මට ඒව උවමනා නෑ. තෑන්ක්ස්”

හොං එතැනින් ඉවත් වුණාය. ඉන් පසු දිනවලද ඔහු කුඩා චතුරශ්‍රයේ පෙනී සිටිමින් පත්‍රිකා බෙදා දුන්නේය. ඇය ඔහුව පසුකර යන හැම අවස්ථාවකම ඔහු සමාව අයදින අන්දමේ බැල්මක් සමගින් ඈ හා හිනැහුණේය.

කිසිදු සමාගමකින් පිළිතුරු නොලැබුණු නිසා හොං කෝපයට පත් විය. රෑ කෑම නිමකළ වහාම පුතා ඔහුගේ කාමරයට ඇතුළු විය. ඇය භාජන ටික සින්ක් එකට දමා ටැප් එකෙන් වතුර ගලා යන හඬට සවන් දුන්නාය. ඒ හඬ ඇයව සන්සුන් කරයි. හදිසියේම, ඇගේ දුරකථනය හැඬවිණි. ඇමතුම බැංකුවෙනි. AI පාරිභෝගික සේවා හඬක් නිවේදනය කළේ ගෙවීම් ප්‍රමාද වීම නිසා ඇගේ ක්‍රෙඩිට් කාඩ්පත අත්හිටුවා ඇති බවයි. දුරකථනය තැබූ ඇය පුටුව මතට ඇද වැටුණාය. නිවෙස් හිමියා ඉවසිලිවන්ත නමුත් ඔහුද තවදුරටත් බලා නොසිටිනු ඇත. මේ මාසය අවසානයේ ඊළඟ මාස තුනේ කුලිය ගෙවීමට ඇය දුන් පොරොන්දුවට ඔහු එකඟ විය. නරකම දේ සඳහා සූදානම් විය යුතුය. නිවසෙන් පන්නා දැමුවොත් ඔවුන් කොහේ යන්නද? දුරකථනය පරීක්ෂා කර බැලූවද උදව් කළ හැකි කිසිවෙකු ඇයට හමු නොවීය. ඇය වසර දහයකට වැඩි කාලයක් පන්තියේ මිතුරන්ගෙන් ඈත් වී සිටියාය. ඔවුන් සියලු දෙනාම පාහේ හොඳ වෘත්තීන්වල නියැලෙද්දී ගෘහණියක් ලෙස ඇගේ ආත්ම අභිමානය බිඳ වැටී තිබුණි. ඇගේ මනසෙහි තර්ක කරන හඬවල් වසා දැමීමට ඇය නිෂ්ඵල උත්සාහයක් ගත්තාය. ඒ මොහොතේ, ඇගේ පුතා ඔහුගේ කාමරයෙන් පිටතට ආවේය.

Selling is like Acting

“අම්මේ, නවත්තන්න. තාත්තා ආපහු එයි කියලා ඔයා හිතුවද? ඔයා වැරදියි. ඔයා ඔයාවම මරලා දැම්මත්, එයා ආයෙ එන්නෙ නැහැ.”

පුතා ඇගේ අත් අල්ලා ගත්තේය. හොං ගල් ගැසුණේය. ඇය කල්පනාවට වැටුණාය. අතහැර දැමූ, නොවටිනා සහ පිස්සු යන වචන තුන තමාව නිවැරදිව විස්තර කරනවා නොවේද? උදෑසන වනතුරුම නිදානොගෙන සිටි ඈ උදේ අයට ඇඳෙන් නැගිට සුපුරුදු පරිදි බිත්තර බැද ශීත කළ ඩම්ප්ලිං කිහිපයක් තැම්බුවාය. ඉන්පසු බිත්තර සුප් එකක් සැකසුවාය. පුතා පාසලට යවා සුපිරි වෙළඳසැලට යනවිට ඇයට අර තරුණයා හමුවිය. මෙවර, ඇය ඔහුව මග හැරියේ නැත. ඒ වෙනුවට ඇය ඔහු දෙසට ඇවිද ගියාය.

“මම කොහොමද ඔයා වගේ වැඩ කරන්නේ?”

ඇය ඇසුවාය. බියට පත් වූ තරුණයා ටික වේලාවක් කතා නොකර සිටියේය.

“සිස්, ඔයාට ජොබ් එකක්ද ඕනෙ ?”

“ඔව්, මොකක් හරි කමක් නෑ”

ඇය පිළිතුරු දුන්නේ අධිෂ්ඨානයෙන් යුතුවය.

“අපේ සුපවයිසර් අලෙවිකරුවන් බඳවා ගන්නවා. මොකද කියන්නෙ? “

“ඔව්”

ඇය වහාම පිළිතුරු දුන්නාය. තරුණයා ඇයව සාප්පු සංකීර්ණයකට එක්කරගෙන ගියේය. සුපවයිසර් කවුන්ටරය පිටුපස නිෂ්පාදන පරීක්ෂා කරමින් සිටියේය.“Make Your Hair Grow and Shine” යන වැකිය හැම තැනම දක්නට ලැබුණි. තරබාරු මුහුණක් ඇති සුපවයිසර් හොං ගේම වයසේ වෙන්නට ඇත. ඔහුගේ කොණ්ඩය ඇගේ අවධානය දිනා ගත්තේය. ඔහු එය තම හිස මත තද කර ඒ විග් එකක් බව මුමුණමින් පැවසීය. ඔහු හොංගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමෙන් අනතුරුව වැඩ කාලසටහන පැවසූ අතර අවසානයේ ඇයට හිසකෙස් නිෂ්පාදන අලෙවි කරන්නියක් ලෙසින් රැකියාවක් ලැබුණි. වැඩ කිරීමෙන් පසු, ඇය සැලුන් එකට ගොඩවුණාය. බර වීදුරු දොර තල්ලු කරන විට, අමුත්තන් පිළිගැනීමේ සීනුව නාද වූ අතර, තරුණියක් උණුසුම් සිනහවකින් ඇයව පිළිගත්තාය.

“නැන්දේ, ඔයාට ඕනෙ මොනවගේ හෙයාකට් එකක්ද ?”

මිල ගණන් මුද්‍රණය කර ඇති පුවරුවක් පෙන්වමින් ඇය විමසුවාය.

“මට තට්ටෙ ගාන්න ඕනෙ”

තරුණියගේ දෑස් ලොකුවිණි.

“ඔයා විහිළු කරනවද? “

“මම විහිළු කරනව නෙමේ. කරුණාකරල මගේ තට්ටෙ ගාන්න.” 

Selling is like Acting

ඇය නැවත වරක් හොංගෙන් ඒ ගැන විමසූ අතර හොං ඒ බව තහවුරු කළාය. ඉන්පසු තරුණිය ඇයව කෙළවරේ ආසනයකට ගෙන ගියාය. කැඩපතෙන් පෙනෙන තම රුව දෙස ඈ බලා සිටියාය. තම පැරණි ජීවිතයට සමුදෙනවාක් මෙන් ඇයට දැණුනි. දිගු කොණ්ඩය කැපෙන විට අතීතය සමඟ වූ බැඳීම් කැපී යන්නාක් මෙන් දැණුන අතර ඒවා කුණු කූඩයට විසි කරන ලදී.

“ඒක ඉවරයි.”

තරුණිය පැවසුවාය. .

තම අසුනෙන් නැඟිට කණ්ණාඩිය දෙස බැලූ ඇයට යන්තම් තමාව හඳුනා ගත හැකිවිය. බෑගයෙන් විග් එකක් ගත් ඈ එය පැළඳ ගත්තාය. එහි ඇගේ සුපවයිසර් ඇයට ලබා දුන් විග් රැසක් තිබුණි. තද කළු එකක්, දිලිසෙන විග් එකක්, අළු හිසකෙස් කෙඳි කිහිපයක් පමණක් ඇති එකක්. ඔහු ඇයට දක්ෂ වීමට සහ එක් එක් ඒවා පැළඳිය යුතු වේලාව ඉගැන්වීය.

“විකිණීම කියන්නෙ රඟපෑමක්”

ඔහු ඇයට උපදෙස් දුන්නේය.

“මුලදී, ඔයා අළුපාට විග් එක දාගෙන ඉන්නව. මිනිස්සු හිතයි වයසට යාම නිසා කියලා. මාස කීපෙකට පස්සෙ ඔයා දාන්නෙ කළු විග් එක හරි, දිලිසෙන කොණ්ඩෙ හරි. ඔයා මිනිස්සුන්ට කියන්න ඕනේ අපේ ප්‍රඩක්ට් වලින් තමයි මේ වෙනස වුණේ කියල. එතකොට එයාලා ඒක විශ්වාස කරනවා.”

“මේක උපක්‍රමයක්”

හොං ඇයටම පවසා ගත්තාය. ජීවිතය ඉදිරියට යන විට සහ සෑම දෙයකටම මුදල් වැය වන විට ඇයට වෙන විකල්පයක් නොතිබුණි. ඇය එය කිසිසේත් විශ්වාස නොකළත් තමාටම ඒත්තු ගැන්වීමට උත්සාහ කළාය.

“හොං, විකිණීම කියන්නෙ රඟපෑමක්. ඒක අමතක කරන්න එපා.”

සුපවයිසර් නැවත නැවත මතක් කළේය.

ඊළඟ දවසේ, හොං ඇගේ කවුන්ටරය අසලට ආ ගණුදෙනුකරුවන් සමග හිනැහුණාය.

“අපේ හෙයා ප්‍රඩක්ට් ට්‍රයි කරලා බලන්න”

ඇය පැවසුවාය. ප්‍රමාද වූ ගෙවල් කුලිය ගැන සිතමින්, ඇය වඩාත් පුළුල් ලෙස සිනාසෙමින් සහ උද්යෝගයෙන් ආචාර කළාය. ඇගේ වෙනස් වීම ඇත්ත වශයෙන්ම ගණුදෙනුකරුවන් ආකර්ෂණය කර ගත් අතර, ඔවුන් ඇගේ කවුන්ටරය ඉදිරිපිට වැඩි කාලයක් රැඳී සිටිනු ඇත. එහෙත් මේ නිෂ්පාදනවල කාර්යක්ෂමතාව ගැන ඔවුන් තවමත් සැකයෙන් පසුවූහ. ඇය දැඩි ලෙස කළකිරීමට පත් වූ අතර දිවා ආහාරය ගැනීමට සූදානම් විය. වයස අවුරුදු පනහක පමණ කාන්තාවක් ඇගේ මිතුරිය සමඟ වීඩියෝ කෝල් එකක් ගත්තාය. හොං ඔවුන්ගේ සංවාදයට සවන් දුන්නේ නැතත් ඇයට ඔවුන්ගේ කතාබහ ඇසිණි. කාන්තාව ඇගේ අළු හිසකෙස් ගැන වදවුණාය. මේ කාන්තාවන් දෙදෙනාම දික්කසාද වී ඇති බව පෙනී ගිය නමුත් දැන් ඔවුන් අලුත් පෙම් සබඳතා පවත්වමින් සිටියහ. හොංට අදහසක් ඇති විය. ඇය ඇගේ කොණ්ඩා නිෂ්පාදන ගැන මොවුන්ට නොකියන්නේ ඇයි? ඇය මෙම අදහස ගැන කල්පනා කළ නමුත් පැකිළී මක් දැණුනි. කාන්තාව දුරකථනය විසන්ධි කර, වාඩි වී සිටියාය. හොං ඈ හා කතාබහ පටන් ගන්නා අන්දම ගැන සිතුවාය. ඇය යෑමට නැඟිටින විට, හොං ද නැඟිට කොණ්ඩා නිෂ්පාදන හඳුන්වා දුන්නාය. කාන්තාව ව්‍යාකූල වී, හිස සොලවා එතැනින් පිටව යාමට හැරුණාය. හොං ඇගේ සාක්කුවෙන් බෝතලයක් එළියට ගෙන ඇගේම කොණ්ඩය පෙන්වීය.

Selling is like Acting

“මගේ කොණ්ඩය හොඳට වැවුණා. මේ ඔයාට නොමිලේ සාම්පලයක්.”

යනුවෙන් පැවසුවාය. කාන්තාව මොහොතක් නැවතී එය සැබවින්ම නොමිලේ දැයි විමසුවාය.

“ඔව්, නොමිලේ. ඔයා ට්‍රයි කරල බලන්නකෝ.”

හොං ඇයට තවත් නිෂ්පාදන පෙන්වූ අතර අවසානයේ වට්ටම් කූපනයක්ද ලබා දුන්නාය. කෙසේ වෙතත්, සති ගණනාවක් තිස්සේ, හොං කිසිදු නිෂ්පාදනයක් විකුණා නැත. ඇය කොපමණ සිනාසුනත් කිසිවෙකු ඇය හෝ නිෂ්පාදනය ගැන උනන්දු වුණේ නැත. එක් දිනක් සවස් වරුවේ, ඇගේ මහල් නිවාසයේ දොර විවෘතව ඇති බව ඇයට වැටහුණු විට, ඇගේ හදවත ගැහෙන්නට විය. දොර අගුළු දමා ඇති බව ඇයට සිහිපත් විය. විදුලි පහන් දල්වා තිබියදී කිසිම සොරෙකු දේවල් සොරකම් නොකරනු ඇත. ඇය ඇතුළට කඩා වැදුණු අතර ඇගේ පෙර සැමියා විසිත්ත කාමරයේ ලාච්චු පරීක්ෂා කරමින් සිටියාය. ඔහු තම යතුර ඉඩම් හිමියාට ආපසු ලබා දී නැත.

“ඔයා මොනවද හොයන්නේ?”

ඇය කෝපයෙන් පිරුණු හඬින් කෑ ගැසුවාය.

“මම පොලිසි යනවා.”

කිසිවක් නොපැවසූ ඔහු දිගටම ලාච්චු පරීක්ෂා කළේය. ගිනි කන්දක ලාවා පිටවීමට ආසන්න අයුරින් ඇගේ කෝපය පුපුරා යෑමට නියමිතව තිබුණි. ඇය ඔහු වෙත ගොස් ඔහුගේ පිටට පහර දෙමින් කෑ ගැසුවාය.

“කාළකණ්නියා! මෙතනින් පලයං යන්න!”

ඔහු ඇයව පිටුපසට තල්ලු කළ අතර, ඇය බිමට ඇද වැටුණාය. ඇගේ සිරුර හරහා තියුණු වේදනාවක් ඇති විය. ඔහු ඇය දෙසට ඇඟිල්ල දිගු කරමින් කෑ ගැසුවේය.

“මම මගේ අම්මා දුන්න රත්තරං මුද්ද සොයනවා.”

ඇගේ කෝපය ඇවිළුණි.

“මොන මුද්දද? තමුසෙගෙ අම්මා මැරෙන්න කලින් ඒක ආපහු ගත්තා, මම තමුසෙව බැන්ද නිසා අපෙ පවුලෙන් මුකුත් හම්බුනෙ නැහැ.”

ඇගේ සැමියා ටික වේලාවක් රැඳී සිටි අතර මව මුද්ද ආපසු ගත් බව මතක ඇති බවක් පෙනෙන්නට තිබුණි. ආපසු නොබලා ඔහු පිටත්ව ගියේය. හොංගේ දෑසින් කඳුළු ගලා ගිය අතර ටිකකින් හැඬීම නතර වුණි. ඇය සැමවිටම තම පුතාට KFC ඇණවුම් කිරීම තහනම් කළාය, එය සෞඛ්‍යයට අහිතකර යැයි ඇය සිතුවාය. එහෙත්, දැන් ඇය කුකුළු කකුලක් හපමින් සිටියාය. ඒ ආහාර අනුභව කරනවාක් මෙන් නොව මළකඳක් හපන සොම්බියෙකු ලෙසිනි.

“අම්මේ, මගේ යාළුවා ලී ජුන්, සාප්පු සංකීර්ණයේදී ඔයාව දැකලා “

ඇගේ පුතා පැවසීය.

“ඉතින් මොකද?”

ඇය මුමුණමින් පැවසුවාය.

“ඔයා විග් එකක් දාගෙන හිටියා කියලා එයා පන්තියේ ළමයින්ට කිව්වා. ඔයා අමුතුයි වගේලු”

“අමුතුද? මම වැඩ කර කර හිටියේ. ජීවත් වෙන්න.”

“ඒගොල්ලො මට හිනා වෙනවා. ඒක ඔයාට තේරෙනවද? “

ඇගේ පුතා හැම්බර්ගර් එක සපමින් කතා කළේය. ඔහුගේ පියා පැමිණි බවත් ඔහු ඇයට සැලකූ ආකාරය ගැනත් හොං පුතාට කීවේ නැත.

“ඒක කොහොමද දැනෙන්නේ කියලා මම දන්නවා. ඒත් අපට කුලියට, ​​කෑමට සහ ඔයාගෙ ඉස්කෝලෙට සල්ලි ඕනෙ. වෙන දේවල් අදාල නෑ. ඔයාගෙ නම්බුව පැත්තකින් තියන්න.”

පුතා හිස පහත් කර ආහාර ගැනීම දිගටම කරගෙන ගියේය. රාත්‍රිය පෙරට වඩා නිහඬ විය.

පසුදා, හොං කවුන්ටරයේ කැබිනට් එකේ නිෂ්පාදන අසුරන විට, කාන්තාවක් කෑ ගසමින් ඇය දෙසට දිව ආවාය.

“වංචාකාරි. ඔහේ දන්නවද, ඔහේ විකුණන ජරාව නිසා මගේ කොණ්ඩෙ හැලුනා.”

හොං හිස ඔසවා ඒ කාන්තාව හඳුනා ගත්තාය, ඒ ඇයට ඊයේ හමුවූ කාන්තාවයි. ඇය උස් හඬින් කෑ ගසන විට, මිනිසුන් කවුන්ටරය වෙත ඇදී ආවේ චිත්‍රපටියක් නරඹනවාක් මෙනි. හොංට වචනයක්වත් කතා කිරීමට නොහැකි විය. සුපවයිසර් පැමිණි අතර, කාන්තාව කවුන්ටරය පිටුපස ඇති කාර්යාලයට කැටුව ගියේය. මිනිස්සු විසිර ගියහ. ටික වේලාවකට පසු, කාන්තාව බෑගයක්ද අතැතිව කාර්යාලයෙන් පිටතට ගිය අතර, සුපවයිසර් ඈ සමග සිටියේය.

“ඊළඟ වතාවේ සමාවක් නෑ.”

හොං වෙත කෝපයෙන් බැල්මක් හෙළමින් ඔහු පැවසීය. ඔහු අනුකම්පා විරහිත වූයේ ඇගේ දුෂ්කරතා දැන සිටි බැවිනි. වැඩ කිරීමෙන් පසු, හොං රාත්‍රී ආහාරයට අවශ්‍ය දේවල් ගැනීමට සුපිරි වෙළඳසැලට ගියේය. කිසිවකු කෑ ගසනු ඇසුණි. ශබ්දය සොයා ගත් ඇය කිරි රාක්ක අසලට ගිය අතර, කාන්තාවක් වෙළඳසැල් කාර්ය මණ්ඩලය සමඟ වාද කරමින් සිටියාය. කල් ඉකුත් වීමේ දිනය ඉක්මවා ගිය කිරි තවමත් රාක්කයේ විකුණනු ලබන බව ඇය කියා සිටියාය. දිනය පරීක්ෂා කිරීමෙන් පසු, කාර්ය මණ්ඩලය කාන්තාවගෙන් සමාව අයැද සිටියේය. නමුත් කාන්තාව අතහැරියේ නැත. ඒ කළමනාකරුවෙකු පැමිණ ඇයට කිරි බෝතල් කිහිපයක් ලබා දුන්නේය. හොං මේ සියල්ල බලා සිටියාය. කාන්තාව ඇය පසුකර යන විට, හොං ඇයව හඳුනා ගත්තාය. ඒ ඇය සමග රණ්ඩු වූ කාන්තාවයි. හොං කාන්තාවගේ හැසිරීම ගැන සිතමින් සිටියද, ඉක්මනින්ම ඇය ඒ සිතිවිල්ල සිතෙන් අයින් කළාය. කාන්තාව කළ දේ ඇය නම් කිසි විටෙකත් නොකරනු ඇත.

“විකිණීම කියන්නෙ රඟපෑමක්”

සුපවයිසර්ගේ වචන ඇගේ කන්වල දෝංකාර දුන්නේය. සුපිරි වෙළඳසලෙන් එළියට එත්ම සුළඟක් හමා ආයෙන්, හොං සිය විග් එක තද කර ගත්තාය.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Alicia Feng විසින් රචිත Selling is like Acting කතාව ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක්

හොර පාරේ යන වැඩිහිටි නිවාස 320 ක් වැඩිහිටි නිවාස ලියාපදිංචි කළ යුතු බවට ගැසට් නිවේදනය නිකුත් කර වසර දොළහකට වැඩි...

රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණයට රහසිගත සැලසුම්

රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණයට රහසිගත සැලසුම්  මහ බැංකුවේ ක්‍රියාකලාපය සෙවීමට තේරීම් කාරක සභාවක් අවශ්‍ය බවත්, අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව...

ගෝඨා Can’t Go 

ගෝඨා Can't Go හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත‍්‍රාත් පසන්...
- Advertisement -spot_img

පල්ලේගමගේ පවට පින්දීම

පල්ලේගමගේ පවට පින්දීම සංඝ සමාජයේ විනය ආරක්ෂා කර ගැනීම සඳහා ''ධර්මාධිකරණයක්'' නැවත පිහිටුවීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර...

ගෝඨා Can’t Go 

ගෝඨා Can't Go හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත‍්‍රාත් පසන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you