දුවට ප්‍රින්සස් ගවුමක් – Mama, Don’t Go
බීජිං නගරයේ මංතීරු ඇදහිය නොහැකි තරම් පුළුල්ය. පාර මාරුවීමට ආසන්න වශයෙන් මිනිත්තු දහයක කාලයක් ගතවෙයි. පාලම අසල සිටිමින් නගරයේ සුන්දරත්වය විඳිය හැකිමුත් නොසන්සුන්කම ඔබව වෙළාගනු නිසැකය. මංතීරු අටක් ඔස්සේ නොකඩවා ධාවනය වෙන මෝටර් රථ දෙස බලා සිටීමෙන් කරකැවිල්ලක් ඇතිවිය හැක. රාත්‍රියට විදුලි පහන් දැල්වූ පසු නගරය දහවල සේම දීප්තිමත්ය. මීට දින කිහිපයකට පෙර බීජිං පාලම මත මිනිහෙක් එල්ලී සිටි පුවත සිහිකළ මම බියෙන් ගැහෙමින් සිටියෙමි. අන්තිම බස් රිය ළඟා වූ අතර මම එදෙසට දිව ගියෙමි.
“ඉක්මන් කරන්න”
රියදුරු බෙරිහන් දුන්නේය. මෙම දැවැන්ත නගරයේ ජීවත්වෙන සියල්ලන් සේම ඔහුද නොඉවසිල්ලෙන් පසුවිය. මම ඔහුට ස්තූති කළේ ඔහු සන්සුන් වෙතැයි බලාපොරොත්තුවෙනි. මගීන් තිදෙනෙකු පමණක් රැගත් බසය ගමනාරම්භ කළේය. මගේ දස හැවිරිදි දියණිය යින්ගිංගේ උපන්දිනය මග හැරීම ගැන මට වරදකාරී බවක් දැණුනි. වෙලාව රාත්‍රී එකොළහට ආසන්නයි. දැන් ඇය නිදි. ජනෙල් වීදුරුවෙන් මට මගේ මුහුණ පෙනේ. එහි ඇත්තේ හැඟීම් විරහිත පෙනුමකි. නමුත් මගේ හදවත හැඟීම්වලින් පිරී තිබුණි. මම මගේ රුව දෙස බලමින් මෙසේ විමසා සිටියෙමි.

“මගෙ හීනවලට මොකද වුණේ?”
අද දුවගේ දහවන උපන්දිනයයි. ඇය මෙලොවට පැමිණ වසර දහයක් ගෙවී ගොසිනි. ඇගේ උපන්දින හයකටම මා ඇය අසල සිටියේ නැත. තනි මවක් ලෙස, උපන් ගමේ සිට සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි නගරවල වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් මා සතුව නොවීය. සෑම වසරකටම වරක් ගමට එන මම දින කිහිපයක් එහි රැඳී සිටිමි. තාවකාලික රැකියා වෙනුවෙන් ඉක්මනින් නගරයට යෑම අත්‍යවශ්‍ය විය. මෑතක සිට ස්ථාවර රැකියාවක් ලබා ගැනීම පෙරටත් වඩා දුෂ්කර වී තිබේ. දියණිය වෙනුවෙන් මුදලක් ඉතිරි කිරීම සිහිනයක් මෙනි. දැන් මම සාප්පු සංකීර්ණයක පිරිසිදු කරන්නියක ලෙස සේවය කළෙමි. බොහෝ සේවකයින් මට වඩා වයසින් වැඩි වූ අතර ඔවුන්ගේ ජීවිත මගේ ජීවිතයට වඩා හොඳ බවක් පෙනෙන්නට තිබුණි. වැඩිහිටි කාන්තාවන් කිහිප දෙනෙක් මට ඉහළ වැටුප් සහිත රැකියාවක් සොයා දීමට උත්සාහ කරත් එය හිතන තරම් ලෙහෙසි නොවීය. මම කාමරයට ගොස් අම්මාට වීඩියෝ කෝල් එකක් ගත්තෙමි. දියණිය නිදි බව ඇය පැවසුවාය.
“මම එයාට කේක් එකක් ගත්තා. ඒකි හරි හොඳ කෙල්ලෙක්. ඔයාටත් කේක් ඉතුරු කරා.”
අම්මා කීවාය. ඒ ඇසූ මට හැඬිණි. මෙතරම් කුඩා වයසකදීත් ඈ මා ගැන සැළකිලිමත් වූ නමුත් මට ඇයට කිසිවක් දිය නොහැකි විය.
“අඬන්න එපා. ඔයා මේ හැමදෙයක්ම කරන්නෙ දරුව වෙනුවෙන්. දවසක එයා හැමදෙයක්ම තේරුම් ගනීවි.”

අම්මා මා සැනසුවාය. මම ඇය එවා තිබූ දියණියගේ ඡායාරූපය දෙස බැලුවෙමි. හිනැහෙමින් සිටියද ඇගේ දෑස් බොහෝ දේ පැවසුවේය. ඇය ඉදිරිපිට ප්ලාස්ටික් තහඩුවක කුඩා කේක් කැබැල්ලක් තිබුණ අතර, ඇය සැරසී සිටියේ වසර දෙකකට පෙර මා ගෙන දුන් කබායෙනි. එය දැන් ඇගේ සිරුරට නොගැළපේ. සම වයසේ මිතුරියන් මෙන් ප්‍රීතිමත් කෙල්ලක විය යුතුව තිබුණද ඇය මිත්තණියගේ ගොවිතැන් කටයුතුවලට උදව් කරමින් කාලය ගත කළාය. පසුගිය අලුත් අවුරුද්ද නිමා වීමටත් පෙර නැවත ආ හැටි මට සිහිවෙයි. ඇයව වැළඳගෙන, හොඳ ළමයෙක් වෙන ලෙස පවසමින්, ඊළඟ අවුරුද්දේ ආපසු එනවිට ලස්සන ඇඳුම් සහ කෑම රැගෙන එන බව පොරොන්දු වෙමින් බසයට නැගුණෙමි. දියණියගේ කෑගැසීම මගේ හදවත ඉරා දැමීය.
“අනේ මාව දාලා යන්න එපා! අම්මේ යන්න එපා!”
හිස හැරවීමට ධෛර්යයක් මා සතුව නොවීය. ඇය මොනතරම් කුඩා දුක්බර පෙනුමක් දරන්නේදැයි මම දැන සිටියෙමි. අසරණ වූ මම හිත හදාගෙන හැරී බැලුවෙමි. ඇගේ රුව කුඩා වෙමින් කුඩා වෙමින් මැකී යනු බොඳ වී පෙනුණි.
මම එතරම් ඉහළට ඉගෙන ගත්තේ නැත.දිනක් රැකියා පොළකට ගොස් බලාපොරොත්තු සුන්වී නැවත එන්නට සූදානම් වත්ම මැදිවියේ කාන්තාවකගේ ඇඟේ හැපී මා බිම ඇද වැටුණි. ඇය සමාව අයදිමින් මා ඔසවන්නට තැත් කළාය. අනතුරුව හිසේ සිට දෙපතුළ දක්වා මා නිරීක්ෂණය කළ ඇය රැකියාවක් හොයනවාදැයි ඇසුවේ ඇගේ තුන් හැවිරිදි මිනිබිරිය බලා ගැනීමට කෙනෙක් සොයන බව පවසමිනි. මම වහාම එයට කැමති වුණෙමි. ඈ මගේ තොරතුරු විමසූ අතර මා හැදී වැඩුණු හෙනාන් පළාතේ උදවිය වෙහෙස මහන්සි වි වැඩ කිරීමට සමත් බව සතුටින් පැවසුවාය. අපි ඇගේ නිවසට යන්නට කුලී රියකට ගොඩ වුණෙමු. කුලී විශාල ලෝහ ගේට්ටුවකින් ඇතුළුව අලංකාර නිවසක් ඉදිරියේ නතර කළේය. මනරම් උද්‍යානයක් මැද ඒ සුඛෝපභෝගී නිවහන පිහිටා තිබුණි. එහි විශාලත්වය ඇදහිය නොහැකි තරම් විය. යැං නම් වූ ඇය මාව නිවස තුළට එක්කරගෙන ගියාය. දිගු කොරිඩෝවක් ඉඩකඩ සහිත ශාලාවකට මඟ පෑදූ අතර බිත්තිය පුරා විශාල සිතුවම් එල්ලා තිබුණි. කෙළවර වයින් බඳුන් පිරවූ රාක්කයක්. විශාල මුළුතැන්ගෙයි කවුන්ටරයේ පෙට්ටියක සියලු වර්ගවල උපකරණ, හැඳි, ගෑරුප්පු, පිහි සහ නම නොදන්නා උපකරණ රැසක්ම තිබුණි. කුඩා දියණිය එක කාමරයක නිදා සිටි අතර ඇගේ මව තවත් කාමරයක නිදා සිටියාය. ඒවායේ දොරවල් අගුළු දමා තිබුණි. මගේ වැඩ පටන් ගන්නේ හෙට සිටය. දිනපතා උදේ හතේ සිට රාත්‍රී අට දක්වා වැඩ කළ යුතු විය. නිවසින් පිටවූ මම ඉදිරිපස ගේට්ටුව දෙසට ඇවිද ගියෙමි. ඒ සඳහා මිනිත්තු තිහක් ගතවිය. ආරක්ෂක නිලධාරියා මා ඇමතුවේය.

“ඔයා අලුත්ද?”
ඔහු ඇසුවේය. මම හිස වැනුවෙමි.
“මෙතන වැඩ කරන එක ලේසි නෑ.”
ඔහු වෙත ආචාරශීලී සිනහවක් පාමින් ගේට්ටුවෙන් පිටතට ආවෙමි. මා නතරව සිටින බෝඩිංකරුවන් අට දෙනෙකුගෙන් යුතු මහල් නිවාසය වෙත ගියෙමි. සෑම දිනකම වැසිකිළිය සහ මුළුතැන්ගෙය පාවිච්චිය සඳහා වාද ඇතිවුණි. හැමෝටම පසුව මම මුළුතැන්ගෙට ගොස් මොනවා හෝ හදාගමි. බඩ පිරෙන්නට දෙයක්. එක රෑක මම එළවළු, බිත්තර සමග නූඩ්ලස් හැදුවෙමි. වතුර භාජනයක් ලිප තබා කාමරයට ගොස් එන විට කවුරුන් හෝ වතුර එක ඉවත් කර තිබුණි. මට හොඳටම කේන්ති ගියේය. කාට දොස් පවරන්නදැයි මට නොතේරුන අතර නැවතත් වතුර එක ලිප තැබුවෙමි. බෝඩිම්කාරයන්ට මේවා සුළු දේවල් වූ නමුත් සමහර ඒවා පොලිසියෙන් කෙළවර විය. කැරපොත්තන් හැම තැනම සිටියේය. උන් මගේ කටට රිංගායනු සිහිනෙන් දැක බිය වුණෙමි. තුනී ලෑලි වලින් වෙන්කෙරූ කාමර තුළ කතාකරන හැමදෙයක්ම පිටතට ඇසුණේය. මම සිහිනෙන් කෑ ගසද්දී ඔවුන් මම පිස්සු ගැහැණියක් බව පැවසූ අතර තවදුරටත් නිදා ගැනීම අසීරු විය. දහඩිය පිස දමමින් අවදිවූ මම දුරකථනය අතට ගෙන දියණියගේ වීඩියෝ නැරඹුවෙමි.
“අම්මේ, අද මම ආච්චිට උදව් කරා. එයා මම හොඳ දරුවෙක් කියල කිව්වා. ඔයා ආයෙ එන්නෙ කවදද අම්මෙ? දැන් මට උයන්නත් පුළුවන්. ආච්චි කියල දුන්නා. හැබැයි දවසක් මගෙ ඇඟිල්ල පිච්චුණා. මට ඔයාව ගොඩක් මතක් වෙනව අම්මේ. මම ආච්චිගෙන් ඇහුවා ඔයා මට ප්‍රින්සස් කෙනෙක්ගෙ ගවුමක් අරන් දෙනවද කියලා. එයා කිව්වා ඔයා එහෙම කරයි කියලා. ඒත් අම්මෙ මම දන්නව ඒව ගොඩක් ගණන් කියලා. මට ඒවා ඕන්නෑ. ඔයාව විතරයි ඕනෙ. ඔයාව ගොඩක් මතක් වෙනව අම්මේ.”
මම ඇයට ප්‍රින්සස් ගවුමක් මිළට ගැනීමට අදිටන් කර ගත්තෙමි. ඈ කවදාවත් එවැනි ඇඳුමක් ඇඳ තිබුණේ නැති අතර තවම දස හැවිරිදි වුවද ගොවිපොළේ වැඩ සඳහා මිත්තණියට සහය වුණාය. පසුදා උදෑසන, මම මගේ අලුත් රැකියාවට යෑමට බස් රථ තුනකින් ගමන් කළෙමි. මගේ ඇඳුම් පිරිසිඳු වුවද අත්වල දාර ඉරී ගොස් තිබුණි. යැං මට අලුත් කෝඩ්රෝයි ඇඳුම් කට්ටලයක් ලබා දුන්නාය. ඒවායේ ලැවෙන්ඩර් සුවඳින් පෙණහලු පිරුණි. උණුසුම් හිරු කාමරයට ගලා ආවේ සිහින ලොවක් මවමිනි. යින්ගිං මේ ගෙදර හිටියා නම් කොච්චර සතුටු වෙයිද? ඇඳුම් රාක්ක පේළි කිහිපයක් ජනේලයට විරුද්ධ පස තිබුණ අතර සෑම රාක්කයක්ම ඇඳුම් වලින් පිරී තිබුණි. මගේ නිල ඇඳුමට මාරු වූ පසු, යැං ඇගේ මිණිබිරිය හුවාහුවාට මාව හඳුන්වා දුන්නාය. ඇය ආච්චිගේ කලිසම් කකුලට මුවාවී මා දෙස බැලුවාය. මම හිනැහෙමින් මගේ නම පැවසුවෙමි. බඩු බාහිරාදිය තබන තැන් හඳුනා ගැනීමෙන් පසුව මා දිවා ආහාරය පිළියෙළ කළ යුතුවිය. යැං පැවසුවේ දුව ටෝස්ට් කෙරූ සැන්ඩ්විච් සහ සොසේජස්, බේක් කෙරූ බිත්තර වැනි බටහිර කෑමවලට කැමති බවයි. මම කවදාවත් එවැනි කෑම සකසා නොතිබුන නමුත් බටහිර අවන්හලක වේටර්වරියක් විදිහට වැඩ කෙරූ නිසා බ්‍රන්ච් එක ගැන දැන සිටියෙමි.

යැංගේ දුව ලිලී කාමරෙන් එළියට ආවාය. ඇය නිළියක් තරම් සුන්දරය. ඉතාම සිහින් සිරුරක් ,මෘදු සමක්, ඇගේ දිලිසෙන කොණ්ඩය ඉඟටිය දක්වා දිගට වැවී තිබුණි. මම ඇයට දිවා ආහාරය පිළිගන්වා මුළුතැන්ගෙයට ගියෙමි. හුවාහුවා මා සමග මිතුරු විය. සමහර වෙලාවට ඇගේ කාමරයට මා කැටුව ගොස් සෙල්ලම් බඩු පෙන්නුවේය. ඈ ළඟ දම් පැහැ සළුවකින් සැරසුණු ලස්සන යුනිකෝන් කෙනෙක් සිටි අතර සෙල්ලම් බඩු හැමතැනම පිරී තිබුණි. එලඹෙන සිකුරාදා ඇගේ උපන්දිනයයි. තව සතියක් තිබුණද අපි දැන් සිටම ඒ සඳහා ලක ලැහැස්ති වුණෙමු. යැං තට්ටු තුනක බර්ත්ඩේ කේක් එකක් ඕඩර් කළාය. උත්සවය සඳහා ආරාධනා පත්‍ර තොගයක් මුද්‍රණය කෙරූ අතර නිවස සැරසීමට වෙනම කණ්ඩායමක් එන ලදී. එදින දහවල් ලිලී කවුදෝ සමග දුරකථනයෙන් රණ්ඩු වුණාය.
“සිකුරාදා කියන්නෙ දුවගේ වැදගත්ම දවස..”
ඇය කෑගැසුවාය.
“ඔයාට එදාටවත් එන්න බැරිද..?”
ඇය තත්පරයක් නතර කළාය.
“ඔයාගෙ වැඩ, මීටින්, බිස්නස්… ඔව්, ඔව්, ඔයාගෙ පවුල අපේ පවුලට වඩා ලොකුයි. මොකෝ මම නොදන්නෙ. ඕක ආයෙ ආයෙ කියන්න ඕනෙ නෑ.”
ඇය දුරකථනය විසන්ධි කළාය. මම ඔවුන්ගේ සංවාදයට සවන් දීමට අදහස් නොකළ මුත් ඇගේ කටහඬ ඉතා ඝෝෂාකාරී විය. කාමරයට වැදුණ ඈ මහ හඬින් දොර වසාගත්තාය. තම දියණිය පසු ප්‍රසව විශාදයෙන් පෙළෙන බව යැං මා හා පැවසුවාය. අපි සාදයට සූදානම් වෙමින් සිටියෙමු. දහවල්, රූපවාහිනියේ මූල්‍ය සම්මුඛ සාකච්ඡාවක් විකාශය විය. ඒ මොහොතේ, හුවාහුවා අත්පුඩි ගසමින් “තාත්තා, මගේ තාත්තා.” යනුවෙන් කෑ ගැසීය. මම රූපවාහිනිය බැලුවෙමි. හුවාහුවාගේ තාත්තා ජියැං මහතා සුප්‍රකට ව්‍යවසායකයෙකු සහ මූල්‍ය ආයෝජකයෙකි. ආර්ථිකය පිළිබඳ ප්‍රශ්න රාශියක් ඔහුගෙන් ඇසූ අතර මම මුළුතැන්ගෙයෙහි සිටිමින් මුළු සාකච්ඡාවම අසා සිටියෙමි. ඔහු කලින් විවාහ වූ අයෙක් විය යුතුය. ඔහුගේ බිරිඳ ලිලී නොවේ. ජියැංගේ හිසකෙස් ඉදී තිබුණි. ඔහු ඉතාම පිළිවෙලට ඇඳ පැළඳ සිටියේය. එදින රාත්‍රියේ කාමරයට ගිය පසු යින්ගිං මට කතා කළේය.
“අම්මේ, මට ඔයාව මතක් වෙනවා.”
“මටත් ඔයාව මතක් වෙනවා, යින්ගිං දැන් ඔයාට දින ගණන් කරන්න පුළුවන්. තව මාස දහයකින් මම එනවා. ඇයි පැටියො ඔයා දුකෙන් වගේ?”
“අම්මේ, මගේ පන්තියේ පිරිමි ළමයෙක් මම කළුයි කියනවා. එයා මට කැමති නෑ.”
“යින්ගිං, ඔයාට කොල්ලෙක් කැමති නොවුනම මොකද ? මේ ලෝකෙ මට ඉන්න ලස්සනම කෙල්ල ඔයා. අම්මා ඔයාට ප්‍රින්සස් ගවුමක් ගෙනාවම ඔයා ප්‍රින්සස් කෙනෙක් වගෙ ඉඳියි.”
මට මාව දමා ගිය, මගේ සමේ පැහැයට සමච්චල් කෙරූ මිනිසා මතක් විය. ඔහු මට ආදරේ නැතිබව වැටහුණේ ඔහු වෙනත් ගැහැණියක් හා විවාහ වූ පසුවය. ජනවාරි මාසයේ සීතල රාත්‍රියක නගරයේ මාතෘ සායනයේදී මම යින්ගිංව බිහි කළෙමි. සීතල හේතුවෙන් මා වෙව්ලීය. හෙදිය වීදුරු භාජන තම්බා ඒවායේ උණුසුම් ජලය පුරවා මා උණුසුම් කළාය. නිහඬතාව බිඳිමින් යින්ගිංගේ හැඬුම් හඬ කාමරය සිසාරා පැතිරුණි. ඒ හඬ මා උණුසුම් කරවීය.
සුපුරුදු පරිදි, මම උදේ හතට පමණ යැංගේ නිවසට පැමිණියෙමි. මම දොර විවෘත කරන විට, මිනිසෙක් මගේ ඇඟේ හැප්පුණේය. හිස ඔසවා බලන විට හුරුපුරුදු මුහුණක් දක්නට ලැබුණි. ඒ ජියැංග් ය. ඔහු වහාම නිවසින් පලා ගියේය. සිකුරාදා උදාවිය. මව්වරු ඔවුන්ගේ දරුවන් සාදයට පැමිණ තිබුණි. අලංකාරව ඇඳ පැළඳ සිටි ඔවුන් සියල්ලෝම ලිලී සේම රූමත්ය. කුඩා දරුවන්ගේ වර්ණවත් ඇඳුම් දිලිසිණි. බොහෝ දරුවන් හුවාහුවාට වඩා වයසින් වැඩි අයයි. ගැහැණු ළමයින් යුනිකෝන් සහ කුමාරිකාවන් කෙරෙහි උමතු වී සිටි අතර, පිරිමි ළමයින් ලෙගෝ සමඟ කාර්යබහුල විය. තට්ටු තුනේ විශාල කේක් එක නිවසට ගෙන ආ අතර එහි මුදුනේ ලා දම් පැහැති ඇඳුමකින් සැරසී, බැලේ ඉරියව්වකින් සිටි ලස්සන කුමරියකගේ ප්‍රතිමාවක් සවිකර තිබුණි. යැං හුවාහුවා ඇගේ දෑතින් අල්ලාගෙන, ප්‍රාර්ථනාවක් කිරීමෙන් පසු, හුවාහුවා ඉටිපන්දම් නිමුවාය. ඉන් පසු කේක් එක කපන ලදී. හැමෝම කේක් කෑ අතර එක මවක් තමන් ඩයට් කරන බව පවසා කේක් කෑම ප්‍රතික්ෂේප කළාය. තවත් අයෙක් ව්‍යායාම කරන බව පැවසූ අතර අවසානයේ කේක් එකෙන් හරි අඩකටත් වඩා ඉතුරු විය. තට්ටු තුනක කේක් එකක් කිසිදා නොදුටු මගේ දියණිය ගැන මට දුක සිතුණි. මම ඔවුන් වෙනුවෙන් පලතුරු සකස් කරන අතරතුර මව්වරුන් එකට වාඩි වී කතා කරමින් සිටියහ.
“ලිලී, ඔයා තව ටිකක් සැරට ඉන්න. නැත්තම් පිරිමි වෙනස් කරන්න අමාරුයි. හැමදාම ඔහොම ඉන්න තමයි වෙන්නෙ ඔයාට”
එක මවක් පැවසුවාය.
“ජියැං මගේ මිනිහට වඩා හොඳයි. අඩුම තරමින්, එයා ලිලීට මේ ලොකු ගෙදර අරන් දුන්නා. එයා ත්‍යාගශීලීයි”
තවත් මවක් ඊර්ෂ්‍යාවෙන් පැවසුවාය.
“මෝඩ වෙන්න එපා! මේ ගෙදර ඇයට පාවිච්චි කරන්න විතරයි. මේවා ලිලීගේ දේපළ නෙමේ”

ඉඳහිට, ජියැං නිවසට එනු මම දුටුවෙමි. ඔහු තම නිවස සහ මෙම රහස් කූඩුව අතර කල් ගත කළේය. සරත් සමය ශීත කාලයට හැරෙන විට ජියැං මෙහි ආවේ කලාතුරකිනි. ලිලී තව තවත් නිහඬ විය. එක් රාත්‍රියක, ලිලීගේ කාමරයෙන් ශබ්දයක් ඇසුණි. කණ්නාඩියක් බිමට වැටෙන හඬ, ඉන්පසු හැඬීමක්. ඇගේ විලාප හඬ සහ කෑගැසීම් නිවස පුරා දෝංකාර දුන්නා. යං මගේ උදව් ඉල්ලා කාමරයට ආවාය. අපි එක්ව ජනේලයෙන් ඉහළට නැගීමට උත්සාහ කරමින් සිටි ලිලීව අල්ලා ගත්තෙමු. බිම ජියැංගේ ඡායාරූප විසිරී ඇති සඟරා කොටස් තිබුණි. හුවාහුවා හඬා වැටුණාය. ඇගේ මුහුණ රත් පැහැ ගැන්වී ඉදිමී තිබුණි. යැං මානසික රෝහලකට කතා කළ අතර ඉක්මනින්ම මිනිසුන් තිදෙනෙක් පැමිණියහ. ඔවුන් ලිලීව විශාල රෙද්දකින් එතුවෝය. ලිලී කෑ ගසමින් දැඟලූ අතර ඇගේ කොණ්ඩය අවුල්වී තිබිණි. ඈ අවසිහියෙන් පසුවුණාය.
යං පසුගිය මාසයේ මගේ වැටුප මට දුන්නාය. ඇය මාව වෙනත් පවුල්වලට නිර්දේශ කරන බවට පොරොන්දු වූ නමුත් එසේ කළේ නැත. ඇගේ පවුලේ රහස් මම හෙළි කරතැයි බිය වූවායැයි සිතමි. දෙසැම්බරය උදාවී ඇත. එදින මම සාප්පු සංකීර්ණයකට ගියෙමි. මම ගණුදෙනුකරුවෙකු ලෙස ඇවිද ගිය පළමු අවස්ථාව එයයි. වෙළෙන්දෝ මා දෙස බැලුවෝය. ඔවුන්ගේ ඇස් උකුස්සන් සේ තියුණු වූ අතර, ඔවුන්ට ඔබේ වටිනාකම සිතා ගත හැකි විය. සාප්පු සංකීර්ණයෙන් පිටතට යන විට, ජියැන්ග්ගේ මුහුණ දිස් වූ විශාල තිරයක් දුටුවෙමි. ඔහු කතා කරමින් සිටියේය, මෙවර මාතෘකාව ඔහුගේ පවුලයි. වැඩ සටහන මෙහෙයවන්නා ඔහුව හොඳ ස්වාමිපුරුෂයෙකු සහ හොඳ පියෙකු ලෙස හැඳින්වූයේය. සුළඟ තදින් හමා ගියේය. හිම පියලි අහසින් පහළට පාවී බිම වැටුණු වහා දියවී නොපෙනී ගියේය. මම බස් රථයට නැගීමට නැවතුම්පළ වෙතට පිය නැගුවෙමි.



